මං බලා සිටියා
වැහි බීරුම මැදින්
ඔබ එනතුරු
සුකුමල හිනාව රැගෙන
පෙර දා වාගේ
වැහි මීදුම අතරේ
මතු වෙවී දිය වෙවී
ඔබ එනවා
හෙමි හෙමින් පා තියන්
මඩ වතුරේ
වැහි බිංදු පා කරන
සුළං රැලි වලට බෑ
කියඹු වැල් ගලවන්න
කොපුල් මත
රටාවට ඉරි ඇන්ද
වීදුරුව අස්සෙන්
යාන්තං මං දැක්කේ
ඔබේ ඇස් වල කඳුළු
වැහි බිංදු වාගේම
දිළිසෙනා අපූරුව
‘ඇයි ඔයා අඬන්නේ?’
මා ඔබෙන් ඇසුවාට
වැහි වළාකුලු පාට
කොට ගවුමේ රැලි හදන්
කාර් එකට ගොඩ වුණා.
විතරමයි ඔබ
කල්පයක් තරම් දිග
තත්පර ගෙවී ගියා
අප අතර වචනයකුදු
නොදොඩාම,
ඔබ ඉවත බලාගෙන
කාර් එකේ ජනේලෙන්
මට පුරුදු මුණිවත ම
රකිද්දී සීරුවෙන්
පොද වැස්ස නැවතුනා
අහස පැහැබර වුණා.
මදෙස හොරැහින් බලා,
නෙතු අගින් ඔබ,
ඉඟි කලා
වැහි වට බිම
තෙත බරයි තවම
කඳුළු දෙකොපුලේ
දිලිසෙමින් තාමත්
ඔබ සිනාසෙනු දකින
මා දෙනෙත්
තෙත් වෙන්නේ
කුමකටද මට සිතෙයි!
@ Asoka Handagama fb