ඉන්දියාවේ විශේෂ රැස්වීම් මාලාවක්
මෙම මාසයේ 12 වන දින සිට 20 වන දින දක්වා ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ මහා සම්මේලනයට සමාන්තරව රැස්වීම් මාලාවක් පැවත්වුණි.
මුලින්ම පැවති අවුරන්ගාබාද් හී ෂෙවානි ප්‍රදේශයේ පැවති රැස්වීම අතිශයින්ම සාර්ථක විය. ඒ සඳහා 10,000 ට අධික ජනතාවක් සහභාගී වූහ. ඔක්තොම්බර් 13 වන දින දකුණු ආසියානු බෞද්ධ මහා සම්මේලනයේ විධායක සභාව පැවත්වුණි. එම විධායක සභාවේ දී යළිත් වතාවක් එහි සභාපතිවරයා ලෙස මා පත් කළ අතර අනෙකුත් නිළධාරී මණ්ඩලය ද පත්කරන ලදී.
ලබන ජනවාරි මස පැවත්වීමට නියමිත මහා සම්මේලනයේ දී එය සම්මතකර ගැනීමට තීරණය විය. ඉන්දියාවේ පූර්ණා දිස්ත්‍රික්කයේ බුද්ධ මහා විහාරයේ පැවති රැස්වීමට 1000 ක පමණ පිරිසක් සහභාගී විය. නාන්දේත් දිස්ත්‍රික්කයේ භෞරී නගරයේ පැවති රැස්වීම ද ඉතා සාර්ථකව පැවත්වුණි. බීඩ් දිස්ත්‍රික්කයේ ස්වස්ථි බෞද්ධ විහාරයේ පැවති රැස්වීමට 2000 ක පමණ පිරිසක් සහභාගී විය. ඔක්තොම්බර් 20 වන දින පැවති පරමාණි දිස්ත්‍රික්කයේ අමර්වාණී මහා විහාරයේ පැවති රැස්වීමට 25,000 ක් පමණ පැමිණ සිටියහ.
ඉන්දියානු භික්ෂූන් පුහුණු කිරීම.
මෙම සියලු රැස්වීම් හී අභිප්‍රාය වූයේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ බෞද්ධ පුනරුදයක් ඇතිකරලීමයි.. මේ වන විට ස්ථාන 05 ක පමණ මහා පරිමාණ බෞද්ධ ආයතන 05 ක් ගොඩනැගෙමින් පවතී. මීට වසර 15 කට පමණ පෙර ඉන්දියාවේ සිට භික්ෂූන් වහන්සේලා සහ තරුණ ළමයින් ලෙස 15 දෙනකු පමණ ගෙනවිත් කොළඹ රාජගිරිය, සදහම් සෙවණෙ හි සහ මා විසින් ගොඩනැගූ පොරවගම, ඇල්පිටිය සදහම් සෙවණ මූලික පිරිවෙන හා සෙනසුනෙ හි පුහුණු කරන ලදී. විශේෂයෙන්ම මේ වන විට මෙම ආයතනයේ පුහුණු වූ භික්ෂූන් වහන්සේලා 03 නමක් ඉතා සාර්ථකව දැනට මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ඉත සාර්ථකව වැඩකටයුතු කරමින් සිටිති.
ඉන්දියාවෙන් බුදු දහම විනාසවීමේ ඛේදවාචකය.
ක්‍රි.ව. 9 වන සියවසේ මැද භාගයේ පමණ නාලන්දා ඇතුළු අති විශාල විශ්ව විද්‍යාල 5 ක් සහමුලින්ම බිඳවැටුණි. මෙය සිදුවූයේ මෝගල් අධිරාජ්‍ය ඇතිවීමත් සමගයි. සිතාගැනීමට අපහසු කරුණක් නම් එතැන් පටන් ඉන්දියාවේ කිසිම බෞද්ධ ලකුණක් ඉතුරු නොවන ලෙස බුද්ධාගම අතුගෑවී යෑමයි. මොන්ගෝලියානු ජනතාවන් වෙසෙන හිමාල කඳුවළල්ලෙ හි සීමිත ප්‍රදේශයක පමණක් බුද්ධාගම ආරක්ෂා වුණි. (සිකීම්, ඇසෑම්, හිමාචල්, අරුණාචල්, උත්තරාකාන්ත්) මෙම ප්‍රදේශ වල විශාල වශයෙන් තේ වගාව සඳහා පන්ජාබ් ජනතාව පදිංචි කිරීම නිසා (නුවරඑළිය මෙන්) මෙකී ප්‍රාන්ත වල බෞද්ධ ජනයා සුළු ජන වර්ග බවට පත්වී ඇත. මෙම බෞද්ධ සම්ප්‍රධාය ගොඩනැගී ඇත්තේ ටිබෙට්, භූතාන් සම්ප්‍රධාය ඔස්සේය. ඉන්දියාවේ වෙන කිසිම තැනක බුදු දහම ඉතුරු වූයේ නැත. එය පුදුමය දනවන කාරණයකි. නාලන්දා විශ්ව විද්‍යාලයේ පොත්පත් හා දැන උගත් බොහෝ දෙනෙක් ටිබෙටය හා ඒ ආශ්‍රීත කඳුකර ප්‍රදේශ වලට පලා ගියහ. මෙම ප්‍රදේශ වල අදටත් නාලන්දා විශ්ව විද්‍යාලයේ දැනුම් පද්ධතිය ආරක්ෂා වෙමින් පවතී.
ඉන්දියානු ව්‍යවස්ථාවේ පුරෝගාමියා අම්බෙක්කාර්.
Dr. Babasaheb Ambedkar
බ්‍රිතාන්‍ය යුගයේ බිහි වූ බාබා සයිබ් අම්බෙක්කාර් තුමා හාවඩ් විශ්ව විද්‍යාලයේ නීතිය හා දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර උපාධිදාරිවරයෙක්. ඔහුට මේ විෂයන් පිළිබඳ සුවිශේෂ දැනුමක් පැවතිණි. ඒ නිසාම ඉන්දියාව නිදහස ලබාගන්නා විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණයේ වගකීම අම්බෙක්කාර් තුමාට පැවරුණි. ඒ අනුව ඉන්දියානු නිදහස යටතේ බිහිවුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි බාබා සයිබ් අම්බෙක්කාර්තුමාගේ දායකත්වය ඉතා විශාලය. ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ කමිටුවේ සභාපතිවරයා වූයේ ද ඔහුය. ඔහු ඉතා දක්ෂ ලෙස බුදු දහමේ හරයන් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට දක්ෂ වූහ. කථානායක පුටුවෙහි “ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි” යන වැකිය ව්‍යවස්ථාව තුළ තබන්නට ඔහු සමත් විය. ධර්මාශෝක මහ රජතුමාගේ ධර්ම චක්‍ර ලාංඡනය ඉන්දියානු කොඩියට ගෙන ආවේ ද ඔහු විසිනි.
පහත් කුල සඳහා වරප්‍රසාද දීමට ගාන්දිගේ විරෝධය.
මේ වන විට ඉන්දියාවේ කුල වාදය ඉතාම බලවත්ව පැවතුණි. අම්බෙක්කාර්තුමා අයත් වූයේ මහාර් නම් කුලයටයි. එම කුලය ඉන්දියාවේ ජනගහණයෙන් 20%ක් පමණ සිටිති. මෙම කුලය හැඳින්වූයේ ස්පර්ශ නොකළ යුතු කුලයක් ලෙසයි. ඔවුන් පාරේ යන විට පිටුපසින් පුංචි ඉළ පතක් තබාගෙන යා යුතුය. ඉන් අදහස් කළේ ඔහුගේ පසුපසින් බ්‍රාහ්මණ හෝ ඉහළ කුලයක කෙනෙක් පැමිණෙන්නේ නම් තමන්ගේ අඩිපාරවල් ඉලපතින් මකා දැමිය යුතුය. පහළම පීඩිත පන්තියෙන් මතු වූ අම්බෙක්කාර්තුමා ගාන්ධි, නෙරු වැනි ඉහළම පිරිස් සමග කටයුතු කිරීමට හැකි වූයේ ඔහුගේ කෘතහස්ථ දැනුම හා දක්ෂතාවය නිසාය. අම්බෙක්කාර් තුමා කළ වැදගත්ම දේ නම් මහාර් වැනි පහත් යැයි සම්මත කුළ වල අයට අධ්‍යාපනය ලබාදීමටත් උසස් අධ්‍යාපන ආයතනය වලට බඳවා ගැනීමේ දී ඔවුන් සඳහා විශේෂ කෝටා ක්‍රමයක් ව්‍යවස්ථාවෙන්ම හඳුන්වා දීමයි. එම පහත් යැයි සම්මත සියලු කුලයන් හැඳින්වූයේ බැක්වර්ඩ් කොමියුනිටි ලෙසිනි. පොදුවේ මෙම පහත් යැයි සම්මත කුලයන්ට කියන නම දලිත් යන්නයි. මෙම කුල ඉතා දිළිඳු ජනතාවක් සහිත සමාජ නියෝජනයකි. ඉතා පහත් යැයි සම්මත කර්මාන්ත බොහෝමයක් හා විවිද පිරිසිදු කිරීම් ආදි කටයුතු කරනු ලැබූවේ මෙම කුල නියෝජනය කරන ජනතාව මඟිනි.
අම්බෙක්කාර්තුමා ව්‍යවස්ථාවට කුලවලට අධ්‍යාපනයේ විශේෂ තැනක් දීම නිසා මෙවැනි වගන්තියක් ඉදිරිපත් කිරීමට එරෙහිව මහත්මා ගාන්ධි උපවාස කළ බව දන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. දලිත් ජනතාවට විශේෂ වරප්‍රසාද දීමට ගාන්ධි විරුද්ධ විය.
2500 බුද්ධ ජයන්තියට ඉන්දියානු පීඩිත ජනතාව ලක්ෂයක් බුදුදහමට.
ගුණපාල මලලසේකර
නිදහස ලබා වසර කිහිපයක් ගිය පසු අම්බෙක්කාර් තුමා තමන්ගේ ජනතාව අනුගමනය කළ යුතු ආගම පිළිබඳ ගවේෂණයක් කළේය. කිසිම හින්දු කෝවිලකට ගොස් ආගම ඇදහීම හෝ වෙද පාඨ කීම දලිත් කුලයේ අයට තහනම්ව තිබුණි. අම්බෙක්කාර් තුමා ශ්‍රී ලංකාවට පැමිණ ගුණපාල මලලසේකර මහතා ද මුණගැහී තිබුණි. 1956 දී 2500 බුද්ධ ජයන්තිය සැමරීමට ඉතා ඉහළින් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ ශ්‍රී ලංකාවයි. මෙම උත්සවයට සමගාමීව අම්බෙක්කාර්තුමා විසින් 2500 බුද්ධ ජයන්තියේ දී තමන්ගේ ජනතාව 100,000 ක් සමග 1956 දී පන්සිල් සමාදන් වී බුද්ධාගමට හැරුණි. එය සිදුවූයේ නාග්පූර් ප්‍රදේශයේය. මෙම ස්ථානය අද දික්ශා භූමි ලෙස නම්කොට ඇති අතර එම දිනයට අදටත් 100,000 ක් පමණ ජනතාවක් මේ ස්ථානය රැස්වෙති. 1956 අම්බෙක්කාර්තුමා හා ඔහුගේ පීඩිත ජනතාව බුදුදහම වැළඳගැනීමෙන් පසු මාස 3 ක් යන විට අම්බෙක්කාර්තුමා ජීවිතයෙන් සමුගත්තේය. එහෙත් එම බෞද්ධ ව්‍යාපාරය මේ වන විට මහාරාෂ්ඨ ප්‍රාන්තය තුළ කෝටි 2 ක් දක්වා වර්ධනය වී ඇත. මේ වන විට මහාරාෂ්ඨ ප්‍රාන්තයේ තීරණාත්මක සමාජ බලයක් බවට බෞද්ධ ජනතාව පත්වී ඇත. සමහර පරිපාලන කොට්ඨාශයන් හී බහුතර ජනතාව බවට බෞද්ධයන් පත්වී ඇත.
පසුගිය වසර 10 ක පමණ කාලය තුළ මෙම බෞද්ධයන්ගේ පිබිදීම වෙනුවෙන් මා සහ තවත් භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙකු කැපවී වැඩකළහ. සෑම වර්ශයකටම සති දෙකක් පමණ ඉන්දියාවේ වාර්ශික සම්මේලන පැවත් වූ අතර එහි සංවිධානාත්මක කටයුතු ද කරනු ලැබුණි.
ශ්‍රී ලංකාවේ ත්‍රස්ථවාදයට එරෙහිව ඉන්දිය බෞද්ධ හඬ.
2008 වසර ත්‍රස්ථවාදය පරාජය කිරීමේ තීරණාත්මක අවුරුද්දක් විය. මේ වන විට තමිල්නාඩුවෙ හි ලංකාවේ ත්‍රස්ථවාදී මර්ධනය නතර කරන ලෙස ඉල්ලා විශාල උද්ඝෝෂණ පැවත් වුණි. අප වෙනුවෙන් හඬක් නගන්නට ඉන්දියාවේ කිසිවකු නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මා සමග ප්‍රකාශ කළේය. මා ඊට පිළිතුරු ලෙස ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවේ බෞද්ධයන් ත්‍රස්ථවාදය පරාජය කොට සාමය ගොඩනැගීම සඳහා රජයට සහය පලකිරීමේ රැස්වීමක් මා හට පැවත්විය හැකි බවයි. එහිදී ඒ සඳහා මැදිහත් වන ලෙස රජය මාගෙන් ඉල්ලා සිටි අතර සති 2 ක් තුළ ඉන්දියාව තුළ 100,000 ක් පමණ සහභාගී වූ රැස්වීමක් පැවත් වූ අතර එම සම්මේලනයේ දී ත්‍රස්ථවාදලය පරාජය කර ජාතික සමගිය ගොඩනැගීමට ඉන්දියානු බෞද්ධයන්ගේ පූර්ණ සහය පළ කරන බවට ප්‍රකාශනයක් නිකුත් කෙරුණි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුවත්පත්හි මෙම ප්‍රවෘත්තිය පළවිය.
ඉන්දියානු බෞද්ධ ව්‍යාපාර ශක්තිමත් කර ගැනීම ඉතා වැදගත්ය. ඒ සඳහා සංවිධානාත්මක කණ්ඩායමක් අවශ්‍ය වේ. විශේෂයෙන්ම දැන උගත් ආත්මගරුත්වය ඇති භික්ෂූන් වහන්සේලා කිහිප නමක් එක්ව වැඩකළ යුතුවේ.
@අතුරලියේ රතන හිමි