ජේ.ආර්. විසින් "ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය" ලෙස ව්‍යවස්ථාමය වශයෙන් ලංකාව නම් කරනුයේ
එකල වාමාංශික කතිකාව උච්ඡ වී තිබූ බැවිනි. උග්‍ර ලිබරල් වාදියෙකු වූ ඔහුට ප්‍රජාතන්ත්‍රවාදය අස්සට සමාජවාදයක් එබ්බවීමට සිදුවන්නේ එබැවිනි.
නමුත් මේ වෙනවිට තත්වය එසේ නොවේ. රටේ කැරලි දෙකක් ගැසූ, සන්නද්ධ අරගලය විශ්වාස කල, අභ්‍යන්තරික වශයෙන් බෝල්ෂෙවික් පක්ෂයක් නඩත්තු කරන සහ "මාක්ස් ලෙනින්වාදය" තම දර්ශනය කරගත් ජවිපෙට පවා සිදුව ඇත්තේ තමන් දක්ෂිනාංශික බව පෙන්වීමටය.
ගෝල්ෆේස් අරගලයෙන් පසුව තත්වය කෙතරම් වෙනස් වී ඇත්ද යන්න පෙන්නුම් කරනුයේ ඇති වී තිබෙන සංවාදය තුලිනි. වාමාංශික කතිකාව මුලින් උපුටා දැමිය යුතු බව පවසන දක්ෂිනාංශික කතිකාවක් බිහි වී තිබේ. සියලු රූපවාහිනී-ගුවන් විදුලි නාලිකා පමණක් නොව, Advocata, SL-VLOG, දකුණු ඉවුර, ඩිනෝ ඇන්ඩ් බ්ලොක්, වැනි තවත් බොහෝ අන්තර්ජාල නාලිකා ද රැසක් ද ඒ සඳහා ඉදිරිපත්ව ඇත.
වාමාංශික කතිකාවක් නොමැති තත්වයක් යටතේ පවා "වාම ජනතාවාදයට එරෙහි දකුණු ඉවුරේ කැරැල්ල" වැනි සටන් පාඨ යොදන මැතිවරණ අපේක්ෂකයින් පවා දැන් බිහිව ඇත. ඒ එතරම්ම ලිබරල් කතිකාව තහවුරු වී ඇති බැවිනි. IMF-WB විරෝධය, රාජ්‍ය ආයතන විකිණීමට එරෙහි වීම, නිදහස් අධ්‍යාපනය සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධය, මානව හිමිකම් වැනි ඉතා නීච, හරසුන් සටන් පාඨ කිහිපයක් බවට පත්ව ඇති වාමාංශික දේශපාලනය වෙනුවෙන් අද පෙනී සිටිනුයේ මෝඩ පෙසප පමණි. නමුත් ඔවුනට විමුක්ති දේශපාලනය පිළිබඳව අදහසක් නොමැත.
මීට දින තුන හතරකට පමණ පෙර රූපවාහිනී නාලිකාවකට පැමිණි ටිල්වින් සිල්වා විසින් ප්‍රකාශ කරන ලද්දේ විමුක්ති දේශපාලනය යනු නිදහස පිළිබඳව කාරණයක් බවත්, ජාතික ජනබලවේග ආණ්ඩුකරණය සමග නොපැටලී ඒ සඳහා පක්ෂය ගොඩනැගිය යුතු බවත්, එබැවින් විමුක්ති දේශපාලනය වෙනුවෙන් ඉදිරියේදී පක්ෂය ගොඩනැගීම වෙනම සිදු කරන බවත්ය. එම ප්‍රකාශය තුලින් ජවිපෙ අභ්‍යන්තරය තුල ඒ පිළිබඳව පැහැදිලි බෙදුම් කඩනයක් ඇති බව පෙන්නුම්කරයි. නමුත් ප්‍රශ්නය වන්නේ අධ්‍යතන යථාර්තය තුල, ඊට අදාලව විමුක්ති දේශපාලන කතිකාව ගොඩනැගීම සඳහා අවශ්‍ය ශක්‍යතාවය ජවිපෙට නොමැති වීමයි. එම අර්ථයෙන් ඔවුන් කිසි ලෙසකින් පෙසප ස්ථාවරයෙන් වෙනස් නොවේ.
කෙසේ වෙතත් "ලිබරල් නිදහස" වෙනුවෙන් පෙනී සිටින, තමන් දක්ෂිනාන්ශිකයින් ලෙස ලේබල් ගසාගෙන සිටින, කිසිවෙකුත් ඔවුන්ගේ ස්ථාවරය තුලින් එහි විරුද්ධ පාර්ශවයන් සමග සංවාදයකට සූදානමක් නොමැත. නමුත් පැරණි වාමාංශය එකල එහි උච්ඡතම අවධියේදී එසේ නොවේ.
"ලිබරල් නිදහසට" එරෙහි "කොමුයුනිස්ට් නිදහස" යනු කුමක්ද?
"අධිකාරීත්වය සහ පන්ති රහිත සන්දර්භය තුළ නිදහස යනු සංරෝධනයන්/සීමාවන් නොමැතිකම නොව සංකේත ව්‍යුහයන් තුළ සැරිසැරීමට සහ තම ස්ථානය සොයා ගැනීමට ඇති සමර්ථය බවට පත් වේ.
එනම්, 'නිදහස' යනු සීමාවන් නොමැතිකම නොව භාෂාව, සමාජය සහ අවිඥානය යන ව්‍යුහයන් තුළ මෙම සීමාවන් හඳුනා ගැනීම සහ ඒ තුල සංචාලනයයි. එනම්, නිදහස පිළිබඳ මෙම සංකල්පයෙන් ඇඟවෙන්නේ සැබෑ නිදහස යනු අසීමිත භාව්‍යතාවයන් පිළිගැනීමක් ගැන නොව සංකේත රටාව මගින් පනවන ලද සීමාවන් තුළ පැවතීම සහ සැරිසැරීම බවයි. එම අර්ථයෙන් නිදහස යනු මෙම සීමාවන් පිළිගෙන ඒවා තුළ නියෝජ්‍යත්වය සහ ආශාව තහවුරු කිරීමට මාර්ගය සොයා ගන්නා පැවැත්මේ ආකාරයක් බවට පත්විය යුතුව ඇත. මෙම ස්ථාවරය සීමාවන් නොමැතිකම ලෙස හඳුනාගන්නා "නිදහස" පිළිබඳ සාම්ප්‍රදායික ලිබරල් සංකල්ප සමඟ ප්‍රතිවිරුද්ධ වන අතර, ඒ වෙනුවට යෝජනා කරන්නේ නිදහස යනු අපගේ පැවැත්ම හැඩගස්වන ව්‍යුහයන් සමඟ දයලෙක්තික සම්බන්ධතාවයක් වීම තුල මිනිස් සත්තාවට පරාරෝපණයෙන් මිදිය හැකි බවයි."
"නිදහස" පිළිබඳව අපගේ ලිපියේ සබැඳිය: http://www.spartacus.lk/9-20/2024/
@මාධව රුවන්පතිරණ
ස්පාර්ටකස් සාමූහිකය