"බවුල් සංගීතෙ ලොකු බලපෑමක් කළා තාගෝර් තුමාගෙ කාව්‍යකරණයට" තරුණයා කීවේය. ඒ සෞන්දර්ය චාරිකාවෙහි ලොබ බැඳ ගත් නිත්‍ය සුන්දර නිහඬවම සිටියේය.
නිත්‍ය සුන්දර දන්න තාගෝර්. දැන් මේ පුරුෂයට හැමදේම උගන්නන්න ඕන. තාගෝර්ගේ කාව්‍යකරණයට විතරක් නෙමෙයි නවකතාකරණයටත් බවුල් සංගීතය බලපෑම් කළා කියන එක වන්නා හොයාගත්තෙ පුස්තකාලය පීරමින් ඇවිදලා. හින්දු, මුස්ලිම්, ක‍්‍රිස්තියානි කියන හැමදෙනා අතරෙම වෙනසක් නැතිව මනුෂ්‍යත්වය ඉස්මතු කරගන්න පුළුවන් නම් ඒක තමයි බවුල් සංගීතයෙ කියැවිලා තියෙන්නෙ කියන එක හොයා ගැනීමෙන් වන්නා ශාන්ති නිකේතනයේ ශිෂ්‍යාවක වීමේ අපූර්ව ප‍්‍රීතිය භුක්ති වින්ඳා.
තාගෝර් ගෝරා ලිව්වෙ "බවුල් සංගීතයෙ ආභාෂය ඇතිව" එහෙම කිව්වෙ පිය සෙනෙහසින් යුතුව නර්තනය උගන්වපු ශංකරලාල් ගුරුතුමා. ශංකරලාල් ගුරුතුමා නිත්‍ය සුන්දරට මහා ආදර කරුණාවක් පෑම ගැන වෙලාවකට වන්නාගෙ හිතේ පසුබෑමකුත් ඇති වුණා. නිත්‍ය සුන්දර ගෝරා කියවලා තිබුණෙ නැහැ. කිවිඳා හැටියට ගෝරා නොකියෙව්වත් නිත්‍ය සුන්දර හැටියට ගෝරා නොකියවීම මදිපාඩුවක් හැටියටයි වන්නා හිතුවෙ.
ඒත් වන්නා ගෝරා කතාව නිත්‍ය සුන්දරට කියලා දුන්නා. පුස්තකාලයෙ ඉංග‍්‍රීසි පරිවර්තනය තිබුණත් නිත්‍ය සුන්දර සිංහල පරිවර්තනය ගෙන්නලා දෙන්න කියලා වන්නාගෙන් ඉල්ලීමක් කළා. ගෝරා බ‍්‍රාහ්මණ වංශිකයෙක් කියලා හිතුවට එහෙම නෙවෙයි කියලා ගෝරා හොඳින්ම දැනගත්ත අවස්ථාව ගැන විස්තර කරන කොට නිත්‍ය සුන්දර ඉද්ද ගැහුවා වගේ ඉඳගෙන හිටියා.
ගෝරාට හැමදේම නැති වුණා. මහ ඉහළින් හිතාගෙන හිටපු හින්දුකම නැති වුණා. විශේෂයෙන්ම තමන් උපන් හින්දු භක්තිකයෙක් නෙවෙයි කියලා දැනගත්තම ගෝරා කියපු දේ ඔයා දන්නවද?,
කියලා වන්නා නිත්‍ය සුන්දරගෙන් ඇහුවම නිත්‍ය සුන්දර වෙව්ළන්න ආසන්න වුණා වගේ තැති ගැනීමකින් වන්නා දිහා බලාගෙන හිටියා. හින්දු භක්තිකයෙක් වීමේ ආඩම්බරය, මුළු ජීවිතේම ඒ වෙනුවෙන් කැප කිරීම, මුසල්මානුවන් සතුරන් සේ දැකීම යන සියල්ල ගෝරාට කනපිට පෙරළෙන්න හේතු වෙන්න ඇති. ගෝරා වගේ බ‍්‍රාහ්මණයෙකුව සිටීමේ ආඩම්බරය භුක්ති වින්ඳ මිනිහෙක් ඒක දරාගන්නෙ කොහොමද?
දන්නවද ගෝරා කියපු දේ?
“මං අද සැබෑ ඉන්දියානුවෙක්. මා සිතෙහි මින්මනත කවදාවත් හින්දූ, මුසල්මානු හා ක‍්‍රිස්තියානු කියන වෙනස නැහැ. අද හැම කුලයක්ම මගේ කුලය. ඔවුන් සියලු දෙනාගෙම ආහාරය මගේ ආහාරය.”
නිත්‍ය සුන්දර, වන්නාගෙ අත අල්ල ගෙන තමාගෙ ලොකු දෑසින් බලාගෙන හිටියා. ඒ බැල්මෙ තිබුණෙ "උඹ මහ වටින ගෑනියෙක්. මට තව ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවද?" කියන ප‍්‍රකාශනයයි.
"මොහුවා"
මොහුවා සිය සිහින් දෑස් රංගනයකදී මෙන් විසල් කොට ගත්තීය.
“ඇයි බවුල් ගායකයෙක් අඳින්නෙ?”
මොහුවාගේ මුහුණෙහි මස්පිඬු අතරෙහි නැගී ආ සිනාපොද කරුණා රසයෙහි මාහැඟි සිත්තමක් ලෙස උපන් අප‍්‍රමාණ සෞන්දර්යයක උල්පත යැයි නිත්‍ය සුන්දර සිතුවේය.
“බවුල් ගායකයට වගේම වාදකයටත් මම ආදරෙයි.
ඔවුන්ගෙ පරමාර්ථය පුළුල් හින්දා.”
”අපිට බැරිද බවුල් ගායකයො වෙන්න” ඒ හඬ ආයාචනාත්මකය.
ඒ සොඳුරු ආයාචනාත්මක හඬ කුඩා දරුවකුගේ ආයාචනයක් බඳු යැයි මොහුවා සිතුවාය.
"බවුල් කියන නමේ තේරුම දන්නවද?"
හැඟීම්, දැනීම් දැනෙන හැම මනුෂ්‍යයෙකුට ජීවිතය දෙන්නෙ, සුසංයෝගය දෙන්නෙ වායුව.
ඒ ගුරුතුමිය ඉදිරියේ නිත්‍ය සුන්දර එකත්පසව සිටියේය.
“රිද්මයක් නැතිකම තමයි බවුල් වල රිද්මය. උමතුව.”
රිද්මයක් මට දැනෙනවනෙ.
ඒ තමයි රිද්මය. එකිනෙකාට වෙනස්ව දැනෙන රිද්මය.
ඔයා ඇයි බවුල් ගායකයා සිත්තම් කරන්නෙ?
බවුල් ගායකයට හින්ඳුද, මුස්ලිම්ද, ක‍්‍රිස්තියානිද කියන වෙනසක් දැනෙන්නෙ නැති හින්දා. බවුල් ලෝක සම්මතයට හිස නොනමන හින්දා.
ගුරුමෑණියනි, මට ඔබගෙන් උගැන්මට වුවමනාය. බොහෝ දේ උගැන්මට වුවමනාය. ඔබතුමිය සිත්තම් කරන්න සැබෑ මනුෂ්‍යයා!
“හැම මනුෂ්‍යයෙකුගෙම ශරීරය ඇතුළෙ ඉන්නවා අභ්‍යන්තර සත්ත්වයෙක්. උමතු ආදරය කියන්නෙ ඒ අභ්‍යන්තර සත්ත්වයට. සියලුම සීමාමායිම් කඩා බිඳගෙන යන්න පුළුවන් වීම වැදගත්ම දේ. බවුල් සංගීතයෙ තියෙන්නෙ සීමාමායිම් ඉවත දමන සංගීතයක්.”
ඒ උමතු ආදරය සොයමින් බවුල්වරු කාව්‍යය, නර්තනය හා ගායනාවද වාදනයද ඔස්සේ ගම් නියම්ගම් සැරිසරන බව මොහුවා පැහැදිලි කළාය.
"ඒ ගොල්ලො හරි සැහැල්ලු මිනිස්සු. අඳින ඇඳුම් කැඩුම් ටිකයි, වාද්‍ය භාණ්ඩ ටිකයි විතරයි දේපලට තියෙන්නෙ."
මොහුවා ඒ බවුල් සංස්කෘතියෙහි මානසික ඉසුරුමත් බව කියා සිටියාය.
“මං ආසයි නිත්‍යා බවුල්වරු වගේ ජීවත් වෙන්න. හරි සැහැල්ලුයි නේද?”
“තුරු සමුද්‍රා” නවකතාව ඇසුරෙන් සුමිත්‍රා රාහුබද්ධ.