ජනාධිපතිවරණය වෙනුවෙන් ක්‍රමානුකූල රිද්මයක් රැල්ලක් කරගනිමින් තනි අශ්වයෙකුගේ රේස් එකක් දුවමින් ඉදිරියට ආවේ අනුරගේ මාලිමාවය.
අන්තිම මාසයේ මුල් භාගයේ සජබ වේගයෙන් ඉස්සරහට ආවේය. සජිත් හට මාලිමාව පසුකර යා නොහැකි වුවත් වර්ධන වේගය අතින් මාර්තු මාසයේ ඉස්සරහින්ම උන්නේ සජිත් ය.
අප්‍රේල් මැද පහුවෙමින් තිබේ. මේ වෙද්දී සාර්ථකත්වය තියෙන්නේ ජනතාව දිනාගැනීම ඇතුලේ නොවන බව පෙනෙමින් තිබේ. ජනාධිපති වික්‍රමසිංහ සිය නූල් සූත්තර ක්‍රියාත්මක කරමින් සිටී.
සජබ දෙදරනු ඇත. මාලිමාවේ අනන්‍යතා අර්බුදය ඔඩු දුවනු ඇත.
කුඩා පක්ෂ අභ්‍යන්තරයේ පවා ගැටුම් නිර්මාණය වනු ඇත.
දැන් එළඹ තියෙන්නේ වික්‍රමසිංහට ජැක් එක ගහනවාද නැද්ද කියා තීරණය කිරීමේ මාසයයි.
සජබ මන්ත්‍රීන් ඉන්නේ ඒ ගැන හිතමින්ය.
උත්තර සභාගය හා නිදහස ඇතුලේ තත්වයද ඒ වගේය.
පොහොට්ටුවට රනිල් අත තිබ්බේ අද ඊයේ නෙවේය. උන්ගේ අර්බුදය පවුල් ප්‍රශ්නයක් දක්වාම ගිහින් ඉවරය.
කෙතරම් ශක්තිමත් උනත් රනිල් ඉල්ලන එකක් නෑ කියා හැමෝම හිතන්නේ එයාට අත උඩින් දිනන්න ලේසි නැති නිසාය.
මේ වෙද්දී අනුර පමණක් නොව සජිත්ද රනිල් හට ඉතා ප්‍රබල අභියෝගයන් ය.
රනිල් ඉල්ලන්නේ නැති නම් පොදු අපේක්ෂකයා යන සාධකය එලියට එනු ඇත.
ඒ මොහොත වනවිට රනිල් හිතවාදී සන්ධානයක් සමග ඉන්නා සුදුසුම පුද්ගලයා පොදු අපේක්ෂකයා වනු ඇත.
හර්ෂ එරාන් කබීර් මෙන්ම තලතා උනත් රනිල් ලඟට එන්නට ඉඩ ඇත. ඒ එන්නේ ලොකු ලොකු බලාපොරොත්තු එක්කය.
සජිත් කලින්ම හර්ෂට මුදල් ඇමතිකම පොරොන්දු උනේ නිකන් නෙවේය.
හර්ෂ දැන් රනිල් ලඟට යනවා නම් යන්නේ ඒකම හෝ ඊට ලොකු එකක් වෙනුවෙන් විතරය.
සජිත්ට නොතේරෙන ගැට ටික සජබ වෙනුවෙන් ගහන්නේ ලකී සහ ජලනී එක්ක තවත් එක්කෙනෙක් ය. එයා රනිල්ගේ ආණ්ඩුවේ ඇමතියෙක් ය. සජිත්ගේ තින්ක් ටෑන්ක් එක ඔය තුන් දෙනාය.
ඔය අස්සේ පාඨලී තාමත් ජනාධිපති හීනයේ ඉන්නේ රනිල් ඉල්ලන්නේ නැති කලෙක තමන්ට වඩා සුදුස්සෙක් පොදු අපේක්ෂකයෙක් විදියට නොමැති බව දන්නා නිසාය.
පාඨලීට පරහකට හිටින්නේ රාජපක්ෂලා කෙතරම් කාලයක් රනිල්ගේ කලිසමේ එල්ලිලා ඉඳීද යන්නය.
උත්තර සභාගය වේවා ශ්‍රීලනිපය වේවා නිදහස වේවා මේවා එකකවත් presidential material එකක් පේන්නටවත් නැතිය.
සජිත් රනිල් හා අනුර හැරුණු කොට ලංකාවේ තවත් presidential material එකකට ඉන්නේ පාඨලී විතරය.
අරගලය හරහා ජනතාව ඉල්ලුවේ වෙනසක් ය. ඒ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ය.
ඒක ගේන්නට නම් මේ වතාවේ ලංකාවේ ජනාධිපති තරගය තියෙන්නට ඕනා පවුල්වාදයට පිටින් ප්‍රභූ පැළැන්තියෙන් එලියේ සිට ආවාවූ දෙදෙනෙක් අතරය.
රනිල් හෝ සජිත් ඔය ජනතාව ඉල්ලූ වෙනස සංතෘප්ත කරන්නේ නැතිය.
අනුරට එරෙහි අපේක්ෂකයා පාඨලී වන්නට ඕනෑ යයි අප එදා සිට කියන්නේ ඒ ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක උදෙසාය.
කිසිවක් නොමිලේ ලැබෙන්නේ නැතිය.
බලය ඕනෑ නම් සිය ප්‍රතිපත්ති එහෙට මෙහෙට කරන්නට වෙන බව අනුරලා උනත් පිලිගත් නිසා අර 3% මේ වෙද්දී 40% වගේ ඇවිත් තියෙන්නේය.
ඒක තාමත් ටිල්වින් සහ පැලවත්තේ එයාගේ ජොකියන්ට දරාගන්නට අමාරු උනත් බහුතරයක් මාලිමාවෝ විශ්වාස කරන්නේ හරිනිලා සිය බලය තහවුරු කර ගනීවි කියාය.
බලයට ආසා ඕනෑ කෙනෙක් කැපකිරීම් කරන්නට ඕනෑය. බලය උදෙසා ඇතැම් නායකයින් පක්ෂ පිටින් කැප කල අවස්ථා නැතුවා නෙවේය.
මාලිමාව හදාගෙන ජවිපෙ කැපකිරීම් කර ඇත්තේය. ප්‍රායෝගිකව එය අවුලක් වී අර්බුදයක් වීම නවත්තන්නට බැරි මුත් ඔවුන් දිනන්නට පුලුවන් වගේ පෙනෙනා බලවේගයක් නිර්මාණය කරගත්තේ එකී කැපකිරීම් හරහාය. ඒ කියන්නේ ජවිපෙ විනාශ කෙරෙනා බව පෙන්වීම හරහාය.
දැන් ඕනෑ අනුරලාගේ ලෙවල් එකෙන් කැපකිරීමක් කරනා එකය. එහෙම කරන්නට බය නැති මනුස්සයෙක් ඕනෑ වී තිබේ..
රටට ඕනෑ කරන්නේ තමා සතු දේ නැති කරගන්නට බය නැති නායකයෙක් ය.
තමා සතු දෑ නැති කරගන්නට බයක් නැත්නම් පාඨලී ජනාධිපති පුටුවට ඉහටත් උඩින් සුදුසුය.
@ නදීශ ද සිල්වා