කඳුවලින් බැහැලා පල්ලමට ආපු ගංගාවන් හතක සුවඳ පැතිරුණු නිල් බිමක ඉපදිලා
ජීවිතේ අවුරුදු විස්සකටත් වඩා එහාට ඒ ගංගාවන් එක්ක හුරතල් වුණ අපි දැනගෙන හිටියා සිංහල අලුත් අවුරුදු දවසේ ඉදලා දවස් 45ක් ගියාට පස්සේ එන දවසේ අනිවාර්යයෙන් ගංවතුර එනවා කියලා.
අපේ අම්මලා ඒකට කිව්වේ දවස් 45හේ මහාගංවතුර කියලා. ඉතිං අලුත් අවුරුද්ද ඉවරවෙලා දවස් 40යනකොටම ඇල්ල කෑගහන්න තියාගන්නකොට අපි කෙහෙල්කොට ඔරු හදන්න එහෙම නැත්තං උණගස් පාරු බඳින්න ලෑස්ති වෙනවා. ඒක තමයි අපේ ගංවතුර ආතල් එක. ඕසෙට ගඟ දෙගොඩතලාගෙන යනකොට උඩින් පැනලා මැදට පීනලා ගසාබසාගෙන එන පොල් අල්ලගෙන ආයෙත් මෙගොඩට පීනන එක අපේ ඒ ගංවතුර ආතල්ලුවේ තවත් එක කොටසක්.
මෙහෙම ගඟ උතුරලා කුට්ටියට වේගයෙන් පහළට ගලනකොට ගඟ තලය උඩ පීනන්න ඕනෑ කිමිදෙන්න හොඳ නෑ කියලා අපි අත්දැකීමෙන්ම දැනගෙන හිටියා. මොකද සීලත වතුර කුට්ටියට කිමිදුනොත් කකුලේ කෙන්ද පෙරළෙන්න පුලුවන්. එහෙම උනොත් දියේ ගිලෙන්න තමයි වෙන්නේ. ඒනිසා අපි සීතල වතුර කුට්ටිය අස්සට ගියේ නෑ. පරිස්සම් උනා. අපේ ගෙදර ගඟ අයිනේ ගඟ දිහා බලාගත්ත ගෙයක් වුණත් කණ්ඩිය උඩ ඒක තිබුණ තැන එක්ක කවදාවත් යටවුණේ නෑ.
2004 ලොකුම ගංවතුර ආපු වෙලාවෙත් පහළ ආච්චිළගෙ ගෙදර කුස්සි කෑල්ල විතරයි යටවුණේ. 2004 ගංවතුර කියන්නේ 960 අපේ ආතගේ මතකයෙ තිබුණ ගංවතුර මකලා දාපු යෝධ ගංවතුර. එදා හවස ඉදලා අනෝරා වැහි වැටෙනකොට අපි රබර් ගස් පාරට පාත්වෙනකොට අපි මහපාරේ තෙමිණුනා කවදාවත් වැහැලා නැති ඒ මොරසූරන වැස්සේ ආතල් එක උපරීමයෙන් ගන්න. ඒ ආතල් එක ගොඩක් වෙලා ගන්න උනේ නෑ කවදාවත් යටනොවුණ ගෙවල් යටවෙනකොට අපිට බඩු සොල්දරවලට වීසිකරන්න යන්න උනා. සමහර ගෙවල්වලට සොල්දර තිබුණේ නෑ මොකද කවදාවත් යටවෙලා තිබුණේ නැති නිසා. එහෙම ගෙවල්වල බඩු අහල කඳුමුදුන් ගෙවල්වලට අදින්න උනා. ඒක මාරයා මතක් කරපු වැඩක්. කොහොමහරි රෑ 11.45ට ගංවතුර එයාගේ උපරීමයට ආවා. මට තවමත් මතකයි අපේ ආච්චිගෙ පරණ බටකොළ හෙවිල්ලපු කුස්සිය තිබුණ තැනින් උඩට ගඟ ආවාම අපි කොල්ලෝ බිත්තියේ ඒක අඟුරු කෑල්ලකින් ඇන්දා. ඒ රාත්‍රියත් මාරම රාත්‍රියක්. කවදාවත් ඇහැරුණේ නැති සවුන්ඩ් එකක වයිබ් එකක් තමයි තිබුණේ. ගෙදරට කිලෝමීටරයක් උඩින් තිබුණ දිය ඇල්ල සියවස් ගානකට පස්සේ කෑගහන එක අඬන එක නතර කරලා තැනිව ගලන ගඟ දිහා බලාගෙන හිටපු අසාමාන්‍ය වෙලාවක් ඒක.
අපි ඉතිං උදේ ඉරඇහැරෙනකොට ගඟ දිගේ පහළට යන්න පටන් ගත්තා ගංවතුර බලන්න. ඒක පිස්සු හැදෙන ගමනක්. අපි නොහිතපු තැන්වලින් ගඟ ගලාගෙන ගිහිං තිබුණා. ගොඩක් තැන්වල ලයිට් කණු උඩ රැදිලා කොඩි වගේ ලෙලදුන්න පාන්කඩ කෑලි රෑ ආපු මහාගංවතුරේ ලස්සන හිනාවෙවෙන් කියව කියවා තමයි හිටියේ. ගඟ අපි යනකොටත් බඩපුම්බගෙන ඔහොක් ලරගෙන ඔහේ හිටියා. හංගමුව පාලම උඩ තිබුණ රූස්ස පුළුන් කොට්ට ගහා ගැන මට තවමත් හිතාගන්න බෑ. ඒවගේ යෝධයෙක් උදුරලා හැතැක්ම ගානක් පහළට අරගෙන ඇවිත් පාඅ උඩ අතෑරලා ගිහිං තිබුණා. පාලමේ කොන්ක්‍රීට් ඇඳි ගැලවිලා. ඊට කලින් තිබ්බ පොඩි කොන්ක්‍රීට් පාලමක් ගටට සමතලා කරෆෙන තමයි මේ මහා ගහා ගඟ පහළට ඇවිත් තිබුණේ. එහෙම ගඟ පහළට ආපු නැඳුන් ගස් මාරගස් කොස්ගස් හොරගස් මීගස් පස්සේ ගඟ අයිනේ හිටිය මිනිස්සු අල්ලගෙන බැඳගෙන ඉරාගත්තා. ඒක වෙනම බිස්නස් එකක්.
මෙහෙම ගංවතුර සිය ඉතිහාසයේ හැමදාම රත්නපුරේ ට ආවා. ඒ ආපු හැමදාම අපි කළුගඟ දකුණට හැරෙව්වානම් මේ වතුර කඳ හම්බන්තොට ට ඇඹිලිපිටිය ට ගෙනිහිං වැඩක් ගන්න තිබ්බනෙ කියලා කියන්න පුරුදු වුණා. කළුගඟ ගිංගඟට හරවලා ගිංගඟ නිල්වලා ගඟට හරෝලා මේක අම්පාරට වෙනකම් අරගෙන යන්න සැලසුම් හැදුවා කතාකළා. සමහර වාරි ඇමතිවරු ඒවායින් පරම්පරාවක් ගොඩදාගත්තා. ඒත් ඉතිං කළුගඟ තවමත් දවස් 45කට සැරයක් ගලනවා උතුරලාම යන්න. මෙදාපාරත් ගඟ හොඳටම ගලලා. මිනිස්සු අවතැන්වෙලා. සමහරු මැරිලා. ඔන්න ඕනීනම් ආයෙත් ගඟ හරවන්න කතාකරමු...!
@කේ.සංජීවගේ මුහුණු පොතෙනි.