එළැඹෙන සංචාරක සමය තුළ විදේශ සංචාරකයන්ගේ පැමිණීම අපේක්ෂාවෙන්
ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සාමූහික වගකීමක් බව පොලිසිය ප්‍රකාශ කළේය.
ඒ අනුව මැදපෙරදිග සහ නැගෙනහිර යුරෝපයේ පවතින ගැටුම් සලකා බලා විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ තීරණය කර ඇත.
ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය එක්ව සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව ද පොලිසිය පවසයි.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ ප්‍රධානත්වයෙන් සියලුම පොලිස් ස්ථානවලට විශේෂ උපදෙස් ලබාදීමට නියමිත අතර, එමගින් පොලිස් සංචාරක කොට්ඨාසය ශක්තිමත් කෙරේ.
එසේම අද සිට, සංචාරකයින්ට ඇතිවන ඕනෑම ආරක්ෂක ගැටළුවක් 1997 ශ්‍රී ලංකා පොලිස් ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දිය හැකිය.
සංචාරකයින් සහ ඔවුන්ගේ බඩු බාහිරාදිය ආරක්ෂා කර ගැනීමට ක්‍රියාශීලීව පියවර ගන්නා ලෙස පොලීසිය හෝටල් හිමියන්ගෙන් සහ සංචාරක ක්ෂේත්රයේ කාර්ය මණ්ඩලයෙන් ද ඉල්ලා තිබේ.
මීට අමතරව, සොරුන්ගෙන් ඇති විය හැකි තර්ජන සහ ඇතැම් සේවකයින්ගේ නුසුදුසු හැසිරීම් වලට එරෙහිව කටයුතු කිරීමට ඔවුන්ට අවවාද කළ අතර, සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ සියලුම පාර්ශ්වයන්ගෙන් මේ මොහොතේ දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ඉල්ලා සිටියේය.