SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එල්ටිටීඊ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය ඇවුරුදු 15 කි. ජවිපෙ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය අවුරුදු 35 කි.

එහෙත් එම සංවිධාන දෙකේ කැරළිකාරිත්වයට බලපෑ සමාජ ප්‍රශ්න සේම එම කැරළි ගැසීම් හා කැරළි මර්ධනය කිරීමෙන් ඇති වූ මහා ජීවිත විනාශයන් අශ්‍රයෙන් ඇතිවූ සමාජ ප්‍රශ්න ද ප්‍රමාණවත් තරමකින් විසඳා ගැනීමට ලංකාව තවමත් සමත් වී නැත.

 

මෙම කැරළි ගැසීම්වලදී හා කැරළි මර්ධනයේදී ඇතිවූ ජීවිත විනාශයේ ප්‍රමාණය අති විශාලය. සිංහල දකුණේත්, දෙමළ උතුරේත් ඇතිවූ කැරළි හා කැරළි මර්ධනය නිසා සිදු වූ සමස්ථ ජීවිත විනාශය ලක්ෂ එකහාමාරක් පමණ විය හැකිය. ප්‍රචණ්ඩ කැරළි වලින් මිය ගොස් තිබෙන අයගේ මුළු සංඛ්‍යාව 150, 000 ක් ලෙස සලකා 71 කැරැල්ලෙන් මිය ගිය සංඛ්‍යාව 5,000 ක් ලෙස සලකතොත් 1984-2009 කාලය තුළ ප්‍රචණ්ඩ කැරලි වලින් හා කැරලි මර්ධන ව්‍යාපාර වලින් සිදුවී තිබෙන ජීවිත හානිය එම වසර 25 සඳහා 145,000 කි. එම සංඛ්‍යාව දකුණු අප්‍රිකාව හා උතුරු අයර්ලන්තයේ ප්‍රචණ්ඩ අරගල නිසා සිදු වූ ජීවිත විනාශයන් හි සංඛ්‍යා සමග සැසඳූ විට ලංකාවේ සිදුවී තිබෙන ජීවිත විනාශයේ දැවැන්ත බාවය තේරුම් ගත හැකිය.

 

දකුණු අප්‍රිකාවේ සත්‍ය හා සන්හිඳියා කොමිසමේ දත්ත අනුව ප්‍රචණ්ඩ ක්‍රියා වලින් 1948 සිට 1994 දක්වා එම රටේ මිය ගිය මුළු සංඛ්‍යාව 21,000 කි. උතුරු අයර්ලන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා මගින් 1961- 2001 මිය ගිය සංඛ්‍යාව 3,500 කි. ප්‍රචණ්ඩ ගැටුම් වලින් වසරකට මරණ සංඛ්‍යාව

(අ) දකුණු අප්‍රිකාව සඳහා 456 කි

(ආ)උතුරු අයර්ලන්තය සඳහා 109 කි

(ඇ) ලංකාව සඳහා 5,800 කි. මේ විෂයේදී ලංකාව ඉන්නේ දේශපාලන අර්ථයෙන් ඉතාමත් ඉහල මට්ටමේ අශීලාචාර තත්වයක වුවද මියගොස් තිබෙන අයගේ ප්‍රමාණයේ විශාලත්වයේ තරමට සරිලන කම්පනයක් රාජ්‍යයට දේශපාලන පක්ෂවලට හෝ සමාජයට තිබෙන බවක් පෙනෙන්නට නැත. අඩුම වශයෙන් මියගියවුන් ගේ හොඳ නාම ලේඛනයක් සකස්කිරීමට වත් අද දක්වා ලංකා රාජ්‍ය සමත් වී නැත. ඒ දේ කරන්න වෙනත් කිසිදු ආයතනයක්ද සමත් වී නැත. මේ ක්ෂේත්‍රයේ පර්යේෂකයින්ට ඉතා වැදගත් හා ලොකු සාර භූමියක් ලෙස සැලකිය හැකි වුවද පර්යේෂකයන් එම භූමියට පය ගසන්නට ප්‍රමාණවත් තරමේ උනන්දුවක් දක්වා නැත. අඩුම තරමින් කැරළි කරුවන් හෝ ආරක්ෂක හමුදා අතින් සිදුවූ මනුශ්‍ය ඝාතන ගැනවත් කිසිදු වැදගත් පර්යේෂණයක් සිදු වූ බවක් පෙනෙන්නට නැත.

 

කැරලිවලදී මියගියවුන් හා අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් අනුගමනය කල යුතු ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූයේ ද දෙබිඩි ස්වරූපයකිනි. ජේවීපී කැරලිවලින් හා කැරලි මර්ධනයෙන් මියගියවුන් සිහිපත් කිරීමේ අයිතිය ජේවීපියට හා සිංහල සමාජයට ලබාදී තිබුණද දෙමල කැරැල්ලෙන් හා මර්ධනයෙන් මියගිවුන් සිහිපත් කිරීමේ අයිතිය දෙමළ සමාජයට මේ වසර දක්වාම අහිමි කර තිබුණි. ඉතාමත් පුදුම සහගත දේ වනුයේ ජේවීපිය එම අයිතිය තනිව බුක්ති විඳින ප්‍රතිපත්තියක් අනුගමනය කලා මිස එම අයිතිය දෙමල ජනතාවට ද ලැබිය යුතු අයිතියක් කීමට ඉදිරිපත් නොවීමය. ජේවීපියට සමාව ගැනීමකින් හා ස්වයං විවේචනයකින් තොරව ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එක්තුවීමට ඉඩ ලැබී ඇතත් එල්ටීට්යට එම අයිතිය ලැබී නැත. මෙම ප්‍රචණ්ඩ අරගල නිසා සිදුවී තිබෙන මනුෂ්‍ය ඝාතනවල ප්‍රමාණය අති විශාල වුවද ඒ ඝාතන වලට වගකිවයුතු කවර පාර්ශ්වයක් වත් ඒ මගින් සිදුවූ බරපතල වැරදි වලට මහජයාගෙන් සමාව ගෙන නැත.

 

කැරලි ගැසීමට තිබෙන අයිතිය ගැනද රටේ රජකරමින් තිබෙන්නේ විකාර සහගත මතවාදයන්‍ ය. කැරලි ඇතිවන්නට ඉඩ නොදීම ඕනෑම රජයක වගකීමකි. ප්‍රඥාවන්ත රජයක් ඇතිවන්නට නියමිත කැරැල්ලක් කල් තියා දකිමින් කැරැල්ලට බලපාන හේතු නැති කිරීම මගින් කැරැල්ලක් ඇති වීම වැළකිය යුතුය. කැරැල්ලක් ඇතිවූ විට එය දුර දිග යන්නට ඉඩ නොදී ඉක්මණින් පරාජය කල යුතුය. රටේ සිදුවන ඕනෑම අසාධාරණයකට එරෙහිව කැරලි ගැසීමේ අයිතියක් පුරවැසියන්ට නැත. එම අයිතිය පුරවැසියන්ට ලැබෙන්නේ ඔවුන් මුහුණ දෙන ප්‍රස්නය විසඳා ගැනීමට වෙනත් සාමකාමි මාර්ග කිසිවක් ඇත්තේම නැති කුරිරු ඒකාධිපති තත්වයක් පවතින අවස්ථාවකදී පමණය. 1956 දෙමළ ජනතාවගේ භාෂා අයිතිය ඔවුන්ට අහිමි කිරීම ඔවුන්ට කරන ලද බරපතල වරදක් ලෙස සැළකිය හැකිය.

 

දෙමළ නායකයින් එම වරද නිවැරදි කරවා ගැනීම සදහා දිගින් දිගට සාමකාමි උද්ඝෝෂණ වල නිරත විය. එම උද්ඝෝෂණවලින් සාධාරණත්වය ලබා ගැනීමට නොහැකි වූ විට 1961 පෙබරවාරිවලදී උතුරු නැගෙනහිර පළාත් දෙකේ සාමකාමි සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයක් ආරම්භකොට එම පළාත් දෙකේ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ක්‍රියා විරහිත කිරීමටද සමත් විය. දින 57 ක් එක දිගට පැවති සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරය පරාජය කරන ලද්දේ එම පළාත් දෙකට හදිසි නීතිය හා ඇඳිරි නීතිය පනවා ෆෙඩ්‍රල් පක්ෂය තහනම් කොට එම සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයට නායකත්වය ලබා දුන් චෙල්වනායගම් ඇතුළු පක්ෂ නායකයින් 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන දින 170 වක් පනාගොඩ හමුදා කඳවුරේ රඳවා තබාගැනීමෙනි.

ඉන් පසු 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන අවස්ථාවේදී ද සිදුවී තිබුණ වරද නිවරදි කර ගැනීමට දෙමළ නායකයින් උත්සාහ කලද ආණ්ඩුව එහිදී අනුගමනය කලේ දෙමළ දුක්ගැනවිලි මුළුමනින් නොසළකා ක්‍රියා කරන දැඩි පිළිවෙතකි. එහි ඊලඟ ප්‍රතිඵලය වුයේ වෙනම දෙමළ රාජ්‍යක් ඇති කරගැනීමෙන් තොරව තමන්ගේ ප්‍රශ්න විසඳාගැනීමට අන් ක්‍රමයක් නැති බවට 1974 මැයි වලදී පැවති වඩුක්කොඩෙයි සම්මේලනයේදී තීරණය කිරීමය. භාෂා ප්‍රශ්නයේදී දෙමළ ජනයා ඉතාමත් පීඩාකාරි හා අසාධාරණ තත්වයකට ඇද දමා තිබියදී පවා වෙනම දෙමළ රාජ්‍යක් ඇති කරගැනීමට තීන්දු කිරීම ඥානාන්විත තීරණයක් ලෙස සැළකිය නොහැකිය. එවැනි තීන්දුවක් ගන්නට පෙර දෙමළ නායකයින් එය ඇතිකල හැකි ප්‍රතිවිපාක ගැන ගැඹුරින් කරුණු සලකා බැලිය යුතුව තිබුණි. ප්‍රභාකරන් එම මෝඩ තීන්දුවේ තර්කානුකූල ඵලය ලෙස සැළකිය හැකිය. ඔහුගේ ප්‍රචණ්ඩ වැඩසටහන රටට පමණක් නොව දෙමළ ජනතාවට ද ඇති කල විනාශය අති විශාලය.

 

ආයුධ සන්නද්ධ කැරැල්ලකට යොමුවීමට කිසියම් ප්‍රමාණයක සාධාරණ අයිතියක් දෙමළ ජනතාවට තිබුණද කැරැල්ලකට යොමු වීමට විජේවීරට හෝ ජවිපෙට අල්ප මාත්‍රයක තරමින් හෝ අයිතියක් තිබුනේ නැත. ජේ. ආර්. ගේ පාලන ක්‍රමයේ බරපතල වැරදි තිබුණි. ජවිපෙට පනවන ලද පක්ෂ තහනම ද අසාධාරණ එකක් බව කිව හැකිය. ජේ. ආර්. ගේ පාලනයේ තිබුණ වැරදි හෝ ජවිපෙට පනවන ලද පක්ෂ තහනම කිසිසේත්ම කැරැල්ලක් ආරම්භ කිරීමට ලැබුණු සාධාරණ හේතුවක් වන්නේ නැත. තහනම් කර තිබුණු එකම පක්ෂය එම පක්ෂය පමණක් නොවිය. තවත් පක්ෂ දෙකක් ද තහනම් කර තිබුනි. ඒ පක්ෂ කරුණු පැහැදිලි කිරීම මගින් ඒවාට පනවා තිබූ පක්ෂ තහනම ඉවත් කර ගත්තේය. (දෙවන ලෝක යුද්ධ කාලයේදී සම සමාජ පක්ෂයද තහනම් කොට එම පක්ෂ නායකයින් අත්අඩංගුවට ගත්තේය. එහිදී ඔවුන් හිරගෙවල් කඩා ගෙන ඉන්දියාවට පලා ගොස් එහි දේශපාලනය කලා මිස ආයුධ අතට ගෙන සටන් කරන තැනකට ගියේ නැත) එහෙත් විජේවීර ඒ වෙනුවට ප්‍රචණ්ඩ මාවත හරහා කෙටි කාලයකින් බලයට පත්වීමට පුළුවන් වනු ඇතැයි විශ්වාස කරමින් පක්ෂය ප්‍රචණ්ඩ කැරැල්ලකට යොමු කලේය. එහිදී ද විජේවීර හමුදාව සමග සටන් කොට ඊට තිබෙන බලය පරාජය කොට බලය අල්ලන පිළිවෙතක් යොදාගත්තේ නැත. ඒ වෙනුවට යොදාගත්තේ ආරක්ෂක හමුදා සමග සටන් කරන තැනකට නොගොස් සිවිල් වැසියන් තොග ගණනින් මරා දමා එමගින් ඇතිවන ව්‍යාකූලත්වය තුළ බලය ලබාගැනීමට උත්සහ කිරීමය. එය පිළිගත් සටන් ක්‍රමයක් නොව ම්ලේච්ඡ සටන් ක්‍රමයකි.

 

ප්‍රභාකරන් ඊට වෙනස්ව හමුදාව සමග සටන් කලේය. ඒ සමග නිරායුධ මිනිසුන්ද තොග ගණනින් මරා දැමුවේය. මොනම රජයක් වත් බලය අල්ලා ගැනීමේ අරමුණින් සිවිල් වැසියන් තොග ගණනින් ඝාතනය කරන්නට ඉඩ දෙන්නේ නැත. එසේම ලංකාවේ බලයට පත්වූ කිසිදු ආණ්ඩුවක් එම ආණ්ඩුවල හොඳ නරක කුමක් වුවද යුද්ධයක් හෝ කැරැල්ලක් නැති කාලයකදී නිරායුධ මිනිසුන් දහස් ගණනක් තබා සිය ගණනින් වත් මරා දමා නැත. සාමාන්‍යයෙන් විය හැකිව තිබුනේ ආණ්ඩු පාලන කාලයක් තුළ බලයට සම්බන්ධ බලවතෙකුගේ උදහසට ලක්වු පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් ඝාතනයට ලක්වීමය. යුද්ධයක් හෝ කැරැල්ලක් නොපවතින කාලවල කවර පක්ෂයක් බලයේ සිටියද ලංකාවේ මිනිසුන් ජීවිත ගැන ඇති කරගත් භයෙන් ජීවත් වී නැත. එහෙත් විජේවීර හා ප්‍රභාකරන් රටේ පැවති මේ චිත්‍රය මුළුමනින් වෙනස් කලේය. සිවිල් මිනිසුන් තොග ගනින් මරා දමන පිලිවෙතක් තුළ මිනිසුන් මරණ භියෙන් ජීවත් විය යුතු බිහිසුණු තැනකට තල්ලු කලේය. එම බිහිසුණු තත්වය පාලනය කිරීම සදහා කැරලිකරුවන් අනුකම්පා විරහිතව මර්ධනය කරන පිලිවෙතකට ආරක්ෂක හමුදා යොමුවීම නිසා මේ දෙපක්ෂය අතර කෙරෙන අරගලයේ ස්වභාවය උපරිම මට්ටමක කුරිරු ස්වභාවයක් ගත්තේ ය. ආරක්ෂක හමුදා හා පොලීසිය පදනම් කරගත් වධකාගාර ක්‍රමයක් ඇති වන්නේ ද මෙම විශේෂ වටා පිටාව තුළය. ප්‍රභාකරන්ගේ ව්‍යාපාරයටද තමන්ගේ පාලන බල ප්‍රදේශ තිබීම නිසා ඔවුන්ට ද තමන්ගේ වධකාගාර ක්‍රමයක් තිබුණි. ජවිපෙට වධකාගාර ක්‍රමයක් නොතිබුණේ තමන්ගේ පාලන බල ප්‍රදේශ නොතිබුණ නිසාය. ඔවුන්ට වධකාගාර ක්‍රමයක් තිබුනේ නැතත් බොහෝ මිනිසුන් මරාදමන ලද්දේ කුරිරු ආකාර වලටය. රටේ මිනිසුන්ට එකවිට බල කේන්ද්‍ර දෙකක අණ පිළිපදින්නට සිදු වීම නිසා ඔවුන්ට ජීවත්වන්නට සිදුවී තිබුනේ ගිරයට හසුවූ පුවක් ගෙඩියක් ලෙසිනි.

 

විජේවීරගේ ජවිපෙ හා ප්‍රභාකරන්ගේ එල්ටීට්ය අතර සමහර වෙනස්කම් සේම බොහෝ සමානකම් ද තිබුණි. විජේවීර කරාව කුලයටද ප්‍රභාරන් කරයාර් කුලයටද අයත් විය. තමිල් චෙල්වම් ප්‍රභාකරන්ගේ දෙවැනියා වන විට උපතිස්ස ගමනායක විජේවීරගේ දෙවැනියා විය. විජේවීර හා ප්‍රභාකරන් සිංහල කුල ක්‍රමයේ අතර මැදි කුලයක් නියෝජනය කරන විට උපතිස්ස ගමනායක හා තමිල් චෙල්වම් සිංහල හා දෙමළ කුල ක්‍රමයේ ආන්තික කුල දෙකක් නියෝජනය කලේය. එය එම ව්‍යාපාර දෙක තමන් සමග එකතුවන ලෙස පීඩිත කුල වලට දෙන ලද සංඥාවක් විය. මොන හේතුවක් නිසා හෝ මේ නායකයින් දෙදෙනාම කුල බේදය දේශපාලන වශයෙන් ප්‍රයෝජනයට ගත්ත ද කුල භේදය මත පදනම්වූ අසමානකම් හා අසාධාරණකම් පිලිබඳ ප්‍රශ්නය ඒ දෙදෙනාම කවර මට්ටමකින් වත් සිය විමුක්ති කථිකාවේ වැදගත් අංගයක් බවට පත් කරගත්තේ නැත. මෙම නායකයින් දෙදෙනාම ප්‍රචණ්ඩත්වයට බර තබා ක්‍රියා කල (මේ දෙදෙනාටම ගාන්ධි ගැන තිබුනේ උපහාසයකි. දෙදෙනාගේම ඉන්දුයානු වීරයින් වුයේ සුභාෂ් චන්ද්‍ර බෝස්‍ ය) නායකයින් වුවද ප්‍රචණ්ඩ කැරැල්ලක් ඇති කරන ප්‍රති විපාක ගැන දෙදෙනාටම ගැඹුරු අවබෝධයක් නොතිබුණි. විජේවීර සටන් බිමට නොගොස් සටන් බිමේ අයට සටන් කළ යුතු ආකාරය ගැන උපදෙස් දුන් න්‍යායවාදියෙකු වු අතර ප්‍රභාකරන් ඊට වෙනස්ව සටන් බිමට ගොස් සටන් කල කෙනෙකු විය. විජේවීර සිංහලයෙකු වීම නිසා ඔහු සිහින දැක්කේ ප්‍රචණ්ඩ බලයෙන් රාජ්‍ය අල්ලා ගැනීමටය. ප්‍රභාරන් දමිළයෙකු වීම නිසා ඔහු සිහින දැක්කේ ප්‍රචණ්ඩ බලයෙන් වෙනම රාජ්‍යක් ඇති කර ගැනීමටය. විජේවීරගේ දෙවැනි කැරැල්ලේ උපාය මාර්ගය වූයේ ආරක්ෂක හමුදා සමග සටන් නොකොට සිවිල් ජනයා තොග වශයෙන් මරා දමන ක්‍රමයක් මගින් බලය අල්ලා ගැනීමය. ප්‍රභාකරන් ඒ ක්‍රම දෙකම (සිවිල් මිනිසුන් ඝාතනය කිරීම හා ආරක්ෂක හමුදා සමග සටන් කිරීම) යොදා ගත්තේය. මේ දෙදෙනා කල්පනා කල ආකරයේ බොහෝ සමාන කම් ද තිබුණි. දෙදෙනාම උග්‍ර ඉන්දියන් විරෝධින් විය. විජේවීර රජිවි ගාන්ධිට පහර දී මරවන්නට උත්සාහ කලත් එය සාර්ථක වුයේ නැත. එහෙත් ප්‍රභාකරන් රජිවි ගාන්ඩිව ඝාතනය කරවීමට සමත් විය. දෙදෙනාම දළදා මාළිගාව පහර දිය යුතු තැනක් ලෙස සලකා පහර දුන්නේය. දෙදෙනාගේම ව්‍යාපාර නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරන ලද්දේ ඉතාමත් කුරිරු අකාරයටය. ප්‍රභාකරන්ට ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් මරාගෙන මැරෙන්න කණ්ඩායමක් සිටියද විජේවීට එවැනි කණ්ඩායමක් නොසිටියේය. මේ දෙදෙනාගේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා අති විශාල ජීවිත විනාශයක් ඇති කිරීමෙන් නොනැවතී නොමැරී ඉතිරිවූ සමාජයද අධ්‍යාත්මික වශයෙන් මරණයට පත් සමාජයක් බවට පත් කිරීමට හේතුවිය. මේ දෙදෙනාගේ සංවිධාන දෙක ඊට අතිරේක වශයෙන් උපරිම ආකාරයකට රටේ යටිතල පහසුකම් හා පොදු දේපළ ද, ව්‍යාපාර හා කර්මාන්ත ද විනාශ කිරීම මගින් රටේ ආර්ථික අත්තිවාරමට ලොකු හානියක් සිදු කලේය. අගමැති මන්මෝහන් සිං ගේ ජාතික ආරක්ෂක උපදේශකයා ලෙස ක්‍රියා කල ශිව ශන්කර් විසින් කර තිබෙන ගණන් බැලීමකට අනුව ජේවීපී හා එල්ටීටීඊ කැරලිවලින්ද, 83 කළු ජූලියෙන්ද ලංකාවට සිදුවී තිබෙන ආර්ථික හානියේ වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 200 ක් තරම් විශාලය.

 

@වික්ටර් අයිවන්

Victor Ivan fb page

නවතම ලිපි