SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා

ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට දැනට තීරණය කර සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ව්‍යවසායක ජනක රත්නායක සහ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරකුවන ඉශාන් ජයවර්ධන යන අපේක්ෂකයින් ය.

 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂටද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස එම පාක්ෂිකයෝ පසුගියදා ඉල්ලීමක් කළහ.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසා ඇත්තේ එම ඉල්ලීම සම්බන්ධයෙන් තමාගේ තීරණය ඉදිරි සති කිහිපයේදී දැනුම් දෙන බවයි.

 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තවමත් තීරණය කර නොමැත. මේ සම්බන්ධයෙන් එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසන්නේ ජනාධිපතිවරයා කවුදැයි තීරණය කිරීමේ බලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට බාරදී ඇති බවයි.

 

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එම පක්ෂයේ මැයි දින රැලියේදී ප්‍රකාශයට පත් කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

 

ජනාධිපතිවරණය සඳහා ඉදිරියේදී තවත් අපේක්ෂකයන් එක්වීමට නියමිතය. මේ අනුව ජනාධිපතිවරණයක් වෙනුවෙන් වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

 

@ලංකාදීප