SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහජන මුදල් රුපියල් කෝටි ගණනක් මහජන මුදල් වියදම් කොට ‘‘ආරංචිය සුබයි’’ යනුවෙන් පෝස්ටරයක් රටපුරා ප්‍රදර්ශනය කොට ඉකුත් බදාදා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කළ කතාව ඔහු ඉදිරි ජනාධිපතිවරණයට ස්ථිර වශයෙන්ම ඉදිරිපත් වීම ප්‍රකාශයට පත් කිරීමක් විය.

 

එදිනම උදේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  අනුග්‍රහයෙන් මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ද්විපාර්ශ්වික ජාත්‍යන්තර ණය හිමියන් සමග ගිවිසුමක් ඇති කර ගන්නට නියමිතව තිබිණි. එහෙයින් ආරංචිය සුබයි යන්නෙන් ආණ්ඩුව අදහස් කරන්නේ රට බංකොළොත්භාවයෙන් මිදීම යැයි විරුද්ධ පක්ෂවල මතය විය. එහෙයින් ජනාධිපතිවරයා ජාතිය අමතා කතා කරන්නට යන්නේ ඒ බව නිවේදනය කරන්නට යැයි එම පක්ෂ සිතුවේය. ඒ අනුව එම පක්ෂ පැවසුවේ එය නිවේදනය කළ යුත්තේ ශ්‍රී ලංකාවේ බලධාරීන් නොව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන බවය.

 

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිය කතාවේ දී රට බංකොලොත්භාවයෙන් මිදුණු බවට පැහැදිලි ප්‍රකාශයක් කළේ නැත. ඔහු පැවසුවේ ‘‘වසර දෙකක් තුළ, පාර්ලිමේන්තු බහුතරයක් නැතිව මා පත් කළ රාජ්‍ය නිලධාරීන් හෝ ඇමැතිවරුන් නැතිව මම සාර්ථකව රට බංකොලොත් භාවයෙන් හා ආර්ථික වියවුල්කාරීත්වයෙන් ලෝකය පුදුමයට පත්කළ තත්වයකට පත් කළා’’ යනුවෙනි. එක් අතකින් මෙය තමන් රට බංකොලොත්භාවයෙන් මුදා ගත් බව කියා පෑමක් ලෙස ද සැලකිය හැකිය.

 

සිය කතාවේ තවත් තැනෙක ඔහු මෙසේ කියයි. ‘‘මේ තත්වය තුළ, මම ඔබලාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ආරම්භයේ සිටම ප්‍රශ්නය තේරුම් ගෙන ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කොට, ප්‍රතිඵල ගෙන දුන් මා සමග ඉදිරියට යන්නේද? එසේ නැත්නම් අඳුරේ අතපත ගාමින් ප්‍රශ්නය තේරුම් ගන්නට නොහැකි දඟලන අයගේ පැත්ත ගන්නේද? ’’ මා සමග ඉදිරියට යන්නේ ද යන ප්‍රශ්නයෙන් කියවෙන්නේ ඔහු තවදුරටත් ජනාධිපති ධුරයේ සිටින්නට අදහස් කරන බවකි.

 

එසේ කියමින් නිවැරැදි තීරණයක් ගන්න  ලෙස සිය කතාවේ අවසානයේදී ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. එයද ඔහු සිය ජනාධිපතිවරයා ඇතුළු අපේක්ෂකත්වය කියා පෑමකි.

 

ශ්‍රී ලංකාව බංකොලොත්වීම පිළිබඳව මෙරට නායකයන්ගේ ප්‍රකාශ වටහා ගැනීම අපහසුය. ඒ ඔවුන් විවිධ අවස්ථාවල දී ඒ ගැන විවිධ ප්‍රකාශ කිරීමක් ඔවුන් අතර ද ඒ ගැන විටෙක එකඟතාවක් නැතිවීමත් නිසාය. රට බංකොලොත් වී ඇතැයි මුලින්ම ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ 2022 ජූලි 5 වැනිදා පාර්ලිමේන්තුවේ දී එවිට ඔහු අගමැති විය. එය විශේෂිත  ප්‍රකාශයක් වූයෙන් ජාත්‍යන්තර ජන මාධ්‍යය ද එම අදහස සිරස්තලයටම ගෙන එය පළ කොට තිබිණි.

 

ශ්‍රී ලංකාව 2022 සැප්තැම්බර් 1 වැනිදා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකර ගත්තේය. එමගින් ශ්‍රී ලංකාවට වසර හතරක් තුළ ඩොලර් බිලියන (Billion) 3 ක පමණ ණයක් දෙන්නට නියමිත විය. පසුගිය වසරේ මාර්තු 20 වැනිදා මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එම ගිවිසුම අනුමත කරමින් එම මුදලෙන් ඩොලර්  මිලියන (Billion) 330 ක් වහාම මුදා හැරීමට අනුමැතිය දුන්නේය. පසුදා ප්‍රකාශයක් කළ ඒ වනවිට ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ මහතා රට තවදුරටත් බංකොලොත් යැයි සැලකිය නොහැකි බව පැවසීය.

 

ඉන් මාස තුනක හමාරකට පමණ පසු 2023 ජූනි 24 වැනිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ (SLID) රැස්වීමක දී යළිත් ඒ පිළිබඳ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා එම වසරේ සැප්තැම්බර් මාසයේ දී පමණ රට බංකොලොත්  භාවයෙන් මිදෙනු ඇතැයි අපේක්ෂා කරන  බව කීවේය. එහෙත්  සැප්තැම්බර් මාසයේ දී එවැන්නක් සිදු නොවීය. නොවැම්බර් 25 වැනිදා මාතලේ පැවැති දේශපාලන ක්‍රියාකාරිකයන්ගේ රැස්වීමක දී වසර අවසානයේ දී රට බංකොලොත්භාවයෙන් මිදෙනු ඇතැයි සිතන බව ඔහු සඳහන් කළේය. දැන් ඔහු රට බංකොලොත්භාවයෙන් මිදී ඇතැයි පවසයි.

 

ශ්‍රී ලංකාව ඇතැම් විදේශ ණය තාවකාලිකව නොගෙවා සිටීමට 2022 අප්‍රේල් 12 වැනිදා තීරණය කළේය. මේ පිළිබඳ පුවත පළ කරමින් ඩේලි එෆ්.ටී. පුවත්පත ‘‘ශ්‍රී ලංකාව බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කරයි.’’ යනුවෙන් එම පුවතට සිරස්තලයක් යොදා තිබිණි. එහි බංකොලොත්භාවය යන පදය නොපිළිගත් මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකාව බංකොලොත් නොවන බවත් සිදුවී ඇත්තේ රටේ යහපත් වෙනුවෙන් කල් තබා සාකච්ඡා කොට ණය ගෙවීම නතර කිරීම පමණක් බවත් පවසා තිබිණි. එහෙත් එම වසරේ ජූලි මාසයේ දී රනිල් වික්‍රමසිංහ මහතා රට බකොලොත් යැයි කීම නිසා දෝ ඔහුගේ ප්‍රකාශ ද වෙනස් විය.

 

පසුගිය වසරේ ජනවාරි 17 වැනිදා රූපවාහිනී සංවාදයකට සහභාගි වූ ආචාර්ය වීරසිංහ ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමට පෙරම එම බංකොලොත්භාවය සඟවාගෙන සිටි බව ප්‍රකාශ කළේය. එම අදහසම ඔහු යළිත් ප්‍රකාශ කළ බව පසුගිය වසරේ මාර්තු 17 වැනිදා හින්දු පුවත්පත වාර්තා කොට තිබිණි. ඩොලරය රුපියල් 203ට බැස තිබීම නිසා අපගේ සංචිත මුළුමනින්ම අවසන් වී රට බංකොලොත් භාවයට පත්වීමට මඟ පෑදුණු බව ඔහු එහි දී පවසා තිබිණි.

 

පසුව දෙසැම්බර් මාසයේ දී ඔහු යළිත් සිය මතය වෙනස් කළේය. එනම් රට බංකොලොත් නොවන බවය. ඉන්පසු රට බංකොලොත්භාවයට පත්වීම පිළිබඳ විමසන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ මේ වසරේ ජනවාරි 28 වැනිදා සාක්ෂි දෙමින් ආචාර්ය වීරසිංහ රට බංකොලොත් නොමැති බව යළිත් තහවුරු කළේය. ‘‘ඇත්ත වශයෙන්ම සිදුවූයේ තෝරා ගත් දේශීය හා විදේශීය ණය ගෙවීම කල් දැමීමයි’’ යනුවෙන් ඔහු එහි දී සඳහන් කොට තිබිණි.

 

2022 දී ශ්‍රී ලංකාවේ පැවැති තත්වය බංකොලොත් භාවයක්ද? නැද්ද? යන්න කෙසේ වෙතත් ඒ කාලයේ දී රටෙ විශාල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දුන්නේය. එතෙක් මෙරට සිටි ඇතැම් නායකයන් තමන් රට සංවර්ධනය කළ බවට වහසි බස් දෙඩුව ද, දේශීය ආධාර පතා සපුරන හා විදේශ විනිමය උපයන ආර්ථික ගොඩ නැගීමට ඒ කිසිවෙක් සමත් නොවීම මීට ප්‍රධාන හේතුව විය. දූෂණය, නාස්තිය හා දුර්වල කළමනාකරණ අනෙක් කාරණය විය.

 

රට පාලනය කළ ප්‍රධාන පක්ෂ මෙන්ම සන්ධානගත පක්ෂ ද, වාමාංශික පක්ෂ ඇතුළු ඇතැම් සුළු හා සුළු ජාතික පක්ෂ ද මෙම තත්වයට වගකිව යුතුය.

 

රට ආර්ථික වශයෙන් අගාධයට ඇදගෙන යාම අසාමාන්‍ය වේගයෙන් සිදුවූයේ ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේදීය. එය ආර්ථික අර්බුදය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ දුන් නඩු තීන්දුවේම ඉතා පැහැදිලිව පෙන්වාදී තිබිණි. මෙසේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ 2021 හා 2022 දී රටේ විදේශ විනිමය සිඳිගියා පමණක් නොව  එය පියවීම සඳහා ණය ගන්නට ද තැනක් නොවීය. ඉතිරි වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණි.

 

එහෙත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මූල්‍ය අරමුදලට යාමට විරුද්ධ විය. අවසානයේ දී ඔහු ඉවත් කොට වත්මන් මහ බැංකු අධිපතිවරයා පත් කිරීම රාජපක්ෂ මහතාට සිදුවිය. එසේ මූල්‍ය අරමුදල සමඟ වූ වත්මන් වැඩ පිළිවෙළ ආරම්භ කළේ රනිල් වික්‍රමසිංහ මහතා නොව ගෝඨාභය  රාජපක්ෂ මහතාය. ඒ 2022 මාර්තු මාසයේදීය. ඔහුගේ කාලයේදී ආර්ථිකය විනාශ වුවද මේ කාරණයද සටහන් කළ යුතුමය.

 

ඊට ආසන්න කාලයක රාජපක්ෂ මහතා එම වැඩපිළිවෙළ දැනට ඉදිරියට ගෙන නිලධාරීන් වන වත්මන් මහ බැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එම තනතුරුවලට පත් කළේය. ඔවුන්ගේ උපදෙස් මත වැඩ පිළිවෙළට උපදෙස් දෙන ජාත්‍යන්තර මූලය හා නීතිමය උපදේශන  ආයතන තෝරා ගත්තේය. ඒ කාලයේම මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාද ආරම්භ විය. දැනට මෙම වැඩ පිළිවෙළට එක්ව කටයුතු කරන ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් පත් කළේ ද රාජපක්ෂ මහතාය. කොටින්ම මූල්‍ය අරමුදල සම්බන්ධ සමස්ත යාන්ත්‍රණනය සකස් කෙරුණේ රාජපක්ෂ මහතාගේ කාලයේදීය.

 

කුමන යාන්ත්‍රණය ක්‍රියාත්මක වුවද කොතරම් සාකච්ඡා කළද මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ වැඩ පිළිවෙළකි. ඒ බව ඔවුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2022 පෙබරවාරි මස (ශ්‍රී ලංකාව ආධාර ඉල්ලන්නට පෙර) ඉදිරිපත් කළ 2021 කන්ට්‍රි රිපෝට් වාර්තාවේ ඉදිරිපත් කරන ලද යෝජනාවලින් පෙනේ.

 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම මූල්‍ය අරමුදලට වැඩපිළිවෙළදී ප්‍රධාන ඉලක්කයි. ඇත්ත වශයෙන්ම ණය බරින් මිරිකෙන රටකට මූල්‍ය අරමුදලෙන් ලැබෙන ප්‍රධාන සහනය ද එයයි. මන්දයත් ණය හිමි රටවල් ණය ප්‍රතිව්‍යූහගත කරණයට  ප්‍රධාන වශයෙන්ම එකඟ වන්නේ මූල්‍ය අරමුදලේ මැදිහත් වීම නිසාය. එසේ වුවද ණය හිමි රටවල් සමග ණය කපා හරින්නේ ද කපා හරින්නේ නම් කොපමණකින් ද, ණය ගෙවීමට කල් ගත හැකි ද, හැකිනම් කොපමණ කාලයකින් ද ආදිය පිළිබඳ සාකච්ඡා කොට එකඟතා ඇති කරගත යුත්තේ ණය නැති රටයි.

 

පසුගිය බදාදා ඇති කර ගත්තේ එම එකඟතාවයි. වසර දහයකට ණය ගෙවීම කල්  දමා ගැනීමට ශ්‍රී ලංකාව අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව ඉකුත් වසරේ මාර්තු 20 වැනිදා ප්‍රෙස් ටුස්ට් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කළේය. එහෙත් බදාදා ඇති කරගත  එකඟතා අනුව ණය ගෙවීමට කාලය ලැබී ඇත්තේ 2028 දක්වා පමණි.

 

 ණය ගෙවීමට කොතරම් කාලයක් ලැබුණද එම ණය පොළිය සමග කවදා හෝ ගෙවිය යුතුය. ප්‍රශ්නය ඇත්තේ එතැනයි. අපගේ ගැටලුව නම් ඒ සඳහා අපට වැඩ පිළිවෙළක් නැතිවීම සහ ණය තව තවත් වැඩිවීමයි. මුදල් අමාත්‍යාංශය වාර්තා අනුව 2022 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 34.8කි. එතැන් සිට පැරැණි ණය නොගෙවා, දැඩි  ආනයන සීමා පනවා තිබියදීත් මේ වසරේ මාර්තු අග වනවිට එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් දක්වා වැඩිවී තිබේ.

 

ආණ්ඩුවට මේ ණය ගෙවීමට වැඩ පිළිවෙළක් තිබේද? අපනයන ආර්ථිකයක් ගොඩ නඟන බවට නායක කාරකාදින් කීව ද එවැන්නක් සැලසුමක් හෝ දකින්නට නැත. ජනාධිපතිවරයා පසුගිය වසරේ ජූනි 2 වැනිදා ජාතිය අමතමින් රට ගොඩනැඟීම සඳහා ‘‘ජාතික පරිවර්තනීය මාර්ග සිතියම’’ නමින් වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළේය. ඊට අදාළව එම මාසයේම සති තුනක් ඇතුළත ආයෝජන සැලැස්මට සකස් කරන බවත් ආයෝජන මූල්‍ය ප්‍රතිසංස්කරණ සමාජ ආරක්ෂණය හා පාලනය සහ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය ආදිය ඇතුළත් වැඩ පිළිවෙළක් ඉදිරිපත් කොට මහජන මතය ද විමසා එම වසර අවසානයේ දී අවසන් සංවර්ධන මාර්ග සිතියම ඉදිරිපත් කරන බව ද එම කතාවේදී කියවිණි. එහෙත් ඒ කිසිවක් සිදු නොවීය.

 

අප උත්සව පැවැත් විය යුත්තේ ණය ගන්නා විට හා ණය ගෙවීම කල් දමා ගන්නා විට නොව ණය ගෙවීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන විටය. නැත්නම් ඒ ණය මෙන්ම ඉදිරියේ දී ගන්නා ණය ද ගෙවිය යුතු වන්නේ අපගේ දරුවන්ය.

 

@ එම්.එස්.එම්. අයුබ්

lankadeepa

නවතම ලිපි