- වර්ජන කරලා රට පස්සට ඇදපු ඔක්කොම මාලිමාවෙන් ඡන්දය ඉල්ලනවා.
- තනි මිනිහෙක් වුන රනිල් එක්ක හිටගන්න මටයි හරීන්ටයි කොන්දක් තිබුනා.
- ලෝක තෙල් වෙළඳාමේ කේන්ද්‍රය වීම ලංකාවට නැති වුනේ වර්ජන සහ උද්ඝෝසණ නිසා.
රටේ ඉදිරිගමනට බාධා කරමින් වැඩවර්ජන, උද්ඝෝශණ කළ සියළු දෙනා අද වන විට මාළිමාවෙන් ඡන්දය ඉල්ලන නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධක අහිමි කිරීම ගැන වැඩවර්ජනයක් කිරීමට කෙනෙක් නැතිබව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.
මාළිමාවේ කථා ඇසූ බහුතරයක් ඔවුන් සැබෑ දාර්ශණිකයන් ලෙස සිතූ බවත්, ඔවුන්ගේ නොහැකියාව වටහාගත්තේ රාජ්‍ය බලය හිමිවීමෙන් පසු බවත් එම නිසා මාළිමාවට ඡන්දය දුන් සියළු දෙනාට ස්තූතිවන්ත වන බවත් ඔහු පැවසීය.
ගාල්ලෙදී පැවති මහජන හමුවක් අමතමින් අදහස් දක්වූ ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.
“පාර්ලිමේන්තුවේ මාළිමාවට ඡන්ද තිබුනේ 3%. ඒක ජනාධිපතිවරණයේදී 42% උනේ අනිත් අයත් ඡන්දය දීපු නිසා. ඒ අළුතින් ඡන්දය දීපු 39% අපි ස්තූති වන්ත වෙනව. මොකද ඒ අය ජාතික යුතුකමක් ඉෂ්ට කළා.
පාසැල් කාර්යාල වහලා වර්ජන කරපු අය, අද මාළිමාවෙන් ඡන්දය ඉල්ලනවා
මේ අවුරුදු 76 ක් තිස්සේ මේ රටේ වැඩ වර්ජන, උද්ඝෝෂණ කරපු අය, තෙල් පිරිපහදුව හදනකොට, විදුලි බලාගාරයක් හදනකොට විරුද්ද වෙච්ච අය, උමා ඔයේ හිලක් කියා බොරු කියපු අය, ගුරුවරුන්ට, රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරන්න කියලා පාසැල් කාර්යාල වහලා වර්ජන කරපු අය, අද මාළිමාවෙන් ඡන්දය ඉල්ලනවා.
අස්වැසුම අපි ලක්ෂ 24 කට දෙන්න කිවාම සුදුසුකම් නැති ලක්ෂ 14 කට ඒක දීලා වැඩෙ අවුල් කරපු කට්ටිය, හැම වර්ජනයක්ම කරවපු හැම කෙනෙක්ම දැන් ඉන්නේ මළිමාවේ. ගොඩක් අය පාර්ලිමේන්තු එන්න සටන් කරනවා . ඒක හොඳ දෙයක්. වර්ජන කරපු ඔක්කොම අය මාළිමාවෙන් පාර්ලිමේන්තුවට ආවාම වර්ජන කරන්න කවුරුත් නෑ. ඒක රටටම සහනයක්.
දැන් බලන්න රාජ්‍ය සේවකයන්ගේ පඩිය වැඩි වුනේ නෑ. ඒත් කවුරුත් වර්ජන කරන්නෙ නෑ . ඒක හොඳ දෙයක්. කෑගහපු, රට අකර්මණ්‍ය කරපු අය දැන් ආණ්ඩුවේ.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යොදාගෙන ලෝක තෙල් වෙලඳ මධ්‍යස්ථානයක් හදන්න හදනකොට ඒකට විරුද්ධ වුනා
ලෝකයේ හොඳම තෙල් මර්මස්ථානය තමයි ලංකාව භූ විෂමතාවාඅය අනුව ලෝකයේ කොයි පැත්තේන් ආවත් ලංකාව තමයි තැන. සිංගප්පූරුව නෙවේ තැන . ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යොදාගෙන ලෝක තෙල් වෙලඳ මධ්‍යස්ථානයක් හදන්න හදනකොට ඒකට මේ අය විරුද්ද වුනා. අපේ තෙල් ටැංකි දිරලා යනකොට තෙල් ටැංකියක් නොතිබුන සිංගප්පූරුව ලෝක තෙල් වෙළඳාමේ මර්මස්ථානය වුනා.
කොළඹ වරාය හදන්න හදනකොට විරුද්ධ වුනා. ඒකත් ගියා සිංගප්පූරුවට. අද ඒක ලෝකේ දියුණුම වරායක් . මේ රටේ හැම සංවර්ධන කටයුත්තකටම විරුද්ධ වෙච්ච අය අද ආණ්ඩු පක්ෂයේ ඉන්නවා. ඒ එක පැත්තක් . අනිත් පැත්ත බැලුවත් එහෙමයි. බොරුම කීවා. උගන්ඩාවවට සල්ලි ගෙනිච්චා කීවා. තෙල් ලීටරයකින් 160 ඇමතිගේ සාක්කුවට යනවා කීවා. බිත්තරෙන් හොරකම් කරනවා කිවා. ණය අරගෙන රට කරන්න මුදලාලිලාටත් පුළුවන් කීවා. මේ විදියට බොරුම කිය කිය වෛරය වපුරපු අයට දැන් සිදුවෙලා තියනවා මේවාට උත්තර දෙන්න. කරලා පෙන්වන්න. බොරු කියපු වෛරය වපුරවපු අයට පව ගෙවන්න මේ අයට සිද්ධ වෙලා.
දැන් ටිල්වින් සිල්වා කියනවා අපි උගන්ඩාවට සල්ලි ගෙනිච්ච කථාව කීවේ නෑ කියලා..
කොට්ටහච්චි මාළිමාවේ නොවේද?
තෙල් සංස්ථාව බාර කෙනාගෙන් ඇහුවාම කෝ හොරකංකරපු 160 තෙල් වලින් අඩු කරන්න කියලා උත්තර නෑ. උගන්ඩාවට අරන් ගිය සල්ලි ගේන්නකෝ කියලා නාමල් රාජපක්ෂ කියනකොට කියනකොට අර ''උගන්ඩා ගෙනිච්ච සල්ලී ගේන්න ඕනිද..... එහෙනම් මාළිමාවට ඡන්දය දෙන්න...'' කියලා කීව කොට්ටහච්චි නෝනා . අර ගැහැණු සියයි කියල කවියකුත් කීවේ. එයා දැන් කියනවා උගන්ඩාවට සල්ලි ගෙනිච්චෙ නෑ බොරුවට කීවේ කියලා. ඊට පස්සේ ටිල්වින් සිල්වා කියනවා අපි උගන්ඩාවට සල්ලි ගෙනිච්ච කථාව කීවේ නෑ කියලා. එතකොට කොට්ටහච්චි මාළිමාවේ නොවේද?
ඔහොම කියපු බොරු ටික අහුවෙන නිසා අනුර කුමාර දිසානායකගේ ෆේස්බුක් එකේ පරණ පෝස්ට් දැන් ඩිලීට් කරගෙන යනවා. ඒ නිසා ඡන්දේ දීලා බලයත් දීලා මේ අයගේ නිරුවත හෙළිකරපු සියළු දෙනාට ස්තුතියි. මේ අයගේ කයිවාරු අහපු අය හිතුවා මේ අය මාර දාර්ශණිකයෝ කියලා මේත් වැඩෙ බාර දුන්නාම තමයි දැන්ගත්තේ බොරු කාරයෝ කියලා.
අවශ්‍ය අය විතරක් පාස්පෝර්ට් ගන්න එන්නලු..
දැන් බලන්න පාස්පෝට් ප්‍රශ්ණය. අපි ගෙනාපු පාස්පෝට් ටික බෙදාගන්නවත් මේ අයට බෑ. දැන් කියනවා අවශ්‍ය අය විතරක් පාස්පෝර්ට් ගන්න එන්න කියලා. අවශ්‍ය නිසා තමයි පාස්පෝට් ගන්නේ. නැතිව කොට්ටේ යට තියාගන්න නොවේ . අර තව ගාල්ල පැත්තෙන් පාර්ලිමේන්තුවට යන්න හදන කෙනෙක් කියනවා සතියකට පාරක් හැම ගමකටම නාට්‍යක්, කෝළම් මඩුවක්, රූකඩ සංදර්ශණයක්, ගෙනවා කියලා. එතුමාම කිවා ලක්ෂ දොළහට විට්ස් කාර් දෙනවා කියලා. විට්ස් කියන මොඩ්ල් එක දැන් ජපානයේ හදන්නේත් නෑ. මෙන්න මේ වගේ අය තමා පාර්ලිමේන්තුවට යන්න් හදන්නේ ගාල්ලෙන්.
දැන් කහ ගෑස් නෑ . ඊයේ ලිටෝ ගැස් මිල වැඩි කරන්න තිබුනා රුපියල් 650 කින්. ඒත් වැඩි කළේ නෑ චන්දය නිසා . අපේ ආණ්ඩුව කාලේ ලිට්රෝ සමාගම ලාබ ලැබුවා. ඒ ලාබය හිලව් කරලා ගෑස් මිල වැඩි නොකර ඉන්නවා චන්දය නිසා. ඒත් පෞද්ගලික සමාගමකට එහෙම බෑ. ඒ කහ ගෑස් වෙලඳ පොළට දාන්නෙ නෑ. ලබන මාසේදී මේ 650 ත් අල්ලලා තමයි ෂෙල් ගෑස් මිල වැඩි කරන්නේ. ඡන්දෙන් පස්සේ ගෑස් ඩබල් වෙනවා.
මන්ත්‍රිවරුන්ට ආරක්ෂකයෝ දෙන්න උනේ ජේ.වී.පී එක නිසා
ආරක්ෂාව ගැන කතා කරනවා. ඉස්සර ඔහොම තිබුනෙ නෑ. රිචර්ඩ් පතිරණ මහත්තයා ජීප් එක එළවගෙන තනියම ගියේ. ඒක ගාල්ලේ කවුරුත් දනන්වා. ඊට පස්සේ ජේ.වී.පී එක ආයුධ අරගෙන නිරායුධ දේශපාලන විරුද්ධවාදීන් මරා දැම්මා. අන්න ඒ නිසා තමයි මන්ත්‍රිවරුන්ට ආරක්ෂකයෝ දෙන්න උනේ. මේවා අමතක කරලා තමයි දැන් කථා කරන්නේ.
අයි.එම්.එෆ් වාරිකය දැන් ලැබෙන්න ඕන. ඒත් අයි.එම් එෆ් එක තවත් කල් ගන්නවා. මොකද මේ අය කීවා බදු අඩුකරනවා, පඩි වැඩි කරනවා වගේ කතා. එතකොට අයි.එම් එෆ් එක බලනවා මේ අඩුවෙන මුදල කොහොමද උපයා ගන්නේ කියලා. ඒක බලාගන්න අයවැය ඉදිරිපත් කරන්න ඕන. ඒක කරලා ඉතිරි වාරිකය ලැබෙන්න තව මාස හයක්වත් යයි.
අපි පාර්ලිමේන්තු ගියේ සමගි ජන බලවේගයෙන්. එත් සජිත් ප්‍රේමදාස රටේ ජනතව වෙනුවෙන් ඉදිරියට ආවේ නෑ. මන්ත්‍රි කම් නැතිවෙන බව දැන ගෙනත් ගාල්ලෙන් ගිය මටයි, බදුල්ලෙන් ආපු හරීන්ටයි කොන්දක් තිබුනා තනි මිනිහෙක් වශයෙන් හිටපු රනිල් එක්ක හිටගන්න. ඒ තීරණය නිසා අද දෙකෝටියක් මිනිස්සු සතුටින් ජීවත් වෙනවා. ගෙදරකම් ලයිට් දාගෙන පොඩි දරුවෙක් පාඩම් කරනවානම්, ත්‍රීවීල් එකක තෙල් ටිකක් ගහගෙන කෙනෙක් හයර් එකක් යනවානම්, බෙහෙත් ටික අරගෙන කෙනෙක් සතුටින් ඉන්නවා නම් එදා අපිට ඡන්දේ දීපු ඔබට පින් සිදුවෙනවා”.