SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ සිරකරුවන් පිළිබඳ ජාතික දිනය සැප්තැම්බර් මස 12 වන දිනට යෙදී ඇත.

එසේම ජාත්‍යන්තරවත් සිරකරුවන්ගේ යුක්තිය සහ සුබසාධනය උදෙසා මෙබඳු දින වෙන් වී ඇත. මෙවැනි දිනයක වැදගත්කම ඇත්තේ, පොදු සමාජ ජීවිතයෙන් ඈත් කර තබා තිබෙන සිරකරුවන් දෙසද, මානුෂික දැක්මකින් යුතුව බැලීමට, සමාජය යොමුකිරීම බව පෙනේ.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වරදකට නීතියට අනුව දඬුවම් දීම පිළිබඳ විශාල සාමාජික අනුමැතියක් තිබේ. බන්ධනාගාර සහ සිරමැදිරි බිහි වී ඇත්තේ මේ අවශ්‍යතාව මතය. එහෙත් බන්ධනාගාරයට පත්වන සිරකරුවා කෙරෙහි, සමාජ වගකීමක් තිබෙන බව අමතක කළ යුතු නැත. වැරදි කරුවන් හුදෙක් නිරායාසයෙන් බිහිවන්නේ නැත. ඒ සඳහා බලපානා සමාජික කොන්දේසිද පවතින බැවින්, වැරදි කරුවකු බිහිවීම පිළිබඳ සමාජික වගකීමද, වැරදි සමග අත්‍යන්තයෙන්ම බැඳී ඇත. වැරදිකරුවන්ට දඩුවම් දීමේ පරමාර්ථ, නූතන යුගයේ වඩා මානුෂික වී තිබෙන්නේ මේ හේතුව නිසාය.

සිරකරුවන් දෙස මානුෂිකවාදී දෘෂ්ටියකින් බැලිය යුතු බව, අදහසක් ලෙස අප සමාජයේ තිබුනද ආණ්ඩුව භාරයේ සිටින සමහර සිරකරුවන්ට සහ සැකකරුවන්ට, මෑත ඉතිහාසයේ අත්විඳින්නට සිදු වූ බියකරු ඉරණම නිසා රටේ හොඳ නම පලුදු වී ඇත. ඒ නිසා එබඳු තත්ත්වයන් ඇති නොවන ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍යය.

එසේම සිරකරුවන් පිළිබඳ දිනයේදී අපගේ අවධානය ලක් විය යුතුම විශේෂිත සිරකරුවෙකු සිටී. එනම් හිටපු අමාත්‍ය රන්ජන් රාමනයාක මහතාය. අධිකරණයට අපහාස කිරීමේ වරදට දඬුවමක් ලෙස ඒ මහතා ඉතා දීර්ඝකාලීන දඬුවමකට ලක්කොට තිබේ. රාමනායක මහතා ඔහුගේම ක්‍රමයකට දීර්ඝ කාලයක් තිස්සේ සටන් කරමින් සිටියේ අපේ රටේ වසංගතයක් සේ පැතිරී තිබෙන දූෂණය සහ බලය අපයෝජනය කිරීමට එරෙහිවය.

රන්ජන් රාමනායක මහතාට එරෙහිව ලබා දී තිබෙන දඬුවම ඉතා දෘඪ දඬුවමක් බව අපි කිහිප වතාවක්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියෙමු. අධිකරණයේ ගෞරවය සෑම පුද්ගලයකු විසින්ම ආරක්ෂා කළ යුත්තක් බව අපි විශ්වාස කරමු. රටේ වසංගතයක් ලෙස පැතිරී තිබෙන දුෂණය සහ බලය අපයෝජනයට එරෙහිව, රාමනායක මහතා දීර්ඝකාලීනව තමන්ගේම ක්‍රමයක් අනුව සටන් කරමින් සිටියේය. එහිදී ඔහු අනුගමනය කළ ඇතැම් උපාය මාර්ග හා ක්‍රියාමාර්ග පිළිබඳ අපගේ එකඟත්වයක් නැත. එහෙත් රාමනායක මහතා දූෂණයට එරෙහිව තම හඬ ඉස්මතු කළේ, ආත්ම ලාභය වෙනුවෙන් නොව පොදු යහපත පිළිබඳ අවංක චේතනාවකින් යුතුව බව අපට කිසි ලෙසකින්වත් අමතක කළ නොහැකිය. මේ සමගම අපේ අවධානයට ලක් විය යුතු තවත් ඉතා වැදගත් කරුණක් වන්නේ රාමනායක මහතාට එම දඬුවම ලබා දුන්නේ නිශ්චිතව විග්‍රහ කර, අර්ථ දක්වා, සංගෘහිත කර තිබෙන නීතියකට අනුව නොවන බවය. මෙවැනි වරදවල් දෙස අප අසල් වැසි ඉන්දියාව ඇතුලු ව, නූතන ලෝකයේ බොහෝ රටවල් ඉතා සංකීර්ණ ප්‍රවේශයන් ඇසුරින් බලා තිබෙන බව අප සැලකිල්ලට ගත යුතුය. එසේම අධිකරණ අපහාසය පිළිබඳ නූතන යුගයට ගැලපෙන ඉතා දියුණු නීති මේ රටවල නීති පද්ධති තුළට හඳුන්වා දී ඇත. අපේ රටේ නීතියේ පවත්නා එම අඩුව පිළිබඳවද මෙහිදී අපගේ අවධානය යොමු විය යුතුමය.

රටට ගැලපෙන ඉදිරිගාමී අධිකරණ අපහාස නීතියක් කෙටුම් පත් කර පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අප කටයුතු කළේ, අප රටේ නීති පද්ධතියේ තිබෙන මෙම බරපතල හිදැස පිරවීම අරමුණු කර ගනිමින්ය. රජය වහාම එම පනත් කෙටුම් පත කෙරෙහි තම සැලකිල්ල යොමු කොට, ඒ ආශ්‍රිතව නව අධිකරණ අපහාස නීතියක් සම්මත කිරීමට කටයුතු කළ යුතු බව අපි නැවතත් ප්‍රකාශ කර සිටිමු. එවැන්නක් සිදුවීමෙන් එක් පැත්තකින් විනිසුරුතුමන්ලාගේ කටයුතු පහසු වන අතර අනෙක් අතට රන්ජන් රාමනායක මහතාට සිදු වූ ආකාරයේ දඬුවම්වලට ලක්වීමේ අනතුරද පහ වී යනු ඇත.

මේ මානුෂිකවාදී ක්‍රියාදාමයට වහා එළඹෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. ඒ සඳහා යහපත් සාමාජයීය වටපිටාවක් නිර්මාණය කිරීමේ ප්‍රධානතම පියවර ලෙස දැනට දෘඪ සිර දඬුවමකට ලක්ව සිටින රන්ජන් රාමනායක මහතා වහා නිදහස් කරන ලෙසට ඉල්ලා සිටිමු.

නවතම ලිපි