SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාඨලී  චම්පික  රණවක විසින් රචිත ස්වයං ලිඛිත චරිතාපදානය වූ “පටිසෝතගාමීව තිස් වසක්” කෘතිය කොටස් වශයෙන් slleader වෙබ් අඩවියේ මෙතැන් පටන් පළ කෙරේ.

ඔහුගේ කෘතිය වෙනුවෙන් එල්ලාවල මේධානන්ද හිමි විසින් සටහන් කර ඇති කෘතියට පෙරවදනක් සටහන මෙම කොටස් පෙළ පළකිරීමෙන් අවසානයේ පළ කෙරෙනු ඇත.

 

තුරු වදුලූ මැදින්

පළමු පිය සටහන් ...

 

"අපේ අම්මා ළඟ එනවා හාල් සේරූ දෙක දෙනවා" කියමින් නිල් පැහැ හැඳගත් ගැහැනුන් හා මිනිස්සු පෙළපාළි ගියහ. "බත් දුන් පියා බුදු වේවා" කියමින් කොළපැහැ හැඳගත් මිනිස්සු පෙළපාළි ගියහ. ඒ මගේ ජීවිතයේ මට මතක මුල්ම දේශපාලන සංසිද්ධියයි. 1970 මහා මැතිවරණයයි. අප එකල ජීවත් වූයේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයේය. සෞඛ්‍ය සේවකයින් වූ මගේ මවත්, පියාත් ඉංගිරිය රෝහලේ සේවය කළහ. පසුව පියා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලිපිකරුවෙකු ලෙස එක්විය.

 

අපේ පවුලේ දරුවන් හයදෙනෙකු විය. ගැහැනුන් තිදෙනයි. පිරිමින් තිදෙනයි. මම බාලයා වීමි. මේ නිසාම මට වැඩිමහල් සොයුරු සොයුරියන්ගෙන් එදිනෙදා කටයුතු සඳහා මනා සහායක් ලැබිණි. අප පාසල් ගියේ අප නැවතී සිටි රෝහල් සේවක නිවාස අසල පිහිටි ඉංගිරිය සුමනජෝති විදුහලටයි. උදෑසන පාසල් යෑම සඳහා බස් වියදම් ලෙස සත පහක් මවගෙන් ලද නමුත් එය ඉතුරුකරගෙන පයින්ම රබර් වතු බඩවැටි හරහා පාසල් යෑම වඩාත්ම ප්‍රිය කළෙමි. පාසලට කිලෝමීටරයක් පමණ දුරින් කළුග`ග ගලාගිය අතර, ඝනව වැඩුණු තුරුයායන් සහිත තෙත්බිම් අවට පරිසරය පුරා පැතිරී තිබිණි. මේ නිසා හැකිතාක් දුරට ගස්වැටි, පෙත්මං ආදිය හරහා පයින්ම ගමන් යෑම මගේ ජීවිතයේ ඉන්පසු ජීවන ශෛලියක් බවට පත්විය.

 

මා පළමු ශ්‍රේණියේ සිටියදී එක් දිනක් මගේ දෙවැනි අක්කාත්, අයියාත් සමග පාසල් යනවිට කාකි හැඳගත් පොලිස් නිලධාරීහු අවි රැගෙන පාරෙන් මතු වී අපට ආපසු හැරීයන ලෙස කීවෝය. කෙසේ හෝ පාසල් යෑමට සිටි අපව බිය වද්දා ආපසු හැරවීමට ඔවුහු ක්‍රියා කළහ. කළබල වූ මිනිසුන් ද එහෙ මෙහෙ යමින් සිටි අතර, "චේගුවේරා"කාරයන් පොලීසියට පහර දීමට පැමිණ මියගොස් ඇති වගක් වැඩි හිටියන්ගේ කතාවලින් වාර්තා විය. එයට දශකයකට පමණ පසු ජ.වි.පෙ සාමාජිකයන් රතු හැඳගෙන කැට ව්‍යාපාරවල නියැලෙනු දකිනා තුරු "චේගුවේරා"කාරයින් කෙරෙහි මා සිත තුළ තිබුණේ ගුප්ත අඳුරු හැඟීමකි.

 

රජයේ සේවකයින්ගේ දරුවන්ට සාමාන්‍යයෙන් සිදුවන පරිද්දෙන් අපේ දෙමාපියන්ට ද මාරුවීම් ලැඛෙනා විට ඒ සමගම අපට ද ගමන් කරන්නට සිදුවිය. අපගේ ඊළඟ නවාතැන වූයේ බුලත්සිංහලය. මගේ මව බුලත්සිංහල රෝහලේ සේවයට ගියාය. මගේ පියාගේ උපන්ගම වූයේ බුලත්සිංහල බෝතලේගමයි. අපි එහි ස්ථීර නිවසක් තනාගෙන පදිංචි වීමු.

 

මගේ ජීවිතයේ සියලූ පදනම වැටුණේ බෝතලේගම ගමේ ජීවිතයෙනි. අප පාසල් ගියේ කුඹුරු යායන් මැදිනි. ගමේ නැගෙනහිර දෙසින් වූයේ අහස සිඹගත් කඳුවැටි පන්තියකි. ඇතැම් කඳුවැටි සදාහරිත තෙත් වනාන්තරවලින් සිංහරාජයට සම්බන්ධ වී තිබූ අතර, සිරිපා හිම නිල් පැහැයෙන් ඇතැම් උදෑසනක දිස්විය. තවත් කඳුවැටි ඝන රබර් වගාවන්ගෙන් හා සීත දියකඳුරු සහිත තේ වගාවන්ගෙන් පිරී ගොස් තිබිණි. ගමට උතුරින් හා බටහිරින් කළු ගඟ ද එයට ජලය සැපයූ කුඩා අතුඉති ගංගා රැසක් ද ගලාගියේ කුඹුරුයායන් මැදිකරගනිමිනි. ඒ අතර, විල්ලූ වැනි නිතර ගංවතුරින් යටවෙන පන් මානා හා තණකොළවලින් වැසී ගිය සාරවත් තෙත්බිම් ගණනාවක් ද විය. ගමේ ගව රංචු බොහෝවිට ලැගුම්ගත්තේ එහිය. අපේ පවුල්වල අයට විශාල මීහරක් රංචු සිටියහ. ගොවිතැනට උදව් වූයේ ඒ සතුන්ය. විශාල කෙත්වතු යායන් මෙන්ම පළතුරු ආදිය පිරුණු කුඩා කැලෑද එමට විය. කුඹුරු කෙටීම, වී වැපිරීම, ගොයම් කැපීම, ගොයම් මැඩීම, වී වේලීම, හාල් කෙටීම ආදී සියලූ ක්‍රියාදාමයන් ඉතා ඉක්මණින් අපට හුරුවිය. ඒ දිනවල පැවැති ආහාර අර්බුදය නිසා (1973 - 1975) එළවළු, පලතුරු වැවීම සඳහා නිරතුරුවම අපි යොමු වූයෙමු. නිතරම ගොවිතැන විධිමත් කරගැනීමේ නවක්‍රම අත්හදා බැලීමට ද අපි පෙළඹුනෙමු. වී වැපිරීම වෙනුවට ගොයම් පැළ සිටුවීම, කන්න තුනක් වැවෙනා වී ප්‍රභේද යොදා ගැනීම, කුඹුරුවල වල් නෙළීම, ජලය යෙදීම ක්‍රමවත් කිරීම, ගොයම් මැඩීමට යන්ත්‍ර යොදාගැනීම ආදියට අප යොමු වූයේ ඉමහත් ආශ්වාදයෙනි. අපේ නිවසේ සිට කිලෝමීටරයක් පමණ ඈතින් වූ කඳුකර රබර් වගාව මිශ්‍රිත ලදු කැලයක එළවළු වගාවක් අප විසින්, පවත්වා ගන්නා ලදී. ගල්ගුහා, කඩා හැළෙන දොළ පාර හා කුඩා වන සිව්පාවුන් හා කුරුල්ලන්ගෙන් පිරීගිය ඒ කුඩා කැලය, වනය හා වන ජීවිතය පිළිබඳ පුදුමාකාර ආදරයක් ජීවිතයට ඇතුළු කරනා ලදි. මට මතක ඇති කාලය පුරාම කෘෂිකර්මය හා පරිසරය විෂයන්ට සීයෙන් සීය ලැඛෙන්නට මේ ප්‍රායෝගික අත්දැකීම ඉවහල් විය.

 

මට වැඩිමහල් සොයුරු සොයුරින් පස් දෙනෙක් වූ අතර, අප අතර, වයස් පරතරය වසර දහයක් පමණ විය. මෙය මගේ දැනුම වයසට වඩා මුහුකුරා යෑමට බලපෑවේය. මාහට කුඩාකල හෝඩිය පුහුණු කිරීමට පන්සලේ අපේ ඥාති ස්වාමින් වහන්සේ උත්සාහ කළ අවස්ථාවේ "අ" යන්න යැයි කීමට මට අණ කළ විට සිංහල හෝඩියම එක හුස්මට මවිසින් ප්‍රකාශ කර ඇත. මා මහා ප්‍රඥයෙකු විය හැකියැයි විහාරාධිපතින් වහන්සේ අපේ තාත්තාට කියා ඇත්තේ එයින් මවිතයට පත්වීමෙනි. නමුත් එය එතරම් මවිතයට කරුණක් නොවන්නේ මගේ වැඩිමහල් සහෝදරයින් හෝඩිය කටපාඩම් කිරීම අසා සිටීමෙන් එය මගේ මතකයේ පැවැතීම නිසා විය යුතුය.

 

වැඩිමහල් සොයුරු සොයුරියන් නිසාම මම ඉක්මනටම වැඩිහිටියන්ගේ පතපොත කියවන්නට වීමි. පහේ ශිෂ්‍යත්ව විභාගය වනවිට මැකී ගිය දඩමං, සුදුගෝනා, අඹ යහළුවෝ, වරදත්ත, ගම්පෙරළිය වැනි කතා බොහොමයක් ද සෝවියට් කෙටිකතා සංග්‍රහයන් ද මා කියවා තිබිණි. මා ශිෂ්‍යත්වයේ දෙවැනි විභාගයට රචනාවක් නොව ලිවූයේ කෙටි කතාවකි. මට මතක හැටියට පරිසර වාර්තාවක් ද සහිතව මහ වනය මැද දුර්ලභ ඹෟෂධ සොයා ගිය තරුණයෙකුගේ ගමනක් එයට පාදක විය. එකල ශිෂ්‍යත්ව විභාග දෙකක් විය. පළමු විභාගය පුහුණු කටයුත්තක් වූ අතර, එහිදී එකම පිළිතුරක් පමණක් වැරැදි සහගත වූ අන්සියල්ලට නිවැරදි පිළිතුරු දුන් සිසුවෙකු සොයා පරීක්ෂකතුමා (ඔහු අපගේ ඥාතියෙකි) අපේ පාසලට පැමිණි අතර, ඒ සිසුවා මම විමි. පසුව මගේ දියණිය ශිෂ්‍යත්වය සඳහා උනන්දු කරලීමට මා කළේ මේ අතීත කතාව කියා කෙසේ හෝ තාත්තාගේ වාර්තාව බිඳ දමන ලෙස ඇයව උනන්දු කරලීමය.

 

ගණිතයට මගේ හපන්කමක් ඇතිබව මට වැටහුණේ මා තුන්වැනි ශ්‍රේණියේ සිටියදීය. මා මුහුණ දුන් පළමු ගණිත ප්‍රශ්න පත්‍රයටම මට සීයෙන් සීයක් හිමිවිය. සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා විශ්ව විද්‍යාලය දක්වාම ගණිතය සම්බන්ධ විශිෂ්ඨත්වය මට හිමිවිය. පසුව විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුනට උගෙන්වීමට අවස්ථාවක් ලදවිට මා තෝරාගත්තේ ඉංජිනේරු ගණිතයයි. ගණිතය හා ජ්‍යාමිතිය ඉතිහාසය පුරා පරිණාමය වූ ආකාරය පසුව හැදෑරිමි. එමගින් මට ශූන්‍යය, ඝෘන සංඛ්‍යා සහිත ගණිතය පමණක් නොව විචල්‍යයන්, වීජමයශ්‍රිත, කලණය, ආදී බොහෝ දේ ආසියාවේ නිර්මාණ බව පැහැදිලි විය. ශූන්‍යය අති විශිෂ්ඨ බෞද්ධ දාර්ශනිකයෙකු වූ නාගර්ජුනගේ නිර්මාණයකි. කලණයේ මූලය ගැන එංගලන්තයේ නිව්ටන් හා ප්‍රංශයේ ලයිබිනීස් අතර, විවාදයක් පවතින නමුදු ඒ දෙදෙනාම එකී දැනුම‌ෙ ජේසුයිට්වරු ආසියාවෙන් පැහැරගත් ගණිත දැනුම කොපි කිරීමෙන් ලබාගත් බව පසුව මගේ සොයාබැලීම් වලින් පෙනී ගියේය. මගේ ප්‍රියතම විෂයක් වූ ජ්‍යාමිතිය බිහිකළේ යුක්ලීඩ් වුවත් භාහික ජ්‍යාමිතිය (Fractal Geometry) නමින් ස්වභාවික ජ්‍යාමිතියක් ද ඇති බව දැනගතිමි. විවෘත විශ්ව විද්‍යාලයේ සිසුන් සඳහා භාහික ජ්‍යාමිතිය හඳුන්වාදුන්නේ මා විසිනි. ඒ අතරේ ඉන්දියාවේ නරේන්ද්‍ර පූරි විසින්, නිර්මාණය කළ වේද ගණිතය (Vedic
Mathematics) හදාරා ඒ පිළිබඳව ද පාඩම් මාලාවක් සකස් කළෙමි. සිංහලයින්ගේ ජ්‍යාමිතිය හා ගණිතය පිළිබඳ ගැඹුරු පර්යේෂණයක් කිරීමට ඉටාගෙන සිටි නමුත්, දේශපාලනය මගේ කාලය අවුරා සිටියේය.

 

ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් පසු හොරණ තක්ෂිලා විද්‍යාලයට ඇතුළු වූයෙමි. මගේ පියා කොළඹ කොටුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිසාත්, දිනපතා එහි සේවයට පැමිණෙන නිසාත්, කොළඹ පාසලකට මා ඇතුළු කිරීමට ඇතැමුන්ට අවශ්‍ය විය. තාත්තා සමග දිනක් කොළඹ පැමිණ මරදාන ආදී ප්‍රදේශවල තත්ත්වය දැකීමෙන් පසු මට කොළඹ එපා විය. අධික උණුසුම, වාහන තදබදය, දූවිලි කඩසාප්පු හා මරදානේ එකගොඩට ඇති කුඩා නිවාස පන්ති මට මහත් පිළිකුලක් ගෙන ආවේය. නිල් පැහැති කඳු පන්තියක් පාමුල පිහිටා තිබූ තක්ෂිලා විද්‍යාලය ගමේ සුන්දරත්වයෙන් මිදී තිබුණේ නැත. අදටත් තක්ෂිලාව ලංකාවේ මිශ්‍ර පාසල් වලින් පළමුතැන පවතින අතර, එය මට තක්සලාවක්ම විය.

 

තක්ෂිලාවේ දී මට ලැබුණු පළමු අත්දැකීම තරමක් අමිහිරි විය. එකල සෞන්දර්ය විෂය සඳහා චිත්‍ර, සංගීතය හා නැටුම් විෂයන් අතුරින් එකක් තෝරා ගැනීමට විය. නැටුම් ගුරුවරයා වූයේ රෝහණ බැද්දගේ මහතාය.

 

එතුමා ඒ කලාවේ විශිෂ්ඨයෙකු වූවත් මට ඒ කලාව පිහිටා තිබුණේ නැත. ඊළඟට මම සංගීත පන්තියට ගියෙමි. සංගීතය සඳහා මට ආසාවක් පැවතුණු නමුත් ඒ ගීත ගායනය සඳහා පමණි. ඒ කාලයේ ගීතයක් කියන්නැයි කී විට මා කියන්නේ බැද්දගේ ගේ "මගේ රත්තරන් හෙලේනා" ගීතයයි. වරක් විද්‍යාල උත්සවයක දී කිසිම පිරිමි ළමයෙකු ගීත ගායනයට ඉදිරිපත් නොවූ විට මා වේදිකාවට නැඟ අමරදේවගේ "අඩවන් වූ දෙනෙතින්" ගීතය ගැයූවෙමි. අපේ විදුහල්පති වූ වෝල්ටර් සිල්වා මැතිතුමාගේ පැසසුමට මගේ ගායනය ලක්විය. නමුත් මට සංගීත භාණ්ඩ වැයීම මෙන්ම ඉන්දීය රාගධාරී සංගීතය ද ඇල්ලූවේ නැත. සිංහල සංගීතයේ වෙනස හා රසය මා උගත්තේ දශක ගණනකට පසු ලයනල් රංවලගේ සංගීත සැඳෑවක් රසවිඳීමෙන් පසුවය. සංගීතය රසවිඳීමට පමණක් සීමාවීම ගැන කනගාටුවක් මට ඇතිවූයේ එදාය.

 

මා තෝරාගත්තේ චිත්‍ර විෂයයි. ගුරුතුමා අපට, "මා දුටු සිහිනයක්" නමින් චිත්‍රයක් අඳින්න යැයි කීවේය. ඒ දිනවල චිත්‍ර ලෙස අප හඳුනාගෙන තිබුණේ චිත්‍ර කතාවන්ය. සතුට, සිත්තර පුවත්පත්වල ජනප්‍රිය චිත්‍රකතාවන්හි ආභාෂය අපට නොඅඩුව ලැබී තිබිණි. මා විසින්, එදා අඳින ලද්දේ හෙලිකොප්ටරයක එල්ලීයන තරුණයකුගේ දර්ශනයකි. පසුදා එම චිත්‍රය බැලීමෙන් පසු එය මගේ ස්වයං නිර්මාණයක් බව පිළිගැනීම අපේ චිත්‍ර ගුරුතුමා ප්‍රතික්ෂේප කළේය. ඔහු කීවේ එය වැඩිහිටියෙකුගේ චිත්‍රයක් බවයි. අවශ්‍ය නම් දැන් ඔහු ඉදිරිපිටදීම වුව එය යළි ඇඳ පෙන්විය හැකි යැයි දුකට පත් මම කීවෙමි.

ගුරුතුමා මගේ අභියෝගයට ඉඩ දුන්නේය. මා එය ඒ ලෙසම ඇඳ පෙන්වූයෙමි. එදා සිට ඔහු මගේ කුසලතා අගය කළේය. දේශීය විදේශීය චිත්‍ර තරග සඳහා අපව උනන්දු කළේය. චිත්‍ර කතාවල ආභාෂය නිසා මගේ නිර්මාණශීලීත්වය මොට වී ඇති බව ඔහුගේ ද මගේ ද මතය විය. චිත්‍ර සහ ජ්‍යාමිතියට සැමදා මට ඉහළම ලකුණු ලැබිණි. වාස්තු විද්‍යාඥයෙකු වීම කලක් මගේ අරමුණක් විය. මේ නිසාම මගේ ප්‍රියතම කලා මධ්‍යස්ථානය වූයේ සීගිරියයි. මා මුලින්ම ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට ඇන්දේ සීගිරියේ චිත්‍රයකි. සීගිරියේ ගොඩනැගිලි ඒ කාලයේ තිබුණු ආකාරයට ඇඳීමට කීපවතාවක් උත්සාහ කළෙමි. පසුව ජපන් කණ්ඩායමක් සීගිරි කෞතුකාගාරය නිර්මාණය කරනාවිට එහි ගොස් මගේ අදහස ඔවුනට ද කීවෙමි. ඔවුන් කළ පරිගණක නිර්මාණයක් දැන් එහි ප්‍රදර්ශනය වේ. සීගිරියේ යකඩ නිර්මාණය ගැන ද මට ලොකු උනන්දුවක් විය. ඒ පිළිබඳව ලංකාවේ හා ඉන්දියාවේ සිදුකළ පර්යේෂණ කිහිපවිටක්ම නිරීක්ෂණය කළෙමි. ලෝකයේ මුල්ම යකඩ නිස්සාරකයින් ලෙස සිංහලයින්ට නිසි ගරුත්වයක් තවමත් ලැබී නැති නමුත් එය ලබාගැනීම අපේ විද්වතුනගේ වගකීමක් වෙයි. සීගිරි අභිරහස තවමත් නිසි ආකාරයෙන් නොවිසඳුන ද එහි කලා නිර්මාණ, වාස්තු නිර්මාණ හා භූ නිර්මාණ මගේ ජීවිතයේ වෙන්කළ නොහැකි ආත්මීය බන්ධනයකි.

 

විශ්ව විද්‍යාලයේ දී නැවත වරක් මගේ චිත්‍ර කුසලතාවය පැන නැගුණේ සරත් මුත්තෙටුවගම මහතා මියගිය දිනයය. එතුමාගේ රුවක් මම විශ්ව විද්‍යාලයේ බිත්ති පුවත්පට ඇන්දෙමි. සාමාන්‍යයෙන් හොඳ චිත්‍ර ශිල්පීන් සිටියේ වාස්තු විද්‍යා පීඨයේ මිස අපගේ ඉංජිනේරු පීඨයේ නොවේ. නමුත්, බොහෝ දෙනෙක් චිත්‍රය අගය කළහ. ප්‍රතිඵලය වූයේ එතැන් සිට විශ්ව විද්‍යාලයේ බිත්ති පුවත්පතේ නිර්මාණකරුවා බවට මා පත්වීමය. මගේ නිසදැස්, කවි, ලිපි, චිත්‍ර, කාටූන් ආදියෙන් එය නිරතුරුව වර්ණවත් විය. ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය අළලා නිර්මාණය කරනා ලද "සදා සමරමු සොහොයුරෝ" නම් දැවැන්ත ප්‍රදර්ශනයේ (1986) වැඩ වලින් බහුතරයක් සැකසුණේ ද මා අතිනි. ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගලය ගැන ද එක්සත් ජාතික පක්ෂයේ මර්දනකාරී පාලනය ගැන ද දැවැන්ත ප්‍රදර්ශනයක් මම විශ්ව විද්‍යාලයෙන් පිට වූ වහාම නිර්මාණය කළෙමි. (1992) රණසිංහ ප්‍රේමදාස මහතාගේ මැරවරයින් එය මාතර දී පැහැරගෙන විනාශ කළේ වසර ගණනක් අමාරුවෙන් එක්කරගත් වටිනා ඡායාරූප, චිත්‍ර, කලා ආකෘති නිර්මාණ අපට අහිමි කරමිනි. පසුව ඊළාම් අගාධය (1999) නම් ප්‍රදර්ශනයක් ද දෙමළ ජාතිවාදයේ ඉතිහාසය හා ත්‍රස්තවාදයේ ව්‍යප්තිය පිළිබඳව නිර්මාණය කළෙමි.

 

ඒ දිනවල ජාතික සංඝ සභාව (1995), ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය (1998) ආදී බොහෝ ජාතික ව්‍යාපාරවල පුවත්පත්, පත්‍රිකා, ප්‍රදර්ශනය ආදිය මගේ මූලිකත්වයෙන් නිර්මාණය කෙරිණි. ආපසු හැරී බලනාකල චිත්‍ර කලාවට මගෙන් සිදුව ඇත්තේ ප්‍රචාරක මෙහෙවරක් පමණක් බව මටම පසුව අවබෝධ විය. වටිනා නිර්මාණයක් මගෙන් සිදු නොවූ අතර, එයට කාලයක් ද මනසක් ද නොවිණි.

 

වාස්තු විද්‍යාව ද මගේ ප්‍රියතම විෂයක් විය. විශ්ව විද්‍යාලයේ දී බොහෝ වාස්තු විද්‍යා සොයුරෝ ඔවුනගේ කඩිමුඩි ව්‍යාපෘති අවසන් කිරීම සඳහා උපකාර පතා අප වෙත ආවහුය. බාවාගේ මෝසම් වාස්තු ගුරුකුලය (School of
Monsoon Architecture) පිළිබඳ උනන්දුව ආවේ එතැනිණි. ඔහුගේ ලූනුගඟ නිවස මාගේ ප්‍රියතම ස්ථානයක් විය. මා පළමුව පාර්ලිමේන්තුවට (2001) ගියවිට දින දෙකක් පාර්ලිමේන්තුවේ ඇවිද එකී අපූරූ නිර්මාණය රස වින්දෙමි. ඔහු එය අපට හැඳින්වූයේ "අපි ඔබ සමගයි. නමුත්, මදක් ඉහළින් " යන තේමාව යටතේය. ඔහුගේ කණ්ඩලම හෝටලයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණවල (1992) මම ද පෙරමුණේ සිටියෙමි. එය ප්‍රේමදාස පාලනයට දැක් වූ දේශපාලන අගතියෙන් කළ විරෝධයකි. කණ්ඩලම බාවාගේ කදිම වාස්තු නිර්මාණයකි.

 

මා විදේශ රටකට ගිය ඕනෑම විටෙක කියන්නේ මාව කලාගාරවලට රැගෙන යන ලෙසය. ප්‍රංශයේ ලුවර් ඇතුළු ලෝකයේ ප්‍රසිද්ධ බොහෝ කලාගාරවලටත්, වාස්තු විද්‍යාත්මක ලෙස වැදගත් මන්දිරවලටත් යෑම මගේ පුරුද්දකි. ඒවායින් මිල දී ගත් වටිනා චිත්‍ර හා ගොඩනැඟිලි සැලසුම් අතිවිශාල ප්‍රමාණයක් දැන් මා සතුව ඇත. තනිව සිට ඒවා නරඹමින් සතුටු වීම තරම් සතුටක් තවත් මට නැත. වරක් එංගලන්තයේ කලාගාරයකින් ඩාවින්සිගේ සියලූ නිර්මාණ සහිත කෘතියක් පවුම් තිහකට මිල දී ගතිමි. වසර තුනකට පසු එංගලන්තයේම වෙනත් කලාගාරයක දී මා දුටුවේ එම කෘතියම පවුම් එකසිය පනහකට මිලකර ඇති බවය. හේතුව සොයාබැලීමේ දී මා දැනගත්තේ ඒ දිනවල ඩෑන් බ්‍රවුන් විසින් රචිත "ඩාවින්සි කෝඩ්" නම් කෘතිය අතිශයින් ජනප්‍රිය වීම හේතුව බවය. එය (ඩාවින්සි කෝඩ්) මිල දී ගත් මම එක හුස්මට එය කියැවීමි. එයට පදනම් වූ BBC වාර්තා චිත්‍රපටය ද එය ප්‍රතිනිර්මාණය කළ චිත්‍රපටය ද යන දෙකම පසුව මිල දී ගතිමි. ඩෑන් බ්‍රවුන් කතෝලික පල්ලියේ "ඕපස්දෙයි" නම් රහසිගත සංවිධානය වෙත හෙළා ඇති කලාත්මක බැල්ම බොහෝ කරුණු අප වෙත කියාදෙයි. ඕප්ස්දෙයි සංවිධානය ගැන මුල්ම සිංහල ලිපිය ලිවූයේ මාය. එය මගේ "අල්කයිදා අල් ජිහාද්" කෘතියේ පළවිය.

 

ලන්ඩනයේ තේම්ස් නදිය දකිනාවිට මට මතක් වන්නේ දියේ ගිල්වා මරන ලද ඕපස් දෙයි විසින්ම ගොඩනැගූ රොබර්ටෝ කැල්විගේ පාපොච්චාරණයයි. කැල්වී පල්ලියේ මුදල් ආයෝජනය කළ අතර, එය පසුව හෙළි දරව් කිරීම නිසා ඝාතනය කෙරිණි. යුරෝපයේ රහසිගත සංවිධාන ගැන සෙවීමට මට බොහෝ කුහලක් එමගින් ඇතිවිය. එතැනින් ඇවිලී ගිය ප්‍රී මේසන්වරු හා ගොතික් ගොඩනැගිලි කලාව ගැන වූ මගේ උනන්දුව තවමත් සන්සිඳුනේ නැත.

 

වරක් ප්‍රංශයේ වර්සලේස් මාලිගයේ ඇවිදින අතරේ එහි වැසිකිළි - කැසිකිළි බැලීමට මට අවශ්‍ය විය. අපේ ප්‍රංශ රාජ්‍ය නියෝජිතයාගෙන් ඒ ගැන විමසා සිටි විට ඔහු කීවේ ඒවා ගොවි කැරලි වලින් විනාශ වූ බවකි. මට එය පිළිගත නොහැකි විය. පසුව මට ඇත්ත හෙළිවිය. එනම් ඒ දිනවල පවා (18 වැනි සියවස) ප්‍රංශයේ රජ මාලිගයේ භාවිතා වී ඇත්තේ බාල්දි වැසිකිළි බවය! ජල මුද්‍රිත වැසිකිළිය උතුරු යුරෝපයට අරුමයක්ම විය. එහෙත් වසර දෙදහසකට පෙර මනාව සකසන ලද ජල මුද්‍රිත වැසිකිළි සුන්දර රිටිගල වන ආරණ්‍යයෙන් හමුවෙයි. අපේ ශිෂ්ටාචාරයේ ඉපැරණි දියුණුවට තවත් සාක්ෂි කුමකට ද? රිටිගල වාස්තු නිර්මාණ මගේ ජීවිතයේ තවත් ආත්මික හමුවීමක් ලෙස සලකමි. එහි පහළ ඇති වනයට යට වූ බන්ඳා පොකුණ නැමති ගලින් කළ වැව මතුකර ගැනීම සඳහා අපගේ හරිත ගම්මාන වැඩපිළිවෙළ යටතේ මූලික වීමට හැකිවීම ඒ ආත්මීය ගමනේ සන්ධිස්ථානයක් ලෙස සලකමි.

 

මා පස්වැන්නේ ශිෂ්‍යත්වය සමත්වූවිට මට ලැබුණු තෑගි අතර, ලෙනින්ගේ ජීවිත කතාව සහිත "ආලෝකය" නම් කෘතිය ද විය. මම ඉක්මණින්ම සමාජවාදියෙකු වීමි. මුලදී මගේ සිත්ගත්තේ පාවෙල් කොර්චගින්ගේ තරුණ වීරත්වය සහිත "වානේ පන්නරය ලැබූ හැටි" නම් කෘතියයි. ඉන්පසු මැක්සිම් ගෝර්කිගේ "අම්මා" චින්ගිස් අයිත්මතවිගේ "පළමු ගුරුවරයා" ආදිය කියවන්නට වීමි. මීහායිල් ෂොලහොව් හමුවීමෙන් පසු මට පැරැණි සියල්ලන් අමතක වීය. "සැබෑ මිනිසෙකුගේ කතාව" ලෙස වූ කකුල් අහිමි ගුවන් නියමුවාගේ කතාව මා ප්‍රබෝධමත් කළේය. කෘෂි ගමක සමාජවාදය ගොඩනඟන අපූරු කතාවක් වූ "පෙරලු නැවුම් පස" නම් වූ කෘතිය මා වැඩිම වාර ගණනක් කිය වූ කෘතිය විය හැකිය. ඉංග්‍රීසි දැනුම ලැබීමෙන් පසු "දොන් නදිය නිසලව ගලා බසී" නම් කොසැක් ජනකතා පෙළ කියවීමි. ෂෝලහොව් කොමියුනිස්ට් ආකෘතියට සිර නොවූවානම් ලොව විශිෂ්ඨතම රචකයෙකු වීමට ඉඩ තිබුණු බව මගේ හැඟීමය.

 

වයසට ඔරොත්තු නොදෙන මේ කතා කියවීමෙන් පසු මම ඉබේම සමාජයේ විවේචකයෙකු බවට පත්වීමි. නිතරම ගුරුවරුන් හා ගැටුම් ඇතිකර ගත්තෙමි. විශේෂයෙන් සමාජ අධ්‍යයන ගුරුතුමිය (නන්දා අමරතුංග) සමග එකී ගැටුම් ඇතිවිය. 1977 පෙරළියෙන් පසු විවෘත ආර්ථීකය, නිදහස් වෙළෙඳ කලාප ආදිය සමාජ අධ්‍යයන පොතට එකතු විය. මගේ වැඩිමහල් සොයුරන්ගේ පෙළ පොත්වල තිබුණු රුසියානු - චීන විප්ලව පිළිබඳ පාඩම් නව ආණ්ඩුව ඉවත් කළේය. මගේ මුල්ම වාදය ඇවිලූනේ එකී පාඩම් හැලූනේ මන්ද කියාය. ඒ දිනවල සමාජ අධ්‍යයන පාඩම්වල අසනා ප්‍රශ්නවලට මවිසින් පිළිතුරු දුන්නේ මාගේ දේශපාලන මතවල සිටගෙනය. උදාහරණයක් ලෙස නිදහස් වෙළෙඳ කලාපවල වාසි සඳහන් කරන්නැයි අසනා ප්‍රශ්නයට මා ලියන්නේ ඒවා ධනපති රටවල සූරාකෑමේ උපක්‍රමයක් ආදී ලෙසය. මම සැමදාම පන්තියේ පළමුවැන්නා වීමි. ගුරුතුමිය මට අනුකම්පා කර මා නිවැරදි කරන්නට උත්සාහ කළාය. මගේ පාඩම් වැඩ සොයා බැලු මාගේ ලොකු අක්කා ද නිතර කීවේ තමන්ගේ අදහස් නොව පාඩම්වල උගන්වන දෙය ලියනා ලෙසය. නැතිනම් විභාගය අසමත් විය හැකි බව ඇයගේ ද අනතුරු ඇඟවීම විය. නමුත්, මාගේ මුරණ්ඩු සිත ඒවා පිළිනොගත්තේය. වෙන වෙනස් ප්‍රශ්න පවා අසන්නට මාගේ සිත පොළොඹවාලුයේය. පොළොවේ උණුසුම ඇතිවන්නේ සූර්යා නිසා නම් කඳුවල උස් මුදුන් සූර්යාට වඩා කිට්ටු නිසා ඒවා වඩා රත්විය යුතු නොවේද? නමුත් ඒවා සීතල ඇයි? පොළොව භ්‍රමණය වේ නම් බැලූමක නැගුනවිට අපට බටහිර රටකට යා නොහැක්කේ ඇයි? මිනිස්සු වඳුරන්ගෙන් පරිනාමය වූවානම් වඳුරන් ඉතුරුවූයේ ඇයි? ආදී ප්‍රශ්න පවා මට පැන නැගිණි. රුසියානු විද්වතෙකු වූ වෛ.පෙරල්මන් විසින්, රචිත ගණිත විද්‍යා විනෝදය, භෞතික විද්‍යා විනෝදය නම් කෘති කියවීමෙන් පසු මගේ බොහෝ කුහුල දනවන ප්‍රශ්න විසඳී ගිය බව ද මතකය. නමුත් පරිණාමවාදය පිළිබඳ ප්‍රශ්නය විසඳුණේ බොහෝ කලකට පසුවය. ඩාවින්ගේ "බීගල් චාරිකාව" පිළිබඳව මූලික සටහන් මා කියවූ අතර, ඔහුට සුදු වර්ගවාදයේ තිබූ බලපෑම හඳුනාගතිමි. ඩාවින් විශ්වාස කළේ සියලූ දේ, සරල දේවල සිට සංකීර්ණ දේ බවට පරිණාමය වන බවට වූ බයිබලයේ එන උප්පත්ති කතාවෙන් ජනනය වූ බටහිර සංවර්ධන න්‍යායයි. මූලික ජීවීන්ගෙන්, වඳුරන් ද ඔවුනගෙන් මිනිසුන් ද අභ්‍යන්තර (ජානමය) පරිනාමයක් නිසා බිහිවූ බව කියැවිණි. සම්ප්‍රදායික පල්ලිය එදා ඩාවින්ට විරුද්ධ වූවත් ඔහුගේ දර්ශනයේ හරය තිබුණේ උත්පත්ති කතාවේය. විශ්වය මහා පිපුරුමකින් ඇතිවූවාය කියනා (BIG BANG THEORY) හෝර් කින්ස් ගේ මතය පටන් ගන්නේ ද එමඟිනි. ඩාවින්ගේ කාලයේම විසූ ලමාර්ක් කීවේ සරල දේ සිට සංකීර්ණ දේ දෙසට නියත වූ පරිණාමයක් නැති බවත්, තමන්ගේ අභ්‍යන්තර දෙයකට වඩා ජීවීන් වෙනස් වන්නේ අවට අන් ජීවින් හා පරිසරය අතර, සම්බන්ධය නිසා බවත්ය. එය බෞද්ධ දර්ශනයේ එන පටිච්ච සමුප්පාදය චින්තනයට සමාන රූපී දැක්මකි. මා විශ්වාස කරන්නේ ලමාර්ක් නිවැරදි බවය. මිනිසා වඳුරු කුලයේ වියහැකි නමුත් ඔහුට ද වඳුරන්ට මෙන්ම ඉතිහාසයක් ඇති බවය. වඳුරන් හා මිනිසුන් පරිසරය නිසා වෙනස්වන බවය.

 

පාසලේ දී මම ක්‍රීඩාවට ද ඇදී ගියෙමි. මම සයවැන්නේ දී පැවැත් වූ මීටර් 75 තරගයේ දී පළමුවැන්නා වීමත්, සමග දිවීම, පැනීම ආදියට යොමුවීමි. නමුත් මට වඩා ක්‍රීඩාවට සමත් අය අපේ පාසලේ සිටියහ. ඔවුන් සමහරෙකු සමස්ත ලංකා මට්ටමේ ශූරයින් වීම නිසා ඔවුනට දෙවැනි වීම මට ලජ්ජාවක් නොවීය. උස පැනීම මගේ ප්‍රියතම ක්‍රීඩාව විය. මගේ උසත් එයට දායක විය. විශ්ව විද්‍යාලයේ පවා එයින් මම පළමුවැන්නා වීමි. සුපුරුදු පරිදි ක්‍රීඩාව ද එහි තාක්ෂණය ද මම හදාරන්නට වීමි. ඕනෑම දෙයක් රස වැටුණු විට එය අවසානය දක්වා හැදෑරීම මගේ පිස්සුවකි. අන්තිමේදී ලෝක ශූරයින් දිවීමට ආරම්භය ගන්නා අයුරු, අවසානය සඳහා ක්‍රියාකරනා අයුරු, දිගු දුර දිවීම (මගේ ප්‍රියතම ක්‍රීඩාවකි) සඳහා ඉවසීම, සැලසුම් සැකසීම, කණ්ඩායම් ක්‍රීඩාවල න්‍යායන් ආදිය බොහෝ ප්‍රගුණ කළෙමි. වොලිබෝල්, පාපන්දු, එල්ලේ, ක්‍රිකට්, කරාටේ හා කුංෆු කී්‍රඩාවන් හැදෑරූ නමුත් ඒවායේ ප්‍රවීණයෙක් වීමට අසමත් වීමි. එහෙයින් ක්‍රීඩා ලෝලියෙක් වීමෙන් සැනසුනෙමි.

 

මගේ ජීවිතයේ ඊළඟ මංසන්ධිය වූයේ 1980 ජූලි වැඩ වර්ජනයයි. අපේ තාත්තා සමසමාජ ව්‍යාපාරයට හිතවත් වාමාංශිකයෙක් විය. ඔහු දෙහිතක් නොහිතා වැඩ වර්ජනයට එක්විය. අම්මා එයට විරුද්ධත්වය පෑවේ රැකියාව අහිමි වුවහොත් අටදෙනෙකුගෙන් යුතු පවුලට අත්වන ඉරණම ගැන සිතා පමණක් නොවේ. ඇය ඉවෙන් මෙන් සටන පරදින බව දැන සිටියාය.ජේ.ආර්ගේ දේශපාලන ශක්තිය තාත්තලා තේරුම් නොගෙන ඇතිබව ඇයට වැටහිණි. මා සිතන්නේ වර්ජකයින් සොහොනට යවනවා යැයි කියූ ජේ.ආර්ගේ පුරසාරමට වඩා වර්ජනයේ අසාර්ථකත්වයට හේතූ වූයේ ගෙවල්වල ගැහැනුන් සිය සැමියන්ට කළ බලපෑමයි. මනරංජන වැඩ වර්ජනය ඛේදවාචකයකින් අවසන් විය. "කෙරුවෝ උන් වැඩ වර්ජන මනරංජන වැඩ වර්ජන" නමින් චිත්‍රයක් ද මවිසින් මියගිය සෝමපාල වෙනුවෙන් නිර්මාණය කෙරිණි. අම්මා නිවැරදි විය. අපි ආර්ථීක අතින් අගාධයකට වැටුනෙමු. ජීවිතයේ පළමුවරට බඩගින්න අපට දැනෙන්නට විය. මුල් මාස කීපයේ අපි කෑවේ දවසකට දෙවේලකි. අපට අත්වූ ඉරණම ගැන අම්මා අතිශයින් ශෝකයට පත්වූවාය. තාත්තා ද විස්සෝපයට පත්වූ නමුත් රැකියාව සොයා ආපසු නොගියේය. අපේ ලොකු අයියාගේ උසස් අධ්‍යාපනය කඩා වැටිණි. ලොකු අක්කා වඩා අධිෂ්ඨානශීලී වූවාය, ඇයත් විශ්ව විද්‍යාලයට ගොස් අපවත් එහි ඇදගන්නට උපරිම ලෙස කැපවූවාය. වර්ජනයෙන් හොඳක් ද විය. අපි අපේ අවට කුඹුරු, රබර් වතු, එළවළු කොරටු කරන්නට වීමු. කලක් යනවිට අපේ තත්ත්වය පෙරට ද වඩා සුභවාදී විය. තාත්තාගේ කොළඹ යහළුවන්ට ද උදව් කරන්නට අපි සමත්වීමු.

 

අපේ රටේ වාමාංශිකයන් ගෙනගියේ නිෂේධවාදී දේශපාලනයකි. සෑම දෙයකටම විරුද්ධ වීම, විරෝධතා පැවැත්වීම, සටන් පාඨ කීම, කඩාකප්පල් වැඩ කිරීම ඒ සම්ප්‍රදායයි. ඩී.එස්. සේනානායක ගොවි ගම්මාන උතුරු හා නැගෙනහිර පිහිටුවන විට ඔවුන් ගැමියන්ට මැලේරියා උවදුර ගැන කියා බියකරමින් බාධා කළෝය. ඩී.එස්.ගේ පදවිය, මින්නේරිය, කන්තලේ, ගල්ඔය ගම්මාන නොවන්නට වේලූපිල්ලේ පහසුවෙන්ම දෙමළ ඊළම පිහිටුවන්නට ඉඩ තිබිණි. අනෙක් අතින් වාමාංශිකයන් ද මැදිහත් වී එකී ක්‍රියාදාමය ශක්තිමත් කර වන්නිය හා මඩකළපුව ද ගොවි ගම්මාන වැටකින් ශක්තිමත් කළානම් දෙමළ ඛෙදුම්වාදී ත්‍රස්තවාදයකට ඉඩක් ඇති නොවන්නට ඉඩ තිබිණි. වාමංශිකයන්ගේ නිෂේධාත්මක මනස ඒ ජාතික වෑයම අවුල් කළේය. බණ්ඩාරනායක මහතා නවීකරණය ලබාගැනීම සඳහා ජනසතු ව්‍යාපාර බිහිකළ විට වාමංශිකයන් කළේ වැඩ වර්ජන රැල්ලක් ඇතිකිරීමය. කොළඹ වරායට, ගුවන් තොටුපලට, බැංකු පද්ධතියට, අන්තර්ජාතික නාවික, ගුවන්, මූල්‍ය කේන්ද්‍රයක් වීමට තිබූ අවස්ථාව එයින් විනාශ කෙරිණි. වාමංශික අදහස් මත දියත් වූ 1971, 1987-1989 කැරැලිවලින් ද සිදුවූයේ අතිශය වටිනා ගැමි තරුණ ජීවිත විනාශ වීමයි. ඒ කැරැලිවලින් ඉතුරු වූවන් පසුව සිය සමාජ ජීවිතයේ දී සිදුකර ඇති කාර්යභාරයන් සලකාබැලීමේ දී මළවුන් ජීවත්වූවානම් රටට කුමන ප්‍රයෝජනයක් අත්වේදැයි සිතාගත හැකිය.

 

වාමාංශිකයන්ගේ මේ නිෂේධාත්මක ආකල්ප මෙන්ම ඔවුන්ගෙන් සාධනීය ක්‍රියාවන් ද සිදුවිය. ගමේ, රටේ පවුල් කීපයකට සීමා වී තිබූ "බලය" ප්‍රජාතන්ත්‍රවාදීව ඛෙදාහරින්නට වාමංශිකයන්ගේ ක්‍රියාවන් ඉවහල් විය. එමෙන්ම දුගී, නූගත් ජනයා මරව, මරවා වැඩ ගැනීමේ සම්ප්‍රදායන් වෙනස්කරන්නටත් තරුණ සිත්වලට පරාර්ථකාමීත්වය ගෙන එන්නටත් ඔවුනට හැකිවිය. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය, නිදහස් ඡන්ද ක්‍රමය මෙරට භික්ෂූන් වහන්සේලා හා වාමාංශිකයින් දිනාදුන් වටිනා සම්ප්‍රදායන් විය. සමාජයේ පහළම කොටස්වලට සමාජ නායකත්වය කරා යන්නට එමගින් පිටුබලයක් ලැබිණි.

 

1980 වැඩවර්ජනය වනවිට මා සිටියේ අපො.ස.(සා.පෙළ) විභාගය සඳහා සූදානම් වෙමිනි. වැඩවර්ජනය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය. දේශපාලනය මගේ අනාගත ගමන්මග ලෙස තෝරාගන්නට මට බලකෙරුණේ ඒ සිදුවීම නිසාය. එකල මාගේ දේශපාලනය ඉතා පටු එකක් විය. එනම් කවර හෝ මගකින් ෙජ්.ආර්. ජයවර්ධන අවසන් කිරීමයි. මගේ ජීවිතයේ පසුකලකදී ජේ.ආර්ගේ පුත්‍රයා වූ රවී ජයවර්ධන සහ මුනුබුරන් වූ රුක්ෂාන්, ප්‍රදීප් හා අම්රික් (ඔවුන් සියලූදෙනා හොඳ පරිසර වේදීන්) හමුවන විට සිත යට මහත් ලජ්ජාවක් අතීත ජයවර්ධන කෙරේ වූ වෛරය විසින්, උපදවනු ලැබූ බව මතකය. පසුව ජේ.ආර් ගැන වූ හාවඩ් හිඟින්ස් හා කිංස්ලි ද සිල්වා ලියූ දැවැන්ත නිබන්ධනය (ලංකාවේ දේශපාලඥයෙකු ගැන මා කියවූ හොඳම චරිතාපදානය) කියවූ විට ජේ.ආර්. විසිවෙනි සියවසේ ලාංකීය දේශපාලකයා ලෙස හඳුනා ගතිමි. ඔහුට තරුණ වියේදී බලය ලැබුණා නම් මහළුවියේදී ඔහු කළ බරපතල වැරදි දෙක එනම් සැලසුමකින් තොරව විවෘත ආර්ථීකය හඳුන්වාදීම හා ඉන්දියාව දෙමළ ත්‍රස්තවාදය දෙසට තල්ලූ කිරීම සිදු නොවන්නට ඉඩ තිබිණි.

 

සාමාන්‍ය පෙළ සමත්වීමෙන් පසු විද්‍යාව කළයුතු ද කලාව කළයුතු ද යන්න ගැන යම් දෙගිඩියාවකට මැදිව සිට පසුව විද්‍යා අංශය තෝරා ගතිමි. කුඩාකල සිටම සතුනට කිසිදු හිංසාවක් කිරීමට මට නොහැකි විය. මා කුඩාකල කුරුල්ලෙකු අපේ ජල ටැංකියේ මැරී ඇති බව දැක අතිශය වේදනාවට පත්වුනෙමි. කැරපොත්තන්, මීයන් කපන සත්ව විද්‍යාව මට එපා විය. කුතර්කයට බර ගණිතය, ජ්‍යාමිතිය මගේ ජීවිතය බවට පත්විය. එහෙයින් සාමාන්‍ය පෙළින් මා ගියේ උසස් පෙළ ගණිත අංශයටය. එහිදී මා ආශාවෙන් ශුද්ධ ගණිතය, ව්‍යවහරික ගණිතය හා භෞතික විද්‍යාව උගත්තෙමි. රසායනික විද්‍යාව උගෙන ගැනීමට මට උනන්දුවක් නොවීය. මේ එකම විෂයක් හෝ විධිමත්ව හැදෑරීමට නොහැකි වූයේ හදිසියේ හෙනයක් මෙන් දේශපාලන ක්‍රියාදාමයක් පතිත වීම නිසාය. එය නම් අධ්‍යාපන ධවල පත්‍රිකාවයි. (1981) විශ්ව විද්‍යාල සිසුන්ගේ කතාවලට සවන්දීමෙන් පසු ධවල පත්‍රිකා විරෝධයට එක්වීමට අපිත් තීරණය කළෙමු. අපේ පාසලේ උද්ඝෝෂණය අසාර්ථක විය. විදුහල්පතිතුමා හා ගුරුවරු ඉතා හොඳින් අපේ කටයුතු පරාජය කළෝය. නමුත් මේ හා සමග මට අලූත් දේශපාලනයක් හමුවිය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයයි.

 

කලක් ජ.වි.පෙ ඉහළම නායකයෙකු වූ කෙලී සේනානායක මහතා ජීවත්වූයේ හොරණය. ඔහුගේ මල්ලී සමන් අපේ පාසලේ, අපේ පන්තියේ ගජමිතුරෙකු විය. නමුත් ඔහු කිසි විටෙක අපව ජවිපෙට දිනාගැනීමට උත්සාහ කළේ නැත. නිතිපතා "ඇත්ත" පුවත්පත කියවීමෙන් උග්‍ර ජවිපෙ විරෝධියෙකු වූ මා ජ.වි.පෙට නිතර දොස් නැගූයේ 1980 වැඩවර්ජනය පාවාදීම ගැනය. ජවිපෙ පූර්ණකාලීනයෙකු වූ "ප්‍රියන්ත" නම් තැනැත්තෙකු සමග මේ සම්බන්ධයෙන් වූ සංවාදයකට 1982 මුලදී මම අපේ හිතවතකුගේ නිවසට ගියෙමි. ඔහු ප්‍රසන්න අයෙක් විය. මගේ "ඇත්ත පත්‍රයේ" ජ.වි.පෙ විරෝධී තර්කවලට ඔහු සාවධානව ඇහුම්කන් දුන්නේය. ඔහුගේ ප්‍රතිතර්ක ද මා සිත්ගත්තේය. හවස් වූ විට වෙනත් දිනයක සාකච්ඡාව සඳහා දින නියම කරගත් අතර, ඔහු දහවල් කෑම ගැනීමට පටන්ගත්තේය. ඒ වනවිට වේලාව සවස හතර පසුවී තිබිණි. ඒ ඇයිදැයි විමසූවිට ඔහු කීවේ ඔහු දවසකට කන්නේ වේල් දෙකක් පමණක් බවය. ඔහු එදා කෑවේ කිරිහොඳි හා සම්බෝල සමග කැකුළු බත්ය. මට වහාම වසර දෙකකට පෙර අපි විඳි දුක් මතක් විය. කොල්වින් ආර් ද සිල්වා (අපේ අල්ලපු ආසනයේ අගලවත්තේ හිටපු මන්ත්‍රී) ඇතුළු වාමංශිකයින්ගේ ජීවිත මතක් විය. මගේ හද උණුවිය. මම මුලින් ප්‍රියන්ත සහෝදරයාගේ පාක්ෂිකයෙකු වී පසුව ජවිපෙ පාක්ෂිකයෙකු වීමි.

 

1982 දී රෝහණ විජේවීර මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විට අපි ඔහුට සහාය පිණිස ගෙන්ගෙට යන්නට වූයෙමු. එහෙත් මාගේ යටිහිත කිව්වේ ජේ.ආර්. පරද්දන්නට නම් ශ්‍රී.ල.නි.ප - ජ.වි.පෙ එකතුවිය යුතු බවය. නමුත් අපි වෙනත් පක්ෂවල අය සමග වාද කරමින් ජ.වි.පෙ ප්‍රතිපත්ති නිවරදි බව පෙන්වන්නට උත්සාහ කළෙමු. වරක් නව සමසමාජයේ ජයතිලක කම්මැල්ලවීර මහතා සමග ද පාසල් සිසුවෙකු ලෙස විවාදයට එළැඹුණු බව මතකය. අප මෙන්ම අපේ මත ද බොහෝ තරුණ විය. මැතිවරණයෙන් ජවිපෙ තුන්වැනි තැනට පත්විය. ලැබුණු ඡන්ද ප්‍රමාණය ගැන ජවිපෙ ක්‍රියාකාරීකයන් කළකිරුණු නමුත් ජ.වි.පෙ ගැන නොදැන සිටියවුන් නම් පුදුමයට පත්විය. ඒ මැතිවරණයේ දී ප්‍රථමවරට මට දෙමළ ඊළාම් අරගලය ගැන දැනගන්නට ලැබිණි. අප කුඩාකල දෙමළ ත්‍රස්තවාදීන්ගේ ජායාරූප ආදිය බිත්තිවල ප්‍රදර්ශනය කර තිබුණු අතර, පුවත්පත්වල ඝාතන හා ගිනි තැබීම් පිළිබඳ වාර්තා පළවිය. ඒවා මට දැනුණේ කව්බෝයි චිත්‍රපටවල එන ෂෙරීෆ් හා දඩයම්කරු අතර, ගැටුමක් ලෙසය. දෙමළ ජනයාට ස්වයං පාලනය ලබාදීම ජවිපෙ ප්‍රතිපත්තිය බව මට දැනගන්නට ලැබිණි. එහි යම් අමුත්තක් දැනුණු නමුදු ඒ ගැන පුළුල් සොයාබැලීමකට මා පෙළඹුණේ නැත. ඒහා සමගම උසස් පෙළ විභාගයට සූදානම් වන්නට සිදුවිය. පාඩම් වැඩ ගැන මගේ අවධානයක් තිබුණේම නැත. සාමාන්‍ය පෙළ විභාගය වැඩ වර්ජනය නිසාත්, උසස් පෙළ විභාගය ජනාධිපතිවරණය (1982) ජනමත විචාරණය හා ජූලි කලබල (1983) නිසාත් අවුල් විය.

 

අපේ ගමට අල්ලපු ගම වූයේ හල්වතුරය. එහි විශාල තේ වත්තක් විය. එහි 70 දශකයේ දී දෙමළ පවුල් විශාල ගණනක් සිටියහ. ඔවුහු බොහොමයක් අප සමග පාසල් ගියහ. අපේ ගොවිතැන් වැඩට හවුල් වූහ. නමුත්, සිරිමා - ශාන්ත්‍රී ගිවිසුම (1964) හා පූරි සැලැස්ම නිසා ඔවුන් බොහෝ දෙනෙක් ඉන්දියාවට ගියහ. වරක් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දිවා ආහාර සංග්‍රහයක දී (2007) අන්ක්ටැඩ් (UNCTAD) සංවිධානයේ විධායිකා ලක්ෂ්මී පූරි මාහට හමුවිය. ඇය පූරි සැලැස්ම දියත් කළ ඉන්දියානු මහකොමසාරිස්ගේ දියණිය වූවාය. අපේ ගමේ හිත මිතුරන් ඉන්දියාවට යැව්වේ ඇයගේ පියා විසින් බව මම ඇයට කීවෙමි. ඇය ලංකාවේ සුන්දරත්වය සිංහල ශිෂ්ටාචාරයේ දියුණුව ගැන වටිනා අදහස් කීපයක් පළ කළාය. පූරි සැලැස්ම නොවන්නට ලංකාවේ දෙමළ ප්‍රශ්නය තවත් උග්‍ර වන්නට ඉඩ තිබිණි. 1977න් පසු අපේ ගම්වල වතු යායවලින් ඉන්දියාවට යවනු ලැබූවන් බොහොමයක් නතර වුණේ වන්නියේ යුද ගම්මානවලය. ගාන්ධියන්, ටී.ආර්.ආර්.ඕ., රෙඩ්බානා හා සර්වෝදය එක්වී වේලූපිල්ලේට මේ දෙමළ දරුවන් පූජා කළෝය. අනෙක් අතින් ඩික්සිත් (1983) ජූලි කලබල වලින් පසු දෙමළ ජනයා භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය. ප්‍රතිඵලය වූයේ ක්‍රමයෙන් සියල්ලන්ට ලංකාවේ පුරවැසිකම ලැබීමය. මෙය බ්‍රිතාන්‍යයන් හා ඉන්දියාව එකී දෙමළ ජනයාටත්, ලංකාවටත් කළ ඓතිහාසික අසාධාරණයකි.

 

1983 ජූලි කෝලාහලවලට අපේ ගම්වල සිටි යූ.එන්.පී පාක්ෂිකයෝ ද එක්වූහ. නමුත්, ගම්මු සාමූහිකව නැගී සිට වත්තේ දෙමළ ජනයා රැකගත්හ. එහෙත්, ජේ.ආර්. කළේ ජ.වි.පෙ හා වමේ පක්ෂ තහනම් කිරීමය. මේ අනුව මම උසස් පෙළ විභාගය ලීවේ පාඨමාලාවෙන් යන්තම් අඩක් හමාරකර කලබල ගොඩක් මැද්දේන්ය. හැමදාම ආරංචි වූයේ ජ.වි.පෙ සගයින් අත්අඩංගුවට ගැනීමේ ප්‍රවෘත්තීන්ය. මෙයින් සිදුවූයේ ජේ.ආර් ගැන මා තුළ තිබූ පටු විරෝධය උත්සන්න වීමය. "මූ අපිට දේශපාලනය කරන්න දෙන්නෑ, මූටත් අපි දේශපාලනය කරන්න දියයුතු නෑ" ලෙස එකී විරෝධය උත්සන්න විය.

 

උසස් පෙළ විභාගයෙන් පසු චිත්‍ර අඳින්නටත්, පතපොත කියවීමටත්, ගොවිතැන්  කටයුතුවලටත්  මගේ  කාලය  වැයවිය.  මගේ  මනසේ  හැරවුම් ලක්ෂයක් එහි දී උදාවිය. ඒ ඇතිවූයේ මාටින් වික්‍රමසිංහගේ පොත පත කියවීමත් සමගය. විශේෂයෙන් ඔහුගේ "සෝවියට් දේශයේ නැගීම" නම් කෘතිය කියවීමත් සමග මාක්ස්වාදය ගැන මගේ තිබූ විශ්වාසය පළඳු විය. සමාජවාදයට එකම මග මාක්ස්වාදය නොවන බවත්, බුදු දහමේ එන සාංඝික දැක්ම එයට යොදාගත හැකි බවත්, මට අවබෝධ විය. මේ ගැන මම ජ.වි.පෙ ඉතුරු වී සිටි නායකයින් සමග කීවෙමි. නමුත්, ඔවුන් සිටියේ එවැනි මතවාදවලට ඇහුම්කන් දිය හැකි තත්ත්වයක නොවේ. විනාශකාරී මර්දනයත් හා විසිරී යන පක්ෂයත් සමග පොරබදිමිනි. ජ.වි.පෙ පීඩාවට පත්ව ඇති මොහොතේ එහි මතවාදය වැරැදි වූවත් එය හැර නොයා යුතු බව ඉටාගත්තෙමි. එහෙත් වැඩි වැඩියෙන් මාක්ස්වාදී නොවන පතපොත කෙරේ අවධානය යොමුකරවූයෙමි. ඩොස්ටොව්ස්කිගේ "අපරාධය හා දඩුවම" ටෝල්ස්ටෝයිගේ "ඇනා කැරනිනා" හා "යුද්ධය හා සාමය", සිලෝන්ගේ "ලුකා" ආදී නවකතාවන් මා ගෙනගියේ වඩාත් විවෘත වූ මිනිසත්කමක් කරාය. කේ. ජයතිලක හා සයිමන් නවගත්තේගමගේ කතාවන් ද මගේ මනස වඩාත් පුළුල් කළේය. මම මාක්ස්වාදයෙන් සම්පූර්ණයෙන් කැඩී වෙන්වූයෙමි.

 

(1984) ජ.වි.පෙ දියැවී යෑමත් සමග අභ්‍යන්තරයේ වූ මූල්‍ය වංචා, දුෂ්චරිත ක්‍රියා, බියගුළු පාවාදීම් ආදිය ද කරලියට ආවේය. මගේ මුල් ගුරුවරයා වූ ප්‍රියන්ත ද පක්ෂ නායකයින් පිළිකුල් ලෙස විවේචනය කර පක්ෂය හැර ගියේය. ඉන්පසු වරක් මා හමුවන්නට අපූරූ පුද්ගලයෙකු ආවේය. ඔහු පසුකලෙක රටක් බිය වැද්දූ සන්නද්ධ ව්‍යාපාරයක අණදෙන්නා වූ සමන් පියසිරි ප්‍රනාන්දු විය. ඔහු අපේ ගමට අල්ලපු ගම වූ පෝරුවෙදණ්ඩ ප්‍රදේශයේ අයෙක් විය."කොට සමන්" ලෙස ප්‍රචලිත ඔහු පක්ෂය වැටී ඇති තැනින් ගොඩ ගැනීම ගැන මට ආවේගශීලී දේශනා කීපයක්ම කළේය. ඉන්පසු ඔහු මට කැලණියේ උපාලිවත්, ඔහුගෙන් පේරාදෙණියේ ඉඩමේගමත් හඳුන්වා දුන්නේය. ආනන්ද ඉඩමේගම වඩාත් සුහදශීලී මිත්‍රශීලී අයෙක් වූ අතර, ඉංජිනේරු සිසුවෙකු ද විය. පසුව විශ්ව විද්‍යාලයේදී දේශපාලනය කිරීමට මේ මිතුදමද ඉවහල් විය.

 

මීළඟ කොටස..

සරසවිය අරගලයෙහි උරගලයි (02 කොටස)

 

 

නවතම ලිපි