SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මැතිවරණ කාලයේදී සාමාන්‍යයෙන් සිදුවන දේශපාලන ක්‍රියාවලියක් වන්නේ ආණ්ඩු පක්‍ෂයේ සහ විරුද්ධ පක්‍ෂයේ සිටින දේශපාලනඥයන් පක්‍ෂ මාරු කිරීමය.

සාමාන්‍යයෙන් නීරස මැතිවරණ දේශපාලනයේදී මහජනතාවට හාස්‍යය සහ උපහාසය සපයන ප්‍රධාන මාධ්‍යයක් වන්නේද දේශපාලනඥයන් ලජ්ජාවෙන් තොරව සිදුකරන මෙම පැතිමාරුවයි. මෙම ක්‍රියාවලිය අප රටේ දැනටමත් පටන්ගෙන ඇත.

 

මෙම ක්‍රියාවලිය සිදුවෙද්දී අප රටේ මැතිවරණ දේශපාලනයේ අලුත් ආකාරයේ වර්ධනයන් දෙකක්ද සිදුවෙමින් තිබේ.

 

ඉන් පළමුවැන්න ස්ත්‍රීන් (කාන්තාවන්)ට ප්‍රමුඛත්වය දෙමින්, මැතිවරණ ව්‍යාපාරයේ අලුත් අංගයක් ලෙස ස්ත්‍රී ක්‍රියාකාරීන් සහ පුරවැසියන් ඉදිරියට ගෙනඒමට ජාතික ජන බලවේගයත් සමගි ජන බලවේගයත් දියත් කර ඇති අලුත් මූලෝපායයි.

 

මෙම කාරණයෙහිදී වඩාත් ඉදිරියෙන් සිටින්නේ ජාතික ජන බලවේගයයි. මැතිවරණ කාලයේදී ස්ත්‍රී පුරවැසියන් සංවිධානය කිරීම, මැතිවරණ ක්‍රියාවලියේ සක්‍රිය බලවේගයක් ලෙස ගොඩ නැගීම සහ ස්ත්‍රී පුරවැසියන් දේශපාලන වශයෙන් සවිබල සම්පන්න කිරීම, ප්‍රජාතන්ත්‍රවාදයට ආණ්ඩුව පැත්තෙන් දරුණු ප්‍රහාර එල්ල වන මේ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ පුනරුජ්ජීවනය සඳහා, විශේෂයෙන් ජාජබය ගෙන ඇති මෙම පුරෝගාමී පියවර ගැන අප රටේ පුරවැසියන් සතුටට පත්විය යුතුය.

 

ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාම ලත් ඉහළ නිලධාරීන් ජාජබය සහ සජබය සමග දේශපාලනය කිරීමට ප්‍රසිද්ධියේ සම්බන්ධ වීම දෙවැනි, පෙර නොවූ විරූ වර්ධනයයි.

 

විශ්‍රාමික ඉහළ මැද සහ පහළ ශ්‍රේණිවල හමුදා නිලධාරීන්ද භටයන්ද තම දේශපාලන සටන සඳහා සම්බන්ධ කර ගැනීම ජාජබය ගිය වසරේ සිට සාර්ථකව සිදුකරන ක්‍රියාමාර්ගයකි. සජබය ඒ සඳහා ඉදිරියට පැමිණ ඇත්තේ ඉන් අනතුරුවය. සජබයට සම්බන්ධ වන්නේ රාජපක්‍ෂ ආණ්ඩුව සමග දේශපාලන වශයෙන් සම්බන්ධව සිටි ඉතාම ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ය. සජබය අතහැර එජාපයට සම්බන්ධ වීමේ සංඥා නිකුත් කරමින් සිටින්නේද, සජබය සමග සිටි ඉතා ඉහළ පෙළේ හමුදා නිලධාරියෙකි.

 

විශ්‍රාමික ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ගේ දේශපාලන බැඳීම් පක්‍ෂපාතිත්වය වෙනස්වීම පිළිබිඳ කරුණු වෙතින්, හමුදාව සහ දේශපාලනය යන වැදගත් ප්‍රශ්නයද මතු වේ. ඉහළ පෙළේ විශ්‍රාමික හමුදා නිලධාරීන් ද සමග දේශපාලන සම්බන්ධතා ඇතිකර ගැනීමට සහ ඇතැම් විට ඒවාට මහත් ප්‍රසිද්ධියක් ලබාදීමට ප්‍රධාන වන විරුද්ධ පක්‍ෂ බලවේග දෙක ලෙස මතුව සිටින ජාජබය සහ සජබය උනන්දු වන්නේ ඇයි? විශ්‍රාම නොගෙන සහ තවමත් සේවයේ සිටින ඉහළ ශ්‍රේණිවල හමුදා නිලධාරීනුත් ‘දේශපාලනයේ’ යෙදෙනවාද? විශ්‍රාමික හමුදා නිලධාරීන්ට පෙර නොතිබුණු දේශපාලන වැදගත්කමක් සහ අවධානයක් ලැබී තිබෙන්නේ මක් නිසාද? මේ දිනවල පැවැත්වෙන පූර්ව-මැතිවරණ දේශපාලන සාකච්ඡාවේ මෙවැනි ප්‍රශ්න මතුකිරීමටද අවශ්‍ය වී තිබේ. විශ්‍රාමික හමුදා නිලධර තන්ත්‍රය, ලංකාවේ දේශපාලනයේ සක්‍රිය බල මධ්‍යස්ථානයක් ලෙස මතු වන්නේද යන්න ඉහත ප්‍රශ්න වෙතින් මතුකරන බරපතළම ගැටලුවයි.

 

ජනාධිපතිගේ නීති පැනවීම

 

පසුගිය දිනවල විශාල ප්‍රසිද්ධියක් ලැබුණු ප්‍රවෘත්තියක් නම් රටේ ‘ආර්ථික පරිවර්තනය’ අරමුණු කොට පාර්ලිමේන්තුව විසින් පසුගිය මාස 14 ඇතුළත අලුත් නීති 42ක් පනවන ලද බවයි. ඒ සමගම අලුත් නීති 62ක් පැනවිමේ අවශ්‍යතාව තිබෙන බවත් ජනාධිපතිවරයා තව දුරටත් කියා ඇත. ජනාපධිතිවරයාගේ ධුර කාලය තවත් මාස හයක් පමණ වන විට අවසන් වන නිසා ඔහු කියන නව නීති ඉදිරි මාස කිහිපය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කෙරෙනු ඇත. ඉතා කලබලයෙන්, හදිස්සියෙන් මෙන් සිදු කරන මෙම ශීඝ්‍රගාමී නීති සම්පාදන ක්‍රියාවලියේ අරමුණ වශයෙන් ජනාධිපතිවරයා විසින්ම නම් කර ඇති ‘රටේ ආර්ථික පරිවර්තනය’ යන්නෙහි අර්ථය කුමක්දැයි විමසා බැලී ම වටී. එහි ඇත්තේ එකම අර්ථයකි. එය නම් ලංකාවේ ආර්ථිකය හා සමාජය ශීඝ්‍ර ‘නව ලිබරල්වාදී පරිවර්තනයකට’ පත්කිරීම, තම ධුර කාලය තුළදී සම්පූර්ණ කිරීමයි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පුද්ගලිකව නායකත්වය දෙන සහ මෙහෙයවන මෙම ‘නව ලිබරල්වාදී’ පරිවර්තනයේ ප්‍රධාන අංග මොනවාදැයි හඳුනාගැනීම අපට ප්‍රයෝජනවත්ය. ඒවා මෙසේ ලැයිස්තුවක් වශයෙන් දැක්විය හැකිය. 1978දී ජයවර්ධන ජනාධිපතිවරයා ආරම්භ කළ ලංකාවේ ආර්ථිකය පුද්ගලික වෙළඳපොළ කේන්ද්‍රගත කොට ගත් ආර්ථිකයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම පළමුවැන්නයි. ඒ මගින් අදහස් වන්නේ ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ‘නිදහස් වෙළෙඳපොළ කේන්ද්‍රීය‘ ආර්ථිකයක් බවට, රටේ එක් පුද්ගලයකුගේ, එනම් ජනාධිපතිවරයාගේ කැමැත්ත මත පත්කිරීමයි. දෙවැන්න නම්, ආර්ථික ක්‍ෂෙත්‍රය තුළ රාජ්‍යයේ කාර්යය අවම කරමින් ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය හැසිරවීම පුද්ගලික ප්‍රාග්ධනයට, ආයෝජකයන්ට සහ දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ බලවේගවලට පැවරීමයි. රාජ්‍යයට මෙතෙක් පවරා තිබුණු සහ රාජ්‍යය බාරගෙන තිබුණු සමාජ සුභසාධනවාදී කාර්යය අවසන් කිරීම සමහ ‘සමාජ සුභසාධනය’ යන වචනය පවා රාජ්‍ය ප්‍රතිපත්ති කතිකාවෙන් ඉවත් කිරීම. ආර්ථික නිෂ්පාදනය, බෙදාහැරීම සහ මහජන සේවාව සැපයීම සඳහා මෙතෙක් පැවති රාජ්‍ය ආයතන එක්කෝ පුද්ගලික ව්‍යවසායකයන්ට විකිණීම නැතහොත් පුද්ගලික ව්‍යාපාර ලෙස ක්‍රියාකරන රාජ්‍ය ව්‍යවසාය බවට පත්කිරීම.

 

ඉහත කී ආර්ථික හා සමාජ පරිවර්තන ඇති කිරීම නිසා ඇතිවිය හැකි සමාජ අසහනය සහ විරෝධතා මැඬ පැවැත්වීමට රාජ්‍යයේ මර්දන බලය ශක්තිමත් කිරීම. ජනාධිපතිවරයා ආඩම්බරයෙන් හුවා දක්වන විශාල නීති ප්‍රමාණයක් පනවා ඇත්තේත් සහ පනවන්නට සැලසුම් කර තිබෙන්නේත් ඉහත කී පරිවර්තන අරමුණු ඉලක්ක කරගෙනය. එම අරමුණුවලින් විශාල ප්‍රමාණයක් ආණ්ඩුව දැනටමත් අත්පත් කරගෙන ඇත. ලංකාවේ ධනපති පන්තිය, ව්‍යවසායකයන් සහ ආයෝජකයන්, ලංකාවේ නව ලිබරල්වාදී පරිවර්තනයට ආධාර කරන ජාත්‍යන්තර මූල්‍ය ආයතන මෙන්ම රටවල්ද, කොළඹ සිටින එම රටවල තානාපති නිලධාරීහුද මෙම පරිවර්තනයට අනුබලය සහ ආශීර්වාදය සපයති. ඒ ඔවුන් සියල්ලම මෙම පරිවර්තනයෙන් කෙටිකාලීන සහ දීර්ඝකාලීන වශයෙන් ප්‍රතිලාභ ලැබීමට සුදානම්ව සිටින හෙයිනි.

 

එසේ වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දියත් කර ඇති ‘ආර්ථික පරිවර්තනයෙන්’ ලංකාවේ ජනගහනයෙන් අතිවිශාල කොටස් ප්‍රමාණයක් ඍජුවම බැටකති. එම බැටකන ප්‍රජාව අතර ඉදිරියේම සිටින්නේ අඩු ආදායම් ලබන දුගී ජනතාව, ගොවියන්, කම්කරුවන්, ස්ථිර වැටුප් ලබන රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයන්, පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් සහ මධ්‍යම පන්තික ජනතාවයි. ජනාධිපතිවරයා ආඩම්බරයෙන් කතා කරන ‘ආර්ථික පරිවර්තනයේ’ බර කරගසන්නට සිදුවී තිබෙන්නේ රටේ ජනගහනයෙන් අති බහුතරය වන මෙම සමාජයේ දුගී සහ ආර්ථික විනාශයට පත්වී සිටින මධ්‍යම පන්තියටයි. එහෙත් එම බහුජන කොටස්වල දෘෂ්ටිකෝණයෙන් බලා මෙම ආර්ථික පරිවර්තන න්‍යාය පත්‍රය සහ වැඩපිළිවෙළ ගැන විවේචනයක් හෝ විකල්පයක් දේශපාලන පක්‍ෂ හෝ කණ්ඩායම් වෙතින් ඉදිරිපත් වන්නේ නැත. එවැනි විචාරාත්මක සාකච්ඡාවකට ප්‍රයෝජනවත් වන එක් ප්‍රධාන කරුණක් ගැන පහතින් සාකච්ඡා කරමු.

 

රාජ්‍යයේ සමාජ වගකීම

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආර්ථික පරිවර්තන වැඩපිළිවෙළේ අප ඉහතදී හඳුනාගත් ප්‍රධාන අංග ක්‍රියාත්මක වීමේ එක් ඍජු ප්‍රතිඵලයක් වන්නේ ලංකාවේ රාජ්‍යය පුරවැසියන් සඳහා ඇති සමාජීය වගකීමෙන් නිදහස් කිරීමයි. එහි අර්ථය නම් සමාජයේ බහුතරයක් වන දුගී සහ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන බහුතර ජනතාවගේ ආර්ථික පැවැත්ම සහ සමාජීය යහපැවැත්ම සහතික කිරීමේ වගකීමෙන් රාජ්‍යය ඉවත් කර, එම ජනකොටස් ඊනියා නිදහස් වෙළෙඳපොළේ ‘රැකවරණය’ යටතට ගෙනඒමයි. ලංකාවේ ජනතාව පසුගිය වසර පුරාම අත්දකිමින් සිටින පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් රාජ්‍යයේ මෙහෙයවීමෙන් නිදහස් කරන ලද නව-ලිබරල් ධනවාදී වෙළෙඳපොළ යනු හදවතක් නැති මහා තිරිසනකුට සමානය. සමාජය හා පුරවැසියන්ට වග නොකියන රාජ්‍යයත්, හදවතක් නැති අරාජක රාජ්‍යයත් එකතු වී සිදුකරගෙන යන සමාජ විනාශය නැවැත්වීමට නොහැකි නම්, අවම කිරීමේ වත් දැක්මක් සහ වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම ඊළඟ මැතිවරණයෙන් පසු ආණ්ඩු බලය ගැනීමට සූදානම්ව සිටින ජාජබ සහ සජබ සතු සමාජ වගකීමකි. එම සමාජ වගකීමේ ප්‍රධාන අංගය නම්, රාජ්‍යය සතු සමාජීය කාර්යයන් රාජ්‍යය වෙත නැවත ගෙන එන බවට මහජනතාවට පොරොන්දු වීමයි.

 

මේ අතර ජනාධිපති වික්‍රමසිංහ ලංකාවේ රාජ්‍යය සම්බන්ධව කරගෙන යන පරිවර්තන පැකේජයේ ප්‍රධාන පැතිකඩ දෙකක් තිබෙන බව පෙනේ.

 

පළමුවන්න, අප රටේ බහුතරය වන දුගී ජනතාවට මහජන සේවා හා සුබසාධන සේවා සැපයීමේ වගකීමෙන් රාජ්‍යය ඉවත් කර, ව්‍යාපාරික සහ ප්‍රභූ පන්තීන්ට ප්‍රාග්ධනය සහ වස්තුව රැස්කිරීමට පහසුකම් සපයන සහ එම සුළු සමාජ ස්තරයට සේවය කිරීමේ ඒජන්සියක් බවට රාජ්‍යය පරිවර්තනය කිරීමයි.

 

දෙවැන්න නව ලිබරල්වාදී පරිවර්තනය තුළ ගොඩනැගෙන සමාජ අසහනය ඉදිරියේ දේශපාලන වශයෙන් විරෝධතාවාදී ලෙස ක්‍රියාකාරි වීමට ඉඩ තිබෙන දුගී සහ තරුණ පුරවැසි කොටස් මර්දනය කිරීමේ මර්දන ශක්තියෙන් රාජ්‍යය සන්නද්ධ කිරීමයි.

 

මෙම ලංකාවේ දේශපාලනය පරිහාණියට ඇද දමන වික්‍රමසිංහ-පරිවර්තන න්‍යාය පත්‍රය දේශපාලන වශයෙන් පරාජය නොකර ජාජබය හෝ සජබය ලබන මැතිවරණ ජයග්‍රහණයකින් පොදු මහජනතාවට නම් ලැබිය හැක්කේ ජයග්‍රහණයක් නොවේ.

 

@anidda

නවතම ලිපි