මේ දොස්තයෙව්ස්කි ප්‍රකට රුසියානු සාහිත්‍ය විචාරක බෙලින්ස්කි ගැන ලියපු ලිපියක මගේ පරිවර්තනය. ටිකක් දිගයි. කැමතිනම් කියවන්න.
බෙලින්ස්කි ගැන මේ කතාව මට සාහිත්‍ය ක්ෂේත්‍රයේ මගේ මුල්ම යුගය මට සිහිපත් කරවයි. එතැන් සිට අද වනතුරු කොපමණ කාලයක් ගතවී ඇත්දැයි මමවත් නොදනිමි. ඒ යුගය මට ඉතා දුක්බර හා කුරිරු කාල පරිච්ඡේදයක් විය.
මගේ ජීවිත කාලය තුළ මට හමුවී ඇති උද්යෝගීමත්ම මිනිසා බෙලින්ස්කිය.
හෙයාර්ට්සන් ඔහුට සපුරා වෙනස් ය. හෙයාර්ට්සන් අපේ උසස් සමාජයේ නිෂ්පාදනයකි. මේ රුසියාව තුළ බිහිව වර්ධනය වූ වර්ගයකි. රුසියාවේ හැර ලෝකයේ වෙනත් කිසිම රටක එවැන්නන් බිහිවන්නේ නැත. හෙයාර්ට්සන් රුසියාවෙන් විගමනය වූයේ නැත. රුසියාවෙන් විගමනය ආරම්භ කළේ ද ඔහු විසින් නොවේ. ඔවුහු උපතින්ම විගමනිකයෝ වෙති. කෙසේවෙතත් ඔවුන්ගෙන් බහුතරය විදේශගත වූයේ නැත. රුසියාවේ ඉහළ සමාජයේ පසුගිය වසර 150ක ඉතිහාසය ගත් කළ ඔවුන්ගෙන් ස්වල්ප පිරිසක් හැරෙන්නට සියල්ලෝ මුල් සිඳගත්තෝ වෙති. රුසියානු පොළව සහ රුසියානු සත්‍යය සමග ඔවුන්ගේ බැඳීම ලිහිල්ව ගොස් ඇත. අපේ උගත් පංතියේ බහුතරය හා මහජනතාව අතර වන ඛණ්ඩනය ඉතාම විචිත්‍රවත් ආකාරයෙන් මූර්තිමත් කිරීම උදෙසා ඉතිහාසය විසින් හෙයාර්ට්සන්තෝරගෙන ඇත්තාක් මෙන් පෙනේ.
තමන් විසින් ම ජනතාවගෙන් ඈත්වීම නිසා ස්වභාවිකව ම ඔවුන් දෙවියන්වහන්සේ වෙතින් ද ඈත් ව ඇත. ඔවුන් අතරින් වඩාත් නොසන්සුන් අය අදේවවාදීන් බවට පත්වූහ. වඩාත් සන්සුන් අය උදාසීන වූහ. රුසියානු ජනතාව සම්බන්ධයෙන් ඔවුන් තුළ වූයේ අන්කිසිවක් නොව අවඥාවක් පමණක් වූවත් ඔවුහු තමන් එම ජනතාවට ආදරය කරන බව හා ඔවුන්ගේ උපරිම සුබසිද්ධිය තමන්ගේ ප්‍රාර්ථනය බව විශ්වාස කළහ. ඔවුන් ජනතාවට ආදරය කළේ සෘණාත්මකවය. එනම් ඒ ජනතාව තුළ ඔවුන්ගේ සංකල්පවලට අනුව වූ පරමාදර්ශී ජනතාවක්, එනම් රුසියානු ජනතාව මෙසේ විය යුතු යැයි සිතමිනි.
මේ අයගෙන් ප්‍රගතිශීලී බහුතරයක් මේ පරමාදර්ශී ජනතාව ගැන සිතුවේ 1793 පැරිස් කැරලිකාරී ජනතාව වෙතින් ආවේශය ලබමිනි. ඒ කාලයේ ජනතාව ගැන වූ වඩාත්ම ආකර්ෂණීය පරමාදර්ශය වූයේ ඔවුන්ය.
රදළ පවුලක දරුවෙකුගේ විලාසිතාව අනුව යමින් ඒ සඳහා අවශ්‍යතාවක් හෝ අරමුණක් නොමැතිව අදහස් ප්‍රවාහයක තාර්කික අවසානයක් සහ උරුම හදවතේ හිස්බව අනුව හෙයාර්ට්සන් සමාජවාදියෙකු බවට පත්විය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔහු පැරණි සමාජයේ පදනම් ගැන විශ්වාසය අත් හළේය. ඔහු පවුල නමැති ඒකකය හෙළා දැක්කේය. එහෙත් ඒ අතරම ඔහු යහපත් පියෙකු හා සැමියෙකු විය. ඔහු දේපළ හෙළා දැක්කේය. ඒ අතරම ඔහුගේ ව්‍යාපාරික කටයුතු කළමනාකරණය කරගැනීමටත් ආර්ථික ස්ථාවරභාවය සමග විදේශගතව සැපවත් ජීවිතයක් ගතකිරීමටත් ඔහුට හැකිවිය. ඔහු විප්ලව ඇතිකිරීමටත් ඒ සදහා ජනතාව උසිගැන්වීමටත් ක්‍රියාකරන අතරම සැපවත් ජීවිතයකට හා සාමකාමී පවුල් ජීවිතයකට ආශෘ කළේය. ඔහු කලාකරුවෙකි. දාර්ශනිකයෙකි. අතිදක්ෂ ලේඛකයෙකි. බොහෝ කියවා ඇති ඇසූපිරූතැන් ඇති බහුශ්‍රැතයෙකි. සංවාදයට අතිදක්ෂ අයෙකි (ඔහුගේ ලිවීමටත් වඩා කතාකිරීම අතිආකර්ෂණීය විය). ඔහු මහා කල්පනාකරුවෙකු විය. එනම් තමන් තෝරාගන්නා යම් කිසි දෙයක් ලොව ආදරණීය වන්දනීය හා උතුම්ම වස්තුවක් බවට පත්කරන ඔහු ඉන් මිනිත්තුවකට පසුව එය උපහාසයට හා හාස්‍යයට ලක්කරයි. මේ හැකියාව ඔහු තුළ මහත්සේ වර්ධනය වී පැවතිණ.
ඔහු නිසැකවම අසාමාන්‍ය මිනිසෙකි. ඔහු කළ දේ කුමක් වුවත්, ඔහු ඔහුගේ මතකයන් රචනා කළත්, ප්රූඩෝන් සමග සමග සගරාවක් පළකළත්, පැරිසියේ දී මාර්ග බාධකයක් මත නැගසිටියත්, ඔහු දුකින් හෝ සතුටින් පෙළුණත්, ඔහු සැකසංකා මැද සිටියත්, 1863 දී පෝලන්තයන් සතුටු කරන්නට ඔවුන් තමන් රවටන බව දැන දැනම රුසියානු විප්ලවවාදීන් වෙත ඔහුගේ ප්‍රසිද්ධ නිවේදනය එව්වත්, ඔහුම පසුව ස්වකීය ලිපියකින් පාපෝච්චාරණය කළ පරිදි ඒ ප්‍රකාශය අවසනාවන්ත රුසියානු තරුණයන් දහස් ගණනක් වලපල්ලට යැවීමට හේතු වුවත් ඒ සෑම තැනක දී ම ඔහු තමා නිසැකවම අසාමාන්‍ය මිනිසෙකු බව තහවුරු කළේය. ඔහු ස්වකීය ජීවිතයේ සෑම අවස්ථාවකම සෑම තැනකදීම ජීවිතය පුරා ම තමා ලෝක පුරවැසියෙකු බව රුසියානු මහත්මයෙකු බව ප්‍රකාශවන පරිදි ක්‍රියා කළේය. ඔහු වෛර කරන එහෙත් ඔහුගේ පෙළපතින් හා පියාගෙන් ඔහුට උරුම වූ රුසියානු රදළකම පමණක් නොව ස්වකීය උපන් බිම හා එහි පරමාදර්ශ වෙතින් ඛණ්ඩනය වීම නිසා ද ඔහු මෙවන් පුද්ගලයෙකු බවට පත්විය.
එහෙත් මෙයට ප්‍රතිපක්ෂව බෙලින්ස්කි කල්පනාකරුවෙකු වූයේ නැත. ඔහුගේ ජීවිතය පුරා ඔහු ඉතා උද්යෝගීමත් පුද්ගලයෙකි විය. මගේ ‘අසරණ මිනිස්සු’ නවකතාව ඔහු ආහ්ලාදයට පත් කළේය (කෙසේවුවත් ඉන් වසරක් පමණ ගත වන විට අද මගේ වැටහීම අනුව කිසිසේත් වැදගත් යැයි කිව නොහැකි විවිධ හේතුකාරණා මත අපි ඈත්වීමු). එහෙත් අපේ ඇසුරේ මුල් අවදිය තුළ මුළු හදවතින් ම මා සමග සිටි ඔහු ඉතා බොළද ලෙස ඔහුගේ වර්ගයට මා ද පරිවර්තනය කරගැනීම උදෙසා බොළද ලෙස ඉක්මන් වූවේය.
අඩුම වශයෙන් අපේ දැනහදුනාගැනීමේ මුල් කාලය තුළ, ඔහු මා වෙත ආකර්ෂණය වී සිටි බව කීම කිසිසේත් අතිශයෝක්තියක් නොවේ. මම ඔහු දැඩි සමාජවාදියෙකු බව දැනගත්තෙමි. ඒත් සමගම එහි අනෙක් ප්‍රතිඵලය වූයේ ඔහු සමාජවාදියෙකු බවට පත්වීමය. විනිවිද දැකීමට ඔහු සතු වූ විශ්මිත හැකියාව සහ යම් අදහසක් සමග සම්පූර්ණයෙන් ම ඒකාත්මික වීමට ඔහු තුළ වූ අසාමාන්‍ය නැමියාව මට ඉතා විශේෂයෙන් දැණිනි. වසර දෙකකට පමණ පෙර ද ඉන්ටර්නැෂනල් සගරාව ඔහුගේ ප්‍රකාශයක් පහත සදහන් සෘජු හා අර්ථවත් හෙඩිම යටතේ පළ කළේය. ‘’සියල්ලම වඩා අපි අදේවවාදී සමාජයක් වෙමු’. එනම් ඔවුහු මූලික කාරණයෙන් ම පටන් ගත්හ. බෙලින්ස්කි පටන් ගත්තේ එතැනිනි.
තර්කය, විද්‍යාව හා යථාර්ථවාදය සියල්ලටම ඉහළින් තැබූව ද තර්කයෙන් විද්‍යාවෙන් හා යථාර්ථවාදයෙන් පමණක් බිහි කළ හැක්කේ කූඹිගුලකට වැඩි නොවන දෙයක් බවත් සමාජ සමාදානයක් ඇතිවන පරිදි මිනිසාට ස්වකීය ජීවිතය ඒ මගින් සංවිධානය කරගත නොහැකි බව ද ඔහු අවබෝධ කරගෙන සිටියේය. සදාචාර නියාමයන් සියලු දෙයෙහි පදනම බව ඔහු දැන සිටියේය. ඒ අනුව සමාජවාදය මගින් සපයන නව සදාචාරාත්මක පදනමක් පිළිබදව ඔහු මුලාවෙන් සහ කිසිදු කල්පනාකිරීමකින් තොරව විශ්වාස කළේය. එය ඔහුට ආහ්ලාදජනක සතුටක් විය. කෙසේවුවත් සමාජවාදියෙකු වශයෙන් ඔහු මුලින්ම ක්‍රිස්තියානිය විනාශ කළ යුතු විය. විප්ලවය අවශ්‍යයෙන් ම ඇරඹීමට සිදුවන්නේ අදේවවාදය සමග බව ඔහු දැන සිටියේය. තමන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන සමාජයට සදාචාරමය පදනමක් ලබාදෙන ආගමට ඒ තැන අහිමි කිරීම ඔහු විසින් කළ යුතුව තිබිණ. පවුල, දේපළ, සමාජය කෙරෙහි පුද්ගල සදාචාරත්මක බැඳීම ඔහු දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය (එසේ ද වුවත් ඔහු හෙර්ට්සන් මෙන් ම යහපත් සැමියෙකු හා පියෙකු වූවේය.)
කෙසේවුවත් මේ සන්ධිස්ථානයේ දී ඔහු ප්‍රබල ගැටළුවකට මුහුණ පෑවේය. එනම් ජේසුස්වහන්සේගේ ප්‍රභාන්විත චරිතය ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද යන්නයි. සමාජවාදියෙකු ලෙස ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් විනාශ කිරීමට බැඳී සිටියේය. එය ව්‍යාජ හා බොළඳ, නූතන විද්‍යාව සහ ආර්ථීක දර්ශනය මගින් අවලංගු කළ ධර්මයක් බව ඔහු විසින් ප්‍රකාශ කළ යුතු වූවේය. එසේ කළත් උත්තරීතර මනුෂයෙකු ලෙසින් වන ජේසුස්වහන්සේගේ පිළිබිඹුව, ඒ අධ්‍යාත්මය, ආශ්චර්යමත් මනුෂ්‍යත්වය තවදුරටත් ඉතිරිවෙයි. එහෙත් ස්වකීය නොනවතින ධාවනය තුළ, රෙනාන් මෙන්, බෙලින්ස්කි එතැනදී පවා නැවතුණේ නැත. රෙනාන් ආගම ප්‍රතික්ෂේප කළ ද නිර්මල මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් ජේසුස්වහන්සේ හා සමකළ හැකි ප්‍රතිරූපයක් නැති බව ප්‍රකාශ කළේය. මනුෂ්‍යයා පිළිබද එවන් නිර්මල උත්තර ප්‍රතිරූපයක් අනාගතයේ දී හෝ නිර්මාණය කළ හැකි නොහැකි යැයි ඔහු පැවසුවේය. එහෙත් බෙලින්ස්කි එය ද ප්‍රතික්ෂේප කළේය.
එක් සවසක බෙලින්ස්කි මහ හඩින් දොඩන්නට වූවේය. උද්වේගකර අවස්ථාවන්හිදී ඔහුට එසේ වෙයි. ‘ඔහෙලා දන්නවද පව් කිරීම සම්බන්ධයෙන් මිනිස්සුන්ට දොස් පවරන්න බෑ. ණය බරින් පීඩිත මිනිහෙකුට අනිත් කම්මුල හරවන්න බෑ. දුෂ්ටකම් හැරෙන්න වෙන කිසිම දෙයක් කරන්න මිනිහෙකුට ඉඩ නැති විදිහට සමාජආර්ථික ක්‍රමය සංවිධානය වෙලා තියෙන කොට ආර්ථිකය විසින් ම ඔහු දුෂ්ටත්වය කරා රැගෙන යනවා. ඔහු වෙතින් සදාචාරය හා යහපත් ක්‍රියාවන් බලාපොරොත්තු වීම මෝඩ හා නපුරු සිතිවිල්ලක්. එයා කැමති වුණත් මේ වගේ සමාජයක ඔහුට කුසල් කරන්න බෑ’
එදා අප දෙදෙනා පමණක් නොව තවත් අය වූහ. ඒ අතර බෙලින්ස්කි ඉතා ගරු කරන ඔහුගේ මිතුරෙකු ද වූවේය. ඒ කාලයේ ඉතා තරුණ වුව ද අද ඉතා ප්‍රකට ලේඛකයෙකු බවට පත්ව ඇති අයෙකු ද එදා එතැන සිටියේය.
‘මට මෙහා දිහා බලන්නත් බෑ’ ස්වකීය මිතුරා දෙසට හැරී මාව පෙන්වමින් බෙලින්ස්කි කීවේය.’මම ජේසුස් කියන හැම මොහොතකම මෙයාගේ මූණ වෙනස් වෙනවා හරියට අඬන්න වගේ’ ඉන්පසුව ඔහු මා වෙත ඇදී ආවේය. ‘ඒ වුණාට ඉලන්දාරියා මං කියන එක තේරුම් ගන්නවා. ඔයාගේ ඔය ජේසුස් අද ඉපදිලා හිටියානම් ඉතා නොවැදගත් හා සාමාන්‍ය මනුෂ්‍යයෙක් විතරයි. වර්තමාන විද්‍යාව හා මානව වර්ගයාගේ සමකාලීන ඉදිරිගාමින් හමුවේ එයා නොපෙනී යනවා’
එවිට බෙලින්ස්කි ගරු කරන මිතුරා මැදිහත් වූවේය. ‘නෑ නෑ ජේසුස් වහන්සේ අද හිටියා නම් එයා මේ ව්‍යාපාරයට එක්වෙලා ඊට නායකත්වය දෙනවා’
‘ඔව් ඔව් ඒක හරි’ බෙලින්ස්කි නොඉවසිලිමත් වූවේය.’හරියටම හරි, එයා සමාජවාදීන්ට එක් වෙලා ඔවුන් පසුපස එනවා’
@උදයසිරි වික්‍රමරත්න