අවුරුදු 28, 25, සහ 25 වයස්වල පුද්ගලයන් තිදෙනෙකු එල්.ටී.ටී.ඊ. මහාවීරදිනය සැමරීම
ප්‍රවර්ධනය කිරීම යටතේ පොලීසියේ ත්‍රස්ත විමර්ශන ඒකකය අත් අඩංගුවට ගත් බව අද එනම් දෙසැම්බර් 01 වෙනිදා ජනමාධ්‍ය වාර්තා කළා.
මෙය මාලිමා ආණ්ඩුවට ‘කකුල් මාට්ටු’ දැමීමක් වගේම අනාගතයේ දියත් කෙරෙන මහා ජාතිවාදී දේශපාලනයකට මුල පිරීමක් බවට කිසිම සැකයක් නෑ. එය වඩාත් තහවුරු වන්නේ සිංහල ජාතිවාදය සමාජ මාධ්‍ය පුරා උඩ දමින් සිටින කැළුම් ජයසුමන රහස් පොලිසියට ගෙන යන අතරේ ස්වකීය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ වර්ගවාදය පතුරුවන දිලිත් ජයවීර කැළණි විහාරයේ මහ නාගයා හමුවීමට යාම මේ කාලය තුලම සිදු වීමයි.
නඩුහබ මෙන්ම නොගෙවූ බදු ද, ආයථා ඉපයීම් ද යටතේ පරීක්ෂණයන්ට හා අධිකරනය ඉදිරියට යාමට නියමිත රටේ දේශපාලන - ව්‍යාපාරික පැලන්තියට දැන් එල්ලනට ඇති එකම මදු වැල සිංහල ජාතිවාදයයි. මඩකලපු මැතිවරණ දිස්ත්‍රික්කය හැර රටේ සෙසු දිස්ත්‍රික්ක ජයගත් ජාතික ජන බලවේගය වසර 5කින් හෝ ඊට පෙර කෙසේ හෝ පරාජය කර බලය ගැනීම මේ තක්කඩි පැලැන්තියේ අරමුණයි. මොවුන්ට බලය ගැනීමට ඇති පහසුම හා කෙටිම මඟ කවර මිලක් ගෙවා හෝ ගන්නට ඔවුන් පසුබට නොවෙයි.
1958 කෝලාහලය, 1966 ජනවාරි 8 දා ‘මසල වඩේ’ පෙලපාලියේ දී දඹරාවේ රතනසාර නම් සාමනේරවරයා පොලිස් උන්ඩවලට යැවීම, 1983 කළු ජූලිය මෙවාට සරල උදාහරණයන් ය.
නවීන සමාජ මාධ්‍යය ඕනෑම බේගලයක් දෙසා ජනයා ඇන්දවීමේ පහසුම ක්‍රමය බව සැබෑය. එය මේ කුජීත පරාජිතයන් ස්වකීය අරමුණු ඉටු කර ගැනීමට යොදා ගනිමින් සිටින බවත් සැබෑවකි. එහෙත් එයට පිළිතුරු දිය යුත්තේ පොලිසිය ලවා නොවේ. මාධ්‍ය තුලින්මය. නැතිනම් මාලිමා ආණ්ඩුව ‘පුදපු ගමන් කාපි යකා’ තත්වයට ඇද වැටීම නොවැලැක්විය හැකිය.
මාලිමා පාලනය යටතේ ලේක් හවුසියේ පත්තර බිස්සක්ම තිබේ. රූපවාහිනි හා අයි.ටී.එන්. හි ඇති නාලිකාද දුසිම් භාගයකට කිට්ටුය. මීට අමතරව මාලිමාවට චන්ද කාලයේ මෙන්ම සමාජ මාධ්‍ය ක්රියාකාරිකයන් හමුදාවක් තනා ගැනීමත් පුළුවනි. එසේ තිබෙද්දී ලංකාවේ කුප්‍රකට පොලිසිය ලවා මාධ්‍ය පාලනයට ගොස් අත පුච්චා ගැනීමේ උත්සාහයට හේතුවක් මට සිතා ගත නොහැකිය.
ලංකාවේ පොලිසිය ඇරඹු දා සිට එය රටේ කිසිම පාලනයකට යහපතක් කිරීමට සමත් වුයේ නැත. එයට බලය දුන් හැම විටකම සිදු වූයේ මෝඩ වදුරා අතට කඩුව දුන් රජුට අත් වූ ඉරණමය. බලයට පත් වී මාස තුනක් ගෙවෙන්නට මත්තෙන් මේ කරගන්නා ස්වයං විනාශය ආණ්ඩුවට පෙන්වා දීම අපේ වගකීමක් නොව එහි උපදේශකයන්ගේ වගකීමකි. එම උපදේශකයන් ස්වකීය වගකීම ඉටු කරන තෙක් අපි බලා සිටිමු.
@නන්දන වීරරත්න
01/12/24
පිංතුර: 01. කැලණියේ මහ නයා බලන්නට ගිය දිලිත් ජයවීර
02. කොල්ලුපිටියේ ඇති දඹරාවේ රතනසාර සාමනේරයින් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ 2011 නවීකරණය කළ සිහිවටනය.