මේ දිනවල අන්තර්ජාලයේ කෝච්චි පාරක් ළඟ හිමි නමක් සහ
තරුණ දුවක් සිටින වීඩියෝ එකක් සැරි සරයි. බොහෝ පින්වතුන් එය අපට යොමු කර ඒ පිළිබඳව විමසන නිසාම මෙම ලිපිය ලියමි.
ඉතාම දරුණු මිනීමැරුමක් කළ මිනීමරුවෙක් අල්ලා ගෙන මහා වීරකමක් කළාක් මෙන්, මෝඩ මිථ්‍යා දෘෂ්ඨිකයින් කිහිප දෙනෙක් එම තරුණ හිමි නම සහ එම තරුණිය අල්ලාගෙන බැන වදිමින් වීඩියෝ කරමින්, වටිනා ජීවිත දෙකක් විනාශ කරමින්, බුදු දහමත් අපකීර්තියට පත් කරමින් කටයුතු කළ ආකාරය එම වීඩියෝ නැරඹූ අපි දුටුවෙමු.
එම මිනිසුන්ගේ, එම පහත් ක්‍රියාව තරයේම හෙලා දැකිය යුතු ය.
කරුණාව මෛත්‍රීය උගන්වන බුදු දහම ඔවුන් අවභාවිතා කර ඇත. කළින් ඕනෑම වරදක් කළ අයෙක්, මිනීමැරුමක් කර තිබුණත්, ඔහු වරද නිවැරදි කර ගත් මොහොතේ පටන් තවදුරටත් වැරදි කරුවෙක් නොවේ. ඔහු තුණුරුවන් සරණ ගොස් ධර්මයෙහි හැසිරෙනවානම් කළණ මිතුරෙකු වේ. වරදක් වූ විට එය නිවැරදි කරගන්නට උදවු කළ යුතුය. තවත් කෙනෙකුගේ ජීවිත සමඟ සෙල්ලම් නොකළ යුතුය. එම නිසා මෙවැන්නක් මින් ඉදිරියට නොවන්නට නුවණැත්තෝ වගබලා ගත යුතු ය.
මෙහිදී ඔබ අපෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ.
“ස්වාමින් වහන්ස, එම හිමි නම තරුණියක් සමඟ එසේ පැනයාම, හෝ කථා කරමින් යාම හෝ සම්බන්ධයක් ගොඩනගාගෙන කටයුතු කිරීම ශාසනයට අනුව හරිද? ඔවුන් ඒ බුදු දහම විනාශ කිරීමක් නේද කරන්නේ කියා” ඔබ අපෙන් ඇසිය යුතුය.
එයට පිළිතුර එසේ නොවන බවයි.
බුදු දහම විනාශ වන ආකාරයට ශාසනයට හානි දායක විදිහට කටයුතු කළේ ඒ හිමි නම හෝ තරුණිය නොවේ. එය කළේ ඔවුන්ට තර්ජනය කරමින්, වීඩියෝ කරමින්, අන්තර්ජාලයට මුදා හරිමින් කටයුතු කළ එම මිථ්‍යාදෘෂ්ඨිකයන් කිහිප දෙනා ය.
එවිට ඔබ අපෙන් ඇසිය යුත්තේ ධර්ම විනයානුකූලව එය පැහැදිලි කර දෙන ලෙසයි.
ගිහි වේවා! පැවිදි වේවා! විෂම අරමුණු (කාන්තාවන්ට පිරිමිත්, පිරිමින්ට කාන්තාවනුත්) හමු වන විට රාගාදී කෙළෙස් බුර බුරා මතු වේ. ගිහි වේවා! පැවිදි වේවා! ඒ කෙළෙස් සහිත සන්තාන ඇතිව ඔවුන් කරගන්නා කර්ම වලට අනාගතයේදී බොහෝ අකුසල විපාක විදීමට සිදු වේ. එයින් ඔවුන්ව මුදවා ගතයුත්තේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍රයින් ය.
මිතුරන් අතර භාග්‍යවතුන් වහන්සේ ශ්‍රේෂ්ඨතම කළ්‍යාණ මිතුරා වේ. භාග්‍යවතුන් වහන්සේ නොමග ගිය සියළුම ලෝ වැසියන් සුමගට ගත් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස සිවුවනක් පිරිස වේ.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිවුවනක් පිරිස බුදු රජාණන් වහන්සේ ඉගැන්වූ අසරණයින්ට පිහිට වීම, දුකට පත් සත්වයින් දුකින් මුදවන කරුණාව, මෛත්‍රීය, ආදී උසස් ගුණ ධර්ම වලින් යුත්ක පිරිසක් විය යුතුය. ගිහි වේවා! පැවිදි වේවා! කවුරුන් කෙළෙස් බර වූවත්, ඔවුන්ගේ සන්තාන කෙළෙස් වලින් ගලවා, ඔවුන්ව උසස් තත්වයට ගත හැකි පිරිසක් විය යුතුය.
නමුත් මෙම සිදු වීමට සම්බන්ධ සියළුම ගිහි මිනිසුන් අතර එක් අයෙක්වත් බෞද්ධ උපාසක උපාසිකාවන් සිටියේ නැත. කළ්‍යාණ මිතුරෙක් විය හැකි එක් අයෙක්වත් ඔවුන් අතර සිටියේ නැත. සිටියේ වටිනා ජීවිත දෙකක් විනාශ කර දමන, භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇති උතුම් දහම ක්‍රියාත්මක නොකරන, නරුම මිනිසුන් කිහිප දෙනෙකි. එම නරුම අමන මිනිසුන් කළ දේ නිසා, එම හිමි නම සහ තරුණිය සියදිවි නසා ගැනීමට වුව ඉඩ තිබේ. ජීවත්ව සිටියහොත් අනාගතයේදී සම්බුදු සසුනට වෛරකිරීමට වුවද ඉඩ තිබේ.
එම අමන පහත් මෝඩ මිනිසුන් නිසා ඒ දෙදෙනා අපරාධ කරුවන් වීමට වුවත් ඉඩ තිබේ. අහිංසක අපරාධකරුවෙක් කළේ ඔහුගේ ගුරුතුමා ය. ඇයි ඒ අමන මිනිසුන්ට බැරි වුණේ කරුණු පහදා දී එම දරුවෝ දෙදෙනාට කළ්‍යාණ මිතුරන් වන්නට. එයට හේතුව, එම මිනිසුන් කෙළෙස් බර මිථ්‍යා දෘෂ්ටිකයන් වීමයි.
ශාසනය තුළ උපසම්පදා භික්ෂුවක් කාන්තාවක් සමඟ ලිංගිකව හැසුරුණහොත් පාරාජිකා වේ. නැවත මේ මනුෂ්‍ය ජීවිතයේදී උපසම්පදා විය නොහැක. උපසම්පදා වූවත් එය පිහිටන්නේ නැත. කිසිදු විනය කර්මයක් කළ නොහැකි ය. එවිට කළ යුත්තේ සිවුරු හැර සාමණේර වීම හෝ ගිහි වීමයි. එවිට මගඵල, ධ්‍යාන ආදිය ලැබීමට ඇති වුණ බාධාව නැතිව යයි. ඒ හැර නින්දා කිරීම අපහාස කිරීම නොකළ යුතුය. එසේ නින්දා අපහාසාදිය කරන අයට ඇතිවන අකුසල් සිත් අනුව අකුසල විපාක ලැබේ. උපාසක උපාසිකාවන් කිසි විටෙක අනුන්ව තලාපෙළා පහත් කර විනාශ කරන්නේ නැත. එසේ කරන්නේ මිථ්‍යා දෘෂ්ටිකයන් ය. එය වීරකමක් නොවේ. ගොන් කමක් ය.
උපසම්පදා භික්ෂුවක් ඇති වන අධික කාමය නිසා උපසම්පදාව ප්‍රතික්ෂේප කොට ගිහිව, චිත්ත හත්ථ තෙරුන් වහන්සේ මෙන්, නැවත පසු කාළයක පැවිදිව උපසම්පදා විය හැකිය. එවිට මගඵල ලැබීමට බාධාවක් නැත. විය යුත්තේ එයයි. කෙළෙස් බර වීම නිසා තවදුරටත් උපසම්පදා උත්තම භූමියේ සිටිය නොහැකිනම්, එයින් ඉවත් විය යුතුය. කෙළෙසුන් දුර්වල කර ගත හැකි වූ විට නැවත පැවිදි උපසම්පදාව ලබා මග ඵල වුවද උපදවා ගත හැකිය.
ශාසනික ක්‍රමය තුළ තිබෙන්නේ කරුණාව මෛත්‍රීය දයාව මුදිතාව, උපේක්ෂාව ආදී උතුම් ගුණධර්මයන්ගෙන් පිරුණු කළ්‍යාණ මිතුරන්ගේ දෑත් දිගුකිරීමෙන් ලැබිය යුතු රැකවරණයකි. මෙම සිදු වීමේදී එම ගිහි කණ්ඩායම හැසිරුණ විදිහ ඉතාමත්ම පහත් ය. නින්දිත ය. ඔවුන් පාප මිත්‍රයින් බව නුවණැති සමාජයට පෙනෙන්නට විය. එවැනි නරුම මිනිසුන් නිසා සමාජය තව තවත් පිරිහේ. කළ යුත්තේ ඕනෑම ආකාරයේ යම් වරදක් කළ අයෙක් වරද කරුවෙක් ලෙස හංවඩු ගැසීම නොව, ඔහුට හෝ ඇයට කළ්‍යාණ මිතුරෙක් වී නිවැරදි මාර්ගය පෙන්වීමයි.
කළ යුතු තිබුණේ මෙය යි.
එම ස්වාමින් වහන්සේට සහ එම දුවට කරුණාවෙන් කථා කර නිදහස් තැනක වාඩි කරවාගෙන, නිවැරදි මග පෙන්වීමයි. ස්වාමින් වහන්සේට පැවිදි ජීවිතයේ වටිනාකම පහදා දී, කෙළෙස් වල භයානක කම පෙන්වා දී, අනාගත ශාසනය බබලවන භික්ෂුවක් කිරීමට එය අවශ්ථාව කර ගැනීමට හැකියාව තිබුණි.
එම තරුණියට ජීවිතයේ වටිනාකම පෙන්වා දී සිල් රකින කෙනෙක් සමග මෙසේ හැසිරීමේ භයානක කම පෙන්වා දෙන්නට හැකියාව තිබුණි. ඇයට කරුණු කියා දී අවබෝධ කර වූවා නම් ඇය අනාගතයේදී සත්පුරුෂ උපාසිකාවක් වන්නට ඉඩ තිබුණි.
ස්වාමින්වහන්සේගේ ගුරු හිමියන්ට කථා කර මේ ගැන දැනුම් දුන්නා නම්, දියණියගේ දෙමවුපියන්ට කථා කර මේ ගැන දැනුම් දුන්නා නම්, එය මොන තරම් වටීද? එම දෙදෙනාගේ සිත් වල ඇති වුණ රාගික ගින්න ලෝකයාට විවර කර ඇතුළත ගින්න පිටට දෙන්නට ඒ අමන මිථ්‍යා දෘෂ්ඨිකයින් කටයුතු කළේ ය.
එයින් ඔවුන් දෙදෙනාට විය හැකි හානිය සිදු වී අවසානය. නැවතත් එම හිමියන්ට කරුණු පෙන්වා දී, ඇති වූ කෙළෙස් එම සිතින් බැහැර කර නිවැරදි භික්ෂුවක් ලෙස සාසනය තුළ පිහිටුවීම කළ නොහැකි වේ. සිරිමා ගණිකාවටත් පෙම් බැදි හිමියන් ශාසනය තුළ රදවා ගෙන මගඵල ලාභී උත්තමයෙක් කරන්නට භාග්‍යවතුන් වහන්සේ කටයුතු කළ සේක. නමුත් මේ අමන මිනිසුන් බොහෝ දේ විනාශ කර දැමීය.
එම තරුණිය දැන් මුළු ජීවිත කාළයම ගණිකාවක් හා සමාන තත්වයට සමාජය විසින් ඇද දමා තිබේ. එය කළේ අර මිථ්‍යා දෘෂ්ඨික නරුම මිනිසුන් ය.
එම හිමියන්ගේ ගුරු හිමියනටත්, එම විහාරස්ථානයටත්, එම දියණියගේ දෙමවුපියන්ට සහ පවුල් පරපුරටත් මේ අමන මිනිසුන් කර ඇති හානිය අති විශාලය. ඇයි ඔවුනට නොහැකි වූයේ කරුණාවන්ත හදවත් ඇතිව ප්‍රශ්නය විසදා දෙන්නට. මෙයින් පීඩාවට පත් වන පිරිස අති විශාලය.
මීට ටික දිනකට පෙර කාන්තාවක් සමග සිටි හිමි නමකට ඉතාමත්ම දරුණු විදිහට පහර දුන් සිදුවීමක්ද අන්තර්ජාලයේ පළ විය. ඔවුන් ඒවා වීර කම් ලෙස දුටුවත් ඒවා වීරකම් නොවේ. ඔවුන්ගේ අසත්පුරුෂ කම් ය. අමන කම් ය.
හැම මොහොතකම ඔබ කළණ මිතුරෙක් විය යුතුය. අද ඔවුනට වැරදුනාක් මෙන් හෙට ඔබේ කෙනෙකුට එය විය හැකිය. ලොව ලස්සන කළ හැක්කේ කළණ මිතුරන්ට පමණී. අනුන්ට වරදින වෙලාවට ඔවුන්ව තවත් පාගා දැමීම මිනිස් කමට නිගාවකි. ගිහියන්ට මෙන්ම පැවිද්දන්ටද වැරදිය හැකිය. වැරැද්දක් වූ කෙනෙක් අතින් නැවත වැරැද්දක් නොවන්නේ කළණ මිතුරන්ගේ මගපෙන්වීම ඇත්නම් පමණී. සම්බුදු සසුන එවැනි කළණ මිතුරන්ගෙන් පිරී ඇත.
එදා ඒ අමන, නරුම, පහත්, මිථ්‍යාදෘෂ්ටිකයන් කිහිප දෙනා අතින් වූ වරද නැවත නොවන්නටත්, නොමග ගිය ගිහි පැවිදි ඕනෑම කෙනෙක් සුමගට ගන්නටත් නුවණැත්තෝ කළ්‍යාණ මිත්‍රයෝ වෙත්වා!
එම හිමි නමට සහ එම දුවට මෙසේ කියමි. එම නරුම මිනිසුන් අපහාස, හිංසා කළත්, අපි ඔබ දෙපළට ආශිර්වාද කරමු. ඔබ දෙපළගේ ජීවිත වලට කිසිදු හානියක් කර ගන්න එපා. සිත රැක ගැනීමට නොහැකිනම් සිවුරු හැර යන්න. හොඳට ඉගෙන ගෙන, හොඳ රැකියාවකුත් තෝරාගෙන දෙදෙනාම විවාහ වන්න. ඔවැනි සිදුවීමක් වූ පළමු දෙදෙනා ඔබ දෙපළ නොවේ. ත්‍රිපිටක අටුවාදියේ ඔවැනි සිදු වීම් ඕනෑතරම් හමු වේ. ඉන්පසුව ඔබ දෙපල උපාසක උපාසිකාවන් ලෙස ධර්මයෙහි හැසිරෙන්න. ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගය පිළිපැද මගඵල ලබන්නට උත්සහ වන්‍ත වෙන්න.
කිසිදු විටෙක ඔබව සමාජය ඉදිරියේ අසරණ කළ අයගෙන් පෙරලා පළි ගන්න එපා. ඔය සිදු වීම අමතක කරන්න. ධර්ම විනය දන්නා කෙනෙක් එම පිරිස අතර සිටියානම් ඔවැන්නක් කිසිසේත්ම වන්නේ නැත. එවැනි කෙනෙක් එතන සිටියානම් එම දුව දෙමවුපියන් භාරයේ හොඳින් ඉගෙන ගෙන අනාගතය ලස්සන කර ගන්නවා ඇත. එම හිමි නම ගුරු හිමියන් භාරයේ හොඳින් ඉගෙන ගෙන අනාගත ශාසනය බබලන භික්ෂුවක් වනවා ඇත.
ඔබ දෙපළ මුහුණ දුන් අත් දැකීමෙන් ජීවිතයට පන්නරය ලබා ගෙන අනාගතය ලස්සන කර ගන්න. ඔබට සමාජයට මුහුණ දෙන්නට නොහැකි ලෙස කටයුතු කළේ සිවුවනක් පිරිස නොවන බවත් බෞද්ධ නමින් සිටිනා මිථ්‍යා දෘෂ්ටිකයන් කිහිපදෙනෙක් පමණක් බවත් මතක තබා ගන්න. බෞද්ධයින් කිසිවෙකුට හිංසා කරන්නේ නැත. සියල්ලටම මෛත්‍රීය දක්වයි. එම නිසා සමස්ත ශාසනය ගැන අහිතක් හිතන්න එපා. දෙදෙනාගේම අනාගතය සාර්ථක වේවා!
තෙරුවන් සරණයි!
පූජණීය තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ.
මිණිපුර අමා ශාන්ති තපෝවනය
පැල්වාඩිය - රත්නපුරය.