ආචාර්ය ඒ.ටි. ආරියරත්න රටක් වටින මිනිසෙකි.
ඉතිහාසයක් නිර්මාණය කළ මිනිසෙකි.
අවිහිංසාව,බෞද්ධ සදාචාර මුලධර්ම හා ජාතික ආගමික සාමය පදනම් කරගනිමින් සමාජ වැඩ සඳහා අප රටේ පවතින විශාලතම සමාජ සේවා සංවිධාන ජාලය නිර්මාණය කළ පුරෝගාමියාය. එය ඔහු සිදු කළේ රෝසමල් ඇතිරූ මාවතක පිය මනිමින් නොව, ගැරහුම් අවලාද,.මර්දන. අභියෝග , ජීවිත තර්ජන මැදින් වෙහෙස නොබලා ගිය දුෂ්කර ප්‍රයානයකිනි.
ආරියරත්න දේශපාලනයක්ද කළේය. එහෙත් ඒ සම්ප්‍රදායික පක්ෂ දේශපාලනය නොවේ. එහෙත් සම්ප්‍රදායික පක්ෂ දේශපාලනය කළ ඇතැම්හු ඔහු දේශපාලනයට පැමිණ තමන්ගේ තැන උදුරා ගනිතියි නිස්කාරණයේ බියවූහ. තවත් සමහරු ඔහු තමන්ගේ දේශපාලන වේදිකාවට ගොඩකර ගැනීම සඳහා නිරර්ථක උත්සාහයක් දැරූහ.මේ දෙ අංශයම බැහැර කළ ඔහු බල දේශපාලන පොරයෙන් බැහැරව අව වරප්‍රසාදිත සුළු මිනිසුන් බලවත් කිරීමේ දුෂ්කර දේශපාලනයක නියැලුනේය.
රටක් වටින මිනිසකු වන ඔහු රත්නපුරයේ අපට සුවිශේෂය. ගාල්ලේ ඉපදුනේ වුවද ඔහු තම පියාගේ ව්‍යාපාරික ජීවිතය නිසා ළමා කාලය ගත කළේ බළන්ගොඩ මැද්දේකන්ද නම් පිටිසර දුෂ්කර ගම්මානයේය. ඔහු ප්‍රාථමික,පංති සඳහා ඉගෙන ගත්තේ එගම පිහිටි සිංහල විදුහලේය.
ගැමි ජන ජිවිතයේ සහ පීඩිත මිනිසුන්ගේ දිවි සැරිය තුළ රැක ගත යුතු සාර ධර්මද බැහැර කළ යුතු අගතීන්ද පවතින බව හෙතෙම අද්දැකීමෙන් පසක් කරගත්තේ සිංහල දුප්පත් ගොවීන් සහ දුප්පත් දෙමළ වතුකම්කරුවන් පිරුණ මේ කඳුකර ගම්මානයේදී විය යුතුය.
සර්වෝදය ව්‍යාපාරය බ්හිකිරීමෙන් පසුවද රත්නපුරය ආරියරත්නගේ ජය භුමියක්ම විය. හේන්පිටගෙදර ඤාණසීහ හිමි සමග පැල්මඩුල්ල පාතකඩ ප්‍රජා නායකත්වය භික්ෂු පුහුණු විද්‍යාලය බ්හිකිරීමට ඔහු පුරෝගාමී විය. රත්නපුරයේ දුෂ්කර ගම්මන රාශියක් සර්වෝදය නිසා නවෝදයක් අත් පත් කරගත් අතර ප්‍රජාසේවා වෙනුවෙන් කැප වුන සමාජ මැදිහත් කරුවන් රැසක් මේ ප්‍රදේශය තුළින් රටට බිහි කර දීමට ඔහු මුලිකත්වය ගත්තේය.
ආරියරත්න කරන දේ කියන කියන දේ කරන විවෘත මිනිසෙකු ලෙස දිවි ගෙව්වේය. ඔහු තම ජීවිත කතාව 'භව තන්හා' නමින් සිංහල හා ඉංග්‍රීසි බසින් ලියා තැබුවේය. එය වෙළුම් සතරක් පුරා දිග හැරුණ මහා ජීවන වෘත්තාන්තයකි. නිදහසින් පසු ලංකාවේ නූතන සමාජ දේශපාලන ඉතිහාසය හදාරන්නෙකුට කිසිසේත් මග හැර යා නොහැකි ඉතිහාස ආඛ්‍යානයකි.
@කරූ පරණවිතාන
හිටපු නියෝජ්‍ය අමාත්‍ය,
එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති.