රොහාන් පිළිබඳව ගුණ කථන ලබා දී තිබුනේ රොහානියානු උරුමය ("X කණ්ඩායමේ" උරුමය) යම් යම් ආකාර වලින් ඉදිරියට රැගෙන යන සිව් දෙනෙකු හටය.
එනම් සමන් කුමාර, වංගීස, විදර්ශන සහ භූපති හටයි. එබැවින් එම ගුණ කථන සිදු කිරීම සඳහා ඔවුන් සිව්දෙනා ඉතා හොඳින්ම ගැලපේ.
රොහාන්ගේ ජීවිතය පිළිබඳව සලකන්නේ නම්, ඔහු අත්නොහැර සටන් වැදී ඇත්තේ ඔහුට අභිමුඛ වූ විඳවීම් වලට එරෙහිවය. ඒ කිසිවක් අපට ඒ අයුරින් ගෝචර නොවේ. අපට දැනගත හැකි වන්නේ, ඔහුට නිතර පහරදෙන තම අයියා මෙල්ල කිරීම සඳහා වූෂු සටන් කලාව හැදෑරීම (පසුව ඔහු අයියාට පහර දී ඇත), සැර පරුෂ ඔහුගේ බාප්පා, හෙට දිනයේ ජීවත්වන ආකාරය පිළිබඳව නොසිතමින් වයස 17න් නිවසින් පිටව යෑම, තම මුසොල්මානු සම්ප්‍රදාය සහ උරුමයන් සහමුලින්ම පාහේ අත්හැරීම (ඔහු තම නිවස සමග සම්බන්ධය දැඩි ලෙස දුරස්කරනුයේ එය අත්හැරීම සඳහාය), වැනි කාරණාය. ඒවා කෙනෙකුට ලෙහෙසි පහසු ක්‍රියාවන් නොවේ. එසේම අනෙක් අතට සිතිය හැක්කේ ඔහුට එසේ කිරීම සඳහා දරා ගත නොහැකි පීඩනයක් එල්ලවී ඇති බවය.
රොහාන් පෙරේරාගේ මතක සටහන් - 90 දශකයේ ආදරය සඳහා හෝටන් තැන්න චාරිකාව (jayan pathirana page)
ආසියාවේ ප්‍රථම දාර්ශනිකයාගේ ගුණ කථනයේදී අවධාරණය කල ප්‍රධාන කාරණය වූයේ රොහාන් විසින් සිදුකල සුවිසල්ම කාර්ය ඇකඩමියාවට පමණක් සීමා වී තිබූ "දාර්ශනික සංවාදය" සාමාන්‍ය මිනිසුන් අතරට ද ගෙනයාම බවයි ("මහා පාරේ දර්ශනවාදය"). එසේම වංගීස විසින් පවසන්නේ රොහාන්ගේ අදහස් ඉතාම බැරෑරුම් බවය.
නමුත් රොහාන් ගොඩනැගූ සංවාදය අප කිසිදිනක ඇකඩමියාවේ නම් දැක නැත. වංගීසට ඇකඩමියාව සහ දර්ශනය නොමැතිව වචන දහයක් කතා කල නොහැකිය. ඔහුට අනුව දෙයක්, සිද්ධියක්, ක්‍රියාවක් දෙස බලන ප්‍රධාන ආකාර දෙකක් ඇති බව ගම්‍ය වන්නේ, "අපි මේ දෙස දාර්ශනිකව බැලුවොත්", "අපි මේ තත්වය දාර්ශනිකව කියවන්නේ නම්", ලෙස නිතර පැවසීම හේතුවෙනි. එනම් සාමාන්‍ය අකාරය සහ දාර්ශනික ආකාරය හෝ විධික්‍රමය යනුවෙන් දෙකක් ඔහුට අදාලව පවතී. ඔහුගේ එම ස්ථාවරයට අනුව දාර්ශනිකව දෙයක්, සිද්ධියක්, ක්‍රියාවක් පිලිබඳ විමසිය හැක්කේ දාර්ශනිකයින්ට පමණි.
වංගීස සඳහන් කරනා අනෙක් ප්‍රධාන කාරණය වන්නේ රොහාන් ජීවිතයෙන් දැඩි කැපකිරීමක් කල බවය. වංගීස ද එම කැපකිරීම සඳහා උත්සාහ කරන බවයි. ප්‍රධාන ප්‍රශ්නය මෙයයි. දේශපාලනය යනු සවිඥානික කැප කිරීමක් ලෙස සැලකීමම සහ ඒ ස්ථාවරයෙන් ක්‍රියා කිරීමම විමුක්ති දේශපාලනික අර්ථයෙන් විරුද්ධාබාසයකි. වංගීස දිගින් දිගටම කීවේ "මම කරන වැඩ", "මගේ කැප කිරීම", "මම උත්සාහ කරනවා කැපකිරීම් කරන්න", වැනි "මම" පිලිබඳවය. එනම් "මගේ මම" පිලිබඳවය. වංගීසගේ එම ස්ථාවරයෙන් ප්‍රකට වන්නේ, සහ ඔහු විසින් ඍජුවම ප්‍රකාශ කල පරිදි ද වංගීස යනු රොහාන්, දීප්ති සම්ප්‍රදායේ ඊළඟ අනුප්‍රාප්තිකයා තමන් බවය. එනම්, රොහාන් සහ දීප්ති යොමු කල අඩි පාරේ ගමන් කරන බවය.
රොහාන් පෙරේරාගේ මතක සටහන් - 90 දශකයේ ආදරය සඳහා හෝටන් තැන්න චාරිකාව (jayan pathirana page)
රොහාන්ගේ ජීවිතය දෙස බලන්නේ නම් එය කිසියම් පරමාදර්ශ ගුරු කරගැනීමක් ලෙස සැලකිය නොහැකිය. එනම්, සමාජයේ ඇති නොයෙකුත් පරමාදර්ශ බවට පත්වීමට උත්සාහ කිරීමක් සේ සැලකිය නොහැකිය. ඔහු සිටියේ ඔහුට අත්ව තිබූ ඉරණම තුල සටනකය. නමුත් රොහාන්ගේ කැපකිරීම් තමන් හට ඒ අයුරින්ම සිදු කල හැකිදැයි සැක සහිත බව කෙනෙකු පවසන විට එය රොහාන්ට කිසි ලෙසකින් අදාළ කාරණයක් නොවේ. ඒ රොහාන් කැප කිරීමේ අර්ථයක් දරා නොසිටි බැවිනි (රොහාන් විසින්ම තමන් කැප කොට ඇතැයි පවසා තිබිය හැකි වුව ද).
වංගීස උදාහරණයට ගන්නේ නම්, ඉතාම සබුද්ධික ලෙස දාර්ශනිකයෙකු බවට පත්වීම තෝරා ගන්නේ අධ්‍යාපනය තුලින් වෙන යම් ඉලක්කයකට යා හැකි නොවූ තැනය. ඔහු එසේ කරනුයේ ද දාර්ශනය යනු සියල්ලට ඉහලින් පිහිටි අසම සම විෂය ලෙස සලකමිනි. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔහුගේ පියාගේ සහය ලබා ගැනීම, මහින්ද හරහා බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයකට යාම වැනි ක්‍රියාවන් මෙන්ම ඔහු ඉතා සබුද්ධික ලෙස සංකේත බලය සහිත චරිත සමග ගනුදෙනු කරන ආකාරය දෙස බැලූ විට මේ බව වටහා ගත හැකිය.
උවිඳු කුරුකුලසූරිය රොහාන් ගැන ලියා තිබූ ලිපියක මාතෘකාව වූයේ " මුදලට මාක්ස් පංති පැවත්වූ පළවෙනියාගේ නික්ම යාම" ලෙසයි. එහිදී ඔහු අවධාරණය කොට තිබුනේ මුදලට මාක්ස් පන්ති පැවැත්වීම ඔහුට අවුල් සහගත වූ බවත්, එය වාමාංශික සම්ප්‍රදාය නොවන බවත්ය. සමසමාජයේ සිට ජවිපෙ දක්වා කිසිඳු දේශපාලන පක්ෂයක් මුදලට මාක්ස්වාදය උගන්වා නැත. නමුත් ඒවායේ පන්ති පැවැත්වීම ඇතුළු කටයුතු පවත්වාගෙන යාම සඳහා යම්කිසි ව්‍යුහාත්මක විධි ක්‍රම තිබුණි. ඒවාට සහභාගී වූයේ සමාජවාදය අපේක්ෂා කල මිනිසුන් ගැහැනුන්ය.
නමුත් 90 දශකයේ තත්වය එසේ නොවේ. පළමුව රොහාන් වෙත ද, පසුව දීප්ති (දීප්තිගේ පරමාදර්ශය සහ මහා ආභාෂය වූයේ රොහාන්ය) ද කරා පැමිණි පිරිස් පැමිණියේ සමාජවාදය වෙනුවෙන් නොවේ. එම පන්ති වලට සහභාගී වූ පිරිස් වල විවිධාකාර අවශ්‍යතාවයන් විය. ඒවාට සහභාගී වූ බහුතරය කැපී පෙනෙන ලෙසම සිනමාකරුවන්, නාට්‍යකරුවන්, නවකතා-කෙටිකතා ලියන්නන්, විචාරකයින්, පරිවර්තකයින්, අචාර්ය-මහාචාර්යවරුන්, දාර්ශනිකයින්, වීම සඳහා පෙරුම් පුරනා අයයි. තවත් ආකාරයකින් පවසන්නේ නම් පරමාදර්ශ ගුරු කොටගත් බවක් ප්‍රකට නොවූ රොහාන් වෙත පැමිණියේ පරමාදර්ශ හඹා යන තරුණ තරුණියන්ය (රොහාන්ගේ අවමගුල් ගුණ කථනයන් භාර වී තිබුනේ ඒ ආකාරයෙන් සාර්ථක වූ චරිත හතරකයට). එම තත්වය තුල රොහාන්ගේ පැවැත්ම සඳහා ඔවුන්ගෙන් මුදල් අය කිරීමට සිදු වේ. එසේ නොමැතිව ඔහුට ජීවත්විය නොහැකිය.
ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය වන ලංකා සම සමාජ පක්ෂය පිහිටුවීමේ පුරෝගාමීන් වන්නේ ප්‍රභූ පවුල් පැලන්තියකට අයත් විදෙස් රටවල අධ්‍යාපනය ලැබූවන්ය. ඔවුන් බොහෝ දෙනෙකු ආර්ථික විද්‍යාව, නීතිය වැනි විෂයන් හැදෑරු අයයි. පසුව ඊට ගණිත විද්‍යා ක්ෂේස්ත්‍රවල අයද එකතු වේ. එවැනි ප්‍රභූ පවුල් සම්භවයක් ඇති ඔවුන් විදෙස් රටවලදී මාක්ස්වාදය වැළඳගැනීමට මුල් වූ ප්‍රධාන හේතුව ලෙස සැලකෙනුයේ එම රටවලදී ඔවුන් සමාජීය වශයෙන් කොන්වීම, ඔවුන් පීඩාවට පත්කරන ආධිපත්‍යධරීත්වයක් ඇති බව හැඟී යාම සහ ඒ වන විට ඉංග්‍රීසින් සමග කටයුතු කරමින් ලංකාව තුල ස්වේදේශිය දේශපාලන බලය හිමිකොටගෙන තිබූ පිරිස් කෙරෙහි වූ ඔච්චම්සහගතභාවය (ඔවුන් ඉදිරි සමාජ පියවර ගැන නොදන්නා නූගතුන් ලෙස සැලකීම) හේතුවෙනි. එනම්, උගතුන් ලෙස තමන් (සම සමාජයේ විදෙස් උගතුන්) සමාජ සංවර්ධනයේ අනීවාර්ය ඉදිරි පියවර (සමාජවාදය බව) "දන්නා" බවත්, දැනට ඉංග්‍රීසීන් සමග කටයුතු කරන මෝඩයින් එසේ නොවන අය බවටත් වන හැඟීම තුලය. සමසමාජය දේශපාලනයට පිවිසෙන්නේ එම "දැනුම" තුල සහ තවත් ආකාරයක බුද්ධිමය ආධිපත්‍යයක් සංස්ථාපනය කරමිනි. මේ තත්වය හොඳින් වටහාගත හැක්කේ සමසමාජයෙන් වෙන්ව නව සම සමාජ පක්ෂය පිහිටුවා ගැනීම තුලය. සම සමාජයෙන් කැඩී නව සම සමාජය පිහිටුවාගන්නා පුරෝගාමීන් විද්‍යා-ගණිත උගතුන්ය. රෝහණ විජේවීරට පවා අනන්‍යතාවය ගොඩනැගෙනුයේ ඔහු රුසියාවේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ගොස් පැමිණි අයෙකු ලෙසය. විජේවීර නිතරම පැවසූ කාරණය වූයේ "අපට ද්විඝටනාත්මක භෞතිකවාදය උගන්වන්න අයිතිය තියනවා... ඒ අයිතිය නැති කරන්න බැහැ" යනුවෙනි.
අවුරුදු 17න් නිවසින් පලා ආ සාමාන්‍ය පෙලට හෝ පෙනී නොසිටි කොලුවෙකු තමන් වටා තරුණ තරුණියන් එකතු කරගන්නේ ඉහත සඳහන් කල වාමාංශික පක්ෂ වල පුරෝගාමීන් සතු වූ සංකේතීය බලය නොමැතිවය. ඔහුට තිබූ එකම හයිය වූයේ පවුලෙන් ඔරුම වූ ඉංග්‍රීසි දැනුම පමණි. රොහාන් යනු වාමාංශික ඌරුවේ පරමාදර්ශ මත පදනම් නොවුවෙකු වන්නේ එබැවිනි. එසේම වාමාංශික පූර්වජ නායකයින් සතු වූ ඇකඩමික ආධිපත්‍ය ඔහු සතු නොවීම ඔහුට අදාළ කාරණයක් නොවීය. 80 දශකයේ අග වන විට රොහාන් "බුද්ධ" ලෙස හැඳින්වූයේ මේ නිසා විය හැකිය. එනම් රොහාන් යනු පැහැදිලි ලෙසම තමන්ගේ ප්‍රශ්නයක්, විඳවීම් වලට එරෙහිව සටන් වැදුණු අයෙකු මිස මානව සංහතියේ උන්නතිය උදෙසා කැප කිරීම් කල අයෙකු නොවේ.
නමුත් රොහාන්ට ද කිසි දිනක දැනුම්වාදී වීමෙන් සම්පූර්ණයෙන් ගැලවිය නොහැකි විය (ඔහු දීප්තිට වඩා බොහෝ සෙයින් ඉන් මිදී ඇති බවක් පසු කාලීනව ප්‍රකට කළේය). එක් පසකින් ඔහු දැනුමට එරෙහි වන විට අනෙක් පසින් ඔහුටම හොරෙන් ඔහු දැනුම්වාදියෙකු විය.
උදාහරණයක් ලෙස සලකන්නේ නම්, රොහාන් විසින් මිය යනතුරුම මනෝ විශ්ලේෂණය සලකන ලද්දේ විද්‍යාවක් ලෙසය. රොහාන් විසින් ගොඩනැගූ මනොවිශ්ලේෂණ සංවාදය සැලකුවහොත්, මේ වන විට අප විසින් රොහාන් ගොඩනගා, "X කණ්ඩායම" ඉදිරියට ගෙනගිය සංවාදය ප්‍රශ්නකොට අවසන්ය. නමුත් නිතරම රොහාන් සහ "X" උරුමය ආරක්ෂා කිරීම පිළිබඳව දොඩවන වංගීස හෝ වෙනත් කිසිවෙකුත් එම ප්‍රශ්න කිරීම් ප්‍රශ්න කොට නොමැත.
ඒ වෙනුවට වංගීස පවසනුයේ ඒවා වැරදියි, ලකානියානු ස්ථාවරය ඕක නෙවෙයි, ඕවා මාධවගේ මනස්ගාත වැනි දේව වාක්‍යන්ය. වංගීසගේ දේව වාක්‍යයන් පිළිබඳව වංගීස අදහන නිර්මාල් වැනි අය හෝ ප්‍රශ්න කිරීමට ඉදිරිපත් නොවේ. අප ගෙන එන සංවාදය වෙත මේ කිසිවෙකුත් මැදිහත් වීමට අකමැති වන්නේ එසේ වුවහොත් වංගීස විසින් සඳහන් කරනා මේ රෝහානියානු උරුමය ඔවුන් වෙතින් ගිලිහී යන බැවිනි. එසේ වුවහොත් තමන්ට තමන් අහිමි වේ.
@spartacus lipi
ඡායාරූප - Jayan Pathirana fbpage
(රොහාන් පෙරේරාගේ මතක සටහන් - 90 දශකයේ ආදරය සඳහා හෝටන් තැන්න චාරිකාව)