මෝදිගේ සංචාරය ගැන ආචාර්ය දයාන් ජයතිලකගේ විග්‍රහය
මෙය ඓතිහාසික වැදගත්කමකින් යුක්ත සංචාරයක් බවට පත් වෙනවා, නමුත් ඒ ඓතිහාසික වැදගත්කම ධනාත්මක / සෘණාත්මක වේ ද කියන එක තමයි ප්‍රශ්නය.
වැඩි බරක් තියෙන්නේ ලංකාව පැත්තෙන් ගත්තාම ඒක සෘණාත්මක වීම. ඒ කියන්නේ ඉන්දියාවේ මාධ්‍ය එනම් ඉන්දියාවේ පුවත්පත් ගත්තොත් සහ ඊයේ පෙරේදා ගත්තාම ලංකාවේ ආණ්ඩුවත් පිළිගෙන තිබෙන ආකාරයට ලංකාව ඉන්දියාව ගහන්න යන ගිවිසුම් බහුවිධයි. ඒ බහුවිධ ගිවිසුම් අතර ආරක්ෂක ගිවිසුමකුත් තියෙනවා. දැන් එවැනි ආරක්ෂක ගිවිසුමක් කවර ආකාර වේවා යම්කිසි රටක් සමඟ ගිවිසුම් ගහනකොට ලංකාව ඒක පාරදෘශ්‍ය වෙන්න ඕන. නමුත් එතන ප්‍රශ්නය කිහිපයක් තියෙනවා මොකද ලංකාවේ ජනතාවට මේක ගැන කියලා නෑ. පාර්ලිමේන්තුවට කලින් කියලා නෑ. ඒක නිසා ද්විපාර්ශවීය නැත්නම් බහුපාර්ශවීය ජාතික එකඟතාවකට එන්න හැකියාවක් නැහැ. ආණ්ඩුවේ නායකත්වය විසින් ඒකපාර්ශ්වීයව කරන දෙයක් බවට මේක පත්වෙලා තියෙනවා.
කිසිම පාරදෘශ්‍ය භාවයක් නැහැ
ඒ අතින් ගත්තාම මේක ඉන්දු – ලංකා ගිවිසුමෙනුත් එහා තත්ත්වයකට පත්වෙනවා, ඉන්දු – ලංකා ගිවිසුම ඉන්දියාව යම්කිසි විදිහේ ලංකා ආණ්ඩුවේ අත අඹරලා කරපු දෙයක් කියලා, මෙතන එහෙම කායිකව කිසිම මැදිහත්වීමක් නැතුව ඒ සිදුවුණ පාරදෘශ්‍ය බවකින් තොරව සිදුවුණ ගිවිසුමක් අත්සන් කරන්න යන බව තමයි දැනට අපට දැනගන්න තිබෙන්නේ.
එවැනි ගිණුමක් අත්සන් කරන්න නම් ලංකාව පාර්ශ්වයෙන් කවුද ඒකට සම්මාදන්වෙලා තියෙන්නේ. ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් මේ පිළිබඳ ව දන්නව ද ?, ඔවුන්ගෙන් මේ පිළිබඳව අදහස් විමසලා තියෙනවද? ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා දන්නව ද, ආරක්ෂක අමාත්‍යංශය මේකට සහභාගී කරගෙන තියෙනවද? එසේත් නැත්නම්, කැබිනෙට්ටුවේ පූර්ව සාකච්ඡාවක් කරලා තියෙනවද? කැබිනෙට්ටුව දන්නවද මේ ආරක්ෂක ගිවිසුමේ තියෙන වගන්ති මොනවද කියලා. ඒ කිසිවක් ජනමාධ්‍යයෙන් අපට ප්‍රකාශ වෙන්නේ නෑ. ඒ අනුව අපට කියන්න වෙන්නේ මේ ගැන කවුරුවත් දන්නේ නෑ කියලා. ආරක්ෂක ගිවිසුමක් කියන්නේ වෙන ගිවිසුම් වගේ නෙවෙයි.
කෞටල්‍යගෙන් ඉගෙන ගනිමු
විශේෂයෙන් ම පුංචි රටක් ලොකු රටක් එක්ක ගිවිසුමක් ගහන කොට ඉතාම පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. එහෙම පුංචි රටවල් මහා විශාල අසල්වැසි රටවල් එක්ක සාමාන්‍යයෙන් ආරක්ෂක ගිවිසුම් ගහන්නේ නෑ. එසේ නොගහන්න හේතුවක් තියෙනවා. ඉන්දියාවෙන් මතු වූ මහා පඬිවරයෙක් වූ කෞටිල්‍ය හෙවත් චානක්‍ය තමයි අර්ථ ශස්ත්‍රය කියන ග්‍රන්ථය රචනා කළේ. ඒක සම්භාව්‍ය ග්‍රන්ථයක් බව අපි දන්නවා. කෞටිල්‍ය හෙවත් චානක්‍ය කියලා කියන්නේ මහා ඉන්දියානු අධිරාජ්‍යවරයෙක් වූ චන්ද්‍රගුප්ත මෞර්යගේ ප්‍රධාන උපදේශක. ඒ අර්ථ ශස්ත්‍රය කියන සම්භාව්‍ය කෘතියේ කියලා තියෙනවා කෙතරම් මිත්‍රශීලී වුණත් රටක, රාජ්‍යයක අසල්වැසි රාජ්‍යය අනිවාර්යයෙන්ම ඒ රටට ප්‍රධාන තර්ජනයක් එල්ලවෙන්නේ ඒ අසල්වැසි රාජ්‍යයකින්. ඒකට හේතුව වෙන්නේ යම්කිසි පොදු භූගෝලීය ප්‍රදේශ සහ ස්වභාවධර්මයෙන් හිමිවෙලා තිබෙන දේකට සටන් කරන්නට නැත්නම් යම්කිසි කඹ ඇදිල්ලකට හේතුවෙනවා යම් යම් හේතූන්. අසල්වැසි නොවන රටකට එහෙම නෑ, ඒ නිසා කෞටිල්‍ය අර්ථ ශස්ත්‍රය ග්‍රන්ථයේ කියනවා තමුන්ගේ අසල්වැසියගෙන් තමයි ප්‍රධාන තර්ජනය එන්නේ, ඒ නිසා එම රාජ්‍යයයේ ප්‍රධාන මිත්‍රයා වෙන්න ඕන අසල්වැසියාගේ අසල්වැසි රාජ්‍ය එක්ක. එනම් චීනය හෝ පකිස්ථානය වෙන්න ඕන. මං කියන්නේ නැහැ ගිවිසුම් ගහන්න ඕන කියලා. නමුත් මේ කෞටිල්‍ය කියපු මූලධර්මය අපි හැමෝම ඔළුවට ගන්න ඕන.
ඉන්දියාවට පැනලා දෙන්නේ ඇයි ?
කිසිම කුඩා රටක් යම් යම් කුඩා/ ලිහිල් ගිවිසුම්වලට එළඹෙන්න පුළුවන් ආරක්ෂක ක්ෂේත්‍රයේ. නමුත් ගිවිසුම් ගහන්න කොහොමවත් බැහැ. ලංකාව මොකටද එහෙම ගිවිසුමක් ගහන්නේ? 88 අඩු තරමින් අපිට කියන්න පුළුවන් එතන ඉතාම අමාරු තත්ත්වයක් තිබුණේ, බෙදුම්වාදී යුද්ධයක් තිබුණා, ඒ යුද්දෙට අපි අහුවෙලා ඉන්න කොට ඉන්දියාව කොයි පැත්ත ගනී ද? ඉන්දියාව ඒ බෙදුම්වාදීන්ව පුහුණුකරලා තිබුණා එක කාලෙකදී. ඉතින් ඒගොල්ලන්ගේ පැත්ත විවෘතව ගත්තා නම් ලංකාව දෙකට බෙදෙනවා. ඒ කරපුවාට මුහුණ දෙන්න බැරුවම ජේ. ආර් ජනාධිපතිතුමා අත්සන් කරා කියලා මේ අය තර්ක කරන්න පුළුවන්. ඒ තර්කෙත් ඇත්තක් තියෙනවා. නමුත් මෙතන අපිට පෙනෙන කිසිම තර්ජනාත්මක බලපෑමක් නැතුව මොකටද පැනලා ගිහින් ඔඩොක්කුවේ වාඩි වෙන්නේ? ඔඩොක්කුවේ වාඩිවෙලා ගෙළ වටේ අත දාගන්නේ අසල්වැසියාගේ ? අසල්වැසියා වුණාම එක අතකින් පුළුවන් තරම් හොඳ මිත්‍රත්වයක් ඇතිකර ගන්න ඕන. නමුත් ඒ අතරවාරයේම පරිස්සම් වෙන්න ඕන. නමුත් මෙතන ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනවා කියන්නේ ඒකෙ අනිත් පැත්ත. ඊළඟට භූ දේශපාලන යථාර්ථයන් තියෙනවා, ඒවා වෙනස් නොවන දේවල්. මොනවද ඒ යථාර්ථ? එකක් ඇවිල්ලා ලංකාව දූපතේ උතුරු නැගෙනහිර වැඩි හරියක් ඉන්නේ දමිළ භාෂාව කතා කරන අය. අනික ඇවිල්ලා ඉන්දියාවේ දකුණේ කෙළවරේ ඉන්නේ දමිළ කතා කරන සහ දමිළ ජනවාර්ගයකින් යුක්ත ජනතාවක්, ඒක විශාල ප්‍රාන්තයක්. දස ලක්ෂ අසූවක ජනතාවක් එතන ඉන්නවා. මේ දෙක අතර තියෙන්නේ ඉතාම පුංචි මුහුදු තීරයක් විතරයි. ඉතින් ඔය දස ලක්ෂ අසූව හැමදාමත් නවදිල්ලියට තෙරපුමක් කරනවා කොයි ආණ්ඩුව හිටියත් නැතත්. ඉතින් අපි දන්නේ කොහොමද කවදාහරි ඒ තෙරපුම නිසා ලංකාවේ උතුරු නගෙනහිර ඈඳා ගන්න උත්සාහයක් නොදරයි කියලා. ට්‍රම්ප් ජනාධිපතිතුමා ඇමරිකාවේ හිටිඅඩියෙම කියනවා ග්‍රීන්ලන්තය ඇමරිකාවේ කොටසක් ඒක අත්පත් කරගන්න ඕන කියලා, අපි කොහොමද දන්නේ ලංකාවේ ඉතිහාසයේ කවදාවත් එහෙම නොවෙයි කියලා. ඉතින් ඒකට පහසුකම් සපයන විදියට ලංකාව ඉන්දියාව සමඟ ආරක්ෂක ගිවිසුමකට පැටළෙන එක නුවණට හුරු නෑනේ. අපි එහෙම ඉඩකඩක් (footprint එකක් කියනවා ඉංග්‍රීසියෙන්) / අඩි සලකුණක් දෙන්න නරකයි අපේ අසල්වැසියන්ට. දැන් තවත් කරුණු කිහිපයක් තියෙනවා චීනය සම්බන්ධයෙන්. දැන් ඉන්දියානු පුවත්පත් සඳහන් කරන ආකාරයට මේ ආරක්ෂක ගිවිසුම චීනය වෙත එල්ලවෙලා තියෙන ගිවිසුමක්.
ආවතේවකම් කරන්නේ කාටද ?
දැන් ලංකාව මොකටද ඒ වගේ දේකට ඇතුළු වෙන්නේ, ලංකාව කියන්න පුළුවන් ‘අයියෝ අපි චීනෙත් එක්ක යාළුයි එහෙම දෙයක් නෑ’ කියලා. නමුත් යථාර්ථය අපි සලකලා බලන කොට තත්ත්වය මෙහෙමයි. ඉන්දියාව කියන්නේ ‘Quad’ (කොඩ්) සන්ධානයේ එනම් රටවල් 4ක සන්ධානෙක කොටස්කාරයෙක්. ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව. ඒ ‘Quad’ සංවිධානය පැහැදිලිවම කියනවා “අපි චීනය කොටුකරන්න උත්සාහ කරන සංවිධානයක් කියලා”. ඉතින් චීනය කොටුකරන්න උත්සාහ කරන සංවිධානයක එක ප්‍රබල රාජ්‍යයකුත් එක්ක ආරක්ෂක ගිවිසුමකට ලංකාව ආවොත් ඒ කියන්නේ අපි ආවතේවකම් කරනවා වගේ. ඒක සමාන සම්බන්ධකමක් වෙන්නේ නෑනේ. ඒක මහා විශාල රාජ්‍යයකුයි පුංචි දූපතකුයි ආරක්ෂක ගිවිසුමක් ගහන කොට. ඒක එක පැත්තකට බර වෙච්ච එකක්. ඉතින් ලංකාව මේ මොකටද එහෙම ආරක්ෂක සම්බන්ධයකට එන්නේ, මේ ඉන්දියාව සහ අනික් රටවල් හතර චීනයට විරුද්ධව යුධමය වශයෙන් සන්ධාන ගතවෙලා තියෙන කොට. එපමණක් නෙවෙයි, ඉන්දියානු අගමැති මෝදි වොෂිංටනයේ පැවැත්වූ මේ අවුරුද්ද 2025 තුළ ඉන්දියාව ඇමරිකා එක්සත් ජනපදය සමඟ දස වසරක ආරක්ෂක උපයෝගිතා ගිවිසුමකට එළඹෙනවයි කියන එක. දැන් ඇමරිකාවේ ජනාධිපතිතුමා සහ ඇමරිකාවේ ආණ්ඩුව පැහැදිලිව කියනවා ගෝලීය වශයෙන් අපේ ප්‍රධාන හතුරා චීනය කියලා. ඉතින් එහෙම හිතන ඇමරිකාව එක්ක යුධමය වශයෙන් සන්ධාන ගතවන ඉන්දියාවත් එක්ක අපි මොකටද ආරක්ෂක ගිවිසුමක් ගහන්නේ? එහෙම ගහන කොට සිද්ධවෙන්නේ, අපේ ප්‍රබලම, අචලම මිත්‍රයෙක් වන චීනය සහ නොයෙකුත් ආධිපත්‍යවාදී බලවේග තුලනය කරන්න අපට තියෙන හොඳම ප්‍රතිධූලනය ඒ චීනයට විරුද්ධව අපි පැත්තක් ගන්නවා. අපි දැනගෙන හරි නොදැනගෙන හරි, කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි අපි ඒ පැත්තේ ඉඳ ගන්නවා. එහෙම ඈඳෙනවද එක කඳවුරකට? අපි කවදාවත්.
නොබැඳි ප්‍රතිපත්තියට පටහැනියි
අපේ නොබැඳි ප්‍රතිපත්ති කියන්නේ මොකක්ද, අපි මිලිටරි කඳවුරුවල කොටස්කාරයෙක් වෙන්නේ නෑ කියන එක. නමුත් මෙතන පැහැදිලිව එක කඳවුරක් තියෙනවා ‘Quad’ කඳවුර. ‘Quad’ කඳවුරේ සාමාජිකයෙක් එක්ක අපි ආරක්ෂක ගිවිසුමක් ගහනකොට එක පැත්තක කොටස්කාරයෙක් බවට පත් වෙලා. ඒ ‘Quad’ එකේ ප්‍රධාන ප්‍රතිමල්ලවයා අපේ හොඳම මිත්‍රයා චීනය. හොඳම මිත්‍රයාට විරුද්ධව අපි අනිත් පැත්තෙන් ඉඳගන්නේ මොකටද? චීනය අපි දිහා කොහොම බලයි ද? හැමදාමත් අපිට හිටියා අචල මිත්‍රයෙක් හැටියට. කොන්දේසි විරහිත මිත්‍රත්වයක් චීනයට තිබුණේ. ඉන්දියාව ඊට වඩා වෙනස්. කොන්දේසි විරහිතත් නෑ, සමහර අවස්ථාවලදී අපිට වුවමනාකම් තිබෙද්දී ඒවා අපිට දුන්නෙත් නෑ, සමහර අවස්ථාවලදී දුන්නා. සමහර අවස්ථාවලදී අපිට ප්‍රතිමල්ලවයෙක් හැටියට හිටපු ව්‍යාපාරවලට සහාය දුන්නා. සමහර අවස්ථාවල්දී ඒවාට විරුද්ධයි. ඉතින් එහෙම චලනයක් තියෙන රටකුත් එක්ක, මොකටද ආරක්ෂක ගිවිසුමක් ගහන්නේ ලංකාව?.
දැන් ආරක්ෂක ගිවිසුමට අමතරව තවත් ගිවිසුම් රාශියකට (ආර්ථික ගිවිසුම්) එළඹෙනවා. ඒ ගිවිසුම්වලත් තියෙනවා මූල්‍යෝපායක වැදගත්කම. දැන් එම මූල්‍යෝපායක වැදගත්කම ගැන සඳහන් කරලා ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකත්වය ඇතුළු දශක ගණනාවක් ඒ කියන්නේ අනුර කුමාර දිසානායක සහ ටිල්වින් සිල්වා ඇතුළුව ජනතා විමුක්ති පෙරමුණ දශක ගණනාවක් තිස්සේ විවේචනය කරලා තියෙනවා. ඒ අදහස් යෝජනා ඔක්කොම මතු කළේ රනිල් 2001 පළමුවතාවට අගමැති ලෙස ඡන්දෙන් තෝරා පත් කරගත් අවස්ථාවේ. එහි තමයි ඔය අපි දකුණු ඉන්දියාවත් එක්ක ඒකාග්‍ර වෙන්න ඕන, දකුණු ඉන්දියාවයි ලංකාවයි යා කරන්න ඕන කියලා විවිධ අදහස් ගෙනාවේ. ඒ අදහස්වලට ලංකාවේ ජනතාව විරුද්ධ වෙච්ච නිසා කවදාවත් එතුමාව ඡන්දෙන් පත්කළේ නෑ ලංකාවේ අද වන තුරුත්.
ජවිපෙ ඉන්දීය විරෝධී ඉතිහාස කතා
නමුත් ඒ වැඩපිළිවෙළට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ සහ අනෙකුත් දේශප්‍රේමීන්, විපක්ෂ කතා කළා. ඊළඟට ඔහුව මතුවුණා යහපාලනේ කාලේ, රනිල් වික්‍රමසිංහ අගමැති වුණා අවුරුදු 15කින් විතර කාලසීමාවකින් පස්සේ. ඒ පරණ අදහස ඒ කියන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවත් ආර්ථික වශයෙන් එක්ක එක්කරන අදහස ආපහු මතුකරලා යම් යම් ඇයි හොඳැයියාවන්ට ආවා. ඒ අවස්ථාවේදී කොටින කියනවා නම්, 2023 අගෝස්තු 18 වෙනිදා විශ්‍රාමලත් හමුදා සාමූහිකය අමතනකොට අනුර කුමාර දිසානායක මහත්තයා ඉතාම විශාල විවේචනයක් සහ නිවැරදි විවේචනයක් කළා, “මෙහෙම කළොත් අපි විදුලි රැහැන් ඉන්දියාවත් එක්ක අතුරනවනම් මන්නාරමේ ඉඳන් අපි තමිල්නාඩුවට මෙහෙම විදුලි බල සහ තෙල් නල එළනවා නම්, අපි ඒගොල්ලෝ මත රදෙන රටක් බවට පත් වෙනවා. ඕන වෙලාවක ඒගොල්ලන්ට පුළුවන් අපේ ස්විච් එක ඕෆ් කරන්න. අපිට අතපය නිදහසේ දිග අරින්න බැරි වෙනවා” කියන ඒ වාක්‍ය තමයි කිව්වේ.
දැන් 2023 අගෝස්තු මාසේ 18 වෙනිදා සිට අද දක්වා මොකක්ද සිදුවුණ මහා විශාල වෙනස. සුනාමියක් වැදුනද. මෙතන ආර්ථික කඩාවැටීමක් 2021, 2022, 2023 වෙද්දී සිදුවුන එකට වඩා තව එකක් ඇති වුණා ද 2025 වෙද්දි? ඉන්දියාවට බඩගාලා ඒ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියපු අනුර දිසානායක මහත්මයා එපැයි කියලා කියපු, ටිල්වින් සිල්වා මහත්මයා කරන්න එපැයි කියපු ඒ දේවල්ම කරන්න මොකක්ද සිද්ධ වුණ මහා විපත්තිය? දැන් ඒක කරනවා නම්, අඩුම තරමේ රනිල් වික්‍රමසිංහලාගෙන් ඒක ගැන මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්න ඕන. නෑ එහෙම දෙයක් කිව්වේ නෑ. අන්න ඒ වගේ දේවල්වලට විරුද්ධව කතා කළා ඡන්ද කැම්පේන් එකේ. එහෙම කිසිම ජනවරමකින් තොරව මේ කරන්නේ.
ලංකාව පරායත්ත රටක් වෙලා
කරුණු කාරණා ගත්තාම අපිට තේරෙනවා දැන් කැනඩාව, මෙක්සිකෝව ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ට්‍රම්ප් ජනාධිපතිතුමා දාලා තිබෙන තීරු බදු ගැන. අපිටත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා නමුත් ඒක නෙවෙයි තමුන්ගේ අසල්වැසියා කොයිවෙලේ අසල්වැසියගේ වුවමනා එපාකම් උඩ තමුන්ට විරුද්ධව යම්කිසි ආර්ථික සම්බාධකයක් පනවයි ද කියලා අපිට කියන්න බෑ. බටහිර ලෝකේ සිද්ධ වෙලා තියෙන දේ අපිට පේනවා. ඉතින් එහෙම පෙනෙද්දී ඔන්න රටවල් කියනවා එහෙනම් අපි මීට වඩා ස්වායත්ත වෙන්න ඕන, ඔහොම රැඳෙන්න හොඳ නෑ, විශේෂයෙන් අසල්වැසියො මත, නමුත් ලංකාවේ ඒකෙ අනිත් පැත්ත මේ කරන්න යන්නේ.
රටේ නායකයා විපක්ෂයේ ඉන්න කොට විරුද්ධ වෙච්ච යෝජනා ම ගිවිසුම් හැටියට දැන් ක්‍රියාත්මක කරන්න යනවා. දැන් එහෙම වුණාම අපේ ධෛර්ය මේ පුංචි දූපතේ ධෛර්ය අපි භාර දෙනවා දැන් මන්නාරමේ ඉඳලා තමිල්නාඩුවට එහෙම සම්බන්ධතා ඇති කරගත්තාම එහෙනම් තමිල්නාඩුවට භාරදෙනවා. තමිල්නාඩුව අපිට විරුද්ධ ප්‍රාන්තයක්. තමිල්නාඩුව කියනවා කච්චතිවු දූපත ආපහු ඕනෙයි කියලා. තමිල්නාඩුවෙන් මසුන් මරන්න එනවා ලංකාවේ මුහුද ආක්‍රමණය කරන්, ඒක නවත්තන්නේ නැහැ ජීවිතේට, එහෙම වුවමනාවක් නැහැ. සමහරවිට මේ ගිවිසුම අත්සන් කළාම ඕක ටිකක් අඩුකරයි ද දන්නේ නැහැ. ඒකත් අපිට නිච්චියක් නැහැ. ඉතින් ඇයි මේ ස්වායත්තව ස්වෛරීය ව තියෙන රටක්, අපේ හමුදාව ලේ වපුරලා, ජීවිත පූජා කරලා, යළි එක්සේසත් කරපු රටක්, ආපහු ඉන්දියාව මත රැඳෙන ආරක්ෂක හා ආර්ථික ගිවිසුම්වලට යන්න හදන්නේ ?
කිසිම රාජ්‍ය නායකයෙක් නොකළ දෙයක් කළා
දැන් අපිට ඉතාම පැරණි ඉතිහාසයක් තියෙනවානේ. ඒ පැරණි ඉතිහාසේ ගත්තාම එක රජ කෙනෙක්වත්, රාජ්‍ය නායකයෙක්වත් නැහැ 1948න් පස්සේ පවා කවදාවත් ඉන්දියාවේ නායකයෙකුත් එක්ක ගිවිසුමක් අත්සන් කරලා මේ ලංකා දූපත ආර්ථික වශයෙන් සහ ආරක්ෂක වශයෙන් ඉන්දියාව නතු කළේ නෑ. දැන් අවුරුදු 76කට වඩා හොඳයි කියලා කියන මේ අලුත් පාලකයා අවුරුදු 77ක් තිස්සේ කිසිම කෙනෙක් නොකරපු දෙයක් කරලා තියෙනවා. නරක අතට. ඉතින් ඇත්ත වශයෙන් ඒක ඉතාම භයානකයි. චීනය කියන තැන නොතිබුණත් ඒක භයානකයි. ලංකාව ඉන්දියාව පිහිටීම සහ අපේ සංකීර්ණ ඉතිහාසය ගත්තාම, භූ දේශපාලන පිහිටීම ගත්තාම මේක ඉතාම භයානකයි. අර්ථ ශාස්ත්‍රය කියන සම්භාව්‍ය ග්‍රන්ථයේ කෞටිල්‍ය කියපු දේට සම්පූර්ණ වෙනස් දෙයක් මේ කරන්න යන්නේ සහ චීන සාධකය මේකට ඇතුළත් කරපුවාම අපේ හොඳම හිතවත් රාජ්‍ය සහ ඇමරිකාව, ඉන්දියාව එක පැත්තකින් බැලුවොත් චීනය අනිත් පැත්තෙන් ඉන්න සමීකරණය ගත්තාම ඒක ඊටත් වඩා නරක මංසන්ධියකට තමයි අපි මේ එළඹෙන්නේ, අපි නොහිතපු පාලකයෙක් යටතේ, මේ සියලු දේවල්වලට විරුද්ධව කතා කරපු පුද්ගලයෙක් යටතේ මේ දේවල් සිද්ධ වෙන්නේ. දැන්, මනුස්සයෙක් වුණාම ඒ පෘථග්ජන මිනිස්සුන්ට වැරදි සිද්ධවෙනවා, පව් කරනවා සහ බරපතළ වැරදි ප්‍රතිපත්තිවලට යනවා. නමුත් ඒ වුණේ වැරදි කියලා නොදැනගෙන. දැන් මෙතන වැරදි කියලා නොදැනගෙන නෙවෙයිනෙ, මේ දේවල්වලට විරුද්ධව 2023, 2024 වෙනකන් කතා කරපු, තමුන්ගේ පක්ෂේ මුළු ඉතිහාසය පුරාම මේවට විරුද්ධව කතා කරපු, තමුන්ගේ ප්‍රාරම්භක නායකයෝ මේවට විරුද්ධව කතා කරපු සහ තමුන්ගේ ලේකම්තුමා මේවට විරුද්ධව කතා කරපු ආණ්ඩු පක්ෂයක් මේම කරන්නේ මේවගේ බරපතළ වැරදි නොදැනගෙන නොවෙයි. ඒක වෙන්න බෑනේ. අපිට ඒකට පැහැදිලි සාක්ෂි තියෙනවානේ. ඉතින් වැරැද්ද දැනගෙන මේක තොණ්ඩුවක් කියලා දැනගෙන තමන්ගේ මේ පුංචි දූපතේ බෙල්ලට ඒ තොණ්ඩුව බොහොම ආසාවෙන් දාලා හිර කරනවා නම්, ඒක 1815 උඩරට ගිවිසුමට නොදෙවෙනි මහා පාවා දීමක් හැටියට තමයි මම නම් සලකන්නේ.
ප්‍රශ්නය – මේකට අදාළ සාධකයත් එකතු කළාම මේක කොයිතරම් භයානක වේවිද?
අදාළ සාධකයේ භයානකකම පිළිබඳ ව වාද විවාද අවශ්‍ය නෑ. හේතුව, බීබීසී (BBC) වාර්තාවක් තිබුණා දවස් කිහිපයකට උඩදී අදානි සමාගම යළිත් වතාවක් බංගලි දේශයට පූර්ණ විදුලිබල සැපයීම ආරම්භ කරලා මාස හතරකට පස්සේ කියනවා. මොකක්ද ඒ කතාන්දරේ ? බංගලි දේශයට එහි අභ්‍යන්තර අරගල නිසා විදුලි බිල ගෙවා ගන්න බැරි වුණා. දැන් බංගලිදේශයේ විදුලිය රැඳී පවතින්නේ ඉන්දියාවේ ජාලගන් (Jalgaon) ප්‍රාන්තයේ තියෙන අදානි කොම්පැණියේ කේන්ද්‍රයයට. ඒගොල්ලෝ බංගලිදේශයට දෙන විදුලිය 50%කින් කැපුවා. ඒ කියන්නේ විදුලියෙන් 50% භාගයයි ලැබුණේ මාස හතරකට. මාස හතරෙන් පස්සේ බංගලිදේශය කොහොමහරි සල්ලි දීලා එකතු කරගෙන ගෙව්වා. දැන් ආපහු ස්විච් එක ඕන් කරලා තියෙනවා. ඒ වගේ තත්ත්වයකට තමයි ලංකාව අනවශ්‍ය විදියට දැනුවත්ව පාත්‍ර කරන්න යන්නේ මේ ආණ්ඩුවෙන්. අදානි වේවා අම්බානි වේවා මොන ඉන්දියානු ඒකාධිකාරී බලවතා වුණත් ලංකාව් එසේ නොකළ යුතු යි.
ප්‍රශ්නය – දැන් මේක කළමනාකරණය කරගන්න කොයි විදියට ද අපි වෙනස් වෙන්න ඕන?
කළමනාකරණය කරගන්න ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව හොඳට දන්න ආණ්ඩුවක්නේ, නොදන්න ආණ්ඩුවක් නෙවෙයිනේ. මේවට විරුද්ධව කතා කරලා, පෙළපාලි ගිහිල්ලා, තර්ක ගොඩනඟලා, එච්චර දෙයක් කරපු ආණ්ඩුවක්නේ. මේගොල්ලන්ට උගන්නන්න දෙයක් නෑනේ. හොඳටම දන්නවනේ මේක. දැනගෙනනේ මේවා කරන්නේ. ඉතින් දැනගෙන වරදක් කරනවා නම් ඕක කළමනාකරණය කරන්න බෑනේ. රාජ්‍ය නායකයා ඒකෙ හොඳ නරක දැනගෙන, දීර්ඝ කාලයක් තිස්සේ ඒක නරකයි කියලා දේශනා කරලා දැන් ඒකම කරනවා. ඉතින්, ඒක කළමනාකරණය කරන්න බෑ. ඒක ලංකාවේ ඉතිහාසය ගත්තාම අපිට යන්න වෙනවා, (මං මේ කතා කරන්නේ මෑත කාලීන ඉතිහාසය ගැන, ආදිකාලීන වීරයෝ ගැන නෙවෙයි. මං මේ කතා කරන්නේ 1948 න් පස්සේ) ඒ තැනට තමයි යන්න වෙන්නේ. කළ යුත්තේ කුමක්ද කියලා තේරුම් ගන්න. ඒක 1947 අවුරුද්දේ ඩී. එස් සේනානායක අගමැතිතුමා බ්‍රිතාන්‍යයයත් එක්ක ආරක්ෂක ගිවිසුමක් ගහ ගත්තා. නිදහසට ඔන්න මෙන්න තියෙද්දී. වාමාංශික පක්ෂ කිව්වා ‘මේකෙන් පේන්නේ අපි පරිපූර්ණ වශයෙන් නිදහස් නෑ. හේතුව බ්‍රිතාන්‍ය කදවුරු තියෙනවා. මේ ආරක්ෂක ගිවිසුම යටතේ ත්‍රිකුණාමලයේ, රත්මලානේ තියෙනවා”.
එතකොට 1956 බණ්ඩාරනායක මහත්මයා ඡන්දෙ ඉල්ලනකොට කිව්වා “මම මේවා වහලා දානවා”. එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක මහත්මයා බලයට ආපුවාම ඒ 47 අත්සන් කරපු ගිවිසුම ඒක ඉරලා දාලා ඒ වෙනුවට නිකන් බොහොම සැහැල්ලු (ගිවිසුමක් කියන්නත් බෑ) ආදේශකයකට ආවා. ඒකෙ යථාර්ථය අපිට තේරෙන්නේ එතුමා එකපාරට ත්‍රිකුණාමලයෙන් ඒ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ කට්ටිය එලවලා දැම්මා, රත්මලානෙනුත් එලවලා දැම්මා. කොහේටද කියනවා නම් ඒකත්, මේ ගුවන් විදුලි සංස්ථාව තිබුණා ‘Radio Ceylon’ කියලා. ‘Radio Ceylon’ එකේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති පිළිබඳව විග්‍රහ කළේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඒ මනුස්සයාවත් පන්නලා ඇත්තටම, ඒ මනුස්සයා කරපු ප්‍රොගෑම් එක 27 හැවිරිදි මගේ තාත්තට භාර දුන්නා. ඒක කළා බණ්ඩාරනායක් මහත්මයා 1956.
ඊළඟට අපි ගමු රණසිංහ ප්‍රේමදාස. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වුණාම ඉන්දියානු හමුදාව 70,000ක් හිටියා ලංකා භූමියේ. ඉන්දු – ලංකා ගිවිසුමත් තිබුණා. ඉන්දු – ලංකා ගිවිසුම එහෙන් තියෙද්දී සෙල්ලම් දාන්න යන්නේ නැතුව ආපහු යැව්වා 70,000ක ඉන්දියානු හමුදාව, ඒගොල්ලන්ට යන්න වුණෙත් ත්‍රිකුණාමලය හරහා. රංජන් විජේරත්න ගිහින් බලනවා අන්තිම නැව යනකොට. ඔක්කොමලා යැව්වා. එතකොට අපි දන්නවා මේ David Beckham බ්‍රිතාන්‍ය කොමසාරිස් ගෙදර යවපු අය. එහෙම කළේ රණසිංහ ප්‍රේමදාස.
එතකොට මහින්ද රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ බලයට එනකොට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වේලුපිල්ලේ ප්‍රභාකරනුත් එක්ක ඊලාම් සාම ගිවිසුමකට ඇවිත් තිබුණා. ඒක රැකගන්න සම සභාපතිවරු හතර දෙනෙක් හිටියා. ඒ කවුද ? එසේ මෙසේ කට්ටිය නෙවෙයි ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ජපානය සහ නෝර්වේ රට. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නෑ මේ සම සභාපතිවරුයි, ඒ සාම ගිවිසුමයි. ප්‍රභාකරන් උත්සාහ දරපුවාම යුද්ධය ආපහු පටන් ගන්න, යුද්ධය ආපහු පටන් ගත්තා. යුද්ධ කරලා පැරැද්දුවා. අන්තිම මොහොතේ ඒක නවත්තන්න කියලා බ්‍රිතාන්‍යයයේ විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන් සහ ප්‍රංශයේ විදේශ ලේකම් ආපුවාම, අපි ඔක්කොමලා දන්නවා ඩේවිඩ් මිලිබෑන් ට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මූණටම කියපු දේ. ඒක මට කිව්වේ බර්නාඩ් කෝච්නර්. ඒ කාලේ හිටපු ප්‍රංශ විදේශ ලේකම්. ඔහු මට පැරීසියේ දී කිව්වා, “ඇත්ත වශයෙන්ම මං ඕගොල්ලොන්ගේ ජනාධිපතිතුමාගේ පැත්ත තමයි අරගෙන හිටියේ, “ඒ අවස්ථාවේදී එයා කියපුදේට මම කටපියන් හිටියේ, අරයා ආරක්ෂා කරන්න ගියේ නෑ කියලා” මොකක්ද මහින්ද රාජපක්ෂ කිවෙවේ? ඉංග්‍රීසියෙන් කතාකරලා කිව්වා “මේ මිලිබෑන්ඩ් මහත්මයා, ඔබතුමා දැනගන්න ඕන අපි තවදුරටත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් නෙවෙයි” කියලා කන්න බොන්න දීලා තේ එකක් දීල එයාව යැව්වා.
දැන් මේ තත්ත්වය තුළ අපිට අවශ්‍ය වෙන්නේ, ඕනිනම් අපිට කතා කරන්න පුළුවන් වීර කැප්පෙටිපොළ, වීර පුරන්අප්පු ඒවා හුඟක් වැදගත්. නමුත් අපිට මතක 1948න් පස්සේ අපිට අත්දැකීම් තියෙනවානේ. ඉතින් එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, රණසිංහ ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ (මං තුනයි සඳහන් කරන්නේ). ඔය සමකාලීන ඉතිහාසයේ අපේ ප්‍රජාත්න්ත්‍රවාදී නායකයෝ තුන්දෙනාගෙන් අපි ඉගෙන ගෙන, ඒ තුන්දෙනාගේ ගුණාංග ලක්ෂණ සහිත, ඒ ත්‍රිත්වය නැත්නම් ත්‍රිමුර්තියේ දේශප්‍රේමිත්වය සහිත දේශපාලන නායක චරිත ඉදිරියට එන්න ඕන මේ උගුලෙන් ලංකාව ගළවාගන්න. ඇත්ත වශයෙන්ම වෙන රටක නම් ඔය වගේ මහා පරිමාණ ගිවිසුම් ගහනවා නම් ජනමත විචාරණවලට ගිහින් තමයි ජනතාවගෙන් කැමැත්ත ලබා ගන්නේ. මං හිතන්නේ මෙතන කැබිනෙට්ටුවටත් පෙන්නලා නැතුව ඇති මේකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා (මල්ල ඇතුලේ).
ඉතින් අපේ ජීවිත කාලේ, මගේ කාලේ නම් මං ඉපදුනෙත් 1955, බණ්ඩාරනායක මහත්මයා ගැන දන්නේ අපේ තාත්තාගෙන්. නමුත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ මම සේවය කරලා තියෙනවා. ඉතින් මං දන්නවා ඒ වගේ චරිත ලංකාවේ ඉඳලා තියෙනවා. ඒ ඈත අතීතයේ නෙවෙයි. ඒ දෙන්නගේ පුත්තු අද ලංකාවේ දේශපාලනේ ඉන්නවා. ඉතින් තාත්තලාගේ ආදර්ශය ගුරු කොට ගනිමින් ඔවුන් ඉස්සරහට එන්න ඕන ඒගොල්ලන්ගේ තාත්තලා කරපු දේ ආපහු ලංකාවේ කරන්න. ඒ වගේ අවශ්‍යතාවයක් තියෙනවා දැන්.
ආචාර්ය දයාන් ජයතිලක යූටියුබ් නාළිකාවකට දුන් සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි.
@ උපුටාගැනීම - midpoint.lk