SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බොහෝ විට, "ශුභාරංචිය" යන්නෙන් අදහස් කරන්නේ ක්‍රිස්තියානි ධර්මයේ මූලික පණිවිඩයයි. ශුභාරංචිය" යන්න කිතුනු විශ්වාසය වෙතට කේන්ද්රීය වේ.

ජේසුස් වහන්සේගේ පූජාව තුළින් මනුෂ්‍යත්වය දෙවියන් වහන්සේ හා සමගි කළ හැකි බව "ශුභාරංචිය" වේ. ඒ තුලින් දෙවියන්ගේ පොරොන්දු රාජ්‍ය කරා යා හැකි බව එහි විශ්වාසයයි.

 

රනිල් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානිකයෙකි. ඒ අනුව රනිල්ගේ ශුභාරංචිය වන්නේ 2048 වර්ෂයේදී පොරොන්දු දේශය සංස්ථාපනය කල හැකි වගයි. ඔහු සැබවින්ම එසේ විශ්වාස කරමින් සිටී.

 

පසුගිය දා නිදහස ලැබූ ජූලියන් අසාන්ජ් මෙසේ පවසා ඇත:

"මාක් සකර්බර්ග් සහ මා අතර ඇති වෙනස්කම් මොනවාද? සංස්ථා පිලිබඳ පුද්ගලික තොරතුරු නොමිලේ දෙන මම අධම දුෂ්ටයෙකි. සකර්බර්ග් මුදල් සඳහා ඔබේ පෞද්ගලික තොරතුරු සමාගම්වලට ලබා දෙන අතර ඔහු වසරේ මිනිසාය."

 

ඉතා දීර්ග කාලයක් ජූලියන් අසාන්ජ් හිරභාරයේ තබා සිටියේ ඇයි? හිරභාරයේ සිටියේදී මියයාමට ලක්කිරීමට පවා උත්සාහ දැරීමේදී නූතන "මානව හිමිකම්" වලට ඔහු අදාළ නොවූයේ ඇයි?

 

"ආශාව" සඳහා සීමා පැනවිය නොයුතුය යන්න ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාවරයයි. නමුත් එසේ සීමා පැනවිය යුතු ආශාවන් ද ඇති බව ප්‍රජාතන්ත්‍රවාදය පිළිගනී. එනම් අනෙකාගේ ඍජු කැමැත්ත මත ඉටු කරගත නොහැකි අශාවන්ය (එහි උපරිමය වන්නේ මිනී මැරීමයි). නමුත් අනෙකාගේ වක්‍ර කැමැත්ත හෝ වක්‍ර අකමැත්ත ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ නොවේ (උපරිම වශයෙන් ගතහොත් වක්‍ර අකමැත්ත තිබියදී වුව ද මිනී මැරුම් සිදු කල හැකිය).

 

කිසියම් රටකට ලෝක ධනවාදයෙන් ඉවත්විය නොහැකි තත්වයක් මේ වන විට සංස්ථාපනය වී ඇත. විශේෂයෙන්ම මේ තත්වය වැඩි දියුණු වූයේ සෝවියට් සංගමය ඇතුළු සමාජවාදී රාජ්‍යයන් බිඳවැටීමෙන් පසුවයි. නමුත් ඊට පෙර ද ඒ තත්වය නොපැවතුනා නොවේ. සමාජවාදී රාජ්‍යයන් ඇතුළු සියලු රාජ්‍යයන් ලෝක ධනවාදයට අන්තර්ග්‍රහණය කරගැනීමේ මූලිකම ආයතනය ලෙස කටයුතු කරනු ලැබූයේ එකසත් ජාතීන්ගේ සංවිධානයයි.

 

ධනේශ්වර ආර්ථික ක්‍රමය යනු ශතවර්ෂ ගණනාවක් තිස්සේ වර්ධනය වූ ආයතන, ගිවිසුම් සහ සම්මුතීන්ගේ සංකීර්ණ ජාලයකි. ගෝලීය වශයෙන් රටක ධනේශ්වර පද්ධතියකට බලපෑම් කරන සහ ප්‍රවර්ධනය කරන ප්‍රධාන අංග කිහිපයක් ඇත.

World Bank, IMF, ADB, WTO, OECD යනු එවැනි සංවිධානයි.

 

  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් මූලික වශයෙන්ම සිදු කරනුයේ තම සාමාජික රටවලට ණය සහ තාක්ෂණික ආධාර සැපයීමයි. එය එසේ කරනුයේ ආර්ථික ලිබරල්කරණය සහ පෞද්ගලීකරණය ප්‍රවර්ධනය කරන කොන්දේසි සහිතවය.

 

  • ලෝක බැංකුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ නිදහස් වෙළෙඳපොළ සහ විදේශ ආයෝජන වැනි ධනේශ්වර ප්‍රවේශයන් දිරිමත් කළ හැකි සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ණය සහ ප්‍රදාන පිරිනැමීමයි.

 

  • ලෝක වෙළඳ සංවිධානය (WTO) යනු නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කරන සහ රටවල් අතර බාධක අඩු කරන ගෝලීය වෙළඳ නීති වලට අදාළ සංවිධානයකි. නමුත් මෙම නීති රීති වලින් සහන සහ වාසි සැලසෙනුයේ අපනයනය සහ විදේශ ආයෝජන මත යැපෙන ධනේශ්වර ආර්ථිකයන්ටය. එනම් ප්‍රාග්ධනමය (මූල්‍ය, දැනුම, තාක්ෂනය වැනි...) වශයෙන් බලවත් රටවලට අනුක්‍රමික වශයෙන් අනෙකුත් රටවල් මත ආධිපත්‍ය පැතිර විය හැකිය.

 

ඉහත සඳහන් කල ආයතන වලට අමතරව කලාපීය වෙළඳ ගිවිසුම් යනු සාමාජික රටවල් අතර නිදහස් වෙළඳ කලාප නිර්මාණය කරන ගිවිසුම් වන අතර ඒවා විසින් ධනේශ්වර ඒකාබද්ධතාවය තවදුරටත් වර්ධනය කරයි.

 

ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානය (OECD) විසින් නියෝජනය කරනුයේ ආර්ථික වර්ධනයට සහ නිදහස් වෙළෙඳපොළට අදාළ ප්‍රතිපත්ති ඉලක්ක බෙදා ගන්නා සංවර්ධිත රටවල් සමූහයකි. OECD හි නිර්දේශ සහ හොඳම භාවිතයන් වලට වෙනත් රටවල ධනේශ්වර ප්‍රතිසංස්කරණවලට බලපෑම් කළ හැකිය. නමුත් ඒවා එසේ කරනුයේ එම රට වල සමාගම් වල අවශ්‍යතාවය මතය.

 

ඉහත සඳහන් කල අකාරයේ ආයතන පද්ධතීන් විසින් සත්‍ය වශයෙන්ම සිදුකරනුයේ බහුජාතික සමාගම් (MNCs), අනෙකුත් විශාල පුද්ගලික සමාගම් ඇතුළු සියලු ව්‍යාපාර වලට අදාළ ජාත්‍යන්තර නෛතික ප්‍රමිතීන්, දේපල හිමිකම්, කොන්ත්‍රාත් බලාත්මක කිරීම, ආයෝජක ආරක්ෂාව වැනි සංකල්ප, ජාත්‍යන්තර නීතිය සහ නෛතික ආයතන, අනුමත කරනු ලැබීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය සහ පවත්වාගෙන යාමයි. මෙම සම්මතයන් දේශසීමා හරහා ධනේශ්වර ක්‍රියාකාරකම් සඳහා වඩාත් පුරෝකථනය කළ හැකි පරිසරයක් නිර්මාණය කරයි.

 

නිදහස් වෙලඳපොල, තරඟකාරිත්වය සහ පුද්ගල ආර්ථික නිදහස පිලිබඳ ධනේශ්වර දෘෂ්ටිවාදය මූලික වශයෙන්ම පාසල ඇතුළු අධ්‍යාපන ආයතන තුලින්, මාධ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන හරහා ප්‍රවර්ධනය කෙරේ. ලොව පුරා ආර්ථික ප්‍රතිපත්ති සකස් වන්නේ මෙම දෘෂ්ටිවාදය තුල සිටය.

 

ඉහත සඳහන් කල සියලු සංවිධාන සහ ආයතන වල ප්‍රතිපත්තීන් සකස්වනුයේ විද්‍යාත්මක ලෝක දැක්ම තුල සිටය. උදාහරණයක් ලෙස ගතහොත් ඉහත සඳහන් කල සියලු සංවිධාන සහ ආයතන (UN, IMF, World Bank, WTO, ADB ආදිය) වර්තමානයේ අනුගමනය කරනුයේ පාරිසරික ගැටළු වල හදිසිතාවය විද්‍යාත්මකව වැඩි වැඩියෙන් හඳුනාගෙන ඒවා ඔවුන්ගේ සංවර්ධන රටාවන්ට ඇතුළත් කර ගැනීමේ ප්‍රතිපත්තියයි. නමුත් අධ්‍යතන "තිරසාර සංවර්ධනය" (Sustainable Development) ප්‍රතිපත්තිය කරා ඒ සියලු සංවිධාන පැමිණ ඇත්තේ තවත් එවැනිම විද්‍යාත්මක ප්‍රතිපත්තීන් ගණනාවක් අත්හැර දමමිනි.

 

ඒවා මෙසේය:

නවීකරණ න්‍යාය (Modernization Theory) ඒවායේ ආරම්භක ස්ථාවරය විය. 20 වන සියවසේ මැද භාගයේ මෙම ඉහත සඳහන් කල සංවිධාන වල ප්‍රමුඛ න්‍යාය වූයේ ප්‍රගතිය සඳහා මාර්ගය වන්නේ කාර්මිකකරණය, යටිතල පහසුකම් සංවර්ධනය සහ ආර්ථික ලිබරල්කරණය බව අවධාරණය කිරීමයි. එකල පාරිසරික කාරණා සලකන ලද්දේ බොහෝ විට ආර්ථික වර්ධනය සාක්ෂාත් කර ගැනීම තුලින් විසඳිය හැකි, ජයගත හැකි සාධකයක් ලෙසය. මිනිසාට සියල්ල ජයගත හැකිය යන්න ධනවාදී මෙන්ම සමාජවාදී කඳවුරේ ද ස්ථාවරය විය (බුද්ධිප්‍රබෝධය මතම සංවිධානය වූ රාජ්‍යයන් වූයේ සමාජවාදී රාජ්‍යයන්ය).

 

ඉන් පසුව ධනවාදයේ ආප්තය වූයේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) කෙරෙහි අවධානය යොමුකල යුතුය යන්නයි. දළ දේශීය නිෂ්පාදිතය සංවර්ධන සාර්ථකත්වය මැනීම සඳහා ප්‍රධාන මිතිකයක් විය. ඊට අනුව කෙටි කාලීන ආර්ථික ජයග්‍රහණවලට ප්‍රමුඛත්වය දුන් ප්‍රතිපත්තිවලට මඟ පෑදිය හැකි විය යුතු අතර පාරිසරික හානීන් හෝ අර්බුධ යනුවෙන් යමක් අදාළ නොවුනි.

 

ඉන් පසුව පැමිණි අවධිය වූයේ සීමිත පාරිසරික රෙගුලාසි (Limited Environmental Regulations) අනුගමනය කල යුතුය යන ස්ථාවරයයි. සැලකිය යුතු පාරිසරික හානියක් සහිත ව්‍යාපෘති සඳහා පාරිසරික රෙගුලාසි සහ බලපෑම් තක්සේරු කිරීම් තුලින් අවම ප්‍රතිවිපාක විද්‍යාත්මකව සලකා බලා අනුමැතිය ලබා දිය යුතු බව මෙම ප්‍රතිපත්තියේ මූලිකම ස්ථාවරයයි.

 

නමුත් අනුක්‍රමික වශයෙන් ඉහත ප්‍රතිපත්තීන් තුලින් අර්බුධයන් උග්‍ර වීම තුල දැන් ඉහත සියලු සංවිධාන විසින් පිළිගනු ලබන්නේ "තිරසාර සංවර්ධනයයි" (Sustainable Development). ඒ තුල මේ වන විට පිළිගන්නා කාරණය වී ඇත්තේ අනාගත පරපුරට තම අවශ්‍යතා සපුරාලීමට ඇති හැකියාවට හානියක් නොවන පරිදි වර්තමාන අවශ්‍යතා සපුරාලීම කෙරෙහි අවධානය යොමු කල යුතුය යන්නයි. පාරිසරික හානිය දිගුකාලීන ආර්ථික වර්ධනයට බාධාවක් බව දැන් එම සංවිධාන පිළිගනියි. ඒ සියල්ල සිදුවන්නේ විද්‍යාවෙන් පවසන දේ පිළිගනිමින් සහ විද්‍යාත්මක විසඳුම් මත පදනම් වෙමිනි.

 

නමුත් පැහැදිලිව පෙනෙන කාරණය වන්නේ "තිරසාර සංවර්ධනය" නමැති ස්ථාවරය සහ මෙම ආයතන වල ආරම්භක ස්ථාවරය අතර කිසිඳු වෙනසක් සිදුව නොමැති බවය. සිදුව ඇත්තේ අර්ථකතනයන් වෙනස් වීම තුල යම් යම් ක්‍රියාමාර්ගයන්ගේ වෙනසක් පමණි. එම ක්‍රියාමාර්ග යනු මුල් ස්ථාවරය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පමණි. එනම් මෙහිදී "අත්පත් කොට ගත නොහැකි ආශාවේ වස්තුව" බවට පත්ව ඇත්තේ පාරිසරික අර්බුධයන් (රෝග ලක්ෂණය ලෙස යථ භයානක අකාරයෙන් ඉස්මතුවීම) රහිත සුසංවාදී ධනේශ්වර සමාජයක් ගොඩනගා ගැනීමයි. "ආශාවේ වස්තු හේතුව" ("Object petit a") විසින් නියෝජනය කරනුයේ ආශාවේ අත්පත් කරගත නොහැකි "වස්තුවයි". එනම්, අප දිගින් දිගටම සොයන නමුත් කිසිදා සම්පූර්ණයෙන් අල්ලාගත නොහැකි දෙයයි. එය සංකේත රටාවෙන් බැහැර වූ යථෙහි ශේෂයන් නියෝජනය කරයි. "තර්ක බුද්ධිය" මත පදනම් වන නූතන විද්‍යාව පසුපස යන ඉහත සංවිධාන ආරම්භයේ සිටම "ආශාවේ වස්තුව" (නවීකරණ න්‍යාය > දල දේශීය නිෂ්පාදිතය උපරිම කරගැනීම > සීමිත පාරිසරික රෙගුලාසි > තිරසාර සංවර්ධනය>) අත්පත් කොට ගැනීමේ උත්සාහයක නිරතව සිටි අතර කිසිදා "ආශාව" සාක්ෂාත් කොටගත නොහැක්කේ එය අත්පත් කර ගැනීමේදී ඊට අදාළ ෆැන්ටසිය සාක්ෂාත් නොවීම නිසාය (දැන් මේ වනවිට වලිකන්නේ තිරසාර සංවර්ධන ෆැන්ටසිය සාක්ෂාත් කර ගැනීම සඳහාය). ආත්මයෙහි (අධ්‍යතන ආත්මය වන්නේ විද්‍යාවේ ආත්මයයි) ක්‍රියාවන් සහ සිතුවිලි මෙහෙයවන ආශාව ඇතිවීමට සහ නොනැසී පැවතීමට හේතුව එයයි ("ආශාවේ වස්තු හේතුව" ආශාව අවුස්සන අතර එය ජීවමාන කරයි).

 

කෙතරම් මෙවැනි ප්‍රතිපත්ති සහ විසඳුම් ඉදිරිපත් කල ද විද්යාඥයන්ට මෙන්ම මෙවැනි සංවිධාන වල පුද්ගලයින් හට, සමාගම් ප්‍රධානෙන් හට, අවිඥානික වන්නේ අර්බුධයන් එන්න එන්නම උග්‍ර වන බවය. එවිට ධනාවාදය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් (දෘෂ්ටිවාදය තුල) ඔවුන්ගේ අවරෝධිත ආශාව වන්නේ අද වන විට නම් "තිරසාර සංවර්ධනයයි" (සැමවිටම ආර්ථිකවාදය තුල සිදුවන්නේ ප්‍රාග්ධන ප්‍රසාරණයට ඉඩ දීම වෙනුවෙන් අනෙක් සියල්ල අවරෝධනයට ලක්කිරීමයි). එනම්, සියලු දෙනා කෙතරම් විසඳුම් ගෙන ආව ද, ප්‍රත්පත්ති සකස් කල ද, සාක්ෂාත් නොවන්නේ ඊට අදාළ ෆැන්ටසියයි. එවිට, අනෙක් අතට, රෝග ලක්ෂණ යනු අවිඥානය තුළ මර්දනය කරන ලද ආශාවන් හෝ නොවිසඳුණු ගැටළු පවතින බව පෙන්නුම් කරන ප්‍රකාශනයන් වේ. දෙකම ආත්මයේ ආශාව සහ අවිඥානයේ ක්‍රියාකාරීත්වය සමඟ ගැඹුරින් සම්බන්ධිතය. ආත්මයෙහි "අඩුව" පිළිබඳ හැඟීම විසින් ධාවනය කරවනුයේ "ආශාවේ වස්තු හේතුව" ("object petit a") සෙවීම සඳහාය. මෙම අඩුපාඩුව සමඟ කටයුතු කිරීමේ හෝ ප්‍රකාශ කිරීමේ ආත්මයේ මාර්ගය ලෙස රෝග ලක්ෂණ දැකිය හැකිය. ඒවා ප්‍රමෝදය (jouissance) අත්විඳින මාර්ග වේ (උදා: විද්‍යාත්මක සොයාගැනීම්). රෝග ලක්ෂණ යනු බොහෝ විට ශාරීරික හෝ මානසික කඩාකප්පල් කිරීම් හරහා අවිඥානයම ප්‍රකාශ කිරීම සඳහා වන මාර්ගයකි. "ආශාවේ වස්තු හේතුව" යනු අවිඥානයේ නිෂ්පාදනයක් වන අතර, සංකේත රටාවට ඇතුළු වීමේ ක්‍රියාවලියෙන් සහ අවිඥානයේ ව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙන් ඉතිරි වන දේ නියෝජනය කරයි (සමාජ ගොඩනැංවීම් ප්‍රතික්ෂේප කල යුත්තේ එබැවිනි).

 

ඒ ඉහතින් සඳහන් කරන ලද්දේ ධනවාදය ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය සංවිධාන සහ ආයතන පද්ධතිය ක්‍රියාත්මක වන ව්‍යුහාත්මක ආකාරය සහ ඒවායේ කටයුතු කරනා පුද්ගලයින්ගේ ක්‍රියාකාරීත්වය සහ සිතුවිලි මෙහෙයවෙන්නේ කෙසේ ද යන්නයි (සංවිධාන සහ ආයතන යනු පුද්ගල එකතූන්ය).

 

එසේ නම් ගෝලීය ධනවාදයේ වර්තමාන සුජාත දේශීය නියෝජිතයා වන රනිල් විසින් ගෙන ආ සුභාරංචියේ සැබෑ අර්ථය කුමක්ද?

 

රනිල් පාර්ලිමේන්තුවට පැමිණ ඇමතිවරයෙකු වූ අවධියේ, එනම් ජේ.ආර්.ගේ පාලන සමයේ ලෝක ධනේශ්වර ප්‍රතිපත්තිය වූයේ "නවීකරණ න්‍යාය" සහ "දල දේශීය නිෂ්පාදිතය උපරිම කරගැනීමේ" ස්ථාවරයයි. නමුත් අද වන විට වෙනසකට ලක්ව ඇති ප්‍රධානතම දෙය වන්නේ පාරිසරික අර්බුධයට අදාළ ස්ථාවරය වෙනස් වීමයි. නමුත් ඒ තුල සමස්ත ධනේශ්වර ක්‍රියාවලියටම අදාළ යම් සීමාකාරී බලපෑමක් ඇත.

 

ජේ.ආර්.ගෙන් පසු ලංකාව ක්‍රමක්‍රමයෙන් ඉහතින් සඳහන් කල සංවිධාන සහ ආයතන සමග ගිවිසුම් වලට බැඳුණි. ප්‍රධාන වශයෙන්ම ණය ලබා ගැනීම සහ ආයෝජන ගෙන්වා ගැනීම එසේ වීමට හේතුවයි. ඒ අනුව මේ වන විට ලංකාව ලෝක ධනවාදය සමග ගැටගැසී අවසන්ය. එනම් එම ගිවිසුම් (වෙළඳ, ණය, පාරිසරික, මානව හිමිකම් වැනි) උල්ලංඝනය කිරීම, ණය ගෙවීම පැහැර හැරීම වැනි දෑ කල නොහැකිය. එසේ කළහොත් බරපතල ප්‍රතිවිපාක අත්විඳිමට සිදු වනු ඇත. ඒ අනුව දැන් රනිල්ට අවශ්‍යව ඇත්තේ ලෝක ධනවාදී පර්යායේ ප්‍රතිපත්තිමය ස්තාවරයන්ට අනුව තවමත් "පසුගාමී තත්වයේ" පවතින ලංකාව නවීකරණය කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස්කම් සිදු කිරීමටයි. ඔහුට අනුව මෙසේ කල යුතු බව වෙනත් කිසිවෙකුට නොවැටහේ (ඔහුට හැර එය ඔහු හා සමානව වැටහී ඇති අනෙකුත් ප්‍රධාන පිරිසක් වන්නේ ට්‍රොස්කිවාදී වාමාංශිකයින්ය). රනිල් තව වසර දෙකකට හෝ බලය ඉල්ලා සිටුනුයේ මෙම වෙනස්කම් සිදු කිරීම සඳහාය. ණය ගෙවීමේ කාලසීමාව තව වසර දෙකකින් කල්දමාගත හැකි වූයේ මෙම වෙනස්කම් සිදු කිරීම සඳහා එකම සුදුස්සා තමන් බව තම ස්වාමීන්ට පෙන්වා දීමෙන් විය හැකිය. නමුත් එම වසර දෙකින් පසුව අර්බුධය උග්‍ර වනු ඇත. රනිල්ට අනුව එම උග්‍ර වන අර්බුධය ජයගත හැක්කේ මෙම ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ තුලිනි. ඒ වත්මන් ලෝක ධනවාදී රටාවට ලංකාව අන්තර්ග්‍රහණය කිරීමෙනි. සියලු අර්තිකවාදීන්ට අනුව ප්‍රශ්නය වී ඇත්තේ හරියාකාරව එය ඉටු නොකිරීමයි.

 

අත්පත් කොට ගත යුතු තත්වය (ආශාවේ වස්තුව) වන සුසංවාදී ජොලි ගුඩ් ආතල් ලාංකීය සමාජයක් සඳහා ප්‍රධාන "අඩුව" වී ඇත්තේ ආයෝජකයින් නොපැමිණීමයි. එබැවින් ආයෝජකයින් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය, ව්‍යවස්ථාමය සහ යටිතල පහසුකම් වලට අදාළ සැලසුම් විද්‍යාත්මකව සකස් කල යුතුව ඇත.

 

මෙම තත්වය තුල ජවිපෙ සඳහා ඉදිරි මාවත් කිහිපයක් ඇත.

එනම්:

1. ජනාධිපතිවරණය සහ මැතිවරණය ජයගෙන ඉන්පසු චීනයේ පූර්ණ අනුග්‍රය ඇතිව චීන මොඩලයේ සමාජ ආර්ථික ප්‍රතිපත්තියක් කරා යාම.

2. එසේ නොමැති නම් දැවැන්ත මර්ධනයක් ගෙනියමින් දේශීය කෘෂි, නිෂ්පාදන සහ සමූපකාර ආර්ථික ප්‍රතිපත්තියක් කරා ගමන් කිරීම (මෙය ඉතා අපහසු, එනම් කල නොහැකි තරම් අපහසු කාර්යක් වී ඇත්තේ ජවිපෙ විසින්ම ගොඩනගන ලද කතිකාව හේතුවෙන් සහ 2009න් පසුව රට තුල ඇති වූ තත්වය හේතුවෙනි ).

3. රනිල්ගේ ප්‍රතිපත්තියම ඉදිරියට ගෙනයාම (නමුත් ඉන් ද බලාපොරොත්තු වන සුරපුරය උදා නොවනු ඇත).

4. ආණ්ඩු බලය ලබානොගෙන ප්‍රධාන විපක්ෂය බවට පත්වී ඉහත 2 සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය කතිකාව අලුතින් ගොඩනැගීම.

 

නමුත් ඉහත 2 සහ 4 ක්‍රියාමාර්ග හැරුණු කොට අනෙක් මාර්ග දෙක තුලම ඇත්තේ රනිල්ගේ මාවත සුසර කොට දීම පමණි.

 

@Spartacus Lipi

nalan mendis

නවතම ලිපි