මතුපිටින් අයිසින් තවරූ එහෙත් කුණු වී පණුවො පිරුණු, කේක් ගෙඩියක් මෙන් වූ ශ්‍රී ලංකා ආර්ථිකය ගැන දෙස් විදෙස් බොහෝදෙනා කියන කතා දැන් දැන් ප්‍රසිද්ධ රහස්ය.
රට වැට්ටූ, රට සූරා කෑ, ජනතාවට වින කැටුව පිරිස් යෙහෙන් වැජඹෙද්දී ලෝකෙට පෙනෙන්නට “රටට එහෙම වෙන්නට හේතු සොයන්න පත් කළ කමිටුව” ලෝකය හිනස්සන දෙයක් බවට පත්වී හමාරය.
තරගයට ගසා කෑ, රටේ සාරය උරා බී, අමනෝඥ තීන්දු තීරණ ගෙන රට වළපල්ලට පත් කළ පොහොට්ටු පාලනයේ උදවියම ආණ්ඩුව විසින් ඊට හේතු සොයන්නට පත් කිරීම ජාත්‍යන්තරය දකින්නේ නොපහන් බවින් යුතුවය. මෙහි ප්‍රතිඵල දැනගන්නට වැඩි කලක් ගත වන්නේ නැති තරමට ජාත්‍යන්තරයේ තියුණු ඇස් ලංකාව දෙසට යොමු වී අවසන්ය.
රනිල්ගේ ඉන්දියානු සංචාරය ඉතා තීරණාත්මක එකක් බව පළ කරමින් මෙරට ඇතැම් මාධ්‍ය ආණ්ඩුවේ ජාමබේරා ගන්නා අටියෙන් ලියන්නට, පළ කරන්නට යුහුසුලු වුවද ඉන්දීය මාධ්‍යවලට මේ ගමන ඒ හැටි රුදාවක් දනවන්නක් නොවන තරමට හිස්ය. ඒ කෙසේ වෙතත් ‘රනිල් ඉන්දියාවට යන්නේ නිකමට නොවේ’ යන්න දැනවීමට මෙරට බොහෝ දේශපාලන විචාරකයෝ උත්සාහ ගන්නා බැව් පෙනෙයි. ඉන්දීය සංචාරයට පෙර සූදානම වැදගත් යැයි දක්වමින් මෙන් රනිල් ඉන්දියාවට දැනෙන්න කොළඹදී ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රිවරු රැස්කර අමුතු කතාවක් කීවේ හොඳින් සිතාමතා බැව් පෙනෙයි.
“මම රනිල් වික්‍රමසිංහ මිස රනිල් රාජපක්ෂ නොවේ. මට වුවමනා උතුරේ ප්‍රශ්න විසඳන්නයි. දේශපාලන වාසි ගන්න නොවෙයි.”
රනිල්ගේ කතාවේ සාරාංශයත් හොඳම හරියත් එසේය. ඒ කතාවේ හැටියට රනිල් හරි අපූරු, ඉතා හොඳ ප්‍රජාතාන්ත්‍රිකයෙකි. පාලකයෙකි. ද්‍රවිඩයන්ට යම් ගැටලුවක් වෙත් නම් එය විසඳන්නට ඇරුණු හදවතක් ඇත්තෙකි.
මේ කතාව අහන ද්‍රවිඩ ජනතාව කියන්නේ “දැක්කද! අපේ ප්‍රශ්න විසඳන්නයි යන්නෙ. එයා රාජපක්ෂ කෙනෙක් නොවෙයිනෙ. එයා වික්‍රමසිංහ රනිල් කෙනෙක්. බලන්න කොයි තරම් හොඳ ප්‍රකාශයක්ද” ය යන්න කියනවා දැයි දන්නේ නැත.
මේ කතාව අහන දකුණේ සිංහල එහෙත් පොහොට්ටු පාක්ෂිකයන් සිතන්නේ “දැක්කද දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්නය රාජපක්ෂලා විසඳන්න උත්සාහ කළේ නෑ. මම තමයි ඒකත් විසඳන්නෙ වගේ කතාවක්නෙ රනිල් කියන්නෙ. මේක මහින්ද රාජපක්ෂට දුන්නු කනේ පහරක් වගේනෙ. පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ගෙ බහුතරයෙන් ජනාධිපති වෙච්ච රනිල් මෙහෙම කතා කරන එක හරි නෑනෙ. ඉතින් කොහොමද මෙයාව මීළඟ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කරන්නෙ. කැතයි වැඩේ නේද?”යි කියලා වන්නට පුළුවන.
මේ දෙපැත්තටම නැති ඡන්ද දායකයන් කියන්නේ රනිල් උතුරේ ජනතාව වෙනුවෙන්ය කියා සීමිත සමාගමක් වශයෙන් කටයුතු කරන, දෙමළ ජන අයිතිය මාකට් කරන, විකුණං කන අතළොස්සක්වන් නියෝජිතයන් සතුටු කරමින් ඔවුන් හරහා ඉන්දියාවට යමක් කියාපාන්න උත්සාහ ගන්න බවය. එහිදී දෙමළ ජනතාවගේ සැබෑ ගැටලුද සිංහල ජනතාවගේ සැබෑ ගැටලුද බොහෝදුරට එක හා සමාන වන ජීවත් වීමේ අර්බුදය යන්න හිතාමතාම අමතක කර දමා පොඩි ගේම් එකක් ගහන්න යන බවක්ද පෙනෙයි.
රනිල්ගේ ඉන්දියානු සංචාරයට පෙර එහි යන මාවතේ කටුකොහොල් ශුද්ධ කර ගැනීමක් හා සමානව පෙනෙන උතුරේ ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ කතා කිරීම සැබෑවටම ඉන්දියාව ඇන්දීමක් විය හැකියි යන්න විකල්ප මත දරන්නන්ගේ අදහසය.
ඉන්දියාව කටයුතු කරන්නේ තනි රටක් ලෙස නොවේ. ඊට ප්‍රබලම රාජ්‍යයන් වන ඇමරිකාව, ජපානය හා ප්‍රබල ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් ප්‍රමුඛව අයත්ය. සහාය වන්නේය.
මෙම සන්ධානයට අයත් රටවල් තමන්ගේ අනාගත ඉලක්ක සුන් කර දමන පාලකයන් ඒ ඒ රටවල බලයට පත් කරවන්නට උර දෙන්නේ නැත. ඒ වෙනුවට එම රටවල එකී උත්සාහයන් දියකර හරින්නට යුහුසුලු වන්නේය.
මෙහිදී “ඉන්දියාව ෂේප් කර නොගත්තොත් අනෙක් මොනවාවත්ම ලැබෙන්නෙ නෑ. දැනටමත් බාල බෙහෙත් ගෙන්වලා ලංකාවේ ඇතුළතදී ආණ්ඩුව අපකීර්තියට පත් වෙච්ච වෙලාවක ඒ පිටුපස සිටි රාජපක්ෂ හිටපු පාලනයේ අක්මුල් ජාත්‍යන්තර ප්‍රජාව අමතක කරන්නේ නැහැ. රනිල් එන්නේ ඒ පාලනයේ පක්ෂ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ආණ්ඩුවක නායකයා විධියටනෙ. ඉතින් ඉන්දියාව ඒක අමතක කරාවිද”? යන්න කල්පනා කළ යුතුය.
එහිදී ජාත්‍යන්තරයේ හැසිරීම අවබෝධ කොට නොගෙන රනිල්ගේ ඉන්දීය සංචාරය ගැන කතා කරන්නට බැරිය. රනිල් ඉන්දියාවට ගියා වුණත් ඉන්දියාව පිටුපස සිටින ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය අමතක කරන්නට බැරිය. එතැනදී යම් එකඟතාවකට ඒමට නම් ඉන්දියාවට ගිය ගමන් රනිල්ගෙන් අහන්නට නියමිත ප්‍රශ්න අවබෝධ කරගෙනම ඔහු එහි යා යුතුය.
“ඉන්දියාව ඡන්දයක් අබියස තමන්ගේ ඡන්දදායකයන් ගැන සිතනවා” මෙන්ම එහි තමන්ට වාසි ඉවුරකට අනෙක් පාර්ශ්වය කැඳවාගෙන යන්නට උත්සාහ ගන්නේය. එහිදී තමිල්නාඩු දේශපාලනය පිනවන්නටත් ඒ පිනවීම ලෝකයට කෙසේ වෙතත් ඉන්දියානුවන්ට පෙනෙනවාටත් ඉන්දීය පාලක නායකයන් කැමැතිය. ඒ නිසාම ඉන්දියාව රාෂ්ට්‍රපති භවනෙන් තේ කෝප්පයක් බොන්නට පෙර මෝදි අහන ප්‍රශ්නවලට උගුරේ තේ හිරකර ගන්නා තාලේ වැඩකට රනිල්ද කැමැති වන්නේ නැත. ඒ නිසා උතුරු-නැඟෙනහිර ද්‍රවිඩ දේශපාලන පක්ෂ හා මන්ත්‍රිවරුන්ට ඇහෙන්නට. ඉන්දියාවට දැනෙන්නට රනිල් “මං රාජපක්ෂ කෙනෙක් නෙවි. රාජපක්ෂලා කරපු කෙරුවාව කරන්න නෙවි මං එන්නේ. මං වෙන කෙනෙක් බොලව්” යැයි කියන්නට උත්සාහ කළාක් මෙන් පෙනෙයි.
ඊටත් වඩා රනිල් ගිය මොහොතේ පටන් ඉන්දීය බලධාරීන් ඇඟිල්ලෙන් ඇන ඇන විමසන කාරණාවක්ද තිබේ. එනම් අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීමේ කටයුතු කුමන ප්‍රගතිදායක තත්ත්වයක තිබේද යන්නය. එම පැනය මානව හිමිකම් කොමිසමේද විමසීමට භාජන වන්නකි. මේ වන විටත් කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 21,374ක් බවත් ඉන් පැමිණිලි 3,462ක විමර්ශන කටයුතු නිමවා ඇති බවත් වාර්තා වේ. ඉතිරි පැමිණිලි පිළිබඳ විමර්ශන කටයුතු තවමත් සිදුවෙමින් පවතී. ඒ අනුව මහින්දගේ කාලයේ පැවැති යුද්ධයේදී සිදු වූ අතුරුදන්වීම්වලට මහින්දවත් බේරාගෙන ගෝඨාවත් බේරාගෙන රනිල්ට කටයුතු කරන්නට සිදුවෙනවා ඇත. ඊට හේතුව නම් රනිල් කොතෙක් හඬනඟා තමන් රාජපක්ෂ කෙනකු නොව වික්‍රමසිංහ කෙනකු යැයි කීවත් ඉන්දියාව හෝ ජාත්‍යන්තරය රනිල්ගේ තරම දන්නා නිසා එය පිළිගන්නේ නැති නිසාය.
ඉන්දියාවේ ඇහැට ඇඟිල්ලෙන් අනින, උතුරු-නැඟෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නය විසඳීම ඉන්දියාවද හිඟන්නාගේ තුවාලය මෙන් එහෙම්ම තියෙනවාට කැමැති වෙන්නේ නැත. ඉන්දියාවට සැබැවින්ම වැදගත් වන්නේ ඒ හරහා ඉන් ඔබ්බට ගිය භූ දේශපාලනික යථාර්ථයක් වෙත ශ්‍රී ලංකාව නම්මවා ගැනීමටය. කැඳවාගෙන යෑමටය.
ඒ නිසාම උතුරු-නැඟෙනහිර දෙමළ පක්ෂ හා එහි නියෝජිතයන් “ඉන්දියානු දිගු දුර මෙහෙයුම් ජාලයට” නතු කරගෙන එහි මූලෝපායන්ට අනුව කටයුතු කරන අතරතුර එම සත්‍යය අමතක කර දමා රනිල්ටද ගේම් ගහන්නට බැරිය. එක්කෝ කැමැත්තෙන් ගොස් තමන්ම තොණ්ඩුව බෙල්ලට දමා ගත යුතුය. නොඑසේ නම් තොණ්ඩුවත්, බෙල්ලත් බේරාගෙන, වැඩෙත් කරගෙන එන්නට පුළුවන් විය යුතුය. රනිල් යන මේ ගමනේදී එය කොයි ආකාරයෙන් සිදුවේද යන්න ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේද කාගෙත් අවධානයට ලක් වී ඇත.
අතීතයේ මෙන්ම මේ වන තුරුත් අපිට වඩා වෙනස් ආකාරයට ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරන ඉන්දියාව “තමන්ගේ රටට ආර්ථික වශයෙන් වඩාත් වාසිදායක තීන්දු තීරණ මිස ළද බෙළඳ තීරණ ගන්නේ නැත.” ලංකාවේදී නම් මහින්දත් එක්ක කළු කෝපි බී පුරුදු රනිල්ට ගේම් ගහන එක සිම්පල් යැයි පෙනුණද ඉන්දියාවේදී ඒ ගේම දාම් ඇදීමකට එහා ගිය තියුණු වූවක්ම වන්නේය.
රාජපක්ෂවරුන්ගේ දුර්දාන්ත පාලනයේ ප්‍රතිඵලයක් ලෙස රට මේ තරම් අගාධයකට ඇදවැටුණු බව ඉන්දියාව අන් කවර අයටත් වඩා ඉතා හොඳින් දන්නේය. රනිල් එන්නේද තවමත් ඔහු රකින ආණ්ඩුවක නායකයා වශයෙන් වීම නිසා දෙවතාවක් හිතා බලා රනිල් කියන දේට එකඟ විය යුතු බව ඉන්දියාව හොඳින් දැන සිටින්නේය.
ලංකාවෙ අසල්වැසියා – ඥාතියා – හිතවතා වෙච්ච ඉන්දියාවට ලංකාවේ මිනිස්සු හාමතේ මැරෙන්න යද්දී බලා ඉන්නට බැරිය. චීනය පැනලා බේරගන්නට පෙර ඉන්දියාව මොනවා හෝ කළ යුතුමය. එහෙත් රාජපක්ෂවරුන්ගේ දේශපාලන බිස්නස්වලට ආර්ථික අතින් අත දිගහැර උදවු දුන් චීනය, ලංකාව හතර ගාතෙන් වැටී තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කුසගිනි ජාලා මැද නරකාදියක් වෙද්දී වගේ වගක් නැතිව උන්නේය. ඒ මදිවාට ගත්තු ණයට පොලී වාරික නියමිත වෙලාවටම ඉල්ලුවේය. රාජපක්ෂලා හිතා උන්නු ආධාර දුන්නේද නැත. චීනයේ නපුරු හැසිරීම ඉන්දියාවට ඉස්සර වීමට හේතු වූවක්ම වූයේය. ඒ නිසාම හදිසි ආර්ථික ආධාර ලබා දෙන්නට දෙවතාවක්ම උත්සුක වූයේය.
ඉන්දියාව බොහෝ සන්සුන්ව, ඉතා ශූර ලෙස ලංකාව ඉන්දියාවේ ආර්ථික උපාය උපක්‍රමවලට හා එම දැලට හසු කර ගන්නවා ඇත.
ඉන්දීය නාටකයේ තිරය ඇරෙමින් තිබෙන්නේ එසේය. රනිල් එම වේදිකාවට ගොඩ විය යුතුමය. රාජපක්ෂලාට තවදුරටත් යහතින් වැජඹෙන්නට නම් රනිල් ජාම බේරාගෙන එනතෙක් බලා සිටින්නට වනු ඇත. රනිල්ට ඉන්දීය වේදිකාවේ තිරය ඇරී තියෙද්දී කාටත් පේන්නට අතට අත දෙන්නටද සිදු වනු ඇත. එහෙත් ඉන්දීය උපාය උපක්‍රම අනුව තිරය වැසූ පසු තිරය පිටුපස සිට මොනවා කතා කර ගන්නට වනු ඇත්ද? එය කෙසේ ලංකාවට ගළපා ගත යුතු දැයි තීරණය කරන්නට වනු ඇත. රාජපක්ෂලා විසිල් ගහන්නට බලා සිටින්නේ රනිල් වික්‍රමසිංහගේ වීර වික්‍රමයන් දිහා බලා ගෙන වුවත් ලංකා මාතාව බිලිවන්නේ කුමන උගුලකට දැයි අපට නම් නොබලා බැරිය. රාජපක්ෂලා සහ රනිල්ලා ගෙදර ගිය දිනෙක මේ සියල්ලටම වන්දි ගෙවන්නට වන්නේ ලංකා මාතාවගේ නූපන් දරුවන්ටය. ඒ නිසා රාෂ්ට්‍රපති භවනට ගොස් මෝදි රනිල්ට දෙන්න හදන තිත්ත කෝපි කොයි විධියකින් හෝ රස වන්නේ නම් නැත.
@සජිත් රෝහිත ලියනගේ
මව්බිම පුවත්පත