SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එදා පොදු පෙරමුණු ආණ්ඩුව බිහි වූයේ අදින් දශක තුනකට පෙරය.

එහෙත් තත්ත්වයේ ද වැඩි වෙනසක් නැත. තුනෙන් දෙකකට වඩා ජනවරමක් සහිත ජාතික ජන බලවේග ආණ්ඩුව ද රාජ්‍ය පරිපාලන නිළධාරීන් අත නැටවෙන රූකඩයක් බවට පත්ව ඇතැයි දෝ යන සැක දැන් මතුවෙමින් පවතියි.

 

 

අනුර කුමාර දිසානායක ජනාධිපතිධූරයට පත්වී සති දෙකක් යෑමට පෙර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් වියානි ගුණතිලක ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැයක කාලයක් ඇතුලත තම නව ගමන් බලපත්‍රය ලබා ගත්තේ ය. ඔහු තමා සතුව පැවැති රාජතාන්ත්‍රික ගමන් බලපත අවලංගු කර N11540935 අංක දරන සාමාන්‍ය ගමන් බලපත්‍රය ලබා ගෙන ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ( ප්‍රත්‍යන්ත පාලන හා තොරතුරු තාක්ෂණ ) ඉන්දික හේරත් නම් නිලධාරීයාගේ මැදිහත් වීම යටතේ ය.

 

 

වියානි ගුණතිලකට විදේශ ගමන් බලපත්‍ර ලබාදුන් හැටි..

 

වියානි ගුණතිලක යනු අංක එකේ දූෂිත නිළධාරියෙකි. මේ සිද්ධිය “වියානි පැයෙන් පාස්පෝට් එක අරගෙනත් ගිහින්.!” යනුවෙන් “ලංකා ඊ නිවුස්” හෙළි කළේ ය. වියානි ගුණතිලක පැයක කාලයක් ඇතුළත සිය ගමන් බලපත්‍රය ලබා ගන්නා විට සාමාන්‍ය ජනතාව පෙර දින රාත්‍රියේ සිටි පෝලිමේ සිටියහ. එහෙත් මේ සිද්ධියට සම්බන්ධ නිළධාරියා පවා හෙළිදරව් කර තිබිය දී අදාළ විෂයභාර ඇමතිවරයා වන විජිත හේරත් ඒ සිද්ධිය පිළිබඳ කිසිදු පියවරක් ගත්තේ නැත. ඒ පිළිබඳ නිසි විමර්ශනයක් නොකළේ ය. අදාළ නිළධාරියාට අවවාද ලිපියක් හෝ නිකුත් කළේ නැත.

 

 

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය…

 

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බූදය විසඳීම සඳහා මාලිමා ආණ්ඩුව පසුගිය නොවැම්බර් නම වනදා සිට නව මාර්ගගත ක්‍රමයක් හඳුන්වාදුන් අතර ඒ අනුව ආගමන විගමන වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගත හැකිය. එවිට නිකරුණේ පෝලිම් වල රස්තියාදු විය යුතු නැත. නිදසුනක් වශයෙන් නොවැම්බර් දහනම වන දා ආගමන විගමන වෙබ් අඩවියට පිවිසි ජනතාවට නව විදේශ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමේ දිනය ලැබී ඇත්තේ ලබන වසරේ ජනවාරි පහළොස් වන දාය.

 

 

නිමල් ලන්සාට, සරත් වීරසේකරට විශේෂ සැළකිලි..

 

පොදු ජනතාව මෙසේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට මාස ගණාවක් බලාගෙන සිටීමට සිදු වුවද හිටපු ඇමතිවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැයකට වඩා අඩු කාලයක දී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිළධාරීහු කටයුතු කරති. පසුගිය නොවැම්බර් දහ නම වන දා එහි පැමිණි ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා (ටෝකන් #3002), පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් (ටෝකන් #3001), හිටපු ඇමති සරත් වීරසේකර, හිටපු කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාරට පැයකට අඩු කාලයක දී නව ගමන් බලපත්‍ර නිකුත් කර තිබේ.

 

 

රුවන් විජයවර්ධන මෙහෙයුම…

 

එදිනම පැමිණි හිටපු ජනාධිපති උපදේශකවරයෙකු වන රුවන් විජයවර්ධනට ද මේ අන්දමට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර ඇත. නව විදේශ ගමන් බලපත් නිකුත් කිරීම සඳහා වන අයදුම්පත්‍ර බාරගැනීම දහවල් දොළහට අවසන් වූවද සවස තුනට පැමිණි රුවන් විජයවර්ධනගේ අයදුම්පත භාරගෙන විනාඩි පනහක් ඇතුළත නව විදේශ ගමන් බලපත්‍රය නිකුත් කර තිබේ.

 

 

අතිරේක පාලක ජනරාල්වරයා නම් සට්ටැඹි රාළ..

 

මේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජනරාල්වරයා විසිනි. මෙසේ සුවිශේෂ සැළකිලි දක්වා නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කළ සියළු දෙනා හිටපු ඇමතිවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය. එනම් ඒ සියළු දෙනා දැන් සාමාන්‍ය පුරවැසියන්ය. එබැවින් මෙය ඉතා භයානක තත්ත්වයකි. නව ආණ්ඩුව ඔවුන්ට සුවිශේෂීය සැළකිලි දක්වා තිබේ. මෙය මාලිමා ආණ්ඩුවට තුනෙන් දෙකක බලය ලබා දුන් පොදු ජන බලාපොරොත්තු වලට පිටුපෑමකි, ද්‍රෝහීවීමකි.

 

 

එදා නිසි පියවර නොගැනීමේ වරද…

 

වියානි ගුණතිලක පැයක කාලයක් ඇතුළත සිය විදේශ ගමන් බලපත්‍රය ලබා ගත් අන්දම “ලංකා ඊ නිවුස්” හෙළි කළ අවස්ථාවේ එයට සම්බන්ධ නිළධාරීන්ට නිසි පියවර ගත්තේ නම් අද නිමල් ලන්සලා ඇතුළු හිටපු මැති, ඇමතිවරුන් පැමිණ මෙසේ අනීතික ලෙස විදේශ ගමන් බලපත්‍රය ලබා ගන්නේ නැත. එදා අතින් කඩා දැමිය හැකි වූ වල් පැල දැන් විශාල රුක්ෂයන් බවට පත්ව තිබේ. මෙවර නිමල් ලංසා සිද්ධිය පිළිබඳවද මාලිමා ආණ්ඩුව නිහඬව සිටියහොත් එයින් පැහැදිලි වන්නේ ප්‍රභූ දේශපාලන පංතියට විශේෂ සැළකිලි ලබාදෙන්නේ නව ආණ්ඩුවේ ආශීර්වාදය සහ පූර්ණ අනුදැනුම සහිතව බවයි. ආගමන විගමන දෙපාර්තමේන්තුව යනු එක් නිදසුන් පමණි.

 

 

චෝදනා එල්ල වන්නේ මාලිමා ආණ්ඩුවටය…

 

ගම්පහ “නිදන් හෑරීම”, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දකුණු කොරියා E 8 වීසා අර්බූදය ඇතුළු සිද්ධි රාශියක් මේ ලැයිස්තුවට එකතුවෙමින් පවතියි. සැබැවින්ම එය අවාසනාවන්ත තත්ත්වයකි. ජනතාව දැවැන්ත ජනවරමක් මාලිමාවට ලබාදුන්නේ රාජ්‍ය නිළධාරීන්ගේ රූකඩ බවට පත්වීමට නොවෙයි. මේ නිළධාරීන් නිර්මාණය කරන අර්බූදයන්ගේ අවසාන චෝදනා එල්ල වන්නේ තම ආණ්ඩුවට බව මාලිමා මැතිඇමැතිවරු දැන්වත් අවබෝධ කර ගත යුතුව ඇත.

 

 

ජවිපෙ දේශපාලනයේ අවසානය..

 

ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටුණහොත් තම පක්ෂයේ දේශපාලන අනාගතය අවසාන බව ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා පසුගිය දා ප්‍රකාශ කළේ ය. මාලිමා ආණ්ඩුවේ මැතිඇමතිවරු එම ප්‍රකාශය දේව භාෂිතයක් වශයෙන් උදේ සවස මෙනෙහි කළ යුතු යැයි අපි මේ මොහොතේ යෝජනා කරමු.

 

-ආනුභාවනන්ද විසිනි.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

@lankaenews