SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ඉදිරිපිටට එක්වූ එරට වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් පසුගිය 9 වනදා විරෝධතාවයක නිරත විය.

 මෙයට හේතුව වූයේ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනිය ඇතුළු තානාපති කාර්‍යාල නිලධාරීන් එරට වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කිසිම ආකාරයක සේවයක් ලබා නොදෙන බවට චෝදනාවකි.

මෙම විරෝධතාවයේ විශේෂත්වයක් වූයේ පාට පක්ෂ භේදයකින් තොරව ඒ සඳහා ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රැසක් එක්ව තිබීමයි.

එහිදී ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ මේ වන විට තමන් ලෙබනන් ලීරා ලෙස උපයන මුදල් ඩොලර් ලෙස ශ්‍රී ලංකාව වෙත යැවීමේ නොහැකියාවක් මතුව ඇති නමුත් තානාපති කාර්‍යාලය ඒ සම්බන්ධව කිසිදු මැදිහත්වීමක් සිදුනොකරන බවයි.

මේ ඒ සම්බන්ධව ලීඩර් ටීවී පුවතයි.

මේ අතර මෙම විරෝධතාවට එක්වූ චන්ද්‍රානි වනසිංහ ද  අප සමග අදහස් දක්වා සිටියා. ඇය වසර ගණනාවක් තිස්සේ ලෙබනනයේ සේවය කරන කාන්තාවක්.

"අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපි මෙහෙ ආව කරණය කරගන්න බැරි වීම. අපේ ආදරනීයන්ගෙන් ඈත් වෙලා අපි ඇවිත් ඉන්නේ මෙහෙ හම්බකරලා ලංකාවට සල්ලි යවන්න. ඉතින් ඒක හරියට කරගන්න බැරුව අවුරුදු දෙකක් විතර ඉඳලා දුක් විඳිනවා. මේ තානාපතිනිය නෙවෙයි කිසිම මැදිහත්වීමක් කරන්නේ.

මෙහෙ ඉන්න අයට ප්‍රශ්න රැසක් තියෙනවා. ඒ දේවල් කතා කරන්න විනාඩි 10 ක් දෙන්න බෑ කියන තානාපතිනියක් තමයි ලංකාවෙන් ලෙබනනයට ඇවිත් ඉන්නේ. "

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කරන්නේ ශානි කළ්‍යානිරත්නයි. පසුගිය ආණ්ඩු සමයේ තානාපතිනිය ලෙස පත්ව පැමිණි ඇය සම්බන්ධව ලෙබනනයේ වෙසෙන ලාංකිකයන් බරපතළ චෝදනා රැසක් එල්ල කරනවා.

"කොන්ත්‍රාත් රැකියා ලාභින්ට විතරයි යන්තමින් හරි සහනයක් තියෙන්නේ. අනිත් සේරම අය ගොඩක් දුක් විඳිනවා. මේ වෙනකොට කකුලක් කපපු ලාංකිකයෙක් ඉන්නවා රෝහලේ. එයාව ලංකාවට යවන්න තියෙන්නේ. ඒත් තානාපති කාර්‍යාලය නෙවෙයි ඇහැක් ඇරලා බලන්නේ. අපි හරි හම්බ කරන දේවල් කීය කීය හරි එකතු කරලා ඒ අසරණ වුන අයට උදව් කරනවා. නමුත් කකුල කපපු කෙනාව ලංකාවට යවන්න අපිට බෑනේ."

චන්ද්‍රානි වනසිංහ පවසනවා.

කොරෝනා හැදුණු අපේ කෙනෙක් ලංකාවට යවන්න සේරම සූදානම් කරලා තියෙනකොට අන්තිමේ තානාපති කාර්‍යාලය හරියට සොයා බැලුවේ නැති නිසා එයාර්පෝර්ට් එකේ දාලා ගිහින්. අපි තමයි එක්කගෙන ඇවිත් ආය ලංකාවට යවන්න කටයුතු හැදුවේ. දැන් එයා ලංකාවේ . ඒත් ලොකු මානසික පීඩාවකට පත්වෙලා කියලා දැනගන්න තියෙනවා."

මේ අතර තවත් ලෙබනනයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් අපේ ප්‍රවෘත්ති අංශය අමතා සඳහන් කර සිටියේ එරටදී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ සිරුර පවා තානාපති කාර්‍යාලය සඟවා ඇති බවයි.

ඒ සම්බන්ධව තානාපති කාර්‍යාලය වෙත චෝදනා කරන ශ්‍රී ලාංකික ප්‍රජාව පවසන්නේ අදාළ මරණය සම්බන්ධව නිසි විමර්ශනයක් කළහොත් ඊට තානාපති කාර්‍යාලයේ වගකිවයුතු බව සොයාගත හැකිබවයි.

මේ වන විට කොරෝනා වසංගත තත්ත්වය පමණක් නොව රැකියා සහ වැටුප් ආශ්‍රිත ප්‍රශ්න , ලෙබනන් ආර්ථිකයේ බිඳ වැටීම නිසා සිදුව ඇති ජනජීවිතය සම්බන්ධ මූලික ප්‍රශ්න රැසකින් මේ ප්‍රජාව පීඩාවට පත්ව ඇති බව පැහැදිලියි. එබැවින් මේ සම්බන්ධව වගකිවයුතු පාර්ශ්ව කඩිනම් මැදිහත්වීමක් සිදුකළ යුතුව ඇත.

මේ අතර මෙම ප්‍රශ්නය සම්බන්ධව වර්තමාන තත්ත්වය පිළිබඳව චන්ද්‍රානි වනසිංහ විසින් නව වීඩියොවක්වද අද දින අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. එම වීඩියෝව පහතින් නරඹන්න.

නවතම ලිපි