- පාස්කු ප්‍රහාරයට ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ගේ සම්බන්ධය එෆ්.බී.අයි. වාර්තාවකින් හෙළිදරව් වෙලා තියෙනවා.
- දළදා ප්‍රදර්ශනයේ දී සිදු කළ අදූරදර්ශී වැඩ නිසා ජාතික ජන බලවේගයේ වැඩ බැරිකම පේනවා..!
- "සාංඝික දානයක් වත් දීපු මිනිහෙක් ද මේ ජනාධිපති? ගෙදර සාංඝික දානයක් දීපු කෙනෙක් ද මේ අගමැතිතුමිය?
- ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති "හොර ගිවිසුම" නිසා ශ්‍රී ලංකාවට වෙන දේ..
මහරගම නගර සභාවේ ඉදිරි මැතිවරණයෙන් එක්සත් ජනරජ පෙරමුණ ජයග්‍රහණය කර නගරයේ නව වෙනසක් ඇති කිරීමට සූදානම් බව එම පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක ඊයේ (24) පැවති ජන හමුවක දී අවධාරණය කළේය.
මහරගම නගර සභාවට පැන්සල් ලකුණින් ඉදිරිපත් වන අපේක්ෂක කණ්ඩායමේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.
එහිදී අදහස් දක්වමින් පාඨලී චම්පික හිටපු ඇමතිවරයා 2018 වසරේ දී බොරලැස්ගමුව වැව සංවර්ධනය, කොට්ටාවේ බස් නැවතුම් පොළ ඉදිකිරීම, මහරගම බස් නැවතුම් පොළ සහ ඒ අවට උද්‍යානයක් බවට පත් කිරීම, නගර මධ්‍යයේ බහුවිධ වාහන අංගනයක් ස්ථාපිත කිරීම සහ රුක්මල්ගම හා වියත්පුර නිවාස ව්‍යාපෘති හරහා මධ්‍යම පාන්තිකයන්ට නිවාස 800ක් ලබා දීම ඇතුළු ඔවුන්ගේ පාලන සමයේ සිදු කළ සංවර්ධන කටයුතු සිහිපත් කළේ ය.
තවද, මහරගම සිට කොටුව දක්වා විනාඩි 20කින් ළඟා විය හැකි කැලණිවැලි දුම්රිය මාර්ගයක් ඉහළින් ඉදිකිරීමටත්, නව නුගේගොඩක්, නව නාවින්නක් සහ නව මහරගමක් නිර්මාණය කිරීමටත් තමන් සැලසුම් කර තිබූ බව ඔහු පැවසීය.
එහෙත්, එවකට ‘බයිසිකලයට’ ඡන්දය දීමෙන් මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව ජයග්‍රහණය කිරීමත්, ජනාධිපතිවරණයෙන් එම විශිෂ්ට වැඩපිළිවෙළ නැති වී ගිය බවත් ඔහු කනගාටුවෙන් යුතු ව සඳහන් කළේ ය. මහරගම මන්ත්‍රීවරුන් ලෙස දිවුලපිටියේ අය පත්වීම විහිළුවක් බවත්, ඒ සම්බන්ධයෙන් දැමූ නඩුවේ ප්‍රතිඵලය ඔවුන්ගේ ධූර කාලය අවසන් වූ පසුව ලැබුණු බවත් ඔහු පැවසීය.
ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ විවේචනය කරමින් පාඨලී, ඔවුන්ගේ සැලසුම් "නාන ළිං හදන්න, බෝක්කු කටවල් මාරු කරන්න. පාරවල් වලට කාපට් කරන්න" යන මට්ටමේ සුළු වැඩ වලට සීමා වී ඇති බවයි. "මේ නගරය මහ නගරයක් කරන්න එක යෝජනාවක් වත් තියෙනවා ද?" යනුවෙන් ප්‍රශ්න කළ අතර, ඔවුන් ඉදිරිපත් කරන්නේ තවත් පුංචි නගරයක් සඳහා වන යෝජනා බවත්, පමුණුවේ වෙළෙඳ මධ්‍යස්ථානයක් හෝ මාකුඹුරේ සිට කොටුව දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම වැනි විශාල ව්‍යාපෘති ගැන ඔවුන් කතා නො කරන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
දළදා ප්‍රදර්ශනයේ දී ජාතික ජන බලවේගයේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් මහජනයා මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳ ව ද ජනරජ නායක පාඨලී මෙහි දී අවධානය යොමු කළේ ය.
"සාංඝික දානයක් වත් දීපු මිනිහෙක් ද මේ ජනාධිපති? ගෙදර සාංඝික දානයක් දීපු කෙනෙක් ද මේ අගමැතිතුමිය? මේගොල්ලන්ට පුළුවන් ද, දළදා මංගල්‍යය වගේ දෙයක් කරන්න?" යනුවෙන් ඔහු ප්‍රශ්න කළ අතර, එවැනි අත්දැකීම් නොමැති පිරිසක් නිසා මහනුවර "එක ම කහළ ගොඩක් එක ම අසූචි ගොඩක්, එක ම මුත්‍රා ගොඩක් බවට පත් වෙලා" යැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.
මෙය ජාතික ජන බලවේගයේ "වැඩ බැරි කම" පෙන්නුම් කරන බවත්, ඔවුන්ගේ පාලනය යටතේ වන්දනාකරුවන්ට පවා පොලිසිය හා හමුදාව යොදවා නතර කිරීමට සිදු ව ඇති බවත් ඔහු පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ පාඨලී රණවක, කාදිනල් හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි ප්‍රහාරයේ මහ මොළ කරුවන් සොයා දඬුවම් දීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව කියා සිටියේ ය. ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුගේ සම්බන්ධය පිළිබඳ ව ඇමරිකානු එෆ්බීඅයි වාර්තාවේ තොරතුරු පවා හෙළි වී ඇති නමුත්, මෙරට ආරක්ෂක ලේකම්වරයා ඒ පිළිබඳ ව කිසිවක් නො දන්නා බව පැවසීම කණගාටුදායක බව ඔහු සඳහන් කළේ ය.
"දිසානායක මහ මොළකරුවා හොයයිද? ආ මහ මොළකරුවා හොයයිද? හොයන්නේ නැහැ මිත්‍රවරුනි."
ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ද පාඨලී චම්පික රණවක අනතුරු ඇඟවූ අතර, ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති "හොර ගිවිසුම" නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බවත්, එය ජිහාඩ් කල්ලිවල ඉලක්කයක් බවට රට පත් කළ හැකි බවත් ඔහු පැවසීය.
එක්සත් ජනරජ පෙරමුණ මහරගම නගර සභාව නැවත ගොඩනැගීමටත්, එය මහ නගර සභාවක් බවට පත් කිරීමටත් විධිමත් සංවර්ධන වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බව ඔහු පැවසීය. ඒ සඳහා ඔවුන්ට ජාතික ජන බලවේගයේ මුදල් අවශ්‍ය නොවන බවත්, ඔවුන්ගේ පක්ෂයේ වෘත්තීය දැනුමක් ඇති කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් සහාය දෙන බවත් ඔහු කියා සිටියේ ය. සෑම කොට්ඨාසයකට ම ප්‍රජා සංවර්ධන කමිටු පිහිටුවා මහජන යෝජනා මත සංවර්ධන කටයුතු සිදු කරන බවත්, කසල ප්‍රශ්නයට කොළඹ මෙන් විසඳුම් ලබා දීමට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මාතෘ හා ළමා සායන වැඩිදියුණු කිරීම, වැඩිහිටියන් සඳහා නොමිලේ වෛද්‍ය පරීක්ෂණ ලබා දීම සහ ඉඩම් හා ගොඩනැගිලි අනුමැතිය ඔන්ලයින් ක්‍රමයට ලබා දීම ඇතුළු තවත් වැඩසටහන් රැසක් තම පක්ෂය සතු ව ඇති බවත්, ඒ සඳහා මැයි 6 වැනිදා පැවැත්වෙන මැතිවරණයේ දී සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවත් පාඨලී චම්පික රණවක පැවසීය.