SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(අරවින්ද හෙට්ටිආරච්චි විසින් රචිත Lankan-SouthAsian හෙවත් ”ලක්දේසේ දකුණු-ආසියානුවා” නම් පොතෙන් උපුටා කොටස් වශයෙන් පලකරනු ලබන ප්‍රාග්ධන ගෝලීයකරණයට සමාන්තර ලක්වැසි දකුණු-ආසියානුවාගේ නිදහස් අරගලය උදෙසා නව-නූතන ප‍්‍රකාශනය)

pic 02 Final

ඉවත් කළ නොහැකි ඓන්ද්‍රීය කොටසක් (Non-Removable Part) සේ වත්මන් ලක්දේශය තුළ වඳබැස පවතිනවා සේ පෙනෙන වරිගවාදී බෙදුම්වාදය (Racial Separatism) පිළිබඳව ඉතා පැහැදිලිව සහ නියත ලෙස ම කිව හැකි දෙයක් ඇත. 

එනම්, 1815ට පෙර ලක්දේශයේ පැවති ලක්-රජුන්ට අයත් කිරීටයන් කිසිවක් යටතේ මෙවැනි සිංහල-දෙමල හෝ සිංහල-මුස්ලිම් හෝ දෙමල-මුස්ලිම් වන වරිග හෝ, ආගම් හෝ, සමාජ කණ්ඩායම් දෙකක් හෝ කිහිපයක් අතර කිසිදු බෙදුම්වාදී ප‍්‍රතිවිරෝධතාවක් නොපැවති බවත්, ඒ නිසා ඇති වූ ගැටුම් හෝ යුධ ද, ඒවා පාදක කරගත් වෙනත් කුමන යම් ප‍්‍රශ්න, ගැටළු,අර්බුද හෝ ව්‍යසන ද ඇති නොවූ බවත්  ය. 

මේ ප‍්‍රකාශය හරහා, නැවතත් රජු කේන්ද්‍රීය සමය දෙසට, එනම් ඉතිහාසයේ පිටුපසට ගොස් එහි තිබූ ලෝකය වර්තමානය තුළ ගොඩනැංවීම රචකයා විසින් යෝජනා කරන්නේ නැත. එහෙත්, එයින් මෙතෙක් යට ගැසූ පැහැදිලි ඓතිහාසික සත්‍යයක් හෙළිදරව් වේ.

 

pic 03 Final

(සිරි වික්‍රම රාජසිංහ රජුගේ අග බිසව වූ සිරි වෙන්කත රන්ගමාල් දේවිය)

 

එයනම්, 1815ට අවම තරමින් වසර 2000කට ඉහත කාලයක් තිස්සේ ලක්දේශයට ඓන්දීයව නොපැවති ප‍්‍රපංචයක් හදිසියේ ලක් සමාජය වෙතට කඩා පාත්වීම කෘතිම සංසිද්ධියක් වන බව යි. එනයින් ම, වරිගවාදී බෙදුම්වාදය ලක්දේශය මත ස්වභාවිකව පැවතුණ හෝ, සම්ප‍්‍රදායිකව නඩත්තු කළා  වූ හෝ, ලක්දේශයට ආවේනිකව පැවතුන හෝ ප‍්‍රපංචයක් නොවන බවයි. එනිසා ම බෙදුම්වාදය නම් ප‍්‍රපංචය කවුරුන් හෝ ලක්දේශය තුළ හිතා මතා ගොඩනැංවූවක් (Purposely Constructed) බව නිගමනික ය. ඒ අනුව, එම ගොඩනැංවීම පිටුපස කවරෙකුගේ හෝ දේශපාලානාර්ථික වස්තුමූලිකතාවක් (Politico-Economical Objectivity)  හෙවත් අරමුණක් පවැතී ඇති බවත් නිගමනික ය.

pic 04 Final

(ආදි ලක්දේශයේ යෝනනක, මූර් වෙත් මුස්ලිම් වැසියන්)

එනම් ක‍්‍රිස්තු වර්ෂ 1798දී ප‍්‍රංශ අධිරජ නැපෝලියන් බොනපාට් නෙදර්ලන්තය ආක‍්‍රමණය කිරීමෙන් පසුව, එංගලන්තකයින් විසින් ලන්දේසීන්ට ඔවුන්ගේ විදේශ යටත්විජිත බල-ප‍්‍රදේශ කිහිපයකින් සහ සහ ඒවාට අදාළ දේපල වලින් ඉවත් වීමට බල කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස, එයින් එක් බල දෙසෙක් වූ ලක්දේශය මත ලන්දේසීන්ට අයත්ව තිබූ මුහුදුබඩ පෙදෙස් වලින් ද ලන්දේසීන්ව පලවා හැර ඒ පෙදෙස් එංගලන්තකයින් විසින් සතු කරගත් දා පටන් වරින් වර කැස කවමින් ද, කිස්තු වර්ෂ 1801කේ ඩොයිලි ලක්දේශයට පා තැබූ දා පටන් තිරසරව ද ගොඩනංවන ලද ක‍්‍රමික සමාජ ප‍්‍රපංචයකි වරිගවාදී බෙදුම්වාදය.

එනම්, එංගලන්කයින් ලක්දේශයට ඇතුළු වන්නට පෙර ලක්දේශයේ කිරීටය යටතේ ජන-වරිග (Race) පැවති නමුත්, ඒ වරිග පදනම්කරගත් වරිගවාදී එදිරිවාදීකම් (Racial Antagonism) හෝ වරිගවාදී බෙදුම්වාදයන් පැවතී හෝ නඩත්තු වී හෝ නොමැත. එහිදී සිංහල සහ දෙමල යන වරිග දෙක ම එක ම හෙළ කිරීටයක් යටතේ සාමූහිකව පැවතී ඇති බව හෙළිදරව් වේ.                 

එහිදී, සිංහල කිරීටය විසින් මේ සිංහල සහ දෙමල වරිග දෙක භාවිතා කළ භාෂා දෙක අතරින් එකක් උසස්ය යන මතයක් (Ideology) කිසි කලෙකවත් නඩත්තු කර ඇති බවට කිසිදු ඓතිහාසික සාක්ෂියක් හෝ සාධකයක් නොමැත. එනම්, සිංහල කිරීටය විසින් කිසි කලෙකවත් සිංහල ජාතිවාදී හෝ වරිගවාදී හෝ, එසේත් නැතිනම් දෙමල ජාතිවාදී හෝ වරිගවාදී වන බෙදුම්වාදී අස්ථානයන් නඩත්තු කර නොමැත. 

”සිංහල කිරීටය” හෝ හෙළ කිරීටය (Sinhala Throne or Hela Throne) යන ශබ්දයනට අදාළ නාමයන් තුළ ”සිංහල” යන්න පැවති පමණින් එය සිංහල ජාතිවාදී කිරීටයක් ලෙස හෝ වරිගවාදී කිරීටයක් ලෙස හෝ බෙදුම්වාදී කිරීටයක් ලෙස හෝ වන අරුතින් හෝ එසේ කටයුතු කළ බව හෝ හෙළිදරව් කිරීම සඳහා කිසිදු සබෑ ඓතිහාසික සාධකයක් නොපවතී.

එනම්, ”සිංහල කිරීටය” කිසි කලෙකවත් ”සිංහල ජාතිවාදී කිරීටයක්” වන්නට අවැසි කිසිදු ජාතිවාදී සහ වරිගවාදී එදිරිවාදීකමක් නඩත්තු කළ බව හෝ, එබඳු ආන්තිකවාදී සුදුසුකම් සුපරාගත් බෙදුම්වාදී චින්තනයක් නඩත්තු කරමින් සිටි බව හෝ හෙළිදරව් කළ හැකි විද්‍යානුකූල සාක්ෂි කිසිවක් නොමැත. අවම තරමින් කිසිදු පුරා-විද්‍යාත්මක සහ මානව-වංශ-විද්‍යාත්මක සාධක සාක්ෂි කිසිවක් ද නොමැත. 

ශ‍්‍රම-විභජනය නම් ආර්ථික සාධකය ප‍්‍රධාන කරගෙන පැවති කුල-ධූරාවලිගත ක‍්‍රම-පද්ධතිය (Caste-Hierarchical System) තුළ පැවති විභජනයන් විසින් මුළුමනින් ම නියෝජනය කළේ සහ නඩත්තු වූයේ, නොබෙදී පවතින සමස්ත සාමූහිකයක් (Undivided Total collectivity)  ලෙසින් වැඩ-බෙදාගෙන කටයුතු කිරීම ම මිසක, ඒ ධූරාවලියේ කිසිදු සමාජ සංඝටකයක් සමස්තයෙන් ගැලවී බෙදී-වෙන්වීම හෝ එකිනෙකට එරෙහිව බෙදී කටයුතු කිරීම හෝ, එදිරිවාදී මත ඵල කිරීම අනුව සමාජ සංඝටක කිහියක් ලෙසින් වෙන වෙන ම පාලනය වී ගැටුම් ඇති කරගැනීමට හෝ, ඒවා පදනම් කරගත් යුධ ඇති කරගැනීමට කටයුතු කර නොමැත. ධූරාවලියක් පැවති බවත්, ඒ ධූරාවලිය තුළ උස් පහත් කම් නඩත්තු වී ඇති බව ඇත්තකි. නමුත් එකිනෙකට එදිරිවාදීව බෙදී විසිරුණු ධූරාවලී කිහිපයක් හෝ වරිග කිහිපයක් ඒහි පවැතී නොමැත.  

ලක් රජුට යටතේ පවත්වාගෙන යනු ලැබුණේ ධූරාවලිගත-ක‍්‍රම-පද්ධතියක් වුව ද, ඒ තුළ පැවති පොදු-හරය අනුව ම, එය කිසිවිටෙක ”බෙදීම” හෝ ”බෙදී වෙන්වීම” නියෝජනය කළ පද්ධතියක් නොවූයේ ය. එම ධූරාවලිගත-ක‍්‍රම-පද්ධතිය විසින් නියෝජනය කළ පොදු හරය වූයේ ලක් රජුගේ කිරීටය කෙන්ද්‍රකරගත් සාමූහිකත්වය (Collectivity) යි. චින්තනමය යොමුවකින් ප‍්‍රකාශ කළහොත්, රජුගේ නියාම-ධර්ම පද්ධතිය සැකසී පැවතුන සංකේත-පද්ධතිය (Symbolic System) තුළ පැවති කේන්ද්‍රීය-සිතුමෙහි (Central-Signified) අරුත කිසිදු බෙදුම්වාදයක් (Separatism) නිරූපනය කර නැත. ඒ වෙනුවට ඒ තුළ පැවති කේන්ද්‍රීය-සිතුම අරුත හැමවිටම සමූහවාදයක් (Collectivism) නියෝජනය කළ හඳුනාගත හැකි ය.   

 

 

pic 05 Final

(අඩු ප්‍රසිද්ධියක් සහිතව වුවද වසර දහස් ගණනක් තිස්සේ ලක්දේශයේ විසූ චෙට්ටිවරු )

සරල අනුභූතික මනුස්ස තේරුම්ගැනීම අනුව සලකා බැලූව ද, සිංහල යන නම දරූ පමණින් සිංහල කිරීටය ජාතිවාදී හෝ වරිගවාදී වනවා නම්, ඉංග්‍රීසි යන නම දැරූ පමණින් ඉංග‍්‍රීසි කිරීටය ද ජාතිවාදී හෝ වරිගවාදී විය යුතු ය. ඉංග‍්‍රීසි හෝ බ්‍රිතාන්‍ය (The English or British) යන නම දරන එංගලන්තක කිරීටය ජාතිවාදී නොවන සුදනන් විසින් ක‍්‍රියාත්මක කරන ශිෂ්ට කිරීටයක් වන බවත්, සිංහල යන නම දැරූ පමණින් සිංහල කිරීටය ”ජාතිවාදී” හෝ ”වරිගවාදී” හරයක් නියෝජනය කරන දුදනන් විසින් ක‍්‍රියාත්මක කරනු ලැබූ අශිෂ්ට කිරීටයක් වන බවත් පිළිගන්නා මතයක් (Ideology) සහ ඒ මතය පදනම් පකරගත් කතිකාවක් ලන්ඩන් පරිපාලනයේ බල-දේශපාලන යන්ත‍්‍රයකි.

අද පවා ‌මේ අසාධාරණ එංගලන්තක පාර්ශවීය අදහස අප අතර පැවතීමෙන් පෙනී යන්නේ 1948න් පසු ද එම අදහස නියෝජනය කරන කතිකාව අප අතහැර ගොස් නොමැති බවයි. මෙය සබෑ හෝ ස්වභාවික මතයක් නොවන අතර, යටත්විජිත සමය එළඹීමත් සමඟ එංගලන්තක කිරීටයේ බලපෑම මත ක‍්‍රමයෙන් ලක්වැසි මනස තුළ ගොඩනංවල ලද සාහසික ප‍්‍රභන්ධයකි. 

මේ ප‍්‍රභන්ධයේ කතෘ (Author) ජෝන් ඩොයිලි ය.

මෙහිදී සහ සුද්දෙන් ම හෙළිදරව් වන්නේ, යටකී මතය, 1801ට පෙර ලක්දේශයේ රජුට යටත් බල-දේශපාලන ව්‍යූහයකින් මෙහෙයවනු ලැබූ කතිකාවක් නියෝජනය කරන මතයක් වීමට කිසිදු ඉඩ-අවකාශයක් නොමැති බව යි. ඒ නිසා ම, සිංහල කිරීටය අවමානයට පත්කරවන මෙම පාර්ශවවාදී මතය විදේශ බල-දේශපාලනයකින් මෙහෙයවන කතිකාවක් නියෝජනය කරන මතයක් බව පැහැදිලි ය. බල-දේශපාලනික උවමනාවකින් තොරව ගොඩනගනු ලබන මතයක් (ideology) හෝ මතයක් පාදක කරගත් කතිකාවක් (Discourse) හෝ නොමැත. නැති මතයක් තහවුරු කරන්නට නම් ඊට ද බලය (Power) අවශ්‍ය වෙයි. 

 

 

pic 06 Final

(1803 මාර්තු 23 දින යුධ ප්‍රකාශය කිරීමෙන් අනතුරුව එංගලන්තකයෝ මහනුවරට කඩා වැදුනහ.)

ඒ නිසා, මේ පාර්ශවීය මතය, දේශපාලනාර්ථික බලයක් සහිත කතිකා-යන්ත‍්‍රයක් (Discursive Instrument) යොදා, ලක්දේශික ජනයාගේ මොළය ප‍්‍රධාන ස්නායු-පද්ධතීන් තුළ ක‍්‍රමිකව ගොඩනංවා ස්ථාපිත කළ මතයක් බව පැහැදිලි ය. ඒ නිසා, මේ ගෙවෙන මොහොතේ වුවත්, ලක්වැසි කවුරුන් හෝ එංගලන්තක කිරීටයට වඩා ලක්දේශික කිරීටය ජාතිවාදීව පැවතියේ යැයි සලකන්නේ නම් හෝ, සරලව, වත්මන් එංගලන්තකයින්ට වඩා වත්මන් ලක්වැසි ජනයා ජාතිවාදී යැයි සලකන්නේ නම් හෝ, එය තම ඔළුගෙඩියට ස්වභාවිකව පහළවුණු ස්වීය-අදහසක් නොවන බව තේරුම් ගත යුතුව ඇත. එය යටත්විජිතවාදී එංගලන්තකයින්ගේ බෙදා පාලනය කිරීමේ උපායමාර්ගයට අනුව මොළ-සෝදනය කොට ලක්වැසි ජන-මනස තුළ ක‍්‍රමිකව ගොඩනංවා වඳ බැස්සවූ මතයකි.

එය, යටත්විජිතවාදී ලන්ඩන් පරිපාලනය විසින්, මුලින් ඔබගේ ලක්වැසි පූර්වජයින්ගේ මොළය ප‍්‍රධාන ස්නායු පද්ධතීන් තුළ ක‍්‍රමිකව පැලකර, ගොඩනංවා සහ ස්ථාපිත කර, ඉන්පසුව රිලේ එකකින් වාගේ පරම්පරාවෙන් පරම්පරාවට භාරදෙවනු ලැබ, අවසන ඔබේ ම දෙමව්පියන් විසින් සහ ඔබේ ම නිල සහ නොනිල ගුරුවරුන් විසින් ඔබගේ මොළය ප‍්‍රධාන ස්නායු පද්ධතියට සහ ඔබට නොදැන ම මුද්‍රා තැබූ ද, අද වනවිට ඔබ විසින් ප‍්‍රශ්න නොකර ම භාරගනු ලබන අධිපති මතයකි (Dominant Opinion). අවබෝධ කර ගත යුතු සුවිශේෂක සාධකය වන්නේ, මේ මතය, යටත්විජිතවාදී ලන්ඩන් පරිපාලනය විසින් දායාද කළ ඉංග‍්‍රීසි මතයක් මිසක, ලක්දේශය තුළින් ම ජනත වූ ආවේනික සිංහල හෝ දෙමල හෝ මුස්ලිම් හෝ මැලේ මතයක් නොවන බවයි.

එනයින් ”සිංහල කිරීටය” යන්නෙහි ”සිංහල” යන පදය තිබෙන පමණින් ම එය විසින් ජාතිවාදය හෝ වරිගවාදය නිරූපනය කරන බව හුවා දැක්වීමට අදාළ සිතිවිල්ල, 1801න් පසු කලෙක එංගලන්තක කිරීටය විසින් කතිකාගත කළ අව-මතයක් (Ideology of Understatement) අනුව බිහිවූවක් බව ප‍්‍රත්‍යක්ෂ ය. මෙහි දී, සිංහල කිරීටය ජාතිවාදී කිරීටයක් ලෙස අර්ථනිරූපනය කිරීම ලන්ඩන් පරිපාලනයේ සමස්ත ආයතන පද්ධතිය විසින්නඩත්තු කළ බෙදා-පාලනය කිරීමේ සාහසික උපාය නියෝජනය කරන යටත්විජිතවාදී ඉංග‍්‍රීසි මතය සහ එහි කතිකාව පරිදි ගොඩනැංවූවක් බව හෙළිදරව් වේ. මෙම මතය එංගලන්තකයින් ලක්දේශය තුළ තම ආයතනික බලය තහවුරු කරගැනිමත් සමඟ තම ආයතන සැකැස්මේ බල-දේශපාලනය ද යොදාගනිමින් ස්ථාපිත කළ මතයකි. ඒ නිසා, එය ලක්දේශයේ සැබෑ ඓතිහාසිකත්වයට (Historicity) සහ ලක් ජාතික නිදහසට සතුරු ඉංග‍්‍රීසි මතයකි.

  

pic 07 Final

(ලක්දේශයෙහි පැවැත්වෙන ද්‍රාවිඩ ආගමික උත්සවයක්)

අනෙක් අතින්, එංගලන්තකියන් විසින් ගොඩනැංවූ මේ ”එංගලන්තක සිංහල” සහ ”එංගලන්තක දෙමල” වරිගවාද දෙක ම අදටත් කිසිදු ආර්-ථික ඉතිහාසයකට සම්බන්ධයක් නැතිව, ආර්-ථික විෂයෙන් වියුක්තව පවතින්නක් ලෙසින් ද හඳුනාගත හැකි ය. එනයින් ම, එය, භෞතික ආර්ථික පදනමකින් තොරව කෘතිමව ගොඩනංවන ලද ප‍්‍රභන්ධ කතිකාවක් (Fictional Discourse) බව නිගමනික ය. 

කුල-ක‍්‍රම-පද්ධතිය (Cast System) තුළ වන ශ‍්‍රම-විභජනය (Division of Labour) නම්, පැහැදිලිවම ආර්-ථික ක‍්‍රියාවලියකට සහ එහි ඉතිහාසයකට අදාළ ව, ඉතිහාසික සංදර්භය තුළ සංයුක්තව (Concrete)  පවතින විභජනයක් බව ප‍්‍රත්‍යක්ෂ ය.  නමුත් එයින් බෙදා වෙන්කර වියුක්ත (Abstract) වීමක් ඉල්ලා නොසිටියකි. 

එනම් 1815ට පෙර, සිංහල සහ දෙමල නම් සමූහවාදී වරිග දෙකක් පැවතිය නමුත්, මෙවන් සිංහලවාදී හෝ දෙමලවාදී යනුවෙන් වරිගවාද දෙකක් ලක්දේශය තුළ ඒදිරිවාදී පැවතීමකට අදාළ කිසිදු දේශපාලනාර්-ථිකමය භෞතික හෝ පාරභෞතික පදනමක් පැවතී නැත. කොටින් ම, තම වරිගය වරිගවාදයක් දක්වා ගෙනයාමේ හිංසක භාවිතයක් හෝ ඊට අදාළ අදහසක් දැන හිඳ පවා නැත. එනයින් ම, එය, පොදුජන ජීවිතය තුළ හෝ කිරීටය ආශ‍්‍රිත නියාම ධර්ම තුළ හෝ පොදු සිරිතක් ලෙසින් හෝ පැවති බවට කිසිදු සාක්ෂියක් නැත. අවම තරමින් කුල-ක‍්‍රම-පද්ධතිය තුළ වැඩ වෙන්කර ගැනීම තුළ හෝ ප‍්‍රාදේශිකත්වයට අනුව වැඩ වෙන්කර ගැනීම තුළ හෝ සිංහල-දෙමල යන්න ශ‍්‍රම-විභජන සංඝටක දෙකක් ලෙසින්වත් එකිනෙකට ප‍්‍රතිපාක්ෂිකව හෝ එදිරිවාදීව පැවතී නැත. 1815ට පෙර සිංහල හෝ දෙමල වීම නිසා බෙදීම හෝ මනුස්සයෙකුට වෙනස්කම් කිරීම යන භාවිතයන් ලක්දේශය තුළ පැවතිලා ම නැත.

සිංහල කිරීටයට පහරදීමට ආක‍්‍රමණිකයින් පැමිණීමේ දී ඊට එරෙහි වීම සිංහල ජාතිවාදය නම්, එංගලන්තක කිරීටය විසින් ගිහින් දකුණු ආසියාවේ සියළු ස්වීය ඉම් පෙදෙස් ආක‍්‍රමණය කිරීම ඉංග‍්‍රීසි ජාතිවාදය පැටව් ගැස්සවීමක් ලෙසින් ලෙහෙසියෙන් නාමකරණය කළ හැකි ය. එංගලන්තකයන්ගේ ඩොයිලියානු බෙදුම්වාදී කතිකාවේ මතය අනුව දමිල භාෂාව කතා කළ චෝල-වංශික විදේශීය ආක‍්‍රමණිකයින් වූ එල්ලාලන් (එළාර), කාලිංග-මාඝ වැන්නවුන්ට එරෙහිව ලක්දේශීක කිරීටය යුධ වැදීම ජාතිවාදය නම්, හිට්ලර් විසින් පෝලන්තය ආක‍්‍රමණය කරන විට ඊට එරෙහිව පෝලන්ත වැසියන් සටන් කිරීම ද පෝලන්ත ජාතිවාදය හෝ පෝලන්ත වරිගවාදය ලෙසින් නාමකරණය කළ යුතු ය. 

සැබෑව නම්, දකුණු ආසියාවේ කලාපීය දේශපාලනය තුළ පවැති චේර (වත්මන් කේරල) සහ පාණ්ඩ්‍ය යන රාජ-වංශයන් (Dynasties) නිරන්තරව ම වාගේ තමන්ගේ බල-පෙදෙසේ ආක‍්‍රමණය කිරීමට පැමිණි චෝල රාජ-වංශයට එරෙහිව යුධ වැදී ඇති බවයි. මෙහිදී ලක්දේශයේ කිරීටයන් බහුතරයක් විසින් ද චෝල වංශිකයින්ට එරෙහිව පාණ්ඩ්‍යයන්ට සහ චේරයන්ට පාක්ෂිකව කටයුතු කර ඇත. මීට ප‍්‍රධාන හේතුව වන්නේ, චෝල රාජවංශය අනික් රාජවංශයන් අභිබවා තනි අධිරාජයයක් ලෙස නැගී සිටින්නට වේගවත්වීම බව හඳුනාගත හැකිය. එනයින් චෝලයින් විසින් දකුණු ආසියාවේ (විශේෂයෙන් අද දකුණු ඉන්දියාව ලෙසින් හඳුන්වන ඉම් පෙදෙසෙහි සහ ලක්දේශයේ) රාජවංශයන් අතර පැවත්වාගෙන ගිය පොදු-සාමය සහ පොදු එකඟතාවයට අදාළ නියාම ධර්ම නිතර උල්ලංඝනය කිරීමට කටයුතු කළ රාජ වංශයකි. එල්ලාලන් සහ කාලිංඝ-මාඝ යනු අධිරාජ්‍යවාදී චෝල-වංශය නියෝජනය නියෝජනය කළ පාලකයින් ය. 

 

 

pic 08 Final

(පාණඩ්‍ය රාජවංශ සම්භවයක් ඇති රට ඒක්සෙසත් කළ දකුණු ආසියාව තුළ බලවත්ව සිටි මහ‌ා පරාක්‍රමභාහු රජු)

මේ ද්‍රාවිඩ රාජවංශයන් 03න ම නිළ වශයෙන් සහ නොනිළ වශයෙන් පොදුවේ දෙමල භාෂාව භාවිතා කළ අතර, ඊට සමාන්තරව එක් එකන් රාජවංශයේ ප‍්‍රමුඛතාව අනුව තෙළිඟු, කණ්නාඩ සහ මලයාලම් යන භාෂාවන් භාවිතා කළහ. 

එනයින් දකුණු ආසියානු සංදර්භයක් තුළ මේ රාජවංශයන් සමඟ සාමූහිකව සිටි සිංහල කිරීටය ද සිංහල භාෂාව තරමට ම දෙමල භාෂාව ද, ඊට අමතරව තෙළිඟු, කණ්නාඩ සහ මලයාලම්  යන භාෂාවන් ද භාවිතා කර ඇති බව පෙනේ. රාජ්‍යතාන්ත‍්‍රිකත්වය තුළ ලක්දේශය සංස්කෘත සහ ප‍්‍රාකෘත යන මූළ-භාෂාවන් හෙවත් සංභවීය භාෂාවන් (Original Languages) ආභාෂී සිංහල, දෙමල, තෙළිඟු කණ්නාඩ සහ මලයාලම් භාෂාවන් ද, සාහිත්‍යමය සංදර්භයක් තුළ එකී මූල-භාෂාවන් ම ආභාෂී වන මගධි, අපභංශ, ශුරසේනී, පෙයිසාචි යන දකුණූ ආසියානු භාෂාවන් ද ලක් කිරීටය විසින් භාවිතා කර ඇති බව පෙනේ. 

මේ අනුව ලක්දේශයේ කිරීටය සහ එහි නගර විවෘත්ත භාෂා ප‍්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බව සේම, අලූතින් හඳුනාගනු ලබන භාෂාවන් ප‍්‍රතික්ෂේප කිරීමේ වරිගවාදී හෝ භාෂාවාදී යොමුවක පිහිටා හිඳ නොමැත. එනයින් මේ සියලූ භාෂා අතුරින් ප‍්‍රායෝගිකව සිංහල භාෂාවට වඩාත් ඥාතී භාන්‍ක් වන දෙමල  භාෂාව කිසි කළෙකවත් ප‍්‍රතික්ෂේප කර හෝ ඊට එදිරිව ගොස් හෝ නොමැත. එනයින් දෙමල භාෂා විරෝධයක් හෝ සිංහල භාෂාව දෙමල භාෂාවට වඩා උතුම්ය යන මාන්නක්කාර බවක් හෝ ලක් කිරීටය විසින් නඩත්තු කළ බවට ද කිසිදු ඓතිහාසික සාක්ෂියක් නොමැත.  

ඒ නිසා ලක්දේශයේ කිරීටය එල්ලාලන් හෝ කාලිංග-මාඝ එදිරිවාදීන් ලෙස සලකා යුධ වැදීම ලක්දේශයේ බල-පෙදෙසෙහි දේශපාලනාර්-ථික සංදර්භයක සේ ම, එය ඉක්මවා ගිය පොදු දකුණු-ආසියානු-දේශපාලනාර්-ථික-සංදර්භයක (South Asian Politico-Economical Context) පිහිටයි. 

ඒ අනුව, ලක්-කිරීටය එල්ලාලන් හෝ කාලිංග-මාඝලාට එදිරිවාදී වීම හෝ යුධ වැදීම යනු, එක අතකින් ආක‍්‍රමණික රාජවංශයකට එරෙහිව යාමකි. අනෙක් අතින්, දකුණු ඉන්දියාවේ තවත් සහෝදර ද්‍රාවිඩ රාජවංශයන් 02කට පාක්ෂග‍්‍රාහී වීමකි.

මේ අනුව, ලක්දේශයේ කිරීටය එල්ලාලන් හෝ කාලිංග-මාඝ හා සමඟ යුධ වැදීම තුළ පවතින ද්වී-සම්බන්ධ-ප‍්‍රතිපක්ෂයන් දෙකක් හඳුනිගත හැක.

එයින් එකක් වන්නේ, ආක‍්‍රමණිකයා-ස්වදේශිකයා යන ද්වීසම්බන්ධ-ප‍්‍රතිපක්ෂය යි.

අනික, කලාපීය සතුරා-කලාපීය මිතුරා යන ද්වීසම්බන්ධ-ප‍්‍රතිපක්ෂය යි.

එනයින් ඒ තුළ සිංහලයා-දෙමලා යනුවෙන් යන ද්වීසම්බන්ධ-ප‍්‍රතිපක්ෂයක් පැවැතී නොමැති බව නිගමනික ය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස, සිංහලයා-දෙමලා යන ද්වීසම්බන්ධ-ප‍්‍රතිපක්ෂය ක්‍රිස්තු වර්-ෂ 1801න් පසුව ගොඩනංවන ලද කෘතිම ද්වීසම්බන්ධ-ප්‍රතිපක්ෂයක් බව නිගමනික ය.

එනයින් “සිංහලයා-දෙමලා” යනු, 1801න් පසුව දේශීයත්වය පිළිබඳව කෘතිමව ගොඩනැංවූ ඩොයිලියානු කතිකාව තුළ පවතින ද්වීසම්බන්ධ-ප‍්‍රතිපක්ෂයක් බව නිගමනික ය

එනයින්, ”සිංහලයා-දෙමලා” යන්න ලන්ඩන් පරිපාලනයේ බෙදා-පාලනය කිරීමේ උපාය-මාර්ගය මුදුන් පමුණුවා ගන්නට ගොඩනැංවූ ව්‍යාජ, කෘතිම, විකෘති පර-දේශීය ද්වෛතයක් බව ප‍්‍රත්‍යක්ෂ ය.

ඒ අනුසාරීව 1956දී උඩට එන ”සිංහල ඔන්ලි”සංකල්පය යනු පරදේශීය ද්වීසම්බන්ධ ප‍්‍රතිපක්ෂයක් වන ”සිංහලයා-දෙමලා” යන්නෙන් ව්‍යුත්පන්න වූ තවත් අවජාතක පොලොං පැටියෙකි. ලක්පොළොව හැඳිගෑවිලා වන පරිදි ඒ් පොලොං පැටියා විෂ පිම්බේ 1983 දී ය.

               

pic 09 Final

(1983 ජූලි ජනඝාතන සහ දේපල හානි හෙවත් ඩොයිලි-බණ්ඩාරනායක බෙදුම්වාදයෙන් බිහිකළ අනවශය ඵල)

මේ අනුව, සත්‍ය කාරණාව නම්, ලක්දේශීය කිරීටය සහ ඒ යටතේ පැවති ලක්වැසි සාමූහිකත්වයන් එල්ලාලන්ට හෝ කාලිංග-මාඝට හෝ විරුද්ධව සටන් කළේ, ලක්වැසියන් ලෙස ජීවත් වූ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සහ මැලේ ජාතිකයින් සියල්ල ඇසුරෙන් ගොඩනැගුණු සාමූහිකත්වයක් විදිහට බව ය. එහදී, හුදු සිංහල භාෂාව කතා කරන ලක්වැසියන් පමණක් නියෝජනය කළ ජාතිවාදී හමුුදාවක් ලෙස ලක් කිරීටයේ හමුදාව ගොණුගත වී තිබුණේ නැත. 

ඒ සෑම යුද්ධයක් ම සිංහල-ද්‍රවිඩ-මුස්ලිම්-මැලේ ජාතීන් සමව දිවිපිදු සමූහවාදී (Collectivistic) ජාතික විමුක්ති අරගලයන් ය. මන්ද ඒවා රට තුළ වරිගයකට එරෙහිව කළ යුද්ධ නොවන අතර පිටරටින් පැමිණි ආක‍්‍රමණිකයෙකුට එරෙහිව කළ සටන් වැදීම් වන නිසා ය. දේශය තුළ දෙමල කතාකරන ලක්වැසි දෙමල ජනයාගේ සහයෝගය නොවන්නට ගැමුණු රජුට එල්ලාලන් රජුව පරාජය කිරීම ලෙහෙසියෙන් කරන්න තිබුණා යැයි කවුරුන් හෝ බන්ඩාරනායවාදී සිංහල ඔන්ලි ජාතිවාදියෙක් සිතන්නේ වේ නම්, එය, 1815ට පෙර ලක්දේශයේ කිරීටය පිළිබඳ වන පුරා-විද්‍යාත්මක සහ මානව-වංශ-විද්‍යාත්මක සංදර්භයන් මුළුමනින් නොතකා හැර කරන විෂය විරෝධී අනුවන සිතීමකි. 

ඒ නිසා සිංහල කිරීටය ජාතිවාදී කිරීටයක් ලෙස නාමකරණය කිරීම සහ එය පාදක කරගෙන මතවාදයක් හෝ මතවාද ගොඩනැංවීම ම එංගලන්තක යටත්විජිතවාදී ක‍්‍රියාවලියේ ම කොටසක් වනවා සේ ම, විද්‍යා-විෂය විරෝධී ප‍්‍රලාපීය ප‍්‍රභන්ධයක් ද වන්නේ ය. මේ ප‍්‍රලාපීය ප්‍රභන්ධ කතිකා යන්ත‍්‍රය යනු ලක්දේශය තුළ පැවති ලන්ඩන් කතිකාව යි.    

1956න් පසුව මේ වරිගවාදය දක්කාගෙන යන්නට ප‍්‍රාග්ධන දායකත්වය සපයාගත්තේ, ඒ වරිගවාදී බෙදුම්වාදය නිර්මාණය කළ එංගලන්තකයින්ගේ ආර්-ථික ව්‍යූහය හරහා ම යි. නමුත් මෙම බෙදුම්වාදය එංගලන්ත ආර්-ථික ව්‍යූහයේ නෛසර්ග-ගික අවයවයක් ලෙසින් නිර්-මාණය වූවක් නොවේ. එය පැහැදිලිව ම අධිරාජ්‍යවාදීන් විසින් සාංසිද්ධිකව (Incidentally) බිහිටෙකාට පවත්වාගෙන ගිය කුමන්ත‍්‍රණ-උපායකි (Conspiracy Strategy).

ඒ අනුව, ලක්දේශය තුළ එංගලන්තක කිරීටයට පක්ෂ ලන්ඩන් පරිපාලනය විසින් පවත්වාගෙන ගිය ආර්-ථික ව්‍යූහයේ පොදු-හරය සමඟින්වත් මේ සිංහල-දෙමල බෙදුම්වාදී සංකල්පය සම්බන්ධයෙන්  කිසිදු ඓන්ද්‍රීය සම්බන්ධයක් හෝ අදාළත්වයක් තිබුණේ නැත. මෙය, ලන්ඩන් පරිපාලනය විසින් තම යටත්විජිතවාදී පාලනයේ පැවැත් ම තහවුරු කරගන්නා උපායික මතවාදී කතිකා යන්ත‍්‍රයක් ලෙසින් පමණක් පොදුවේ ඔවුන්ගේ එංගලන්තක දේශපානාර්-ථික පද්ධතියෙන් වියුක්තව නඩත්තු කළකි. මේ බෙදුම්වාදී කතිකාව සහ ඒ කතිකාවේ භාෂා-සංකේත-පද්ධතියේ කේන්ද්‍රීය සංකල්පය හෙවත් කාටවත් ප‍්‍රශ්න නොකළ හැකි පරම වූ සංකල්පය වූ සිංහල-දෙමල බෙදුම්වාදය, ලංකාව තුළ එංගලන්තක ආර්-ථිකයේ වස්තුමූලිකත්වය (Objectivity) හෙවත් අරමුණ සමඟ ද කිසිදු සම්බන්ධයක් නොමැත. ඒනිසා ඒය ඒංගලන්තකයින්ගේ වෙනම ජුන්ටා කතිකාවක් ලෙස පවත්වාගෙන යාමට ලන්ඩන් පරිපාලනය වගබලාගත්තේ ය. 

pic 10 Final

(ජොන් ඩොයිලිගේ ව්‍යාජ පුවත් තොරතුරු ප්‍රචාරණ කතිකාව හරහා අත්සන් කරන්නට යෙදුන ඉංග්‍රීසි-සිංහල ගිවිසුම)

කොටින් ම කියනවා නම් ජෝන් ඩොයිලිගේ පුද්ගලික දින පොතෙන් සහ වෙනත් අහම්බෙන් එළියට පනින ලද එංගලන්තකයින්ගේ ප‍්‍රකාශ සසඳා බලා ඒවායින් කියවෙන දේවල ඇති නොකියවෙන දේවල් කියවීමේ ඥානය නැති අයෙකුට මේ භාෂාමය කඩතුරාව (Pretext) වටහා ගැනීම අසීරු ය. මන්ද, ලක්දේශයේ කිරීට-ව්‍යුහය (Structure of the Throne) තුළ ප‍්‍රභූ පැවත්මක් නොතිබූ නිකමුන්ට සහ හාමුදුරු උකන්නාන්සේලා කිහිප දෙනෙකුට ප‍්‍රභූ නම්බු නාම දී, ඔවුන්ව මෙම ඩොයිලියානු කතිකාව තුළ ශික්ෂණය කර, ඔවුන් ලවා ම මේ කතිකාව සාධාරණීයකරණය කර සාමාන්‍ය ජනයා අතර පතුරුවා හරින්නට ඔවුන්ව ලැබ් එකක මීයන් සේ පාවිච්චියට ගන්නා විට, එංගලන්තක ලන්ඩන් පරිපාලනයහි නියුතු වී සිටි සියළු නිළධාරීන් තමන්ලා මේ නියැලෙමින් සිටින්නෙ ද්විත්ව-ක‍්‍රීඩාවක බව ඔවුන්ට කත් අදින මේ ඒංගලන්තක අනුරූකරණයට (Simulation) ලක්වන ලක්දේශීය මීයන්ට හෙළිදරව් කළේ නැත. මේ ඒංගලන්තක නව්‍ය-ව්‍යාජය පරම්පරා ගණනක් යන තුරු ම ඔවුන්ට එළිදරව් නොකර සිටින්නට තරම් එංගලන්තකයින් උපායෙහි දී විනයවන්ත උදවිය වූහ. 

මන්දයත් එංගලන්තක ආර්-ථිකය යනු අනුපිළිවෙලගත ඉතිහාසයක් ඇති ක‍්‍රම-පද්ධතියක් (System) වූ අතර, භෞතිකයට අසම්බන්ධ කතිකාවක් ඒ ආර්-ථික ක‍්‍රම-පද්ධතිය තුළ පවත්වාගෙන යමින් නඩත්තු කිරීම එංගලන්තක ආර්-ථික සංවර්ධනයේ සාමාන්‍ය ගමනයට නොගැලපෙන, යම් සෙයකින් බාධා පවා ගෙන දිය හැකි කටයුත්තක් බව එංගලන්තකයින් අවබෝධ කරගෙන හිඳ ඇති බව හඳුනාගත හැකිය. එනයින්, තම දේශපාලන බල-ආධිපත්‍යයට සහ ආර්-ථික මංකොල්ලයට පාර කපන පරිභාහිර මතවාදී යන්ත‍්‍රයක් ලෙසින් පමණක් මෙම බෙදුම්වාදී කතිකාව දෘෂ්‍යමානව පැවතිණි. නමුත් මේ බෙදුම්වාදී කතිකාව ගොඩනැංවීමට අධෝ-ව්‍යූහික පහසුකම් සැපයීමේ දී මේ අව-කතිකාව මෙහෙයවන ප‍්‍රමුඛයා වූ ඩොයිලිට ද ඔහුගේ ඔත්තුසෙවා බලෑණියේ උදවියට ද අවශ්‍ය සියළු සම්පත්, දේපල සහ ශ්‍රමය දෙවරක් නොසිතා සැපයීමට එංගලනත්ක පරිපාලනය වගබලාගත්හ. 

 

 pic 11 Final

(1905 වන විට ජෝන් ඩොයිලිගේ ව්‍යාජ කතිකා යන්ත්‍රය හරහා ඒංගලන්තකයින්ගේ ලැබ් ඒකේ මීයන් කරගත් උඩරට ප්‍රභූන් සමග එවක සිලෝනයේ ඒංගලන්තක ආණ්ඩුකාර හෙන්රි ආතර් බ්ලේක්)

 

මේ ඩොයිලියානු කතිකාධිපත්‍යය ගොඩනැංවීම සඳහා ඔත්තු සේවා ව්‍යුහයක් ම යොදා ගැනීම නිසා ඊට ගොදුරුවන කිසිවෙකු විසින් එහි කටයුතු වල ඇති රහස්‍යභාවය හෝ දෙබිඩිභාවය ප‍්‍රශ්නය කරන්න මැලි වූවා පමණක් නොව, එය රකින්නට ද උදව් දෙන තරමට තකතිරුවන් වූහ. එස්. ඩබ්ලිව්. ආර්.ඞී. බණ්ඩාරණායකගේ පියා වූ සොලමන් ඩයස් අබේවික‍්‍රම ජයතිලක රජ කුමරුන් කඩුකරලූ බණ්ඩාරනායක එම ප‍්‍රභූ-තකතීරුභාවයේ ප‍්‍රතිමූර්-තිය කි. ඔහු ඉපදුනේ, ජීවත් වුණේ සහ මිය ගියේ එංගලන්තකයින්ට ඇන්දිලා ය. එංගලන්තකයින් නිසා තමන්ව ද අන්දවාගෙන ය. වරින් වර එංගලන්තකයින්ට පක්ෂ වන්නට නමට කෑලි එකතු කරගනිමින් මේ සා විශාල නාමයක් හදා ගැනීම සහ තම පුතුට නම් තැබීමට ආණ්ඩුකාරයාගේ නමින් කෑල්ලක් ඉල්ලා ගැනීම ද මේ තකතිරු ඇඳගැනීම දෙස් දෙවන ප‍්‍රභළ සංකේත ය. නමුත් ඔහුගෙන් එංගලන්තකයින්ගෙන ලක්දේශයට සිදුවන විනාශයට වැඩි විනාශයක් හිතා මතා කරන්නට තරම් නිර්මාණශීලී දැනුමක් ඔහුට තිබුණ බවක් නොපෙනෙයි. නමුත් ඔහුගේ පුතා වූ සොලමන් වෙස්ට් රිජ්වේ දියස් බණ්ඩාරනායක එංගලන්තකයින් දුන් ඩොමීනියන් ව්‍යවස්ථාවට ”සිංහල ඔන්ලි” කියා ගොන් ජාතිවාදී කෑල්ලක් එකතු කිරීමන් දශක 7ක් පුරා දිවෙන අතිදැවැන්ත ඓතිහාසික විනාශයක් ලක්දේයට උරුම කර දීමට මුළ පිරී ය. ඒ සංදර්භය තුළ ඔහු තම පියාටත් වඩා විනාශකාරී තකතිරුවෙකි.

        

pic 12 Final

(ඩොයිලිවාදී ඒංගලන්තක අනුරූකරණයට ලක් වූ සොලමන් වෙස්ට් රජ්වේ දියස් බණ්ඩාරනායක හෙවත් ඒ්ස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ඉංග්‍රීසි කතාකරන කොළඹ ප්‍රභුවරයෙක් ලෙස)

”සුද්ද වුනත් ඩොයිලි ලංකාවෙ මිනිස්සුංගෙ හද ගැස්ම දැන හිටියා” වැනි අදහස් ලක්වැසියන් ගේ මුවින් දොට්ට පනින්නේ, ඩොයිලගේ බෙදුම්වාදී කතිකාව සහ එංගලන්ත දේශපාලනාර්-ථික පද්ධතිය අතර සෘජු සම්බන්ධයක් බැලූ බැල්මට සොයාගත නොහැකි වූ බැවිනි. මන්ද ඩොයලිගේ බෙදුම්වාදී කතිකාව බිහිකරණ යන්ත‍්‍රය අප‍්‍රසිද්ධව පවතින ඔත්තු සේවා යන්ත‍්‍රයක් වූ බැවිනි.

   

ඒ නිසා, එංගලන්තය ඔවුන් දකුණු ආසියාවෙන් අයිති කරගෙන තිබූ කුමන යටත්විජිතය තුළත් ආර්-ථික කටයුතු ඉංග‍්‍රීසි භාෂාවට විෂයනුබද්ධ නියාම ධර්ම පරිදි සිදු කළේ ය. දේශපාලනයද ඊට අනුසාරීව පවත්වාගෙන ගියේ ය. බෙදුම්වාදය යනු යටත්ව ජීවත් වන ලක්වැසියන්ගේ මනස උදෙසා පමණක් භාවිතා කළ, ඔවුන්ගේ ශරීරයට අදාළ ආර්-ථිකයට හෝ ආර්-ථික ඓතිහාසිකත්වයට පරිභාහිරව පවත්වාගෙන ගිය ඉතිහාස ලේඛන වලට අසම්බන්ධ සාංසිද්ධික කුමන්ත‍්‍රණකාරී උපායික කතිකා-යන්ත‍්‍රයක් හෝ මෙවලමක් වූයේ ය. ඒ නිසා බෙදුම්වාදය කේන්ද්‍රීය-සංකල්පයක් (Central Concept) ලෙසින් වැඩිපුර ගෙන අභ්‍යාස කළේ ස්වදේශිකයන් උදෙසා වන ස්වභාෂිත කතිකාව හරහා ය.

එංගලන්තකයින්ගේ යටත්විජිත දේශපානාර්-ථිකයේ වස්තු-මූූලිකත්වය හෙවත් මුඛ්‍ය අරමුණ වූයේ බෙදුම්වාදය නොවේ. ලන්ඩන් පරිපාලනයට එය අතුරු උපායක් පමණක් වූයේ ය. ලක්වැසියන්ට එය තම ජීවන මතය නිර්-මාණය කරදෙන කතිකා යන්ත‍්‍රක් වූයේ ය. එනිසා එංගලන්තකයින් විසින් බෙදුම්වාදය වතුර කියා අපට රහසේ බොන්නට දෙන සාන්ද්‍ර ඇසිඞ් කෝප්පයක් බඳු විය. ලක් දේශිකයින්ට බෙදුම්වාදය යනු ස්වකැමැත්තෙන් ම ඇසිඞ් කෝප්පය යනු දැන දැන තමන් ද බිබී පරම්පරාවෙන් ඉදිරියට ද යවන ස්වයං-විනාශක දියරයක් බඳු විය.

    

සැබැවින් ම, එංගලන්තකයින්ගේ යටත්විජිත දේශපානාර්-ථිකයේ වස්තු-මූූලිකත්වය හෙවත් මුඛ්‍ය අරමුණ වූයේ, ලක්දේශයේ පැවති දේපල, සම්පත් සහ ශ‍්‍රමය සොරා ගැනීම ය. මෙම ප‍්‍රාග්ධන හොරකම ලක්වැසි ජනයාගේ මොළය ප‍්‍රධාන ස්නායු පද්ධතිය තුළ සාධාරණීකරණය කරන පාලනයක් තමන්ට වාසිදායක ලෙස පවත්වාගෙන යෑම එංගලන්තක කිරීටයට වගකියන ලන්ඩන් පරිපාලනයේ අභිප‍්‍රාය වී තිබිණි. ඊට බාධා විය හැකි ලක්දේශීය සමූහවාදය සහ එම සමූහවාදය නිසා ඒංගලනත කිරීටයට ඒරෙහි ඇතිවන අරගල නැවැත්වීම හෝ යටපත් කිරීම ඔවුන්ගේ ප‍්‍රධාන කාර්යභාරයක් විය.

pic 13 Final

(එංගලන්තකයින්ට විකුණා ගැනීමට සහ ඔවනු්ගේ ප්‍රග්ධන සමුච්ච්කරණය උදෙසා රට පැවීමට මිටි බැඳ ඇසුරුම් කරන ලක්දේශයට හිමි කුරුඳු )

ලන්ඩන් පරිපාලනයට මෙකී තම තුච්ච දේශපාලනාර්ථික අරමුණ ඉටුකර ගැනීමට එරෙහිව ලක්දේශය තුළ පැවති ප‍්‍රධාන සමාජ සාධකය වූයේ, ලක්වැසියන් අතර වූ අන්‍යෝන්‍ය-සමූහවාදය (Mutual Collectivism) යි. ඒ නිසා සියවස් කිහිපයක්වත් තම යටත්විජිත පාලනය පවත්වා ගන්නට නම්, මේ සාමකාමී අන්‍යොන්‍ය සමූහවාදය බිඳ දැමීම එංගලන්තකයින්ට අවශ්‍ය වී පැවතිණි.    

සමූහවාදයට එරෙහිව බෙදුම්වාදය නැමති කේන්ද්‍රීය-සංකල්පය අවශ්‍ය වූයේ මේ නිසා ය. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ද්‍රවිඩ නායක්කාර් වංශයකින් පැවත එන්නෙකු වීම ඊට හොඳ ගොදුරු බිමක් සපයා දුන්නේ ය. ඉදින් එංගලන්තකයින් එය දඩමීමා කරගැනීමට නොවලහා කටයුතු යෙදූහ. සමූහවාදය යනු 1815ට පෙර ලක්දේශය තුළ පැවති ලක් රජුගේ ආර්ථික-ක‍්‍රම-පද්ධතිය (Economic System) පදනම් කරගත් ලක්දේශීය කතිකාවේ කේන්ද්‍රීය-සංකල්පයකි. එය තුළ ශ‍්‍රමය මුදලට විකුණන තරඟයක් නොව ශ‍්‍රමය-දානය කරන පරිත්‍යාගශීලී  වන සහ නිතරඟයෙන් සිළු දෙනා ජයගන්වන ශ‍්‍රමදාන ආකෘතියක් පැවතිණි. මෙහෙකාරකම යන බලෙන් වහල් සේවයේ යෙදවීම එංගලන්තක ශ‍්‍රම අකෘතියක් වූයේ ය. ඒ නිසා ලක්දේශිකයින් ස්වේච්චාවෙන් දානයක් ලෙස රජුට ශ්‍රරමය දුන්නේ බලහත්කාරයක් නිසා වන මහා අකමැත්තක් පෙරදැරිකරගෙන නොවෙයි. ලක්වැසි ජනයා රජුට, නගරයට හෝ ගමට ශ‍්‍රමය දුන්නේ දානයක් දෙන මානසිකත්වයේ පිහිටා ය. එය ඔවුන් හඳුනාගෙන සිටියේ රටේ සමූහයට කරන ස්ව-පිදීමක් විදිහට ය. රජුන් ඒය හඳුනගෙන සිටියේ ද ඒලෙස ය. ඒ් නිසා වැසියන් කරන කියන දේ වලින් තෘප්තිමත් වූ අතර, රජුන් ද ශ්‍රමදානය නමැති සංකල්පය වැසියන් පෙලන මෙවලමක් ලෙස භාවිතා නොකළ තරම් ය. 

ඒ නිසා ඔවුන්ගේ ශ‍්‍රම දානය ඔවුන්ට සතුට සහ තෘප්තිය ගෙන දෙන්නක් විය. අහඹු අවස්ථාවක් නොවන්නට පෝදුවේ රජ්ජුරවන් ද, තම වැසියන් ශ‍්‍රමය දෙන පලියට දිගින් දිගට ම ඔවුන්ගෙන් ශ‍්‍රමය ගනිමින් ඔවුන්ව මඩවන්නට ගියේ නැත.

pic 14 Final

(ලක්දේශයේ ඇසල පෙරහැර ම්ලේච්ඡ ගොත්‍රික සැමරුමක් නොවේ. සාමකාමී බැහැපත් ලක් බොදු ජන ජීවිතයේ කාලාත්මක ප්‍රකාශනය යි.)

මෙහිදී, ඒංගන්තකයින්ගේ උවමනාවට දකුණු ඉන්දියාවෙන් වතුකරයට පැමිණි දමිල ජනපිරිස් පැහැදිලිව ම ගත කළේ රජුගේ නිදහස් ස්වේච්චා ශ‍්‍රමිකයින්ගේ ජීවිතය නොවේ. ඔවුන්ට ගත කරන්නට සිදු වූයේ එංගලන්තයේ වහල් ශ‍්‍රමිකයා සහ වැඩවසම් ශ‍්‍රමිකයාගේ ගුණ මිශ‍්‍රිත මෙහෙකාරකම යන ශ‍්‍රම ස්වරූපය යි. වතුකරයෙන් මෙහෙකාරකම නිවසට ශ‍්‍රමිකයින් ගෙන්වා ගන්නා භාවිතය ලක්වැසියන් උගත්තේ එංගලන්තකයන්ගෙනි. කිසි කළෙක වහල් ක‍්‍රමයක් නොපැවති ලක්දේශයේ තමන්ගේ ගෙදර වැඬේ කරගන්නට මෙහෙකරුවෙක් ගන්නට උවමනා කමක් තිබුණේ නැත. ශ‍්‍රමය දන්දීම යහපත් ක‍්‍රියාවක් ලෙස සැලකූ ලක්වැසි සිංහල-දෙමල-මුස්ලිම්-මැලේ ජනයා තවත් නිවසක හෝ පොදු වැඩබිමක ශ‍්‍රම අඩුපාඩුවක් පිරිමැසීම නිරන්තරව සාමාන්‍ය යුතුකමක් ලෙස සලකා ඉටුකළ උවිය වූහ. ඒ නිසා වහල්-වැඩවසම්-ධනේෂ්වර ක‍්‍රම-පද්ධති පසුකර ලක්දේශයට පැමිණි එංගලන්්කයාට වඩා යැපුම්-ක‍්‍රම-පද්ධතියක සිටි පොදු ලක්වැසි ජනයා සැබැවින් ම නිරහංකාරී සහ අන්‍යෝන්‍ය පවැත්ම තුළ මානවාදී ශිෂ්ට ජනතාවක් වූහ. 

pic 15 Final

(එංගලන්තක මෙහෙකාර අකෘතිය යටතේ සහෝදර දකුණු ඉන්දියාවෙන් කෘතිම ලෙස ලක්දේශයට ගෙනා මෙහෙකාර දකුණු ඉන්දීය ශ්‍රමිකයින්.)

ශිෂ්ටත්වය පිළිබඳ යුරෝපවාදී කතිකාව අනුව නම්, වැඩක් දුටු තැන කාගේ ද කියා නොබලා එය නොපිරිහෙලා ඉටු කරන ලක්වැසි ජනයා හෝ, කිසිවක් ආපසු බලාපොරොත්තු නොවී දෙවරක් නොසිතා තව මනුස්සයෙකුට ආහාර වේලක් හෝ වෙනත්  ඕනෑ ම දෙයක් දී සිතින් අමතක කළ හැකිව සිටි ඒකල ලක්වැසි ජනයා මුග්ධයින් (Idiots) ය.

pic 16 Final

(ලක්දේශයේ පැවිදිවරයෙකුට පිඩුදීම ජනයා ස්වකැමැත්තෙන් තියෙන විදිහට හෝ දීම ලක්දේකයන් සේම සහෝදර දකුණු ආසියානුවන්ට ම තිබූ ශිෂ්ට සම්ප්‍රදායකි.)

පිඩු දාන දීම යහපතක් ලෙස සලැකූ ඉන්දියානුවන් පාරේ පිඩු සිඟන ඕනෑ ම ආගමික පැවිද්දෙකුව වසර දහස් ගණනක් තිස්සේ කිසිදා බඩගින්නේ මියයන්නට නොදුන්හ. නමුත් එංගලන්තකයින්ගේ ප්‍රේරණය නිසා ඇති වූ සාගතයන් සියල්ලෙන් මියගිය අසල්වැසි ඉන්දියාවේ සමස්ත මනුස්සයින් ප‍්‍රමාණය මිලියන 15 සිට 29 අතර ප‍්‍රමාණයක් වූ අතර ඊට ඉඩ දී ඇස් කන් පියාගෙන සිටියේ එංගලන්තක සුධීමත් මහත්වරුන් ය.

ඒ අනුව, දෙවන ලෝක යුධ සමයේ එවක එංගලන්තක අගමැති වින්ස්ටන් චර්-චිල් හිතා මතා ම ලේඛනය කළ ප‍්‍රතිපත්තියක් නිසා බෙංගාලයට ලැබීමට තිබූ අත්‍යාවශ්‍ය සැපයුම්  ප‍්‍රමාණයක් බඩජාරී යුරෝපියානුවන් උදෙසා තොග ලෙස ගොඩගසා ගැනීමට අණකිරීම හෙවත් සමුච්චකරණය කරගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් බෙංගාලයේ ඇති වූ මහා සාගතයෙන් මිලියන 04ක මනුස්සයින් සංඛ්‍යාවක් මිය යන විට, එවක එංගලන්තක අගමැති චර්චිල් ”අඩුවෙන් පෝෂණය ලැබීම නිසා  ඕනෑ ම තැනක බඩගින්නට ලක්ව සිටින බෙංගාලී ජනයා කොහොමත් ශක්තිමත් ග‍්‍රීකයින්ට වඩා වටින්නේ අඩුවෙන්” යැයි පවසා එසේ මිය යන්නට ඉඩ දීම ඒ සුධීමත් මහත්මාභාවය ද? 

ශිෂ්ටත්වය පිළිබඳ යුරෝපවාදී කතිකාව අනුව ලන්ඩනයේ ශිෂ්ටත්වය එය නම්, දකුණු ආසියාවේ අපට ඒ ඊනියා ”ශිෂ්ටත්වය” හෝ සමස්ත කතිකාව ම උවමනා නැත. මනුස්සයෙකුගේ බඩගින්න සම්බන්ධයෙන් සමස්ත දකුණු ආසියානුවන්ටත්, විශේෂයෙන් බොදු දාන පිළිවෙත ස්වභාවික දෙයක් සේ සැලකූ ලක්වැසියන්ටත් එංගලනත්ක චර්චිල් වඩා යහපත් වසර 5000කට අධික ශිෂ්ට සංස්කෘතික පැවැත්මක් තිබී ඇති බව මොනවට පැහැදිලි ය. 

pic 17 Final

(එංගලන්තක අගමැති වින්ස්ටන්ට් චර්චිල්.)

 

ඒ නිසා යටත්විජිතවාදියා වූ ලන්ඩන් පරිපාලනයේ ශිෂ්ටත්වය වඩා-හොඳ (Better) ශිෂ්ටත්වය ලෙසින් සැලකීම යනු දැන හෝ නොදැන නැවත ඩොයිලියානු ස්වදේශිකත්වය සහිත බෙදුම්වාදී කතිකාවට ම වෙනත් වටයකින් අවිඥානකව ගොදුරු වීම මිස, ශිෂ්ටත්වය පිළිබඳ වාමවාදී වන හෝ නොවන, නූතන චින්නයක් හෝ නව-නූතන චින්තනයක් හෝ නොවන දැනුම බිහිවීමක් නොවේ.        

බෙදුම්වාදය යනු එංගලන්තක කිරීටයේ ආර්-ථික-ක‍්‍රමපද්ධතියේ පවැත්ම උදෙසා ලන්ඩන් පරිපාලනය විසින් අත්පත් කරගන්නා කුමන යටත්විජිතය තුළ හෝ පවතින සමූහවාදයට එරෙහිව ලන්ඩන් දේශපාලනාර්-ථික ක‍්‍රම-පද්ධතියට බැහැරින් ඊට වියුක්තව පවත්වාගෙන ගිය අනාර්-ථික කතිකාවක කේන්ද්‍රීය-සංකල්පය යි. 

ලොව සමූහවාදය පැවති ඉම් පෙදෙසක් යුධයෙන් යටපත් කරගත් පසුව, එහි පැවති ජනයාගේ විභජනයන් භාවිතයට ගෙන ඒවා බෙදුම්වාදී අර්-තකථනයන්ට හසුකොට, එකී ජනයා බෙදුම්වාදී වරිගවාදයන් අනුව කුලල් කා ගන්නා අතර, තමන්ට අවශ්‍ය දේපල, සම්පත් සහ ශ‍්‍රමය සොරා ගන්න යුරෝපා නරි ප‍්‍රතිපත්තිය දකුණු ආසියාවේ කිසිදු අධිරාජයෙක් අනුගමනය කර නැත. අනුරාධපුරය අල්ලාගත් එල්ලාලන් පවා ලක්දේශයේ උතුරු මැද පෙදෙසේවල ජනයා සිංහල හෝ දෙමල වරිගය අනුව හෝ වෙනත් බෙදීම් අනුව උසිගන්වා කුලල් කාගන්නට සලස්වන ඒ් දුෂ්ට ප‍්‍රතිපතිතිය අනුගමනය කළේ නැත. ඒ නිසා දකුණු ආසියාවේ ආක‍්‍රමණිකයින්ද ලන්ඩන් ආක‍්‍රමණිකයින්ට වඩා ශිෂ්ට ආක‍්‍රමණිකයින් බව නිගමනික ය.

ලක්දේශයට සිංහල-දෙමල ලෙසින් ද, භාරත දේශයට හින්දු-මුස්ලිම් ලෙසින් ද වැනි වූ බෙදුම්වාද රැසක් අධිරාජ්‍යවාදී එංගලන්තය විසින් දකුණු-ආසියානු ඉම් පෙදෙස් පුරා නඩත්තු කරන ලදී.  ඇත්තට ම මෙය මතවාදී ඇම්බුෂ් එකකි. බෙදුම්වාදය කේන්ද්‍රීය-සංකල්පය කරගත් කතිකාවක් තුළ සිතන පතන දකුණු ආසියානුවාට තම වස්තු-මූලිකත්වය (Objective) හෙවත් අරමුණ ලෙස පෙනෙන්නේ සහ ඔහු හෝ ඇය භාරගනු ලබන්නේ අනෙක් සහෝදර ජාතිය හෝ වරිගයට එරෙහි වී යාම පමණකි. එයින් දකුණු-ආසියානුවාට නොපෙනී යන්නේ, ඒ ගෙවෙන මොහොතේ යටත්විජිත ආර්-ථික යථාව සහ එහි ඉතිහාසය යි. වසර සිය ගණනින් ලක්දේශයේ දේපල, සම්පත්, ශ‍්‍රමය ලෙස පැවති ප‍්‍රාග්ධනය නිදහසේ සහ රිසි සේ සොරාගන්නට එංගලන්තකයින්ට හැකි වූයේ මෙන්න මේ බෙදුම්වාදී කුමන්ත‍්‍රණ කතිකා යන්ත‍්‍රයට පිින් සිදුවන්නට ය.

ලන්ඩන් පරිපාලනය විසින් තම ආර්-ථික කතිකාවෙන් පරිභාහිරව මෙවන් බෙදුම්වාදී කතිකාවක් පවත්වාගෙන ගියේ, ආර්-ථිකය තුළ ඔවුන් කරන කියන දේවල් සඟවාලන්නට ය. දකුණු-ආසියානුවාගේ ඇස් වලට වැලි ගසන්නට ය. සරලව කිවහොත්, ලක්දේශයේ දේපල, සම්පත් සහ ශ‍්‍රමය එංගලන්තකයින් විසින් සොරාකෑම ලක්වැසියන්ට එළිදරව්වීම හෙවත් සවිඥානක වීම වලකා එය සාධාරණියකරණය කරන කාල-අවකාශයක් දකුණු ආසියානු සිත් සතන්වල ගොඩනංවන්නට ය. තමන්ගේ ම සහෝදර වරිගයකට හෝ ජාතියකට එරෙහිව සිතීම සහ පැතීම අරමුණු කරගත් ජනතාවකගේ සිත් සතන් තුළ ආර්-ථිකයන් ගැන සිතන්නට ඉඩහසරක් හෝ කාල-අවකාශයක් නොමැති බව යටත්විජිතවාදී අභ්‍යසයේ කෙළපැමිණි සිටි එංගලන්තක කිරීටවාදී ලන්ඩන් පරිපාලනය හොඳින් දැන සිටියේ ය. .        

pic 18 Final

(යටත්වයිජිත සමයේ කොළඹ වරායේ ගොඩබෑමේ ජැටිය.)

එංගලන්තකයින් මෙම බෙදුම්වාදී කතිකා යන්ත‍්‍රය යොදාගත්තේ ම යටකී ආර්ථික කුමන්ත‍්‍රණය කරගන්නට ය. ලක්දේශිකයින් පාරභෞතික මතයක එල්ලී බෙදුම්වාදීව කා කොටා ගනිද්දී, එංගලන්තකයින් අපගේ ලක්-පෘථිවියට අයිති භෞතික ප‍්‍රාග්ධනය උන්ගේ රටට ඇදගත්හ.

එංගලන්තකයින් විසින් ලක්දේශය හැර ගිය පසු, ලක්දේශය භාරගත් ඩොයිලවාදයට ගොදුරු වූ ලක්වැසි ප‍්‍රභූන් කළේ මීට හපන් දෙවල් ය. ඉංග‍්‍රීසීන්ගෙන් පසුව ලක්දේශය පාලනය කළ ඩොයිලිවාදී ලක්වැසි ප‍්‍රභූන් ද ආර්-ථික ප‍්‍රශ්නයක් පැමිණි විගස එය වසා බහුතර ජනයාගේ ඇස්වලට වැලි ගැසිමට යොදා ගත්තේ, බෙදුම්වාදය යි. එනයින් ඔවුන් ද එංගලන්තකියන්ට ප‍්‍රතිපක්ෂ සහ ඊට වඩා සාධනීය දේශපාලානාර්-ථික උපායමාර්ගයක් මෙතෙක් අනුගමනය කර නොමැති බව හෙළිදරව් වෙයි. 

අදටත් පරගැති දොන් ඒඩ්‍රිරයන් ජයවර්ධන සහ දොන් පිලිප් විජේවර්ධන පවුල්වලට ඥාතීවයෙන් පැවති එන පැවති එන ඩොයිලියානු ප‍්‍රභූවමරයෙකු වූ රනිල් වික‍්‍රමසිංහ, ආර්-ථික ප‍්‍රශ්නයක් ඔඩුදුවන බවට වන ජනමතයක් ගොඩනැගී ඇති මෙවන් අවදියක දී පවා එම ආර්ථික සවිඥානකත්වය ආපසු හැරවීමට යොදාගන්නේ බෙදුම්වාදී සංදර්භය යි. රනිල් හිදිසියේ 13වන සංශෝධනයක් ඇදගෙන ඒ පිළිබඳ කතිකාවක් ගොඩනැගීමට උත්සුක වීම පිටුපස ඇත්තේ ඩොයිලියානු බෙදුම්වාදී කතිකාවේ ම වර්තමාන ස්වරූපයක් යොදාගෙන ආර්-ථික ව්‍යසනය යට ගැසීම මිසක, දෙමල ජනතාව පිළිබඳ වන ආදරවන්ත ප‍්‍රවේශයකින් නොවන බව ලක්වැසි දෙමල ජනයා තේරුම්ගත යුතුව පවතී. 

   

pic 19 Final

(ඩොයිලිවාදී ඒජාප නායකත්වයේ අනුදැනුම ඇතිව බලහත්කාරයෙන් 1981 සංවර්ධන සභා චන්දය ජයගන්නට සාපරාධී ලෙස ගිනිබත් කළ යාපනය නාගරික මහජන පුස්තකාලය.)

 

1948 සිට 1953 තෙක් පතෝල ආර්-ථිකයක් පවත්වාගෙන ගිය සේනානායකවාදී එජාපයට 1953දී සමූහවාදී ආර්-ථික අරගලයකට මුහුණ දෙන්නට සිදුවිය. ඉතින් එයින් වසර තුනක් ගෙවෙන ඇවෑමෙන් එජාපයේ ම ප‍්‍රධාන අනුප්‍රාප්තිකයෙක් වී සිටි සොලමන් වෙස්ට් රිජ්වේ දියස් බණ්ඩාරනායක විසින් 1956 ලක් දේශයේ මුළුමහත් ආර්-ථික අර්බුදය ම ”සිංහල ඔන්ලි” කියන බෙදුම්වාදී තිරපටින් වසා දැම්මේ ය. ඉන්පසු සමස්ත ස්වීය ලක්දේශික නිෂ්පාදන-මාදිලියක් ගොඩනගා ගැනීම වෙනුවට, වරිග දෙකක් ලෙස බෙදී කුලල් කා ගන්නා උද්ඝෝෂණ, වීදි සටන් ඇතුළු අනෙකුත් වරිග අරගල ප‍්‍රවර්ධනය වීම ඇරඹිණි. අරගල පවා ලක්දේශය උතුර සහ දකුණ ලෙස බෙදී කරන අරගල බවට පත්විය. 

මෙයින් පෙනී යන්නේ, එංගලන්තක ආර්-ථික අරමුණ ජයගන්නට බෙදුම්වාදි කතිකා යන්ත‍්‍රය වක‍්‍රව නමුත් ප‍්‍රධාන ආධාරකයක් ලෙස යොදාගෙන ඇති බව ය. මේ බෙදුම්වාදයට කිසිදු ආර්-ථික පදනමක් නොමැති නමුත්, එංගලන්තකයින් එය තම ලන්ඩන් කිරීටයේ ආර්-ථික අරමුණක් ඉටුකර ගැනීම සඳහා කුමන්ත‍්‍රණකාරීව යොදාගත් බව පෙනේ. 1956න් පසුව වරිගවාදී බෙදුම්වාදය යන්න හිඟන්නාගේ තුවාලය ලෙසින්, එජාප-ශ‍්‍රිලනිප දෙපාර්ශවය ද දෙමල ප‍්‍රභූ සංවිධාන ද විසින් ලක්දේශයේ ආර්-ථික අර්-බුදය වාන් දමන හැම මොහොතක ම ජනයාගේ ඇස්වලට වැලි ගසන කෝකටත් තෛලය ලෙසින් තම ආතල් එක කරගත්තේ මෙම බෙදුම්වාදය යි. එය කළේ ද එංගලන්තකයින් සේ සංයුක්ත ආර්-ථික අරමුණක් රහිතව ය.  

භාහිර ආර්-ථික අරමුණක් සහිතව ලන්ඩන් පරිපාලනය විසින් වියුක්තව ස්ථාපිත කළ බෙදුම්වාදය ම, 1956න් පසුව කසිදු භාහිර හෝ අබ්‍යන්තර ආර්-ථික අරමුණක් නොමැතිව පළමුව බණ්ඩාරනායක නැමති ඩොයිලියානු ප‍්‍රභූවරයාට පාලන බලය ගන්නට ද, පසුව ජේ.ආර් පාලන සමයේ දී සාමාන්‍ය සිංහල-දෙමල ජනයා අතර කා මරා ගන්වන්නට ද යොදා ගැනිනි. මෙහිදී, ලන්ඩන් පරිපාලනයට බෙදුම්වාදය හරහා ජයගන්නට වක‍්‍ර ආර්-ථික අරමුණක් සහ සෘජු බල-දේශපාලනික අරමුණක් හෝ තිබුණි. බණ්ඩාරනායකට ආර්-ථික අරමුණක් නොමැති වු අතර තිබුණේ බලදේශපාලන අරමුණක් පමණි. නමුත් සාමාන්‍ය ලක්වැසි ජනයා මෙම බෙදුම්වාදය තමන්ගේ ම සහෝදර ජන ප‍්‍රජාවක් සමග කා මරා ගැනීමට යොදාගැනීමට මිසක මෙලෝ බල අරමුණක් හෝ ආර්-ථික අරමුණක් ඔවුන්ට නොතිබිණි. ලක්වැසියන් මෙලෙස කිසිදු අරමුණක් රහිත අඳ-බාලයින් පිරිසක් බවට පත්කළ සැබෑ ඓතිහාසික හේතු ප‍්‍රත්‍යයන් සොයා, ඒ්වා හෙළිදරව් කරගැනීම සහ ප‍්‍රකාශයට පත්කිරීම 1948න් පසු හැම යුගයකම යුගික කාර්-යභාරය වූව ද ඒය වාද-විෂයක් ලෙසින් කැලකිල්ලට බාජනය කිරීම අවම විය. 

pic 20 Final

(ඩොයිලිවාදී ඒජාප නායකත්වයේ අනුදැනුම ඇතිව බලහත්කාරයෙන් 1981 සංවර්ධන සභා චන්දය  දී ප්‍රහාරයට ලක් වූ යාපනයේ නිච්චිමාර් කෝවිල.)

 

මන්ද, මෙය හෙළිදරව් නොවී තිබෙන තාක් ම, ආර්-ථික විෂයේ නියාම ධර්ම ඉගෙන ගැනීමට ඇති ප‍්‍රධාන දකුණු-ආසියානු බාධකය වන බෙදුම්වාදයෙන් අදාළ සියළු තීරණාත්මක ආර්-ථික වාද-විෂයන් වැසී පවතිනු ඇත. එයින් ලක්වැසියන් නැවත නැවතත් වල්මත් වනු ඇත. මන්ද තවමත්, ගෝලීයකරණයේ ආර්-ථික නියාම ධර්මයන් පරිදි කලාපීය ආර්-ථිකය දකුණු ආසියානුවන්ට වාසිදායක ඉමකට යොමු කර ගැනීමට එරෙහි සහ දකුණු ආසියානුවන්ට ආර්-ථිකය අමතක කරවන බාධකයක් ලෙසින් බෙදුම්වාදය අදටත් අධිපති ප‍්‍රාග්ධන-කේන්ද්‍ර නියෝජනය කරන රටවල් වලට සෘජු සහ වක‍්‍ර ආක‍්‍රමණික වාසි සලසනු ලබයි . 

ඒ නිසා ම, ලක්වැසියන්ට පමණක් නොව සමස්ත දකුණු ආසියානු සහෝදර වැසියන්ට ද මේ නූතන යටත්විජිතවාදීන් රෝපණය කළ බෙදුම්වාදී බාධකය ඉවත් කරගැනීම සඳහා ඒ පිටුපස ඇති යටත්විජිතවාදී උපායාමාර්ගය කෙසේ හෝ සවිඥානක කරදිය යුතු යුගික අවැසිතාවක් පවතී. එය නොසිදුවන්නේ නම්, ගෝලීය ප‍්‍රාග්ධන කේන්ද්‍රයන්ගේ උපායමාර්ගයන් ඉදිරියේ දකුණු ආසියානුවා පරදිනු ඇත. සමස්ත දකුණු ආසියාවට ම නව-නූතන අඳුරු යුගයක් උදාවනු ඇත.

ඉන්දියාව තුළ පවතින හින්දු-මුස්ලිම් බෙදීම ඇතුළු වරිග සටන් බොහොමයක් කෙරෙහිද මෙම එංගලන්තක බෙදුම්වාදී මරඋගුල ම බලපා ඇති නමුත්, භෞතික සමූහවාදී නිදහස් අරගලයක් කළ ඉන්දියාව තුළ බණ්ඩාරනායක වැනි අවස්ථාවාදී ප්‍රභූ නායකයෙක් බිහිි නොවීම නිසා ද, එරටේ භෞමික සහ ජන ප‍්‍රාමාණිකත්වය විශාල වන නිසා ද, රාජ්‍ය සහ ආණ්ඩුව අතර වෙනස නඩත්තු කිරීම සාපෙක්ෂව බිඳ නොවැටීම නිසා ද, ඉන්දියාවේ ආර්-ථික සංවර්ධනය වරිගවාදී කතිකාධිපත්‍යකින් මුළුමනින් වසා දැමිය නොහැකි තත්වයක් ඉන්දියානු පසු-යටත්විජිත ආර්-ථික ඉතියාසය තුළ පවතිණ බව හඳුනාගත හැකි ය.

Pic 21 Final

(මේ හසුව සිටින්නේ ඒංගලන්තකයින්ගේ බෙදාපාලනය කිරීමේ බෙදුම්වාදයට බව නොදත් හින්දු-මුස්ලිම් සහෝදරයින් එදිරිවාදීන් ලෙස වෙන්ව ගිය, මලමිනී නහුතයකට මග පෑදූ, සසමූහවාදී ඉන්දීය නිදහස් සටන බෙදා දෙකට කළ අන්තිම කෝච්චිය.)

 

එනිසා, ආර්-ථික සංවර්ධන ක‍්‍රියාදාමයේ දී, ඉන්දියාව ලක්දේශයට වඩා පුළුල් සමාර්-ථභාවයන් පෙන්වමින් සිටී. එංගලන්තක අධිරාජ්‍යවාදීන් ලක්දේශය සහ ඉන්දියාව පාලනය කරන සමයේ ආර්-ථික දත්ත අනුව ලක්දේශය ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටීම වාද-විෂයක් ලෙස ගෙනහැර දැක්වීම අඳ-බාල කමකි. මන්දයත්, ලක්දේශය 1948 පෙර පැවතියේ සිලෝනීය ආර්-ථික-සමස්තයක් (Ceylonese Economic Totality) ලෙසින් නොව එංගලනත්ක ආර්-ථික සමස්තයේ අවයවයක් (Part of the Totality of the English Economy) ලෙසින් පමණි. එනයින් එංගලන්තක ආර්-ථිකය නැමති ගසේ අත්තක් ලෙසින් පැවත 1948 දී වෙන්වී ගිය පසුව ඒය වියලී පඬරැල්ව ගොස් වසර 70ක් ඇතුළත අද එය බංකොලොත් බවට වී ඇත.

සමූහවාදී නිදහස් අරගලයක නියුතු වී ඉන්දියානුවෝ ඔවුන්ගේ ආර්-ථික ස්වාධීනත්වය එය සැලකිය යුතු ප‍්‍රතිශතයකින් ජයගත්තේ ය. භෞතික නිදහස් සටනක් ජයගත් නිසා ඉන්දියානුවන්ට ස්වීය-සමස්ත-ආර්-ථික-ක‍්‍රම-පද්ධතියක් ගොඩනගා ගැනීමට බලකෙරිණි. ඉන්දියානුවන් තුළ එංගලන්තක යටත්විජිත මානසිකත්වය පලා ඉරාගෙන, ලන්ඩන් පරිපාලනය විසින් මෙහෙය වූ නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගමට (East India Company) විරෝධී භාරතවාදී ප‍්‍රභූන් සහ වෘත්තිකයින් පිරිසක් බිහිවිය. ඔවුන්ගේ මොළය ප‍්‍රධාන ස්නායු පද්ධතීන්ගෙන් වැඩි ප‍්‍රතීශතයක් එංගලන්තක විරෝධී වස්තු-මූලිකත්වයක (Objective) හෙවත් අරමුණක් ප‍්‍රවර්ධනය වී පැවතුණේ ය. 

(එහෙත් ඔවුන්ට එංගලන්තකයින් ස්ථාපිත කළ බෙදුම්වාදයෙන් මුළුමනින් හෙවත් සියට සියයකින් ගැලවෙන්නට අදටත් අසීරු වී ඇති බව ඇත්තකි.)

pic 22 Final

(දකුණු ආසියාව ම පාලනය කළ බටහිරවාදී ආර්ථික මර්මස්ථානය වූ නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගම) 

 ලක්දේශයට භාරතදේශය මෙන් එංගලන්තක විරෝධී ආත්මයක් සහ ස්වීය-සමස්ත-ආර්-ථික-ක‍්‍රම-පද්ධතියක් ගොඩනගා ගැනීමට නොහැකි විය. ඒ නිසා ම 1948 වසරේ ලක්දේශයට නිදහස ලැබුණා යනු එජාප අලින්ගේ අලි බොරුවක් ශ්‍රිලනිපයින් විදසින් කරගහගෙන යනු ලැබීමකි. 

1947 ඉන්දීය නිදහස් අරගලයට පසුව, ලක්දේශය විසින් අවිඥානිකව හෝ එංගලන්තයේ මහරැජිනට එරෙහි සටන් කළ සංසිද්ධික් වූයේ වී නම්, ඒ 1971කේ අරගලය යි. සමූූහවාදී බහුජන නිදහස් සටනක ස්වරූපය තරමට වර්ධනය වී නොතිබුණා වුවත්, 1972න් පසු ව්‍යවස්ථා කරදාසියක් මත හෝ ඩොමීනියන් තත්වයෙන් ගැලවී සුළු පමණක හෝ ස්වීය-සමස්ත-ආර්ථික-ක‍්‍රම-පද්ධතියක ප්‍රරතිසංස්කරණමය ඡායාවක් ගොඩනගා ගැනීමට බලකෙරුණේ 1971කේ අවිඥානික ජාතික විමුක්ති අරගලය නිසාවෙනි. ඒය පැහැදිලිව ම කල්පසු වී හෝ නැගෙනහිර ඉන්දීය කොම්පැනියට ඒරෙහිව කළ අවිඥානික නිදහස් අරගලයකි.)

 එසේ වූවාට 1971කේ සිදුවූ අවිඥානික ජාතික නිදහස් අරගලය පරාජය වීම නිසා ලන්ඩන් පරිපාලනය විසින් ඇති දැඩි කොට හදා වඩාගත් එංගලන්තකවාදී ජීවන පැවැත්මකින් හෙබි වූ එජාප-ශ‍්‍රිලනිප ප‍්‍රභූ පැලැන්තිය අතුගා දැමීමට ලක්දේශයට පුළුවන් වූයේ නැත. 

ඔවුන් ඉන් ඉදිරියටත් පාලන කටයුතු කරගෙන ගියහ. එනයින්, 1977ට පෙර සුළු හෝ ස්වදේශවාදී න්‍යාය පත‍්‍රයක් ලක්දේශය තුළ තිබුණේ වී නම්, 1977න් පසුව ඩොයිලිවාදී සහ ඇමෙරි-යුරෝවාදී යැංකි ඩිකී හෙවත් ජේ. ආර්. ජයවර්ධන විසින් විධායක ජනපති ක්‍රමය පදනමික 1978 ව්‍යවස්ථාව හරහා ඒ සියල්ල ද හකුළා දමා වෙනත් ආර්-ථික සිතියමක් අඳින්නට පුළුවන් වන තැනට රාජ්‍යතාන්ත්‍රිකමය, ව්‍යවස්ථාමය සහ පාතාලමය පසුබිම සකස් කළේ ය.

pic 23 Final

(දකුණු ආසියාව ම පාලනය කළ බටහිරවාදී ආර්ථික මර්මස්ථානය වූ නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගම) 

 

ඒ නිසා 1971කේ අරගලයට සහභාගි වූ සෑම ජවිපෙ කේඩර්වරයෙක් ම තමන් තුළ එංගලන්තක යටත්ජිත මානසිකත්වය පලා ඉරාගත් අවිඥානික ජාතික විමුක්තිකාමියෙකි. ආසන්න ඉතිහාසයක දිවි ගෙවූ ඔවුන්ට සමාජ ගරුත්වයක් දෙන්නට නොකමැති හෝ නොදන්නා උදවියට, කිසිදා 1848 දී එංගලන්තක විරෝධී ජාතික විමුක්ති අරගලය හෝ 1817-1718කාලයේ දී පැවති ඌව-වෙල්ලස්ස විමුක්ති අරගලය හෝ ඓන්ද්‍රීයව තේරෙන්නේ ම නැති උදවිය යි.        

එනයින්, 1956දී, සමස්ත (Total) ඒංගලන්තක ඩොමීනියන් ව්‍යවස්ථානුකූල ලේඛන-වියමනක (Written Text) සංදර්භය තුළ ම පවතින පනතක් (අවයවයක්) ලෙස සම්මත කරගැනුණු ”සිංහල පමණයි” පනත හරහා අත්තනෝමතික ලෙස ඉංග‍්‍රීසි භාෂාව සහ ඉංග‍්‍රීසි හර පද්ධතීන් ඩිලීට් කරන්නට යෑමෙන් පසුව, එතෙක් ලක්දේශයේ පැවති නූතන-එංගලන්තක-අධ්‍යාපන සැකැස්ම ද එකී හැරවුමට ම හසුවී එතෙක් තිබුණු තැනිනුත් පිටුපසට ගොස්, ගුණාත්මකව අනූතනවාදී (Non-Modern) සහ ප‍්‍රබන්ධවාදී ගති ලක්ෂණ අනුසාර කරගෙන, එතෙක් පැවතියාටත් වඩා එකතැන පල්වෙන අධි-ඌන-සංවර්ධන (Super-Under-development) තත්වයකට ගොදුරු වීම අරුඹුණි. 

1956යේ සංසිද්ධිය තුළ කිසිදු සමූහවාදී නිදහස් අරගලයක ගති ලක්ෂණ නොපැවති අතර, මේ සංසසිද්ධිය තුළ පවතින මූලික හරය වන්නේ ම ඩොයිලියානු බෙදුම්වාදය යි. මන්ද, එහි කේන්ද්‍රීය-සංකල්පය වන “සිංහල පමණයි” යන්න සෘජු-ජාතිවාදී වරිගවාදය හරය නියෝජනය කරන නිසා ය. ඒ නිසා මතුපිටින් එයින් ලක්දේශයට නිදහසක් ලබුණු ස්වරූපයක් පෙන්නුම් කරවන කතිකාව ගොඩනැගුව ද, සැබෑ සාරයෙන් ගත්කල, එය එංගලන්තක අධිරාජ්‍යවාදී බෙදුම්වාදයට පක්ෂපාතී සංදර්භයක් නියෝජනය කළේ ය. 

ඉදින් 1956න් පසු ඇරඹි මේ එකතැන පල්වීම තීව්ර කළ අධි-ඌන-සංවර්ධන (Super-Under-Development) තත්වය විසින් අද වන විට ගඳගසන සමාජ තත්වයකට බිහිකර ඇත. ඒ නිසා අප ලක්දේශය යනු කුමන විෂය ක්ෂේත‍්‍රයක සංවර්ධනයට (Development) අදාළවත් ඉදිරියටවත් පසුපසටවත් චලනය වන්නේ නැතිව එක-තැන-පල්වීමකට හෙවත් වඩා ගැඹුරු හානිකර අධි-ඌන-සංවර්ධන (Super-Under-Development) තත්වයකට හසුවී, ලොව අන් දේශයන් වේගයෙන් ජයග‍්‍රහණ අත්පත් කරගනිද්දී පවා, හේතු විරහිතව උඩබලාගෙන කල්මරමින් පවතින, කතා කරන දේවල් වලින් ප‍්‍රයෝජනයක් නොගන්නා අප්‍රායෝගිකවාදී බොල් පිටියක් බවට පත්ව ඇත. 

ඒ නිසා මේ ගෙවෙන මොහොතේ අපට දක්නට සහ අසන්ට ලැබෙන්නේ, ජයග‍්‍රහණ අත්පත් කරගත් බවට කයිවාරු ගසන ප‍්‍රභන්දාර්ථමය මායා මාධ්‍ය සංදර්ශන සහ උපකල්පිත දත්ත සැකසුම් මත පදනම් වූ රාජ්‍ය සහ රාජ්‍ය නොවන අදේශපාලනාර්-ථික විශ්ලේෂණ පමණි. සැබෑ යථා ගවේශණය, විශ්ලේෂනය සහ නිගමනාත්මක සංවර්ධනය තවමත් අන් තැනක ය.

ඊට හේතුව වන්නේ, එවකට අන්තර්ජාතික නීතිය පරිදි 1948 වසරේ දී ලක්දේශය සීමා සහිත නිදහසක් ලැබූ රටක් ලෙස නාමකරණය කරනු ලැබූව ද, මේ ගෙවෙන වත්මන් මොහොත  දක්වා තවමත් ලක්දේශයේ කිසිදු ක්ෂේත‍්‍රයක් හෝ ඒවාට සම්බන්ධ ජන-ජීවිතය සහ ජන-විඥානය හෝ කිසිදු දේශිය සංඝටකයකට අදාළව සැබෑ ඒකාග‍්‍රතාවකින් යුතු දේශීයවාදී සමස්තමය දේශපාලානාර්ථික නිදහසක් සහ සමූහවාදී සමාජ නිදහසක් ලබා නොමැති වීම යි. 

එසේ සිදුව ඇත්තේ, පැරණි නූතනවාදී එංගලන්තක අධිපති-බල-දේශපාලනාර්ථික ව්‍යූහය විසින් ස්ථාපිත කළ බෙදුම්වාදී කතිකා රාමුවේ කතිකාධිපත්‍යයට (Discursive Dominance) යටත්ව සහ අධිරාජ්‍ය ගැතිව ශික්ෂණය වූ ප‍්‍රභූන් ද, එසේ ශික්ෂිත ප‍්‍රභූන් කෙරෙහි හීනමානයෙන් පෙලෙන අනෙකුන් සාමාන්‍ය බහුතර ලක්වැසි ජනයා ද සැබෑ ස්වදේශිකවාදී නිදහසක් ලබා නොතිබීම යි. ඊටත් වඩා බරපතල සාධකය වන්නේ මොවුන් එවන් කිසිදු සංයුක්ත නිදහසක් නොලද පිරිසක් වන බව ඔවුන් විසින් ම නොපළිගැනීම යි.

එහි පිළිබිඹු අරුත නම්, ඔවුන් තවමත් “1948 දී ලක්දේශයට නිදහස ලැබුනාය” කියන ප‍්‍රභන්දාර්තයට ගොදුරු වී සිටීම යි. හැම  පෙබරවාරි 04 වෙනිදාට ම එංගලන්තකවාදී කොළඹ ටවුමේ දී ඩොයිලිවාදී ලක්දේශීය ප‍්‍රභූන් විසින් සමරන ඊනියා ”නිදහස් උළෙල” වයර්ලස් එකෙන් අසන, ටීවී එකෙන් බලන, හෝ සජීවීව සහභාගී වන සහ ගේ ඉස්සරහ ජාතික කොඩියක් දාන බහයුතර ලක්වැසි ජනයා හිතන් ඉන්නේ 1948දී ලක්දේශයට නිදහස ලැබුණා ය යන ප‍්‍රභන්ධය යි.

 

pic 24 Final

(1948 පෙරවාරි 04 වන දා ඒංගලන්තයෙන් නිදහස ලබූ බවට ඒංගලන්තක මහරැජිනගේ ප්‍රදනාත්වයෙන් ම පැවැත් වූ ඒංගලනත්තෙටත් නැති ලක්දේශයටත් නැති පළමු විගඩං නිදහස් උළෙල) 

මෙම සංඥාර්ථයෙන් පෙන්නුම් කරන සැබෑ යටත්විජිතවාදී අවුල ලිහා පෙන්වා හෙළිදරව් කර ලක්වැසි බහුතර ජනයාගේ කේන්ද්‍රීය-සිතුම (Central-Signified) වෙනස් කිරීම සමූහවාදී නව-නූතන-පුනර්ජීවන ව්‍යාපරයක් හරහා සිදුකළ යුත්තකි.   

ලක්දේශයට තවමත් නිරවුල් සමූහවාදී දේශපාලානාර්ථික සහ සමාජ නිදහසක් අත්පකර ගැනීමට නොලැබී ඇති බව තහවුරු වන ඇස් ඉදිරිපිට සාධක කිහිපයක් ම ඇත. 

පළමුවැන්න, එංගලන්තක අධිරාජ්‍යවාදීන් ලක්දේශයේ සැබෑ ස්වදේශීක නගර විනාශ කළ හෝ අකර්මණ්‍ය කළ පසු ඉතිරි වූ නොදියණු ලක් ගැමි හර පද්ධතීන්වල ස්වදේශීක නටඹුන් පමණක් ලක්දේශයේ පූර්ණ ස්වදේශික අනන්‍යතාවය ලෙසින් වරදවා වටහාගෙන සහ නාමරකණය කොට බිහිකළ අර්ථකතන දිගින් දිගට ම ”අපේකම” ලෙස භාරගැනීම සහ සැමරීම යි. 

බැසිල් රාජපක්ෂ කෝට්ටේ ප‍්‍රදේශයේ හදවපු ”අපේ ගම” ඊට හැඟවුම්කරණීය සංඥාර්තයක් දරන වත්මන් උදාහරණයකි. 

දෙවැන්න, ලන්ඩන් පරිපාලනයෙන් ගොඩනැගූ කොළඹ නාගරිකත්වය ලක්දේශයේ සැබෑ නාගරිකත්වය ලෙස වැළඳගෙන ඊට ඓන්ද්‍රීයවීමට සිදුවී ඇති නිසාවෙන්, ඒ හරහා සියවසකට වැඩි කාලයක් ඇතුළත පරපුරෙන් පරපුරට එංගලන්ත කිරීටයේ අධිපති බෙදුම්වාදී මතයට මානසිකව සහ ආත්මිකව යටත්ව දිවිගෙවූ දෙබින්න පෞර්ෂයන් වූ එජාප-ශ‍්‍රීලනිප ප‍්‍රභූන්ට චන්ද දෙන නෝන්ජල් ජනපිරිසක් ලෙස බහුතර ලක්වැසියෝ බාල්දුවට පත්වී සිටීම ය. 

තුන්වැන්න, යට කී නොන්ජල් සහ බාල්දු මානසික සහ ආත්මික තත්වයේ ම හිඳගෙන වසර 70ක් තරම් දිගු කාලයක් පුරා පක්ෂ දෙකක් ලෙස බොරුවට වෙන් වුණු එක ම එංගලන්තකවාදී ඩොයිලියානු ප‍්‍රභූ පැලැන්තියකට චන්දය දීම හැර වෙනත් විකල්පයක් දකින සමූහවාදී සිතිවිල්ලක් වර්ධනය කර ගැනීමට ලක්වැසියන්ට නොහැකි වීම ය.

මෙකී ප‍්‍රධාන සාධක ඇතුළු තවත් උප-සාධක නිසා අවසානයේ ලක්වැසි ප‍්‍රභූ සහ නිර්ප‍්‍රභූ සියළුදනා කළ කී සියළු කෙරුම්වලින් නටපු නාඩගම වසරක 30 ජනඝාතක යුද්ධයක් සහ සිවිල් ජන නැගිටීම් 03ක් අවසන ආර්ථික බංකොලාත්භාවයක් කරා රට ගෙනවිත් ඇත. 

අදටත්, ගමේ වැසියන් නගරයට පැමිණි විට ඒ උදවියගේ අනන්‍යතාව මේ තරම් පිටසක්වලයින් සේ අර්-දුයට යන්නේ ද, නගරේ වැසියන් ගමට ගියහම ඒ උදවියගේ අනන්‍යතාවයත් එතරම් ම පිටසක්වලයන් සේ අර්බුදයට යන්නේ ද ගම සහ නගරය අතර ඇති සාමාන්‍ය වෙනස නිසා නොවේ. මේ අනන්‍යතා අර්බුදය ඇතිවන්නේ, ගම සහ නගරය යන දෙක එක ම ස්වදේශිකත්වයක් තුළ (එනම්, සමස්ත ස්වදේශික කතිකාවක් තුළ) නොපිහිටීම නිසා ඇතිවන අවිඥානික පරස්පරයෙන් ගොඩනගන සමාජ උභතෝකෝටිකය නිසයි.

pic 25 Final

(යටත්විජිත සමයේ නාගරික ජීවිතයේ සැබෑ හරයෙන් වියුක්තව නමතු් නගරය තුළ ශ්‍රම මෙහෙකරුවන් බවට පත්වූ ලක්දේශිත ගැමියන්) 

ලක්දේශයේ ගම පවතින්නේ එක් ස්වදේශිකත්වයක ය. කොළඹ නගරය පවතින්නේ වෙනත් ස්වදේශිකත්වයක ය. ලක්දේහයේ වත්මන් ගම 1815න් සිට ස්ව-නගරයක නායකත්වය අහිමිවීම නිසා ඌන-සංවර්ධනයට හෙවත් එක තැන පල්වීමට ගොදුරු වූ ස්වදේශිකත්වයකි. ලක්දේශයේ වත්මන් කොලඹ 1948ටේ එංගලන්තක රටේ සංවර්ධනයේ පෙකනිවැලෙන් කැඞී ගැලවුණ පසුව එජාප-ශ‍්‍රිලනිප ප‍්‍රභූන් විසින් වල්මත් කරනු ලැබූ කිසිදු දියුණු නාගරික ලක්ෂණයක් නොමැති විකෘති එංගලන්කවාදී හෙවත් විදේශවාදී ටවුමකි.   

ඒ නිසා ලක්දේශය බිහිකරගත යුතු සැබෑ ස්වදේශිකවාදී අනන්‍යතාවය ඌන-සංවර්ධනය කරනු ලබන ප‍්‍රභවය වත්මන් ග‍්‍රාමය වන අතර, ලක් අනන්‍යතාව විනාශකර දමන ප‍්‍රභවය ලන්ඩන්වාදී කොළඹ ටවුම යි. ඒ නිසා දෙවිදිහකට ඩොයිලිවාදයට ගොදුරු වූ මේ ප‍්‍රභවයන් දෙකේ ම අගතීගාමී ගති ලක්ෂණ සාරාත්මකවම පිටුදකින, මේ ප‍්‍රභවයන් දෙක ම වෙනත් සැබෑ ස්වදේශවාදී සංදර්භයක පිහිටුවා පුනර්-ජීවනය කරවීමට නායකත්වය දීමේ ධාරිතාවය ද සහිත ලක්දේශයේ නැගනෙහිර සහ බටහිර දෙපස වෙරළවල්වල පවතනි ප‍්‍රායෝගික වරායන් දෙකකින් නඩත්තු කළ හැකි නව-නූතන තාක්ෂණය භාවිතයට ගන්නා නව-නූතනවාදී-ප‍්‍රධාන-නගරයක් දේශිය ප‍්‍රාග්ධන කේන්ද්‍රය ලෙසින් අනුරාධපුරය නම් ලක්දේශයේ උත්තර මධ්‍යම භෞමිකත්වය මත ස්ථාපිත කරගත යුතුව පවතී. 

pic 26 Final

(අනුරාධපුරයේ පුරාණගම නම් ගම්මාන පෙදෙස) 

එය සොලමන් වෙස්ට් රිජ්වේ දියස් බණ්ඩාරනායක වාගේ චන්දයක් දිනූ නිසා පවතින ඩොමීනියන් ව්‍යවස්ථා සංදර්භය තුළ ඇති එක් අවයවයක් පමණක් වියුක්තව සහ අත්තනොමතිකව වෙනස් කිරීම වැනි පාරභෞතික වූ උඩ-ජාතික සහ යට-බෙදුම්වාදී වූ හොර ජාතික ඇවිස්සීම් හරහා ගොඩනැගිය හැකි නගරයක් නොවේ. 

එය ජන-විඥානය වෙනස් කරන සැබෑ සමූහවාදී පුනර්-ජීවන ව්‍යාපාරයක් ගොඩනගා, සමුහවාදී නව-නූතන ජාතික නිදහස් සටනක් මෙහෙයවා, ඒ හරහා බිහිකරගන්නා සැබෑ ස්වදේශිකවාදී කතිකාධිත්‍යයකට යටත්ව සිදුකළ යුත්තකි. වෙනත් සංදර්භයක පිහිටා කියනවා නම් මෙය, 1978න් පසු කරන ඊළඟ පූර්ණ ව්‍යවස්ථා කණපිටහැරවුමක් නොව නව-නූතන ලක්දේශිය ව්‍යවස්ථාවක් ගොඩනැගීම උදෙසා වන ලක්ජන සිත්හැරවුමකින් පමණක් සිදුකළ හැක්කකි.   

 

pic 27 Final

(ලක්දේශයේ වත්මන් බහුජන උද්ඝෝෂන) 

 

එසේ ලක්ජන සිත් හරවන්නට සිදුවන්නේ,  ලන්ඩන් පරිපාලනය විසින් ජෝන් ඩොයිලි යොදවා ලක් ස්වදේශිකත්වය පිළිබඳව හදාරවා, ලක් අනන්‍යාතව විකෘති කොට කෘතිමව ගොඩනැගූ ව්‍යාජ බෙදුම්වාදී ස්වදේශිකත්ව මරඋගුලට ලක්වැසි ජනයා තවමත් අවිඥානිකව හසුවී සිටින නිසයි.  ඒ කියන්නේ, කොලඹ නගරයේ සමාජ බලය හිමිකරගෙන සිටින ”මධ්‍යම පංතික” හෝ ඉහළ මධ්‍යම පංතික” හෝ ”ඉහළ පංතික” ලෙස වැරදි ඇගයීමකින් නාමකරණය කරගෙන ඇති ඩොයිලිවාදී ව්‍යාජ-ප‍්‍රභූ පැලැන්තික ස්ථරවලට අදාළ සුළුතර-පිරිස ද, ඔවුන්ගේ කතිකාධිපත්‍යයට (Discursive Dominance) යටත්ව මාරුවෙන් මාරුවට ඔහේ චන්දය දීම සහ ක‍්‍රිකට් මැච් බලනවා සේ බෝතලයක් ගසමින් චන්දෙ ප‍්‍රතීපල නැරඹීම නිදහස යැයි වරදවා වටහාගත් අඩමාන විඥානයක් හිමිකරගෙන සිටින ජනතාවක් බවට පත්ව සිටින පොදු ලක්වැසියන්ගේ සිත් නිවැරදි ජාතික නිදහස්වාදී මඟකට හරවන පුනර්ජීවනවාදී සමාජ ව්‍යාපරයක් ගොඩනැගිය යුතුව පවතී.  

ඒ කියන්නේ, පළමුව, ලන්ඩන් පරිපාලනයේ බලාධිපත්‍යය යටතේ ඩොයිලි හරහා ගොඩනගාගත් කතිකා රාමුවේ ආධිපත්‍යයික ශික්ෂණය කෙරෙන් පොදු ලක්වැසියා අදටත් නිදහස නොලබා සිටින බව තේරුම් ගත යුතුව පවතී. ඒ නිසා, දෙවනුව, අද සිටින ලක්වැසි ජනයා යනු තමන් තුළ ම පවතින දෙබිඩි සිරගෙයකින් නිදහස් වෙන්නට එකවර ප‍්‍රතිවිරුද්ධව දෙපැත්තකට ඇවිදින්නට හදන, තමාව දෙකට පැලී යාදෝ යන අවිඥානික බය සහ එහි ආතතියක් දරා සිටින ආතුර අන්දමන්ද ජන පිරිසක් බව පිළිගත යුතුව පවතී. මෙවන් ආතුර ජන පිරිසිකට ගොඩනැගිය හැකි ලක්දේශයට ආවේනික ස්වීය නව-නූතන නිෂ්පාදන මාදිලියක් (Independent Neo-Modern Mode of Production) නොමැත. 

එනයින්, ලක්වැසි ජනයා වෙනස් විය යුතුය.

එනම් ලක්වැසි ජනයා පුනර්ජීවනය විය යුතු ය. 

ශ්‍රීලනිප-එජාපය විසින් පාලනය කරන එංගලන්තකකවාදී බෙදුම්වාදී ප‍්‍රභූන් පලවා හරින නව-සිතුම්-මාදිලියක් කරලියට පැමිණ ලක්දේශයේ පෘථිවිය මත දිවිසරන මිනිස් සිත් තුළ මහා ස්වදේශවාදී මානසික යුද්ධයක් ඇතිකළ යුතු ය.  

එක අතකින් 1815න් පසුව නිදහස් සටනක් ජය නොගැනීමේ හිස් තැන පුරවා ගන්නටත්, අනික් අතින් ප‍්‍රාග්ධන ගෝලීයකරණ විසින් ඇතිකර ඇති ලෝක දේශපාලනාර්-ථික තත්වය තුළ දකුණු ආසියානු කලාපවාදී රටක් ලෙස තම ස්වාධීනත්වය තහවුරු කරගන්නටත්, ලක්දේශිකයින් හට බෙදුම්වාදය සහ වරිගවාදය අත්හල සමූහවාදී ජාතික නිදහස් සටනක් අතිශයින් අවශ්‍ය ව ම පවතී. 

එය සිදුවන තෙක් පවතින්නේ භෞතික අරුතින් ම සබෑ අපේකමක් නොපවතින, සිංහල-දෙමල ලෙස හෝ සිංහල-මුස්ලිම් සිංහල-බර්ග හෝ දෙමල-මුස්ලිම් ලෙස වරිග විදිහට හෝ ආගම් විදිහට හෝ බෙදී වාදකර කුලල් කා ගනිමින් සහ ඇණ කොටා ගනිමින් දැන හෝ නොදැන පවතින ආර්ථික ව්‍යසනයට එලෙස ම පවතින්නට ඉඩ දී සිටින බෙදුම්වාදී අඳුරු යුගයකි (Separatist Dark Era). ලක් දේශයේ අඳුරු යුගය යුරෝපයේ මධ්‍යතන යුගය නියෝජනය කරන අඳුරු යුගයෙන් මුළුමනින් වෙන් වූ සහ වෙනස් වූ දේශපාලනාර්-ථික සංදර්භයක පිහිටන්නේ මෙලෙස යි.

(තව කොටසක් ලබන සතියේ) 

 

@ අරවින්ද හෙට්ටිආරච්චි

නවතම ලිපි