විදේශ රැකියා සදහා තමන්ගේ පවුලේ අයෙක් හෝ මුදල් ඉල්ලා සිටින්නේ නම් මුදල් ලබා නොදෙන ලෙසට
තමන් දිගින් දිගටම ඉල්ලා සිටි බවද, එසේ කාට හෝ මුදල් ලබාදුන් අයෙක් වේ නම් බොරු සංදර්ශන නොදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හෝ පොලීසියට පැමිණිලි කරන්නැයි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
"විදේශ ගත වන අයගෙන් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් විවිධ චෝදනා දැන් ඉදිරිපත් කරනවා. අපි රජය භාරගත් අවස්ථාවේ ඉදලා විදේශ රැකියා ලබාගැනීම සදහා කිසිදු පාර්ශවයකට මුදල් ලබා නොදෙන ලෙසට දැනුවත් කරනු ලැබුවා. විදේශ රැකියා සදහා විවිධ පුද්ගලයින් මුදල් ලබාගැනීම් තැන් තැන්වලදී සිදුවෙලා තිබුණා. තරුණයින් මියන්මාරයට යැවීම සදහා හම්බන්තොට ප්‍රදේශයේ අයෙක් අත්අඩංගුවට ගත්තා. අහුවෙන්න එපා කියලා විශේෂ වැඩසටහනක් කරලා කිසිදු බාහිර පුද්ගලයෙක්ට මුදල් ලබාදෙන්න එපා කියලා දැනුවත් කිරීම් කරනු ලැබුවා.
අපේ කාර්යමණ්ඩලයේ නම් ලයිස්තුව දාලා, මේ අය විතරයි කාර්ය මණ්ඩලයේ වැඩ කරන්නේ, ඒ අය හරහා හෝ කිසිදු අවස්ථාවක මුදල් ලබා දෙන්න එපා කියලා අපි ඉල්ලුවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පමණක් මුදල් ගෙවීම් කරන්න කියලා දැනුවත් කිරීම් කරනු ලැබුවා. ඒත් ඇතැම් අවස්ථාවලදී විවිධ පුද්ගලයින් නොයෙක් මවාපෑම් කරලා මුදල් එකතු කරලා තිබුණා. ඒ පුද්ගලයින්ට එරෙහිව අපි පැමිණිලි ඉදිරිපත් කළා. නීතිය ක්‍රියාත්මක කළා. අත්අඩංගුවට ගැනීම් සිදු කරනු ලැබුවා. මේවා ගැන පැමිණිලි තවම ඉදිරිපත් නොකළ අයෙක් වේ නම් පැමිණිලි ඉදිරිපත් කරන්න පුලුවන්. ඒ කාට හරි සල්ලි දීලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්. ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.
මගේ පවුලේ කෙනෙක් කියලා හරි, මගේ අම්මා කියලා හරි, මල්ලි කියලා හරි මුදල් එකතු කරනවා නම් මුදල් දෙන්න එපා කියලා කිව්වා. රජයට විතරයි ගාස්තු ගෙවිය යුත්තේ කියලා අපි කිව්වා. ඒත් ඇතැම් පුද්ගලයින් අහු වෙලා තියෙනවා. ඒ අහුවුන අයට අපි කියන්නේ කරුණාකරලා පොලීසියට ගිහින් පැමිණිලි කරන්න. අපි මුද ඉදලාම මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළා. දැනුවත් කිරීම් කරනු ලැබුවා. මාධ්‍ය හරහා දැනුවත් කිරීම් කරනු ලැබුවා.
අපේ රටේ බොරු කිව්වම මිනිස්සු අහු වෙනවා. ඒ වගේ අහුවුන අයට කියන්නේ අහුවෙන්න එපා කියලායි. කිසිම අයෙක්ට මුදල් ලබාදී තිබෙනවා නම් වහාම පැමිණිලි කරන්න. බොරුවට චෝදනා කර කර ඉන්නේ නැතිව පැමිණිලි ඉදිරිපත් කරන්න. නීතිය ක්‍රියාත්මක කරන්න".