''අපි බංකොළොත් රටක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ආකාරයට අපි වාසනාවන්ත නම්,
ඉදිරි වසර කිහිපය තුළ අපට 3.5%ක ආර්ථික වර්ධන වේගයක් ලැබෙනු ඇතැයි කියා මම විශ්වාස කරනවා.
2022 ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේ බරපතළකම සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ඇතිව රට තුළ ශක්තිමත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් තිබුණත් එහි තත්ත්වය හෝ ණය පීඩාව හේතුවෙන් රටට කිසිදු විදේශ සහනදායී මූල්‍යකරණයකට ප්‍රවේශවීමට හැකියාව ලැබි නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡා මෙම තත්ත්වයන්ට ගැලපෙන සාකච්ඡා නොවන බව මම ඔබට පැවසිය යුතුයි. එය තවමත් පැරණි සාකච්ඡා ක්‍රමයමයි.
ශ්‍රී ලංකාවට මේ තත්ත්වයෙන් ගොඩඒමට ලෝක බැංකුව සිදුකළ උපකාර සහ මගේ පැරණි මිතුරිය සමන්තා පවර් මහත්මිය අපට පොහොර ලබාගැනීම සඳහා කළ උපකාරය නොවන්නට මට අද මෙහි පැමිණෙන්නට හැකිවන්නේ නෑ. මොකද එම උපකාරය නොලැබුණා නම් අද මම මේ තනතුරේ නොසිටින්නට ඉඩ තිබුණා.''
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහෙම කියා තිබුණේ ජර්මනියේ පැවැත්වූ ''බර්ලින් ග්ලෝබල්'' සමුළුවේ සමාරම්භ අවස්ථාවට සහභාගි වෙමින් සිදුකළ දේශනයේදීය. මේ සමුළුව ජාත්‍යන්තර ආර්ථික ප්‍රතිපත්ති සහ මූල්‍යකරණ විශේෂයෙන් සහභාගි වූ සමුළුවකි. එහිදී ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික ගැටලු සම්බන්ධව තම කතාවේදී කළ සඳහන එසේ විය.
ජනපතිවරයා ජර්මන් සංචාරයට පෙර මෙරට අයි.එම්.එෆ්. කාර්ය මණ්ඩලය හමුවී සාකච්ඡාවක් පැවැත්වීය. ඒ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පළකළ අදහස් ගැන දැනගන්නට නැත. හැබැයි ශ්‍රී ලංකාව සමග පැවැත්වුණු සාකච්ඡා සම්බන්ධව කරුණු අනාවරණය කිරීමට අයි.එම්.එෆ්. කණ්ඩායම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. එහිදී ඒ කණ්ඩායම් නායක පීටර් බ_වර්ගේ කථාවෙන් පැහැදිලි වුණේ ශ්‍රී ලංකාවට දැන්ම අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය නිදහස් නොකරන බවය.
''ශ්‍රී ලංකාව පියවර දෙකක් සම්පූර්ණ කළ යුතුයි. පළමු පියවර නම් අයි.එම්.එෆ්. වැඩසටහනේ ඉලක්ක සපුරාගත හැකි ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සමූහයකට ශ්‍රී ලංකාව සහ අයි.එම්.එෆ්. එක අතර එකඟතාවක් ඇතිවිය යුතුයි. දෙවැනි පියවර මෙරට ණය තිරසාරභාවය නැවත ඇතිකර ගත හැකි බව පෙන්වා දෙන පැහැදිලි මාවතකට ශ්‍රී ලංකාව අවතීර්ණ වීමයි.''
අයි.එම්.එෆ්. ශ්‍රී ලංකා කාර්ය මණ්ඩල ප්‍රධානියා මෙහෙම කිව්වායින් පසුව ජර්මනියේදී කතා කළ ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණේ අයි.එම්.එෆ්. එක වැඩ කරන්නේ පරණ ක්‍රමයට බවය. ''බර්ලින් ග්ලෝබල්'' ජාත්‍යන්තර ආර්ථික ප්‍රතිපත්ති සහ මූල්‍යකරණය පිළිබඳ ඉහළ මට්ටමේ සමුළුවක් වුවද ජනාධිපතිවරයා එම වේදිකාව ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ලෝකය හමුවේ කියාපෑමට යොදා ගත්තේ ය.එහෙම යොදාගෙන අයි.එම්.එෆ්. එක යන්නේ පැරණි පාරේම බවත් කියා ලෝක බැංකුවට පැසසුම් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් ගිහින් යූ.එන්. සමුළුව පැවති කාලය අතරතුරදී ලෝක බැංකු ලොක්කා අජේ බන්ගාද හමුවී තිබිණි. එහිදී අජේ බන්ගා කියා තිබුණේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ලෝක බැංකුවට ලබාදිය හැකි ආධාර සම්බන්ධෆයන් තමා සැලකිල්ලෙන් සිටින බවය. ජනාධිපතිවරයා අමෙරිකාවේ බලවත් රාජ්‍ය නිලධාරිනියක් වශයෙන් සැලකෙන සමන්තා පවර්ටද ඉහළම පිළිගැනීමක් තම බර්ලින් කතාවේදී ලබාදුන්නේය.
මේ කතාවලින් පෙනෙන්නේ ශ්‍රී ලංකාවත් අයි.එම්.එෆ්. එකත් අතර මධුසමය අවසන් බවද?
එහෙම අදහසක් අයි.එම්.එෆ්. නිලධාරියාගේ කතාවෙන්ද පෙනෙන්නට තිබුණි. මේ රටේ ආර්ථිකය ස්ථාවර වන ලකුණු පෙන්නුවත් ආර්ථිකය පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත්වීම තවමත් සහතික කර නැති බවත් ඔහු සඳහන් කර තිබිණි.
මේ ඔක්කොම කතාවලින් පෙනී ගියේ ලංකාව මහත් බලාපොරොත්තු තබාගෙන සිටි අයි.එම්.එෆ්. ණය සහන ආධාරයේ දෙවැනි වාරිකය දැන්ම නොලැබෙන බවය. ඒ සඳහා නිශ්චිත කාලරාමුවක් හෝ සඳහන් කිරීමට අයි.එම්.එෆ්. කණ්ඩායම උනන්දු වූයේ නැත. පීටර් බවර් පැහැදිලිවම කිව්වේ අදාළ පියවර දෙක සම්පූර්ණ කිරීමෙන් පසුව පමණක් ඉදිරියට යා හැකි බවය. ඉන්පසුව සමාලෝචන වාර්තාව සකස් කිරීමටත් එය විධායක කමිටුවට ඉදිරිපත් කිරීමටත් යම් කාලයක් වැයවන බවය. මේ කියන්නේ අපට තිබෙන හදිස්සිය අයි.එම්.එෆ්. එකට අදාළ නැති බවය. ඔවුන් පියවර දෙකක් වශයෙන් හඳුන්වන කොන්දේසි දෙක සපුරා ගැනීමෙන් තොරව අයි.එම්.එෆ්. වැඩපිළිවෙළට අනාගතයක් නැති බවය.
මේ කොන්දේසි දෙක බැලූ බැල්මට පෙනෙන්නේ ලංකාවට ඉටු කිරීමට ඉතාම අමාරු බවය. ඉලක්ක සපුරා ගතහැකි ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සමූහයකට එකඟවීමත් ණය තිරසරභාවය නැවත ඇතිකර ගත හැකි බව පෙන්වා දෙන පැහැදිලි මාවතකට ශ්‍රී ලංකාව අවතීර්ණ වීමත් යනු මේ රටේ දැඩි ආර්ථික අපහසුතා වලින් පීඩා විඳින පොදු ජනතාව මතට තවත් බර පැටවීමකි. රටේ ධනෝපායන මාර්ග වශයෙන් කැපී පෙනෙන සංචාරකයන් පැමිණීමේ ඉහළ වර්ධනයත් විදෙස්ගත ශ්‍රමිකයන් විසින් එවන ප්‍රේෂණ ප්‍රමාණයේ ඉහළ යාමත් පමණක් වන තත්ත්වයක් පවතිද්දී රටේ ජනතාවගේ අතේ මුදල් ගැවසීමට ඉඩක් ඇත්තේම නැත. රටේ අපනයන ආදායම විවිධ හේතූන් නිසා පහළ යාමක්ද පෙන්නුම් කරන බැවින් සංචාරක සහ විදෙස් ශ්‍රමික ක්ෂේත්‍ර දෙක මත පමණක් රටේ සමස්ත ආර්ථිකය රඳවා තැබීම ඉතා භයානක තත්ත්වයකි. නමුත් ඒ ගැටලුවට ආණ්ඩුව අතේ කිසිදු සැලැස්මක් ඇති බවක් පෙනෙන්නේද නැත.
ජනාධිපතිවරයා අයි.එම්.එෆ්. පළමු වාරිකය ලැබීමෙන් පසුව කළ එක ප්‍රකාශයක සඳහන් වුණේ අපේ රට ලබන සැප්තැම්බර් අවසාන වනවිට බංකොළොත්භාවයෙන් මිදුණු රටක් හැටියට ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බවය. ඒ ප්‍රකාශය පදනම් වී තිබුණේ අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය නිසැකවම ලැබෙනු ඇති බවට තිබූ විශ්වාසය බව පැහැදිලිය. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා යම් යම් ඉතා අසීරු තීන්දු ගැනීමටද පෙළඹුණේය. රටට ඔරොත්තු නොදෙන තරමට බදු ගැසීම, විදුලි බිල, තෙල් මිල වැඩි කිරීම ඒ අතර කැපී පෙනුණි. ආනයන සීමා දැඩිව පවත්වාගෙන යාම හේතුවෙන්ද ජනයාගේ එදිනෙදා ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. මේ ජනතාව පෙළන සියලු තීන්දු ආණ්ඩුව ගත්තේ අයි.එම්.එෆ්. දෙවැනි වාරිකයත් ෂුවර් යන අදහසිනි. එහෙත් දැන් ඒ බලාපොරොත්තු බිඳ වැටෙමින් ඇති බව බර්ලින් සමුළුවේදී ජනාධිපතිවරයා කළ කතාව පැහැදිලිව පෙන්වා දී තිබේ.
බදු බර උවමනාවටත් වඩා ජනතාව මත පැටවීම හේතුවෙන් රටේ සිදුවන දැවැන්ත බුද්ධි ගලනයද අද රටේ අනපේක්ෂිත ගැටලුවලටද හේතු වී තිබේ. වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු අත්‍යවශ්‍ය සේවා ඉටුකරන උගත් නිලධාරීන් බදු ගැටලු හේතුවෙන් පිටරටට යාමත් උගත් තරුණ පරපුර අතර අනාගතය පිළිබඳව ගොඩනැගි ඇති ප්‍රබල අනාරක්ෂිත හැඟීමත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවල ගුරු හිඟයක් ඇතිවීමත් මේ ගැටලු අතරින් සමහරකි. දැන් පවතින විශ්වවිද්‍යාලවලත් තිබෙන අඩුපාඩු සපුරා නොගෙන රටේ තවත් විශ්වවිද්‍යාල දහයක් බිහිකරනවා වැනි කතා අද ජනතාව අතර විහිළුවක් බවට පත්ව තිබෙන්නේ ඒ හේතුවෙනි. ඒ එක්කම තමන්ගේ බදු ගැටලුව විසඳා නොදීම හේතුවෙන් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ. තමන්ගේ බදු ගැටලුව විසඳීමට රජයට ප්‍රමාණවත් කාලයක් ලබාදුන් නමුත් තවමත් එය විසඳී නැති බව ඔවුන්ගේ අදහසය. අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය ලබාගැනීමට නම් තවදුරටත් බදු වැඩි කිරීම ක්‍රියාත්මක කිරීමට ඉතාම අපහසු යෝජනාවක් බවට මේවා හොඳම උදාහරණයි.
මෙහිදී තවත් ආණ්ඩුවට එල්ලවන චෝදනාවක් වන්නේ අයි.එම්.එෆ්. එකේ මූලික යෝජනාවක් වූ අල්ලස සහ දූෂණයත් වංචනික ක්‍රියාත් මැඩ පැවැත්වීමට ප්‍රබල යාන්ත්‍රණයක් තිබිය යුතු බවට වූ කාරණාවට ප්‍රමුඛත්වයක් ලබා නොදීමය. එසේම රජයේ අනවශ්‍ය වියදම් සීමාකර ගැනීමට ප්‍රමාණවත් උනන්දුවක් නොපෙන්වීමය.
එයට එක් උදාහරණයක් වශයෙන් විපක්ෂය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විදෙස් රටවල සිදුකරන සංචාරත් ඒ සඳහා රටේ ජාතික ධනය වැයකරමින් අනවශ්‍ය පුද්ගලයන් රුගෙන යාමත්ය. මෙසේ රටේ පොදු මහජනතාවගේ බදු මුදලින් එතෙර යාමට වරම් ලබන ඇතැම් මන්ත්‍රීවරුන් මේ රට ආර්ථික වශයෙන් බංකොළොත් කිරීමට වගකිවයුතු අය බවට චෝදනා ලැබුවෝ වෙති. එසේම අනවශ්‍ය නිලධාරීන් පිරිසක් රුගෙන යන බවත් ඔවුන්ට විශාල වියදමක් දරණ බවත් ඔවුහු කියති. මේ චෝදනාවලට ආණ්ඩුව නිරුත්තරය.
අයි.එම්.එෆ්. එක තම ස්ථාවරය මේ ආකාරයට වෙනස්කර ලංකාවේ බලාපොරොත්තු අවිනිශ්චිත තැනකට තල්ලු කිරීමට තවත් හේතු දෙකක්ද තිබෙන බව පැහැදිලිය. ඉන් එකක් වන්නේ මේ නිලධාරි කණ්ඩායම විපක්ෂනායකවරයා හමුවූ අවස්ථාවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශයයි. ඔහු පැහැදිලිවම ප්‍රකාශ කළේ මේ රටේ ජනතාවට අහිතකරව බලපාන අයි.එම්.එෆ්. කොන්දේසි තමන්ගේ රජයක් යටතේ වෙනස් කරන බවය. එය ඔවුන්ගේ තීරණ ක්‍රියාත්මක කිරීමට ප්‍රබල බලපෑමක් එල්ලකළ ප්‍රකාශයකි. අනෙක් කාරණය ලබන වසර නිශ්චිතවම මැතිවරණ වසරක් වීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය ලබන වසරේ අගෝස්තු මාසය වනවිට ප්‍රකාශයට පත්කර තිබිය යුතුය. මේ බව අයි.එම්.එෆ්. කණ්ඩායමද දැන සිටී. මේ නිසා ඇතැම් විට ලබන වසර තෙක් ඔවුන්ගේ දෙවැනි වාරිකය නිදහස් කිරීම කල්යාමට හෝ එය නොලැබී යාමට හෝ ඉඩ තිබේ. අයි.එම්.එෆ්. කතාව සැලකිල්ලට ගනිමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පසුගියදා අක්කරේපත්තුවේදී මෙහෙම කිව්වේය.
''ආණ්ඩුවේ අල්ලස් සහ දූෂණත්, අධි දූෂණ ප්‍රතිපත්තියත් නිසා අයි.එම්.එෆ්. ආදායම් ඉලක්කවලට යන්න ආණ්ඩුව අපොහොසත් වුණා. රට බංකොළොත් වෙලා තියෙද්දී රටේ නායකයා මාස් පතා විදෙස් සවාරි යනවා'' එහෙම කියපු සජිත් මෙහෙමත් කියා තිබිණි.
''රජයට රට ගොඩගන්න බැරිනම් මැතිවරණයක් තියන්න. එයින් ජයගෙන රට ගොඩනැගීමේ වගකීම සමගි ජනබලවේගය බාරගන්නවා.''
ජනාධිපති රනිල් විපක්ෂනායක සජිත්ගේ මේ අභියෝගය බාර ගනියිද?
I ශශීන්ද්‍ර
@deshaya