SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය කාලෙ මගේ දේශපාලන විරුද්ධවාදීන් මා සම්බන්ධ විවේචන ඉදිරිපත් කරන විට මා අයත් එක් දේශපාලන කුලකයක් වර්ගීකරණය කලේ සුනිල් පෙරේරා ද එයට ඇතුළත් කරමිනි.

ඒ මගින් ඒ අය බලාපොරොත්තු වුනේ සුනිල් පෙරේරා සමඟ එක් කුලකයකට ඇතුළු කිරීම මගින් මා තුළ මගේ දේශපාලන භාවිතය පිළිබඳ ලැජ්ජාවක් ඇති කිරීමටයි. නමුත් මා තුළ ඇත්ත වශයෙන්ම ඇති වූ හැඟීම එහි ප්‍රතිවිරුද්ධයයි. එනම් සුනිල් පෙරේරා ද අයත් කුලකයකට මටත් අයත් වීමට ලැබීම මගේ දේශපාලන භාවිතයේ කිසියම් සාර්ථකත්වයක් පිළිබඳ නිදර්ශනයක් ලෙස මට හැඟීමක් ඇති වුනා.

ඒ ඇයි?

sunil 1

 

මට සුනිල් පෙරේරා පුද්ගලිකව එකිනෙකාට අභිමුඛව මුණ ගැසුනේ මෑතක දී. මතක විදිහට මුළින්ම මුණ ගැහුනෙ ජවිපෙ මෙහෙයවීම යටතේ 2015 මහා මැතිවරණයයට සමගාමීව මහරගම තරුණ මධ්‍යස්ථානයේ පැවැති සමුළුවේ දී. ඒ “හලෝ කොහොමද“ මට්ටමේ “මං ඔයාව දන්නව“ මට්ටමේ කෙටි අදහස් හුවමාරු කරගැනීමක් පමණයි. ඉන්පසු එක් අවස්ථාවක ඔහු සමඟ වාහනයක් තුළ දිගු කාලයක් ගත කිරීමට අවස්ථාව ලැබුණා. ඒ දිගන ප්‍ර දේශයේ ඇති වූ මුස්ලිම් ප්‍රහාර සම්බන්ධව ජවිපෙ මෙහෙයවීමෙන් පැවැති රැස්වීමට යාම විය යුතුයි. ඒ අවස්ථාවේ මහනුවර පාරක් අයිනේ පදික වේදිකාවේ මධ්‍යම රාත්‍රියේ ප්ලාස්ටික් කෝප්පවලට දමාගෙන පොඩි අඩියක් ගැසීමටද අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවේදී සංස්කෘතික දේශපාලනය පිළිබඳ අපගේ “විධග්ධ“ අදහස් ඔහුත් සමඟ හුවමාරු කරගැනීමට මමත් ලියනගේ අමරකීර්තිත් උත්සාහ කළා මතකයි.

 

sunil 2

 

කෙසේ වෙතත් මම සුනිල් පෙරේරා සහ ජිපසීස් සමඟ හැදී වැඩුනු පුද්ගලයෙක් කියන්න පුළුවන්. මගේ ළමා සහ ගැටවර වියෙන් සෑහෙන කාලයක් ගෙවුණෙ 1970 සහ 1980 දශක වල මොරටුව ආශ්‍රිතව. සුනිල් සහ ජිප්සීස් කියන්නේ මේ ප්‍ර දේශයේ සංස්කෘතික ජීවිතයේ ඓන්ද්‍රීය පුරුකක්. කෙසේ වෙතත් මම ලෝකයට පිවිසුනේ “විදග්ධ“ සංස්කෘතියේ සාමාජිකයෙක් වීම පිළිබඳ හීනමානයකින් යුක්තව කියන්න පුළුවන්. ඒ නිසා මගේ වටපිටාවේ සිටි සෙසු අයට තරම් මට එළිපිට ජිප්සීස් හෝ නිහාල් නෙල්සන් හෝ රසිකයෙක් බවට පත්වීමට මා විසින්ම අයිතියක් දී තිබුණේ නැහැ. මම කැමති වුනේ සංගීතයට අදාළ මගේ සංස්කෘතික වීරයා ලෙස තවත් මොරටු පුත්‍රයෙක් ම වූ අමරදේව සලකන්න. ඒත් ජිප්සීස් නිහාල් නෙල්සන් ජෝතිපාල වැනි අයට තිබූ අවිඥානික ආකර්ෂනය නැති වුනේ නැහැ. අවට ලෝකයෙ දෛනික සංස්කෘතික ජීවිතය තුළ මට අභිමුඛ වුනේ අමරදේවලාට වඩා ජිප්සීස්ලා. තරමක් දුරස්තව වුනත් මමත් ඒ සංස්කෘතියේ කොටසක් වුනා.

නමුත් දේශපාලන වශයෙන් මට සුනිල් එතරම් කිට්ටු වුනේ නැහැ. උත්ප්‍රාසජනක ලෙස පසුකාලයක සුනිල් සමඟ කිට්ටු වීමට ද හේතුවූ ජවිපෙ දේශපාලනය එකළ මා ඇදි ගියේ සුනිල් නියෝජනය කළ දේශපාලන නැඹුරුවට විරුද්ධවයි.

මොරටුව තරම් 1977න් පසු ඇති වූ ආර්ථික පරිවර්තනය මතුපිට ප්‍රකාශයට පත් වූ තැනක් වෙන නැතුව ඇත. මට මතකයි EXPO 80 කියන සැනකෙළිය. ඒක තිබුණෙ කටුබැද්දෙ සොයිසා ක්‍රීඩාංගණයේ. එක්ස්පෝ කියන වචනෙ තේරුම මොකක්ද කියන එක ගැන මට සෑහෙන ප්‍රශ්නයක් තිබුණත් මේක අළුත් සමාජ-සංස්කෘතිය යුගයක සංඥාවක්ය කියන එක ඇඟට දැණුන. සුනිල් ගේ මුහුණ මේ නව සමාජ-සංස්කෘතිය භූ දර්ශනයේ ඉදිරියෙන්ම තිබුණ. බෙලෙක් කඩේ හන්දියෙන් දවසට හය පාරක් ඒ පැත්තටයි හය පාරක් මේ පැත්තටයි යන්න වෙලා තිබුණු කාලෙත් ග්ලූකෝරස කියන විශාල පුවරුව දකිනකොට සුනිල්ගෙ මූණ මතක් වුනා.

 

sunil 3

 

ඊට පස්සෙ සුනිල් තීරණාත්මක ලෙස අභිමුඛ වුනේ. 1990 දි. ඒක ටිකක් අමුතු අභිමුඛ වීමක්. තවමත් මම විදග්ධ සංස්කෘතියේ හා රසිකයෙක් මෙන්ම ඇතැම් විට විචාරකයෙක්ද වීම පිළිබඳ අභිමානයකින් සිටියෙ. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ ශිෂ්‍ය සංගමය තමන්ගෙ රාත්‍රී සාදයක් සඳහා ජිප්සීස්ලට ආරාධනා කරන්න තීරණය කළ විට ඊට විශාල විරෝධයක් සංවිධානය කෙරුණ. ඒ ජාතික චින්තනයට හා ජවිපෙට පක්ෂ පිරිස්වල මූලිකත්වයෙන්. නීති ශිෂ්‍ය සංගමයෙ බලය තිබුණෙ මම අයත් වුනු සහ එවකට දුර්වල වෙමින් තිබුණු ස්වාධීන ශිෂ්‍ය සංගමයට. නීති පීඨයේ සිටි දෙමළ සිසුන් නිසා නීති පීඨයේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ස්වාධීන ශිෂ්‍ය සංගමයට තිබුණ.

කොහොම වුනත් ජාතිකවාදී හා ජවිපෙ විරෝධතා මැද ජිප්සීස් ල ආව. මම රාත්‍රී සාද ලෝලියෙක් නොවුනත් විරෝධතා කරුවන්ට විරෝධය දැක්වීමේ (නිගේෂන් ඔෆ් නිගේෂන්) පිළිවෙත මත සාදය අවසන් වන තෙක් ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේ රැදී සිටියා. ජිප්සීස්ලත් ඒ විරෝධයෙන් ටිකක් උද්දාමයට පත් වෙලා තිබුණ බව පෙනෙන්නට තිබුණ. මධ්‍යම රාත්‍රියේ දී “අපි තාමත් සිංදු කියනවා... පෝස්ටර් ගහපු අය ගෙවල්වල බුදි...“ වගේ අරුත් ඇති වචන මාලාවකට සංගීතය මුසු කොට ගායනා කිරීමද සිදු කලා.

කොහොම වුනත් සුනිල් පෙරේරත් ඉන්න දේශපාලන කුලකයකට අයත් වීමට ලැබීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් සුනිල්ලගෙ පවුලම ප්‍රකට යූඇන්පී කාරයො. මම සාමාන්‍යයෙන් මගේ දේශපාලන අනන්‍යතාවය තේරුම් ගත්තේ යූඇන්පී එකට කිසිම සම්බන්ධයක් නැති එකක් විදිහට. මගේ විරුද්ධවාදීන් මීට වඩා වෙනස් දේ කිව්වත් මම මම ගැන හිතුවෙ එහෙමයි. ඒ තත්වය තුළ සුනිලුත් මමත් එක දේශපාලන කුලකයකට ඇතුළු වීම මම මට ම තේරුම් කරන්නෙ කොහොමද?

 

sunil 4

 

සුනිල් ජවිපෙ වේදිකාවට නැග්ගෙ ඇයි? මම හිතන්නෙ ඇසිය යුත්තේ ඒ ප්‍රශ්නය.

මං හිතන්නේ නැහැ සුනිල්ට ජවිපෙ වේදිකාවට නැගීමෙන් පුද්ගලිකයව වාසියක් තිබුණ කියල. ඔහු සමඟ කලින් කී “දිගන ගමන“ තුළ මට ප්‍රත්‍යක්ෂ වූ දෙයක් තමයි ඔහු මේ මැදිහත්වීම කරන්නේ විශාල ලාලාසාවකින් කියල. ඒක නිකං මේ හුදු පෙනී සිටීමක් උදෙසා කරන දෙයක් නෙවෙයි කියල මට පෙනී ගියා. සාමාන්‍යෙයන් සුනිල් වගේ කෙනෙක්ගෙ රාත්‍රියක් කියන්නේ අතිශයින් මිල අධික රාත්‍රියක්. නමුත් ඒ රාත්‍රිය වෙනුවෙන් ඔහුට මිලක් ලැබුනේ නැහැ. අපි නුවර සිට ආපසු ගමනේ අවසානය වන විට මට වෑන් එකේ ආසනයේ නින්ද ගොස් තිබුණ. හදිස්සියේම අවදි වුනේ වෑන් එක නතර කරනකොට. ඒ විශාල සුදුපාට තාප්පයක් ඉදිරිපිට. සුනිල් අපිට සමු දී වෑන් එකෙන් බැහැල ගියා. මට එක්වරම ඔහුගේ නිවසේ විශාලත්වය පිළිබඳ හැඟීමක් ඇති වුනා. පැය කීපයකට පෙර නුවර පදික වේදිකාවක මහ රෑ ප්ලාස්ටික් කෝප්ප වලින් අරක්කු බොන දර්ශනයයි මේ විශාල තාප්පයයි අතර කිසියම් නොගැලපුමක් දැණුන. ඒ කියන්නෙ මේ තරම් විශාල තාප්පයක් සහිත නිවසක ජීවත්වන කෙනෙක් අරවැනි ක්‍රියාවකින් සතුට ලබන්නේ ඇයි. මේක ලියනකොට මට මතක් වුනා දිලිත් ජයවීර අරක්කු ටිකක් හොයන්න ත්‍රීවීල් එකක් නැගල යන ෆොටෝ එකක්. ඒකත් ටිකක් ඒ වගේ.

මිනිස්සු කොච්චර සැප වින්දත් ඒ සැප විදීම නිසාම අහිමි වන දෙයක් තියෙනව. ඒ අහිමි වීම දේශපාලනයක් වෙන්න පුළුවන්. අපි සුනිල් ගෙ ගීත දිහා බැලුවත් මේ ප්‍රතිවිරෝධය දකින්න පුළුවන්. මට මෙතනද මතක් වෙන්නෙ 1980 ගණන් වලම අග හරියෙ දවසක් අතුරුදහන් කෙරුණු ප්‍රගීත් එක්නැළිගොඩ ප්‍රෙඩී සිල්ව ගැන කියපු කතාවක්. ඔහු කිව්ව “ප්‍රෙඩී සිල්වා තමන්ගෙ ගීත වලින් ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්“ කියල. සුනිල්ගෙත් මේ ලක්ෂණය තිබුණ.

පරම්පරාගත යූඇන්පී කාරයෙක් වුනත් ඔහු යූඇන්පී දේශපාලනය තුළ නියෝජනය නොවුනු දෙයක් ද ඉල්ලා සිටිය. ඒක අපි හැමෝටම එකට ඉල්ලා සිටිය හැකිව තිබූ දෙයක්. අර “ලොවේ සැමා...“ කියන ගීතය මම ඒ තරම් ප්‍රිය කරන එකක් නොවුනත් ඔහු සිටි රාමුව තුළ ඔහු ප්‍රාර්ථනා කළ දෙයක් ඒ තුළ කියවෙනව. ඇත්ත වශයෙන්ම පවතින දේශපාලනය මේ ප්‍රාර්ථනාවලට වඩා සංකීර්ණ බව කිව යුතු නැහැ. එහෙත් ඒ ප්‍රාර්ථනාව වැදගත්.

පසුගිය කාලයේ ලංකාවෙ දේශපාලනයෙ ඉතා අපූරු දෙයක් සිද්ධ වුනා ඒ තමයි යූඇන්පී දේශපාලන ඇද වැටීම. හැබැයි යූඇන්පීය නියෝජනය කළ නරක ලෙස සැලකුණු බොහෝ දේ යූඇන්පී විරෝධී පිළ අත්පත් කරගත්ත. මේ නිසා යුඇන්පී දේශපාලනය අතාර්කික වුනා. මේක මම කැමති වර්ධනයක්. සුනිල් ජවිපෙ වේදිකාවට එන්නෙ මේ වෙනස් වීම ඇතුලෙ.

ඇත්ත වශයෙන් සුනිල් ජවිපෙට ආවෙ නැහැ. නමුත් ඔහුගේ සාමූහික නියෝජන තුළ සැඟවී ප්‍රකාශයට පත්වීමට නොහැකිව තිබූ දෙයක් ප්‍රකාශ කිරීමට ජවිපෙ වේදිකාව උපකාරී වුනා. මං හිතන්නෙ මේ “දෙය“ සොයායාම වර්තමාන දේශපාලනය තුළ වැදගත්. ඒ නිසා සුනිලුත් මමත් එක් කුලකයකට අයත් වීම මම දකින්නෙ වරප්‍රසාදයක් ලෙස. අපේ සමහර වැදගත් දේ මුලින්ම දකින්නෙ මිතුරන් නෙවෙයි සතුරන්. මොකද අපි දිහා වැඩියෙන් විමසිලිමත් වෙන්නෙ සතුරන් නිසා.

 

අපේ ජීවිත ලස්සන කිරීම ගැන සුනිල් ට මගේ ආචාරය!!!

නවතම ලිපි