පුරුෂාධිපත්‍ය, පුරුෂෝත්තමවාදය, ස්ත්‍රීවාදය තොරොම්බොල් මාතෘකා වුණාට පීතෘ මූලික සමාජය බිහි වෙච්ච දවසේ ඉඳලා 'ගෑනුන්ට' තියන සමාජ වටිනාකම එක එක සමාජ විපර්යාසයන්ට මුහුණ දෙමින් අද වෙද්දි එක එක විදියට තියෙනවා.
ඔය එක එක විදියට කිව්වේ කොච්චර උණත් තාම මේක පුරුෂෝත්මවාදී ලෝකයක් කියන කාරණේ පොදු සමාජේ අරටුවටම කිඳා බැහැලා තියන නිසා. ඕක අපේ රටේ ඒ හැටි නැති වුණත් (ඉන්දියාවට සාපේක්ෂව) නැත්තටම නැතිවෙලා නෑ කියන කාරණේ "ශ්‍රේෂ්ඨ ඉන්දියානු කුස්සිය" හෙවත් The Great Indian Kitchen නමැති කේරළය පාදක කරගෙන හදපු චිත්‍රපටියෙ තියන විශ්වීය ලක්ෂණවලින් තේරුම් බේරුම් කර ගන්න පුළුවන්.
"ගෑනුන්ට Comfort Zone එකක් හදන්න පුළුවන් අම්මලාට විතරයි" කියලා මම විශ්වාස කරන සත්‍ය මේ කතාවෙත් කතා නායිකාව මුහුණ දෙන ගෘහස්ත ගැටලුවලින් ආයෙ ආයෙත් සනාත වුණා. මොකද පිරිමි දරුවෝ පුංචි කාලේ ඉඳං වැඩිපුරම ළෙන්ගතු අම්මට නම් කවදා හරි ඒ පුතා ගැහැනුන්ට ගෞරව කරන, ගෑනු පිරිමි භේදෙකින් තොරව සමස්ත මනුස්ස සංහතියටම ගරු කරන 'මිනිහෙක්' කරන්න අම්මලාට හුඟක් ලේසියි. හැබැයි අම්මලා හැමදාම උත්සහ කරන්නෙ 'ගෑනිට යට නොවන පිරිමියෙක්' (මේ කියන්නෙ යටත් වීම ගැන මිසක් වෙන යටවීමක් ගැන නෙවෙයි) නිර්මාණය කරන්න.
දුවගේ රෙදි හෝදල දෙන බෑණෙක් ලැබුණොත් ඒක දුවගේ වාසනාව කියන අම්මලාම තමංගේ පුතා ලේලිගෙ රෙදි ටික හෝදනවා නම් අන්න පටන් ගන්නවා තුන්වන ලෝක යුද්ධෙ කුටුම්භ වර්ශන් එක. හැබැයි මේ කතාවේ නැන්දම්මා එහෙම නෑ, එයා ලේලිව ට්‍රේන් කරනවා අලුත් ගෙදර සම්ප්‍රදායට හුරුකරවනවා. ලේලිගෙ පැවැත්ම වෙනුවෙන් එයාව පුරුදු කරවනවා. ඊළඟ පරම්පරාවේ ලේලිව පුතාගෙ සුඛවිහරණය වෙනුවෙන් පශ්චාත් උපාධිධාරී පෙර පරම්පරාවේ නැන්දම්මා විසින් ට්‍රේන් කරනු ලබනවා.
සංඝමිත්තා මෙහෙණින් වහන්සෙ මේ ධර්මද්වීපයට වැඩම කරවපු ජය ශ්‍රී මහා බෝධින් වහන්සෙගෙ අෂ්ඨඵල බෝධියක්ලුනේ කතරගම දේවාල භූමියෙ තියෙන්නෙ.
මං ඇස්දෙකෙන්ම දැක්කා ආගමික පොලිස් නිලධාරි ස්වාමීන් වහන්සේ නමක් ඔය බෝධියේ රන් වැටෙන් ඇතුළට වැඩිවියට පත්වුණ ගෑනුන්ට ඇතුළු වෙන්න නොදී රැකගෙන ඉන්නවා. කිට්ටු කරලා ඇහුවම කිව්වා 'කිලි' කියලා. ඕක ඉතිං වඳින්ටම ඕනෙ නං දුර ඉඳං වැන්දම මොකෝ, කඳ අතගාලම වඳින්න ඕනයෑ. හැබැයි ඉතිං මෙහේ නෑ කියන පුරුෂාධිපත්‍ය වැඩ කරන එක තැනක්, එක විදියක් තමයි ඔය.
ඔය 'ඔසප් කිල්ල' ගැනත් මේ "ශ්‍රේෂ්ඨ ඉන්දියානු කුස්සිය" ඇතුළේ කතා බහ කරලා තියෙනවා හරි අපූරුවට. කොටින්ම කිව්වොත් අදාළ දවස්වලදි අපේ කථානායිකාවට "ශ්‍රේෂ්ඨ ඉන්දියානු කුස්සිය" අහළකටවත් එන්න දෙන්නෑ. නිදා ගන්න දෙන්නෙත් බිම. හැබැයි ඒ දවස්වලට අත්තුදව්වට එන කාන්තාව නම් කියන්නේ "මං ඔය දවස්වලටත් ගෙවල්වල වැඩ කරන්න යනවා. නොගිහිං හිටියොත් අපි බඩ ගින්නේ" කියලා. ඒ කියන්නෙ නොදන්නා ඔසප් කිල්ලකින් හානියක් නෑ, දැන ගත්තොත් තමා කිල්ලට අහුවෙන්නෙ කියලා.
චිත්‍රපටිය පටංගත්ත වෙලාවේ ඉඳං ගෙදර උයන පිහන වැඩයි අතුපතු ගාන වැඩයි වළංපිඟං හෝදන වැඩයි රෙදි හෝදන වැඩයි තමා වැඩි හරියක් පෙන්නන්නේ. ගෑනු කුස්සියට වෙලා ගතකරන ඒකාකාරී ජීවිතේ රිද්මය ජෝ බේබි (අධ්‍යක්ෂවරයා) ශ්‍රේෂ්ඨ ඉන්දියානු කුස්සිය ඇතුළේ පෙන්නලා තියෙනවා. බලන මිනිස්සුන්ට එපා වෙන තරමටම ඒක දැනෙනවා නම් හැමදාම ඕක අස්සෙ හිරවෙලා ඉන්න ගෑනුන්ට කොහොම එපා වීමක් ඇතිද..?
ගෘහත්ත ප්‍රචණ්ඩත්වය වගේ විප්ලවයක් ඇතිවෙන්න තරම් ප්‍රබල කාරණා, ගුටි බැට හුවමාරු මේ කතාවෙ නැති උණත් කතාවේ දෙවැනි අර්ධෙ මැදදි විතර මාත් එක්ක මේ චිත්‍රපටිය බලපු මගේ බිරිඳ ඇගේ හඬ අවදි කරලා "එයාට ගෙදරින් පැනලා යන්නනෙ තියෙන්නෙ..." කිව්වා. බලන කෙනෙකුට ඒ තරම් හැඟීමක් දැනෙනවා නම් කතාව ඇතුළේ අපේ කථානායිකාව වටා කොයි තරම් පීඩනයක් ගොඩ ගැහිලා ඇතිද කියලා මට ඒ වචන ටිකෙන් හොඳටම තේරුණා. ඇඳේ වැඩේදිත් කුස්සියේ පල්වතුරයි, කුණුපණුවො ගහපු කෑමයි, හට්ටි මුට්ටිවල දැලි කුණුයි, ඉඳුල් වතුරයි මතක් වෙන තරමටම ජීවිතේ නීරස උණාම ගෑනුන්ට ඒ ජීවිතේ එපා වෙන එක අරුමයක් නෙවෙයි.
දවස් ගාණක් තිස්සේ කුස්සියේ සිංකෙකේ සංස්කෘතියෙන් ලීක් වෙන සාම්ප්‍රධායික පල් වතුර එකතු කරලා වන්දනාවේ යන්න ඉන්න අප්පගෙයි පුතාගෙයි මූණට ගහලා අපේ කතා නායිකාව ඒ ගෙදිරින් පැනලා යනවා. ඒ ගියාට ඉතිං අවුරුදු දහස් ගාණක සම්ප්‍රදායක් විනාඩි 100ක චිත්‍රපටියකින් බිඳ වට්ටන ඒක ලේසි වැඩක් නෙවයි.
අම්මලෑ ගෙදර යන කථානායිකාව අම්මයි නංගියි ළඟ තියං විස්තරේ කියද්දි මල්ලි ගමනක් ගිහිං ඇවිත් වතුර එකක් ඉල්ලනවා. අම්මා නංගිට කියනවා අයියට වතුර එකක් ගෙනත් දෙන්න කියලා. කථානායිකාව බෙලෙක් කෝප්පෙ පොළවෙ ගහලා "ඇයි නංගි යවන්නෙ තමුසෙට ගිහිං ගන්න බැරිද" අහනවා. ඔය වෙලාවේ මට මතක් උණා වික්ටර් රත්නායකගේ
"බනින්නෙපා පොඩි දෝණිට ගහන්නෙපා
හාල්මිටක් දුව අරගෙන එන්නේ
සෙල්ලම්බත් උයන්නයි"
සිංදුව. ඒ සිංදුවේ අම්මා දුවට ගහන්නෙ බනින්නෙ සෙල්ලම් කරන එකට විරුද්ධව නොවන බවත් දුව සෙල්ලම් කරන්න භාවිතා කරන දේවලට විරුද්ධව බවත් නිකමට හරි හිතිලා තියෙනවා නම් අපේ කුස්සිය "ශ්‍රේෂ්ඨ ඉන්දියානු කුස්සියක්" වෙන එක වළක්වා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. චිත්‍රපටියත් බලන්න. මේ ලියවිල්ලට වඩා ඒක සෑහෙන්න රහට දැනෙයි.
තිවංක විශ්වනාත් ජයසේකර