SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාඨලී චම්පික රණවක විසින් රචිත ස්වයං ලිඛිත චරිතාපදානය වූ

“පටිසෝතගාමී තිස් වසක්” කෘතියේ පස්වන පරිච්ඡේදය.

 

සාම අඳුර මැද අරුණලූ

 

2001 මැතිවරණ පාරාජය අපට පමණක් නොව සමස්ත ජාතික ව්‍යාපාරයටම තියුණු ලෙස බලපෑවේය. කොළඹ නාගරික උගත් ඡන්ද දායකයා සිය සාම ව්‍යාපෘතියට යම් පමණකට දිනාගන්නට යූ.එන්.පීී යේ දැවැන්ත ප්‍රචාරක මාධ්‍යය සමත් විය. නව මාධ්‍ය යථාර්ථයේ බලය තවදුරටත් පැහැදිලි විය. එක අතකින් එය සිහළ උරුමය පරදන්නටත් සිහළ විරෝධීන් ජයග්‍රහණය  කරවන්නටත්  යොදාගෙන  තිබිණි. 

 

පසු  කලෙක  මට ඕස්ට්‍රේලියාවේ පැවැති සිංහල සමුළුවක දී හමු වූ ශ්‍රීලංකිකයෙකු අපූරු හෙළිදරව්වක් කළේය. තමන් එක්තරා බටහිර තානාපති කාර්යාලයක් සමගත් යූ.එන්.පී යේ ප්‍රචාරක මධ්‍යස්ථානය සමගත් එකට කටයුතු කළ අතර, ලංකාවේ සිංහල ජාතික බලවේග පරාජය කිරීම සඳහා නැගෙනහිර යුරෝපයේ පැරැණි කොමියුනිස්ට් ආණ්ඩු පරාජය කිරීමට මාධ්‍ය මෙහෙය වූ බි්‍රතාන්‍ය ජාතිකයෙකුගේ උපදෙස් ලැබුණු ආකාරය හෙතෙම පැහැදිලි කළේය. ඔවුන් විද්‍යූත් හා මුද්‍රිත මාධ්‍යවල අනුගමනය කරනා උපක්‍රම කීපයක් ප්‍රකාශ කළ ඔහු ඒවායින් ප්‍රවේශම් වන ලෙස කියා සිටියේය. තවත් වරක් පොලිස් ඔත්තුසේවා අංශවල ප්‍රධානියකු සිය සගයෙකු සමග මා ඇමැතිවරයෙකු වූවාට පසු හමුවිය. ප්‍රධානියාගේ සගයා මට හොඳින් දැක පුරුදු මුහුණක් විය. පසුව ඔහු මට කීවේ තමන් ත්‍රස්ත විරොධී ජාතික ව්‍යාපාරය, සිංහල වීර විදහන හා සිහළ උරුමයට එක් වී සිටි බවයි. එම සංවිධාන ඇතුළතින් බිඳ දැමීම සඳහා කුඩා අර්බුද මහා අර්බුද බවට ඔවුන් පෙරළු ආකාරය ඔහු පැහැදිලි කර දුන්නේය. වරක් වීර විදහන කාර්යාලයේ සේවය කළ අයෙකුගේ මළ ගෙදරට ගියකල අපට දැනගන්නට ලැබුණේ ඔහු ජාතික ඔත්තු සේවාවේ නිලධාරියෙකු බවයæ සංවිධාන අතර, මතුවන කුඩා අර්බුද ඒවා විසිර යවන මහා අර්බුද බවට පත්වන, පත්කරන ආකාරය අපට වැටහුණේ බොහෝ දේ සිදුවීමෙන් පසුව ය.

 

මැතිවරණ පරාජයෙන් පසු අප අතර අර්බුද ඇතිවිය. බොහෝ දෙනෙකුට තේරුම්ගත නොහැකිවූයේ වසර 2000 මහා මැතිවරණයට සාපේක්ෂව ඉතා හොඳ පූර්ණ කාලීන ජාලයක්, සංවිධානාත්මක මැතිවරණ ව්‍යාපාරයක් කැපී පෙනෙනා අලූත් මුහුණු ආදිය ඉදිරිපත් කළ ද අපේ ඡන්ද ප්‍රමාණය අඩකින් අඩු වූයේ කෙසේ ද යන්නය. ජාලයට වඩා මාධ්‍ය මගින් ඇතිවන මතවාදයේ බලවත්කම නැවත ඔප්පු විය. වසර 2006 දී “ගම ජවිපෙට” සටන් පාඨය යටතේ ජ.වි.පෙ ලබාගත් ඡන්ද ප්‍රමාණය වසර 2009 දී අඩකින් නොව බොහෝ ස්ථානවල 1/5 දක්වා අඩුවූයේ ද මේ නිසාමය. විමල් වීරවංශ - නන්දන ගුණතිලක මහත්වරුන්ගේ ඉවත්වීමෙන් ජ.වි.පෙ පූර්ණකාලීන ජාලයට විශාල හානියක් නොවුව ද මතවාදී තලයේ මාධ්‍ය යථාර්ථයේ ඇති වූ කඩාවැටීම අති විශාල විය. ඉදිරි කාලවල දී කැපවී කරනා ජාලගත දේශපාලනය වෙනුවට මාධ්‍ය මගින් සහ වෙනත් ආකාරවලින් සිදු කරන බලය ප්‍රදර්ශනය කිරීමේ ප්‍රදර්ශකයින් ජයග්‍රහණය කිරීමේ ඉඩකඩ බොහෝ දුරට වැඩි බව තේරුම්ගත යුතු කරුණකි. මේ යථාව තේරුම්ගැනීම වෙනුවට අප පක්ෂය තුළ සිදු වූයේ අපේ දෙවැනි පෙළ කැපවුණු නායකයින් අතර, මතයක් ඇතිවූයේ පළමු පෙළ සිටි නායකයින් (මාද ඇතුළුව) නිවැරදි උපායන් හා කැපවීම් සිදු නොකරන නිසා මේ පරාජයන් අත්වන බවටය. ඔවුන් බොහෝ දෙනෙක් වෙන වෙනත් සංවිධාන ඇති කරගැනීම සඳහා යොමු වූහ. මුල් කාලයේදී අප වෙනුවෙන් බොහෝ කැපවීම් කළ සුජිත් අක්කරවත්ත එයින් එක් අයෙක් විය. ඔහු අපෙන් වෙන්වී ගියේය. තවත් බොහෝ දෙනා ද ඒ ලෙස වෙන්වී ගිය අතර, ඒ බොහෝ දෙනෙක් අවසානයේ යූ.එන්.පීයේ ව්‍යාපාරිකයන් අතර නතර විය.

 

මේ අතර, අප සමග එක්වූ වැඩිහිටි ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන් ආදීන් ද අකර්මන්‍ය වූවා හෝ වෙනත් පක්ෂවලට එක්වීම සිදුවිය. භික්ෂූන් වහන්සේලා ද වෙන වෙනත් සංවිධාන සමග ක්‍රියාකරන්නට වූහ.

 

මේ ඉතාමත් දුෂ්කර සමය තුළ චරිත කිහිපයක් ජාතික ව්‍යාපාරය සඳහා කැපවීමෙන් එක්වූහ. එයට නායකත්වය දීමට නිරායාසයෙන්ම මතු වී ආහ. එහිදී කලක සිට විවිධ මට්ටමෙන් අප සමග සිටි උදය ගම්මන්පිල, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ හා එච්.එම්.ජී.බී. කොටකදෙණිය මහත්වරු කැපී පෙනුනහ. ඔවුන් සිංහල ජාතික ව්‍යාපාරයට කැපවීමට තීරණය කළේ එය එහි දුෂ්කරම අවධියට වැටී අනාගතයක් නොපෙනෙන තත්ත්වයට පත්වී පැරැණි නායකයින් බොහෝ දෙනෙක් එය අත්හැර ගිය අවස්ථාවේදීය. පසුව ඔවුන් සියලූදෙනාම ජාතික නායකයින් බවට පත්වූහ.

 

අත්නොහැර අපේ අරගලය පෙරට ගෙනයා යුතු බවට අප අතර, ආත්මීය එකඟතාවයක් ඇතිවිය. එයට හේතූ දෙකක් විය. එකක් නම් සිය පවුල් ජීවිත, ආර්ථීක සවිය, සමාජ තත්ත්වයන් මේ සියල්ල ජාතියේ නිදහස වෙනුවෙන් කැපකළ දහස් ගණනක් මිනිසුන් හා ගැහැනුන්ගේ ජීවිතවල වගකීම අප මත රැඳී තිබීමය. දෙවැන්න වඩා වැදගත් විය. අප සටන් කළේ යම් අරමුණක් සඳහා ද ඒ අරමුණ අන්කවරදාටත් වඩා අවශ්‍ය වාතාවරණයක් රටේ ගොඩනැගී තිබීමය. ප්‍රභාකරන් මහා පිම්මක් ඉදිරියට පණිමින් සිටියේය. එය ආපසු හැරවිය නොහැකි දීර්ඝ ඉදිරි පිම්මක් වීම වැළැක්වීම අපේ අභියෝගය විය.

 

ප්‍රභාකරන් ඊනියා සාම ගිවිසුමකට 2002 දී ගමන් කළේ ඔය අතරය. ඔහු එවැන්නකට ආවේ කරුණු කීපයක් නිසාය. එකක් නම් යුදමය හේතූන්ය. 1995 සිට රිවිරැස, ජයසිකුරු ආදී මෙහෙයුම්වලට මුහුණ දීමෙන් කොටි සංවිධානයේ 12,000ක් පමණ මියගොස් තිබිණි. මේ නිසා නව පිරිස් බඳවාගැනීමත් ඔවුනට මනා පුහුණුවක් ලබාදීමත්, ඔවුනගේ යුද අවශ්‍යතාවයක් විය. එමෙන්ම ගරිල්ලා ව්‍යාපාරයක සිට යුද, ගුවන්, නාවික සම්ප්‍රදායික හමුදාවක් බවට පත්වීමේ යුද අවශ්‍යතාවය ද ඔහුට විය. ඒ සඳහා අවශ්‍ය යුද උපකරණ සහ සංවිධාන ව්‍යුහය ගොඩනැ`ගීම දෙවැනි ඉලක්කය විය. ඒ අතර, යම් දිනෙක ලංකාවම අල්ලා ගැනීම සඳහා පුද්ගලයින්, උපකරණ රටපුරා ස්ථානගත කිරීම ද උතුරු හා නැගෙනහිර දෙපළාත සහමුලින් යටත්කර ගැනීම සඳහා වූ යුද මූලෝපායන් සැකසීමද, ඉන්දියාව ආදී රටවල් පවා බියගැන්වීම සඳහා රසායනික හෝ හැකිනම් න්‍යෂ්ඨික අවි පවා ලබාගැනීම ද ඔහුගේ ඉලක්කය විය. ප්‍රභාකරන්ට දේශපාලනික අවශ්‍යතාවයන් ද විය. මූලිකම කරුණ වූයේ 1999-2000 වසරවල වන්නි - අලිමංකඩ යුද පෙරමුණේ ඔහු ලැබූ ජයග්‍රහණයන් දේශපාලන ජයග්‍රහණයන් කරගැනීමය. ඊශ්‍රායලයේ යුද වීරයා වූ මොෂේ දයාන් විසින්, රචිත ස්වයං චරිතාපදානය කියවීමෙන් මා ලද මූලිකම දැනුම වූයේ යුද ජයග්‍රහණ දේශපාලන ජයග්‍රහණ කිරීමට කෙතරම් අපහසු ද යන්නය. සිනායි (1959) දින හයේ යුද්ධය (1967), යොම් කිපුර් සටන (1973) ආදී සටන්වල දී ඊශ්‍රායලේ හමුදා ලබාගත්, ලොව මවිත කරවූ යුද ජයග්‍රහණ දේශපාලන ජයග්‍රහණ කරගෙන ජාතික හා ජාත්‍යන්තර ලෙස අල්ලාගත් ප්‍රදේශ ඊශ්‍රායෙල් රාජ්‍යයේ කොටස් ලෙස පිළිගැනීමට ලක්කර ගැනීමට ඇති වූ අපහසුතාවය එයින් මොෂේ දයාන් මනාව පැහැදිලි කර ඇත. නමුත් ප්‍රභාකරන් සිය නොර්වේ උපදේශකයින්ගේ උපදෙස් මත වසර 03ක් යන්නට මත්තෙන් සිය යුද ජයග්‍රහණ දේශපාලන විජයග්‍රහණ කරගත්තේය. 1995 චන්ද්‍රිකා සමග ඇතිකරගත් සටන් විරාමයට වඩා ඉදිරියට ගොස් සිය බලහත්කාරී ප්‍රදේශ නෛතික ප්‍රදේශ බවට ජාතික හා ජාත්‍යන්තරව පිළිගැනීමකට ලක්කර ගත්තේය. ඒ අතර, නිල වශයෙන්ම විදේශ රටවලට ඔහුට උපකාර කරගත හැකි ආකාරයන් තනා ගත්තේය. වරක් තිලක් කරුණාරත්න මහතා හා මම ජපාන නියෝජිතයන් හමු වූ විට ඔවුන් විසින්, කොටින්ගේ ඊනියා සාම මහ ලේකම් කාර්යාලය ගොඩනැගීමට අරමුදල් ලබාදීම ගැන ප්‍රශ්න කර එය යුද අපරාධයක් ලෙස පෙන්වා දිනිමු. ජපනුන් ඒ පිළිබඳව කීවේ ශ්‍රීලංකා රජයේ අනු දැනුම ඇතිව එය කළ බවත්, තවත් බොහෝ රටවල් එලෙස ක්‍රියාකරනා බවත්ය. පසුව හෙළි වූ අයුරු මුහුදු උමං, සබ්මැරීන, ටෝපිඩෝ, ගුවන් යානා, ගුවන් පථ, මිසයිල ආදී උපකරණවල සිට උමං මාලිගා දක්වා බොහෝ දේ විදේශ රටවල් ඒ දිනවල ගොඩන`ගා දුන් ඒවා බව හෙළි විය. දේශප්‍රේමී රේගු නිලධාරියෙකු මා හට ලබාදුන් ඔත්තුවක් නිසා ඔරුගොඩවත්තේ කන්ටේනරයක රඳවා තිබූ සැහැල්ලූ ගුවන්යානා දෙකක් අත්අඩංගුවට ගන්නට ද ආණ්ඩුවට හැකියාව ලැබිණි. සුනාමියට මුවාවී ද සැලකිය යුතු විදේශ සහායක් කොටින්ට ගලා ආවේය. මුල් කාලයේ දී පේරාදෙණිය හා මොරටු විශ්ව විද්‍යාලවල ඉංජිනේරූ පීඨවල සිටි දෙමළ මහාචාර්යවරුන් හා ඉංජිනේරුවන් කීපදෙනෙකු කළ යම් යම් නිර්මාණ වෙනුවට ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහාය ලංකා ආණ්ඩුව හරහාම කොටින්ට ලැඛෙන්නට විය. අනෙක් අතින් අල්කයිදා 9/11 ප්‍රහාරය නිසා ලොව පුරා ඇතිව තිබූ ත්‍රස්ත විරෝධී ගෝලීය සංග්‍රාමයෙන් ගැලවී ගන්නට ද මේ ගිවිසුම නිසා කොටින්ට හැකි විය. නැගෙනහිර ආසියාවේ අල්කයිදා ජාලය එක්සත් ජනපද ඔත්තුසේවාවලට පාවාදීමෙන් කොටි බටහිර සමග හොඳ හිත තනාගත්තෝය. කොටි හා අල්කයිදා ජාලය අතර, ඇතිවූ තාක්ෂණික හා වෙනත් ගනුදෙනු පිළිබඳ විස්තරාත්මක සටහනක් මුලින්ම සිංහල පාඨකයාට ඉදිරිපත් කළේ අල්කයිදා අල්ජිහාද් කෘතියෙන් මා විසිනි. පසුව කොටි එක්සත් ජනපද ඔත්තුසේවාව විනිවිද යන්නට ද නැගෙනහිර ආසියාව හා උතුරු අප්‍රිකාව අතර, කෙරුණු න්‍යෂ්ඨික ජාලයට රිංගන්නට ද උත්සාහ කළ අතර, අන්න එතැනදී එක්සත් ජනපදය බියට පත්වී ශ්‍රී ලංකා රජයට කොටින්ගේ නාවික ජාලය පිළිබඳ වැදගත් තොරතුරු ලබාදුන්නේය. එක්සත් ජනපදය කොටින්ට එලෙස පොඩි පාඩමක් ඉගැන්වීමෙන් පසු අවසන් මොහොතේ එය ගලවාගන්නට ද ක්‍රියා කළේය. කුමාරන් පත්මනාදන් අත්අඩංගුවට පත්වන විට ඔහු බටහිර ඔත්තුසේවාවල රැකවරණය යටතේ සිටි බවට ඇතැම් බටහිර ජනමාධ්‍යන්ම වාර්තා කර තිබීමෙන් මේ සබඳතාවයන් වඩාත් පැහැදිලි විය.

 

ප්‍රභාකරන් කරන්න යන දෙය පැහැදිලි වූවත් රනිල් කරන්නට යන දෙය මුලදී අපට වැටහුණේ නැත. අන්තර් ජාතික සාම සම සභාපතිවරුන්ගේ එකතුවක් ඇතිකළ අතර එහි ඉන්දියාව සිටියේ නැත. එය අන්තර්ජාතික ආරක්ෂක දැලක් ලෙස රනිල් ප්‍රකාශ කළ අතර, ප්‍රභාකරන් සාම ක්‍රියාදාමයෙන් ඉවත්වීමෙන් පසු (2003 අප්‍රියෙල්) එකී ආරක්ෂක දැල ප්‍රභාකරන් යළි සාමයට ගෙන එන්නට කිසිවක් සිදුකළේ ද නැත. අනෙක් අතින් ඉන්දියාවට ගිය රනිල් ලංකාව ඉන්දියාවේ දකුණු නිදහස් වෙළෙඳ කලාපයේ අඛණ්ඩ කොටසක් එනම් වෙළෙඳ ප්‍රාන්තයක් කරගන්නා ලෙස ඉල්ලා සිටියේය.

 

1999 වසරේදී ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දූල් කලාම් විසින්, රචිත ඉන්දියාවේ අනාගතය ගැන වූ කදිම කෘතියක් කියවීමි. එහිදී පකිස්තානු හා චීන මිසයිල පද්ධතිවලින් ආරක්ෂා වූ මිලිටරි අගනුවරක් (බැංගලෝරය) හා ඉංග්‍රීසි බස හොඳින් දත්, හින්දු සංස්කෘතිය ද ස්ථාපිත නොවූ දකුණේ ප්‍රාන්ත එකම වෙළෙඳ කලාපයක් කිරීමක් ගැනත් (චීනය ෂැංහයි බිහිකළා සේ) කතාකර තිබිණි. සේතූ සමුද්‍රම් ඇළ ඉන්දියාවේ බටහිර හා නැගෙනහිර නාවික කලාප එක්කරනා යුදමය මාවතක් වූ අතර, මන්නාරමේ සිට ත්‍රීමලය හා මාතර යාවෙන ආසියානු අධිවේගී මාර්ග ජාලය ඉන්දියානු වෙළෙඳ පොළ ලංකාවට ව්‍යාප්ත කිරීමේ මගක් විය. රනිල් එකවර ඉන්දියාවේ වාණිජ පරමාර්ථ හා බටහිර ලෝකයේ දේශපාලන පරමාර්ථ ඉටුකරන්නේ කෙසේද කියා විමතියක් මා හට පහළ විය. ඉස්ලාම් මූලධර්මවාදය හා චීනයේ ආර්ථීක ව්‍යාප්තවාදය පාලනය කිරීමට ඉන්දියාව බටහිරට අත්‍යවශ්‍ය දේශපාලන- යුදමය පදනමක් වුවත් ආර්ථීක අතින් වැඩෙනා ඉන්දියාව තවදුරටත් තමන්ට රුචි ලෙස පාලනය කළ නොහැකි බව බටහිර හොඳින් දැන සිටියේය. චීනයේ හා ඉන්දියාවේ ගුවන්, සාගර ව්‍යාප්තිය පාලනය කිරීම හා තොරතුරු ලබාගැනීම සඳහා ලංකාව බටහිර ලෝකයට විශේෂයෙන් එක්සත් ජනපදයට අත්‍යවශ්‍ය වුවත් ඉන්දියාව එයට කැමතිවනු ඇතැයි මට පිළිගත නොහැකි විය. දිල්ලියේ පර්නැන්ඩස්ගේ ආරක්ෂක අමාත්‍යාංශය හා මිස්රාගේ අගමැති කාර්යාලය අතර, රනිල්ට කුමන සබඳතා තිබුණ ද ඉන්දීය ස්වාධිපත්‍යය ප්‍රශ්න කෙරෙනා තැනට ලංකාවේ සාම ක්‍රියාදාමය පත්වූ දාට රනිල්ගේ මේ විජ්ජා දැක්ම අවසන් වන බව අපි වටහා ගතිමු. ඉන්දීය නාවුක හමුදාපති විෂ්ණු භගවාන් පළමු වෙඩිල්ල පත්තු කළේය. ජෝර්ඩ් පර්නැන්ඩස් ඉන්දීය ආරක්ෂක ඇමැති ඉන්දීය නාවික හමුදාව අල්ලාගත් කොටි නැව නිදහස් කරන ලෙස කළ නියෝගය විෂ්ණු භගවාන් නොතකා හැරියේය. වරක් අපි ඉන්දීය මහ කොමසාරිස් නිරූපම් සෙන් (2003) හමු වූ විට ඔහු කීවේද ප්‍රභාකරන් සම්ප්‍රදායික හමුදාවක් හා විකල්ප රාජ්‍යයක් සාමයට මුවා වී ගොඩනැගීම ගැන ඉන්දියාව සීරුවෙන් සිටිනා බවය. ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ වීදුරුවලින් ලංකාවේ බටහිර මුහුදු තීරය පෙන්වූ සෙන් මුහුදු ප්‍රහාරයකින් තම තානාපති කාර්යාලය පවා විනාශ කිරීමට ඔවුනට හැකියාව ලැබී ඇතැයි බිය පළකළේය.

 

රනිල්ට වැඩිකලක් කඹයේ යන්නට බැරිබව අප සියල්ලන්ට පැහැදිලි විය.

 

නිරූපම් සෙන් හමුවන්නට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ගිය අපේ නියෝජිත පිරිසේ බොහෝ දෙනෙක් වෘත්තීය ඉංජිනේරු හෝ විද්‍යාඥයෝ වූහ. අපේ වෘත්තීය පසුබිම විමසීමෙන් පසු ඔහු අපූරු දෙයක් කීවේය. එනම් ඔහු ලංකාවට පැමිණි අවස්ථාවේදී මහ කොමසාරිස් කාර්යාලය නිතර තොරතුරු ලබාගන්නා කොළඹ විශ්ව විද්‍යාලයේ කුප්‍රකට මහාචාර්යවරයෙකුගෙන් සිහළ උරුමය ගැන විමසු විට එහි සිටින්නේ නූගත් රස්තියාදුකාරයින් පිරිසක් බවත්, ඉන්දියානුවන් හා දෙමළුන් මැරීම ඔවුනගේ එකම පරමාර්ථය බවත් ප්‍රකාශ කළ බවයි. ඉන්දීය මහකොමසාරීස් කාර්යාලය සිය කොක්ටේල් සාදවලට ආරාධනා කරනා සීමා සහිත පිරිස මතින් ලංකාව දැකීමේ බරපතලකම තමාට දැන් අවබෝධ වූ බව ද හෙතෙම කීවේය.

 

ලංකාවේ සිංහල ජාතික ව්‍යාපාරය ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය වැනි මාධ්‍යමික උගතුන්ගේ ව්‍යාපාරයක් ලෙස ඔහු හඳුනාගෙන තිබිණි. ඉන්දියාව නිතරම දෙමළ හා සුළු ජාතීන්ගේ ආරක්ෂකයා ලෙස පෙනී නොසිට සිංහලයින් ද තම මිතුරන් ලෙස සලකන ලෙස අපි ඉල්ලා සිටියෙමු.

 

1989 සිට ඉන්දියාව ජවිපෙ සමග කිට්ටු සබඳතා ගොඩනගාගෙන තිබුණේය. කවුරුත් නොදන්නවා වුවද වර්ධරාජාගේ ආණ්ඩුවට ලැබුණු ඇතැම් ඉන්දීය අවි තොග ජ.වි.පෙට ද 1989 අගභාගයේ දී ලැබිණි. ඒ වනවිට ජ.වි.පෙ සිටියේ බිඳී විසිරී යමිනි. ජ.වි.පෙ ඉතුරු බිතුරු වූ නායකයින් පණ බේරාගත්තේ ඉන්දියාවේ රැකවරණ මත ඉන්දියාවට පැන ගැනීමෙනි. ඒ ඉන්දියානු පොළොවේ සිට ඉන්දියානු ව්‍යාප්තවාදය පරාජය කරන්නට නම් නොවේ. 2004 මහා මැතිවරණයට සියරට පැමිණි ජ.වි.පෙ නායක අමරසිංහ මහතා කළුතර දී කළ පළමු කතාවේ දී පළමුවෙන්ම ස්තූති කළේ තම පණබේරා දුන් ඉන්දියාවටය. ඉන්දියාවට පක්ෂ වීමේ චෝදනාව මත ඔවුන් විසින්, මරාදැමූ වාමාංශික නායකයින් මිනීවළවල් සිට වුව දත්කූරූ කන්නට, ඉන්දියාවට එරෙහිව සටනට යවා ඝාතනයට ලක්වූ ජවිපෙ සාමාජිකයන්ගේ ආත්මයන් දෙකඩ කරන්නට ඒ ස්වයං විවේචනය සමත් විය.

 

කෙසේ වෙතත් නිරූපම් සෙන් මහතා සිංහල දේශපාලනය සමග ද විවෘතව ගනුදෙනු කරන්නට පැමිණි ප්‍රථම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයා විය. එය ඉන්දියාව ලංකාව කෙරේ තැබූ නිවැරදි පියවරක් විය. සිය කොක්ටේල්වලට එන සීමා සහිත පිරිස විසින්, ලංකාව පිළිබඳ චිත්‍ර මවාගන්නා බටහිර තානාපති අංශවලට පවා මෙය කදිම ආදර්ශයකි.

 

ප්‍රභාකරන්ගේ චිරප්‍රසිද්ධ 2002 අප්‍රියෙල් දින මල්ලාවි මාධ්‍ය සාකච්ඡාව වනවිට උදය ගම්මන්පිලත්, මමත්, වවුනියාවේ සිටියෙමු. නාවික හමුදා ඔත්තුසේවා නිලධාරීයෙකු සමග දිවා ආහාර ගනිමින් එහි ඇති තත්ත්වය විග්‍රහ කරගත්තෙමු. පසුදින ත්‍රීමලයට ගිය අපට යුද හමුදා ඉහළ නිලධාරියෙකු කීවේ  කොටි  පෙරදින  කාලතුවක්කු  කීපයක්  සාම්පූර්  වෙරුගල්  දෙසට තඹලගමුව හරහා ගෙනගිය බවය. දැන් ඉතින් තී්‍රමල වරාය රැකගැනීම ඉතාම අපහසු කටයුත්තක් බව ඔහු ප්‍රකාශ කර සිටියේය. රනිල්ට මේ පිළිබඳව ඒ දිනවල එක්සත් ජනපද යුද නිලධාරීන් පිරිසක් ද ත්‍රීමලයේ සංචාරයකින් පසු ප්‍රකාශ කළ බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. අපි තිගැස්සුනෙමු. දෙමළ ඊළම අත්හැරියොත් තමනට වෙඩි තබනා ලෙස සිය සගයින්ට ප්‍රභාකරන් මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ නිකමටම නොවේ යැයි අපි තේරුම් ගතිමු.

 

ත්‍රීමල වරාය හා නගරය කොටුවන සේ කොටි කඳවුරු ජාලයක්ද, නැවත පදිංචි කිරීම් යටතේ ජයලත් ජයවර්ධනගේ ආධාරවලින් නිවාස ජාලයක් ද (පසුව සුනාමිය යටතේ නිවාස සංකීර්ණ ජාලයක් ද) බර අවි සථානගත කිරීමක් ද සිදුවෙමින් තිබිණි. ඓතිහාසික විල්ගම්වෙහෙර ජනයාට අවුරුදු නෑගම් (2003 අප්‍රියෙල්) රැගෙන ගිය අපි දුටුවේ එයට නුදුරින් ගොඩනැගෙනා කොටින්ගේ දැවැන්ත කඳවුරු ජාලයයි. ත්‍රීමලය වටකර හබරණ-ත්‍රීමලය ගොඩබිම් ප්‍රධාන සැපයුම් මාර්ගයත්, ත්‍රීමලය- කන්කසන්තුරේ නාවික සැපයුම් ජාලයත් එකවර අල්ලාගැනීමේ කොටි උපාය මැනවින් පෙනිණි. එමගින් යාපනය කොටුකර යටත්කර අවසන් යටත්වීමේ ගිවිසුම ඇතිකර ගැනීම කොටින්ගේ යුද මූලෝපායික සැලැස්මේ මුල් අදියර විය. රනිල් කිසිවක් කරකියාගත නොහැකිව ක්‍රියාකරමින් සිටියේ එයට තවතවත් ඉඩදෙන ලෙසය. යූ.එන්.පීයම ඇතිකරගෙන තිබූ සාම ඝෝෂාවෙන් ඔවුන් වැසී යමින් සිටියෝය.

 

ප්‍රභාකරන් හදිසි ප්‍රහාරයකට සූදානම් වන බව ඉව වැටීමෙන් පසු රනිල් කළේ එක්සත් ජාතීන්ගේ හමුදාවක් ගෙන්වා ගැනීමේ හැකියාව සොයා බැලීමය. එක්සත් ජනපදය ඇෆ්ගනිස්තානයෙන් නතර නොවී ශ්‍රී ලංකාවට ද ගොඩබැසීමට යන බව ඉන්දියාවට ප්‍රථමවරට වැටහුණේ එවිටය.

 

රනිල් ගිවිසුම අත්සන් කළ පෙබරවාරී 22 දා එයට එරෙහිව පිටකොටුවේ පැවැත්වූ සිහළ උරුමය පෙළපාළියට සිටියේ අපි කීප දෙනෙකු පමණි. වැඩිහිටි හිමිවරුන්ගෙන් වැඩම කර සිටියේ රන්පත්විල විමලරතන නායක හාමුදුරුවන් පමණි. ආපසු සිහළ උරුමය කාර්යාලයට පැමිණි විට අගමැති කාර්යාලයෙන් ෆැක්ස් පණිවුඩයක් ලෙස රනිල් - ප්‍රභා ගිවිසුම ලැබී තිබිණි. එය රනිල්ගේ කාර්යාලයේ සිටි දේශමාමකයෙකුගේ වැඩකි. පසුව අගමැති රනිල්ම එය නිල වශයෙන්ම අපිට එව්වේය. ඒ පිළිබඳව අරලිය ගහ මන්දිරයේදී සාකච්ඡාවකට ද ඉඩකඩ ලබාදුන්නේය. පසුව මා ඇමතූ අගමැති කාර්යාලයේ හිතවතා කීවේ ජෝන් වෙස්ට්බර්ග් ලංකා ආණ්ඩුව නොමග යැවූ බවය. 1995 චන්ද්‍රිකාගේ ගිවිසුමට සමාන දළ ගිවිසුමක පිටපතක් (Draft) වන්නියට රැගෙන ගිය වෙස්ට්බර්ග් එයට ප්‍රභාකරන්ගේ අත්සන ගෙන ඇති අතර, දැන් අගමැති රනිල්ටත් එය අත්සන් කෙරීමට බලකෙරී ඇති බවය. මෙහි ඇත්ත නැත්ත නොදනිමි. නමුත් වෙස්ට්බර්ග් පසුව කොටින්ට සන්නිවේදන උපකරණ ලබාදීමේ දී හා සටන් විරාම නිරීක්ෂණයේ දී ලබාදුන් නිගමන දෙස බලනාවිට ඔහු එවැනි දෙයක් නොකළානම් පුදුමය. වන්නියේ කොටි මූල කඳවුරු සඳහා ඉන්දියානු දෙමළ ජනයා පදිංචිකිරීමට මුල්වූයේත් වෙස්ට්බර්ග් හා රෙඩ්බානා ව්‍යාපාරයමය. (1978-80) ගිවිසුමත් සමග උතුරට, නැගෙනහිරට යෑමට සිංහල ජනයා තුළ සංචාරක උමතුවක් ඇතිකරනා ලද මුත් එය ආණ්ඩුවට මාරාන්තික එකක් විය. කොටි ඉතා සැලසුම් සහගත ලෙස වීසා හා වෙනත් ගාස්තු අයකිරීමෙන් ද තම බලය ප්‍රදර්ශනය කිරීමේන් ද සිංහලයින්ගේ හද පාරවනු ලැබූ නිසාය. මෙය තමනට කළ මහත් නින්දාවක් බව ඉක්මණින්ම සිංහල සමාජය තේරුම් ගත්තේය. අනෙක් අතින් ආරක්ෂක හමුදා පත්ව ඇති නින්දා සහගත ස්වභාවයත්, දිනෙන් දින නිර්ලජ්ජිතව සටන් විරාමය කඩවන ආකාරයත්, ආණ්ඩුව පත්ව ඇති නිවට ස්වභාවයත් ඉතා හොඳින් පැහැදිලි වන්නට විය. රනිල්ගේ ලැජ්ජා සහගත ක්‍රියාකාරීත්වය යූ.එන්.පීයේ නායකයින් පවා කෝපයට පත්කර තිබුණේය. නිදාශීලී සිංහයා සාම කිතියෙන් අවදිවිය. ඌ නැගිටුවා ගැනීම අපේ ඊළඟ වෑයම විය.

 

අපි නිර්භීත තීරණ දෙකක් ගත්තෙමු. පළමු සිදුවීම වූයේ පූජ්‍ය එල්ලාවල මෙධානන්ද නාහිමියෝ අම්පාර වලතාපිටිය බුද්ධංගලට අයත් ගල්වැටියක සෙල්ලිපියක් පිටපත් කරන්නට ගිය අවස්ථාවේ නැගෙනහිර කොටි එය නවතාලීමේ සිදුවීමය. දෙවැන්න මුස්ලිම් ගමක් බිය වද්දා බලයෙන් රජයේ ප්‍රදේශයක ඉදිකළ මනිරාසකුලම් කඳවුර පිළිබඳ සිදුවීමය.

 

අපේ උපාය මාර්ගය පැහැදිලි එකක් විය. මේවනවිටත් ගිවිසුම් විරෝධීව පොදිකමින් සිටි ජ.වි.පෙ හා පොදු පෙරමුණ අගමැති රනිල්ව පාර්ලිමේන්තුවෙන් පළවාහැරීම දක්වා තල්ලූ කිරීම අපේ ඉලක්කය විය. ඒ සඳහා ජනතාව තුළ කොටින්ගේ සාමයට මුවා වී සිදුකරනා යුද ක්‍රියාදාමය හෙළි දරව් කිරීම මගින් ජනතා විරෝධය උත්සන්න කරවීම අපේ උපායික ක්‍රියාදාමය විය.

 

එල්ලාවල නාහිමියන් සමග අපි වලතාපිටියට ගියෙමු. නැගෙනහිර කොටි නායකයින්ගේ විරෝධතා මැද අපි සෙල්ලිපි පිටපත් කරගත්තෙමු. එයින් අපි නැගෙනහිර සිංහල උරුමය සහතික කරගත්තෙමු. අනෙක් අතින් ජ.වි.පෙ හා ශ්‍රී.ල.නි.පය ගාල්ලේ සිට කොළඹට පැමිණි දේශප්‍රේමී පා ගමනටත් වඩා දැවැන්ත මාධ්‍ය කීර්තියක් ලබාගත්තෙමු. මේ හා සමගම සිහළ උරුමයට තිබූ මාධ්‍ය අන්ධකාරය දුරුවිය. පාර්ලිමේන්තු අසුනට ගුටි කෙළගත්තා කියා අපට තිබූ චෝදනාව නිෂේධ විය. බලය තිබුණත්, නැතත්, අපි ජාතිය වෙනුවෙන් සටන් කරනා පිරිසක් බව ඔප්පු විය. අපි සිතූ පරිදිම අපේ ප්‍රහාරයෙන් කලබල වූ ජ.වි.පෙ සිය දේශපාලන ප්‍රහාර වේගවත් කළේය. අපි ඩයිනමෝව කරකවන විට ප්‍රධාන එන්ජිමත්, පුංචි දැති රෝදයෙන් ලොකු දැති රෝදත් කරකැවෙන්නට විය.

 

අපේ මනිරාසකුලම් ගමන එයටත් වඩා උද්වේගකර එකක් විය. මුළු රටම ඒ ගැන විමතියකින් බලා සිටියේය. ජාතියේ ගෞරවය පතා ජීවිත හෝ පූජා කිරීමට අපි මැලිනොවන බව ආණ්ඩුව දැන සිටියේය. එහෙයින් මේ ගමන වැළැක්වීමට ඔවුන් ගතහැකි සෑම පියවරක්ම ගත්හ. අපේ උත්සාහය වූයේ හැකි උපරිම ලෙස කොටි සහ ආණ්ඩුව හෙළිදරව් කිරීමය. මම අපේ හමුදාවල හිතවතුනගෙන් උදව් ඉල්ලා සිටියෙමි. සිවිල් ඇඳුමින් සැරසුණු ඔවුන් ද පෙළපාළියට එක්විය. තඹලගමුවේදී කොටි ආධාරකරුවෝ අපට ප්‍රහාරයක් එල්ල කළහ. අපේ පිරිස් ද ඔවුනට ඝෘජු ප්‍රතිචාර දැක්වූහ. අපේ පිරිස්වල තිබූ ලොකුම දුර්වලතාවයක් වූයේ පොඩ්ඩක් ප්‍රකෝප කරවූ විට ප්‍රකෝපයෙන්ම පිළිතුරු සැපයීමයි. අපව මර්දනය කිරීමට ඉටා සිටිනා බලවේග බොහෝ විට මේ නොඉවසීමේ ගුණය අපට එරෙහිව යොදා ගත්හ. කෙසේ හෝ පෙළපාළිය විධිමත්කරගෙන පාරට ගන්නට අපට හැකිවිය. යළිත් එවැනි සිදුවීමකින් සිදුවිය හැකි හානිය වළක්වා ගැනීමට අපි අපේ විශේෂ ආරක්ෂක පිරිසක් යොදවා පෙළපාළිය පරීක්ෂා කර අමුත්තන් තිදෙනකු අල්ලා ගත්තෙමු! ඔවුන් තිදෙනාම කොටි නොව අපේ තොරතුරු සෙවීමට පෙළපාළියට ආණ්ඩුවේ ඔත්තු සේවා එවනු ලැබූ පිරිසකි! පසු කලෙක හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකු මා හට කීවේ, තඹලගමුවේදී අපට ප්‍රහාරය සංවිධානය කෙරුණේ කන්තලයෙන් අප පිටත් වන විට ජනමාධ්‍ය හා එහි රැස්ව සිටි පිරිස අමතා මා කළ කතාව එහි සිටි මාධ්‍යවේදීයෙකු ජංගම දුරකතනය මගින් ප්‍රාදේශීය කොටි නායකයෙකුට අසන්නට සැලැස්වීමෙන් පසු බවය! ඒ මාධ්‍ය නිදහස ත්‍රස්තවාදය සඳහා යොදාගත් ආකාරයයි!

 

සුරංකල් හන්දියේදී අපට අනපේක්ෂිත ක්‍රියාදාමයකට මුහුණ දෙන්නට සිදුවිය. හතර අතින් වෙල්යාය මැදින් අපේ පෙළපාළිය මෙන් කීප ගුණයක ජනයා පෙළපාළිය දෙසට එක්වන්නට දිවගෙන ආහ. අපි මුලින් සිතුවේ ඔවුන් අපට පහරදීමට එන පිරිසක් ලෙසය. නමුත් ඔවුන් කොටින්ගෙන් බැටකා සිටි මුස්ලිම් ජනයා බව වැඩිවෙලා නොගොස් අපට තේරුම් ගියේය. ඔවුන් පැමිණීමත් සමග පෙළපාළිය අපට පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්විය. ආවේග පුපුරායෑමට තරම් වේගවත් වී තිබිණි. හමුදාව සිය මුළුවැර යොදා අපව නතර කළේය. සත්‍යග්‍රහයකින් පසු බැරිකේඩයක් උඩට නැගගත් මම උස් හඩින් ජනතාව අමතා කොටින් හා කොටි රකිනා නිවට ආණ්ඩුවට එරෙහිව නැගී සිටිනා ලෙස ඉල්ලා සිටියෙමි.

 

“අවි තොපේය බිම අපේය” ලෙස වූ අපේ අවිහිංසා විරෝධය රටේ මාධ්‍ය වෙතින් මුළු සමාජයටම ගලා ගියේය. අපි බලාපොරොත්තු වූ ලෙසම ආණ්ඩුව නින්දාවටත්, අවමානයටත්, ලක්වූ අතර, විපක්ෂයේ ක්‍රියාදාමයන් තවත් උත්සන්න අතට හැරිණි.

 

උද්ඝෝෂණයෙන් පසු මනිරාසකුලම් ප්‍රදේශයේ මුස්ලිම් වැසියන් කීපදෙනෙකු ඝාතනය කෙරිණි. අසරණවූවනට සහන ද රැගෙන මම එහි ගියෙමි. ගිනි ගහන අව්වේ රටකජු වවමින් අතිශය දුෂ්කර ජීවිත ගෙවනා මුස්ලිම් ජනයා හමුවුනෙමි. මියගියවුන්ගේ බිරිඳ නෑසියන් හමුවීමට තල් වැටකට යටින් මා රිංගා යන ඡායාරූපයක් මාධ්‍යවල පලකර තිබිණි. ඔවුනගේ ගමේ පල්ලියේ දී මම ඔවුනගේ පිරිමි වැඩිහිටියන් හමුවුනෙමි. බොහෝ දෙනෙක් කීවේ මුස්ලිම් කොංන්ග්‍රසය ඔවුනගෙන් ඡන්දය ගත්තමුත් මේ පැත්ත පළාතක නොආබවය. අම්පාරේ දීඝවාපී ඉඩම්වලින් මා වන සංරක්ෂණ ඇමැති ලෙස මුස්ලිම්වරුන් පලවා හැරියේ යැයි අසත්‍ය චෝදනාවක් කර ආණ්ඩුවෙන් ඉවත් වූ මුස්ලිම් කොංග්‍රස් නායකයින් (2007) එදා මනිරාසකුලමට ගියේ නැත. බටහිර තානාපති කාර්යාලවලින් මුදල්ගෙන මුස්ලිම් උරුමය ගැන කතා කරනා මාලිගාවත්තේ මුස්ලිම් අන්තවාදීන් අපට එරෙහිව පෙළපාළි ගිය ද (2008) එදා වචනයක්වත් කොටින්ට එරෙහිව කතාකරන්නට බිය වූහ. රවුෆ් හකීම්, ප්‍රභාකරන් සමග අත්සන් කළ ගිවිසුම (2002 අප්‍රියෙල් 13) තදින් විවේචනය කළ මම මුස්ලිම්වරු නිවට නොවී නැගී සිටිය යුතු බව නැවත අවධාරණය කළෙමි.

 

ඒ අවස්ථාවේදී මා අසලට ආ මුස්ලිම් තරුණයන් කොටින්ට එරෙහිව සටන් කරන්නට තමන් කැමති බව කී අතර, දුරකතන අංකයක් ලබාදුන්නේය. ඒ වනවිට කොටින්ට එරෙහිව නිවට ආණ්ඩුවේ නියෝග නොතකා ක්‍රියා කරනා ආරක්ෂක අංශ පිරිසක් වෙත ඔවුන් සම්බන්ධ කර දුනිමි. පසුව මූතූර්වල ඇති වූ සටන්වලදී කොටි ත්‍රස්තවාදීන් (2006) මේ දේශප්‍රේමී මුස්ලිම්වරුන්ව සොයා විනාශ කළ බව පසුව මට අපේ හමුදා නිලධාරියෙක් ප්‍රකාශ කළේය. මුතූර්වලදී ඝාතනය වූ ප්‍රංශ සහන සේවාවේ දෙමළ 17 දෙනාගේ ජීවිත ගැන තරම්වත් අඩුතරමින් මුස්ලිම් කොංග්‍රසය හෝ මරා දැමුණු මුස්ලිම්වරු 116 දෙනා ගැන කතා නොකිරීම ඇත්තෙන්ම රටේ ඛේදවාචකයකි.

 

මෙයට අමතරව නුවර එළියේ ඇති වූ ජාතිවාදී ගැටුමේදී ද, කොළඹ පැවැත්වු පොංගුතමිල් උළෙලේදී ඇති වූ සිදුවීම් නිසාද අපි තව තවත් සිංහල සමාජය තුළ ස්ථාපිත වීමු.

 

බණ්ඩාරවෙල කොටි සැකකරුවන්ගේ කඳවුරක් හා අවට ගම්වාසීන් අතර, ඇති වූ ගැටුමක් පාදක කරගෙන චන්ද්‍රසේකරන් මහතා තලවාකැලේ ප්‍රදේශයේ සිංහලයින්ට පහරදෙන ලදි. විශේෂයෙන් යූ.එන්.පීයේ ප්‍රාදේශීය නායකයින් වූ හේමචන්ද්‍ර ආයතනයට පවා පහරදුන්න ද ප්‍රදේශයේ මන්ත්‍රී එස්.බී. හෝ ආණ්ඩුව චන්ද්‍රසේකරන්ට නීතිය ක්‍රියාත්මක කළේ නැත. තලවාකැලේ පංසලේ අනාථව සිටි සිංහලයින් බලාකියා ගනිමින් ඔවුනගේ දුක කොළඹ වීදිවලට ගෙනාවේ අප ය.

 

උතුරු හා නැගෙනහිර කොටි පාලනයේ සිටියේ තුන් ලක්ෂයක් පමණ ජනකායකි. නමුත් එමෙන් සතර ගුණයකට ආසන්න පිරිසක් උතුරු හා නැගෙනහිර රජයේ පාලන ප්‍රදේශවල දෙමළ ජනයා වාසය කළහ. අගමැති රනිල් කළ භයානකම වරද වූයේ මේ ජනකාය පොංගු තමිල් හරහා හා පසුව ඝෘජු කොටි පාලනය යටතේ කොටින්ට පාවාදීමයි. මෙය පසුව සිදුවූ ඡන්ද වර්ජනයේදී (2005) රනිල්ටම පාරාවළල්ලක් විය. පොංගු තමිල් උතුරින් නැගෙනහිරින් නතර නොවී නුවරඑළියටත් එතැනින් කොළඹටත්, ආවේය. කොටින්ගේ දකුණේ නියෝජිතයෝ එහි සංවිධායකයෝ වූහ. එය පැවැත්වූයේ කලා උළෙලක මුවාවෙනි. එහිදී කථීකයෙකුගෙන් ප්‍රශ්නයක් ඇසීමට ගිය අපේ සාමාජිකයෙකු හට සංවිධායකයෝ පහරදුන්හ. පසුව එය ගැටුමක් විය. තුවාල වූ අපේ පිරිස් බලන්නට රෝහලට ගිය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, රොෂාන් ගුණතිලක වැනි අයත්, තුවාල ලැබූ සෙසු අයවත්, අත්අඩංගුවට ගැණිනි. රටේ පොලීසිය නඩේසන්ගේ පොලීසිය බවට පත්වී ඇති බව පෙණිනි. පසුදා අපි පොලීසියට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් දැක්වීමු. පොලීසියේ සිටි තමාගේ ආදි ආනන්දීය මිතුරන් පවා තමන්ව පාවාදුන් බව තිලක් කරුණාරත්න මහතා පසුව මා හට ප්‍රකාශ කළේය. පසුව මගෙන් ප්‍රශ්න කිරීමට පැමිණි විශේෂ විමර්ෂණයේ නිලධාරීයාට මා කීවේ මුලින් ඔහුගේ මස්සිනා බොරැල්ලේ පවත්වාගෙන යන කොටින්ගේ ඡායාරූපාගාරය පරීක්ෂා කරන ලෙසය. ඔහු නැවත මගෙන් ප්‍රශ්න කිරීමට පැමිණියේ නැත. පොලීසියේ ඉහළ තනතුරුවල සිටියේ එවැන්නන්ය.

 

මේ ලෙස සිහළ උරුමය නැවත සිය අහිමි කළ බිම දිනාගත්තේය. කොටින්ගේ ශීඝ්‍ර ඉදිරි ගමන වළක්වාලීමට නම් ඉක්මණින් රාජ්‍ය යන්ත්‍රය ඔවුනට එරෙහිව යොදාගත යුතු බව අපට වැටහිණි. ඒ සඳහා පූර්ව කොන්දේසිය වූයේ හමුදාව හා පොලීසියට අණදෙන අගමැති රනිල් හා ඇමැති මාරපන ඉවත්කරලීමය.

 

මේ අතර, සමාජයේ තවත් ක්‍රියාවලියක් ආරම්භ වී තිබිණි. එයනම් විවෘත ලෙසම එවැන්ජලික පල්ලිය විසින්, සිදුකරනා ලද ජනතාව බලයෙන් කිතුණුවන් කිරීමේ ව්‍යාපෘතියයි.

 

මේ පිළිබඳව පනතක් පාර්ලිමේන්තුවට ගෙනඒම සඳහා ටී. මහේෂ්වරන් හින්දු කටයුතු ඇමැතිවරයා ක්‍රියාකළ අතර, ඔහු හමු වූ අපි එයට අපේ සහයෝගය පළ කළෙමු. මහේෂ්වරන් එතැන් පටන් අපේ මිතුරෙකු විය. හින්දු-බෞද්ධ සමගිය සඳහා හින්දු නායකයින් සමග ඔහු සාකච්ඡාවක් ද සංවිධානය කළේය. ඔහු කීවේ යුද්ධයට මුවා වී වන්නියේත්, යාපනයේත්, මඩකළපුවේත් පුදුමාකාර ලෙස ජනයා ක්‍රිස්තියානියට ගන්නා බවය. පසුව කොටි කඳවුරුවලින් ඔප්පු වූයේ ද මේ සත්‍යයයි. 2003 දී මා මඩකළපුවට ගියකළ එහි හින්දු නායකයින් කීවේ ද 1983-2003 මඩකළපුවේ අලූතින් ඉදිවූයේ පල්ලි පමණක් කියාය. පල්ලියට ව්‍යාප්ත වීමට ඉඩ දී බටහිර හොඳහිත දිනාගැනීමේ ප්‍රභාකරන්ගේ උපාය හින්දු සමාජය දියකරහැර තිබිණි. මුලින් වතුකරයෙන් ඇරඹුණු මේ ව්‍යාපාරය ඉක්මණින්ම දුෂ්කර ගම්මානවලටත්, කොළඹටත් ව්‍යාප්ත විය. කොළඹ සිඟන්නන්, සිරගෙදර සිරකරුවන්, මාවතේ ගණිකාවන් ආදීන් ගිලගෙන මොන්ටිසෝරි ළඳරුවන්, ප්‍රකට ගායක ගායිකාවන්, නළු නිළියන් ව්‍යාපාරිකයන්, ක්‍රීඩකයන් හා දේශපාලකයින් දක්වා එය ව්‍යාප්ත විය.

 

වරක් කඩුවෙල එවැනි පල්ලියක් විසින් ගිලගත් නිවසකට මා ගියවිට එහි සිටි මිත්තණිය කීවේ ගල්වැඩපළේ වැඩ නැතිව ඇති නිසා සිය සැමියා අහිමි දියණියට කෑමට යමක් ලැබුණේ ෆාස්ටර්තුමාලාගෙන් බවය. ඒ හැර තමන් බුදු දහම අතහැර නැති බව ඇය කීවාය. නමුත් ඇයගේ දියණියගේ, කුඩා දරුවාගෙන් ලොකු වුණාම පුතා කවුරු වෙන්නද ඉන්නේ කියා ඇසූ විට දෙවියන්ට සේවය කිරීමට කැපවෙන බව සුරතල් මුවින් පිටවිණි. ලොකුවුන්ට ෆාස්ටර්ගේ එවැන්ජලික තෑගි බඩගින්නට ගොදුරු වුවත්, කුඩාවුන්ගේ ආත්මයම ඔවුනට ගොදුරු වී තිබිණි.

 

මේ අසාධාරණයට එරෙහිව සටන්කළ යුතු බව මම අවධාරණය කරගත්තෙමි. ලතින් ඇමැරිකාවේ හා කොරියාවේ ඔවුන් ලබාගත් සාර්ථකත්වය දකුණු ආසියාවේදී ලබානොදිය යුතුය යන අදිටන ඉන්දියාවේ හා ලංකාවේ හින්දු- බෞද්ධ සියලූදෙනා තුළ ඇතිකළ යුතු බව ඉටා ගතිමි.

 

මේ අතර, ආණ්ඩුව තවත් මෝඩ වැඩක් කළේය. එයනම් දෙසැම්බරයේ දී පුරා මාසයක් නගර ආලෝකකරණයට යොමුකරවීමය. මේ සඳහා කිතුණු ඇමැතිවරයෙකු වූ ජෝන් අමරතුංග පොලීසියට නියෝගයක් දුන්නේය. බොහෝ බෞද්ධ හින්දු-මුස්ලිම් ව්‍යාපාරිකයෝ මේ නත්තල් ආලෝක පූජාවට කැමැති වූයේ නැත. ඔවුන් අපව සොයාගෙන ආවෝය. රජයේ ඇමැතිවරුනට  පමණක්  නොව  රජය  පසුපස  සිට  මෙහෙයවන  ලලිත් කොතලාවල, රෝසි සේනානායක, දුලාංජලී ප්‍රේමදාස වැනි මූලධර්මවාදීන් කෙරේ සමාජයේ මහත් වෛරයක් කැටි ගැසෙනා බව එකී හමුවලින් අපට වැටහිණි.

 

බෞද්ධ වෘත්තීයවේදීන් විසින්, සංවිධානය කෙරුණු “ජයග්‍රහණය” නම් ව්‍යාපාරයක් ඉතා කැපවීමෙන් මේ “ආගම්කරණය”ට එරෙහිව ක්‍රියාකරමින් සිටිය ද එය දේශපාලනීකරණයක් වී තිබුණේ නැත. මේ වනවිට ජාතික සංඝ සභාව තිබුණේ ද අකර්මන්‍ය තත්ත්වයකය. එය 1999 ජනාධිපතිවරණයේ දී ජාතික සංඝ සභාව යූ.එන්.පීයට ඇදගෙන යෑම නිසා ඇති වූ තත්ත්වයක් බව කලින් කීවෙමි. අලූත් තත්ත්වයට මුහුණදීම සඳහා අලූත් සංඝ සභාවක් අවශ්‍ය විය. එයට යළිත් මූලික වූයේ අතුරලියේ රතන හිමියන්ය. හැඩිගල්ලේ විමලසාර හිමි, මිස්සක කමලසිරි හිමි, ගලගොඩඅත්තේ ඥාණසාර හිමි වැනි තරුණ හිමිවරු එහිදී මූලික වූහ. වැඩිහිටි ප්‍රඥාසම්පන්න හිමිවරුන් ලෙස එල්ලාවල මේධානන්ද නාහිමි, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි, කොටපොළ අමරකිත්ති හිමි වැනි ප්‍රචලිත හිමිවරුන් එහි නායකත්වයට පත්වූහ. ජාතික සංඝ සම්මේලනය බිහිවිය. තැන තැන පල්ලි කල්ලිවලට එරෙහිව අවධිවෙමින් තිබූ බෞද්ධ නැගිටීම මනා සංවිධානාත්මක නැගිටීමක් විය. ජාතික සංඝ සම්මේලනය මගින් රටවටා පවත්වනු ලැබූ, “බොදු සමුළු” පුදුමාකාර ලෙස සාර්ථක විය. මොනතරම් පීඩනයක් බෞද්ධයින් තුළ පැසවමින් තිඛෙනවාද යන්න එකී මහා ජනගඟින් හෙළි විය. අනෙක් අතින් ඝෘජු දේශපාලන වාගාලාපවලට වඩා ධාර්මික නිවුණ ආයාචනාවලට අතිවිශාල ජනකායක් පිබිඳවිය හැකි බව පැහැදිලි විය. එය පැහැදිලිවම මෙතෙක් කිසිවෙක් අත්හදා නොබලා තිබූ නව දේශපාලනික ආගමික ප්‍රවේශයක් විය. එහි ඇති දැවැන්ත අවිහිංසාවාදී විභවය දුටු අපි එයට උපරිම සහාය දෙමින් එය වැඩී යන්නට ඇති බාධා ඉවත් කරමින් කළ හැකි උපරිම දේ ඉටුකර දුනිමු.

 

සිංහල බෞද්ධ සමාජයේ එක් ගුණාංගයක් වන්නේ විටින් විට කැපී පෙනෙනා බෞද්ධ භික්ෂූන් බිහිවීමයි. ඇතැම් අය දක්ෂ ධර්ම කථීකයින් විය. ඇතැමුන් බෝධී පූජා ආදී භක්තිය වඩවන සුළු වතාවන් සඳහා පුදුමාකාර ලෙස සමත්කම් දැක්වූහ. ඇතැමුන් ජාතික හා ජාත්‍යන්තර ලෙස පැතිරීගිය දාර්ශනික දැනුම ඇත්තවුන් වූහ. ඇතැම් අය අතිදක්ෂ සංවිධායකයින් හා සමාජ සේවකයින් වූහ.

 

ඉංග්‍රීසින් යටතේ පාගාදමන සිංහල විමුක්ති අරගලය නැවත මතුවන්නේ මොහොට්ටිවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී  සුමංගල ආදී මෙවැනි ගුණ සහිත ස්වාමින් වහන්සේලා නිසාය. යළිත් විද්‍යාලංකාරය වෙතින් බිහි වූ යක්කඩුවේ හිමි, වැල්ලවත්තේ හිමි හා විශේෂයෙන් වල්පොල රාහුල හිමියන් කැපී පෙනිණි. භික්ෂුවට දේශපාලනය කැප ද අකැප ද යන ප්‍රශ්නය මත විද්‍යාලංකාරය හා ඩී.එස්. සේනානායක ආදී ප්‍රභූවරුන් අතර, ඇති වූ මත ගැටුම කෙළවර වූයේ ඓතිහාසික විද්‍යාලංකාර ප්‍රකාශය මගිනි. එමගින් නූතන භික්ෂුවගේ දේශපාලන සමාජ කාර්යභාරය මැනවින්, ධර්මානූකූලව පැහැදිලි කරගනු ලැබීය. අපේ ඇතැම් ප්‍රභූවරුන්ට අවශ්‍ය වූයේ ලංකාවේ හින්දු කෝවිල්වල වාසය කරනා පූසාරිවරුන්ගේ තත්ත්වයට බෞද්ධ භික්ෂුව ඇද දමා තමන්ගේ සේවකයෙකු කරගැනීමය. ඇතැම් අය නම් දේශපාලන කතා ආදියෙන් භික්ෂුවගේ විනය පිරිහී යනු ඇතැයි සැබෑවටම බියට පත්වූහ. මේ ගැන වරක් දවුල්දෙන ඥානිස්සර මහනායක හිමි සමග කරනා ලද සාකච්ඡාවකදී උන්වහන්සේ පෙන්නා දුන්නේ එකල (40-50 දශකය) කාන්තාවන් ක්‍රීඩා උත්සව ආදියට සහභාගි වීම පිළිබඳව ද භික්ෂූන් වහන්සේ රජයේ විද්‍යාලයේ ගුරුවරුන් ලෙස සේවය කිරීම ගැන ද, භික්ෂූන් වහන්සේලා සෙසු සිසු සිසුවියන් සමග විශ්ව විද්‍යාලයේ එකට අධ්‍යාපනය කිරීම ගැන ද මහත් සංවාදයක් තිබුණු බවය. ‘දැන් ඔය හාමුදුරුවන්ට මන්ත්‍රීලා වීම අකැපයි කියනවා වගේ තමා ඒ කාලේ ගෑනු ළමයි ක්‍රීඩා කළ යුතු නැහැ, පාසල් යැවිය යුතු නැහැ කියලත් ඇතැම්හු කීවේ’ යැයි දේශනා කළ උන්වහන්සේ බාලිකාවන් ක්‍රීඩාවල නිරත විය යුතු නැතැයි කියමින් චිරප්‍රසිද්ධ දේශපාලන නායකයෙක් ඒ දිනවල පුවත්පතකට ලියූ ලිපියක පිටපතක් මා අතට පත්කළ සේක.

 

1940 ගණන්වල සමාජවාදී ව්‍යාපාරයේ නැගීමට භික්ෂූන් වහන්සේගේ දායකත්වය ලැබුණා සේම 1950 ගණන්වල සිංහල ජාතික බලවේගයේ නැගිමට ද උන්වහන්සේලා දායක විය. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි, මඩිහේ පඤ්ඤාසීහ හිමි, හේනේපිටගෙදර ඥානසීහ හිමි වැනි අය එහිදී කැපී පෙනුණහ. නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය, ස්වභාෂා අධ්‍යාපනය ආදීය බෞද්ධ භික්ෂුව නිසා ඇති වූ ක්‍රියාදාමයන්ය. අද අඩුතරමින් කිසිම කොමියුනිස්ට් රටක හෝ මෙවැනි සමාජ සේවාවන් රජය පවත්වාගෙන යන්නේ නැත.”අපේ මග” නමින් 1989 දී මා ලියනා ලද කෘතියෙන් භික්ෂුවගේ මේ ඓතිහාසික කාර්යය ඇගයීමට ලක්කළෙමි. කුඩාකල මට මතක ජනප්‍රියම හිමිනම වූයේ පානදුරේ අරියධම්ම හිමියන්ය. උන්වහන්සේගේ මත් විරෝධී වැඩපිළිවෙළ හා කවියෙන් පැවසූ බුදුගුණ අති දැවැන්ත බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළේය. උන්වහන්සේ අකාලයේ අපවත් කළේය යන බොහෝ බෞද්ධයින් අතර, අද දක්වා තිඛෙනා මතය කොළඹ විෙජ්රාමයේ සම්බෝධී විහාරස්ථානයට යන එන්නට පටන්ගැනීමෙන් පසු ස්ථීරව දැනගත්තෙමි. කලක් ජාතික සංඝ සභාවේ ලේඛකාධිකාරී වූයේ දරණාගම කුසලධම්ම හිමියන් වීම එහි යෑමට ඒමට මූලිකම හේතුව විය. හිටපු අගවිනිසුරු සරත් සිල්වා මහතා නිසා වඩාත් ආලෝකමත් වූ සම්බෝධිය ගංඟාරාමයට කොළඹ ප්‍රභූ පන්තිය අතර තිබූ ස්ථානයට අභියෝගයක් ද එල්ල කළේය.

 

වත්මන් කාලය සලකාබලත් දී කැපී පෙනෙනා ජනප්‍රිය භික්ෂු චරිත ගණනාවක් එකවිටම පාහේ මතුවිය. එයින්, වඩාත්ම මතු වී ආවේ මහරගම ධර්මායතනයෙන් මතු වූ ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේය. ධර්මායතනය වජිරඥාන නාහිමි, මඩිහේ නාහිමි මෙන්ම කොළඹ බෞද්ධ දානපතින්ගේ මූලිකම සංවිධානාත්මක ආයතනයක් විය. එය මගින් රටපුරා විහාරස්ථාන සේම සමාජ ව්‍යාපාර ගණනාවක් පවත්වාගෙන යන ලදී. විදේශ රටවල් බොහෝමයක ද එහි ශාඛා පැවැතුණු අතර, ඒ අතින් වඩාත්ම සංවිධානාත්මක බෞද්ධ ආයතනය විය. මා මුල්වරට එහි ගියේ 1988 දී විය යුතුය. ධර්මායතනයට ලලිත් ඇතුළත්මුදලි මහතා උත්සවයකට පැමිණි සිටි අතර, ඔහුගේ අරමුණ වූයේ එහි සිටි ජාතිකවාදී භික්ෂූන් වහන්සේලාව පළාත් සභා ක්‍රමය ගැන අවබෝධයක් දීමය. එයට හදිසියේ පැමිණි අතුරලියේ රතන හිමි ප්‍රමුඛ විශ්ව විද්‍යාල භික්ෂූන් වහන්සේලා පිරිසක් ඇතුළත්මුදලි මහතාගෙන්, ප්‍රශ්න කිරීමට යෑමෙන් මහත් විවාදයක් ඇතිවිය. මෙයට කලින් 1985 දී පුද්ගලික විශ්ව විද්‍යාල රටට හිතකරය යන මාතෘකාව ඔස්සේ විශ්ව විද්‍යාල සිසුන් සමග ප්‍රසිද්ධ වාදයකට පිවිසෙන බව ප්‍රකාශ කර මගහැර ගිය නිසා ඇතුළත්මුදලි මහතා සමග අපි කාටත්, යම් ගැටීමක් විය. උතුරට ගොස් වෙඩි කන්නටත්, දකුණේදී බල්ලන් වෙන්නටත්, පොලීසියට බැරි බව පද්මසිරි අබේසේකර ඝාතනයේ දී ජාතික ආරක්ෂක ඇමැති ලෙස ඔහු කළ ප්‍රකාශයෙන් (1984) ඔහු “මහපොළ” ශිෂ්‍යත්වයෙන් ඇතිකරගෙන තිබූ ප්‍රතිරූපය ඔහුම බිඳ ගත්තේය. කෙසේ වෙතත් ධර්මායතනයේ සිටින්නේ ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේලා පමණක් නොව ජාතිකවාදී ශාසනලැදි ක්‍රියාකාරීන් පිරිසක් බව ද ඒ සිදුවීමෙන් තේරුම් ගතිමි. මේ නිසා සෝම හිමියන් ඒ අඛණ්ඩ ඉතිහාසයේ අවශ්‍යම පුනරාගමනයක් විය. සෝම හිමියන්ගේ ධර්ම දේශනා ජනප්‍රිය වූයේ උන්වහන්සේ කාලීන මාතෘකා ගත් නිසාත්, නිතරම එකී මාතෘකා ධර්ම ගාථාවලට සම්බන්ධ කරලීමත් නිසාය. මා පසුව තේරුම් ගත්තේ ධර්මායතනයේ කීර්තිමත් දාර්ශනිකයා වූ වැලිගම ඥානරතන නාහිමියන් මේ ධර්ම දේශනා සම්ප්‍රදායේ ප්‍රමුඛයා බවය. ඥානරතන හිමියන් කිසිම විටෙක සිය මතවාද බලයට, ධනයට වෙනස්කර ගත්තේ නැත. 2002-2004 කාලයේ යූ.එන්.පීයට බර ජාතික මතයේ ප්‍රභූවරුන්ගෙන් දැඩි බලපෑමක් එල්ල වූ නමුත් නොසෙල්වුණු මහතෙර නම වූයේ මල්ලිකාරාමයේ වැඩසිටි වැලිගම හාමුදුරුවෝය.

 

සෝම හිමියන් විසින්, රූපවාහිනියෙන් හඳුන්වාදුන් බණ කලාව ඉතා ඉක්මණින් ජනප්‍රිය විය. ඒ දිනවල මට මතක හැටියට ජයන්ත චන්ද්‍රසිරිගේ ‘දඩුබස්නාමානය’ නම් ටෙලි නාට්‍යය බැලීමට සෙනග රූපවාහිනී තිරය මතට රොක්වූවා සේ මාධ්‍යමික ජනතාව සෝම හිමිගේ බණ ඇසීමට රොක් වූහ. මෙහිදී චන්ද්‍රිකා මාරක වරදක් කර ගත්තේය. එනම් ස්වාධීන රූපවාහිනියෙන් කළ උන්වහන්සේගේ ධර්ම දේශනා නතර කිරීමය. එය ඇතැම් විට දේශපාලනිකව සුළු සිදුවීමක් වුවත් මා සිතන්නේ ශ්‍රී.ල.නි.පයේ මධ්‍යමික සිංහල ඡන්ද පදනමට එය තදින් දැනුණු බවය. එමෙන්ම එය අෂ්රෆ් මහතාගේ ද අදූරදර්ශී බලපෑමක් විය. මුස්ලිම් මූලධර්මවාදී දේශපාලනය දෙස සැකමුසුව බලන්නට සිංහලයා යොමුවූයේ අෂ්රෆ් මහතා සෝම හිමිට එරෙහිව සිදුකළ මේ මැදිහත්වීම නිසාය. දීඝවාපිය පිළිබඳ ප්‍රශ්නය කරලියට ආවේත් ඒ සමගය. වරක් සෝම හිමියන් සමග කළ පෞද්ගලික සාකච්ඡාවක දී ලංකාවේ මුස්ලිම් ජනගහණයේ වර්ධනය ගැන ද සාකච්ඡා විය. එයට නිමිත්ත වූයේ මරදාන, දෙහිවල, කොළොන්නාව ආදී ප්‍රදේශවල බහුතරය බවට මුස්ලිම් ජනතාව පත්වීමත් වැඩි වැඩියෙන් අන්තවාදී දේශපාලනයට මුස්ලිම්වරු නැඹුරුවීමත්ය. වරක් මරදාන ප්‍රදානගර විහාරයට (එය කීර්තිමත් වූයේ ත්‍රිපිටකය එහි පරිවර්තනය කළ නිසාය) ගියකල එහි නායක හිමියන් කීවේ 1988 දී සිංහල දායක පවුල් 1350ක් පමණ සිටි නමුත් දැන් විසිවසකට පසු ඒ ගණන (2008) පවුල් 39කට සීමා වූ ඇති බවත්ය. මුස්ලිම් ජනගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වීමත්, ඔවුන් සංවිධානාත්මකව ඇතැම් නගරවල ඉඩම් මිල දී ගැනීම සිදුකිරීමත් මේ වනවිට කැපී පෙණින. මා සෝම හිමියන්ට එදා කීවේ වත්මන් ජනගහණ වර්ධන වේගයෙන් ඒ ලෙසම තිබුණොත් 2090 පමණ වනවිට ශ්‍රී ලංකාවේ බහුතරය බවට මුස්ලිම් ජනතාව පත්වනු ඇති බවය. වරක් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ද කීවේ රුසියාවේ ද බහුතරය බවට මේ සියවස අවසන් වීමට පෙර මුස්ලිම්වරුන් පත්වීමේ තත්ත්වයක් ඇති බවය. ලංකාවේ බෞද්ධ ගීත බොහොමයක් කීවේ මොහිදින් ඛෙග්ය. සිංහල බෞද්ධ බහුතරයක් ජීවත්වූ බලන්ගොඩ (අබුසාලි), බොරැල්ල (මොහොමඩ්), බේරුවල (බාකිර්මාකර්) ආදී ආසනවල මුස්ලිම්වරු මන්ත්‍රීවරුන් වූහ. අප තුළ පවා 1980 ගණන්වල පමණක් නොව 90 ගණන්වලත්, මුස්ලිම්වරු සිය අනන්‍යතාවය පවත්වා ගැනීම සඳහා බටහිර ලෝකය සමග කරනා අරගලය ගැන ගෞරවයක් විය. ඒ පිළිබඳ මගේ ගෞරවය සැකයක් බවට පත්වීමට පුංචි පුංචි සිදුවීම් කීපයක් ඉවහල් විය. පළමුවෙන්ම 1988 දී අෂ්රෆ් මහතා සිංහල දෙමළ ගැටුම උත්සන්න වීම තමන්ගේ වාසියට හේතූවන බවත්, අනාගත ජයග්‍රාහකයා තීරණය කරන්නේ මුස්ලිම්වරු බවත් මා හට කළ ප්‍රකාශය මූලික විය. කොළඹ සිංහල මිනිසුන් මුස්ලිම් ව්‍යාප්තිය ගැන බිය වනවා සේම නැගෙනහිර දෙමළ මිනිසුන් ද බියට පත්වී ඇති බව මඩකළපු විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු කීප දෙනෙකු ඒ දිනවල මට පැවසූහ. දෙවනුව වරක් මා විවෘත විශ්ව විද්‍යාලයේ ගණිත පාඩම උගන්වමින් සිටිය දී මුස්ලිම් සිසුන් පිරිසක් මට ලිපියක් භාර දුන්හ. එහි තිබුණේ අපේ පන්තියේ මුස්ලිම් සිසුවියක් මුස්ලිම් නොවන සිසුවෙකු හා පෙම්බැඳ ඇති නිසා ඇයව පන්තියෙන් නෙරපන ලෙසය. එය මගේ කෝපයට හේතූ විය. අපි විශ්ව විද්‍යාලයේ සිටිනා කාලයේ අපේ ළ`ගම සගයින් වූයේ අමීර්, රමේෂ් වැනි මුස්ලිම් සිසුන්ය. ඔවුන් අතර, කවදාවත් මෙවැනි මත නොවිනි. අන්තිමේදී එක් සිසුවෙකු වෙතින් ඔවුන්ගේ ගුරු යැයි කියාගත්, දෙහිවල පැත්තේ ආගමික ගුරුවරයෙකු ගෙන්වාගෙන සාකච්ඡා කළෙමි. ඔහුට අනුව දෙවියන් විශ්වාස නොකරන අපි සියලූදෙනා කපීර්ලා හෙවත් පව්කාරයන්ය. පිළිම වන්දනාව කරන බෞද්ධයින් වැනි අය විනාශ විය යුතුය. මේ කතාවෙන් මගේ කුහුල ඇවිස්සුනා පමණක් නොව කුරානය කියවන්නටත් මහම්මත්තුමා පිළිබඳ කියවන්නටත් පෙළඹුණෙමි. පසුව මා විසින්, ලියනා ලද “අල් ජිහාද් අල්කයිදා” නම් විස්තරාත්මක ඉස්ලාම් මූලධර්මවාදයේ දේශීය හා විදේශීය නැගීම විස්තර කරන ලද මුල්ම විස්තරාත්මක සිංහල කෘතියට පාදක වූයේ එදා සටහන් කරගත් විස්තරයන්ය. තුන්වෙනුව වරක් මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රබල නායකයෙක් ප්‍රකාශ කර තිබුණේ සිංහලයින් නගරවල දුර්වල කිරීම සඳහා සිංහල කතුන් විවාහ කරගැනීමත්, සිංහල පිරිමින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සිදුකිරීමත්, තමන් චේතනාන්විතව සිදුකරනා බවය.මේ සියල්ලෙන් මට පෙනී ගියේ තලිබාන් වර්ගයේ අන්තවාදයක් මුස්ලිම් කොංන්ග්‍රසය, මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ ආදී පක්ෂ පසුපස තිඛෙනා බවය. 1947 දී මුස්ලිම්වරු වෙනම රාජ්‍ය යෝජනාවලට කැටිනොගැසී සිංහලයින් හා එක්වී පෙරට යන්නට තීරණය කළ ද ඒ සමාජ සහජීවනය දැන් බිඳ වැටී ඇති බවය. සෝම හිමියන් හා වීරවිදහන කළ එක් ඓතිහාසික කාර්යභාරයක් වූයේ මුස්ලිම් මූලධර්මවාදී දේශපාලනය ඡන්ද කුට්ටි දේශපාලනයක් වීමේ ප්‍රතිවිපාකය පෙන්නා දීමය.

 

සෝම හාමුදුරුවෝ 2002 දී සිහළ උරුමය විසින්, කොළඹ නව නගර ශාලාවට කැඳවන ලද රනිල් - ප්‍රභා ගිවිසුමට එරෙහි ‘බොදු සමුළුව’ට වැඩම කළහ. ඉතා හොඳ දේශනාවක් කළහ. පසුව වරක් මා තනියෙන් ද, වරක් කොටකදෙණිය මහතා සමග ද ගොස් උන්වහන්සේ හමුවීමි. වජිරාරාමයේ දී සිදු වූ දෙවන හමුවේදී උන්වහන්සේ විවෘතවම සිය දේශපාලන අභිලාෂය අපට ප්‍රකාශ කළහ. රනිල්ගේ බෞද්ධ විරෝධී ආණ්ඩුවේ දේශපාලනය උතුරු හා නැගෙනහිරට පමණක් නොව ධර්මායතනයට ද වැටී ඇති බව උන්වහන්සේ පෙන්නා දුන්හ. ඇතැම් ගිහි පිරිස් උන්වහන්සේව ධර්මායතනයෙන් නෙරපීමට උත්සාහ දැරූ බව වාර්තා විය. 2006 ජනාධිපතිවරණය සඳහා සංවිධානත්මක වැඩ පිළිවෙළක් යොදාගත යුතු බවට අපි කතිකා කරගතිමු.

 

කොළොන්නාවේ සුමංගල හිමියන් මට මුලින්ම හමුවුණේ 1995 දීය. ඒ මාතර රතන හිමියන්ගේ විහාරස්ථානයේය. උන්වහන්සේ එකල සිටියේ මිරිස්සේ විහාරස්ථානයකය. චන්ද්‍රිකාගේ ෆෙඩරල් පැකේජය ගැන මා කළ විවේචනාත්මක සාකච්ඡාවකට ඇහුම්කන්දීම සඳහා උන්වහන්සේ එදා වැඩම කර සිටියහ. පසුව අපි මාතර පොදු සංවිධාන එකතුකර කොටුවේගොඩ රැලියක් පැවැත්වීමු. රැලියේ නිවේදකයා වූයේ සුමංගල හිමියන්ය. උන්වහන්සේ නිවේදකයෙකුට වඩා හොඳ කථීකයෙකු බවත්, කරුණු අනුවේදනීය ලෙස පළකිරීමට පුදුමාකාර සමත්කමක් තිබුණු බවත්, එදා වටහා ගතිමු. පසුව උන්වහන්සේ කොළඹට සංක්‍රමණය විය. ආරෝහ පරිනාහ දේහ සම්පත්තියත්, භක්තිය වඩවන දේශනා ශෛලියත්, විසින් ඉතා ඉක්මණින්ම උන්වහන්සේ ඉහළට ගමන් කළේය. මා තේරුම්ගත් ආකාරයට උන්වහන්සේට තිබූ වැදගත්ම කුසලතාවය නම් සංවිධාන ශක්තියයි. —බුදුමග˜ සංවිධානය ඉතා සුළුවෙන් අරඹා දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්වූයේ ඒ නිසාය. ජාතික හෙළ උරුමය බිහි වූ විට එහි සංවිධායකවරයා වූයේත් උන්වහන්සේය. සුමංගල හිමියන්ට ඇප උපකාර කළ බොහෝ දායකයින් යූ.එන්.පීයට දේශපාලනිකව හිතවත් අය වූහ. මේ බව උන්වහන්සේගේ බුදුමග දහම් හමුවලට සහභාගී වීමෙන් මට වඩාත් පසක් විය. නමුත් 2002 දී පැමිණි රනිල්ගේ ආණ්ඩුව බෞද්ධ විරෝධී බව ඉක්මණින්ම අවබෝධ කරගත්තේ සුමංගල හිමියන්ය. ‘අල් ජිහාද් අල්කයිදා’ කෘතිය ලියා එය උන්වහන්සේට පිළිගැන්වීම සඳහා දෙව්රම් විහාරයට ගිය දා (2003) උන්වහන්සේ මෙවැනි අදහසක් ඉදිරිපත් කළහ. “මේ ආණ්ඩුව නම් කොටින්ට රට දෙන්නයි යන්නේ. දකුණෙත් මහ විපරීත බෞද්ධ විරෝධී පිරිසක්නේ දැන් ඇමැතිකම් දරන්නේ.  බෞද්ධ භික්ෂූව පෙරට ඇවිල්ලා පාර්ලිමේන්තු ගිහිල්ලා හරි මේ දෙපක්ෂයේ ඇත්තන්ගෙන් රට බේරාගන්න වෙනවා මහත්තයෝ” ලෙසින් භික්ෂූන් වහන්සේ ඝෘජුව දේශපාලනයට පිවිසිය යුතු බවට මුල්ම අදහස මා හට එලෙස ඉදිරිපත් කළේ කොළොන්නාවේ හිමියන්ය.

 

2004 හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය විට භික්ෂුව දේශපාලනයට පිවිස රට යන අත වෙනස්කළ යුතු බවට ඝෘජුවම අදහස් දැක්වූයේ සුමංගල හිමියන්ය. පාර්ලිමේන්තුවට තේරී පත්වී පක්ෂය ගත් මගට වෙනස් පුද්ගලික අදහසක් මත ක්‍රියාකළ කතළුවේ රතන සීහ හිමියන්, සුමංගල හිමියන්ගේ ලඟ  හිතවතෙකු වීය. මේ සිදුවීම උන්වහන්සේ තුළ ප්‍රකම්පනයක් ඇති කළේය. ඊළඟට උන්වහන්සේට පාර්ලිමේන්තුවේදී ශ්‍රී.ල.නි.ප හා ජ.වි.පෙ පිරිස් හිරිහැර කළහ. අපි කළුතර සිට කැලණියට පෙරහැරක් පවත්වා එයට දැඩිව විරෝධය පළකළෙමු. පක්ෂය ඉදිරියට යායුතු ආකාරය ගැන උන්වහන්සේට වෙනම අදහසක් තිබුණු අතර, ඝෘජුව ඒ අදහස පළකළහ. අප සමග පවා විවාදසම්පන්න අවස්ථා පැන නැගිණි. චන්ද්‍රිකාගේ ආණ්ඩුව අපිට හිරිහැර කරන්නේ ඒවා දරාගත නොහැකිව අපිව දේශපාලනයෙන් ඉවතට ඇද දැමීමට බව අපේ අදහස විය. නමුත් උන්වහන්සේ ඒ සියලූ සිදුවීම්වලින් කළකිරුනහ. දේශපාලනයෙන් ඉවත් වූහ. මහත්මා ගුණය පෙන්වමින් හෙළ උරුමයේ කිසිවක්, කිසිවෙක් විවේචනය කළේ නැත. කවර පක්ෂයකට හෝ යළි සම්බන්ධ වූයේ ද නැත. බොහෝ අපහසුවෙන් යළි “බුදුමග” ගොඩනගාගන්නට ද සමත්විය. පසුව 2009 දී උන්වහන්සේ හමු වූ විටක දී අපට ප්‍රකාශ කළේ “බෝසත් කුමරු උගුරේ සිරවූ කටුව ගැනීමට වේදනා නොතකා ක්‍රියා කළාසේ එදා අප කළ ක්‍රියා කළේ ත්‍රස්තවාදය පැරැදවීමේ කාර්යයට විනා අන් කිසිවකට නොවන බව” තමන් වහන්සේ අවබෝධ කරගෙන ඇතිබවය. හෙළ උරුමය නිසා ත්‍රස්තවාදය දුරුවීමට පාර කැපීම ගැන තමන් වහන්සේට අන්තිමේදී සතුටක් දැනී ඇතැයි ද ප්‍රකාශ කෙරිණි.

 

අන්තිමේදී අපි සැවොම වෙන වෙනස් පාරවල විටෙක එක්වෙමින් විටෙක වෙන්වෙමින් එකම අරමුණක් කරා යන පිරිසක් බව අවබෝධ කර ගතිමි.

 

උඩුවේ ධම්මාලෝක හිමියන් දැන හැඳින ගත්තේ උන්වහන්සේ කැලණිය - විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටිනා යුගයේදීය. ශිෂ්‍ය සභා සඳහා හැඩිගල්ලේ විමලසාර හිමියන් ඉදිරිපත් වූ විට උන්වහන්සේ එයට ආශීර්වාද කරමින් ඒ සබඳතාවයට මුලපිරූහ. කෝට්ටේ නාග විහාරයෙන් උන්වහන්සේ  කොල්ලූපිටිය  වාලූකාරාමයට  ගියේය.  ත්‍රස්ත  විරෝධී ව්‍යාපාරයේ ලන්ඩන් සමුළුවේදී (2000) වේදිකාවේ වැඩමකර සිටියේත්, සිහළ උරුමයට ආශීර්වාද පිණිස විහාරමහා දේවි උද්‍යානයට කැඳවන ලද භික්ෂු මහා සමුළුවෙන් (2000 අගෝස්තු) බුද්ධ වන්දනාව ඉදිරිපත් කළේත් ධම්මාලෝක හිමියන්ය.

 

වසර 2002න් පසු ධම්මාලෝක හිමියන් වේගයෙන් නාගරික තරුණ පරපුර අතර, ජනප්‍රියවන්නට විය. මතුපිටින් පෙනුණේ උන්වහන්සේගේ ආකර්ෂණීය පෙනුම එයට දායක වූ බවය. නමුත් මගේ හැගීමේ හැටියට මිනිස් ඇසුරට උන්වහන්සේ සතුව තිබූ කුසලතාවය වඩාත්ම කැපී පෙනෙනා ගුණය බවය. දේශපාලනයට පිවිසි ඉහළ භික්ෂූන් වහන්සේලා සයනම අතුරින් මිනිස් සබඳතා හොඳින්ම වර්ධනය කර ගත්තේ උන්වහන්සේ විසිනි.

 

2003 වසර අවසානයේ දී වරක් උන්වහස්නේ කීවේ තමන්ගේ රූපවාහිනී බණ වැඩසටහන් නතර කිරීමට ඇතැම් අබෞද්ධ ව්‍යාපාරිකයන් උත්සාහ කරනා බවය. ඇතැමුන් ඒ දිනවල සැක පහළ කළේ ධම්මාලෝක හිමියන් යූ.එන්.පීය විසින් සූක්ෂම ලෙස ගොඩන`ගනා බවය. ඒ සම්ප්‍රදායිකව යූඑන්පීයට රැහැනිව භික්ෂු බලවේගයක් ගොඩනැඟීම සිදුවන නිසා එයට විකල්පයක් ලෙස බවත් පැහැදිලි කෙරිණි. මෙයට හේතූව උන්වහන්සේගේ දායකයින් යූඑන්පීයට හිතවත්වීම විය යුතුය. මෙහිදී එකක් කිව යුතුය. සාමාන්‍යයෙන් වාමාංශිකයන් කෙලින්ම භික්ෂු දේශපාලනය හා ගැටීමට යති. සමසමාජ කොමියුනිස්ට් පමණක් නොව ජවිපෙ පවා තමන්ගේ භික්ෂු සංවිධාන තනාගෙන මෙය සිදුකළහ. චන්ද්‍රිකාගේ ශ්‍රීලනිපය ද ඒ අනුව යමින් ජාතිකවාදී භික්ෂූන් සමග ගැටුනහ. නමුත් යූඑන්පීය අනුගමනය කරන්නේ වඩා උපායශීලී ක්‍රමයකි. ඔවුන් දායක සභාවලට ඇතුළු වී ඒවායේ සක්‍රීය වී එමගින් භික්ෂුවහන්සේලා පාලනය කිරීමට උත්සාහ කරති. ජාතිකවාදී දේශපාලනයට පිවිසීම නිසා තම තමන්ගේ පන්සල්වල භෞතික දියුණුව ඇනහිටුවා ගත් නායක මට්ටමේ භික්ෂූන් වහන්සේලා විශාල ගණනක් ගැන මම දනිමි. ඒ සෑම තැනකම තිබුණේ යූඑන්පී දේශපාලනයයි.

 

භික්ෂුව දේශපාලනයට පිවිසිය යුතු බවට ඝෘජු මතයක් ධම්මාලෝක හිමියන්ට ද විය. සෝම හිමිගේ අපවත්වීමේ කාලයේදී ද, 2004 පෙබරවාරී පාර්ලිමේන්තුව විසුරුවාහැරිය විටදී ද උන්වහන්සේ මේ මතය ඝෘජු ලෙස පළකළහ. ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලය වූයේ උන්වහන්සේගේ zඅසපුවZය. ඉබේම වාගේ උන්වහන්සේ එහි ප්‍රධාන ප්‍රකාශකයා බවට ද පත්විය. ජ.වි.පෙ උන්වහන්සේගේ චරිතය ඝාතනය කරමින් බිත්තිවල ලියනාවිට, උපවාස කරනා විට ප්‍රචණ්ඩ බාධාවන් කරනා විට “ජ.වි.පෙ පුතාලා නරක වැඩ කරන්න එපා” ලෙස සිදුකළ දේශනා ජ.වි.පෙට මාරක විය. අපිනම් අතීතයේදී කළේ ජවිපෙට එකට එක කිරීමයි. ධම්මාලෝක හිමියන්ගේ කරුණාවන්ත ප්‍රතිචාරය ජ.වි.පෙට වඩා රිදෙන්නට හේතූ වූ බව අපට දැනිණි. උන්වහන්සේගේ සම්පූර්ණ හැසිරීමම නව දේශපාලන අත්දැකීමක් විය.

 

දේශපාලනයේ අනතුර භාරගන්නට ද ධම්මාලෝක හිමියෝ මැලිනොවූහ. වරක් උන්වහන්සේ චන්ද්‍රිකාට කීවේ පාර්ලිමේන්තු කථානායක පදවිය හෙළ උරුමයට භාර දී පාර්ලිමේන්තුව විනය ගරුක කරනා ලෙසය. වරක් උන්වහන්සේ අපෙන් ස්වාධීන වී පාර්ලිමේන්තුවේ තනිව අසුන් ගත්හ. වරක් කෙළින්ම රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයේ දී උපකාර කිරීමට ඉදිරිපත් වූහ. තවත් වරක් උතුරට ගොස් ප්‍රභාකරන් හමුවිය යුතු යැයි යෝජනා කළහ. විජාතික බලවේග රොඳ බැඳගෙන ජනපති මහින්දගේ ආණ්ඩුව පෙරළීමට උත්සාහ කළ අවස්ථාවේදී (2007) ආණ්ඩුවේ ජාතිමාමක වැඩ පිළිවෙළට සහාය පළකළහ. මේවා ඇතැම්විට ප්‍රතිපත්තියක් නැති පරස්පර අදහස් ලෙස පෙනී ගිය ද එයින් පෙන්වූයේ දේශපාලනයේ දී අත්‍යවශ්‍යයෙන්ම දැරිය යුතු ‘අනතුර’ දැරීමට ඇති හැකියාවයි.

 

ජාතික හෙළ උරුමයේ ගමනට දායක වූ අනෙක් භික්ෂු චරිතය වූයේ කොටපොළ අමරකිත්ති හිමියෝය. උන්වහන්සේ ද ජනප්‍රිය ධර්මකථීකයෙක් වූහ. නමුත් එය අමුතු ආකාරයේ එකකි. එහි තැන්පත් කමක් ද, තිරසාර කමක් ද තිබිණි. කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් පවා සිය දිගු ශාසනික ගමන ඇරඹුයේ කොටපොළ හිමියන් සෙවණේය. පුංචියට ඇරඹූ පිච්චමල් ව්‍යාපාරය දළදා පෙරහැර, පොසොන් උළෙල යනාදියට නොදෙවැනි දැවැන්තම බෞද්ධ පෙළහරක් කරන්නට උන්වහන්සේට හැකිවිය.

 

කොටපොළ හාමුදුරුවෝ සතු වැදගත්ම ගුණය ලෙස මා දුටුවේ ගැමි නුවණයි. ආචාර්ය මහාචාර්ය පදවිලාභීන්ට වඩා ධර්මය ගැන ජීවිතය ගැන සමාජ සබඳතා ගැන උන්වහන්සේට දැනුමක් තිබිණි. අපේ කොළඹ නිවස මාරුවනතෙක්ම පාහේ අපේ දරුවන් දහම් පාසලට යැව්වේ ශාන්ති පදනමටය. ශාන්ති පදනමේ සාමාජිකයන් ද හාමුදුරුවන් මෙන්ම උගත්, දැනුවත්, තැන්පත් තිරසර පැවැතුම් ඇත්තෝ වූහ. දේශපාලන ගමනකට කොටපොළ හිමියන් තුළ එතරම් කැමැත්තක් තිබුණේ නැත. නමුත් සිහළ උරුමය බිහිකළ විට පවා උන්වහන්ගේ ආශීර්වාදය එයට පළවිය. විශේෂයෙන් සේරුවිල විහාරය උන්වහන්සේගේ පදනම් භූමිය වීම නිසා නැගෙනහිර සිංහලයින් විඳිනා දුක ගැන පුදුමාකාර සංවේගයකින් සිටියහ. 2003 වසරේ දී ලංකාපටුන විහාරය කොටි ත්‍රස්තයින් විනාශ කර සිරිවද්ධන බෝධිය උගුලූවා දැමූවිට උන්වහන්සේ ආවේග සම්පන්න විය. විනාශ කළ ලංකාපටුනට වරක් මම ගියෙමි. කොටි කොල්ලන්ගේ තර්ජනයට ලක්වූ මට පෙනුණේ විදේශිකයන්ගේ ද සහායෙන් එහි කෝවිලක් ඉදිවෙන බවය. හේමමාලී - දන්ත කුමරු ප්‍රථම වතාවට ලක්දිවට ගොඩබට දන්තධාතූන් වහන්සේට සෙවන දුන් ස්ථානය ත්‍රස්ත බිමක් වී තිබිණි. පසුව අපට දැනගන්නට ලැබුණේ චීරප්‍රසිද්ධ සිරවද්ධන බෝධිය ද උගුලූවා ඇති බවය. මේ පිළිබඳව වරක් රූපවාහිනී විවාදයක දී යූ.එන්.පී නායකයෙකුගෙන් ඇසූවිට ඔහුගේ පිළිතුර වූයේ ත්‍රී්‍රමලයේ බොහෝ බෝධින් ඇති බවත් ඇතැම් ඒවා කාක බෝධීන් බවත්ය. අන්තිමේදී ත්‍රීමල නගරයේ බුදු පිළිමයක් පිහිටුවා තිබූ ස්ථානයේ නව පිළිමයක් තබන්නට ගියවිට එයට බෝම්බ ප්‍රහාර එල්ල කෙරිණි. එවකට ත්‍රීමලයේ නාවික ආඥාපතිව සිටි අප හිතවත් සරත් වීරසේකර මහතා එය රකින්නට බොහෝ මහන්සි විය. අන්තිමේදී නීතිපතිවරයා ලවා පිළිමය ඉවත්කරලීමට චන්ද්‍රිකා උත්සාහ කළාය. ඒ සියලූ උත්සාහයන් ව්‍යර්ථ කරන්නට අපි දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළෙමු. නීතිපති කාර්යාලය වටකරන්නට පවා අපට සිදුවිය.

 

ත්‍රී/මලයේ සිදුවන මේ සිදුවීම්වලින් කොටපොළ හිමියන් ඉමහත් කම්පාවට පත්වූහ. සියලූම ජනප්‍රිය ජනපදනමක් සහිත හිමිවරුන්ගේ කැඳවීමක් උන්වහන්සේ විසින්, සිදුකරනා ලදි. ගංගොඩවිල සෝම හිමි, කිරිබත්ගොඩ ඥානානන්ද හිමි, කොළොන්නාවේ ශ්‍රී සුමංගල හිමි, උඩුවේ ධම්මාලෝක හිමි වැනි හිමිවරුන් ද ජාතික සංඝ සම්මේලනයේ එල්ලාවල මේධානන්ද නාහිමි, ඕමල්පේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි ආදී හිමිවරු ද එයට එක්වූහ. ඇත්තෙන්ම ජාතික හෙළ උරුමයක් බිහිවීමට මුල් එකමුතුව සිදුවුණේ ඒ භික්ෂු හමුවෙනි. සෝම හිමි අපවත් කිරීම නිසා එයට නව ශක්තිමත් පදනමක් වැටිණි. ජාතික හෙළ උරුමය බිහිකිරීම සඳහා ජනප්‍රිය භික්ෂූන් වහන්සේලා හා ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේලා අතර පාලම වූයේ කොටපොළ නායක හාමුදුරුවන්ය. මා ජාතික හෙළ උරුමයේ ලේකම් පදවිය දරනාවිට ඇතැම් අය එරෙහි වූ විට එකී ලේකම් ධුරය භාරගෙන පක්ෂයේ අර්බුදය නිමා කළේද උන්වහන්සේය.

 

ජාතික හෙළ උරුමයේ නායකත්වයට උත්තරීතර සංඝ සභාව විසින්, ඒකමතිකව පත්කරගත්තේ පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද නායක  හාමුදුරුවන්වය.  ජාතික  සංඝ  සම්මේලනයේ  සභාපතිත්වයට එනතෙක් උන්වහන්සේ මා පුද්ගලිකව දැන සිටියේ නැත. උන්වහන්සේගේ ශාස්ත්‍රීය කටයුතු අසා තිබිණි. කියවා තිබිණි. උන්වහන්සේට දේශපාලනික අත්දැකීම් ද විය. ඒ සියල්ල කදිම කෘතියක් ලෙස නිකුත්ව ඇති නිසා ඒ පිළිබඳව වැඩියමක් නොකියමි. උන්වහන්සේ පිළිබඳ කරුණු දෙකක් සඳහන් කළ යුතුය. එකක් නම් උන්වහන්සේ මොන සභාවල මොන ආකාරයට වැජඹුනත් සිය ගමට, නාපාවල සුමංගලාරාමයට පුදුමාකාර ලෙස බැඳී සිටිනා බවයි. බොහෝ ව්‍යාපාරිකයන් පන්සල නවීකරණය කිරීමට උත්සාහ කළ ද උන්වහන්සේ සම්මාදම් භාර නොගත්හ. සුළඟකට හසු වී පැරැණි විහාර මන්දිරය බිඳවැටුණු විට එයට දානපතියෙකුගෙන් ආධාරයක් ලබාදීමට මා දැරූ උත්සාහයට කැමැත්ත පළකළේ එය මගේ පරිත්‍යාගයක් ලෙස සිදුකළ විටය. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග වරක් විහාරස්ථානයේ උත්සවයකට ගියවිට එහි ඇති චාම් ගැමි බව දැක පළමුව පුදුම විය. පසුව පුදුමාකාර ලෙස සතුටු වූයේ අහස උසට මහ මැදුරු මෙන් පන්සල් ඉදිකිරීමේ මෝස්තරයක් ද ඇතැම් දායකයින් ගෙනයන බව ප්‍රකාශ කරමිනි. උන්වහන්සේගේ මේ නිහතමානී ගැමිකම ඔප්නැංවෙන්නේ දෙසුම් පවත්වන විටදීය. ගැමි උපහරණ රළු කතාදිය සිය දේශනා සඳහා උන්වහන්සේ යොදාගන්නා අතර, සමහරවිට අපි බියවන්නේ නායක හාමුදුරුවන්ගේ කතාවෙන් යම්කිසි අවුලක් උන්වහන්සේට සිදුවේයැයි සිතාගෙනය. නමුත් ඒවා ඇසූවන්ගේ ප්‍රතිචාර බලනාවිට එය ඉතා සාර්ථක දෙසුමක් බව පසුව අවබෝධ කරගන්නෙමු. නායක හාමුදුරුවන්ගේ දෙවැනි ගුණය ඉතිහාසය පිළිබඳ උන්වහන්සේගේ මනා දැනුමයි. මහාචාර්ය පරණවිතාන, කඹුරුපිටියේ වනරතන නාහිමි ආදී විද්වතුන්ගෙන් පසු පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ නොමැකෙන ලකුණ එල්ලාවල නාහිමියන්ය. වැදගත්ම දේ නම් උන්වහන්සේ තනිව සොයාගත් සෙල්ලිපි ප්‍රමාණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව සොයාගත් ප්‍රමාණයට වඩා වැඩි වීමය. පාර්ලිමේන්තු මන්ත්‍රී වශයෙන් උන්වහන්සේට ලැබුණු වරප්‍රසාද සියල්ල යෙදවුණේ විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පන්සල් හා අපේ උරුමය ලොවට විදහා දක්වන්නටය. පාතාල සාමාජිකයෙකු යොදාගෙන රනිල් වික්‍රමසිංහ හා රවි කරුණනායක උන්වහන්සේට ඛෙන්ස්කාර්වලින් දමා ගසන්නට ක්‍රියා කළවිට උන්වහන්සේගේ පමණක් නොව පක්ෂ විපක්ෂ බොහෝ බෞද්ධයින්ගේ සිත් රිදුනි. මන්ද ජාතික මට්ටමෙන් ගත්කළ මහා සිංහලේ වංශකතාවෙන් නායක හාමුදුරුවන්ව සාමාන්‍ය ජනයා පවා හැඳින සිටි නිසාය. ජ.වි.පෙ න්‍යායෙන් හාමුදුරුවන්ට පහරදීමට ගිය රනිල් දේශපාලනිකව තවත් අතරමං විය. මුලදී එල්ලාවල නාහිමියන්, භික්ෂුව ඝෘජු දේශපාලනයට පැමිණෙනවාට කැමැත්තක් දැක්වූයේම නැත. උන්වහන්සේ එය කීප වාරයක් ප්‍රතික්ෂේප කර මහා කොන්දේසි ගණනාවකට යටත්ව පිළිගත්තේය. නමුත් එයට එක`ගවීමෙන් පසු එය අත්නොහැර දැඩිව රැකගත්තාහ. එමගින් බොහෝ භික්ෂූන්ට ආදර්ශයක් වූහ.

 

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ගැන මා දැනගත්තේ 1999 ජනාධිපතිවරණය වර්ජනය කිරීමට උන්වහන්සේගේ ද සහාය ලැබීම නිසාවෙනි. ඉන්පසු උන්වහන්සේ ජාතික සංඝ සම්මේලනයේ ප්‍රතාපවත්, කථීකයා විය. අපගේ ජාතික ව්‍යාපාරයේ සිටි සමාජ සේවයද, ධර්ම ඥානයද, දේශපාලන බුද්ධිය ද, අවංකකම ද ඉහළින්ම තිබූ යතිවරයාණන් කෙනෙක් වූහ. අවස්ථා දෙකකදීම සිය ජීවිතය පරදුවට තැබූහ. පළමු අවස්ථාව වූයේ සෝම හිමි අපවත් වීමෙන් පසු 2003 දෙසැම්බර් 23 දා බලහත්කාරයෙන් ආගම්වලට හැරවීමට එරෙහිව පනතක් ගෙනඑන ලෙස බලකරමින් ආගමික අමාත්‍යාංශය ඉදිරිපිට කළ උපවාසයයි. කරු ජයසූරිය හා විජමු ලොකුබණ්ඩාර ඇමැතිවරු ඒ සඳහා පොරොන්දුවක් දී පනතක් ද කෙටුම්පත් කළහ. චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවාලීම නිසා එය වැළකී ගියේය. දෙවැනිවර උන්වහන්සේ සුනාමි මණ්ඩලයක් තනා ප්‍රභාකරන්ට වෙරළ තීරය භාරදීමට එරෙහිව දළදා මැදුර ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළහ. (2005) මහ දැවැන්ත විරෝධයක් බවට එය පත්විය. අවසානයේ චන්ද්‍රිකා, මහානායක හිමිවරු සතරනමට එවැන්නක් නොකරන බවට පොරොන්දු විය. ජවිපෙට ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවූවේත්, සෝභිත හිමි අනුකරණය කරන්නට ගොස් මහා අතරමංවීමක් සිදු වූයේත් ඒ සමගමය. සුපුරුදු ලෙස චන්ද්‍රිකා පොරොන්දු කඩකළත් උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් යුක්තිය ඉටුකරවා ගත්හ. මත්ද්‍රව්‍ය, දුම්වැටි පනත, උතුර හා නැගෙනහිර වෙන්කරලීමේ නඩුව, ජනාධිපතිවරණය 2005ට ගැනීමේ නඩුව ආදී ඓතිහාසික සිදුවීම් ගණනාවක කර්තෘ උන්වහන්සේ විය. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා හා උන්වහන්සේ අතර තිබූ හිතවත්කම මේ නඩුවලට බලපෑ බවට බොරු මතයක් ඇතැම් අය පතුරවන්නට උත්සාහ කළ ද, අසාධාරණය දුටුකළ සරත් සිල්වා මහතාට පවා උන්වහන්සේගෙන් සමාවක් ලැබුණේ නැත. ශබ්ද දූෂණ චෝදනා මත හිමිනමක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකළ විට උන්වහන්සේ විවෘතවම හිටපු අගවිනිසුරුතුමා විවේචනය කරන්නට පසුබට නොවූහ. තමනට ලැබුණු මන්ත්‍රී ධුරයෙන් ලැබූ සියල්ල පක්ෂයට පූජාකළ උන්වහන්සේ අන්තිමේදී එම මන්ත්‍රී ධුරයම පවා පක්ෂයටම සුදුසු යමක් කරන්නැයි කියා පරිත්‍යාග කරන්නට තරම් පරිත්‍යාගශීලී වූහ. ප්‍රතාපවත් බව උන්වහන්සේගේ චරිත ලකුණ වූ අතර, එය ඕනෑම සභාවක ඕනෑම අයෙකුට ප්‍රකාශ කිරීමට තරම් උත්තර ස්වාභවයක් විය. මට නිතරම ඕමල්පේ සෝභිත හිමියන් පෙනෙන්නේ පීඩිත සිංහල ගම නවීකාරක ලෝකය සමග ගොඩනැගිය හැකි සමාජ සේවය වෙනුවෙන් දිවි කැපකළ පරමාදර්ශී භික්ෂු චරිතයක් ලෙසය. ක්‍රමයෙන් ප්‍රධාන ලාංකික නගරයක් ලෙස ගොඩනැගෙන ඇඹිලිපිටියේ ප්‍රථම බෞද්ධ ජාත්‍යන්තර පාසල ඇතිකරමින් උන්වහන්සේ කළේ ගැමි දරුවන් සමාජයේ ඉහළට ඔසොවා තැබීමේ යුතුකම ඉටුකරලීම පමණක් නොවේ. අනාගත ශ්‍රී ලංකාවේ සිදුවීමට යන මහා ප්‍රජාතාන්ත්‍රික විප්ලවය සංකේතවත් කිරීමය.

 

අතුරලියේ රතන හිමියන් මුලින්ම මට හමුවූයේ 1987 මුලදී කැලණිය විශ්ව විද්‍යාලයේ ඇති වූ ශිෂ්‍ය භික්ෂු අරගලයක් නිසාය. ප්‍රේමදාස අගමැතිතුමා එකී වසර (1987) ජාතික නිවාස වසර ලෙස නම්කර තිබිණි. වරක් මා නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පරිසර සමුළුවකට ගියවිට (2009) එහි පැරැණි නිලධාරීයෙක් ප්‍රේමදාස මහතා ගැන විමසීය. එය මා මවිත කළේය. මන්ද බොහෝදෙනා මෙන් මාද සිතා සිටියේ එක්සත් ජාතීන් වැනි සංවිධානවල ප්‍රේමදාස වැනි නිර්ප්‍රභූ දේශපාලකයෙකු මතක සටහන් තියෙන්නේ කෙසේද කියාය. ප්‍රේමදාස මහතා ලෝක ජනාවාස දිනය යෝජනා කිරීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉතිහාසයට එක්වී තිබූ බව මා දැනගත්තේ එදාය. වරක් එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීම කරනාවිට කාලය හමාර බව පවසන රතු විදුලි බුබුල පත්තුවූ විට එය සිය ලේන්සුවෙන් වසා කතාව දිගටම කරගෙන ගිය බව නිව්යෝර්ක් හි වසන මාධ්‍යවේදියෙකු වූ තැලිප්ඩීන් පැවසූ බව ද මතකය.

 

ප්‍රේමදාස මහතාට ඉඩක් ලැබුනානම් ඔහු ජාතික දේශපාලනයේ මෙන්ම අන්තර්ජාතික දේශපාලනයේදී ද කැපී පෙනෙනා නායකයෙකු වීමට බොහෝ දුරට ඉඩක් තිබිණි.

 

1987 ප්‍රේමදාස අගමැති නම්කළ නිවාස වසරේ කැලණිය විශ්ව විදා්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් පෙළපාළි ගියේ උන්වහන්සේලාට නේවාසිකාගාර නැතිබව කියමිනි. එය පොදු ශිෂ්‍ය අරගලයක් විය. එය මෙහෙවීමට මම එහි ගියෙමි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජයශ්‍රී සමග අතුරලියේ රතන හිමියන්ද එහි වැඩම කර සිටියහ. රතන හිමියන් භික්ෂුන් වහන්සේලා අමතා කළ කතාව මගේ සිත් ගත්තේය.අන් භික්ෂු වහන්සේලා මෙන් නොව කතාවේ කදිමට දර්ශනීක සාරයක් ද බොල් මාක්ස්වාදී වාගාලාපයට එහා ගිය සැබෑ ජාතිකවාදී උද්වේගයක් ද විය. රතන හිමියන් පේරාදෙණියේ දර්ශන අංශයේ උපාධිය සමත් වූයේ එයට පෙර වැඩිම ලකුණු ගත් වසන්ත රාජාගේ වාර්තාවද බිඳ දමමිනි. රතන හිමිට කථීකාචාර්ය පදවියක් ලබා නොදීමට විශ්ව විද්‍යාල පරිපාලනය සූක්ෂම ලෙස ක්‍රියාකළේය. කැලණිය භික්ෂු සටන ආණ්ඩුව මර්දනය කළේය. අපව විශ්ව විද්‍යාලය තුළ සිරකර පොලිස් වැටක් බැඳ, ජලය හා විදුලිය කපා හරිනා ලදී. ටික දිනකට මම උපකුපති කාර්යාලයේ පදිංචි විමි. ආහාර හා ජලය නැතුව වැඩිකලක් සටන ඇදගෙන යා නොහැකිබව අපි අවබෝධ කර ගත්තෙමු. පොලීසිය හා ගැටුමක් ඇතිකරගෙන සටන විසුරුවා හරින ලෙස ජ.වි.පෙ නායකයෝ බලකරමින් සිටියහ. අපි එයට කැමැති නොවූවෙමු. මේ අවස්ථාවේ කැලණියේ “රොනී” ඉදිරිපත් විය. ඔහු ගැන ද මෙහි දී යමක් සඳහන් කළ යුතුමය. රොනී ජවිපෙ දැඩි ක්‍රියාකාරිකයෙකු වූ අතර මනා වැඩීගිය සිරුරක් සහිත ක්‍රීඩා ශූරයෙක්ද විය. එමෙන්ම ළයාදර මිනිසෙක් විය. කෑම ප්‍රශ්නය හා ජල ප්‍රශ්නය ඔහු විසඳුවේය. විශ්ව විද්‍යාලයේ ළිඳ  විවෘතකර දැවැන්ත ටැංකි දෙකකට ජලය පුරවා දුන්නේය. තාප්පයෙන් පැන ගොස් පාන් පුරවන ලද ගෝනි කීපයක් ගෙන ආවේය. සටන වැටෙන තෙක් බලා සිටි පොලීසියට තේරුම් ගියේ අපි යටත් නොවී දිගමට අල්ලාගෙන සිටිනා බවය. රහස රොනීගේ අධිෂ්ඨානයයි. ශිෂ්‍යයින්ගේ අධිෂ්ඨානය පවත්වා ගැනීම සඳහා රතන හිමිත්, මාත් බලහරුවේ හිමිත්, එක දිගමට කතා පැවැත්වු බව මතකය. අන්තිමේදී අපි සටන ජයගතිමු. ඒ ජ.වි.පෙ නියෝගවලට පටහැනිව යමිනි. ජ.වි.පෙ තුළ සිටි එඩිතර උදාර මිනිසෙක් වූයේ රොනීය. වරක් අපට කොළඹ විශ්ව විද්‍යාලයේදී (1986 ) සංවිධානය වූ දයා පතිරණ,ධර්මසිරි හා තිසරණී ගුණසේකර ආදීන් පොලූ මුගුරුවලින් ප්‍රහාරයක් එල්ල කළහ. බොහෝ ජවිපෙ සමාජීකයන් පැන දුවද්දී නොසෙල්වී සිටියේ රොනී පමණි. ‘අද මම තොපිට ගහනවා. මොකද මට හයිය තියෙන නිසා, ජවිපෙට හයිය තිබුණොත් උන් මට ගහන බවත් මං හොඳට දන්න නිසා’ යැයි එදා දයා පතිරණ ප්‍රකාශ කළබව මට හොඳට මතකය. ඒ ප්‍රකාශය ඇත්තක් විය. දයා පතිරණ මරා දැම්මේ ජ.වි.පෙට ඔහුට මුහුණදිය නොහැකි වූ නිසාය. පසුව කටුනායක කඳවුරට පහරදීමට ගොස් රොනී ද මිය ගියේය. සන්ඩේ ටයිම්ස් පුවත්පතෙන් ඔහුගේ මළ සිරුර අපි හඳුනාගත්තේ එයට පෙරදා රෑ අපේ බෝඩිමෙන් රාත්‍රී ආහාර ගෙන එහි තිබූ අඳුරු පැහැ කොටු කමිසයක් ද ඇඳගෙන ඔහු පිටත්ව ගොස් තිබූ හෙයින් ලෙයින් පෙඟී  ගිය කමිසයෙනි. රොනීගේ මිතුරෙකු වූ අශෝක හඳගම පසුව ඔහුගේ ටෙලි නාට්‍යයකට රොනීගේ ප්‍රියතම ගීතයක් වූ ආයෙත් කියන්නේ නෑ වසන්ති ගීතය මුසු කළේය.

 

මා පසුව විදුලිබල මණ්ඩලයේ පුහුණුව සඳහා නුවර ගියවිට රතන හිමි සමග සබඳතා තරකර ගතිමි. උන්වහන්සේ විවිධ දර්ශනයන් පිළිබඳ  වැදගත් හැදෑරීමක් කර තිබු අතර ධර්මසේකර වැනි ජ.වි.පෙ නොවන ජාතිකවාදී දේශපාලන නායකයන්ද ඇසුරු කළේය. පේරාදෙණියේ ‘ නිෂ්මි’ මට කීවේ රතන හිමි අනාගතයේ ද්‍රෝහියෙක්වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිබවය. වාමාංශික ළදරු වලිප්පුව හදා නොගෙන ඉන්නැයි නිෂ්මිට ප්‍රකාශකළ බව මට මතකය. වෛද්‍ය පීඨයේ සුදත් බණ්ඩාර නම් රතනහිමි සමග සුහද විය. භිෂණ යුගයෙන් පසු ( 1987-89 ) ජවිපෙ ඉහළ මණ්ඩලවල ඉතුරු වූ අතළොස්සෙන් එක් අයෙකු වූ සුදත් බණ්ඩාර පසුව ජ.වි.පෙට ආයුබෝවන් කියා ජාතික චින්තකයෙක් විය. පසුව සුදත් තමන් විසින් පරිවර්තනය කළ ස්පාටකස් කෘතිය රැගෙන මා හමුවීමට පැමිණි අතර අතීතයේදී සීතල පේරාදෙණියේ සිදුවූ උණුසුම් දාර්ශනික වාදවිවාද ගැන මතකයන් බොහෝ වේලාවක් රස කරමින් විමසා සිටි බව මතකය.

 

රතන හිමියන්ගේ අතිවිශේෂය වූයේ ඕනෑම ක්‍රියාදාමයක් පුද්ගලික මැදිහත්වීමෙන් අවුල්කර වෙනස් කිරීමට උන්වහන්සේට තිබූ හැකියාවය. කවුරු මොනවා කීවත් මාතරින් කොළඹ පැමිණි රතන හිමියන් රජවත්තේ වප්ප හිමියන්ගේ කාරුණික භාවය සරණ කොටගෙන පූර්ණකාලීන ලෙස ජාතික අරමුණට කැප නොවුනා නම් ජාතික සංඝ සභාව බිහිවන්නේ නැත. වෙනත් සංඝ සභා බිහිවුණත් ඒවා පහසුවෙන් දේශපාලන අතකොලූ වීමට ඉඩ තිබිණි. ජාතික සංඝ සම්මේලනයත් එසේමය. චන්ද්‍රිකා හා ජ.වි.පෙ එක්වී මහනුවර ආධාර සමුළුවක් පවත්වා රටේ ප්‍රතිරූපය විකෘති කළවිට වහා නැගිට එය නිවැරදි කළේ බුදුරජාණන් වහන්සේ භික්ෂුනට දේශනා කළ ‘වැරැද්ද දුටුතැන එය නිවැරදි කරනු’ යන දේශනාව මත සිටගෙනය. මාවිල් ආරු සිදුවීමද එවැන්නකි.

 

2006 ජූලි 23 දා රතන හිමියන් මට දුරකතනයෙන් කතාකර ඇසුවේ මාවිල් ආරුව වසා ඇති නිසා සේරුවිල ජනතාව මහත් දුෂ්කරතාවයකට පත්ව ඇති බවය. අපි වහාම මැදිහත් විය යුතු බව උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළහ. එය වහාම සිදුකරනා ලෙසත් නිශාන්ත කැටුව එහි යන ලෙසත් ඉල්ලා සිටියෙමි. රතන හිමියන් මාවිල් ආරු බලා ගිය අතර නිරායුද ජනයා සංවිධානය කර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය දැවැන්ත මානසික පසුතලය නිර්මාණය කර දුන්නේය. ත්‍රස්තවාදීන්ගේ මානසික යුද්ධයේ ගොදුරු වී සිටි යූ.එන්.පීය හා වෙනත් බලවේග විශ්වාස කළේ රතන හිමිගේ ‘බාල ප්‍රචාරක ප්‍රදර්ශනය’ රට මහත් යුද ව්‍යසනයකට ගෙනයන බවය. ජ.වි.පෙ දැරුවේද මෙවැනි මතයකි. ජ.වි.පෙ මන්ත්‍රී විජේසේකර, මහින්ද පුරයට පැමිණි ජනතාව අධෛර්ය කිරීමට තැත්කළ අතර එය ජනතාවගේ කෝපය වැඩිකිරීමට හේතුවක් විය. ප්‍රදේශයේ ඇතැම් හිමිවරුන් පවා කීවේ එලීලන් සමග සාකච්ජා කර ප්‍රශ්නය විසඳාගත යුතු බවය. ආණ්ඩුවේ ඇතැමුන් පවා සිතුවේ දිගුකාලීන යුද සැලැස්මට මෙය බාධාවක් බවය.

 

ශ්‍රීපති සූරියාරච්චි වරක් ප්‍රකාශකර තිබුණේ කොටි මාවිල් ආරු සොරොව්ව වැසුයේ මහින්ද - ප්‍රභාකරන් ගිවිසුමට අනුව සාම්පුර් ජල යෝජනා ක්‍රමයක් සඳහා ආණ්ඩුව මුදල් නොදුන් නිසා බවය. නමුත් ඇත්ත වූයේ ප්‍රභාකරන් සිය මූලෝපායික යුද සැලසුම එනම් ත්‍රීමලය වටකර යාපනය ඇල්ලීමේ සැලසුම ක්‍රියාවේ නැංවීමට මෙය සිදුකළ බවය.එයට ආසන්නතම හේතුව වූයේ ශ්‍රීලංකා හමුදාවන් නැගෙනහිර බිඳීගිය කොටි සාමාජීකයන් සිය ගණනින් සන්නද්ධ කරනා බව සිය ඔත්තුසේවාවලින් ප්‍රභාකරන් දැන ගැනීම ය. අපි මෙය දැන සිටියෙමු. බලා නොසිට ප්‍රතිප්‍රහාරය එල්ල නොකළා නම් තවත් ප්‍රභූ ඝාතන පෙළක් (මේ වනවිට යුද හමුදාපති ඝාතනයට උත්සාහ දරා තිබිණි) සමග යාපනය වටකිරීම සිදුවීමට ඉඩ තිබිණි. රතන හිමියන්ගේ ක්‍රියාව මගින් සිදුවූයේ කොටි උපාය මාර්ගය අවුල්වී සැලසුම්කළ කලට කලින් කොටින්ට එරෙහිව ජනතා යුද්ධය ඇරැඹීමය.

 

චන්ද්‍රිකා රනිල්ගේ පාලනයේ අමාත්‍යාංශය පවරා ගැනීම සිදුකළ දා ( 2004 පෙබරවාරී 03) අපේ ජනහමුවක් මහනුවර පැවැත්විණි. චන්ද්‍රිකාගේ කාර්යාලයේ සිටි අපේ හිතවතෙකු කීවේ ගැසට් නිවේදනය මුද්‍රණය කරගැනීමට රණවිරාජා මහතා සමත් වී ඇති බවය.

 

පසුවූ දිනෙක තිලක් රණවිරාජා මහතා රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යාංශ පවරා ගැනීමේ ගැසට් නිවේදනය ලබාගත් ආකාරයත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආරක්ෂක ඇමැති ධුරය සඳහා කියවීම ලබාගත් ආකාරයත් නාට්‍යායනුසාරයෙන් මට පැහැදිලි කරදුන්නේය. රනිල්ගේ පාවාදීම නතර කිරීමට එය නිර්භීත පියවරක් වනු ඇතැයි අපේ විශ්වාසය විය. අනෙක් අතට කරුණාගේ බිඳී යෑම ස්ථීර වී තිබූ නිසා ප්‍රභාකරන් කඩිමුඩියේ යුද වැදීමේ අනතුරක් ද නොවීය. එක්සත් ජාතීන්ගේ හමුදා මැදිහත්කරවීමේ තැත නිසා නිරූපම්සෙන් හා ඉන්දියාව සිටියේද දත්කූරු කමිනි. එකම කනස්සල්ල වූයේ රනිල් ජනතා විරෝධය පාරට ගෙන ආණ්ඩුවට අභියෝග කරයිද යන්නය. නමුත් ගුවන්තොටුපොළ දී මාධ්‍ය ඇමැතු රනිල් කීවේ තම දුක්ගැනැවිල්ල ජොර්ජ් බුෂ්ට කිවූ බවය. මුහුණට මුහුණ සටන් කිරීමට සිදුවූ විට එය නොකර හැකිතාක් සටන මගහැර අන් අය පිට යැවීම රනිල්ගේ නායකත්වයේ දුර්වලම ලකුණයි. චන්ද්‍රිකා හරියටම එතැනට ගැසුවේය. ප්‍රකෝටි ගණනක් දේශීය විදේශීය අරමුදල් වියදම්කර තැනූ දේදුනු සන්ධානය බොඳවී ගියේය.

 

අපි සිහළ උරුමයේ රැස්වීම් කීපයක් තැබූවෙමු. සෝම හිමියන් අපවත්වීම කොටින්ට රට පාවාදීම ආදීය නිසා පුදුමාකාර ප්‍රතිචාරයක් අපට ලැබී තිබිණි. ඊළග මැතිවරණයේ කොළඹ පමණක් නොව ගම්පහ, කළුතර , මහනුවර, ආදී ප්‍රදේශවලද අපේ තත්ත්වය සුභදායි බව පැහැදිලි විය.

 

මේ අතර භික්ෂුන් වහන්සේ වෙතින් යෝජනාවක් ඉදිරිපත් විය. එනම් උන්වහන්සේලා ශාසනික වුවමනාව වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් විය යුතුය යන්නය.

 

මේ පිළිබඳ  පූර්ව සාකච්ජා කුප්පියාවත්ත ජයසේඛරාරාමයේ පැවැත්විණි. එල්ලාවල මේධානන්ද නාහිමි, කොළොන්නාවේ සුමංගල හිිමි, උඩුවේ ධම්මාලෝක හිමි , කොටපොළ අමරකිත්ති හිමි, අතුරලියේ රතන හිමි, ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා රැසක් ද තිලක් කරුණාරත්න මහතා හා මා ද එයට සහභාගී වුවෙමු. එතැනදී මත කීපයක් ඉදිරිපත් විය. එල්ලාවල හිමි ප්‍රකාශ කළේ සෘජුව මැතිවරණවලට ඉදිරිපත් වීම භික්ෂුත්වයට හානිකර වීමට ඉඩ ඇති බැවින් සුදුසු ගිහි පිරිසකට සහාය දියයුතු බවය. කොළොන්නවේ හිමි හා උඩුවේ හිමි ඒවනවිටත් සැලකිය යුතු දුරක් සංවිධාන කටයුතු කර තිබුණහ. කොළඹ අවට සිටිනා බොහෝ වැදගත් හිමිවරුන් තම අදහස ඉදිරිපත් කර තිබූ අතර ඡන්දයට තරග කිරීම ස`දහා ලලිත් පෙරමුණ පක්ෂයද තෝරාගෙන තිබිණි. කොටපොළ හිමි,රතන හිමි ආදීන්ගේ මතය වූයේ ඉදිරි දිනවල මේ සඳහා සාකච්ජාවක් කර තීරණය කළ යුතු බවයි. ධර්මායතනයේ මහරගම ධම්මසිරි හිමි, ඕමල්පේ සෝභිත හිමි, මැදගම ධම්මානන්ද හිමි ආදීන්ද එයට සම්බන්ධ කරගත යුතු බව යෝජනා විය. මැදගම ධම්මානන්ද හිමි භික්ෂුව වෙනම ඡන්දයට ඒම ගැන කැමැත්තක් දැක්වූයේ නැත. ගොඩනැගෙන ශ්‍රී.ල.නි.ප - ජ.වි.පෙ සන්ධානයට සහාය දියයුතු යන මතයේ උන්වහන්සේ මුලදී සිටිය මුත් පසුව හෙළ උරුමය ඉදිරියට යද්දී එයට දායකවී මධ්‍යම කාරක සභාවටද ඇතුළත් විය. මුලදීම උන්වහන්සේ ඉදිරිපත්වුවානම් උත්තර සංඝ මණ්ඩලයට පවා එක්කර ගැනීමේ සූදානමක් විය. මහරගම ධම්මසිරි හිමි භික්ෂුව දේශපාලන බලයක් ගොඩනගා ගතයුතුයි කීව ද තමන් එයට පුද්ගලිකව කැපවීමට ඇති ප්‍රායෝගික ගැටලූ පෙන්නා දුන්නේය. වෙනස්ම මඟක් ගෙන හරවත් දේශපාලනයක් කිරීම සඳහා භික්ෂුව දේශපාලනයට ඉදිරිපත් විය යුතුය යන්න ඕමල්පේ හිමිගේ අදහස විය.

 

අප පක්ෂය තුළින්ද මේ අදහසට විරුද්ධත්වය පළවිය. තිලත් කරුණාරත්න මහතාගේ අදහස වූයේ අප සන්ධානයට එක්වී ඡන්දය ඉල්ලිය යුතු බවයි. ඔහු මේ අදහස 2001 දී ද ඉදිරිපත්කළ අතර එයට පටහැනිව අපි තනියෙන් ඉල්ලා පරාජය පිළිගත්තෙමු. අපේ බොහෝ දෙනෙකුගේ අදහස වුයේ ජය පරාජය නොව ප්‍රතිපත්තියට මුල්තැන තිබිය යුතු බවයි.

 

උදය ගම්මන්පිල මහතා ඇතුළු පක්ෂයට කැපවුණු ක්‍රියාකාරීන් බොහොමයක් ප්‍රකාශකර සිටියේ තතිව තරග කිරීමෙන් මෙවර අනිවර්යෙන්ම හොඳ  නියෝජනයක් ගතහැකි නිසා අප අනිවාර්යෙන් තනිව තරග කළ යුතු බවයි. මේ අතර, භික්ෂුන් වහන්සේලාගේ පුද්ගලික මිතුරන් ලෙස පෙනී සිටි ඇතැමුන් සිහළ උරුමය පාච්චල් කරන්නත් භික්ෂුන්ට අපේ සහාය අවශ්‍ය නැතැයි කියමින් අපව හෙළා දකින්නටත් වූහ. එහි කණ්ඩායම් දෙකක් විය. එකක් ආණ්ඩුවට හෝ යූ.එන්.පීයට හිතැති කණ්ඩායමයි. ඔවුන් හොඳින් දැන සිටියේ අප වැනි අය සිටිය හොත් අනාගත භික්ෂු බලය ඔවුනට අවශ්‍ය ලෙස පාලනය කළ නොහැකි බවය. අනෙක් පිරිස නොයෙක් ප්‍රශ්න නිසා අපෙන් වෙන්ව ගිය පිරිසක් විය. ඔවුනට අවශ්‍ය වූයේ හැකිතාක් අපට බාධාකිරීමය.

 

අවසානයේ දී දීර්ඝ සාකච්ජා ගණනාවකින් පසු සිහළ උරුමය ජාතික හෙළ උරුමය බව පත්කරගන්නත් එහි ලකුණ ලෙස සුභ ලකුණක්වූ ජයශංඛය යොදා ගන්නටත් අපට හැකිවිය. 2004 පෙබරවාරී 14 අමා වැස්ස තරුණ සිල් වැඩසටහන (මෙය වැලන්ටයින් දිනයට එරෙහිව යොදාගත් පුනුරුද වැඩපිළිවෙළක් විය) දිනයේ එය ප්‍රකාශ කරන්නට ඉටාගත්ත ද නොයෙක් බාධා නිසා එය ඉටු නොවීය. උඩුවේ හා කොළොන්නාවේ හිමිවරුන්ට දැඩි පීඩනයක් විවිධ ක්ෂේත්‍ර වලින් ඇතිවිය. අන්තිමේදී පිළියන්දල බොදු සමුළුවේ දී දහස් ගණනක සාදුකාර නද මැද්දේ අශෝක මැණික්ගොඩ මහතාගේ ආරාධනයෙන් ජාතික හෙළ උරුමය ප්‍රකාශයට පත්කෙරිණි. සම්පත් බැංකුව, හැරී ජයවර්ධන මහතාගේ ග්‍රහණයෙන් බේරාගැනීම සඳහා අප දියත් කළ සටනින් මතු වූ වැදගත් චරිතයකි අශෝක මැණික්ගොඩ. එක් දිනක ඔහුව මට හඳුන්වාදුන්නේ ඒ සටනෙහි පෙරමුණෙහිම සිටි කළුතර සුගුණ හිමියන් විසිනි. ඔහුව මම කුඩාකළ සිට දනිමි. අපි තක්ෂිලාවේ ක්‍රීඩාකටයුතු කරනවිට ඔහු ශ්‍රී පාලියේ ක්‍රීඩා කටයුතු කළේය. මැණික්ගොඩගේ හැඟීම්බර බෞද්ධ ආයාචනය ඊළඟට රටපුරා ජාතික හෙළ උරුමය වේදිකාවේ රැව්දුන්නේය. ඔහු රත්තරන් පපුවක් ඇති හොඳ  ශ්‍රද්ධාසම්පන්න බෞද්ධයෙක් විය.

 

තිලක් කරුණාරත්න මහතා සිහළ උරුමය භික්ෂූන් වහන්සේට පුජාකිරීම ගැන කැමැත්තක් දැක්වූවේ නැත. නමුත් පානදුර හෙළ උරුමය රැලිය දැකීමෙන් පසු ඔහු භික්ෂූ ජයග්‍රහණය සඳහා කැපවිය. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු (කලක් පානදුර මන්ත්‍රී) දුරකථනයෙන් මාහට කීවේ පානදුර නගර සභා පිටියට 1977 මැතිවරණයේ දී පිරීගියාට පසු පුරවනු ලැබුයේ හෙළ උරුමයේ ස්වාමින් වහන්සේලා බවය. එදින රැලියේ දී අප පිළිබඳ  ඔත්තු බලමින් සිටි සෙලින්කෝ සමාගමේ සේවය කළ හිටපු හමුදා නිලධාරීන් කීපදෙනෙකු අපට හසුවිය. අපේ වාහනවලට සමාන වාහන යොදාගෙන අපේ චරිත ඝාතනය සඳහා ඒවා යොදා ගන්නා අන්දම ගැනවූ මහා කුමන්ත්‍රණයක් පසුව මහනුවරින් අල්ලාගත් හිටපු හමුදා නිලධාරීන් දෙදෙනෙකු ද හෙළිදරව් කළේය. කොතලාවල මහතා රතුඉර පැන ඇති බව අපි තේරුම් ගත්තෙමු. කොතලාවල මහතා මහා මූල්‍ය වංචාවක් හසුවී සිරගෙදරට යනතෙක්ම ඔහුගේ ආගමික හා ධනබලය සමග අපට ධර්ම යුද්ධයක් විය.

 

රටපුරාම ගොස් ජාතික හෙළ උරුමයට අවශ්‍ය අපේක්ෂක ලැයිස්තුව තැනුයේ මාය. ගම්පහ ලැයිස්තුව සකස් කරද්දී (සනිරෝ ආයතනනයේදී) හිමිනමකගේ අඩුපාඩුවක් පැනනැගී අතර ඒ සඳහා අපේ මීරිගම ඉන්දාසර හිමි සමග වැඩමකර සිටි අපරැක්කේ පුඤ්ඤානන්ද හිමිගේ නම යොදාගැනීමට සිදුවිය. අපරැක්කේ හිමි පසුව මන්ත්‍රීවරයෙකු විය. හෙළ උරුමය සමග මත ගැටුම් ඇතිකරගත් අතර සුප්‍රකට කථානායක ඡන්දයේ දී සන්ධානයට ඡන්දය දුන්නේය. අපි ඒ ඡන්ද නිෂේධ කිරීමෙන් අලූත් ඉතිහාසයක් නිර්මාණය කළෙමු.

 

හෙළ උරුමය ප්‍රකාශ කළදා සිට ජ.වි.පෙ ප්‍රචණ්ඩ ලෙස අපට බාධා කළේය. ඇතැම් භික්ෂුන් පිරිසක් තිලක් කරුණාරත්න මහතාගේ නිවස ඉදිරිපිට උපවාසයක් කිරීමටද ඉදිරිපත් වූහ. මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය සඳහා ඔත්තු බැලූ බවට චෝදනා ලැබූවෙක්ද ඒ අතර විය. ඡන්දයේ දී ජ.වි.පෙ බාධාවලට මුහුණ දීමේ වගකීම සිහළ උරුමයේ තරුණ පරපුර බාරගන්නා ලදී. ජ.වි.පෙ පොලිස් බලය හා රාජ්‍ය යාන්ත්‍රය අපට එරෙහිව යොදා ගත්තේය. දැන් (2009) විපක්ෂයේ සිට ඔවුන් රාජ්‍ය මර්දනය ගැන කියමින් උසාවි යෑම විහිළුවක් වන්නේ එදා රාජ්‍ය බලය ජාතික හෙළ උරුමයට එරෙහිව යොදාගත් ආකාරය දෙස බැලීමෙනි. මහනුවර, කුරුණෑගල, කළුතර හා කොළඹ දිස්ත්‍රික්කවල මැතිවරණ කටයුතුද, මාධ්‍ය ප්‍රචාරක කටයුතු ද මෙහෙයවීම මම සිදු කළෙමි. ධම්මාලෝක හිමියෝ අමුතුම ආකාරයකට කොළඹ සංවිධානය කළ නිසාත් දහස් ගණනක් ස්වේච්ඡාවෙන් එයට දායක වූ නිසාත් එහි එතරම් වෙහෙසක් දැරීමට වූයේ නැත. නමුත් අනෙක් දිස්ත්‍රික්කවල අපිට උපරිම ලෙස කැපවන්නට සිදුවිය. කළුතර හා මහනුවර ආසන ලැබුණේ ද, කුරුණෑගල ආසනයක් ආසන්නයට ආවේද ඒ කැපවීම නිසාය. ඇතැම් ව්‍යාපාරිකයන් සන්ධානයට හා යූ.එන්.පීයට සැබෑවටම මුදල් වියදම් කරනා අතරේ හෙළ උරුමය කරන්නේත් තමන්යැයි පෙන්නා දෙන්නට උත්සාහ කළහ. නමුත් හෙළ උරුමයට මහාපරිමාණයෙන් උපකාර කළේ අප්‍රකට මිනිසුන් දෙතුන් දෙනෙකි. ස්වර්ණවාහිනිය විවෘතව ලබාදුන් ප්‍රචාරක සහාය නාගරික ප්‍රදේශවල මැතිවරණ ජයග්‍රහණයට බොහෝ ඉවහල් විය.

 

කළුතර චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ රාත්‍රියේ සිටියේදී මට අපේ පැරැණි ගණිත ගුරුවරයාවූ සෙන්දනායක මහතා හමුවිය. තමන් දේශපාලයේ දී නිෂ්ක්‍රීය නමුත් මෙවර පිරිසිදු දේශපාලනයක් පතා හෙළ උරුමයට ඡන්දය දුන් බව ප්‍රකාශ කළේය. හෙතෙම ඡන්ද ගණන් කරීමේ නිලධාරියෙකුද වූ නිසා අපට ආසනයක් තිඛෙනා බව පරිගණකය පරීක්ෂාකර බලා ඔහු කීවේය. අපි ප්‍රිතීයෙන් පිනා ගියෙමු. කළුතරින් පළමුවැනියා නොවුනහොත් ඉල්ලා අස්වන බව කිවූ රෙජිනෝල්ඩ් කුරේ පඩිපෙළේ දී හමුවිය. ජ.වි.පෙ නන්දන ගුණතිලක ඔහු මෙන් දෙගුණයක් මනාප ගෙන තිබුණු අතර ජ.වි.පෙ තිදෙනාම ඔහුට උඩින් විය. ඉල්ලා අස්නොවන මෙන් ද තමන් කීවේ ශ්‍රී.ලනි.පයේ පළමුවැනියා වීම ගැන බව මාධ්‍යවලට පැහැදිලි කරන මෙන් ද එතුමාට විිහිළුවට මෙන් කීවෙමි. දිසාපති කාර්යලයේ දී මට නන්දන හා මහින්ද සමරසිංහ හමුවිය. සිනාමුසු මුහුණින් මහින්ද කීවේ ජාතික ආණ්ඩුවකට කාලය අවුත් ඇති බවය. හැබැයි ඒ තීරණය ගන්නට ඔහුට තවත් දෙවසරක් ගතවිය.

 

අපේ ඡන්ද ප්‍රතිඵලය බොහෝදුරට සිහළ උරුමයේ ප්‍රතිඵලයට සමාන විදහා දැක්වීමක් විය. නමුත් 2000 දී සිහළ උරුමය ගත් ඡන්ද ප්‍රමාණය මෙන් ආසන්නයෙන් සතර ගුණයක් හෙළ උරුමය ලබාගෙන තිබිණි. කෙසේ වෙතත් කොළඹ, ගම්පහ, කළුතර, නුවර, කුරුණෑගල ආදී නාගරික උගත් පිරිස බහුල ප්‍රදේශවල ඉහළින්ම ඡන්දය වැටී තිබිණි. කැස්බෑව හා මහරගම යූ.එන්.පීය ද පැරැදී තිබිණි. භික්ෂූන් වහන්සේ ඡන්දය නොඉල්ලා සිහළ උරුමය ඉල්ලූවත් අඩුතරමින් ආසන තුනක්වත් ලැඛෙන්නට ඉඩ තිබිණි. ප්‍රතිපත්ති පමණක් නොව අපේක‍ෂකයා ද, පණිවුඩය පමණක් නොව පණිවුඩකරු ද වැදගත් බව ජාතික හෙළ උරුමය පෙන්නා දුන්නේය.

 

එක්සත් ජනතා නිදහස් සන්ධානයහි ඇතැමුන් කීවේ අපි ඔවුන්ගේ ඡන්ද කැඩු බවය. එය අසත්‍යයකි. 2001 දී ශ්‍රී.ල.නි.ප, ජ.වි.පෙ වෙන වෙනම ගත් ඡන්දය මෙවර ඔවුන් එක්වී ලබාගෙන තිබිණි. යූඑන්පීයේ ඡන්දය නම් අඩුවී තිබුණේය. මට පසුව රනිල් වික්‍රමසිංහ හා මලික් සමරවික්‍රම යන දෙදෙනාම කීවේ හෙළ උරුමය නිසා පාඩු වූයේ යු.එන්.පීයට බවය. මගේ මතය නම් අපි දිනාගත්තේ පක්ෂවලට ගැති නොවු මධ්‍යමික ඡන්දයක් බවයි. 2005 ජනාධිපතිවරණයේදී අපි හෙළ උරුමයට වැටුණු ඡන්දවලින් 65% ක් පමණ මහින්ද රාජපක්ෂ වෙතට ගෙනයෑමට සමත් වීමෙන් මෙය තවත් පැහැදිලි විය. හෙළ උරුමයේ ස්වාමින් වහන්සේලාට පහරදී බියවද්දා අප අඩපනකළ හැකියැයි සිතු මංගල - ශ්‍රීපති - රුවන් - ජේ.වී.පීය කල්ලියේ පදනම අපි පරාජය කළෙමු. දිවයින පුවත්පතින් අපට පහර එල්ලකළ ඇතැම් ජාතිකවාදී ලේඛකයෝද අපේ මහා පිම්ම ගැන මවිත වූහ. කිසිවෙකුට ආපසු හැරවිය නොහැකි  සිංහල  බෞද්ධ  බලවේගයක්  බල  කරළිය  වෙනස්  කිරීම  අරඹා තිබිණි.

 

 

@පාඨලී චම්පික රණවක

මතු සම්බන්ධයි