SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

BRICS යනු ලොව ප්‍රමුඛ නැගී එන වෙළඳපල ආර්ථිකයන්හි බලවත් සමූහයකි.

BRICS සාමාජික රටවල් වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වේ. ලබන වසරේ BRICS හි සභාපතිත්වය බ්‍රසීලය භාරගනු ඇත.

 

 

බ්‍රහස්පතින්දා රුසියාවේ කසාන් නුවර පැවති BRICS Plus Outreach සංවාදයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ ලේකම් අරුණි විජේවර්ධන සහභාගී විය. ඔක්තෝම්බර් 22 සිට 24 දක්වා පැවති BRICS සමුළුව අවසානයෙන් අනතුරුව Outreach සංවාදය පැවැත්විණි.

 

 

16 වැනි BRICS සමුළුව සහ Outreach සංවාදය රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර නායකයින් 35 දෙනෙකු (හෝ ඔවුන්ගේ නියෝජිතයින්) මෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ද ඊට සහභාගී විය.

 

කසාන් ප්‍රකාශය සම්මත කර ගනිමින් සමුළුව අවසන් විය. BRICS සඳහා ගෝලීය දකුණේ රටවල් විසින් දක්වන ලද සැලකිය යුතු උනන්දුව ද සමුලුව පිළිගත් අතර BRICS 'හවුල්කාරිත්වය' තත්ත්වය ක්‍රමානුකූලව දීර්ඝ කිරීම ප්‍රයෝජනවත් බව ද  විශ්වාස කර ඇත.

 

 

බ්‍රික්ස් සංවිධානයට පූර්ණ සාමාජිකයකු ලෙස සම්බන්ධවීමට  ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයැදුම් පත්‍රය එම සංවිධානය පිළිගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සන්ඩේ ටයිම්ස් වෙත කියා ඇත.

 

 

එම සංවිධානයේ සාමාජිකයන් සංඛ්‍යාව නවයක් ලෙස පවත්වාගෙන යාමට ගෙන ඇති තීරණය සැලකිල්ලට ගනිමින්  ශ්‍රී ලංකාවේ  අයැදුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට බ්‍රික්ස් සංවිධානය කටයුතු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසීය.

 

එසේ වුවද  හවුල්කාරිත්ව සාමාජික රටක් ලෙස එක්වීමට බ්‍රික්ස් සංවිධානය ශ්‍රී ලංකාවට අවසර ලබාදී ඇත.

 

එසේම සාමාජික රටවලට මූල්‍ය සහාය සපයන බ්‍රික්ස් නව සංවර්ධන බැංකුවට සම්බන්ධ වීමට ද  ශ්‍රී ලංකාවට අවසර ලැබී ඇත.

 

ඒ අනුව නව සංවර්ධන බැංකුවට සම්බන්ධවීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලය කඩිනමින් අනුමැතිය ලබාදෙනු ඇති බව විජිත හේරත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

 

 

නවතම ලිපි