පසුගියදා පරිසර යුක්ති කේන්ද්‍රය කුකුලේ ගඟ භූගත ජල විදුලි බලාගාරය ඉදිව ඇති
කුකුලේ ගඟ නිම්නයේ ගම්වැසියන් හමුවට ගියේය.
ඒ රජයට රුපියල් බිලියන 15ක ආදායමක් ලබාගන්නට වසරකට 17 වතාවක් ගේදොර අහිමිවෙන කුකුලේ ගඟ මිනිසුන්ගේ ජීවන ඛේදවාචකය ගැන රටට කියන්නටය.
එක් පසෙකින් සත්ව ශාඛ ලෝකයට ඔරොත්තු නොදෙන තරමේ දේශගුණ විපර්යාසයන්ය.
අනෙක් පසෙන් මිනිසා, සතා, සිව්පාවා, ජලය හා ශාඛයන්ට ඇතුලු ජීවී ලෝකයට එරෙහිව මිනිසා විසින් ගොඩනගන ඊනියා සංවර්ධන ව්‍යාපෘතීන් ය.
මේවායේ ප්‍රතිවිපාක ලෙස ලෝකය පුරාම ගංවතුර, ලැව්ගිනි, නායයාම්, සුළි කුණාටු ඇතුළු දේශගුණික විපර්යාස මත දැවැන්ත විනාශයක් මිනිස් සත්ව ලෝකයට සිදුවෙද්දී ඒවා දෙස නෑසූකන්ව බලා සිටින ජනතාවක් ය.
ප්රශ්නය තමා වෙත එනතෙක් එයට ජීවිතයට අසම්බන්ධිත දාර්ශනික පිළිතුරු සැපයිය හැකිය.
කුකුලේ ගඟ මිනිසුන්ගේ ප්රශ්නය ඔබට මට හුදෙක් රටට අවශ්‍ය රුපියල් බිලියන 15ක වාර්ෂික ආදායමක් විය හැකිය.
එහෙත් එහි ජීවත්වන මිනිසුන්ට එය වසරකට 17 වතාවත් තම නිවෙස් හරක බාන ගොවිබිම් යටවන විනාශකාරී ගංවතුරකි.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් රටක පාලකයින් විසින් රටේ ඊනියා ඉංජිනේරු ශිල්පීන් විසින් සොබාදම් මාතාවට එරෙහිව ගොඩනගා ඇති තවත් එක් විනාශකාරී ව්‍යාපෘතියක පසුගියදා හෙළිදරව් කළේ තවත් මේ රටට සිදුකළ අනර්ථය පැහැදිලි කරන්නට කටයුතු කළේය.
කුකුලේ ගඟ එසේත් නොමැතිනම් කුඩා ගඟ ආශ්‍රිතව ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම ගැන පළමුවරට කතාබහ කර තිබුණේ 1968 වසර තරම් දුරකදීය.
ඒ වර්ෂයේදී පළමු ශක්‍යතා අධ්‍යයනය සිදු කොට ඇත්තේ මීටර් සියයක් පමණ උස වේල්ලක් බැඳ එහි මෙගාවොට් එකසිය පනහක ධාරිතාවකින් යුතු විදුලි ජනන බලාගාරයක් ඉදිකිරීම කේන්ද්‍ර කොටගෙන ය.
එහි දෙවැනි ශක්‍යතා අධ්‍යයනය 1988 වසරේ සිදු කර ඇත. ලෝක බැංකු ආධාර මත බහුකාර්ය යෝජනාවක් සේ එහි ජලය වියළි කලාපයට යැවීම සඳහා එහිදී යෝජනාකොට ඇත.
කෙසේ වුවද පළමුවර මෙන්ම දෙවැනිවරද එහි ශක්‍යතා අධ්‍යයන සියල්ල අනුමත වී නැත.
එසේ වුවත් තුන්වැනි ශක්‍යතා අධ්‍යයනය සඳහා 1992 වසරේදී උපදේශන සමාගම් තුනක් ඒකාබද්ධව මීටර් එකසිය දහයක් දිග මීටර් දාසයක් උස වේල්ලක් නිර්මාණය කිරීමට යෝජනා ඉදිරිපත්ව කර තිබිණි. පළමු සහ දෙවැනි ශක්‍යතා අධ්‍යයන ප්‍රතික්ෂේපිත පසුබිමක කුකුළේ ගඟ ආශ්‍රිතව භූගත ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා එකී යෝජනාවට අනුමැතිය ලැබී ඇත.
පහත පළවන්නේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පසුගියදා මෙම ව්‍යාපෘතියෙන් ජන ජීවිතයට සහ පරිසරයට සිදුව ඇති විනාශය පිළිබඳව සිදුකළ වැඩසටහන ඇසුරෙන් සවනි ශේශාධි ඉරිදා මව්බිම පුවත්පතේ පළකල ලිපියකි.
"කුකුලේ ගඟ නිසා කකුල බිම තියා ගන්න බැරිවුණු මිනිස්සු" -(සවනි ශේශාධි)
ජාතික පාරිසරික පනත ප්‍රකාරව වර්ෂ 1998 ජූලි මාසයේදී ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලැබීමත් සමඟ මෙරට පළමු භූගත ජල විදුලි උත්පාදන බලාගාරය ලෙස එහි ඉදිකිරීම් ඇරැඹිණි. ඉන් වසර ගණනාවකට පසු මෙරට දෙවැනි භූගත ජල විදුලි උත්පාදන බලාගාරයේ ඉදිකිරීම් ඇරඹුණේ කුකුළේ ගඟ ආශ්‍රිතවය. සිරිපා හිමයෙන් ඇරැඹෙන කළු ගංගාවේ ප්‍රධානම අතු ගංගාව ලෙස සැලකෙනුයේ කුකුළේ ගඟයි. මේ ආශ්‍රිතව ඉදිවූ ජල විදුලි බලාගාරය මෙරට ජාතික විදුලිබල පද්ධතියට මහඟු දායකත්වයක් සපයන බව පැවැසේ.
එහෙත් කුකුළේ ගඟ නිම්නයේ වෙසෙන වැසියෝ මේ බලාගාරය ඉදිකරන්නට ගඟ හරස්කොට බැඳි වේල්ල හේතුවෙන් තම ජීවිත බොහෝ දුෂ්කර වී ඇති බවට චෝදනා කරති. මැසිවිලි නඟති. ඔවුහු පවසනුයේ මේ හේතුවෙන් සිය ගම් ප්‍රදේශවලට බලපාන ගංවතුර තත්ත්වයේ වැඩි වීමක් පෙන්නුම් කරන බවය. දේශගුණ විපර්යාස හේතුවෙන් වැසි තත්ත්වයේ අඩු-වැඩි වීමක් පැවැතියද මේ එවන් බලපෑමක් නොව කුකුළේ ගඟ ජලාශයෙන් ජල විදුලිය නිපදවා ගැනීම සඳහා රඳවා ගන්නා ජල ධාරිතාව වර්ෂා සමයන්හිදී එකවර මුදාහැරීම නිසා නිර්මාණය වූවක් බවට ඔවුහු පුන පුනා පවසති.
මේ ප්‍රදේශයේ දිවි ගෙවන පිරිස් පසුගියදා මොරපිටියේ විහාරස්ථානයකට එක්ව සිටියේ පරිසර යුක්ති කේන්ද්‍රයේ මැදිහත් වීමෙන් පැවැති ‘කුකුළේ ගඟ නිම්නයේ ගංවතුරෙන් සිදුවන පීඩාව සම්බන්ධයෙන් කැඳවා තිබූ මහජන විකල්ප විනිශ්චය සභාවක’ සාක්ෂි සපයාලන්නටය.
එහි සාක්ෂි ලබාදුන් චතුරි පුන්සරා මේ ප්‍රදේශයේම ප්‍රකට හෝටලයක ගිණුම් ලිපිකාරිනියක සේ කටයුතු කරයි. ඇගේ පියා අංශභාග රෝගියෙකි. වයෝවෘද්ධ මවත් දරුවනුත් සමඟ අෑ ජීවිතයට මුහුණ දෙනුයේ අනේකවිධ හැලහැප්පීම් මධ්‍යයේය. ජීවිතයේ එක් වරක් හෝ දෙවරක් කඩා වැටෙනු වෙනුවට ගංවතුර ගලන වාරයක් පාසාම මේ ජීවිත මහ පොළොව මතටම කඩා වැටේ. දහඩිය මහන්සියෙන් හරිහම්බ කළ සියල්ල ගංවතුරේ යද්දී ඒ ජීවිත යළි මුල සිටම ආරම්භ කළ යුතුව ඇති බව ඈ පවසන්නීය.
“අපේ පළාත්වලට ගංවතුරක් එද්දිම කුකුළේ ගඟේ ඉන්ජිනේරු මහත්තයා පත්තරවලට ලියනවා ‘කුකුළේ ගඟ මහඟු සම්පතක්’ කියලා. එතකොට අර අපි විඳින පීඩාවන් ඔක්කොම අමතක කරලා ඒ ගැන කතා වෙනවා.”
කුකුලේ ගඟ එසේත් නොමැතිනම් කුඩා ගඟ ආශ්‍රිතව ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම ගැන පළමුවරට කතාබහ කෙරෙනුයේ 1968 වසරේදීය. එහි මීටර් සියයක් පමණ උස වේල්ලක් බැඳ එහි මෙගාවොට් එකසිය පනහක ධාරිතාවකින් යුතු විදුලි ජනන බලාගාරයක් ඉදිකිරීම සඳහා ඒ වර්ෂයේදී පළමු ශක්‍යතා අධ්‍යයනය සිදුකළ බව පැවැසේ. එහි දෙවැනි ශක්‍යතා අධ්‍යයනය සිදු කෙරෙනුයේ 1988 වසරේදීය. ලෝක බැංකු ආධාර මත බහුකාර්ය යෝජනාවක් සේ එහි ජලය වියළි කලාපයට යැවීම සඳහා එහිදී යෝජනාකොට ඇත. පළමුවර මෙන්ම දෙවැනිවරද එහි ශක්‍යතා අධ්‍යයන සියල්ල අනුමත කෙරෙන මට්ටමට සාර්ථක වී නැති බව පැවසේ. තුන්වැනි වරට 1992 වසරේදී උපදේශන සමාගම් තුනක් ඒකාබද්ධව මීටර් එකසිය දහයක් දිග මීටර් දාසයක් උස වේල්ලක් නිර්මාණය කිරීමට යෝජනා ඉදිරිපත්ව ඇත. කුකුළේ ගඟ ආශ්‍රිතව භූගත ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලැබී ඇත්තේ එම යෝජනාවටය.
මේ බලාගාරයේ ඉදිකිරීම සඳහා සිදුකළ ශක්‍යතා අධ්‍යයන සම්බන්ධයෙන් මේ මිනිසුන්ට ඇත්තේ ගැටලුවකි. “මේ ශක්‍යතා අධ්‍යයන තුනම සිදුකළේ එකම තැනක මිසක් අමුතු තැනක නෙමෙයි. මේ ගමේමයි. මේ මිනිස්සුමයි. මේ පරිසරයමයි. පළමුවැනි, දෙවැනි ශක්‍යතා අධ්‍යයන අනුමැතිය නොලැබෙන තැනට අසාර්ථක වෙද්දී තුන්වැනි ශක්‍යතා අධ්‍යයනයට විතරක් අනුමැතිය ලැබුණේ කොහොමද?” ඔවුහු විමසති.
කුකුළේ ගඟ වේල්ලෙහි දොරටු හැර තබා පැයක් එකහමාරක් ගතවීමටත් මත්තෙන් මේ ගම් සියල්ල යට කොටගෙන මහා සැඩ පහර ගලාගෙන යයි. පසුගිය 2024 වසරේදී පමණක් 17ක් වතාවක් කුකුළේ ගඟ නිම්නයේ ඇති ගම් ගංවතුරින් යට වූ බව ඔවුහු පවසති.
“එකපාර ගලාගෙන එන ඒ වතුරට අඩි අටක් දහයක් විතර සම්පූර්ණයෙන් යටවෙනවා. අපේ ගෙවල්වල තියෙන බඩුවක්වත් අරන් යන්න තරම් කාලයක් නෑ. බුලත්සිංහල, පාලින්දනුවර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට මේක තදින්ම බලපානවා. බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාලියද්ද, කිතුල්ගල් විල පාර, නරවැල්ල, ඇටඹගස් හන්දිය, දඹල, පාරුතල්විල, මෝල්කාව, කුකුළුඇළ, කොටපන්විල, මහවත්ත, බොරලැස්ස, හීන් පන්දල, දෙහිපිටිය, ඉහළ වෙල්ගම, පහළ වෙල්ගම, ගලහිටිය, දම්පදුරාගොඩ, කරල්දැක්ම, දීයකඩුව කියන ගම් වගේම පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මගුරුවෙල, ගලහිටිය, පැලෑඳ, මාරගල්දෙණිය, ඉලුප්පතන, දේවාල පාර, අඹේගොඩ, මොරපිටිය කියන ගම් සියල්ලම යටවෙනවා.” යැයි චතුරි පුන්සරා සඳහන් කළාය.
“පහුගිය 2017 අවුරුද්දේ ගංවතුර ඇති වෙනකොට මගේ දෙවැනි දරුවට මාස එකහමාරයි. අපේ මහ ගෙදර පහළම තට්ටුව අඩි 18ක් විතර උසයි. ඒ මහ ගංවතුරට අපේ පහළ තට්ටුව සම්පූර්ණයෙන්ම යටවුණා. අපිට යන්න තැනක් තිබ්බේ නෑ. අන්තිමට අපිව එක්කන් යන්න ඔරුවක් ආවා. ඔරුව කිව්වට ඒක කොල්ලෑවක්. ඔරු කඳේ යන්න පුළුවන් දෙන්නටයි. මගේ ලොකු දරුවට අවුරුදු තුනයි. එයා මගේ ඇඟේ එල්ලිලා කෑ ගගහා අඬනවා වෙන කවුරුත් එක්ක යන්න බෑ කියලා. අන්තිමට මම මගේ මාස ගාණක් වයස අත දරුවව මගේ ලොකු අම්ම එක්ක ඒ කොල්ලෑවේ යැව්වා. එයාලා ගොඩබිමකට යනකම්ම මම හිතින් දෙයියන්ට බුදුන්ට කිය කිය හිටියේ ඔරුව පෙරළෙන්න එපා කියලා. මගේ තාත්තා අංශභාග රෝගියෙක්. බබා ලැබෙන්න සීසර් කරලා හිටපු හින්දා මට එයාව උස්ස ගන්නවත් බැහැ. ඒත් මොනවා කරන්නද. පල්ලෙහා තට්ටුව ටිකින් ටික යට වෙද්දී මමයි, අම්මයි, ලොකු අම්මයි එකතුවෙලා එයාව ලොකු රෙක්සින් ෂීට් එකක ඔතලා දර ලීයක ගැටගහලා තමයි උඩ තට්ටුවට අරගෙන ආවේ. හරියට දර මිටියක් කරේ තියාගෙන අරන් යනවා වගේ.
“අපි ගොඩබිමකට ගියාට අපිට රැඳවුම් මධ්‍යස්ථානයක් තිබ්බේ නෑ. උදේ අටේ විතර ඉඳන් හවස හය විතර වෙනකම් දරුවෝ දෙන්නව තියාගෙන පාරේ හිටියා. ජල විදුලි බලාගාරයේ ගේට්ටුව ඉස්සරහට වෙලා අපිව ඇතුළට ගනියි කියලා හිතාගෙන අපි බලාගෙන හිටියා. ඒ වෙද්දි ඒක තමයි යට වෙන්නේ නැති තැනකට තිබ්බේ. බලාගාරේ ඉන්ජිනේරුතුමා නැහැයි කියලා අපිව ඇතුළට ගත්තේ නැහැ. බඩගින්නෙ දරුවෝ හඬනවා. පුළුවන් කට්ටිය පීනල ගිහිල්ලා ඒ ළඟ තිබුණු ගස්වලින් ගෙඩි කඩාගෙන ඇවිල්ල තමයි දරුවන්ට කන්න දුන්නේ.
ඔය කියන විදුලි බලාගාරේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 15ක් වෙන්න ඇති. ඒත් ඊට වඩා අවුරුද්දක් ගාණේ ගංවතුරෙන් හානි වන ගෙවල්වලට, මිනිසුන්ගේ ජීවිතවලට වගා බිම්වලට වන්දි ගෙවනවා.
වාන් ෙදාරටු අරින්නේ හැමදාම රෑට. ටික වෙලාවකින්ම විදුලි බලයත් විසන්ධි කරනවා. පැය එකහමාරකින් විතර අපිව යට වෙන්න ගන්නවා. අඩු තරමේ ඒ ගැන අහන්න කියන්නවත් ඒ ගැන දැනුම් දෙන්නවත් සයිරන් නළාවක් නෑ. ඒ හින්ද කිසි දෙයක් දැනගන්න බෑ. ඒ මදිවට ගංවතුර ගලද්දි සර්පයෝ පාවෙනවා. හැම අවුරුද්දෙම ගංවතුරෙන් යට වෙන නිසා ගෙදර තව තට්ටුවක් උසට හදලා කාමරයක් හැදුවා. අද වෙද්දී ඒ වගේත් බිත්ති පුපුරලා. ගංවතුර ගැලුවට රජයේ නිලධාරීන්ට මේ පැත්තට එන්න දවස් එකහමාරක් විතර යනවා. එතකන් අපිට කන්න බොන්න කිසිම දෙයක් නෑ. මේ කාලෙට අපේ මිනිස්සු ටොයිලට් යන්නේ පොඩි කප් එකකට. ඒකට ෂොපින් බෑග් එකක් දාලා තමයි අපි අපේ ශාරීරික අවශ්‍යතා ඉෂ්ට කර ගන්නේ. මේවා කියන්නත් බෑ. ඒත් නොකියත් බෑ. අර ජරාව තියාගන්න තැනක් නෑ. ඒවත් හලන්නේ ගංවතුරටම තමයි. ඒ වතුරෙන්ම තමයි අපි හෝදගන්නෙත්. ඒ වතුර අපේ ළිංවලට යනවා. කී පාරක් ළිං ඉස්සත් අර විසබීජ යන්නේ නැහැ.
අපි කැමැති ගමනක් බිමනක් යන්න බෑ. අපි ගමන ගිහින් එද්දි අපේ ගේ සම්පූර්ණයෙන්ම යට වෙන්නත් පුළුවන්. හයිය හත්තිය තියෙන කවුරු හරි කෙනෙක් ගෙදර රඳවලා තමයි අපි ගමනක් යනවනම් යන්නේ. ගංවතුර හින්දා ගෙවල්වල කොට්ටයක්, මෙට්ටයක් වත් ගන්න දෙයක් නෑ. කිසිම ගෙදරක සෝපාවක් නෑ. ඒ තිබ්බත් ඒවා ජරාජීර්ණ වෙලා. කවුරු ආවත් ඉඳගන්න තියෙන්නේ ප්ලාස්ටික් පුටුවල. අපිත් ආසයි ලස්සනට ඉන්න. ඒත් අපිට බඩු මුට්ටුවක්වත් තියාගන්න හැකියාවක් නෑ. ගංවතුර ගලන වාරයක් ගාණේ අපි තවත් කඩා වැටෙනවා. වත්තේ තියෙන කරපිංචා ගහේ ඉඳලා හැමදේම විනාශ වෙලා යනවා. ජීවිතය ආයෙ බින්දුවේ ඉඳලා පටන් ගන්න වෙනවා. ගෙදර බඩු තිබ්බයි කියලා ගේක බඩු ඔරුවෙන් අරන් යන්න බෑනේ. හරිම දුක්ඛිතයි අපේ ජීවිත”
ඇගේ කතාව අවසන් කරනතුරු ගත වූ කාලය තුළ ඈ කිහිප විටක්ම සිය දෑස් කෙවෙනි මතින් පිටතට පනින්නට බලා සිටි කඳුළු අහුරු වරින් වර පිස දැමුවාය.
මේ එක් කතාවක් පමණි. කේ. එම්. චන්ද්‍රසිරි වයස අවුරුදු පනස් එකක් ඉක්ම වූ අයෙකි. වසර ගණනාවක් තිස්සෙම කුකුළේ ගඟ නිම්නයේ වෙසෙන ඔහු පවසනුයේ මේ බලාගාරය ඉදිකිරීම හේතුවෙන් එහි ප්‍රතිවිපාක තම දරුවන් භුක්ති විඳින බවය.
“කලවානේ ගංවතුර පාලනය කරන්න මේ ව්‍යාපෘතිය බාගෙට හදලා නතර කළා කියලා අපි චෝදනා කරද්දි රාජ්‍ය නිලධාරීන් කියන්නේ ඔවුන්ගේ පැළැන්තියට විරුද්ධව අපි කතා කරනවා කියලා. අපි කතා කරන්නේ අපි විඳින පීඩාව ගැන. ආර්ථික වශයෙන් අපේ වගාවන් ඉවරයි. මිනිසුන්ට කිසිම පිළිසරණක් නෑ. අපිත් ඩොලර් උපයපු මිනිස්සු. ඒත් අද අන්ත අසරණ වෙලා. ගංවතුරක් ගැලුවාම ගෙවල්වල ඉන්න බල්ලො, පූසෝ පවා මැරිලා යනවා. අපි ජීවිතය බේරගන්න කියලා මහ රෑ කිලෝමීටර් ගණන් වතුරෙ ඇවිදන් යනවා. ගංවතුර බැහැලා ගියාට පස්සේ විදුලිබල මණ්ඩලයෙන් ස්විච් එකක්වත් ඇවිත් හයි කරලා දෙන්නේ නෑ. ඉස්සර නම් දවස් දෙක තුනකින් වතුර බැහැලා යනවා දැන් එහෙම නෑ. සමහර කාලෙට ගලන ගංවතුර දවස් 8ක් – 10ක් විතර රැඳිලා තියෙනවා.”
ඔහු සිය සාක්ෂිය අවසන් කළේ එසේය.
කේ. වී. ඉලංගරත්න වයස අවුරුදු 63ක් පමණ වූ පරගොඩ ගම්මානයේම ඉපදුණු අයෙකි. ඔහු පවසනුයේ මින් වසර ගණනාවකට පෙර ඇදහැලුණු වැස්ස මේ පරිසරයට ආශීර්වාදයක් වූ බවය. එහෙත් කුකුළේ ගඟ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදිකළ පසු එය සම්පූර්ණයෙන්ම කණපිට ගැසූ ප්‍රකාශයක් වූ බව ඔහු පැවැසීය.
“එදා ගඟ ආශීර්වාදයක් කියලා කියපු මිනිස්සු අද ගඟට සාප කරනවා. මේ විදුලි බලාගාරය ගැන ඇත්තටම තක්සේරුවක් කළොත් එහි උපයන විදුලි ඒකක ප්‍රමාණයට වඩා මේ ගඟ නිම්නයේ ඉන්න මිනිසුන්ට සිදුවන ආර්ථික හානිය වැඩියි. මේ ගැන ප්‍රාදේශීය ලේකම්ගේ ඉඳන් නිලධාරීන් දැනුවත් කළා. වැඩක් නෑ. ඉස්සර මේ පැත්තේ වතුරේ ජීවත්වුණු ගල්පාඩියා, ලේ තිත්තයා, හිරිකනයා වගේ මාළු අද මේ වතුරේ දකින්නවත් නෑ. මේවා අසාර්ථක ව්‍යාපෘති. මේ බිමට ගලන ගංවතුරත් එක්ක කූඩැල්ලගේ ගැඩවිලාගේ ඉඳන් සත්තු හෝදගෙන යනවා. කොහොමද මේ ජෛවගෝලය පවතින්නේ. කලවානේ ඉන්න මහලොකු දේශපාලනඥයෝ ටිකයි වලව්කාරයෝ ටිකයි හින්දා තමයි මෙච්චර දෙයක් අපිට වෙලා තියෙන්නේ. අපි කියන්නේ නෑ ඕක වහන්න කියලා. ඒත් අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ඒක තිත්තයි. අඩු තරමේ නළ මාර්ගයකින් හරි මේ වතුර ටික වියළි කලාපෙට යවන්න. ඔය විදුලි බලාගාරෙ තියෙන ටර්බයින ටික කරකවන්න අවශ්‍ය අවම වතුර ටික තියාගෙන ඉතුරු ටික ගඟ දිගේ පහළට යවන්න. ඔය වතුර ටික රඳවා ගත්ත ගමන් එතැනින් එහාට පල්ලෙහා ගඟ හිඳෙනවා. පායන කාලෙට අපිට බොන්නවත් වතුර නෑ. ළිං හිඳෙනවා. තවදුරටත් අපිට විඳවන්න බෑ. අපේ පරම්පරාවෙන් මේක අවසන් වෙන්න ඕනේ. පුංචි උන්ට මේ දුක දෙන්න බෑ. මේක අත ඇරලා යන්න අපිට බෑ. මේක අපේ නිජබිම”
පාලකයන්ගේ වුවමනාවට ජනතාවට සංවර්ධනයක් උදාකරලීම යැයි පවසමින් සිදුකරන ව්‍යාපෘතිවලින් පීඩාවට පත්වනුයේ පාලකයන් නොව මහ ජනතාවමය. සංවර්ධනයේ අනාථයන් බවට පත්වනුයේ ඔවුන්මය. එවන් බොහෝ පිරිසක් අද ලෝකය පුරා බිහිවී සිටිති. මින් පෙර ඔවුන් මුහුණනොදුන් ප්‍රශ්න ගණනාවකට අද වන විට ඔවුහු මුහුණපාති. ඒ ප්‍රශ්න ඔවුන් විසින් ඇති කරගත් ඒවා නොවෙයි. සංවර්ධනයේ නාමයෙන් පාලකයන් ක්‍රියාවට නංවන අවිධිමත් සහ අසංවිධිත ව්‍යාපෘති හේතුවෙන් මතු වූ ඒවාය.
පරගොඩ මරණාධාර සමිතියේ භාණ්ඩාගාරිකාව වූ අයෝමා පෙරේරා අවුරුදු හතළිස් තුනක කාන්තාවකි. වසර ගණනාවක් තිස්සේ මේ ගංගොඩැල්ලේ ගැවසෙමින් වසරක් පාසා හෝ වසරකට කිහිපවිටක් ගලනා ගං වතුරට ඇය සිය ජීවිතයේ හොඳම කාලේ දිය කර හැර ඇත.
“අපි පදිංචි වෙලා හිටියේ ගංවතුරෙන් යට වෙන්නෙ නෑ කියලා හිතන් හිටිය තැන්වල. ඒත් ගංවතුරත් එක්ක ඒ හැමදේම හිතලුවක් විතරක් වුණා. ගංවතුර කාලෙට වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ කාන්තාවෝ, ගෑනු ළමයි, දරුව කුසේ තියාගෙන ඉන්න ගැබිනි කාන්තාවෝ, කිරි දෙන අම්මලා, පුංචි උන් එක්ක මහ ගං වතුරේ කොහේ කියලා යන්නද?
ගිය අවුරුද්දෙ ගංවතුර ආපු වෙලේ අපිත් එක්ක ඇවිද ගන්නවත් බැරි අම්මා කෙනෙක් හිටියා. අපිව අරන් යන්න බෝට්ටුවක් ආවත් ඒ අයටත් අර අම්මව එක්කගෙන යන්න විදිහක් තිබ්බේ නෑ. බෝට්ටුවේ ආව අය අපිට කිව්වේ පරිස්සමට ඔහොම ඉන්න කියලා. රෑ එළි වෙනකම් අපි නින්දක් නැතුව ගංවතුර දිහා බලාගෙන හිටිය. ගංවතුර අස්සේ ගෑනු දරුවෝ අරගෙන අවතැන් කඳවුරකට ගියත් අපි ඉන්නෙ බයේ ඒ එයාලගේ ආරක්ෂාව ගැන. මේ අවතැන් කඳවුරුවලට යන වයසක අයට දෙන්න ඇඳක්වත් නෑ. දරුවෝ කිරි ඉල්ලලා අඬද්දී සීතලේ දෙන්න කිරි එරෙන්නේ නෑ.
මගේ තාත්තා ගොවියෙක්. අවුරුදු හැටක් විතර තිස්සේ පරම්පරාවෙන් වගා කරගෙන ආපු කුඹුරු කෑල්ල වතුර හින්දා මේ කන්නෙදී වගා කළේ නෑ. අවුරුදු හැටකට පස්සේ පළමුවැනි වතාවට තමයි ඔය විදිහට කුඹුර පාළු වුණේ.
අවුරුදු ගණනක් තිස්සේ සැලසුම් සහගතව හදපු මේ විදුලි බලාගාරය නිසා ඇති වුණු බලපෑමට අවුරුද්දකින් දෙකකින් විසඳුමක් දෙන්න බැරි වෙයි කියලා අපි දන්නවා. අඩු තරමේ ගංවතුර කාලෙට තෙමෙන්නෙ නැතුව ඉන්න උසකින් මොකක් හරි හදා ගන්නවත් අපිට ආධාරයක් දෙන්න. එහෙම බැරි නම් ණයක් හරි දෙන්න. ගංවතුරක් ගැලුවහම කුස්සියේ බඩු ටිකවත් රැක ගන්න අපිට බැහැ. අපි කොච්චර කෑගැහුවත් මේ ව්‍යාපෘතිය නතර කරන්නේ නැහැයි කියලා අපි දන්නවා. ඒත් ඒ නිසා විනාශ වෙන අපේ ජීවිතවල සාධාරණයක් කරන්න. මේ සංවර්ධනය නිසා මිනිස්සු කොටසකගේ ජීවිත විනාශ වෙනවා නම් ඒ වගේ සංවර්ධනයක් රටකට අවශ්‍යද කියලා හිතෙනවා.”
මේනක ප්‍රියත් මෙහි දිවි ගෙවන තවත් එක් අයෙකි. ඔහුටද කියන්නට කතාවක් ඇත.
“ගෙවල්වල ස්වයං රැකියා කරගෙන හිටපු මිනිස්සු කිසිම කෙනකුට ඒවා කරගන්න විදිහක් නෑ. අපේ ගමේ සිල්ලර බඩු කඩ හතරක් තිබ්බා. මේ ගංවතුර ප්‍රශ්නෙත් එක්ක ඒ හැම එකක්ම වැහිලා ගිහින්. ඉස්සර සිල්ලර බඩු කඩයක් කරගෙන තමන්ගේ ආදායම හොයාගෙන හිටපු අයිය කෙනෙක් මේ ළඟ තියෙන තැනක සිකියුරිටි වැඩේ කරන්න යනවා. මේක ආර්ථික ඝාතනයක්. අපේ වගාවන් සම්පූර්ණයෙන් විනාශ වෙලා යද්දී ඒ වා ජාතික ආර්ථිකයට දැනෙන්නෙ නැද්ද. ඉස්සර මේ පළාතේ වී කොටන, මිරිස් කොටන මෝල් තිබ්බා. දැන් ඒ එකක්වත් නෑ.”
ගංවතුර හේතුවෙන් ප්‍රදේශයේ දරුවන්ට වන බලපෑම ගැන පැවැසුවේ නීලිකා ප්‍රියන්ති මහත්මියයි. ගෙවෙන වසරක් පාසා ගලන ගංවතුරට හසුව පීඩාවට පත්වන පවුල්වල කුඩා දරුවන් ඉගෙන ගන්නා පාසලක මුල් පුටුව හොබවනුයේ ඇයයි. ගංවතුරෙන් ඒ පුංචි උන් විඳිනා පීඩා ඈ ඇස් පනාපිට විඳින්නීය.
“හයියෙන් වැස්සක් වැහැලා පාරවල් යට වෙද්දි අම්මලා පෝලිමට එනවා මේ දරුවෝ ටික අරන් යන්න. ඉස්කෝලේ හැම වැඩක්ම නතර කරලා අපිට සිද්ධ වෙනවා ඒ අම්මලත් එක්ක දරුවන් යවන්න. ගංවතුරක් ගලලා වහලක් උසට වෙනකම්ම වතුර පිරුණට පස්සේ පුංචි දරුවන්ගේ පොත්පත් කොහෙන් පරිස්සම් කරන්නද. ආණ්ඩුවෙන් පෙළපොත් දුන්නට මාස ගාණක් තිස්සේ දරුවා ලියපු සටහන් පොත්වලට මොකද කරන්නේ. ඒවා ආයේ අරන් දෙන්න විදිහක් නෑනේ. ඒ දරුවො පාඩම් කරන්නේ මේ සටහන් පොත්වලින්. 2017 අවුරුද්දේ ගංවතුර ගලපු වෙලේ මගේ දරුව උසස් පෙළ විභාගයට මුහුණදෙන්න සූදානම් වෙලා හිටියේ. විභාගයට හරියටම තිබ්බෙ මාසයයි. ගෙවල් යට වෙද්දි අපි පුළුවන් තරම් උස තැන්වලින් පරිස්සම්ව බඩු අහුරලා තියලා ගෙදරින් ඉවත් වුණා. වතුර බැහැලා ගියාට පස්සේ ගෙදර ඇවිල්ල බලද්දි මගේ දරුවගේ පොත්පත් ඔක්කොම විනාශ වෙලා. මට කෑගහලා ඇඬුණා.
ගංවතුර කාලෙට දරුවන්ට සති ගණන් පාසලට එන්න බෑ, පාරවල් යට වෙනවා. අඩු තරමේ ටොයිලට් එකකටවත් යන්න තැනක් නැහැ. වතුර බොන්න තියෙන ළිඳට ගංවතුරත් එක්ක ජරාව ඔක්කොම ඇවිල්ලා. වතුර බැහැලා ගියාට පස්සේ අපේ කකුල් තෙමිලා කුණු වෙනවා. අපි දවසින් දවස වයසට යනවා. හයිය හත්තිය තියෙන කාලේ කොහෙට හරි ගිහිල්ලා ජීවිතේ බේර ගනියි. ඒත් ඇවිද ගන්න බැරිවෙච්ච කාලෙක අපි ගෙවල්වලම මැරිල ඉඳී.”