SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුක්තිය මෙහෙයුමට පසුව මේ වනවිට පොලිස් ක්ෂණික විහිදුම් බලකායක් ආරම්භ කොට තිබේ.

එහි අරමුණ යතුරුපැදි වලින් පැමිණ වෙඩි තබා යන අය ක්ෂණිකව අල්ලා ගැනීමයි. යතුරුපැදි වලින් පැමිණ වෙඩි තබා යාම් එතරම්ම බහුල වී ඇත.

 

 

යුක්තිය මෙහෙයුම පැහැදිලිවම ක්‍රියාත්මක කරන ලද්දේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමිනි. මෙය ද එහිම තවත් ප්‍රවණතාවයකි. උගත්-වැදගත් මධ්‍යම පන්තිය සහ ඉහල මධ්‍යම පන්තිය මෙවැනි සංදර්ශන වලින් පිනා යයි. නිරන්තර පොලිස් ආරක්ෂාව සහ හමුදා ආරක්ෂාව තිබීම යනු ඔවුන් සහ ඔවුනගේ දුවා දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු වීම ලෙස ඔවුන් සලකයි. එම පන්තීන් වල අය යනු "නරක වැඩ" නොකරන, මත් ද්‍රව්‍ය භාවිතා නොකරන, උගත්, ශිෂ්ට සම්පන්න, පොලීසි වලට අහු නොවන, ශීලකාමීන්ය. ඔවුනට අනුව ඔවුන් අතින් කුරා කූම්බියෙකුට හෝ වරදක් සිදු නොවේ. "නරක වැඩ" කරන්නන් හෝ දුශ්චරිත සමග ඔවුනගේ සම්බන්ධයක් නොමැත. එවැනි අය දැකීමට හෝ ඔවුන් අකමැතිය. ඔවුන්ට ඇති අති මහත් බිය වන්නේ තම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වී ඇත්ද යන්න පිළිබඳවයි. එබැවින් පාතාලයින්, කුඩු කාරයින්, හොරුන්, මිනී මරුවන් දුටු තැන ඝාතනය කරනු දැකීම ඔවුන්ගේ අරමුනයි. පවතින ආණ්ඩුව විසින් ඒ බව නිරන්තරයෙන් පෙන්නුම්කරන්නේ නම් ඔවුන් ඊට ආශක්ත වීම සිදු වේ.

 

පහලම දුගී දුප්පත් ජනයා හට "අස්වැසුම" සහ හාල් කිලෝ 10ක් ද, ග්‍රාමීය ජනයා ඉලක්ක කරගනිමින් ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ද, පහල සහ ඉහල මධ්‍යම පන්තිය ඉලක්ක කරගනිමින් ආරක්ෂාව ද, ව්‍යාපාරික කොටස් වෙත ආර්ථිකය පිළිබඳව ද තහවුරුවක් ලබා දීම රනිල්ගේ අරමුනයි. ඒ සමගින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටශයකට කෝටි 10ක් වන සේ විමධ්‍යගත අයවැයෙන් මුදල් වෙනකොට ඇත්තේ නැවතත් පොහොට්ටු මැතිවරණ යාන්ත්‍රනය ක්‍රියාත්මක කිරීම සඳහාය. එසේම පාසල් සඳහා දිවා අහාරය ලබා දීම තුලින් බලාපොරොත්තු වන ප්‍රධාන කාරණය වන්නේ පාසල් සඳහා ආහාර කොන්ත්‍රක්ත් කරුවන් ලෙස තම පාක්ෂිකයින් පත්කොට ඔවුන් මැතිවරණ යාන්ත්‍රණයේ ක්‍රියාකාරීන් බවට පත් කිරීමයි.

 

ඉහත කරුණු තුලින් පෙනීයන්නේ අතීතයේ කිසිඳු මැතිවරණයකට වෙන් නොකළ පරිද්දෙන් රාජ්‍ය මුදල් සහ රාජ්‍ය දේපල (ඉඩම්) මැතිවරණ අල්ලස් ලෙස නිල වශයෙන් ලබා දීම ආරම්භ කොට ඇති බවය. අවශේෂ වනාන්තර ද ඇතුළු ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් බෙදා දීම යනු සුළු පටු අල්ලසක් නොවේ. ඒවායේ ප්‍රතිවිපාක ඉදිරියේදී පැමිණෙනු ඇත.

 

ඉහත සඳහන් කල සියල්ල සිදු කරනුයේ ජවිපෙ බලයට පැමිණීම වලක්වා ගැනීම සඳහාය. ඉදිරියේදී ඒ සඳහා තවත් පියවර අනුගමනය කරනු ඇත. නමුත් ඒ කිසිවකට ජවිපෙට එරෙහි විය නොහැකි තත්වයක් උදා වී ඇත.

 

තත්ත්වය එසේ තිබියෙදී තම ප්‍රභූ බල පරාක්‍රමය පාවිච්චි කරමින් රාජපක්ෂ කල්ලිය ගම්මාන වලට ගොස් සංවිධාන කටයුතු අරඹා ඇත. සුපිරි රථ පෙළ, ආකර්ශනීය ආරක්ෂාව, රන්වන් පැහෙන් දිලිසෙන ශරීර සහ රැස් විහිදෙන ඇඳුම් පැළඳුම්, වැනි හැඟවුම්කාරක සියල්ල ප්‍රතිදිරිපත් කරනුයේ සුවිශේෂී ප්‍රභූවරයා සහ ඔහුගේ බල පරාක්‍රමය යන හැඟවුමයි. මිනිසුන් අවිඥානිකව මෙම සංකේත සමග බැඳෙනුයේ ඒවා "දෘෂ්ටිවාදයේ උත්කර්ශවත් වස්තූන්" හෝ ඒවා ඊට අදාලව පවතින බැවිනි.

 

දෘෂ්ටිවාදය විසින් අපගේ සමාජ යථාර්ථය ව්‍යුහගත කරනුයේ සංකේත සහ අර්ථ සමගිනි. කෙසේ වෙතත් උත්කර්ශවත් වස්තුව මෙම සංකේත රටාවට ළඟාවිය නොහැකි දෙයක් නියෝජනය කරයි. එය සංකල්පයක්, සමාජ පරමාදර්ශයක් හෝ නායක චරිතයක් විය හැකිය (නාමල් රාජපක්ෂ මේ වන විට මහින්ද රාජපක්ෂගේ පෙනුම ලබාගනිමින් සිටී). උත්කර්ශවත් වස්තුව විසින් අපව ආකර්ෂණය කිරීම සහ විකර්ෂණය කිරීම යන දෙකම සිදුකරයි. අපි එය සමඟ සම්බන්ධ වීමට කැමැත්තෙමු. නමුත් එය ලෝකය පිළිබඳ අපගේ අවබෝධයට අභියෝග කරන බැවින් එය බිය (ගරු සරු ඇති බව) සහ කාංසාව පිළිබඳ හැඟීමක් ද ඇති කරයි. යටින් පවතින ප්‍රතිවිරෝධතා ආවරණය කරමින් දෘෂ්ටිවාදය සමාජය පිළිබඳ සුසංවාදී ප්‍රතිරූපයක් ඉදිරිපත් කරයි. නමුත් උත්කර්ශවත් වස්තුව එම දෘෂ්ටිවාදය තුළ යටින් පවතින ආතතීන් සහ ප්‍රතිවිරෝධතා හෙළි කරයි. සිංහල ජාතියේ එකමුතුකම මූර්තිමත් කරන මහ රජා වී සිටියේ මහින්ද රාජපක්ෂයි. නමුත් ඔහුගේ බලය එම සමාජය තුළ ඇති අසමානතාවයන් ද ඉස්මතු කරයි (මැයි 9 සිද්ධිය ඇතිවීම). මිනිසුන් සමාජයේ ඇති තමන්ට ලඟා කරගත හැකි බව පෙනෙන පරමාදර්ශය සාක්ෂාත් කර ගැනීමට උනන්දු වෙති. නමුත් සෑම කෙනෙකුටම එය කරා ළඟා වීමට ඉඩ නොදෙන අසමානතාවයන් නොසලකා හරිති. උත්කර්ශවත් වස්තුව කෙරෙහි නාභිගත වීම පවතින තත්ත්වය පවත්වා ගෙන යන අතර පවතින සමාජ ක්‍රමය ප්‍රශ්න කිරීමෙන් මිනිසුන් වළක්වයි.

 

මැයි 9 ප්‍රභූ විරෝධී ප්‍රචණ්ඩ රැල්ල විසින් ඇති කල ප්‍රභූ විරෝධී තත්වය (උදාහරණයකට පොහොට්ටුවන් හට ගම් වලට යන විට හූ කියන ගල් ගසන තත්වයක් යුක්තිය මෙහෙයුම වැනි මෙහෙයුම් වලට පෙර දක්නට ලැබුණි) මේ වන විට නැවතත් ක්‍රමක්‍රමයෙන් ප්‍රභූන් විසින් ව්‍යර්ථ කරමින් පවතී. ප්‍රභූවරයාට ඇති බිය (ගරු සරු ඇති බව) දැන් නැවතත් තහවුරු කරමින් පවතී. අවධාරණයෙන් පැවසිය යුතු කාරණය වන්නේ මැයි 9 විධාරණය වීම දැන් නැවතත් ක්‍රමයෙන් සුවපත් වෙමින් තිබෙන බවය.

 

ජවිපෙ හෝ ජවිපෙ උපදේශකයින් මේ තත්වය තේරුම්ගන්නා බවක් නොපෙනේ. මෙම ජන රැල්ල සැදුනේ මැයි 9 ප්‍රහාරය හේතුවෙන් බව ඔවුන් තේරුම් ගෙන නොමැත. නමුත් ඒ බව පොහොට්ටුවන් සහ රනිල් හොඳින්ම තේරුම්ගෙන ඇත. තිස්ස කුට්ටිආරච්චි වැනි කට හැකරයින් වෙතින් එලියට පනින්නේ ඒවාය.

 

@ස්පාර්ටකස් ලිපි

නවතම ලිපි