SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අතුරලියේ රතන හිමි - පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ ජනබල පක්ෂය

 

  • පඬිවරයෙක් වගේ හිටියට මේ රට ගොඩනගන්න මේ ජනාධිපතිට බෑ
  • ගෝඨාභය එළවන්න කුමන්ත්‍රණය කළේ එයාගෙම සහෝදරයා
  • පාලකයා ජාතික ප්‍රතිපත්තියකට යටත් කරන්න ඕනෑ

 

Q ඔබවහන්සේ දේශපාලන කරළියේ වැඩ ගොඩක් කළ කෙනෙක්. ඒත් පහුගිය කාලේ පේන්නවත් හිටියේ නෑ. මොකද දේශපාලනය ගැන කලකිරීමකද ඉන්නේ?

කලකිරීමකට වඩා මම ලොකු හිරවීමක හිටියේ. මම ඉල්ලුවේ අපේ ජනබල පක්ෂයෙන්. පස්සේ ඒ අය මාව නඩු හබවල පැටෙලෙව්වා. ඒ නිසා මම හිරවුණා. ඒත් පස්සේ හැම එකකින්ම නිදහස් වුණා. මම ඒ දවස්වල මාධ්‍ය ප්‍රචාරය ලබාගත්තේ නෑ. ඒත් හුඟක් වැඩ කළා. මම පාසල් දරුවන්ට, ගැබිණි මව්වරුන්ට විශාල ව්‍යාපෘති ගොඩක් කළා. ඒ නිසා මම හිතුවා කාලයක් නිහඬව ඉන්න ඕනෑ කියලා. ප්‍රශ්න ගොඩක මම පැටළුණා. නොගැලපෙන මිනිස්සු එක්ක මම දේශපාලනය කළා. අනික මට සංවිධානාත්මක ලෙස පහරදෙන ක්‍රමයකුත් තිබුණා.

 

Q පහුගිය කාලයේ තරුණයෝ, පුරවැසියෝ ලොකු අරගලයක් කළා රටේ පාලනයට එරෙහිව. ඒත් රතන හාමුදුරුවෝ පේන්නවත් හිටියේ නෑ?

අරගල භූමියට අනුර කුමාරටවත්, සජිත්ටවත් යන්න බැරි තත්ත්වයක් තිබුණෙ. එතැන වෙන කල්ලියක් විසින් මෙහෙයුවේ. අරගලය යම් තැනකට අරගෙන ගිහිල්ලා යම් සමාජ ප්‍රතිසංස්කරණය කිහිපයක් කරගන්න අපිට උවමනාවක් තිබුණා. ඒ ගෝඨාභය එළවලා රට අරාජික කරන්න නෙවෙයි. යම් ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදුකර ගන්න. ඒත් අපිට ඒකට මැදිහත් වෙන්න වුණේ නෑ. අමුතු කල්ලියක් හිටියේ.

 

Q ගෝඨාභය රාජපක්ෂට රසායන පොහොර නවත්තලා කාබනික පොහොර ගේන්න ඕනෑ කියන වැරදි උපදෙස දුන්නේ ඔබවහන්සේ කියලයි කියන්නේ. ඇයි එහෙම දෙයක් කළේ?

ගෝඨාභය බලයට ආපුවම මම ගොඩක් අවස්ථාවල ඔහුව හම්බවුණා කියලා ගොඩක් අය හිතනවා. මම පෞද්ගලිකව එයාව හම්බවෙලා තියෙන්නෙ අවස්ථා දෙකකදී විතරයි. ඒත් විනාඩි දහයකට. එයා ජනාධිපති වුණාම මට හම්බවෙන්න බැරි වුණා. ඔය කැබිනට් පත්‍රිකාව දැම්මේ 2020 වගේ. එතකොට ආර්ථික අර්බුදය ඇවිල්ලා තිබුණෙ. ඔය උපදෙස දීලා තිබුණෙ පී.බී. ජයසුන්දර. මොළේ තියෙන කෙනෙක් දන්නවා මේ වස විසෙන් තොර ගොවිකම සිදු කරන්න අවම වශයෙන් අවුරුදු තුනක්වත් ඕනෑ කියලා. අපෙන් මේ කිසිම විමසීමක් කළේ නෑ.

 

Q ඒත් ඔබවහන්සේ මේකට සම්බන්ධයි කියලා ප්‍රචාරය වුණේ කොහොමද?

මම හිතන්නේ රසායනික පොහොර සමාගම් විසින් තමයි ඔය කතාව ඇරියේ. ඒ සමාගම් හරිම බලවත්. ඒ අය සූක්ෂමව මාව විනාශ කරන වැඩපිළිවෙළක් අරන් ගියා මාධ්‍ය එක්ක. මට පස්සේ ඒක දැනුණෙ.

 

Q වස විසෙන් තොර ගොවිකම නම් රතන හාමුදුරුවෝ තමයි බ්‍රෑන්ඩ් එක කියලා හිතුණු කාලයක් තිබුණා?

ඔව් ඔව් ඒක ඇත්ත. ඔය කාරණයයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එක්ක තිබුණු සබඳතා නිසයි ගොඩක් අය හිතුවේ මම මේ කාබනික පොහොර වැඩේට සම්බන්ධ‍යි කියලා. මිනිස්සු එහෙම හිතන එකේ අසාධාරණයක් කියන්නත් බෑ මට. හැබැයි එකක් කියන්න ඕනෑ. ඒ සඳහා 45 දෙනකුගෙන් යුක්ත කමිටුවක් පත් කළා. ඒකෙවත් මගේ නම නෑ. ඒ මම මේකට සම්බන්ධ නැති නිසා. ඒකේ සභාපති හිටියේ බැසිල් රාජපක්ෂ. ඒ නිසා අපිට ජනාධිපතිවරයා සමඟ සම්බන්ධ වෙන්න ඔහු ඉඩක් තිබ්බේ නෑ.

 

Q ඒ වුණාට දැන් වස විසෙන් තොර ගොවිකම ආයේ කරනවා බොරු?

ඔය හදිසි පිළිවෙළක් නැති මුග්ධ වැඩේ කළේ එයාල. ඒක මම දකින්නේ කුමන්ත්‍රණයක් හැටියට. ඇත්තටම අරගලකරුවෝ නෙවෙයි කුමන්ත්‍රණ කළේ ගෝඨාභය එළවන්න. එයාගෙම සහෝදරයා බැසිල්.

 

Q ඔබවහන්සේ  උදව් කළා ගෝඨාභය ආණ්ඩුවට. ඒත් දැන් කියනවා සහෝදරයෝ කුමන්ත්‍රණ කළේ කියලා. ඇත්තටම මොකක්ද ගෝඨාභය රාජපක්ෂට වුණේ?

මම ගෝඨාභය රාජපක්ෂව හොරෙක් දූෂිතයෙක් හැටියට දකින්නේ නෑ. මම දකින්නේ ඔහු මුග්ධ උද්දච්ච කෙනෙක් විදිහට. එයාට අනවශ්‍ය බන්ධනයක් තිබුණා එයාගේ දරුවෝ බලන එකයි අවසානයේ ඇමෙරිකාවට යන එකයි. ඒ නිසා එයා ඇමෙරිකාව ආරක්ෂාව කරගෙන ගියේ. අඩුම තරමින් ජනපති වුණු ගමන් චීනෙන් කතා කළා, ගියේ නෑ. ඒ අතින් රනිල් බලන්න, ඉරාන ජනාධිපතිව ගෙන්නුවනේ. ඔහු බය නැතුව ඒක කළා. ඒත් ගෝඨාභයට එහෙම බෑ. ඔහු දුර්වල දේශපාලන නායකයෙක්.

 

Q රනිල් වික්‍රමසිංහ මහත්තයා කෙළින් වැඩ කරනවා කිව්වනේ. දැන් ඔහු මේ රටේ පාලකයා. ගතවුණු කාලය ගැන ඔබවහන්සේගේ අදහස මොකක්ද?

ඔහුට ඕනෑ බලය. එයාට ඉන්දියාව මේ වෙලාවේ නෑ කියලා දන්නවා. ඒක හන්දා එයා ඕනෑ කෙනෙක් එක්ක වැඩ කරනවා. ඉරාන ජනාධිපති ගෙන්නුවේ ඒ නිසා. එයාට චීනෙන් කතා කළත් යනවා. එයාට එහෙම රට ගැන අදහසක් නෑ. එයා පඬිවරයෙක් වගේ හිටියට එයාට මේ රට ගොඩනගන්න වැඩක් නෑ.

 

Q එහෙම කිව්වට පොහොට්ටුවේ සමහර අය කියන්නෙත් රනිල් තමා හරියන්නේ කියලා?

බැසිල් ඇතුළු පොහොට්ටුවේ අයට ඕනෑ පණ බේරගන්න. ශක්තිමත් නායකයෙක් හැදෙනවට කැමැති නෑ. ඒ හිරේ යන්න වෙනවා කියලා දන්න නිසා. ඒ නිසා ඒ එය හොයන්නේ පණ බේරගන්න පුළුවන් කෙනෙක්. ඒකයි රනිල් වික්‍රමසිංහ හොඳයි කියන්නේ.

 

Q සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් ජනතාවට යම් තීරණාත්මක තැනකට ඇවිල්ල තියෙනවා. ඔබවහන්සේ මේ දෙකෙන් කාටද උදව් කරන්නේ?

අපි ඒ දවස්වල සාපේක්ෂව නායකයෝ තේරුවා. මොකද අපිට ඉල්ලලා දිනන්න බැරි නිසා. ඒ නිසා නරකම මිනිහා වෙනුවට ටිකක් හොඳ මිනිහෙක්ට උදව් කරන්න අපිට ඒ කාලේ සිද්ධ වුණා. ඒත් මේ වෙද්දි රටේ ලොකු ඉඩක් ඉල්ලුමක් තියෙනවා ජාතික ව්‍යාපාරයකට. අන්න ඒක ගොඩනගලා ඒ ජාතික ව්‍යාපාරය යටතට ඕනෑම නායකයෙක් ගන්න එක තමයි අරමුණ විය යුත්තේ. මොකද සජිත්ගේ පිල පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමක් හැටියට හැදිලා නෑ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කොමියුනිස්ට් පක්ෂයක්. ඒ අය සාමූහිකව තීන්දු ගන්නේ. ඒකෙ සාර්ථක වීම් වගේම අසාර්ථක වීම් තියෙනවා. ඒ නිසා දැන් බලන්න ඕනෑ අපි පාර්ලිමේන්තු යන එක නෙවෙයි. ඒ වගේම අරයා හොඳා මෙයා හොඳා කියලා නෙවෙයි. යම් ප්‍රතිපත්තියකට පාලකයා යටත් කරගන්න ජනතා බලයක් හදන එක තමයි මගේ වගකීම. දැන උගත් මධ්‍යස්ථ පිරිසක් ලබාගන්න එක තමා මගේ වගකීම.

 

Q ඒ කියන්නේ එන පාලකයගේ බෙල්ලට තොණ්ඩුවක් දාලා යම් ප්‍රතිපත්තියක හිර කරන්නද හදන්නේ?

ඇත්ත වශයෙන්ම. අපේ ජාතික ව්‍යාපාරයට යටත්ව තමයි පාලකයා ඉන්න ඕනෑ. මම කාවවත් මනින්න යන්නේ නෑ. ඒත් පාලකයගේ පක්ෂ ප්‍රතිපත්තියට පෞද්ගලික ප්‍රතිපත්තියට යටත් නොවන ජාතික ව්‍යාපාරයක් තමා අපි හදන්න ඕනෑ. ඒ නිසා අපි අලුත් විදිහට හිතන්න ඕනෑ අපිට වගවීම තියාගන්නේ කොහොමද කියලයි.

 

සාකච්ඡාව - ගයාන් ගාල්ලගේ

උපුටාගැනීම - දේශය

නවතම ලිපි