තමන්ගේ වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ පොඩි දරුවන්ට කුප්ප කතා උගන්නන මාමලා බාප්පලා ඉන්නවා.
අපේ කාලේ එහෙම හිටිය කුප්ප මාමා තමයි රූකාන්ත. එයා අසූ අටේ පළවෙනි කැසට් එක ගහද්දි මට වයස හයයි, මගේ මස්සිනාලට පහයි, හතරයි. ඔය කැසට් එකක් නෙමේ කීපයක් අපේ මහගෙදර තිබුණා.
මාමලා ගේ ගාල්ල-කොළඹ බස් වල ප්ලේ කරපු අනිවාර්ය සංගීතේ ඕක. ඒ කාලේ නර්සරි රයිම්ස් ටුවින්කල් ටුවින්කල්, කළු බැටළුව කළු බැටළුව ලෝම තිබේද....සීන් පාඩන් කරගන්න කලින් අපිට සම්පූර්නෙම්ම කටපාඩම් වෙලා තිබ්බ සිංදු ටික තමයි තමයි බඹර පහස ! මගේ එක මස්සිනා කෙනෙක් එතකොට හික්කඩුවේ සේපාලි ආන්ටිගේ මොන්ටිසෝරියට යනවා. මිනිහා ඒකෙ ඉන්න ටීචර් ඒඩ් කෙනෙක් ගෙන් අහල තිබ්බ "බඹර පහස ලබන මලක් දෝ- ඔයා බඹර සුවය සොයන මලක් දෝ" කියල.
සේපාලි ආන්ටි අපි අඳුනන නිසා කොල්ලට මොන්ටිසෝරි තහනං කළේ නෑ. නමුත් ගෙදර සිංදුව කියන්න තහනං වුණා. ඒක "පොඩි ළමයින්ට කියන්න හොඳ නැති සිංදුවක්" කීමම ප්‍රමාණවත් වුණා අපට ඕක ආයේ නිතරම කෑගගහ කියන්න.
ඉස්සර අපේ ගෙදර ආවා මාමලාගේ යාළුවෙක්, ශාන්ත අංකල් කියල. අපේ මහගෙදර තිබ්බේ ගාලු පාර අයිනේ, කවුරු හරි එනවා නම් ඈතට හොඳට පේනවා. මම ශාන්ත අංකල් ගේ ලඟට එනකල් ඉඳලා කියන්න ගත්තා සින්දුව මිනිහට. ඒක කිව්වේ කෑගගහ නටනටා. ඒයි අන්කල් ! "බඹර පහස ලබන පොරක් දෝ- ඔයා බඹර සුවය සොයන පොරක් දෝ" කියල. මිනිහ ලජ්ජාවෙන් මිරිකි මිරිකී ගෙට ආවේ. මොකෝ පාරේ යන එන මිනිස්සුන්ටත් ඕක ඇහුණා. ඊට පස්සේ තමයි අපේ අම්මා අවුරුදු හයේ මට ඔය සින්දුවේ තේරුම කියල ප්‍රජනනය ලයිට් වගේ පාඩමක් කියල දුන්නේ. ඒකෙන් පස්සේ සින්දුව තව වැඩි වුණා. යකෝ මේක මරු සින්දුවනේ !
මම විතරක් නෙමේ, යන එන හැම තැනම "බඹර පහස ලබන මලක් දෝ- ඔයා බඹර සුවය සොයන මලක් දෝ" කියන ඇච්චො බැච්චෝ අපේ ගම්වල සෑහෙන්න හිටියා. අපි වගේ උන්ව තමා ඒ කාලේ අම්මල තාත්තල තමන්ගේ වැදගත් දරුවන්ට ආශ්‍රය කරන්න එපාය කිව්වේ.
අපේ චූටි මස්සිනා ට කවුරු හරි බැන්නම ඌ ටුපාක් ශාකුර් වගේ අත්දෙක විහිදලා "උලත් එකයි පිලත් එකයි මලත් එකයි නැතත් එකයි අපි හැමදා සොමියෙ ඉන්නවා. දෙයියෝ දනී අපි නොදනී මැරෙන දවස කවුරු කියනවා" කියල ඇක්ෂන් එකක් දානවා. අනික මිනිහ ඒකට කිව්වේ "මගේ සිංදුව" කියල. ඒක ඌ ඉස්සරහ වෙන කාටත් කියන්න බෑ. මට මතක විදියට ඌ ඒක දහම් පාසලේ සබාව වෙලාවේ කිව්වා. කිව්වා කියන්නේ මුල් පේළි දෙක කිව්වම සෙන්සර් බෝඩ් එක පැනලා ඒක නවත්ත ගත්තා.
රූකාන්ත ගේ කැසට් එකක් නිසා ඉස්සර වැදගත් පොඩි ළමයි ඉන්න ගෙවල්වලට දෙමාපියෝ අපිව එක්ක ගියේම නැති තරම්. ඒ නිසාම නොවැදගත් ළමයි විතරයි අපි එක්ක ගැවසුණේ. ඒ හැමෝම කිව්ව තනි සිංදුව "බඹර පහස". එක පාරක් රත්ගම වෙලේ තිබ්බ සංගීතෙකට රූකාන්ත ආවා. රතුපාට දිලිසෙන කෑලි කෑලි අල්ලපු අත්නැති ජැකට් එකක් ඇඳලා ඇවිත් උඩ පැන පැන කිව්වේ, බඹර පහස ! එතකොට මට වයස නමයයි.
අපිට දාහත, දහඅට වෙද්දී රූකාන්ත උඩ පනින සිංදු වලින් රොමෑන්ටික් ආස්තානයකට මාරුවෙලා, මයික් එක අත්දෙකෙන් අල්ලන් දෙපැත්තට පාවෙවී කිව්වා "මේ දිගන්තයේ-මල් වසන්තයේ", ඊට පස්සෙ "සඳ පිණිදියේ හිම කුමරියේ-ජිවිත කැලේ පිපි මල් වැලේ". රූකාන්තට එහෙම මාරු වෙන්න පුළුවන් වුණාට අපිට එහෙම මාරුවෙන්න බැරිවුණා. මේ ඉන්නේ අවුරුදු හයේදී, දාසයේ කොල්ලොන්ගෙන් "බඹර සුවය සොයනවද" කියල අහපු උන් ය කියල අපිව ලේබල් වෙලා තිබ්බේ. හරියට හිරේ ඉන්න නරකම අපරාධකාරයන්ව නළලේ මාර්ක් එකක් කොටලා එළියට දාපු යුගයේ වගේ. ඉතිං අපි හැමදාම නරක මිනිස්සු වුණා. කොටිම්ම අපට කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙන්නත් අමාරුවුනා මේ නරක නාමේ එක්ක.
මේ ඊයේ පෙරේදා රූකාන්ත ස්ටෙෆ්නි එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරද්දී ආයේ බඹර පහස කිව්වා. සිංදුව පටන් ගන්න කලින් ටුයින් ටුයින් ගාල සංගීතේ ඇහෙද්දීම මම ගියා ආයේ අවුරුදු හයේ අතීතෙට, ගාලු පාර අයිනේ මහගෙදරට. කෙල්ලෙක් පරණ කොට කලිසන් කෑල්ලකුයි ටී ෂර්ට් එකකුයි ඇඳගෙන වස ඉලන්දාරියෙක් ගෙන් අහනවා බඹර පහස ගැන. හොටු කොල්ලෙක් තමන්ගේ මොන්ටිසෝරියේ ටීචර් ඒඩ් ගෙන් අහනවා ඔයා බඹර සුවය සොයන මලක් ද කියල. අපට හතළිහයි. රූකාන්තට හැටපහක්කත් ඇති.
ඉතිං අංකල් රූකාන්ත, අපි වගේ පිරිසකුත් මේ ලෝකේ ඉන්නවා.
අපි ලොකු වුණේ නෑ, අපි ඇට්ටකුණා වුණේ.
@ නදීෂා චන්ද්‍රසේන
කේ.සංජීවගේ fb පිටුවෙන් උපුටාගැනුනි.