ප්‍රවීණ සංගීතඥයකු, ශක්ති හා සිහශක්ති සංගීත කණ්ඩායම්වල නායකයා වූ අභාවප්‍රාප්ත ආනන්ද පෙරේරා කලාකරුවාගේ අවසන් කටයුතු
අද (29) මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
මේ ඔහු පිළිබඳ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි ගේ මතකාවර්ජනයකි.
හැත්තෑගණන්වල අවසානය වගේ තමයි මතක. ගුවන් විදුලි වාදක මණ්ඩලයේ නිමල් පෙරේරා දවසක් හැන්දෑවක බණ්ඩාර කේ. විජේතුංගටත්, මටත් ආරාධනාවක් කළේය. ඒ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයීය ශාලාවේ පැවැත්වෙන ‘කොල්ලන්ගේ වැඩක’ නිවේදන කටයුතු සඳහා පැමිණෙන ලෙසය. නිමල් අපේ ගජ සගයකු වූ නිසාත්, කොල්ලන්ගේ වැඩක් නිසාත් අපි කිසිදු ගාස්තුවකින් තොරවම ඊට සහභාගී වන බවට පොරොන්දු විමු.
ගීත ගායනා කළෝ මහනුවර ප්‍රසිද්ධ පාසල්වල කොල්ලන් සහ කෙල්ලන්ය. ඒ පළාතේම පදිංචිව සිටි ප්‍රසිද්ධ ගායකයක් කීප දෙනෙක්ද පැමිණ කොල්ලන් දිරිමත් කරමින් ගීයක් දෙකක් ගැයූහ. සිසු සිසුවියන් අතර ගායනා තරගයක් ද පැවැත්විණි.
කිංස්වුඩ් ශාලාවේ පැවැති මේ ප්‍රසංගය සඳහා සංගීතය සැපයුයේ ද නුවර පළාතේ කොල්ලන්ගෙන්ම සුසැදි බෑන්ඩ් කණ්ඩායමකි. නමින් සුපර් ජේඩ්ස් වූ මේ සංගීත කල්ලිය මගේත්, බණ්ඩාරගේත් සිත් ගත්තේ ඔවුන්ගේ සංගීතය ඔස්සේ මතු වූ නව හැඩතල නිසාමය.
‘මුං මරුනේ..!’ අපි නිමල්ට කීවෙමු.
“අපේ අයියගෙ පුතාලා දෙන්නෙකුත් සෙල්ලං කරනවා.” නිමල් කීය.
සංගීත කල්ලියෙන් වැඩි අවධානයක් දිනා ගන්නට නිමල් ගේ ඥාති පුත්‍රයෝ සමත් වූහ. එකෙකුගේ නම ආනන්ද පෙරේරාය. අනෙකා අසෝක පෙරේරාය. දෙගල්දොරුව වාසගමැති කොල්ලෙකුත් එහි සිටියා මට මතකය. ආනන්ද සහ ඔහුගේ සොයුරු අසෝක මා මුලින්ම දැන හඳුනා ගත්තේ එදාය. ඒ අතරිනුත් පසු කලෙක මට වැඩිපුර ගනුදෙනු කරන්නට සිදුවූයේ ආනන්ද සමගය. විවිධ මතවාද, සංවාද, විසංවාද පැවැතියද, ආනන්ද සහ මගේ මිත්‍රකම එදා සිට මේ වනතුරු නොවෙනස්ව පැවැතිණි.
ආනන්ද ඒ කාලයේ සිටම සුවිශේෂී කුසලතා ප්‍රකට කළේය. අතට අහුවෙන ඕනෑම වාදන භාණ්ඩයක් මේච්චල් කරගැනීමේ සහජ දක්ෂතාවක් ඔහු සතුවිය. එහෙත් ඔහු එතැනින් සෑහීමකට පත් වූයේ නැත. නිතර නිතර අභ්‍යාස කළේය. අත්හදා බැලීම් කළේය. දේශීය විදේශීය විවිධ සංගීත සම්ප්‍රදායන් හැදෑරීය.
වයලීනය, සිතාරය, මැණ්ඩලීනය, සරෝදය ඈ අනෙක් වාදන භාණ්ඩවල රස මතු කරලීමේ උරුමයක් ඔහු සතුව තිබිණි. එපමණකුදු නොව, බෙර, දවුල්, තම්මැට්ටම් ආදී භාණ්ඩයන් ද ඔහු අපූරුවට වැයුවේය. ලාංකේය සංගීතඥයන් බොහෝ දෙනෙකුට සත්සර මග පෙන්වූ විශිෂ්ට ගුරුවරයකු වූ නුවර, පොල්ගම්පොල එම්.ජී.පී. කලායතනයේ අධිපති සිරිල් පෙරේරා මාස්ටර්ගේ පිය උරුමය ඕනෑවටත් වඩා ආනන්දට පිහිටා තිබුණු බව මගේ විශ්වාසයයි.
වාදකයකු ලෙස සංගීත පටිගතකිරීම්වලදී කැපී පෙනුණු ආනන්දට පුළුල් ජනතා ආකර්ෂණය දිනා ගැනීමට පසුබිම සැලසෙන්නේ ‘ශක්ති’ සංගීත කණ්ඩායම ඔස්සේය. ඇන්තනී සුරේන්ද්‍ර සමග ආනන්ද එක්වීම පෞද්ගලිකව ඔවුන් දෙදෙනාටත්, පොදුවේ මෙරට සංගීත ක්ෂේත්‍රයටත් සිදුවූ වාසියකි.
ජනප්‍රිය ධාරාවේ සංගීතමය ගනුදෙනු සඳහා ලෝකයේ විවිධ සම්භාව්‍ය සංගීත සම්ප්‍රදායන් ඇසුරු කරලීමට ශක්ති කණ්ඩායම ක්‍රියා කළහ. අත්හදාබැලීම් සඳහා නොබියව, නොපැකිළිව අත ගැසූහ. බටහිර හා පෙරදිග විදේශීය සංගීත කණ්ඩායම් නිර්මාණය කළ ෆියුෂන් වැනි අංග දේශීය සංගීත රසිකයන්ට හඳුන්වා දෙන්නට උත්සුක වූහ.
ඊට ප්‍රධාන හේතුවක් වූයේ ශක්ති සංගීත කණ්ඩායමේ සියලු ශිල්පීන්, සංගීත විෂයය මැනැවින් හදාරා තිබීමය. වාදනයෙහි, ගායනයෙනි මෙන්ම සංගීත නිර්මාණයෙහි ද දක්ෂ වීමය. නිරන්තර පුහුණුව සහ අභ්‍යාසයන්ට මුල් තැන දීමය. පුරෝගාමීන්ට ගරු කිරීමය. ඔවුන්ගෙන් උගත ගත හැකි පාඩම් ඉගැනීමට පසුබට නොවීමය.
ඒ සියල්ල සමග ආනන්දගේත්, සුරේන්ද්‍රගේත් නිර්මාණ ප්‍රතිභා සුසංයෝගය ශක්ති කණ්ඩායම ආලෝකවත් කළේය. සුරේන්ද්‍රලා හිටියේ පොල්හේන්ගොඩ තලකොටුව වත්තේය. සුරේගේ අම්මා තාත්තා අපට අපේම මවුපියන් වැනිය. ඒ නිසා සුරේන්ද්‍රලා සමග අප පැවැත් වූයේ දීර්ඝ කාලීන මිත්‍රත්වයකි. ආනන්දලා සමග සම්බන්ධතාව ඇරඹෙන්නේ පෙර සඳහන් කළ අයුරු හැත්තෑ ගණන්වල අගදීය. මේ නිසා ආනන්ද සහ සුරේන්ද්‍ර එකතුව කරන මේ නිර්මාණ හරඹයට අපි බොහෝ සෙයින් ළං වී සිටියෙමු.
තලකොටුව යනු අප නිතර නිතර යන එන තැනක් නිසාත්, ශක්ති පිරිවර බොහෝ විට මූලික පුහුණුම් තලකොටුවේ සුරේලාගේ ගෙදර සිදු කළ නිසාත්, මේ ළංවීම තව තවත් වැඩි විණි.
1994 දී රූපවාහිනිය ‘මනෝහරි’ නමින් සංගීත වැඩසටහනක් නිර්මාණය කිරීමත් සමග, මේ බැඳීම තවත් ශක්තිමත් වූයේ, මනෝහරිය සැරසූ සංගීත කණ්ඩායම් අතර ශක්ති මුල් පෙළේ සිටි නිසාත්, එවක රුපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් සුනිල් සරත් පෙරේරාගේ සහ නිෂ්පාදක රවින්ද්‍ර මුණසිංහගේ ආරාධනයෙන් මනෝහරිය මෙහෙයවීමේ කාරිය මට පැවරුණ නිසාත්ය.
මේ බන්ධනය නිසාම ශක්ති සංගීත කණ්ඩායමේ නිත්‍ය නිවේදකයා ලෙස කටයුතු කිරීමට ද මට බොහෝවිට සිදුවිණි. එක් දිනෙක රේගු නිලධාරි සංගමය සංවිධාන කළ ප්‍රසංගයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. එය අවසානයේ සැඳෑ සාදය සංවිධාන කර තිබුණේ ඔටර්ස් ක්‍රීඩා සමාජ පරිශ්‍ර ශාලාවකදීය. එවක රේගුවේ සේවය කළ සිසිර සේනාරත්න ද මේ සාදයට එක්වී සිටියේය. ශක්ති මතවාදය මුලින්ම මා ඉදිරියේ පුපුරා ගියේ මේ අවස්ථාවේදීය. වැඩේ දුර දිග යන ලකුණු දැනුණු හෙයින් මම ආනන්දත්, සුරේත් ඇදගෙන පසෙකට ගියෙමි. පැයක් පමණ අප කතා කරන්නට ඇති. දෙකඩ නොවී තවදුරටත් එකට ගමන යා යුතු බව මම අවධාරණය කළෙමි. එසේ එක්ව ගමන යන ලෙස ඉල්ලා සිටියෙමි. එකට යා යුතු බවට බල කර සිටියෙමි.
තීරණයක් ගැනීමට පෙර තව දුරටත් සාකච්ඡා කිරීමට දෙදෙනාම එකඟ කරවා ගැනීමට මට හැකිවිණි. මම සුරේ සමග වෙනමත්, ආනන්ද සමග වෙනමත් සාකච්ඡා පැවැත්විමි. කණ්ඩායමේ සමහර සාමාජිකයන් ද හමුව අදහස් හුවමාරු කර ගතිමි. මා ඇතුළු කීප දෙනකු මේ අයුරින් තම තම ශක්ති ප්‍රමාණයෙන් සාමය වෙනුවෙන් වෙහෙසුණද, බහුතරය සිටියේ වෙනත් මතයකය. අවාසනාව ඒ බහුතරයෙන් වැඩි පිරිස පිටස්තරයන් වීමය. වෙනත් න්‍යාය පත්‍ර මත කටයුතු කළ අය වීමය.
ඒ බොහොමයකගේ යටි අරමුණ වූයේ ශක්ති කණ්ඩායම රැක ගැනීම හෝ සංගීතයේ ප්‍රගමනය උදෙසා මේ තරුණ ජවය යොදා ගැනීම හෝ නොවේ.පෞද්ගලික අභිලාෂයන් මුදුන් පත් කර ගැනීමයි. ජාතිවාදයේ සෙවණැල්ල ද ඒ පටු අභිලාෂ මතට වැටීම තත්වය තව තවත් අඳුරු කරවන්නක් විය.
සමාජවාදින් පරාජයට පත් කරමින් ‘සිහ ශක්ති’ නමින් අලුත් සංගීත කණ්ඩායම් බිහි වුණේ අන්න එහෙමය. හැබැයි මේ ගැටලුව විසඳීමට උත්සාහ කරද්දී මා ඉතා දරුණු ලෙස මත ගැටුම් ඇති කරගත්තද, ආනන්දවත්, සුරේවත් මා සමග පෞද්ගලික තරහ මරහක් ඇති කරගත්තේ නැත.
සිහ ශක්ති කණ්ඩායමේ දේශීය හා විදේශීය සංදර්ශන රැසකට ආනන්ද මට ආරාධනා කළේය. එහෙත් ඒ හැම තැනකදීම මම සාම මතය අත හැරියේ නැත. වැඩි කලක් නොගොස් වෙන්වීමේ ඛේදවාචකය ශක්තිලාට මෙන්ම සිය ශක්තිලාට ද දැනෙන්නට පටන් ගති. එකට එක්ව සිටියා නම් ජාත්‍යන්තරයේ නම රැන්දිය හැකි ලාංකේය සංගීත කණ්ඩායමක් බිහි කිරීමට ආනන්දටත්, සුරේටත් අවකාශ තිබිණි. ඉඩකඩ තිබිණි. ශක්‍යතාව තිබිණි.
මේ වෙන්වීමෙන් අතිමහත් හානිය සිදු වූයේ ශක්ති කණ්ඩායමට හා සිහ ශක්ති කණ්ඩායමට වඩා ලාංකේය සංගීත ක්ෂේත්‍රයටය. ආනන්ද මට අවසන් වරට හමුවූයේ දෑවසරකට පමණ පෙරාතුව කිරිබත්කුඹුර ඔහුගේ නිවහනේදීය. මා ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් රූගත කිරීම උදෙසා එහි ගිය අවස්ථාවේදීය.
සම්මුඛ සාකච්ඡාවෙන් පසු ‘තියෙන විදියට කෑම ටිකක් කාලා යමු’ යැයි ඔහු කීය.
තියෙන විදියට කෑම කමින් අප කතා කළේ සංගීතය ගැනය.
මම නැවතත් අතීත තුවාලය පෑරීමි.
‘අවුරුදු තිහක් විතර ගිහිල්ලත්, උඹේ අදහස තාම වෙනස් වෙලා නෑ.’
ආනන්ද කීය. මඳක් කල්පනා කොට බැරැරුම් මුහුණින් මා දෙස බැලීය.
‘ඒ උනාට දැන් පරක්කු වැඩියි මචං.’ ආනන්ද කීය.
මා ඒ මතයට එදා එකඟ වූයේ නැත.
එහෙත් මම අද කියමි...
‘ඔව් මචං... දැන් නම් පරක්කු වැඩියි...!’
@ ප්‍රවීණ මාධ්‍යවේදී
සමන් අතාවුදහෙට්ටි
lankadeepa