SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රවී කරුණානායක - හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂය

 

එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනගා ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂය බවට නැවත ස්ථාවර කිරීමට රවී කරුණානායක ඇතුලු කිහිප දෙනෙක් මේ දිනවල මෙහෙයුමක් දියත් කරයි. එහෙත් පක්ෂය වෙනුවට පුද්ගල ප්‍රතිරූපය සහ ජාතික සහ ජාත්‍යන්තර ප්‍රතිරූපයන් අපේක්ෂා කරන පක්ෂ නායකයා නිසා ඒවා අසාර්ථක මෙහෙයුම් බවට පත් වේ.

 

ගැටලුව වන්නේ තම නායකයාගේ අඩුපාඩුවක් කියන්නට තරම් එඩිතර පක්ෂ සාමාජිකයින් මේ වනවිට එජාපය සතුව නොපැවතීමයි. ඊට හේතුව සාමාජිකයින්ගේ පමණක් නොව එවන් මිනිසුන් බිහිවන පක්ෂ යාන්ත්‍රණයකට පක්ෂ නායකයාගෙන් ඉඩක් නොලැබීමත් හේතුවකි. මේ නිසාම 2020 දී එක්සත් ජාතික පක්ෂය නාය යමින් සමගි ජන බලවේගය බිහිවුනේ එජාපයේ අතිබහුතරය ඉන් ඉවත් වෙමින් මෙන්ම ඉන්පසු පැවැත්වූ මැතිවරණයෙන් එජාපයට එකදු අසුනක් හෝ දිනාගත නොහැකි කරමිනි.

 

කෙසේ වුවද ප්‍රධාන මැතිවරණ දෙකක් අභිමුව තබාගෙන මේ වනවිට එක්සත් ජාතික පක්ෂයට සිදුව ඇත්තේ මැතිවරණයට ඉදිරිපත් වීමට පක්ෂ ලකුණක් සොයා යෑමටය. ලංකාවේ විශාලතම පක්ෂයක ඉරණම අද ඒ තත්වයට පත්ව ඇත.

 

මේ දේශය පුවත්පතේ  මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ සමග හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම් රවී කරුණානායක සිදුකළ සාකච්ඡාවකි.

 

 

  • සද්ද කරලා වැඩ කරනවට වඩා වැඩ කරලා සද්ද නොකර ඉඳීම හොඳයි
  • වික්‍රමසිංහ මහත්තයා ගත් අභියෝගශීලී තීන්දු නිසයි අද රට මෙහෙම තියෙන්නේ
  • පරණ පොරොන්දු දේශපාලනය දැන් කරන්න බෑ

 

Q ඔබ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී පුද්ගලයෙක්. ඒත් පහුගිය කාලයේ ඔබව අපි ක්‍රියාකාරී දේශපාලනය තුළ දැක්කේ නෑ. ඒකට හේතුව යම් කලකිරීමක්ද? නැත්නම් බලා ඉන්න එක හොඳයි කියලා හිතුණද?

නෑ නෑ. බොහොම ක්‍රියාකාරීව වැඩ කළා. අර සද්ද කරලා වැඩ කරනවට වඩා හොඳයි වැඩ කරලා සද්ද නොකර ඉන්න එක. ඒක එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයත් දන්නවා. ඒ නිසා අපි කරන්න ඕනෑ වැඩ ටික කරගෙන යනවා.

 

Q මේ වෙද්දි වසර ගණනාවකට පස්සේ එජාපයට ජනාධිපති කෙනෙක් ඉන්නවා. පහුගිය කාලේ වෙච්ච දේවල් එක්ක අද වෙද්දි පාක්ෂිකයන්ගේ ඉල්ලුම මොන වගේද පක්ෂයට?

එක්සත් ජාතික පක්ෂය දිනනවා පරාජය වෙනවා. ඒත් මේ වෙලාවේ අපිට දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒ නිසා අපි ජනතාව එක්ක ඉඳිමින් ජනතාව එක්ක වැඩ කරමින් යන්නේ. ඒ තුළින් අපිට ඕනෑ ජනතාවගේ විශ්වාසය දිනාගන්න.

 

Q ගොඩක් මිනිස්සුන්ට දේශපාලනඥයෝ එපාවෙලා ඉන්නේ?

ඔව් ඒක ඇත්ත. ඒ නිසයි අපි වෙනසක් සිද්ධ කරමින් යන්නේ. බොරු පොරොන්දු කයිවාරු වෙනුවට වැඩට බර පරිණතභාවයකින් වැඩ කරන ක්‍රමයක් තමයි අපි මේ මොහොතේ අනුගමනය කරමින් යන්නේ.

 

Q මේ රට ගොඩනගන්න පුළුවන් පක්ෂය එක්සත් ජාතික පක්ෂය කියලද තවම හිතාගෙන ඉන්නේ?

ඔබ ඒ ප්‍රශ්නය අහන්න කලින් හිතලා බලන්න මාස 24කට කලින් මේ රටේ තිබුණු තත්ත්වය. විධායක බලය තුනෙන් දෙක තිබිලත් රට කඩා වැටිලා පස්සේ මාස හයක් යන්න කලින් පෝලිම් යුගය අවසන් කරලා, ඩොලර් එන්න පටන් අරන්, ජනතාවට විශ්වාසයක් ඇතිවෙන තැනකට පත්වෙලා තියෙනවා නේද? ඒත් ජන ජීවිතේ ලේසි නෑ. ඒත් ජනතාවගේ විශ්වාසය දිනාගන්න පුළුවන් තැනට වැඩ කරලා තියෙනවා. ඒක තමයි අපි මේ වෙලාවේ කරගෙන යන්නේ.

 

Q ඒ කියන්නේ එජාපය හැර රටට විකල්පයක් නෑ කියලද කියන්නේ?

ඔව්.. අභියෝග ඇති වෙලාවට අභියෝග බාරගන්න එක තමා හරි නායකයෙක්ගේ වගකීම. කයිවාරු ගහන්න පුළුවන් හැම වෙලාවෙම. ඒත් අභියෝගය තිබෙද්දි නැතුව ප්‍රශ්න විසඳෙද්දි කියලා වැඩක් නෑ.

 

Q ඒත් අනෙක් පක්ෂ කියන්නේ කාටවත් රට කරන්න බෑ, කරන්න පුළුවන් ඔවුන්ට කියලා. දැන් ජනතාව හරිම දේ තෝරගන්නේ කොහොමද?

ජනතාවට තේරුම් ගන්වන්න පුළුවන් වෙන්නේ ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරන එකට. ඇත්ත කියන නායකයෙක් හැටියට රනිල් වික්‍රමසිංහව රටම පිළිගන්නවා. මේ වෙලාවේ කතා කරන එක නෙවෙයි වැදගත්, ක්‍රියාවෙන් පෙන්නන එක. අභියෝගය ඇති වෙලාවේ හැමෝම පැනලා ගියා. අභියෝගය බාරගත්ත කෙනෙක් ඉන්නවා නම්, ඒ කෙනා ගැන ආයේ අහන්න දෙයක් තියෙනවද?

 

Q ඔබ හිටපු මුදල් අමාත්‍යවරයෙක්. බලය අපේක්ෂා කරන අය කියන දෙයක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක තියෙන ඇතැම් ගිවිසුම් සංශෝධනය කරනවා කියලා. ඒක කරන්න පුළුවන්ද? ඒක ලේසි දෙයක්ද?

ඒවා කරන්න බැරි නිසයි එයාලා මේක බාරගත්තේ නැත්තේ. මේක ලේසි දෙයක් නෙවෙයි. වික්‍රමසිංහ මහත්තයා අභියෝගශීලී තීරණ ගත්ත නිසයි අද මේ රට මේ තත්ත්වයේ තියෙන්නේ. අද වෙද්දි ආදායමත් හොඳට කරගෙන වියදමත් ඉතාම අවබෝධයෙන් කරගෙන යන්නේ. අනික් අය ඔය වගේ කතා කරන්නේ අවබෝධයක් නැති නිසා.

 

Q සමගි ජන බලවේගයේ කණ්ඩායමක් එකතු වෙනවා කියලා විවිධ කතා කියනවා. එහෙම එකතු වෙන්න අය ඉන්නවද?

ඒ ගැන වැඩි දෙයක් කතා කරන්න නෑ. ඔබට පෙනෙයි ඉස්සරහට. එයාලගේ හිත මෙහේ. කඳ විතරයි එහේ. රනිල්ට කරන්න බෑ කියලා ගිය අයයි, ණය කන්දක හිර කරලා ගිය අයයි අද රනිල්ට පුළුවන් කියලා පිළිගන්නවා. ඒ නිසා හරි තැනට එන්න ඕනෑ කියලා පිළිගන්නවා ඒ අයත්.

 

Q අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා පොහොට්ටුව සමඟ සාකච්ඡා කරනවා කියලා නැවත බලයට එන්න. ඒකට සමහර අය එකඟයි, සමහර අය එකඟ නෑ. මේ සංවාදය කොතැනින්ද නවතින්නේ?

එක පක්ෂයක් නෙවෙයි, හැම පක්ෂයකම සමහර පිරිස් ඉන්නවා රනිල් වික්‍රමසිංහ නැවත ඕනෑ කියන. ඒ අය දන්නවා වෙන විකල්පයක් නෑ කියලා.

 

Q ජාතික ජන බලවේගය කියන්නේ නම් රට කරන්න පුළුවන් ඒ අයට විතරයි කියලා?

කවුරුත් කියන දේ නෙවෙයි, ඒ කියන අය කරපුවයි, රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපුවයි බලපුවම තීරණයකට එන්න පුළුවන්. කවුරුත් මැරිලා ඉපදිලා නෑනේ. ඒ කවුරුත් කළ දේවල් දන්නවා.

 

Q ඔබ කියන හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයට රට බාර නොදුන්නොත් රටට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙයිද?

මම හිතන විදිහට රට එවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණපාන එකක් නෑ.

 

Q නැවත බලයට පත්වුණොත් ජනතාවට දැනෙන කෙටිකාලීන සහන තියෙනවද?

මම නම් හිතන්නේ ඊට වඩා ආයේ මේ රට එවැනි අවදානමකට නොවැටෙන්න වැඩ කරන්න ඕනෑ. අමිහිරි වුණත් ඇත්ත කියන්න ඕනෑ. කරන්න බැරි දේවල් කියනවට වඩා කරන්න පුළුවන් දේවල් කියන එක තමා වගකීම. පරණ පොරොන්දු දේශපාලනය දැන් කරන්න බෑ.

 

Q පහුගිය අරගල සමයේ ආපු සටන් පාඨයක් තමා 225 එපා, ඔක්කොම හොරු කියලා. මොකක්ද මේ ජනතා අදහස් ගැන කියන්න තියෙන්නේ?

ඒකට දෙන්න පුළුවන් උත්තරය මේක. ජනාධිපතිගේ ඉඳලා ප්‍රාදේශීය සභා වෙනකල් දේශපාලනඥයෝ 9500ක් විතර ඉන්නවා. ඊට වඩා රජයේ නිලධාරින් ලක්ෂ 17ක් ඉන්නවා. මම හිතන්නේ ලක්ෂ 17 අර 9500ට වඩා රටට හානි කරලා තියෙනවා. සමහර දේශපාලනඥයොත් ඉන්නවා. නැත්තේ නෑ.

 

@Deshaya

නවතම ලිපි