SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ ක්‍රීඩාව තුළ සිදුවන අසාධාරණයන් පිළිබඳ සොයා බැලීමට  ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස මෙරට

පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිධාරි විශ්‍රාමික නිලධාරියෙක් වන ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා පත්කර වැඩි දවසක් නැත.

 

ඔහු රාජ්‍ය ආයතන, සංස්ථා සහ මණ්ඩල ගණනාවක සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල් වරයෙක් ලෙස මෙන්ම අමාත්‍යාංශ ගණනාවක අතිරේක ලේකම් සහ අමාත්‍යාංශ ලේකම් ලෙස කටයුතු කරමින් අත්දැකීම් බහුල නිලධාරියෙක් වීම නිසාම ක්‍රීඩාවට වින කටින නිළධාරීන්ට පැන යෑමට නොහැකි වනු ඇතැයි විශ්වාසයක් පවතී.

 

කෙසේ වුවද එහි ක්‍රියාටිපාටිය සිදුවන ක්‍රමවේදයක් ඇත. ඒ, ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියට පත් ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සහ අගතියට පත් පුද්ගලයා එවැනි තීරණයකින් හෝ ක්‍රියාවකින් දින 14 ක කාලයක් ඇතුළත ක්‍රීඩා ඔම්බුඩ්ස්මන් වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු වීමය.

 

ලංකාවේ මෙවැනි ඉල්ලීම් සිදුකිරීමට අදාළ අගතියට පත්වන්නන් බොහෝ විට අදි මදි කරන්නේ ය. එයට හේතුව එවැනි ඉල්ලීම්වලදී ඔවුනගේ අත්දැකීම ගැටලුව තවත් වර්ධනය වීමේ ප්‍රතිඵලයන්  නිසාය. නැතහොත් එවැනි සංස්කෘතියක් ලාංකිකයාට නැත. මේ නිසා අගතියට පත්වූවන් සොයන මෙහෙයුමට වෙනත් ක්‍රමවේදයක් ඇසුරු කරන්නට ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයාට සිදුවනු ඇත. ඒ සඳහා ඔහුගේ පරිණත දැනුම යොදා ගනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

 

chula

 

පහත පලවෙන්නේ ජාතික මාධ්‍යයක පළවූ හෙළිදරව්වකි. චූලානන්ද පෙරේරා ඔම්බුඩ්ස්මන්වරයා මේ සම්බන්ධයෙන් මැදිහත් වන්නේ කෙසේද යන්න පිළිබඳ අප බලා සිටින්නෙමු.

 

තරුෂි ගේ ඔලිම්පික් සිහිනයට අකුල් හෙළන නිලධාරීන්

 

ලොව සෑම රටක්ම ඔලිම්පික් උලෙළට සහභාගි වීම සඳහා එම රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහසුකම් සපයා දී, ඔවුන්ව දිරිගන්වන පසුබිමක, මෙරට ක්‍රීඩා බලධාරීන් සිදුකරන්නේ ඔලිම්පික් කඩඉම පෙනෙන මානයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීමේ මං අහුරමින් ඔවුන්ට අකුල් හෙළීමයි.

 

මේ පුවත ඔලිම්පික් කඩඉම පෙනෙන මානයේ සිටින ශ්‍රී ලංකාවේ කැපීපෙනෙනම මලල ක්‍රීඩිකාව වන 19 හැවිරිදි තරුෂි කරුණාරත්නට මෙරට මලල ක්‍රීඩා බලධාරීන් සිදුකළ අසාධාරණයක් පිළිබඳව ය.

 

එළැඹෙන ජූලි මාසයේ ආරම්භවීමට නියමිත පැරිස් ඔලිම්පික් උලෙළ ට සුදුසුකම් ලබාගැනීමට අවශ්‍ය පරිසාධන මට්ටම සපුරාගැනීමේ අරමුණ සහිතව මෙරට මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඊයේ (27) දියගමදී අවසන් වූ 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි විය.

 

ඔලිම්පික් කඩඉම ආසන්නයේ සිටින කාන්තා මීටර 800 ඉසව්වේ ආසියානු රන් පදක්කම් ලාභිනිය වන තරුෂි කරුණාරත්න ද ඒ අතර සිටියාය.

 

පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ලොව පුරා ක්‍රීඩිකාවන් 48 දෙනෙක් සුදුසුකම් ලැබීමට නියමිත අතර තරුෂි කරුණාරත්න ඊයේ වනවිට ROAD TO PARIS ශ්‍රේණිගත කිරීම්වල 49වැනි ස්ථානයේ පසුවූවාය.

 

ඒ අනුව ඊයේ පැවති ඉසව්ව තරුෂිට ඉතා තීරණාත්මක ඉසව්වක් විය. 

තරුෂිගේ මීටර 800 ඉසව්වේ අවසන් තරගය ඊයේ උදෑසන 7.50ට ආරම්භ වීමට නියමිතව තිබුණත්, අළුයම සිට ඇදහැලුණු වර්ෂාවෙන් ධාවනය පථයේ ජලය රැඳී තිබුණි. 

 

එහිදි තරුෂිගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා මලල ක්‍රීඩා බලධාරින්ගෙන් ඉල්ලා ඇත්තේ, ඉසව්ව ආරම්භ කිරීම පමාකරන ලෙසය.

 

වර්ෂාව ඇදහැලෙන අවස්ථාවේ ධාවනය යෙදීම අපහසු නිසාත්, මීටර 800 ධාවන ඉසව්වේ වැදගත්ම මංතීරුව වන පළමු මංතීරුවේ ජලය රැඳී තිබීමත් මත පුහුණුකරු එම ඉල්ලීම සිදුකර ඇත. 

 

ඒ අනුව බලධාරීන් පුහුණුකරුට පවසා ඇත්තේ, වර්ෂාව නොමැති අවස්ථාවක තරගය පවත්වන බවත් පළමු මංතීරුවේ රැඳී තිබෙන ජලය ද ඉවත් කරන බවත්ය. 

 

එලෙස පොරාන්දු වුවත් බලධාරීන් සිදුකර තිබුණේ, වර්ෂාව මධ්‍යයේම තරුෂිගේ ඉසව්ව ආරම්භ කිරීමය. 

එමෙන්ම පළමු මංතීරුවේ රැඳී තිබූ ජලය ඉවත් කිරීමට ද ඔවුන් පියවර ගෙන තිබුණේ නැත. 

 

ධාවනයට කිසිසේත්ම නුසුදුසු පරිසරයකදී මීටර 800 ඉසව්වට සහභාගි වූ තරුෂිට එය නිමකිරීම සඳහා ගතවූ කාලය මිනිත්තු 2යි තත්පර 4යි දශම 2යි 2කි.

 

නමුත්, තරුෂිගේ පුහුණුකරු සඳහන් කළේ මිනිත්තු 2යි තත්පර 3ක කාලයකින් තරුෂි ඉසව්ව නිම කිරිමට සැලසුම් කර තිබූ බවත්, සැලසුම් කළ කාලය වාර්තා කළේ නම් ශ්‍රේණිගත කිරීම්වල 39වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමින් පැරිස් ඔලිම්පික් උලෙළ ට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව සුරක්ෂිත කරගැනීමට තිබූ බවය.

 

නමුත් ඊයේ වාර්තා කළ කාලයත් සමග හිමිවූ ප්‍රසාද ලකුණු ප්‍රමාණයෙන් තරුෂිට ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකිවූයේ 42වැනි ස්ථානය දක්වා පමණී.

 

ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගැනීමේ කාලය මේ මස 30වනදා අවසන්වන බැවින් තවත් රටවල් රැසක ජාතික තරගාවලි ඉදිරි දින දෙක තුළ පැවැත්වීමට නියමිතව ඇත.

 

එම තරගාවලි වලදී තවත් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණියහොත් තරුෂිගේ පැරිස් ඔලිම්පික් සිහිනය බොඳව යනු ඇති.

 

මෙරට මලල ක්‍රීඩා බලධාරීන් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ ඔලිම්පික් බලාපොරොත්තු බිඳ දැමීමට උත්සාහ දැරූ පළමු අවස්ථාව මෙය නොවේ. 

 

ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට අපොහොසත් මෙරට බලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකගේ ඔලිම්පික් සිහිනය වෙනුවෙන් කළ ඉතා සුළු ඉල්ලීමත් නොසලකා හරින්නේ ඇය? ඔලිම්පික් උලෙළට සහභාගි වනු දැකීමට ඇති අකමැත්ත නිසා ද?

 

තනතුරුවලින් හිස් උදුම්මවාගත් බලධාරීන් සිදුකරන මෙවැනි ජාතික අපරාධ පිළිබඳ ක්‍රිඩා අමාත්‍යවරයා අවශ්‍ය පියවර නොගතහොත්, අනාගතයේදීත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ඉලක්ක කරා යාම සිහිනයක්ම වනු ඇත.

 

@adaderana වාර්තාවක්

nalan mendis

නවතම ලිපි