‘සුගත් තවත් කේක් කෑල්ලක් ගන්නෙ නැද්ද?’ දමයන්ති කීවාය.
මේ බඹා කෙටූ හැටි නවකතාවෙන් කොටසකි. ලංකාවේ ක්‍රිකට් ළඟට ජනප්‍රිය කේක් යැයි කිව හැකි ය. ඒ යුගයේත් එය එසේ විය.
කෙසේවුවත් කේක්වලට පොරකන හැටි දකින විට මට සැම විටම කැවුම් ගැන දුක හිතෙයි. ඒ නිසා කේක් තසිම වෙනුවට දමයන්ති කැවුම් තසිමක් ගෙනාවා නම් යයි සිතන්නට වූවෙමි. එහෙත් කැවුම් මෙතනට නොගැලෙපෙන බව මට සිතී වෙනත් කෑමක් ගැන සිතන්නට වූවෙමි. එවිට මට අලුවා කල්පනා විය.
කරුණාසේන ජයලත්ගේ නවකතාවල ඇත්තේ හදවතකින් හදවතකට දුව යන ආදරයේ සුන්දරත්වයයි. මෙය අධ්‍යාත්මික ආදරය යැයි ද කිව හැකි ය. අකුරු අතරින් හදවතේ ආදරය පෙරාගන්නට ජයලත් තරම් සමතෙකු ලොවෙත් බිහිවී ඇතිදැයි නොදනිමි. ඇත්නම් ඒ පුෂ්කින් පමණක් විය හැකිය. කෙසේවුවත් ඒ ආදරය කේක්, අයිස්පලම් හා ලොසින්ජර සමග ද මුසු වී ඇත.
එහෙත් මට මෙය ලියාගෙන යන අතර හදිසියේ වෙරළු මතක් විය. ගොළු හදවත නවකතාවේ සුගත්ගේ දම්මිගේ ආදරය පටන් ගන්නේ වෙරළු දීමෙනි. මේ මා කියවන බඹා කෙටූ හැටි නවකතාව එහි දෙවන කොටසයි. එහි ඇත්තේ සුගත් බීමෙන් මුදවාගැනීම උදෙසා වෙනත් අයෙකු හා විවාහ වී සිටින දම්මි දරන උත්සාහයයි. කේක් තසිම එන්නේ එහි දී ය. මෙය සංකේතාත්මක ද නොදනිමි. ජයලත්ගේ නවකතාවල ඇත්තේ ආදරය වෙරළු වල සිට කේක් දක්වා විපරිණාමය වීමේ ඛේදවාචකය ද?
කායික ප්‍රේමය ම ඔසවා තබන චිත්‍රපට, යූටියුබ්, ටෙලි රූප නැටුම් මැද ජයලත්ගේ නවකතා අපට තවමත් අපේ හදවත අතගාගැනීමේ අවස්ථාව සලසයි. ජයලත් කියන්නට නොහැකි තරම් ඉතා සියුමැලි අකුරුවලින් හදවත අතගාන්නෙකි. ඒ අකුරු වදන් එතරම් සියුමැලි නොවුණහොත් හදවතට රිදුමක් විය හැකිය. එහෙත් ජයලත්ගේ වදන් යෙදුම් හදවතට සුවයකි. එවන් නිර්මාණ මේ යුගයේ සුලබ නොවේ. ඒ සඳහා ජයලත්ගේ යුගයට ආපසු යා යුතුය.
ලංකාවේ නිල අධ්‍යාපනය තුළ ජයලත්ගේ පොත් නැත. එහෙත් නොනිල අධ්‍යාපනය තුළ ජයලත්ගේ පොත් ඇත. උගතුන් ළග නැති ආදරය සමහර විට නූගතුන් අතර හමුවීමට එය ද හේතුවක් විය හැකි ය. ජෝතිගේ ගීත ද එසේ ම ය. ප්‍රේමයෙන් මන රංජිත වේ යැයි කීව ද සරච්චන්ද්‍ර ජෝතිගේ ගීත තහනම් කළේය. නොනිල රැගුම් පාලක මණ්ඩලයක් සියලු උගතුන්ගේ හදවත් තුළ සරච්චන්ද්‍ර විසින් රෝපණය කර ඇත. ඇත්තටම ප්‍රේමයෙන් මන රංජිත වන හැටි දැනගන්නට නම් ජයලත්ගේ පොත් කියවිය යුතුය. එහෙත් සරච්චන්ද්‍ර ඒ පොත් කියවන්නට කීවේ නැත. ඒ නිසා ප්‍රේමයෙන් මන රංජිත වේ යැයි ගැයූව ද එසේ වන හැටි බොහෝ දෙනා නොදනිති. එය දැනගැනීමට ජයලත් මහතාගේ නවකතා කියවිය යුතුය. එහෙත් ජයලත් මහතාගේ නවකතා පිළිබඳ හොඳ ම නිර්චවචනය ගීයක් ලෙසින් මනමේ නවකතාවට ඇතුළත් කිරීම වෙනුවෙන් අපි හදවතින් ම සරච්චන්ද්‍ර මහතාට ස්තුතිවන්ත විය යුතු ය. ගරු කළ යුතු ය.
රයිගමයාට ගම්පොළයා හමුවීම ගැන කතාවක් ඇත. එය හදිසියේ මේ මොහොතේ මගේ හදවතේ මතු වූයේ ඊයේ පෙරේදා දෙදෙනෙකුගේ හමුවීමක් ගැන පේස්බුක් එකේ පළවූ පෝස්ටුවක් ගැන සිතිවිලි මෝරා යාමෙන් විය හැකි ය. ඉන් එක් අයෙකු කරුණාසේන ජයලත් මහතාගේ පොත් කියවා ඇත. අනික් තැනැත්තා කියවා ඇතැයි නොසිතමි. රයිගමයා හා ගම්පළයා අතර හමුවීම ද දෙදෙනෙකුගේ හමුවීමක් වීම විනා මේ දෙදෙනාගේ හමුවීම අතර වෙනත් සමානකමක් නැතැයි සිතන්නට මම කැමැත්තෙමි.