මෙවර කිවිදා දැක්ම ලියන්නට සිදුවී තිබෙන්නේ රටේ ප්‍රධාන දේශපාලන මාතෘකා රාශියක්ම මතුවී තිබෙන පරිසරයකය.
ඒවායින් එකක් වන්නේ පාලිත රංග බණ්ඩාර මහතා විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයයි. ඒ ප්‍රකාශයට මේ වනවිට විශාල විරෝධයක් රට තුළින් මතුවී ඇති අතර එය එජාපයේ ප්‍රකාශයක් නොවන බවටද වෙනත් නායකයන් විසින් ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගෙන තිබේ.
මේ සිද්ධිය හේතුවෙන් රටේ මතුවී තිබෙන්නේ දේශපාලන ක්‍රමයේ බරපතළ අවිනිශ්චිත තත්වයකි. එම තත්වය පාලනය කර නොගතහොත් සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමයටම ජනතාවගේ පිළිගැනීම කඩා වැටීමට එය හේතුවක් විය හැකිය.
මෙවර කිවිදා දැක්ම සඳහා මගේ මාතෘකාව වන්නේ ඉහත ප්‍රකාශය නොවේ. රටේ අනාගතය සම්බන්ධයෙන් ඉතාමත් බරපතළ බලපෑමක් සිදුකරන පනත් කීපයක්ම ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හෙයින් මාගේ අවධානය යොමුවන්නේ එම උත්සාහය විමසීමටය.
මෙහිදී මුලින්ම කිවයුතු කාරණයක් තිබේ. මේ ආණ්ඩුව සිදු කරමින් තිබෙන්නේ රටේ පාලන බලය වෙනස් විය හැකි මැතිවරණ කීපයක් අබියස වෙනත් කිසිදු ආණ්ඩුවක් සිදු නොකළ ආකාරයේ වැරදි භාවිතයක් මේ ‘‘හදිසි අණ පනත්’’ ගෙන ඒම හරහා ගොඩනැගීම බවයි. ආණ්ඩුවකට අවශ්‍ය නම් නීතියක් සම්මත කර ගැනීමට හැකි බව වෙනම කාරණයක්ය. එහෙත් මේ කරන්නට අර අඳින්නේ තම ආණ්ඩුවේ පාලන කාලය මාස කීපයකින් පමණ නිමා වෙන්නට යන බව දැනගෙන එයට පෙර සමහර ප්‍රශ්නසහගත නීති හා රෙගුලාසි ටිකක් අනුමත කර ගැනීමට යාමය. මෙය බරපතළ කාරණයක් බව මාගේ අදහසය. ඒ නිසා මෙවර මා ලියන්නේ ආණ්ඩුව කඩිමුඩියේ සම්මත කර ගැනීමට උත්සාහ කරන නීති 03න් එකක් පිළිබඳවය. ඒ පනත් තුන වන්නේ (1) රාජ්‍ය ණය කළමනාකරණ පනත, (2) රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ (3) ආර්ථික පරිවර්තන පනත යන නම්වලින් හැඳින්වෙන පනත් කෙටුම්පත්ය. මෙහි සාකච්ඡා කරන්නේ මේ තුන්වැනි පනත ගැනය.
මෙයට අමතරව ශ්‍රී ලංකා විදුලිබල පනත කියා තවත් පනතක්ද ඉදිරිපත් කර තිබෙන අතර එය පිළිබඳව බරපතළ සංවාදයක් ද මේ වනවිටත් රට තුළ මතු වී තිබෙන බවද මෙහිදී සඳහන් කළ යුතුය. එය ලබන සතියේ (ජුනි 06 වැනි දින) සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටී. පොහොට්ටුවේ අත උස්සන බළකාය හෙවත් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 100ක් පමණ ඕනෑම දෙයකට පාර්ලිමේන්තුවේ අත් ඔසවන නිසා සමහර විට මේ පනතත් සම්මතවීමේ ඉඩක් ඇත. එහෙත් ඒ හරහා රටේ බලශක්ති ක්ෂේත්‍රයේ බරපතළ ගැටලුකාරීත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. ඒ ගැටලුකාරිත්වය හේතුවෙන් රටේ බලශක්ති හිමිකාරීත්වය ළඟපාත රටවලට හිමිවීමේ අනතුරක් පැහැදිලිවම තිබේ.
මා ඉහතින් සඳහන් කළ මූල්‍ය පනත් 03 වන්නේ විදුලිබල පනතට අමතරවය. ‘‘යන යකා කොරහත් බිඳගෙන යනවා’’ යැයි පැරණි කියමනක් තිබේ. ආණ්ඩුව මේ කරන්නේ ඒ වගේ වැඩක්ය.
මේ ආණ්ඩුව යනු පැහැදිලිව කිව හැකි ජනමතයක් නියෝජනය කරන එකක් නොවේ. තවත් මාස 03කින් පසුව පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව මේ ආණ්ඩුවේ පැවැත්මක් ඇතැයි මට නම් කෙසේවත් සිතෙන්නේ නැත. තමන්ගේ ආණ්ඩු කාලයක අවසාන මාස තුන තුළ මෙතරම් නීති හදන්නට උත්සාහ කරන ආණ්ඩුවක් ලෝකයේ කිසිම රටක තිබුණේ නැති බව නම් ස්ථිරය.
ආර්ථික පරිවර්තන පනත
ආර්ථික පරිවර්තන පනත ලෙසින් ඉදිරිපත් කර තිබෙන පනතේ අභිමතාර්ථය වන්නේ රටේ ආර්ථිකය පිළිබඳව වත්මන් ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමකගේ අදහස රටේ නීතියක් බවට පත් කිරීමටය. රටක ආර්ථිකය මෙහෙයවිය යුත්තේ කවර දිශානතියකටද යන ප්‍රශ්නය අයිති වන්නේ ජනතාවගේ ජනමතයටය. වසර 05කින් මැතිවරණයක් හරහා ජනතාවට එම ජනමතය වෙනස් කිරීමේ ඉඩ උල්ලංඝනය කළ නොහැකි පරමාධිපත්‍යයේ කොටසකි. මේ ආර්ථික පරිවර්තන පනතේ අභිලාෂය වන්නේ ආර්ථිකය සම්බන්ධයෙන් ඒ ඒ කාලයට ගැළපෙන නිවැරැදි තීරණයක් ගැනීමට ජනතාවට තිබෙන අයිතිය වසා දැමීමය. නැති කර දැමීමය. සරළවම කිවහොත් මේ කරන්නට යන්නේ ‘‘එක දේශපාලන පක්ෂයක (නැතහොත් දේශපාලන කණ්ඩායමක) මැතිවරණ ප්‍රකාශය නීතියක් බවට පත්’’ කර ගෙදර යාමටය. මීට පසු බලයට පත්වන කාටවත් ආර්ථිකය සම්බන්ධව අලුත් තීරණයක් ගැනීමට ඇති අයිතිය ඉවත් කිරීමටය.
මෙතැනදී අවධානයට ගත යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ වත්මන් ආණ්ඩුවට මේ වනවිට නිශ්චිත ජනවරම පිළිබඳවත් ගැටලුවක් තිබෙන බවයි. ජනාධිපතිතුමා ඉදිරිපත් කළ එ.ජා.පයේ ප්‍රතිපත්තිය 2020 මහ මැතිවරණයෙන් බරපතළ ලෙසින් ප්‍රතික්ෂේප වී ගිය බව සැමට මතකය. ඊට පසු පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා බලය අතහැර ගිය නිසා ඒ ජනවරම වත්මන් ජනාධිපතිවරයා සතුව ඇතැයි කීමේ කිසිදු ඉඩක් නැත. තුන් වෙනුව 2020 ජයගත් පොහොට්ටු පක්ෂයේ අගමැතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වූ නිසා දැන් සිටින්නේ ඒ ජනවරමට හිමිකම් කියන ආණ්ඩුවක්ද නොවේ. මේ තත්වය වත්මන් ආණ්ඩුව කියන්නේ ‘‘පොඩි කාලයකට ගැටගසා ගත්’’ තාවකාලික මෙවලමකි. ව්‍යවස්ථාවෙන් එයට කියන්නේ අනුප්‍රාප්තික ආණ්ඩුවක් කියාය. මේ පනත් හරහා වත්මන් ආණ්ඩුව උත්සාහ කරන්නේ තමන්ට ජනතාවගෙන් නොලැබුණු ජනවරමක් ‘‘පොහොට්ටුවේ අත් ඉස්සීමේ බළකාය’’ යොදවා සම්මත කර ගැනීමට යැයි මා කියන්නේ ඒ නිසාය.
මේ ආර්ථික පරිවර්තන පනතේ 3 වැනි වගන්තියෙන් කියන්නේ ‘‘ආර්ථික පරිවර්තන ප්‍රතිපත්තිය’’ට අනුව රටේ ආර්ථිකය ඉදිරියට ක්‍රියාත්මක විය යුතු බවය.
මේ කියන ආර්ථික පරිවර්තන ප්‍රතිපත්තිය කුමක්ද? එය හැදුවේ කවුද? අනුමත කළේ මොන ජනතාවද යන ප්‍රශ්න එකක්වත් පැහැදිලි නැත. ආණ්ඩුව ඉදිරිපත් කරන මෙම ‘‘පරිවර්තන ප්‍රතිපත්තියට’’ අනුව (1) ද දේ.නි. සාපේක්ෂව රාජ්‍යයේ ණය අනුපාතය 2032 වන විට තැබිය යුතු ඉලක්කය, (2)අනාගත ඕනෑම ආණ්ඩුවක් සඳහා වාර්ෂිකව මුදල් සැපයිය හැකි අනුපාතය (ද.දෙ.නි. අනුව) කොපමණක්ද යන ඉලක්කම සහ (3) 2027 දක්වා සහ ඊට පසු ඕනෑම ආණ්ඩුවක් ගෙවිය යුතු ණය සේවා අනුපාතය (ඒ කියන්නේ වසරකට ගෙවිය යුතු ණය වාරිකයේ ගණන) ද.දේ.නි. අනුව කොපමණක්ද යන්න තීරණය කර තිබේ. මෙය අරුමපුදුම පනතක් වන එක ප්‍රධාන කාරණයක් වන්නේම මේ කියන ආර්ථික පරිවර්තන ප්‍රතිපත්තියයි.
රටක ආර්ථික ප්‍රතිපත්තිය තීරණය කිරීමේදී වැදගත් වන ප්‍රධාන සංරචක 03ක් තිබේ. එයින් එකක් වන්නේ ඒ රටේ මූල්‍ය ප්‍රතිපත්තියයි. එය ක්‍රියාත්මක කරන්නේ මහ බැංකුව යටතේ තිබෙන මුදල් මණ්ඩලය විසින් ය. දෙවනුව රටක ආර්ථික ප්‍රතිපත්තිය පදනම් වන්නේ ඒ රටේ ඒ ඒ කාලවලට පත්වන ආණ්ඩු විසින් ඉදිරිපත් කරන ආර්ථික වැඩ පිළිවෙළ මගින්ය. රටේ අය-වැය ක්‍රියාදාමය අයත් පිස්කල් ප්‍රතිපත්තිය හෙවත් Fiscal Policy එක කියන්නේ ඒකටය. එය ව්‍යුත්පන්න වන්නේ මැතිවරණයේදී ජනතාව මාර්ගයෙන් වන අතර මැතිවරණයෙන් පසුව ඒ ඒ පාර්ලිමේන්තුව මගින්ය. තුන්වෙනි සංරචකය වන්නේ මෙම ප්‍රතිපත්ති දෙක ක්‍රියාත්මක කිරීමට රට තුළ ස්ථාපිත කරනු ලබන නීති/අණපනත් සහ රාජ්‍ය සේවය අදාළ කලාපයයි. දැන් මේ ආර්ථික තීරණ ගැනීමේ ක්‍රියාවලියේ තිබෙන පනත් හා නීති යනු වසර 05 වෙනස් වන ඒවා නොවිය යුතු නිසා කිසිම රටක කිසිම ආණ්ඩුවක් තමන්ගේ ආණ්ඩුවේ මැතිවරණ ප්‍රකාශය (තමන්ගේ ආණ්ඩුව යෝජනා කරන අය-වැය ප්‍රතිපත්තිය සහිත මැතිවරණ ප්‍රකාශයේ කොටසක්) නීතියක් බවට පත් කරන්නේ නැත. ඒ අරුම පුදුම වැඩේ කරන්නට සැරසෙන එකම රට ලංකාවය.
මේ පනත් කෙටුම්පතේ 3 (ආ) යටතේ ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ඉහතින් දැක් වූ එකටම සමානය. එහි ඉදිරිපත් කරන සමහර නෛතික ප්‍රතිපාදන රටේ අනාගත ආර්ථිකය කෙරෙහි මොන ආකාරයේ බරපතළ බලපෑමක් කළ හැකිද යන්න සිතා ගැනීමටත් නොහැකි තරම් කලාපයක පැතිරී තිබෙන බව මගේ නිරීක්ෂණය ය. එහි 3 (ආ) i දැක්වෙන්නේ ‘‘ තරගකාරීත්වය වැඩි කිරීම සඳහා ජාතික ආර්ථික, විවිධාංගීකරණය කිරීම සහ දැඩි ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම’’ කියා දක්වා ඇත. මේ කියන්නේ කුමක්ද? දේශපාලන මැතිවරණ ප්‍රකාශයක මෙවැනි දෙයක් තිබිය හැකි වුවත් රටක නීතියක් තුළට මෙවැනි චත්‍ර පද හෙවත් umbrella terms දැමූ විට ඒවාට ඒ ඒ ආණ්ඩු ලබාදෙන තේරුම් කවරේද? ඉදිරියට පත්වන ඕනෑම ආණ්ඩුවක් ‘‘තරගකාරිත්වය වැඩි කිරීම ආර්ථික විවිධාංගීකරණය’’ Tag එක යටතේ තම තම නැණ පමණ කළ හැකි යටි ඩීල් සඳහා නීතිමය ආරක්ෂාවක් ලබා ගැනීමේ ඕනෑම ඉසව්වකට ගෙන යා හැකි අවකාශයක් මේ තුළ නොතිබේද? මෙවැනි සන්දිග්ධ පද හෙවත් නිශ්චිත නිර්වචනයක් නොමැති පද යොදාගනිමින් නීති සෑදීම රටක ආර්ථික කළමනාකරණයට බලපාන්නේ කෙසේද යන්න බරපතළ ආකාරයෙන් සාකච්ඡා කළ යුතු බව මගේ අදහසය.
මේ පනත් කෙටුම්පත පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් කිරීමට මෙහිදී ඉඩක් නැත. ආණ්ඩුව විසින් ඉදිරි සති කීපය තුළ ඉදිරිපත් කරන්නට යන මේ පනත් ඊළඟ ජනාධිපතිවරණයෙන් පසුව සම්මත කළ යුතු ඒවා බවට ජනමතයක් ගොඩනැගීම ඉතාමත් අවශ්‍ය බව මගේ කිවිදා දැක්මය.
මහාචාර්ය චරිත හේරත්
@ ලංකාදීප කිවිදා දැක්ම