SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“මිනිහ ලියන්නෙනම් පණ ගැහෙන මනුෂ්‍යත්වය ගැන. ඒත් මිනිහ ගාවනම් මොන මනුස්සකමක්වත් නෑ..”

“පොත් ලියලා සම්මාන ගත්තට වැඩක් නෑ. ඒ ලේඛකයා තමන්ගේ ගෑනි ගැනවත් බලන්නෑ…”

 

 

“මගේ කවි පොත ගහල දෙන්නම් කියලා තරුණ කවියෙක් භාර ගත්තා. මාත් අත්පිටපත දුන්නා එයත් කවියෙක් නිසා. ඒක නැති කරලා දැන් මිනිහ ෆෝන් එක උස්සන් නෑ. කවියෙක් උනාට මිනිහාගේ හිතේ තෙත ගතියක් නෑ….”

 

 

පසුගිය සති කීපයේම මෙරට ලේඛකයන් පිළිබඳ මෙවැනි කතා බොහොමයක් මට අසන්නට ලැබුණි. පාඨකටන් මෙන්ම ලේඛකයන්ගේ සමීපතමයන්ට අනුව ලේඛකයා උත්තම පුරුෂයෙකි. ඔහු සමාජයට ආදර්ශ සපයන්නෙකි. ලේඛකයා තමන් ලියන කෘතිවල එන ශ්‍රේෂ්ට චරිතයන්ගේ ලක්ෂණවලින් සමන්විත වූ පුද්ගලයෙකි. පොදුවේ ලේඛකයා පිළිබඳව සමාජ සන්දර්භය තුළ පවතින්නේ එවැනි මතයකි. නමුත් භෞතික සමාජය තුළ යථාර්ථය තිබෙන්නේ ඊට බොහෝ දුරින්ය.

 

මනුෂ්‍යත්වය පිළිබඳ ලියූ පමණින්ම ලේඛකයා සාධු චරිතයක් තිබෙන්නෙක් විය යුතු ද? ඕජස් ගලන සමාජය තුළ ඔහු අරවින්දයෙක් විය යුතු ද? අපි මෙතැන් සිට ඒ පිළිබඳ ලියෝ ටෝල්ස්ටෝයිගේ ජීවිතය ඇසුරින් විවෘතව කතා කරමු.

 

 

දළඹුවෙකුගෙන් සමනලයකු බිහිවීම

 

සමනලයාත් දළඹුවාත් අතර පවතින අන්තර් සම්බන්ධය පිළිබඳව අපි නිතර කතා කරන්නෙමු. දළඹුවකුගෙන් ඌට හාත්පසින්ම වෙනස් ජීවන රටාවක් සහිත සමනලයෙකු බිහිවීම ස්වභාවදහමේ ඓශ්චර්යවත් සංසිද්ධියකි. ලේඛකයෙකුගේ ව්‍යවහාරික ජීවිතයත් ඔහුගේ හෝ ඇයගේ නිර්මාණාත්ම ජීවිතයත් අතර දළඹුවා හා සමනලයා අතර පවතින ව්‍යුහයමය සහ සම්බන්ධයට සමාන වන අවස්ථා බොහෝ ය.

 

ලේඛකයා තම ජීවිතයෙහි වන හොඳම දෙය ගෙන එය තම නිර්මාණයට ඇතුළත් කරයි. එහෙයින් ඔහුගේ කෘතිය අලංකාර වන අතර ජීවිතය අසාර බවට පත් වේ.

 

 

ලියෝ ටෝල්ස්ටෝයි

 

ප්‍රාග් විප්ලවීය රුසියානු ලේඛකයෙකු වන ලියෝ ටෝල්ස්ටෝයි රුසියාව ඇතුළු යුරෝපයේ සිටි කීර්තිමත් ලේඛකයෙකි.1828 අගෝස්තු 28 වැනිදා නිකොලා ඉලිච් ටෝල්ස්ටෝයි ට දාව මරියා නිකොලෙව්නා ගේ කුසින් උපන් ලියෝ ටෝල්ස්ටෝයි රුසියානු ප්‍රභූ දරුවෙකි. 1847 මාර්තු මස 17 වන දින ටෝල්ස්ටෝයි දින පොතක් තැබීම ආරම්භ කළේය. එහි අවසාන සටහන තබන ලද්දේ 1910 නොවැම්බර් මස 17 වන දිනය. එනම් ඔහුගේ මරණයට දින තුනකට පෙරය. ඔහු දින පොතේ තබන ලද අවසන් සටහන මෙසේය.

 

“ලියෝ ටෝල්ස්ටෝයි වන නුඹ, නුඹේ දර්ශනය අනුව ජීවත් වෙනවා ද? නැත! නුඹ පිළිකුල් සහගත වැරදිකරුවෙකි. නුඹ ලජ්ජාවෙන් මිය යා යුතුය.”

 

වර්ෂ 1863 දී ලිවීම ආරම්භ කර 1869 දී ලියා අවසන් කළ යුද්ධය හා සාමය මහා නවකතාවත් 1873 දී ආරම්භ කර 1877 දී රචනා කර අවසන් වූ ඇනා කැරනිනා මහා නවකතාව ඇතුළු විශිෂ්ට නවකතා රැසක් ලෝකයට දායාද කළ ටෝල්ස්ටෝයි තමන්ගේ ජීවිතය පිළිබඳ වරදකාරී හැඟීමකින් සහ අතෘප්ති කරව ස්වකීය නිවසින් නික්ම ගොස් අස්තපෝවෝ දුම්රියපොළේ දී නිව්මෝනියා රෝගය උත්සන්න වී මරණයට පත් වේ. දනයෙන් සිටුවරයෙකු වූ එවක රුසියාවේ පාලනය කළ සාර් රජය පවා බියට පත්වූ ලියෝ ටෝල්ස්ටෝයිගේ ජීවිතය ඛේදවාචකයකින් අවසන් වූයේ ඔහුගේ කලා ජීවිතයේ දාර්ශනික වටිනාකම් ප්‍රායෝගික ජීවිතයට ගලපා නොගත් නිසා ද? පරිකල්පනීය ජීවිතය සහ ව්‍යවහාරික ජීවිතය කිසිවිටක සමපාත නොවන නිසා ද? ලියෝ ටෝල්ස්ටෝයි සහ ඔහුගේ දර්ශනය පිළිබඳව සිරිල් සී. පෙරේරා ‘මෛත්‍රී කරුණාව’ පරිවර්තන කෘතියේ මෙලෙස අදහස් දක්වා ඇත.

 

ටෝල්ස්ටෝයි දේශනා කළ අවිහිංසාව හා විවෘතභාවය ඔහුගේ ගෘහ ජීවිතයෙහි දක්නට නොලැබුණි. ඔහු මන:කල්පිත ලොවක වෙසෙමින් ස්වකීය ජීවිතය පමණක් නොව අන්‍යන්ගේ ජීවිතය ද අවුල් කරන බව කියමින් සමකාලීන ලේඛකයෝ ඔහුගේ දර්ශනය නිර්දය ලෙස විවේචනය කළහ. ඔහු දේශනා කළ මෛත්‍රිය, දයාව, කරුණාව, සමානාත්මතාව ඔහුගේ අඹුදරුවන් කෙරෙහි දැක්වූ බවක් පෙනෙන්නට නොතිබුණි. ඒවා වචනවලට පමණක් සීමා විය. ඔහු සම්මතයෙහි නොපිහිටා ඔවා දෙන්නෙකු වැන්න. ටෝල්ස්ටෝයි තරුණ වියෙහි දී වත්තේ වැඩ කළ ගොවියෙකුගේ බිරිඳක සමඟ හාද වී ඇයට පුතෙකු ලැබිණි. ටෝල්ස්ටෝයිගේ දයාව, කරුණාව හා ආදරය ලබා ගැනීමට තරම් වාසනාව නොතිබුණු තියෝපි නැමති ඒ දරුවා තුරුණු වියට පැමිණි පසු ටෝල්ස්ටෝයිගේ වැඩිමහල් පුතාගේ රියදුරා ලෙස සේවය කළේය.

 

 

ටෝල්ස්ටෝයිගේ කලාවත්, භාවිතයත්, ආධ්‍යාත්මයත් එකිනෙකට ප්‍රතිවිරුද්ධව ගමන් ගත්තේය. ටෝල්ස්ටෝයිගේ සමකාලීන මිත්‍රයෙක් වූ තුර්ගිනීව් වර්ක් පවසා සිටියේ ‘ ටෝල්ස්ටෝයි තරම් කිසිවකුට කිසිදු ගරුසරුවක් නොදක්වන, කවරෙකු කළ වුව ද කෝපය ඇතිකරවන, සිත් රිදවන බසින් කතා කරන, අහංකාර පුද්ගලයෙක් තමා දැක නැති’ බවයි.

 

 

වර්ෂ 1851 දී යුද හමුදාවට එක්වන ටෝල්ස්ටෝයි, යුද සෙබළෙකු වශයෙන් තුර්කිවරුනට විරුද්ධව යුද කර, තවත් බොහෝ ප්‍රදේශවල ඇවිද, ක්‍රිමියන් යුද්ධයට ද සහභාගි වී 1856 දී යුද හමුදාවෙන් ඉල්ලා අස්විය. මේ කාල පරිච්ඡේදයේ දී පවා ඔහු සිය ලේඛන කටයුතු අත නොහැර අඛණ්ඩව කරගෙන ගියේ ය. ටෝල්ස්ටෝයි විවාහ වන්නේ 1862 සැප්තැම්බර් 23 වැනිදාය. ඔහු විවාහ වූ සොෆියා ආන්ද්‍රියෙව්නා නම් තරුණිය ඔහුට වඩා දස වසකින් බාල වූවාය. ටෝල්ස්ටෝයි ගේ සහ සොෆියාගේ විවාහ ජීවිතය විවිධ ගැටලු අර්බුද අතරින් ගලා ගිය දිය ප්‍රවාහයක් වැනි විය. හතලිස් දෙවන විය වන විට ටෝල්ස්ටෝයි තම ජීවිතය පිළිබඳව කළකිරීමට පත්විය. ඇනා කැරනිනා නවකතාවේ අපට හමුවන ලෙවින්ගේ චරිතය තුළින් ටෝල්ස්ටෝයි ස්වකීය කළකිරීම මෙසේ හෙළි කළේය.

 

මා ඇතුළු හැම සත්ත්වයෙකුට ම දුක, ජරාව හා මරණය හැර අන් කිසිවක් අපේක්ෂා කළ නොහැකිය. එහෙයින් තමාට මෙසේ ජීවත් විය නොහැකිය. එක්කෝ ජීවිතය පිළිබඳව යථාර්ථය සොයා අවබෝධ කළ යුතුය. නොමැති නම් පණ නසා ගත යුතුය.

 

උක්ත ප්‍රකාශය ටෝල්ස්ටෝයි විසින් කරන ලද ආත්ම ප්‍රකාශයක් බඳු විය. ජීවිතය අතැඹුලක් සේ පසක් කොට, එහි අලංකාරය වර්ණනා කරමින් අමරණීය සාහිත්‍ය නිර්මාණ බිහි කළ මේ මහා ලේඛකයා එම ජීවිතය තුළම අතරමං වූයේ කෙසේ ද? සියලු සැප සම්පත් නොමදව විඳිමින්, ලෝකයාගේ ගෞරවාදරය නොමදව ලබමින් වැජඹුණු ඔහු තුළ ජීවිතය ගැන කලකිරීමක් ඇතිවිය හැකි ද?

 

ටෝල්ස්ටෝයි අතිශයින් දරුණු වූ අධ්‍යාත්මික ගැටලුවකට මැදිව පීඩා විඳි ලේඛකයෙකි. ඔහුගේ ව්‍යවහාරික ජීවිතය හා තමන්ගේ දර්ශනය අතර තරණය කළ නොහැකි පරතරයක් තිබුණි. මේ නිසාම ටෝල්ස්ටෝයි හා අඹුදරුවන් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් හෝ විශ්වාසයක් නොවීය. මේ හේතුව නිසාම පියා මිය ගිය පසු, වටිනාකම අනුව බූදලය සම කොටස්වලට වෙන් කර ගැනීම එකල රුසියාවේ රදල පවුල් අතර පැවති සම්ප්‍රදාය ද බිඳිමින් ටෝල්ස්ටෝයිගේ දරුවෝ පියා ජීවත් සිටියදීම පියාගේ බූදලය සම කොටස්වලට බෙදා ගැනීමට පොර කෑහ. මේ නිසා ටෝල්ස්ටෝයි වයස අවුරුදු හැට තුනේ දී තම ඉඩම්වල අයිතිය දරුවන්ට පැවරුවේ ය. පසුව තමාගේ පොත්වල ප්‍රකාශන අයිතිය අත්හරින බව බිරිඳට දැන්වීය. මෙය අඹු සැමියන් අතර අලුත් ගැටලුවක ආරම්භය විය. මේ යෝජනාව ගැන සොෆියා ඇගේ දින පොතේ මෙසේ ලියා තැබුවාය.

 

ඔහුගේ යෝජනාවෙන් මා තුළ අයහපත් හැඟීම් පහළ විය. එනම් අපේ පවුල ගැන කල්පනා වන විට මෙය අසාධාරණ යෝජනාවක් යයි මම කල්පනා කළෙමි. මෙය බිරිඳ හා දරුවන් සමග ඇති තමාගේ භේදය ලෝකයාට එළිපිට කියා පෑමක් වනු ඇතැයි යන අදහසින් මම තැති ගතිමි. අනෙක් සියලු දෙයටම වඩා මේ අදහස මාගේ භීතියට හේතු විය. සිත් වේදනා ඇති කරවන වචන අප දෙදෙනා අතර හුවමාරු විය. ඔහු මෙවන් දෙයක් කරන්නේ ප්‍රසිද්ධියට ඇති ආශාව හා පුහු අහංකාරකම නිසා යයි මම ඔහුට චෝදනා කළෙමි. මා තරම් මුදලට කෑදර ගෑනියක් තමා දැක නැති බවත්, මා පොත් විකුණා ලබන මුදලින් දරුවන් නරක් කරන බවත් කියමින් ඔහු මට බැණ වැදුණේය. වැදගත් ගැහැනුන්ට කතා කිරීමට නොදන්නා ඔහු මට මුළු ජීවිත කාලයම අපහාස කළ බව පැවසූ විට “පලයන් යන්න, පලයන් යන්න” යයි කියමින් ඔහු මා පන්නා ගත්තේය. මම යන්නට ගියෙමි.

 

 

සමාජ අසාධාරණයෙන් අසරණ කරනු ලැබූ රුසියානු පීඩිත ජනයා විඳින දුක සිය සාහිත්‍ය කෘති සඳහා අමුද්‍රව්‍ය කරගත් ටෝල්ස්ටෝයි සැබෑ ජීවිතයේ දී එය කර ගසාගෙන සිය ව්‍යවහාරික ජීවිතය ඛේදවාචකයක් කර ගත්තේය. ඔහු ස්වකීය නිවස හා අඹුදරුවන් හැරදමා ගිය අවසන් ගමනින් එකී ඛේදවාචකයේ කූටප්‍රාප්තිය සනිටුහන් වේ. තමාගේ අභිනිෂ්ක්‍රමණය පිළිබඳව ටෝල්ස්ටෝයි මෙසේ ලියා ඇත.

 

රාත්‍රී එකොළහට පමණ මම නිදා ගැනීමට ගියෙමි. පසුගිය දින රාත්‍රියේ දී සිදුවූවක් මෙන් මෙදින ද මම පහන් එළියකින්, දොර ඇරෙන හඬින් හා අඩිශබ්දයකින් පාන්දර තුනට පමණ අවදි වුණෙමි. වෙනත් රාත්‍රිවල දී ද මෙවන් ශබ්ද ඇසුණත් නොබලන මම මෙදින දොර තුළින් එබී බැලීමි. මාගේ කාමරයේ ලියන මේසය උඩ පහනක් දැල්වෙමින් තිබුණු අතර මාගේ බිරිඳ මේසය උඩ තිබුණු ලිපි ලේඛන කියවමින් සිටිනවා යයි මම කල්පනා කළෙමි. මාගේ කාමරයේ දොරවල් අගුළු දමා නොවසන ලෙස පසුගිය දින ඈ මට බලකොට සිටියා ය. මා නඟන සුළු ශබ්දයක් හෝ ඇසෙන ලෙස ඇගේ කාමරයේ දොරවල් දෙකම ඇර තැබූ ඈ මා ගෙය තුළ කරන කියන හැම දෙයක් ගැනම දිවා රෑ දෙකේ ම විමසිල්ලෙන් සිටියාය.

 

නැවත මට අඩි ශබ්දයක් ඇසුණූ අතර ඈ ඉතා සෙමින් මාගේ නිදන කාමරයේ දොර ඇර එබිකම් කොට බැලුවාය. ඈ එසේ කළේ මන්දැයි මම නොදනිමි. ඉන් මා තුළ මැඩගත නොහැකි පිළිකුළක් සමඟ කෝපයක් ද ඇති විය. යළි නිදා ගැනීමට නොහැකි වූ මම ඇඳ උඩ හිඳ ගතිමි. එවේලේ දොර ඇරගෙන කාමරයට පිවිසි සොපියා මා ඉටිපන්දමක් දල්වාගෙන ඉන්නේ අසනීප ගතියක් දැනෙන නිසාදැයි ඇසුවාය. මෙතෙක් වේලා මා තුළ වැඩෙමින් තිබුණු කෝපයත්, පිළිකුළත්, ඉවසා ගත නොහැකි විය. මට හුස්ම ගැනීමට අපහසු විය. මම නාඩි අල්ලා බැලීමි. නාඩි වේගය මිනිත්තුවකට අනූ හතක් විය. මට තවත් වේලා ඇඳ උඩ හිඳ සිටිය නොහැකි විය. ඒ මොහොතේ ම ගෙදරින් නික්ම යාමට මම හදිසියෙන්ම තීරණය කළෙමි. බිරිඳට ලියුමක් ලියා තැබූ මම ගෙනයාමට අවශ්‍ය දේවල් පමණක් සූදානම් කරගතිමි.

 

 

ටෝල්ස්ටෝයි මෙසේ තම බිරිඳ, දරුවන් දහතුන්දෙනා සහ දේපොළ අතහැර දමා අරමුණක් නොමැති දින දහයක දුම්රිය ගමනකින් පසුව ශීතලින් පීඩා විඳිමින් නියුමෝනියාව හේතු කොට ගෙන මිය යයි. මානව ශිෂ්ටාචාරය බිහි කළ කීර්තිමත් ලේඛකයා මෙසේ හිතුවක්කාරී ලෙස හුදකලාව, දුක්ඛිතව මියගියේ ඇයි?

 

පසු කලෙක ටෝල්ස්ටෝයි ගැන අධ්‍යනයක් කළ ලෙනින් ටෝල්ස්ටෝයිගේ අදහස්වලින්, ජීවිතයෙන් හා නිර්මාණවලින් පිළිබිඹු වන්නේ එකල රුසියන් සමාජයෙහි පැවති සංකීර්ණත්වය, ගැටුම හා ප්‍රතිවිරෝධතාව බවත්, ටෝල්ස්ටෝයි ද එම සමාජයෙහිම ප්‍රතිඵලයක් බවත් පෙන්වා දුන්නේ ය.

 

 

©ශක්තික සත්කුමාර

නවතම ලිපි