1902 වසරේ සැප්තැම්බර් 29 වැනිදා උදෑසන සෝ(Z)ලා යුවළ පුරුදු පරිදි හිමිදිරියේ අවදි වූයේ නැත .
උදෑසන 9.30 පසුවී ගියද ඔවුහු පිටත නොපැමිණි නිසාත් , කාමරය තුළින්ද හඬක් නොනැගුණු නිසා, දොරට තට්ටු කිරීමෙන් පවා පිළිතුරක් නොවූ නිසා දොර කඩා බලන්නට සේවකයෝ තීරණය කළහ . සෝලා මහත්මිය යහනේ සිහිසුන්ව වැතිරී සිටියාය. එමිල් සෝලා ඒ වන විටත් දිවි අතහැර ගොස් තිබුණි . ඔහුගේ මරණය Oxyde de Carbone (Oxocarbon ) වායුව ආශ්වාස කිරීමෙන් සිදුව අහි බවට තීරණය වී , උදෑසන දහයට මහා ලේඛකයා ගේ මරණය ගැන ආරංචිය පැතිර ගියේය.
එමිල් සෝලා මිය ගොස් ඇත්තේ විෂ වායුව ආශ්වාස කිරීමෙන් බවත් , ඒ විෂ වායුව නිපදවී ඇත්තේ චිමිනියේ ඉහළ කොටසේ රැඳුනු කාබන් තරලයක් නිසා බව පොලිස් විශේෂඥයෝ තීරණය කළහ . කුමක්දෝ හේතුවක් නිසා මරණ පරීක්ෂණය වැඩිදුර ගෙන යන්නට බලධාරීන්ට වැඩි වුවමනාවක් නොතිබුණා සේය. සෝලා මහත්මියගේ සහ හිතමිතුරන්ගේ වුවමනාව නිසාම වසරක් කාලයක පුරා පැවැත්වුණු පරීක්ෂණ සාක්ෂි හීන වීමේ පදනම මත හදිසියේම නවතා දමා සම්පූර්ණ ලිපි ගොනුවම වසා දමන්නට තීරණය විය.
එය අපහසු කාලයකි. විවිධාකාර ආර්ථික , සාමාජිය ගැටළු වලින් රට පිරී තිබුණු මොහොතක මෙලොව හැර ගිය මේ මහා ලේඛකයා ගැන කතා බහක් ඇති වුණු නමුදු එය පැවතියේ කෙටි කාලයකි.
අනෙක් අතට නොයෙක් අන්දමේ හඳුනා නොගත් රෝග ආබාධයන්ට ප්‍රතිකාර හෝ නිවාරණ ක්‍රම නොමැතිව ජනතාව මිය යමින් සිටි කාලයකි එය. එවැනි වකවානුවක විෂ වායුවක් ආග්‍රහණය කිරීමෙන් සිදුවුණු සෝලා ගේ මරණය කම්පනයක් ඇති කිරීමට සමත් වුණත් ඒ කම්පනයට දිගු ආයුෂ නොවිණ . හඳුනාගත නොහැකි දෙයක් සිදුව ඇති බව පවුලේ උදවියගේ සහ සමීප හිත මිතුරන්ගේ විශ්වාසය වුණත් පොලිස් පර්යේෂණ ඉදිරියට ගෙන යාමට තරම් ප්‍රමාණවත් තර්ක සාක්ෂි නොවිණ.
අද දවසේ නම් ප්‍රංශයේ සෑම නිවසකම , තට්ටු නිවාසයකම ශීත කාලයේදී උණුසුම ලබා දීමට විදුලියෙන් හෝ ගෑස් බලයෙන් ක්‍රියා කරන යන්ත්‍ර (Heaters) තිබුණත් මේ යුගයේ තිබුණේ ගිනි උඳුන් , චිමිනි පමණි . අඟුරු සහ දර වලින් අවුළුවා ගන්නා ගිනි උඳුනේ බැඳෙන දැලි පිරිසිදු කරන්නට අඩුම තරමින් වසරකට වරක්වත් , ඒ කාර්යය සඳහා සුදුසුකම් ලැබූ අයෙකුට භාර දිය යුතුය. චිමිනි පිරිසිදු කරන්නන් ප්‍රංශ බසින් හඳුන්වන්නේ Ramoneur (Chimney Sweeper ) යන නමිනි. සෝලා යුවළ 1889 වසරේ ඔවුන්ගේ පැරිස් නවාතැනේ පදිංචියට පැමිණි දා පටන් සෑම වසරකම නියමිත රෙගුලාසි වලට අනුව චිමිනිය පිරිසිදු කිරීම් සිදුවිය. ඒ අතරම මේ වකවානුව (19 වන ශත වර්ෂය සහ 20 ශතවර්ෂයේ මුල් අවදිය) විෂ වායු ආග්‍රහණයෙන් (Asphyxia ) නිවෙස් තුළදීම සිදුවන මරණ සුලබ කාලයකි. පොලිස් පරීක්ෂණ නවතා දමා කාලයාගේ අවෑමෙන් සියල්ල අමතකව ගියේය.
සෝලා ගේ මරණයෙන් අඩසිය වසක් ගෙවී යද්දී, එනම් 1951 වසරේ ඔහුගේ පුතු වූ වෛද්‍ය ජැක් එමිල් සෝලා ට නිර්නාමික ලිපියක් ලැබුණි. එය ලියා තිබුණු පුද්ගලයා පාපොච්චාරණය කර තිබුණේ 1902 වසරේදී සෝලා නිවසේ චිමිනිය පිරිසිදු කළේ තමන් බවත් , චිමිනිය අවහිර කරන්නට යම් පුද්ගල කණ්ඩායමක් විසින් තමන්ට මුදලක් දුන් බවත්ය.
එමිල් සෝලා 1888 වසරේ ජනවාරි මාසයේ 13 වැනිදා J'Accuse නමින් ලිපියක් L'Aurore පුවත් පතට ලියා තිබුණි . මේ ලිපියට පාදක වූයේ වැරදි චෝදනා මත සිරගත කරන්නට යෙදුණු ප්‍රංශ යුද හමුදාවේ කපිතාන් වරයෙකු වූ ඩ්රේෆියුස් (Alfred Dreyfus) පක්ෂව කරුණු පැහැදිළි කිරීමකි. යුදෙව් ජාතිකයෙකුට පක්ෂව ලියූ මේ ලිපිය නිසා සෝලා ට හතුරෝ ඇති වුණු බව සැබෑවකි. ඉහත කියූ නිර්නාමික ලිපියේ සදහන්ව තිබුණේ චිමිනිය අවහිර කරන්නට තමන්ට මුදල් ලබා දුන්නේ එසේ ඇතිවුණු සතුරු කණ්ඩායමක් බවයි.
ලිපිය ලැබුණු විට ජැක් එමිල් සෝලා Libération නමැති පුවත් පතේ සේවය කළ මිතුරු පුවත් පත් කලා වේදියෙකුට ලිපිය භාර දුන්නේය . නමින් ජෝන් බදෙල් (Jean Badel) නම් වූ මේ පුවත් පත් කලාවේදියා වසර දෙකක් පුරා කරන්නට යෙදුනු සොයා යාම් වලින් පසුව 1953 වසරේ සැප්තැම්බර් මාසයේ ලියූ ලිපි මාලාවේ ශීර්ෂය වූයේ "සෝලා මරා දැමුවාද...?" යන්නයි.
ලිපි මාලාවට පදනම්ව තිබුණේ "නොමැන්දි" ප්‍රදේශයේ ඖෂධාලයක අයිතිකරුවෙකු වූ පියෙ හකන් (Pierre Hacquin) විසින් ලබා දුන් තොරතුරු මතය. මේ කියන පියෙ හකන් මහතාට M.Z නමින් තමාව හඳුන්වා ගත පුද්ගලයෙක් හමුවී තිබේ. සෝලා නිවසේ චිමිනිය වුවමනාවෙන්ම අවහිර කරනු ලැබුවේ තමා යැයි ප්‍රකාශ කරන මේ M.Z නම් මේ තැනැත්තා එසේ කිරීමට හේතු පාදක වුණු කාරණා හෙළි කරයි. චිමිනියේ දැල්වුණු ගල් අගුරු වලින් නැගුණු දුමාරය ඉහළට ඇඳී ගොස් , පිටව යන්නට නොහැකිව අවහිරවුණු තැන පහළට පැමිණෙන්නේ විෂ වායුවක් ලෙසටයි. සෝලා මහත්මිය මරණයෙන් ගැලවුණේ ඇය නිදා සිටියේ කවුළුව අසළ වීමත් ඒ කවුළුව යන්තමින් විවර වී තිබීමත් නිසාය.
අන්තිමේදී M.Z නමින් තමාව හඳුන්වා ගත් මිනිසාගේ සැබෑ අනන්‍යතාවය සොයා ගන්නට හැකි වන්නේ 1978 වසරේදීය. ඔහු නමින් Henri Buronfosse නම් විය. ඔහු එමිල් සෝලා නමැති මහා ලේඛකයාගේ මිනිමරුවාය.