ලංකාවේ චොක්ලට් කියල විකුණන හුගක් එවුවා නියම ප්රමිතියේ චොක්ලට් ද කියන එක සැක සහිතයි. ඔරිජිනල් රෙසිපි එකට චොක්ලට් හදනවානම්, කොකෝවා පවුඩර්, කොකෝවා බටර්, සීනි, කිරි හෝ කිරිපිටි (මිල්ක් හෝ ඩේරි චොකලට්වල) තියෙන්න ඕන.
ලංකාවේ හුගක් නිෂ්පාදනවල කොකෝවා බටර් නෑ, ඒ වෙනුවට තියෙන්නේ පාම් තෙල්. කොකෝවත් අඩුයි , චොක්ලට් ෆ්ලේවර් තමයි තියෙන්නේ. සීනිනම් නොසෑහෙන්න තියෙන බව පේනවා.
ඔරිජිනල් චොක්ලට්වල තියෙන්නේ කොකෝවා බටර් කිවුවනේ. කොකෝවා බටර්, උෂ්ණත්වය හමුවේ දියවෙන උෂ්ණත්වය තියෙන්නේ (melting point) සේල්සියස් අංශක 34 -38ක අතර ගාණක. ලංකාවේ ඇවරේජ් ටෙම්පරේචර් එක 27C' -28C' අතර අගයක තමයි තියෙන්නේ. නුවරඑළියෙ හැරුනාම රටේ බොහෝ ප්රදේශවල, බොහෝ කලවලදී දිවා කාලයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් 27C' ට වැඩියි. ඒ කියන්නේ නියම චොක්ලට් කොළඹ, යාපනය, මඩකලපුව, කුරුණෑගල ඔය කොහේදි වුනත් අවුරුද්දේ වැඩි කාලයක් සාමාන්‍ය ඒසී නැති කඩේක වුනත් දියවෙන්නේ නෑ. නියම චොක්ලට් දියවෙන්නේ කටේදි, දිවේදි. ඒක තමයි වෙල් ක්නොවුන් චොක්ලට් කොලටිය. ඒත් ලංකාවේ තියෙන හුගක් චොකලට් වර්ග වායු සමනය නොකළ කඩයක හෝ ශිතකරණයක තිබිබේ නැත්නම් ඉක්මනින්ම දිය වෙනවා.
එහෙම වෙන්නේ ඇයි....???
ඔරිජිනල් කොකෝවා බටර් මිලෙන් ඉතාම වැඩියි. ඒවා දාලා චොක්ලට් හැදුවොත් ලංකාවේ බහුතරයකට චොක්ලට් කන එක හීනයක්. එහෙම වුනොත් චොක්ලට් කොම්පැනිවලට මහ ලාභයක් ගන්නත් බෑ.
එතකොට දුප්පත් රටවල පාරිභෝගිකයින්ට චොක්ලට් හදන්නේ මොනව දාලද...???
කොකෝවා බටර් වෙනුවට දාන ලාබම ආදේශකය තමයි පාම් තෙල්. පාම්තෙල් කිවුවට ඒකෙත් වර්ග කීපයක් තියෙනවා පාම් ඇටයේ මදයෙන් ගන්න තෙල්වලට කියන්නේ පාම් කර්නල් ඔයිල් කියල. මේකේ සම්තෘප්ත තෙල් අධිකයි. පාම් ගෙඩිය පොත්තත් එක්ක මිරිකල ගන්න තෙල් තමයි සාමාන්‍ය පාම් තෙල් කියන්නේ . නියම පාම් තෙල්වල මෙල්ටින් පොයින්ට් එක 36C' විතර වෙනවා. කර්නල් ඔයිල්වල දියවෙන උෂ්ණත්වය 27C' ක් විතර වෙනවා. පාම් කර්නල් ඔයිල්වලින් හදන ෆැට් ස්ප්රෙඩ්වල මෙල්ටින් පොයින්ට් එක 25C' ක් විතර වෙනවා.
දැන් අපිට තේරෙනවා, සාමාන්‍යයෙන් ෆ්රිජ් එකේ තිබ්බෙ නැතිනම් මෙල්ට්වෙන චොකලට් හදල තියෙන්නේ එක්කෝ කටුපොල් ඇට තෙල්වලින්,(පාම් ඇට) එහෙම නැතිනම් ඒවායින් හදපු ලෝ කොලටි ෂොර්ට්නින්, මේද තැවරුම් (fat spread ) දාල කියලා.
කොකෝවා බටර් මිල අධික සහ හිඟ බැවින් යුරෝපා රටවල චොක්ලට් නිශ්පාදකයනුත් ඒ වෙනුවට පාම් ඔයිල් දාන්න අවසර ඉල්ලුවා. ඒත් නියම චොක්ලට්වල රසය සහ ප්රමිතියට හානි වෙන නිසා මේ ආදේශකය ගැන දීර්ඝ කාලයක් යුරෝපා සන්ගමේ රටවල් අතර වාදයක් තිබුනා. චොක්ලට් කොම්පැනිවල ලාබ උවමනාවන් වලට එරෙහිව චොක්ලට්වල උසස් ප්රමිතිය වෙනුවෙන් පෙනී හිටිය ජර්මනිය, බෙල්ජියම වගේ රටවල් මේ වැඩේට තදින්ම විරුද්ධ වුනා. ඒ රටවලවල දැනුම්වත් පාරිභෝගිකයනුත් මේ වැඩේට විරුද්ධ වුනා. ඒ අනුව අවසාන විසඳුම විදියට යුරෝපා රටවල්වල ක්රියාත්මක නීති රෙගුලාසියක් මගින් චොක්ලට් නිෂ්පාදනයේදී කොකෝවා බටර්වලින් 5%ක උපරිමයකට යටත්ව පාම් තෙල් කවලම් කරන්න අවසර දීල තිබෙනවා.
(වැඩි විස්තර සඳහා සබැඳිය - https://www.bakeryandsnacks.com/Article/2006/12/01/Blend-palm-kernel-oil-and-palm-oil-to-better-replace-cocoa-butter)
ඒත් බොහෝ යුරෝපීය බ්රෑන්ඩ්ස් 100% කොකෝවා බටර් යූස් කරන අවස්ථා වැඩියි. හේතුව කොකෝවා බටර් වලින් එන නියම චොක්ලට් රසය සහ කොලටිය ගන්න පාම් ඔයිල් සහ කෘත්‍රිම චොක්ලට් රස කාරකවලින් බැරි වීමයි. අනික යුරෝපා ජාතීන්ට නියම චොක්ලට් රසයට හොඳටම සෙන්ස් තියෙනවා. එයාලට බොරු කරන්න බෑ.
ලංකාවේ එහෙම ප්රමිතියක් නෑ. හුගක් මෙහෙ බ්රෑන්ඩ්ස්වල මුලුමනින්ම තියෙන්නේ පාම් ඔයිල්. කොකෝවා බටර් දැම්මට ඒකේ කොච්චර ප්රතිශතයක් පාම් ඔයිල් බ්ලෙන්ඩ් කරලද කියල දන්නේ නෑ. ප්රමිතියක් නීතියකුත් නෑ.
ලංකාවේ චොක්ලට්වල ඇයි මෙච්චර සීනි... ???
ලංකාවේ තියෙන හුගක් චොක්ලට් බ්රෑන්ඩ්ස්වල යුරෝපියන් බ්රෑන්ඩ්ස්වලට වඩා සුගර් කන්ටෙන්ට් එක වැඩියි. ඒක ලේබල් කියෙවුවමත් තේරෙනවා.
නියම කොකෝවා බටර් දාලා හදල තියෙනවා යැයි කියන 70% ඩාර්ක් චොක්ලට් වර්ගත් දැන් ලංකාවේ තියෙනවා. ඒක හොඳ ප්රවනතාවයක්.
ඒත් මේ හෙල්දි ප්රඩක්ට් එක ශ්‍රී ලංකන් ඩිමාන්ඩ් එකට, දිවට දැනෙන ක්‍රමේට හදන්න ගිහින් වැඩේ ටිකක් සවුත්තු කරලා.
මේ ඩාර්ක් චොක්ලට් එකේ සීනි ප්‍රමාණය දැක්වෙන කලර් කෝඩ් එකේ තියෙන විදියට මේ ප්රඩක්ට් එකේ ග්රෑම් 100 ක සීනි ග්රෑම් 30.3 ක් තියෙනවා . ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාරවල පෝෂණ සංයුතිය දැක්වෙන නිල වෙබ් තොරතුරුවලට අනුව ඩාර්ක් චොක්ලට්වල සීනි තියෙන්නේ ග්රෑම් 24ක් වගේ ප්‍රමාණයක්.
(වැඩි විස්තර සඳහා සබැඳිය - -https://fdc.nal.usda.gov/fdc-app.html#/food-details/170273/nutrients)
ඒත් ලංකාවේ චොක්ලට්වල සීනි වැඩියි. මෙහෙම වෙන්නේ ලංකාවේ මිනිස්සු සීනි රහට වැඩියෙන් කෑදරයි කියල මේ සමාගම් හොඳින්ම දන්න නිසා වෙන්නත් පුලුවන්. අනික් කාරණය නියම චොක්ලට්වලට දාන්න වෙන ඔරිජිනල් ඉන්ග්රීඩියන්ස් දාන්නෙ නැතිව ලෝ කොලටියට හැදුවම ඒකේ හොරේ වහගන්න පුලුවන් ආටිෆිසල් ෆ්ලේවර්ස් දාලා, සීනි වැඩි කරාම. කොහොමත් නියම තේවලවත් රසය දන්නේ නැති ලංකාවේ හුඟ දෙනෙකු තේ බොන්නෙත් සීනි ගොඩක් දාලා. ඒක නිසා තේ කොළවලට ඩයි දාලද, ෆ්ලේවර් දාලද මොකවත් තේරෙන්නේ නෑ. ආන්න ඒ වගේ වැඩක් තමයි මෙතනත් වෙන්නේ.
කොයික කොහොම වුනත් රටක් දුප්පත් වෙනව කියන්නේ ඒ රටේ මිනිසුන් කන බොන දේවල් මෙන්ම, කොලටි ඔෆ් ලයිෆ් එකත් බාල වෙනවා. ඉතින් තත්වයෙන් බාල රටක අපිට කඩේදි, ගෙදර මේසේ උඩ තියෙනකොට දිය නොවෙන, දිවේදි විතරක් දියවෙන ඔරිජිනල් කොලටියේ චොක්ලට් කන එක බොහෝ දෙනෙකුට හීනයක් වෙන්න පුලුවන්.
@ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක