SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන ජනාධිපතිවරණයේ ප්‍රචාරක කාලසීමාවට පෙර

මැතිවරණ ප්‍රචාරක රැස්වීම් 11ක් පමණ පැවැත්වීමට නියමිතය.

 

 

ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මාතර, ගාල්ල, කළුතර, හෝමාගම සහ මරදාන යන ප්‍රදේශවල රැස්වීම් තුනක් ඇමතීමට නියමිතය. අවසන් රැළිය මරදානේදී පැවැත්වීමට නියමිත ය.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගාල්ල, බේරුවල සහ මැද කොළඹ ප්‍රදේශවල රැලිවලට සහභාගි වීමට නියමිතයි. ඔහුගේ අවසන් රැලිය ටවර් හෝල් ඉදිරිපිටදී පැවැත්වේ.

 

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක කළුතර, ගම්පහ සහ නුගේගොඩ ප්‍රදේශවල රැස්වීම් ඇමතීමට නියමිතය. නුගේගොඩ රැළියෙන් ඔහුගේ ප්‍රචාරක කටයුතු අවසන් වේ.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ තිස්සමහාරාම සහ මතුගම ප්‍රදේශවල රැස්වීම් ඇමතීමට නියමිතය. ඔහුගේ අවසන් රැළිය පැවැත්වෙන්නේ පිළියන්දලදීයි.

 

ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ.

 

 

අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ලෙස ක්‍රියාත්මක වනු ඇත.

 

 

මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා ඇත.

 

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක,

 

 

"දැනට දේශපාලන පක්ෂවලින් පිහිටුවා තිබෙන ඡන්ද කාර්යාල සියල්ලම වෙනස් වෙනවා. 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට. එතැන් සිට මැතිවරණ කොට්ඨාසයට අදාළ වන ඒ මැතිවරණ කාර්යාලය පවත්වාගෙන යා හැකියි. ඒ හැර ඡන්ද කොට්ඨාසයට අදාළ වෙන දැනට පිහිටුවලා තියෙන 13,314 ම ඉවත්වෙනවා 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට. ඊට අමතරව අලුතින් පිහිටුවන්න පුළුවන් ආසන මට්ටමින් එක මැතිවරණ කාර්යාලයක්. දැනට ඉදිරිකරලා තියෙන කාර්යාල ඉවත්කර ගන්න කියලා අපි සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඒවා ඔවුන් ඉවත් කරගත්තේ නැත්නම්, පොලීසිය මඟින් ඒ කාර්යාල ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා ඇති."

 

 

මේ වනවිටත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති ඡන්දදායකයින් සඳහා ප්‍රදේශයේ තැපැල් ස්ථානය වෙත ගොස් ඒවා ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.

 

@සමාරා පරණවිතාන

නවතම ලිපි