රාජපක්ෂ ආශ්චර්යයේ උමා ඔය ව්‍යාපෘතිය අද දින විවෘත කිරීම හේතුවෙන් ඒ පිළිබඳව විශාල කලබගෑනියක් ඇතිව තිබේ.
උමා ඔයට එරෙහි වූ සමන්ත විද්‍යාරත්න වෙත සතර දෙසින් ප්‍රහාර එල්ලවෙමින් ඇත්තේ විද්‍යාත්මක සංවර්ධනයට එරෙහි වූ පාපතරයෙකු ලෙස හඳුන්වමිනි.
නමුත් ඔහුට පක්ෂව කතා කිරීම සඳහා මාලිමාවේ කිසිදු පොරක් මේ වන තුරුත් ඉදිරිපත්ව නැත්තේ ඔවුන් ද සැබවින්ම සමන්තට එරෙහි බැවිනි. ඒ ඔවුන් සියලු දෙනා අවිඥානික වශයෙන් සමන්තට විරෝධී බැවිනි.
මහවැලි, උමා ඔය වැනි ලොව පුරා සිදු කර ඇති මහා පරිමාන නූතන වාරි ඉදිකිරීම්, එනම් ලෝකයේ දිගු ජල හුවමාරු උමං මාර්ග, විශාල වේලි සහ ජලය හැරවීමේ ව්‍යාපෘති දෙස බැලුවහොත් ඒවායින් සිදුව ඇත්තේ විශාල හානියකි. ඒවායේ සාර්ථකත්වය ගැන පවසන අය කියා සිටිනුයේ, පිරිසිදු බලශක්ති ප්‍රභවයක් (ජල විදුලිය), වියලි කලාප තෙත් කිරීම, ඒ තුලින් කෘෂි කර්මාන්තය, කර්මාන්ත පුරවරයන් මෙන්ම නව ජනාවාස ඉදිකිරීම් සිදු කල හැකි බවය. නමුත් සිදු වන විනාශය ඊට බොහෝ සෙයින් බරපතල වී ඇත.
බොහෝ දෙනෙකු සිතනුයේ නූතන සිවිල් ඉංජිනේරු විද්‍යාව තුලින් කොන්ක්‍රීට් යොදා සිදු කරන මෙම ඉදිකිරීම් මේ ආකාරයේ පැරණි තාක්ෂණයට වඩා ඉතා කල්පවතිනු ඇතැයි යන්නයි. නමුත් ඕනෑම කොන්ක්‍රීට් ඉදිකිරීමක යකඩ ජීර්ණය අවුරුදු 50න් පසුව ආරම්භ වන බැවින් මෙවැනි ව්‍යාපෘතීන් වල උපරිම ආයු කාලය වසර 100කට වැඩි නොවනු ඇත.
උමා ඔය ආකාරයේ ව්‍යාපෘති යනු ප්‍රාග්ධන තර්කනය විසින් ඉල්ලා සිටින අවශ්‍යතා සැපිරීම සඳහා වන විසඳුම්ය. ඒවායේ දැඩි අයහපත් ප්‍රතිවිපාක හෝ දීර්ගකාලීන පාඩුව එම තත්වයට අදාළ නොවේ.
උමා ඔය, වලවේ සහ ගිං-නිල්වලා ව්‍යාපෘතිවල මූලික අරමුණ වූයේ හම්බන්තොට චීන කර්මාන්ත පුරය සඳහා අවශ්‍ය ජලය (පානීය සහ කර්මාන්ත සඳහා අවශ්‍ය ) ලබා දීමයි. උමා ඔය ප්‍රමාණවත් නොවන බැවින් වලවේ ද, වලවේ ප්‍රමාණවත් නොවන බැවින් ගිං නිල්වලා ද, ඒ සියල්ල ප්‍රමාණවත් නොවන බැවින් සිංහරාජය මැද මහා වැව් දෙකක් ඉදිකිරීමට ද සැලසුම් කරන ලදී...
2015 වසරේ බල හුවමාරුව සිදු නොවූයේ නම්, වසර නමයකට බලයට පත්වීමට නියමිත වූ රාජපක්ෂ ආණ්ඩුව චීනය සමග එකාබද්ධව ඒ සියලු ව්‍යාපෘතීන් සම්පූර්ණ කිරීමට සැලසුම් සකස් කොට තිබුණි. චීන කර්මාන්ත පුරයේ නිෂ්පාදන කොළඹ වරාය නගරයට රැගෙන ඒම සඳහා අධිවේගී දුම්රිය මාර්ගයක් ද කොළඹ සිට ඉදිකිරීමට යෝජිතව තිබුණි.
රාජපක්ෂ ආණ්ඩුව මේ සියල්ල ආරම්භ කරන ලද්දේ රට සංවර්ධනය කොට ජනතාව සුඛිත මුදිත කිරීම සඳහාය. මේවාට නිකරුනේ ව්‍යාපාරික අවශ්‍යතා, අධිරාජ්‍යවාදී අවශ්‍යතා වැනි හිඟන කතා කියා වැඩක් නැත. ප්‍රජාතන්ත්‍රවාදී "ජනතාව" ඉල්ලා සිටිනුයේ එම තත්වයයි.
අතීත ලංකාවේ වාරි තාක්ෂණය නවීන විද්‍යාවේ මැදිහත්වීම් මෙන් විනාශකාරී නොවුයේ ඇයි?
උදාහරණයක් ලෙස අනුරාධපුරය සලකන්නේ නම්, අතීත අනුරාධපුරයේ වර්ග කිලෝ මීටර් 4000ක් ඇතුලත කුඩා වැව් 4000කට ආසන්න සංක්‍යාවක් තිබී ඇති බවත්, ක්‍රිස්තු පූර්ව සියවස් වල සිට ඒවා බටහිර ජාතීන් පැමිණෙන තෙක්ම ක්‍රියාත්මකව තිබී ඇති බවත් ප්‍රථම වරට පවසන්නේ එල්. එච්. බ්‍රෝහියර් විසිනි. මෙම වැව් අතර සම්බන්ධය (ඇල මාර්ග), වාරි තාක්ෂනය, ඒවා කෘෂිකර්මාන්තයට යොදාගත් අයුරු සහ ඉදිකිරීම් සැලසුම් පිලිබදව බ්‍රෝහියර් විසින් ඉදිරිපත් කරන ලද හයිඩ්‍රොලික් ඉංජිනේරු පදනම මත පැරණි වාරිමාර්ග ක්‍රියාකාරකම්වල පරිණාමය සහ සංවර්ධනය සඳහා අදියර හතරක කල්පිතයක් විය. එය ජෝසප් නීඩම් (ලංකාවේ වාරි ශිෂ්ටාචාරය සහ චීනයේ වාරි ශිෂ්ටාචාරය අතර තිබූ සමානත්වය හේතුවෙන් නීඩම් ඒ පිළිබඳව උනන්දු වී ඇත) විසින් ඔහුගේ කෘතියක නැවත පලකොට ඇති බවත්, පසුව එය වැරදි බව තේරුම් ගත් ඔහු ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඩී. එල්. ඕ. මෙන්ඩිස් හට අරාධනා කල බවත් මෙන්ඩිස් තම කෘතියක සඳහන් කොට ඇත.
සමන්තගේ ස්ථාවරය ඉතා නිවැරදිය. නමුත් අද ඔහු වෙනුවෙන් පෙනීසිටීමට මාලිමාවේ කිසිවෙකුත් නොමැත.
@spartacus lipi