SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආණ්ඩුවේ නායකයන් පසුගියදා බන්කොලොත් බවින් රට මිදුණු බව ප්‍රකාශ කරමින්  රතිඤ්ඤා පත්තු කරමින්  සතුටු වෙන ආකාරය දුටු බවත්   

බංකොලොත්භාවයෙන් මිදුනු බව ඔප්පු කිරීමට නම් ඇත්තටම කළ යුතුව තිබුණේ  මුදල් නැති නිසා අත්හිට වූ පළාත් පාලන මැතිවරණය නැවත පැවැත්වීම බවත් පනිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියයි.

 

ඔහු මේ බව පැවසුවේ අද (28) පැවති මාධය හමුවකදී අදහස් දක්වමිනි.

 

  • හොඳම සුබ ආරංචිය මේ ආණ්ඩුව තව මාස තුනකින් ගෙදර යාමයි.
  • දින100 කින් රටට නව නායකත්වයක්
  • නිදහස් අධ්‍යාපනය සුරැකීම නොව අධ්‍යාපනයෙන් නිදහස් වීම ආණ්ඩුවේ අරමුණයි.
  • "අපි අවුරුදු 2 ක් ණය ගෙව්වේ නෑ. ඉදිරියට අවුරුදු 4 ක් ගෙවන්නෙත් නෑ" - ජනාධිපති ජාතිය ඇමතීමේ සාරාංශය.
  • ආබාධ සහිත පුරවැසියන්ට සුභ ආරංචියක්. එක්සත් ජාතීන්ගේ 18, 19 සැසිවාරයේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට.

 

අද මාධ්‍ය සාකච්ඡාව, සුභ ආරංචියකින් පටන් ගන්නා බව ප්‍රකාශ කළ අලහප්පෙරුම, අද සිට හරියටම දින සීයකින් මේ රටට නව නායකයෙක් සහ නව ආණ්ඩුවක් පත්වෙන බවත් වෙනත් වචනයකින් ඒ සුභ ආරංචිය නැවත කියන්නේ නම්, මේ ආණ්ඩුව නියත වශයෙන්ම තව මාස තුනකින් ගෙදර යෑම වැළැක්විය නොහැකි යැයි අවධාරණය කළේය.

 

“ආණ්ඩුවේ නායකයන් ඊයේ රාත්‍රියේ බන්කොලොත් බවින් රට මිදුණු බව ප්‍රකාශ කරමින්  රතිඤ්ඤා පත්තු කරමින්  සතුටු වෙන ආකාරය අපි ඔක්කොම දැක්කා.  බංකොලොත්භාවයෙන් මිදුනු බව ඔප්පු කිරීමට නම් ඇත්තටම කළ යුතුව තිබුණේ  බංකොලොත් නිසා මුදල් නැතුව අත්හිට වූ පළාත් පාලන මැතිවරණය නැවත පැවැත්වීමයි. බංකොලොත් වීම නිසා 8% දක්වා අඩු කළ, මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත ස්ථාවර තැන්පතු සඳහා ගෙවූ 15% පොලිය නැවත ලබාදීමයි.  බංකොලොත් වීම නිසා අත්හිටවූ   ගුරු වැටුප් විෂමතාවය නැවත ලබාදීමයි.  බංකොලොත් වීම නිසා ගෙවීමට නොහැකි බව පැවසූ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ සොච්චං වැටුප් වැඩිවීම නැවත ලබාදී දරුවන්ට විශ්ව විද්‍යාල විවෘත කිරීමයි.  එහෙම නැතුව, සිරිකොත මන්දිරයේ දී  කිරිබත් කා රතිඤ්ඤා පත්තු කොට බංකොලොත් බාවයෙන් මිදෙන්න බෑ.

 

සිංහල භාෂාවේ පැරණි පිරුලක් තිබෙනවා " කන්දක් විළි ලා මීයෙක් වැදුවා වගේ"  කියා කෝටි ගණන් වැය කළ ආණ්ඩුවේ පූර්ව  ප්‍රචාරයටත් ඊයේ ජනාධිපතිවරයා ගේ කතාවටත් මේ තරම් අපූරුවට ගැලපෙන වෙනත් යෙදුමක් අපේ භාෂාවේ හොයාගන්න බෑ.

 

තවම මාස තුනකින් කියන්න වෙන්නේ "නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ" කියලායි.

 

ආණ්ඩුව ඊයේ කිව්වේ, ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහයකරණය ගැන පමණමයි.   එයත්, ණය හෝ පොලී කපා දැමීමක් ගැන නොව ගෙවන කාලය දීර්ඝ කර ගැනීමක් පමණයි. ද්වීපාර්ශික ණය කියලා කියන්නේ අපේ විදේශ ණය වලින් කුඩාම කොටස. ඒ කියන්නේ,  ඩොලර් බිලියන 11.5 යි. වැඩිපුරම තියෙන්නේ වාණිජ ණය, ($ බි. 17.6). ඊළඟට බහු පාර්ශ්විය ණය, ($ බි. 11.7). මේ ඔක්කොම එකතුව, ඩොලර් බිලියන 42ක්. පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් කරයින් පස්සේ මේ පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීමක් කරනවා.

 

ඊයේ  අගනුවර දී ගුරුවරුන්ට එල්ල කර ප්‍රහාරය අතිශයින්ම ම්ලේච්චයි. අපේ භාෂාවේ මොන වචන පාවිච්චි කරත් එම ප්‍රහාරය, අධමයි. අශිෂ්ටයි. අශීලාචාරයි.  ඒ නිසා,  අපි එය වේදනාවෙන් සහ ප්‍රහාරයට උරුම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඔවුන් ඉල්ලන්නේ යුක්ති සහගත දීමනාවක්. මම අධ්‍යාපන ඇමතිවරයාව සිටියදී එය අනුමත කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලය එය අනුමත කළා. අනධ්‍යයන කාර්යමණ්ඩලය ට ඇහුම්කන් දෙන්නේ නැති නිසා අපේ රටේ විශ්ව විද්‍යාල දින හැටක් නැවතිලා. ආණ්ඩුවේ ඇත්ත අරමුණු දිහා බලා  සටන් ක්‍රියාමාර්ග තෝරා ගන්නා ලෙස මං ඉතාම ගෞරවයෙන් මේ හැමට කියන්න කැමතියි. මොකද මේ ආණ්ඩුවේ සැබෑ අරමුණ නිදහස් අධ්‍යාපනය සුරැකීම නොව ආණ්ඩුව අධ්‍යාපනයෙන් නිදහස් වීමයි. මේක ඉතා භයානක තත්ත්වයක්.

 

පසුගිය 11 දින සිට 14 දක්වා එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී පැවති ආබාධ සහිත පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ 17 වැනි  ජාත්‍යන්තර සැසිවාරයේ දී  ශ්‍රී ලංකාවට ඉහළ වටිනාකමක් හිමිවුණා. ඉදිරි 2025 සහ 2026  වර්ෂවල මහා මණ්ඩලය විසින් පැවැත්වීමට නියමිත 18 සහ 19 සැසිවාරවල සභාපති ධුරය අපට,  ශ්‍රී ලංකාවට හිමිවීම විශාල ගෞරවයක්. මේ වෙනුවෙන් වෙහෙසුනු අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රමුඛ ආණ්ඩුවටත් මොහාන් පීරිස් මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යමණ්ඩලයටත් ආබාධ සහිත ශ්‍රී ලාංකික ප්‍රජාව අන්තර් කරණය සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ ගෞරවය මේ වෙනුවෙන් ප්‍රකාශ කරනවා. අපි සැවොම එකතුවෙලා හඬක් නැති ශ්‍රී ලාංකික ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් හොඳ පරිසරයක් හදමු. එම දරුවන්ගේ අධ්‍යාපනය අන්තර් කරණය කරමු. සංඥා භාෂාව රාජ්‍ය භාෂාවක් බවට පත් කරමු. ඔවුන්ගේ අයිතිවාසිකම් පනත යාවත්කාලීන කරමු. මේ සියල්ල වෙනුවෙන් මේ රටේ අපි සියලුම දෙනා හැම භේදයක්ම පසෙකලා එකට එකතු විය යුතුයි”.

 

නවතම ලිපි