SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

දැනට මද කලකටපෙර විදුලි වේගයෙන් පුවත් මවන්නෙකුව සිටි පාලිත තෙවරප්පෙරුම මියගිය පුවත ඊයේ සන්ධ්‍යාවේ ලැබෙනවිට බක්මහ අකුණු පුපුරුවමින් අහස සිටියේ ගෝරියකට අරාඳිමිනි.

ඒ සමගම පාලිත මියගියේ විදුලිසැර වැදීමෙන් බවට පුවතද ලැබිණි.

 

මහජන නියෝජිතයෙකු ලෙස ඔහු ගෙවූ කාලය එක් අතකින් රන්ජන් ගේ ක්‍රියාදාම චිත්‍රපටියක් වැනි වූවේය. රන්ජන් සිනමාවේ වීරයා වී දේශපාලනයේ ගොදුර බවට පත්වෙද්දී පාලිත මහජනයා අතර වීරයෙක් වී දේශපාලනයේ ගොදුර බවට පත්වූවේය. බාහු බලී කෙනෙකු මෙන් මහ පාරෙහි ගැටළු විසඳන්නට ගිය ඔහු දේශපාලකයෙකුගේ භූමිකාවෙහි වැදගත්කම සැලකිල්ලට ගත්තේ නැති. ක්‍රමය වෙනස් කිරීමට සටන් කරනු වෙනුවට ක්ෂණික විසඳුම් දෙන වීරයෙකු වන්නට ගිය ඔහු මහජනයාගේ වීරයෙකැයි යන හැඟුමෙන් ආශ්වාදය ලැබීය.

 

කම්හලක සෞඛ්‍ය විරෝධී ප්‍රතිපත්තියකදී වහා එහි කඩා පැන බාහු බලයෙන් එය විසඳන්නට ඔහු තැත් කරද්දී කම්හල් හිමියෝ තාවකාලිකව පසු බැස සූක්ෂම ලෙස යලි සිය වැඩ කරගෙන ගියෝය. ඔහුගේ බොහෝ සටන් නිම වුනේ එලෙසිනි.

 

කෝවිඩ් සමයේ ඔහු විශේෂිත මැදිහත්වීමක් කලේය. වර්ගවාදය හිස නගද්දී ඔහු නිබයව පීඩිතයා වෙනුවෙන් පෙනී සිටියේය.තමන් මහ පාරේ චන්ඩියෙකු, පාදඩයෙකු ලෙස හංවඩුගසමින් සුදු වත හැඳි දේශපාලුවෝ ගේම ගසද්දී ඔහු පොලිස් කූඩුවේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට සැහැල්ලු සිනහවෙන් පසුවූවේය.

 

සිය පුතුගේ අකල් මරණය තරම් ඔහු සසල කරන්නට අන් කිසිවකට නොහැකිවිණි. පුතු වෙනුවෙන් තෙත්වූ දෑස කිසිදාක හෝ වියැලුනේ නැති.

 

සංස්කෘතික නියෝජ්‍ය ඇමති ලෙස වරෙක වේදිකාවේ සිටියදී ඒ ඉදිරිපිට කලන්තය හැදී වැටුන අයෙකු ඔසවාගෙන රෝහලට දුවන්නට වේදිකාවෙන් පැන්නේ පාලිතය. ඒ චිත්‍රපට ජවනිකාවක් මෙනි.

 

තමන් සමග පාර්ලිමේන්තුව නියෝජනය කල අනෙක් හාදයන් ජනයාගෙන්ම සූරා කෑ ධනයෙන් මිනිසුන්ට සීනී බෝල බෙදද්දී පාලිත කොස් කඩාගෙන ගෙදර බත් මුට්ටියද ගෙන මිනිසුන් අතරට ගියේය. ඔහු කොකිස් බැද්දේ ජනයා සෙක්කුවේ ලා හිඳගත් තෙලෙන් නොවේ.

 

පුද්ගලික මැදිහත්වීම, ස්වකීය කායික සහ වාචික ශක්තිය ගැනම විශ්වාසය තැබූ ඔහු මේ මජර ක්‍රමය වෙනස් කිරීම පිණිස මහජන නියෝජිතයෙකු ලෙස තමන් සතු වගකීම කිසිවිටෙක හෝ වටහා ගත්තේ නැති. එසේම ඔහු තමන් වීරයෙකු කරගෙන කර මත තබාගන්නා ජනයා කර පිස දමන මොහොත දැන සිටියේද නැති. සමාජය වෙනස් කිරීමට කේවල සටන් ඉක්මවා යන දැවන්ත බලයක් ඇවැසි බව නොතකා හල ඔහු තමන් වෙත පිදෙන වීරාභිවාදනයන් ගෙන් සැනසී, පරාජිත භූමිකාවට ආ කල පොල් වත්තට පසු බැස්සේය.

 

ඔහු පුවත් මවන්නෙකුව සිටි අවධියේ වරෙක මට ඔහු හමුවිණි. ඒ ඔහු වටා සෙනග පොදිකෑ යුගයයි. ලද අවසරයකදී මම ඔහුට දේශපාලනය යනු බාහු බලය නොවන බවත් කේවල මැදිහත්වීම් ඉක්මවන,සාමූහික සහ දැක්මක් සහිත භූමිකාවක් වඩා වැදගත් බවත් කීවෙමි.

මදක් මදෙස බලා සිටි ඔහු සිය සරම දෙපා අස්සේ රුවාගෙන සිනහවක් පෑවේය.

"ඒ වුණාට මහත්තයො මිනිස්සු මගෙන් ඉල්ලන්නෙ එහෙම මැදිහත් වීමක්නෙ."

ඒ ඔහු සුහද ලෙස එදා මට දුන් පිලිතුරයි.

 

දේශපාලනය ඔහුට බොහෝ පාඩම් උගනවා තිබිණි. පොල්වත්තේ විදුලි වයර පැටලෙන විටත් ඔහුට ඒ පාඩම් සිහිවන්නට ඇත. එහෙත් ඔහු උගත් පාඩම් වලින් වැඩගත්තේ නැත. එසේ උගත්තේ නම් රන්ජන් වරද්දාගත් තැන්ද හරිගස්වාගෙන ඔහුට යලි නැගෙන්නට ඉඩ තිබිණි.

 

කෙසේ වුවද දියවන්නා පාලමෙන් එගොඩවෙන සුදු රෙද්ද මෙන්ම යුරෝපීය සූට්අඳින බොහෝ තක්කඩින්ට වඩා පාලිත යහපත් මිනිසෙකි. එහෙත් මජර දේශපාලන සම්ප්‍රදායක කේවල උඩුගම් බැලීමක වැරදි ලෙස පිහිනන්නට ගොස් වරද්දගත්තෙකි.

 

ඔහු සැබෑ විරයෙකු නොවේයයි කෙනකුට තර්ක කල හැකිය. එහෙත් කෙනෙකුහට ඔහු ද්‍රෝහියෙකුයයි හංවඩුගසන්නට ද නොහැකිය. තමන් කවර කඳවුරක සිටියද මංගල මුනසිංහ අනිල් මුනසිංහ වැනි දේශපාලකයන් ගැන ප්‍රසාදයෙන් සිහිකරන, ඉන් පසුව කළුතර කලුවලක් කල පාදඩයන්ට සාප කරන මිනිසුන්ගේ හිත්වල පාලිත ගේ නික්මයාම ගැන දුකක් ඇතිවීම වලකාලිය නොහැකිය.

 

@ Chulananda Samaranayake