SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාවේ ආරක්ෂාවට හානිදායක වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ නොදෙන බවට

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත පොරොන්දු වී තිබේ.

 

 

ඉන්දීය අග්‍රමාත්‍යවරයා සමග අද (දෙසැම්බර් 16 වැනිදා ) ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

 

"ඉන්දියාවේ ආරක්ෂාවටත්, කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් සිය භූමිය යොදා ගැනීමට ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට මා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට පොරොන්දු වුණා. සහතික වුණා." ජනාධිපතිවරයා පැවසීය.

 

ඔහු කියා සිටියේ,

"එළඹෙන් වසර ගණනාව තුළ තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට කිසිදු සැකයක් නැති ඉන්දියාව සමග ඇති සහයෝගීතාවය අඛණ්ඩව වර්ධනය කිරීම සහ පුළුල් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන බව නැවත අවධාරණය කරනවා."

 

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කළ බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

 

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මෙහිදී සිය සතුට පළ කළේය.

 

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග "සංහිඳියාව සහ ප්‍රතිසංස්කරණය"පිළිබඳව සාකච්ඡා කළ බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකා රජය දෙමළ ජාතීන්ගේ අභිලාෂයන් ඉටු කරනු ඇතැයි විශ්වාසය පළ කළේය.

 

අද්විතීය ඩිජිටල් අනන්‍යතා වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව සහයෝගයෙන් කටයුතු කරන බව ද අගමැති මෝදි මෙහිදී පැවසීය.

 

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඉන්දියාවේ ශක්තිමත් සහයෝගය ලබා දෙන බව ඉන්දීය අගමැතිවරයා සිය ප්‍රකාශයේදී අවධාරණය කළේය.

 

සාම්පූර් හි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම සහ ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව එහි ධාරිතාව තවදුරටත් වැඩි කිරීම, ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ස්වභාවික ද්‍රව ගෑස් සැපයීම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධි ධාරිතා විදුලි ජාල අන්තර් සම්බන්ධතාවයක් ස්ථාපිත කිරීම, සත්ත්ව හා වෘක්ෂලතා ඇතුළු පාරිසරික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් පෝක් සමුද්‍ර සන්ධියේ අක්වෙරළ සුළං බල ශක්තිය ඒකාබද්ධව සංවර්ධනය කිරීම වැනි කරුණු ගැනද මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර සාකච්ජා පවත්වා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

 

මේ අතර ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය හරහා වසර පහක කාලයක් තුළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු හරහා ශ්‍රී ලාංකික සිවිල් සේවකයන් 1500කට කේන්ද්‍රගත පුහුණුවක් සංවිධානය කිරීමට එකඟ වි තිබේ.

 

ඉන්දිය - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) දෙරට අතර වෙළඳ හවුල්කාරිත්වය වැඩිදියුණු කර ඇති බවත්, ඉන්දියාවේ ආර්ථික වර්ධනයේ වේගය සහ අවස්ථාවන් අවධාරණය කරමින් වෙළඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට විශාල හැකියාවක් ඇති බව දෙරටේ රාජ්‍ය නායකයින්ගේ අවධානයට යොමු වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

 

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ හවුල් ආරක්‍ෂක අවශ්‍යතා හඳුනා ගනිමින්, අන්‍යෝන්‍ය විශ්වාසය සහ විනිවිදභාවය මත පදනම් වූ නිරන්තර සංවාදයේ වැදගත්කම සහ එකිනෙකාගේ ආරක්‍ෂක අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබා දීමේ වැදගත්කම රාජ්‍ය නායකයන් දෙදෙනාම අවධාරණය කළ බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

 

ජනපති සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයින් අතර සාකච්ඡාවක්

 bus indi

 

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක නවදිල්ලි නුවර දී අද (16 වැනිදා) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය.

 

ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී විය.

 

ශ්‍රී ලංකාවේ ආයෝජනවලට ඇති හිතකර පරිසරය පහදා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස ඉන්දීය ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා පුළුල් කිරීමේ අරමුණෙන් පැවති මෙම සාකච්ඡාවේදී ඩිජිටල් ආර්ථික, සංචාරක, පුනර්ජනනීය බලශක්ති සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

 

ඒ අනුව දෙරට අතර වෙළෙඳ කටයුතු මුල්කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

 

මෙහිදී ශ්‍රී ලංකාවේ අයෝජන අවස්ථා කෙරෙහි යොමු වීමට ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් කැමැත්ත පළ කළ අතර ඒ සඳහා අවශ්‍ය ආයෝජන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා රජය එකඟ විය.

 

@BBC sinhala

නවතම ලිපි