SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

ශුන්‍යවාදය (nihilism)  පිලිබඳව පුළුල් ලෙස මුල් වරට ලියන ලද්දේ ලේඛක ඉවාන් තුර්ගේනිව් විසිනි. දොස්තයෙව්ස්කිගේ නවකතා එක්තරා ආකාරයකට ශුන්‍යවාදය පිළිබඳ  දාර්ශනික විශ්ලේෂණයක් ලෙස සැලකේ. 

Feature

රනිල් දැඩි පියවර ගනිමින් සිටී. සිරස ඇතුළු මහාරාජා මාධ්‍ය ජාලය ගැන තීරණයක් ගැනීම සඳහා තේරීම් කමිටුවක් පත්කිරීමට රනිල් තීරණය කොට ඇත.

Feature

මතුපිටින් අයිසින් තවරූ එහෙත් කුණු වී පණුවො පිරුණු, කේක් ගෙඩියක් මෙන් වූ ශ්‍රී ලංකා ආර්ථිකය ගැන දෙස් විදෙස් බොහෝදෙනා කියන කතා දැන් දැන් ප්‍රසිද්ධ රහස්ය.

Feature

යම් දේශපාලන ස්ථාවරයක සිට දේශපාලනයේ යෙදෙන කෙනෙකු තමන් ලෝකය දකින ආකාරය (ලෝක දැක්ම), එනම් තමන්ගේ දාර්ශනික ස්ථාවරය, තමන්ගේ දේශපාලන ස්ථාවරය (දෘෂ්ටිවාදී),

Feature

ස්පාර්ටකස් ලිපි

 සත්තා ව 1

 

 

 

පසුගිය කොටස් හා සම්බන්ධයි

අධිකාරීත්වයට එරෙහි ස්පාර්ටකස් සටන!

සාම්ප්‍රදායික සමාජය ජාතික රාජ්‍ය මගින් ප්‍රතිස්ථාපනය වීමෙන් පසු එහි සාමාජිකයින් හඳුන්වනු ලබන්නේ පුරවැසියන් (citizens) ලෙසය. එම මිනිසුන් පරමාදර්ශීය ලෙස සංකල්ප ගතව ඇත්තේ ගෝලීය ප්‍රජාව තුල එකහා සමාන තවත් ජාතියක් වීම තුල අහිමිකළ නොහැකි අයිතිවාසිකම් සහිත ව්‍යුක්ත තනි පුද්ගලයන් ලෙසය.

 

එම පුරවැසියන් සතු වන්නේ පුද්ගලයාගේ අහිමි කළ නොහැකි අයිතිවාසිකම්, භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස, ආගමික නිදහස, ආගම සහ රාජ්‍යය වෙන් කිරීම, නියමිත ක්‍රියාවලියට ඇති අයිතිය, නීතිය යටතේ සමානාත්මතාවය, සියලුම වැඩිහිටි පුරවැසියන් සඳහා ඡන්ද අයිතිය, වැනි මූලික ලිබරල් පරමාදර්ශයන් වන අතර ඒවා ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංග වේ. නූතන ලිබරල්- ප්‍රජාතන්ත්‍රවාදයට දැන් සමලිංගික විවාහ, ඇතුලු  LGBTIQ+ අයිතිවාසිකම්, මරණ දඬුවම අහෝසි කිරීම, ප්‍රජනන සහ අනෙකුත් කාන්තා අයිතිවාසිකම්,  සිවිල් අයිතිවාසිකම්, පාරිසරික යුක්තිය සහ ප්‍රමාණවත් ප්‍රමිතියකට ඇති අයිතිය රජය ආරක්ෂා කිරීම වැනි කරුණු ඇතුළත් වේ.

 

ධනවාදය තුල ආත්මය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ පුරවැසියන්ය. ප්‍රජාතන්ත්‍රවාදයේ සියලු පුරවැසියන් අතර සමානාත්මතාවය පැවතිය යුතුය යන්න ප්‍රජාතන්ත්‍රවාදයේ අදහසය (මෙය හිස් හෝ බෙදී ඇති ආත්මය පිළිබඳ මූලික සංකල්පය පැහැදිලි කිරීමේ ආකාරය සහ මනෝ විශ්ලේෂණය සහ දේශපාලනය අතර සම්බන්ධය අවධාරණය කිරීමේ මූලිකම ස්ථානයයි). ප්‍රශ්නය වන්නේ, සමාජ සමස්තය තුල පුද්ගලයින් සහ කණ්ඩායම් අතර පැහැදිලි විෂමතාවයන් ඇති විට සියලු පුරවැසි ආත්මීයත්වයන් සමක වන බව අපට කිව හැක්කේ කිනම් ආකාරයටද යන්නයි…

 

නමුත් නිර්මාල් පවසා සිටිනා ප්‍රධාන කාරණයක් වන්නේ ඉහත සඳහන් කල සියලු ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් යනු ඉතා වැදගත් ජයග්‍රහණ බවයි. එනම් නිර්මාල් හෝ වෙනත් ඕනෑම වාමාංශිකයෙකු එසේ පවසන විට ඔවුන් නිතැතින්ම ‘සමාජ ප්‍රගමනයේ’ අනුපිලිවෙලක ස්ථාන ගතවේ. නමුත් ඒ අයට ඒ සඳහා ද පිළිතුරක් ඇත. ඒ මිනිසුන් ආධිපත්‍යට, සමාජ අසාධාරණයට එරෙහිව යුක්තිය ඉල්ලා සටන් කිරීමට ඉදිරිපත් වන විට ඊට අදාළ කොන්දේසීන් පූර්ව නිශ්චිත බවත්, එබැවින් සටන් කිරීමට අදාල ආකෘතිය සහ නිශ්චිත අවශ්‍යතා වෙනුවෙන් සටන් වදින බවත්, දැන් පවතින නිදහස, සමානාත්මතාවය, යුක්තිය පිළිබඳව තත්වය ඇතුළු ඉහත විස්තර කරන ලද “මානව හිමිකම්” ඒ තුලින් සංස්ථාපිත බවත්ය. ඒ අනුව සමාජ ප්‍රගමනය යන්න නියතිවාදයක් තුල පවතින්නක් නොව දයලෙක්තිකව නිර්මාණය වන තත්වයක් බවය. තවද ඔවුනට ඊට පිහිටට ගත හැක්කේ “අහඹුවේ අනීවර්යතාවයයි”.

 

සැබවින්ම ප්‍රශ්නය ඇත්තේ එතැනමය. ස්පාටකස් සිද්ධිය වැදගත්කම ඇත්තේ ද මෙතනය. එහිදී වහලුන් ලෙස ඔවුනට ඉහලින් පවතින අධිකාරීත්වය වෙතින් වඩා හොඳ ජීවිතයක්, තිබෙනවාට වඩා නිදහසක්, භාෂණයේ නිදහස, සටන් කිරීමේදී වැඩි ආරක්ෂාවක්, වැනි තත්වයන් ඉල්ලා සිටීමක් එහිදී සිදු නොවුනි. ඍජුවම සටන ක්‍රියාත්මක වූයේ අධිකාරීත්වයට එරෙහිවය.

 

රැස්වීමේ නිදහස, ඇසුරු කිරීමේ නිදහස, දේපළ අයිතිවාසිකම්, ආගමික හා කතා කිරීමේ නිදහස, සමාජයේ ඕනෑම තත්වයක් කරා ඇතුළත් වීමේ නිදහස, පුරවැසිභාවය, පාලිතයා තේරීම (ඡන්ද අයිතිය), ජීවත්වීමට සහ නිදහසට ඇති අයිතිය සහ සුළුතර අයිතිවාසිකම්, සහභාගිත්වය, සවිචාරය (deliberation) වැනි ඉල්ලීම් අවශ්‍ය වන්නෙම ධනවාදය සඳහා අවශ්‍ය නිදහස වෙනුවෙන්මය. එපමණක් ද නොවේ අද වන විට මේ තත්වය වඩාත් ඉදිරියට වර්ධනය වී ධනවාදය තුල ඇති කරනා විවිධාකාර විපරීත විවිධත්වයන් වෙනුවෙන් ද අයිතිතිවාසිකම් ඉල්ලන තත්වයට ඉදිරියට ගොස් ඇත.

 

ඍජුවම අධිකාරීත්වයට එරෙහි වූ ස්පාටකස් සිද්ධිය කිසි විටෙකත් “සදාකාලික සත්‍යයක්” (නිර්ධනීයත්වය) ලෙස, විවිධ ලෝකවල, රැඩිකල් ලෙස වෙනස් සන්දර්භයන්ට අනුව නැවත උත්පාදනය වීම නතර නොවේ. එහෙත් එය සෑම විටම වහල්භාවය අවසන් වී ඇති විශ්වාසත්වයක වර්තමාන කාලයක් සහතික කරනා එකම ප්‍රකාශනය ලෙසය. 1917 එවැනි අවස්තාවක් ලෙස සැලකුවහොත්, අරගලය අධිකාරීත්වයට එරෙහිව සිදු වුව ද ප්‍රශ්නය වූයේ ද සමාජ ගොඩනැංවීමක් කරා ගමන් කිරීමයි. එනම්, ඉහතින් ද සඳහන් කල පරිදි වාස්තවික සත්‍ය මත නීර්ණය වන සමාජයක් ගොඩනැගීමට යාමයි. 

 

මාක්ස්ගේ විප්ලවවාදී න්‍යායේ මූලික කාරණය වන්නේ හෙගලියානු අර්ථයෙන් නිෂේධනයයි. එනම්, පළමුව, පැරණි පර්යාය එහිම දෘෂ්ටිවාදී-දේශපාලනික ආකෘතිය තුළ නිෂේධනය වේ. එවිට මෙම ආකෘතියම එය විසින්ම නිෂේධනය කළ යුතුව ඇත.  ඊට අනුව විප්ලවය සෑම විටම දෙවරක් සිදු වේ. පළමුවැන්න සමාජ අන්තර්ගතය බිඳ දැමීම වන අතර දෙවැන්න සමාජ ආකෘතිය බිඳ දැමීමයි. මෙම අදහසට අනුව මාඕ සහ ලෙනින් දියත් කළ විප්ලවයන් අවසානයේ ආකෘතිය බිඳ නොදැමුවේය. පළමු විප්ලවයෙන් පසු, ලෙනින් රුසියානු පැරණි රාජ්‍ය යාන්ත්‍රණය භාවිතා කළේය. එසේ කලේ ඒ තුලින් “නිදහස සහ යුක්තිය ඉටු කළ හැකි යැයි සිතමිනි [නිෂේධනයක නිෂේධනය කිසි විටෙකත් පළමු තහවුරු වීම වෙත ආපසු නොපැමිණෙන බව පිරිසිදු තර්කනයේ සත්‍යයක් වන අතර, එය විශ්ලේෂණාත්මක වශයෙන් ප්‍රායෝගිකව (analytic praxis) එහි කැපී පෙනෙන තහවුරු කිරීමක් සොයා ගනු ඇත]. ඒ අනුව ඒ අනුව ලෙනින්ගේ විප්ලවය අසාර්ථක වන්නේ ඔහු ඇතුළු කොම්ම්යුනිස්ට් පක්ෂය පැරණි රාජ්‍ය යාන්ත්‍රනය සහ ඒ තුල නිදහස සහ යුක්තිය සංස්ථාපනය කිරීමට යාමෙන් ඊට අදාළ සංකේත රටාව (symbolic order) ආරක්ෂා වීම තුලය. ඉන් සිදු වූයේ විප්ලවීය අදහස විශ්වීයකරණය වීම වැලකි යාමයි. එබැවින් ලෙනින්ගේ විප්ලවය විප්ලවයෙන් තොර විප්ලවයකි.

 

නව ලිබරල් ධනවාදී වෙළෙඳපොළ මත පදනම් වූ සමාජය තුල මිනිස් සබඳතා වටිනාකම් අතර සබඳතා බවට ඌනනය වී ඇත. එය එන්න එන්නම වඩාත් තීර්ව වෙමින් තිබේ. මෙම වෙළඳ භාණ්ඩකරණය තුල, අන්තර් පුද්ගල සබඳතා ආර්ථික ගනුදෙනු දක්වා ඌනනය වීමට හේතු වී ඇති අතර, එහිදී අප අප සතු වටිනාකම් වෙනුවට අන් අයගෙන් වටිනාකමක් ලබා ගැනීමට, එනම් වටිනාකම් හුවමාරු සබඳතාවයක් පවත්වාගෙන යයි. පුද්ගලයන් යනු අපගේම ප්‍රයෝජනය සඳහා සූරාකෑමට ලක්විය යුතු වස්තු පමණක් බවට පත්වන බැවින්, මිනිස් අන්තර්ක්‍රියාවල සත්‍යවත්භාවය සහ හැඟීම්මය ගැඹුර නැතිවී මිනිස් සම්බන්ධය තාර්කික (rational) සම්බන්ධයක් බවට පත්ව ඇත. හැඟීම් වෙනුවට තාර්කිකත්වය සංස්ථාපිතව ඇත (ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය). මානව සබඳතා වෙළඳ භාණ්ඩකරණය වීම අපගේ අන්තර්ක්‍රියා තුළ මතුපිටින් හා නොගැඹුරු බවක් ඇති කරයි. එහිදී අප අන් අය සමඟ අව්‍යාජ, සත්‍යවත් සම්බන්ධතා ඇති කර ගැනීමට වඩා අප ගැනම ප්‍රතිරූපයක් පවත්වා ගැනීමට උත්සාහ කරයි. එනම් සබඳතා යම් ආකාරයක විරසකයකට තුඩු දෙන බවත්, එහිදී අප අපගේම ආශාවන් සහ චිත්තවේගයන්ගෙන් විසන්ධි වන බවත්, ගැඹුරු මට්ටමින් අන් අය සමඟ සම්බන්ධ වීමට නොහැකි බවත්ය. මෙහි අර්ථය වන්නේ, “භාණ්ඩ ආකෘතිය ද්‍රව්‍යමය භාණ්ඩ ක්ෂේත්‍රය පමණක් නොව, මානව සම්බන්ධතා ක්ෂේත්‍රයද ආක්‍රමණය කර ඇති බවයි. අපි තවදුරටත් එකිනෙකා සමඟ සෘජුවම සම්බන්ධ නොවන මුත් අපේ සම්බන්ධතාවය පවතින්නේ සහ ඇති වන්නේ වෙළඳ භාණ්ඩවල මැදිහත්වීම හරහා පමණි. අපි අපගේ අනන්‍යතාවය ප්‍රකාශ කිරීමට, නිර්මාණය කිරීමට, සබඳතා පවත්වා ගැනීමට සහ හැඟීම් පවා අත්විඳීමට, නිෂ්පාදන සහ සේවාවන් භාවිතා කරයි. ඒ සමගම දැනුමට අදාළ දූරාවලියක් සහ ඊට අදාළ පන්ති මට්ටම් පැවතීම තුල අපගේ සබඳතාවල මතුපිටින් පෙනෙන නොගැඹුරු බවක් ඇති කළ හැකිය. සබඳතා ඇති කර ගැනීමට සහ පවත්වා ගැනීමට අප භාවිතා කරන නිෂ්පාදන සහ සේවා මෙන්ම දැනුම් දූරවලිය සහ එහි පන්ති ස්වභාවය කෙරෙහි අවධානය යොමු කරන විට, සමීපභාවය, විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධය වැනි එම සබඳතාවල වඩාත් වැදගත් අංගයන් අප විසින් නොසලකා හරියි.

 

එන්න එන්නම තත්වය සංකීර්ණ වන අතර එම තත්වය තුල පාරිභෝගික භාණ්ඩ ආකෘතිය ද්‍රව්‍යමය භාණ්ඩ ක්ෂේත්‍රය පමණක් නොව, මානව සම්බන්ධතා ක්ෂේත්‍රය ද ආක්‍රමණය කර ඇත. මනුෂ්‍ය සබඳතාවල මෙම වෙළඳ භාණ්ඩකරණය ජීවිතයේ සෑම අංශයක්ම වෙළඳපොලේ මිලදී ගත හැකි සහ විකිණීමට හැකි භාණ්ඩ බවට පරිවර්තනය කරයි. පුද්ගලවාදය, තරඟකාරීත්වය සහ ලාභය උපරිම කිරීම අවධාරණය කිරීම මේ තුල ප්‍රධාන ලක්ෂණයන්ය. වෙළඳපොළට සෑම දෙයක්ම අවශෝෂණය කර ගැනීමට හැකියාව ඇති අතර අපගේ ගැඹුරුම සහ සමීප හැඟීම් සහ අත්දැකීම් පවා මිලදී ගැනීමට සහ විකිණීමට ඇති භාණ්ඩ බවට පත් කරයි. නව ලිබරල්වාදය යටතේ, අපි සියල්ලෝම ආර්ථික ක්‍රියාකාරීන් බවට ඌනනය වී ඇත. එහිදී අපගේ පුද්ගලික වටිනාකම තීරණය වන්නේ අපගේ ආර්ථික වටිනාකම මත සහ දැනුම වෙත ඇති සම්බන්ධය තුලය. අපි තවදුරටත් එකිනෙකා සමඟ සෘජුවම සම්බන්ධ නොවෙන මුත් වෙළඳ භාණ්ඩවල මැදිහත්වීම සහ දැනුම දරා සිටින මට්ටම සහ එම මට්ටමට ඇති වටිනාකම හරහා පමණක් සම්බන්ධ වේ. අපි අපගේ අනන්‍යතාවය ප්‍රකාශ කිරීමට, නිර්මාණය කිරීමට, සබඳතා පවත්වා ගැනීමට සහ හැඟීම් පවා අත්විඳීමට නිෂ්පාදන, සේවාවන් සහ දැනුම භාවිතා කරන්නෙමු. ඒ සමගම දැනුමට අදාළ දූරාවලියක් සහ ඊට අදාළ පන්ති මට්ටම් පැවතීම වටිනා කම් තුල එකිනෙකාගේ ස්ථානය තීරණය වේ. 

 

එම තත්වය තුලින් පරාරෝපනය පිළිබඳව අර්ථයකට ද ගමන් කල හැක. අප අපගේ සබඳතා වෙළඳ භාණ්ඩ ලෙස සලකන විට, ඒවා තුලම සහ ඒවා සඳහා ලෙස වටිනාකම තමන්ටම දැකීමට ඇති ඉඩකඩ අඩුය. ඒ වෙනුවට, වඩා වැඩියෙන් ඒවා භාවිතා කළ හැකි, ප්‍රයෝජ්‍ය වටිනාකම් සහිත දේවල් ලෙස දැකීමට ඇති ඉඩකඩ වැඩිය. එනම්, තත්වය, සතුට හෝ ආරක්ෂාව වැනි අපට අවශ්‍ය වෙනත් දෙයක් ලබා ගැනීමට භාවිතා කල හැකි දේවල් ලෙසය. දැනුම පිළිබඳව තත්වය ද එයයි. අවසාන වශයෙන්, එය පාලනය අහිමි වීම කරා ගමන් කල හැක (ගමන්කරනු ඇත). අපි නිෂ්පාදන සහ සේවා සඳහා අපගේ සබඳතා බාහිරකරණය කරන විට, අපි ඒවා පිළිබඳ අපගේ පාලනයෙන් යම් ප්‍රමාණයක් අත්හරිමු. මේ තත්වය මේ වන විට දුරදිග ගොස් ඇත.

 

ලැකාන්ට අනුව අවිඥානය භාෂාවක් මෙන් ව්‍යුහගත වී ඇත. අප භාවිතා කරන භාෂාව, පිලිවෙලින් හැඩගැස්සවී ඇත්තේ අප ජීවත්වන සමාජ සංස්කෘතික සන්ධර්භය තුලය.

 

ක්‍රමක්‍රමයෙන් ‘දැනුම’ ආයතනගත වීමෙන් පසුව ලෝකයටම පොදු ‘දැනුමට’ අදාළ කෙන්ද්‍රස්ථාන බිහි විය. ඒ අනුව ‘වාස්තවික යථාර්තය’ සහ ඊට අදාළ නිවැරදි දැනුම, එනම් විද්‍යාත්මක දැනුම සමාජ ගත වන්නේ අධ්‍යාපන ආයතන, ජන මාධ්‍ය, අන්තර්ජාලය, පොත-පත වැනි ආධිපත්‍යයන් තුලිනි. නමුත් මෙසේ දැනුම ආයතනගත වී ලොවටම පොදු විද්‍යාත්මක දැනුම බිහිවීමට පෙර දැනුම අප ජීවත් වන සමාජ හා සංස්කෘතික සන්දර්භයට අනුව හැඩගැසී තිබුණි. නමුත් අද එම තත්වය එසේ නොමැත. කෙසේ වෙතත් මෙයින් අදහස් කරන්නේ දැනුම සෑම විටම අර්ධ හා අසම්පූර්ණ බවත්, එය සැමවිටම අර්ථ නිරූපණයට විවෘත බවත්ය. ඒ අනුව යථාර්තය සැම විටම අසම්පූර්ණ වේ. නමුත් නූතන විද්‍යාවට අදාලව වාස්තවික යථාර්තය දෙන ලද තත්වයක් වන විට “විද්‍යාත්මක ක්‍රමය” තුලින් එය සංජානනය කරමින් සත්‍ය කරා ලංවිය හැකිය.  

 

දැනුමේ යම් යම් ආකෘතීන් වලට විශේෂිත අයිතිවාසිකම්, බලපුළුවන්කාර කම්, වරප්‍රසාද ලබා දීම විසින් දැනුමට අදාළ පන්ති දූරවලියක් සහ ඒවාට අනුරූප ආධිපත්‍යධාරීත්වයන් බිහි වීම නොවැලැක්විය හැකිය. එම අර්ථයෙන් යුගයේ වරප්‍රසාදිත දැනුම වන්නේ විද්‍යාත්මක දැනුමයි. ඊට අදාළ මුල් කාලයේදී විශේෂයෙන්ම කාන්තාවන්, සුළු ජාතීන් සහ දුප්පතුන් වැනි විද්‍යාත්මක දැනුමට කිසි ලෙසකින් ප්‍රවේශය නොමැති පුද්ගලයින් කොන් කිරීමට එම දැනුම හේතු විය (අද වන විට කාන්තාවන්ට අදාළ ප්‍රවේශය සඳහා සමානව තරඟ කල හැකිව ඇති අතර අනෙකුත් සමාජ කොටස් සඳහා ද තරඟකාරී ප්‍රවේශයන් විවෘතව පවතී). මීට අමතරව, මෙසේ දැනුම පිළිබඳව සුවිශේෂී ආකෘතියක් පැවැතීම සහ ඊට වරප්‍රසාදිත තත්වයක් සහ බලය හිමි වීම වෙනත් ආකාරයේ දැනුමක් යටපත් කිරීමට හේතු වේ. විද්‍යාත්මක දැනුමේ ආධිපත්‍ය තුල දේශීය දැනුම වැනි සාම්ප්‍රදායික දැනුම් යටපත් කිරීමට හේතු වී ඇත. ප්‍රජාතන්ත්රවාදයේම ප්‍රතිමාන වලට අනුව ගත්තද සමාජීයව, ව්‍යහරාත්මකව, පවතින අත්දැකීම්මය දැනුමට වඩා විද්‍යාත්මක දැනුමට වරප්‍රසාද ලබා දීම, විද්‍යාත්මක දැනුමට සමානව ප්‍රවේශය නොමැති අය බැහැර කරන ඥානසම්බන්ධී ප්‍රචණ්ඩත්වයකි. ඒ අනුව දැනුම නිර්මාණය වන්නේ සහ ඊට අදාළ හැඩගැස්සවීම් සිදුවනුයේ බලය සහ වරප්‍රසාද මගිනි. දැනුමේ ධූරාවලිය සහ එහි පන්ති ආකෘති විසින් මනුෂ්‍ය සබඳතාවල වඩාත් වැදගත් අංග නොසලකා හරී. දැනුම පිළිබඳ තහවුරු වී ඇති දැක්ම එසේ මිනිස් සබඳතාවල වඩාත් වැදගත් අංග නොසලකා හැරීමකට මග පාදන විට සබඳතා යනු හුදෙක් තොරතුරු හුවමාරු කිරීම සඳහා පමණක් බවට පත්ව ඇත. නමුත් හවුල් අර්ථයන් නිර්මාණය කිරීම සඳහා වන බවක් ඉන් ගම්‍ය නොවේ. අප දැනුමේ ධුරාවලිය කෙරෙහි අවධානය යොමු කරන විට සැලකිය යුත්තේ සබඳතා මගින් නව දැනුම නිර්මාණය වන අකාරය පිළිබඳවයි.

 

දැනුම නිෂ්පාදනයේ අඩවිය ලෙස පුද්ගලයන් අතර ඇති සම්බන්ධයට වඩා ඔවුන් දැනුමේ හිමිකරු ලෙස පුද්ගලයා කෙරෙහි අවධානය යොමු වීම සිදු වේ. ඒ තත්වය තුල දැනුම සැලකන්නේ සබඳතා හරහා නිර්මාණය වන සමාජ නිෂ්පාදනයක් ලෙසට වඩා මිලදී ගැනීමට සහ විකිණීමට හැකි භාණ්ඩයක් ලෙසය. යම් යම් පුද්ගල කණ්ඩායම් කොන් කිරීමට හේතු වන විද්‍යාත්මක දැනුම වෙත අනෙක් දැනුම් පද්ධතීන් මත (උදා: අත්දැකීම් සහිත දැනුම) ආධිපත්‍ය පැතිරවීමේ හෝ සම්පූර්ණයෙන්ම මර්ධනය කොට යටපත් කිරීමේ වරප්‍රසාද ලබා දෙයි.

සාම්ප්‍රදායික අත්දැකීම්මය දැනුම යටපත් කරමින් සහ නොසලකා හරිමින් විද්‍යාත්මක දැනුමට වරප්‍රසාද ලබා දීම, විද්‍යාත්මක දැනුමට ප්‍රවේශය නොමැති අය බැහැර කරන ඥානසම්බන්ධී (cognitive) ප්‍රචණ්ඩත්වයකි.

වාස්තවික බව පැවසන විද්‍යාත්මක දැනුම සැමවිටම පදනම් වන්නේ යම් යම් අභ්‍යපාගමන (assumptions) සහ ප්‍රාග්විනිශ්චයන් (prejudices) යන අගතීන් මතය. ඒවා බොහෝ විට නොපෙනේ. එනම් දැක්මෙන් සැඟව ඇත. අනෙක් අතට, සාම්රදායික අත්දැකීම්මය දැනුම බොහෝ විට පැවසෙන ආකාරයට අනුව ආත්මීය නොවේ (විද්‍යාත්මක දැනුම විසින් එය අභියෝගයට ලක්කරන ආකාරයට අනුව). එය බෙදාහදා ගැනීමට සහ සන්නිවේදනය කළ හැකි අතර, එය විද්‍යාත්මක දැනුමේ උපකල්පනවලට අභියෝග කිරීමට ද භාවිතා කළ හැක.

 

නිර්මාල් ඇතුළු වාමාංශිකයින්, ලිබරල්වාදීන් හෝ එසේ නොවන සියලු දෙනා පොදුවේ ප්‍රගතිශීලීත්වය පිළිගනී. ඔවුනට අනුව පැරණි සමාජයන් වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් සමග සැසඳීමේදී ප්‍රජාතන්ත්‍රවාදී සමාජය වඩා හයපත්, සාපේක්ෂව වඩා නිදහස්, වඩා යුක්තිය, වඩා සාධාරණත්වය ඉටුවන සමාජයකි. නමුත් ඉහත විස්තර කිරීම තුලින් පෙන්නුම කරන තත්වය තුල එසේ පිළිගත හැකිද? සිදුව ඇත්තේ අධිකාරීත්වයේ සහ ආධිපත්‍යයේ නව ස්වරූපයක් සංස්ථාපනය වීම පමණි. එහි ප්‍රථිපල පෙර පැවතී සමාජයන්ට වඩා නින්ධිතය. වාතය, ජලය, ආහාර වැනි දේවල් වල සිට මිනිසුන්ට, සතුන්ට, ගහකොළට අදාළ සියලු දේ පිළිබඳව තීරණය ගත හැකි, තීන්දු කල හැකි, ඒවා කෙසේ පැවතිය යුතු ද, සකස් කල යුතු ද, වැනි තත්වයන් නිශ්චය වන අධිකාරීත්ව දූරවලියක් සංස්ථාපනය කොට පවත්වාගෙන යාමට සිදුව ඇත. නමුත් එම තත්වය නිදහස ලෙස පෙනී යයි. තමන් නිදහස් නොමැති බව පවා වත්මන් සමාජයේ මිනිසුන් නොදනී. ඔවුනට අනුව පෙර සිටි මිනිසුන් යටහත්හාවයේ ජනයා වූ අතර වර්තමාන පුරුවැසියා ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් හිම වීම තුල නිදහස් පුද්ගලයෙකි. ඔවුන් නිදහස ලෙස අගයන්නේ දෙන ලද සමුද්දේශ රාමුවක් තුල තෝරාගැනීමේ නිදහසයි. නමුත් තෝරාගැනීම් නිර්මාණය වන අකාරය සහ තමන් ඒ තුල ඉරණම් සහගත වී ඇති බව ඔවුනට නොපෙනේ. ඒ තුලින් වන ඊළඟ සමාජ සුසමාදර්ශි මාරුව වනු ඇත්තේ Nuralink, SpaceX, Star- Link, Super human, AI, වැනි ව්‍යාපෘතීන් තුලිනි.

 

අතීත තාක්ෂණික නවෝත්පාදනයන් මෙන් නොව, කෘත්‍රිම බුද්ධිය යනු ස්වභාවධර්මය කෙරෙහි මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රවීනත්වය ගැන නොව, පාලනය සම්පූර්ණයෙන්ම අත්හැරීමයි. අප දැන හෝ නොදැන, තාක්‍ෂණය සක්‍රීය කරන පැරණි මානව කේන්ද්‍රීය උඩඟුකම ඉක්මනින්ම මිනිසාගේ ඉරණම කෙරෙහි හා අර්ථ විරහිතභාවයට මඟ පෑදිය හැකිය. කෘත්‍රිම බුද්ධි වර්ධනය කිරීම පිළිබඳව ‘Future of Life’ ආයතනයේ විවෘත ලිපියට දැනටමත් Elon Musk ඇතුළු ඉහළ පෙළේ පුද්ගලයන් දහස් ගණනක් අත්සන් කර ඇත. අත්සන් කරන්නන් කනස්සල්ලට පත්ව සිටින්නේ AI පර්යේෂණාගාර ඔවුන්ගේ නිර්මාතෘවරුන් ඇතුළුව කිසිවකුට තේරුම් ගැනීමට, අනාවැකි කීමට හෝ පාලනය කිරීමට නොහැකි වඩ වඩාත් ප්‍රබල පද්ධති සංවර්ධනය කිරීමට සහ යෙදවීමට “පාලනය නැති තරඟයක සිරවී ඇති වීමයි”. වර්තමාන “නිදහසේ” ඉදිරිය තේරුම් ගැනීමට ඒ සන්තෑසියම ප්‍රමාණවත් නොවේද? එක්තරා ප්‍රභූ කණ්ඩායමක් අතර මෙම භීතිය පුපුරා යාම පැහැදිලි කරන්නේ කුමක්ද? පාලනය සහ නියාමනය පැහැදිලිවම මෙම මුහුණපා ඇති තත්වයේ කේන්ද්‍රයේ ඇත. නමුත් ඒ පාලනය සහ නියාමනය කාගේද? යෝජිත අර්ධ අවුරුදු විරාමය තුළ මනුෂ්‍යත්වයට ඇති අවදානම් තක්සේරු කළ හැකි විට, ‘මනුෂ්‍යත්වය’ වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? ඒ තීරණය ගන්නා අය කවුද? එම තක්සේරුව විසින් සියල්ල විසන්දයි ද? මුළු ලෝකයේම, සමස්ත මනුෂ්‍යත්වය පිළිබඳවම තීන්දු තීරණ ගන්න ඉතාම සුළු පිරිසක් බිහි වී ඇත (මනුෂ්‍යත්වය පිළිබඳව පමණක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයා, ඔවුන්ගේ ජීවිත වල සියලු දේ, ගහ-කොළ, සතා සියුපාවා ඇතුළු සමස්ත ලෝකය පිළිබඳව). ඇමරිකාවේ තත්වය එසේ තිබියදී චීනයේ, ඉන්දියාවේ සහ රුසියාවේ AI විද්‍යාගාර ඔවුන්ගේ වැඩ (සමහර විට රහසිගතව) දිගටම කරගෙන යනු ඇති බැවින්, ඉදිරි තත්වය කෙසේ සකස් වේද?

AI විසින් ඇතිකරන ප්‍රතිඵලය බොහෝ දුරට මානව සමාජය තුළ පන්ති භේදයට වඩා බෙහෙවින් ප්‍රබල වූ රැඩිකල් බෙදීමක් ඇතිකරනු ඇත. සියල්ල පිළිබඳව සමස්ත පාලනය, තීන්දු තීරණ ගැනීම ඉතාම සුළු පිරිසක් අතට පත්වීම සිදු වනු ඇත (දැනට පවතින තත්වයට වඩා ගුණාත්මකව වෙනස්ව සහ තීර්ව ලෙස). එය පෙර කිසි කලක නොවූ විරූ තත්වයක් වීමට නියමිතය (අතිශය බහුතරයකට නොපෙනුන ද ප්‍රජාතන්ත්‍රවාදය නමින් අද පවතින්නේද පැරණි සමාජයන්හි කිසිදාක නොවූ විරූ ආධිපත්‍යධාරීත්වයකි). ඒ තත්වය විසින් වර්තමානයේ පවතින ආධිපත්‍යදාරිත්වයට වඩා වැඩි සහ ප්‍රබල ආධිපත්‍යදාරිත්වයක් සංස්ථාපනය කරනු ඇත (සැබවින්ම දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදය තුල සිදුව ඇත්තේ එයයි). 

ඒ එසේ නොවී ජීව-ජාන විද්‍යාවේ දියණුව, ජෛව තාක්‍ෂණය, විද්‍යා-තාක්ෂණ දියුණුවේ නව තත්වයන්ගේ වර්ධනය තුල ඇති වන නීතිමය ප්‍රශ්න ඇතුළු පාලනය කල නොහැකි සංකීර්ණ තත්වයන් සඳහා අනීවාර්ය විසඳුම පැමිණෙන්නේ එකී විද්‍යා-තාක්ෂණ වුර්ධීන් තුලින්මය. වැඩි කල් නොගොස්, ජෛව තාක්‍ෂණය සහ පරිගණක ඇල්ගොරිතම “ශරීර, මොළය සහ මනස” නිෂ්පාදනය කිරීමේදී ඒවායේ බලයන් එකට සම්බන්ධ වනු ඇත (දැනටමත් සංසේචන ක්‍රියාවලියෙන් පිටත කෘතීම මිනිස් කලලයක් නිපදවා ඇත). එහි ප්‍රතිඵලයක් ලෙස “ශරීර සහ මොළය ඉංජිනේරුමය කිරීමට දන්නා අය සහ නොදන්නා අය අතර” පරතරය පුළුල් වේ. එවැනි ලෝකයක, “ප්‍රගතියේ දුම්රිය ධාවනයකරන්නන් මැවීමේ හා විනාශයේ දිව්‍යමය හැකියාවන් ලබා ගන්නා අය වනු ඇත. දක්ෂයින් සුළු පිරිසක් ඒ සඳහා තේරීපත්වනු ඇත. ඊලන් මස්ක්ලා ඇතුළු ලොක්කන් විසින් අත්සන් තබන ලද AI ලිපියෙන් පිළිබිඹු වන භීතිය පැන නගින්නේ “ප්‍රගතියේ දුම්රියේ” සිටින අයට පවා එය මෙහෙයවීමට නොහැකි වනු ඇතැයි යන බියෙන් ඔවුන් පසුවන බැවිනි. කෙසේ වෙතත්, ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ බලය තිබෙන තැනම තබාගැනීම සඳහා රජයන් සහ තාක්ෂණික සමාගම් අතර එකඟතාවයක් ඇතිකර ගැනීමයි. ඉතිහාසය පිළිබඳව පාරම්බාමින් සිංහල බෞද්ධ වැඩවසම් සමාජය ගැන කතා කරන අය මේ තත්වය හඳුන්වන්නේ ඩිජිටල් වැඩවසම් ස්වාමීන් සහිත ඩිජිටල් වැඩවසම්වාදය ලෙස ද? එවිට අපට නැගිය හැකි ප්‍රශ්නය වන්නේ සිංහල බෞද්ධ පැරණි සමාජයේ මෙවැනි ස්වාමීන් සිටියේ ද යන්න සහ අධිකරීත්වයේ මෙවැනි ව්‍යාප්තියක් පැවතියේද යන්නයි. එනම් සියල්ල වටකරනා, සියල්ල පිළිබඳව තීරණය කල හැකි ස්වාමීන් එකල සිටියේ ද?  “ඇතැම් ඉහළ විද්‍යාඥයන්ට අනුව අද මානව වර්ගයාගේ පැවැත්මට ඇති ප්‍රධාන තර්ජනය විද්‍යාවයි. එම තත්වය කෙතරම් ‘අවදානම්’ සහගත ක්‍රියාකාරකමක් බවට පත් වී ඇති බව අප පැහැදිලි කරන්නේ කෙසේ ද? ඒ කෙසේ වෙතත් ඩෙකාට්ස්ගේ ‘ස්වභාවධර්මයේ ස්වාමියා සහ හිමිකරු වීම’ යන සිහිනය දැන් විද්‍යාමාන වන්නේ මෙසේය.

 

නිර්මාල් විසින් පසුගිය දිනක සඳහන් කොට තිබුනේ ගෝල්ෆේස් අරගලය තුලින් “සුසමාදර්ශී මාරුවක්” (ඔහුගේ වචනයෙන් නම් “සුසමාදර්ශී වෙනස”) සිදු වූ බවය. එසේම නලින් ද සිල්වා විසින් ද මේ දිනවල “අපේ ඉතිහාසයට නව සුසමාදර්ශයක්” යන තේමාව ඔස්සේ දේශන පවත්වමින් සිටී. සම්භාව්‍ය මාක්ස්වාදයෙන් විතැන් වී ව්‍යුහවාදය, පශ්චාත් නූතනවාදය, පශ්චාත් මාක්ස්වාදය, ගැන යම් හඳුනා ගැනීමක් කල අය සිතනුයේ සිදුවිය යුත්තේ  ‘සුසමාදර්ශී මාරුවක්’ය යන්නයි. නමුත් විමුක්ති දේශපාලන ස්ථාවරය කිසි සේත්ම එය නොවේ. අප “සුසමාදර්ශී මාරුවීම්” වෙනුවෙන් පෙනී සිටින්නේ හෝ ක්‍රියා කරන්නේ නැති අතර විමුක්ති දේශපාලනය දිශානත විය යුත්තේ  ‘සුසමාදර්ශී මාරුවක්’ දෙසට නොවන බවද අවධාරණය කොට සිටී. ‘සුසමාදර්ශී මාරුවක්’ සිදු වේ නම් එම සුසමාදර්ශය නිර්මාණය කරන කතෘ කෙනෙකු හෝ කතෘන් සිටිය යුතුය (ඉහතින් ඒ පිළිබඳව දීර්ග කරුණු දැක්වීමක් සහ විශ්ලේෂණයක් සපයා ඇත). එනම් එය සමාජ ගොඩනැංවීමකි. අප සමාජ ගොඩනැංවීම්වාදයට එරෙහිය. අපගේ ස්ථාවරයට අනුව විද්‍යාව මෙන්ම ධනවාදය ද ඉදිරි පිමි පනිමින් ගමන්කරනුයේ සැම විටම “සුසමාදර්ශී මාරුවීම්” තුලිනි.

 

එසේ නම් “කල යුත්තේ කුමක් ද?”

 

මේ ලිපිය ආරම්භයේ සඳහන් කල හෝටන්තැන්නේ  ගෝනුන්ගේ උදාහරණය වැදගත් වන්නේ මෙතනදීය. උන්ගේ වර්ගය සතු සුවිකාර්යතාවය, සංවේදීතාවය, අහාර රටාව, නිරෝගී බව වැනි සියල්ල අහිමි කරගත් පසු උන් තවදුරටත් ගෝනුන් ලෙස හැඳින්විය හැක්කේ භාහිර පෙනුම අනුව පමණි (එසේ හඳුන්වන්නේ ද මිනිසුන්මය). ගෝනුන් පරාරෝපනයට ලක්ව ඇත්තේ තම වර්ගයාම වෙතින් නොවූව ද මිනිසුන් පරරෝපනයට ලක්ව ඇත්තේ මිනිසුන් වෙතින්මය. මිනිසුන්ගේ බලපෑමට ලක්ව ඇති ගෝනුන්ට ඇති වී ඇති විවිධාකාර ප්‍රශ්න විසඳීමට උන් ගැන දන්නා විශේෂඥ මිනිසුන් ඇත. සාමාන්‍යයෙන් උන්ට ආවේනික නිදහස් පරිසරයක වෙසෙනා සත්ව වර්ග තම වර්ගයා වෙතින්ම බලපෑමට ලක් නොවේ. විලෝපිකයන්ගෙන් පවා සිදු වන්නේ බලපෑමක් නොවේ. නමුත් ඒ සියල්ලන්ගෙන් වෙනස්ව මනුෂ්‍යයා පමණක් තම වර්ගයා වෙතින්ම පරරෝපනයට ලක් වේ. එසේ වීම තුල මනුෂ්‍යයා මුහුණ දෙන තත්වය උදාහරණයක් ලෙස ගත් ගෝනුන්ගේ තත්වයට වඩා ඉතාමත්ම සංකීර්ණ, ව්‍යාකූල සහගත සහ මුළු ලෝකයටම බලපෑම් සහගතය. ඒ බලපෑම් සහගතභාවය නැවත හැරවිය නොහැකි තරම්ම දරුණුය.

 

ඒ අනුව ඇත්තේ මාවත් දෙකක් පමණය:

1. මනුෂ්‍යයා වෙතින් මනුෂ්‍යයාම ඇතුළු අනෙකුත් සතුන් ඇතුළු සමස්ත පරිසරය වෙත විනාශකාරී, අහිතකර ලෙස බලපෑම් සහගත වීම, පරාරෝපනය වීම, ස්වභාවික බව පිළිගැනීම. එනම් ලෝක ස්වභාවය එය බව පිළිගැනීම.

2. මනුෂ්‍යායා වෙතින් මනුෂ්‍යයාම පරාරෝපනය, අනෙකුත් සතුන් ඇතුළු සමස්ත පරිසරය වෙත විනාශකාරී, අහිතකර ලෙස බලපෑම් සහගත වීම, පරාරෝපනය වීම, මිනිස් සමාජයේ පවතින පන්ති ස්වභාවයේ ප්‍රශ්නයක් ලෙස පිළිගැනීම සහ පන්ති ස්වභාවය ස්වභාවික නොවන බව පිළිගැනීම.  

මෙම ස්ථාවර දෙක හැර වෙනත් හෝ අතරමැද ස්ථාවරයන් නොමැත. අනෙක් ඕනෑම ස්ථාවරයක් මේ දෙකෙන් එකකට අයත් වේ.

මෙතෙක් දීර්ඝව නිර්මාල්ගේ ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබා දී ඇතත් නිර්මාල් හෝ එවැනි ඕනෑම අයෙකුට පැවසිය හැක්කේ ප්‍රශ්න අදාළ නොකොටගෙන පිළිතුරු සපයා ඇති බවය. ඒ අනුව පිළිතුර සංයුක්තව මෙසේ සාරාංශ ගත කල යුතුව ඇත.

ඉහත පළමු කාරණය පිළිගන්නේ නම් කල යුතුව ඇත්තේ විද්‍යාවට සියල්ල භාරදීම සඳහා අවශ්‍ය මාවතට ප්‍රවිෂ්ට වීම සහ ඒ සඳහා වන දේශපාලනයයි. එම පළමු කරුණ පිළිනොගන්නේ නම් ඊට එරෙහිව පවතින්නේ ඉහත සඳහන් කොට ඇති දෙවන ස්ථාවරය පමණි. අතර මැද හෝ වෙනත් ඕනෑම ස්ථාවරයක් නැවතත් ඉහත පළමු ස්ථාවරය තුලම ලැගුම් ගැනීමට නියමිතය. ඉහත දෙවන ස්ථාවරයේ පන්තිය යන්න අර්ථවත්වන්නේ සාම්ප්‍රදායික ආර්ථික පන්ති භේදය තුල පමණක් නොවේ. මේ වන විට එය ආර්ථික වෙනස අභිබවමින් දැනුමට අදාලව සංකීර්ණතා රැසක් සහිත පන්ති භේදයක් බවට පත්ව ඇත. ඒ අනුව නව නිර්ධනීකරණයක් අවශ්‍යව ඇත. ඒ විමුක්ති දේශපාලනය අනීවාර්ය ලෙසම පන්ති අරගලය (ඉහත අර්ථයෙන් පන්ති අරගලය යන්න යථමය වේ. පන්තිය යන්න සඳහා නව අර්ථකතනයක් අවශ්‍යව ඇත. අද වන විට මාක්ස් අර්ථකථනය කල අර්ථය තුල නිර්ධන පන්තියක් නොමැත. එසේම පන්තීන් වල ස්ථිතික ස්වභායක් ද අද නොමැත. ඒ අනුව ඒ අර්ථයෙන් නිර්ධනීන් ද නොමැත. මාක්ස් අර්ථකථනය කල නිර්ධනයා හට පන්ති අතර සංක්‍රමණය විය නොහැක. අඩු තරමින් නිර්ධන පන්තිය වෙතින් ඊට ඉහල තත්වයකට සංක්‍රමණය වීම පිළිබඳව අපේක්ෂාවක් හෝ නොමැත. නමුත් අද තත්වය එසේ නොවේ. පන්තිමය වශයෙන් පහලම පුරවැසියා හට ද අපේක්ෂාවක් පවතී. ඒ තමන් හට නොහැකි වුවද තම දරුවන් හට ඉහලට නැගගත හැකිය යන අපේක්ෂාව සඳහා අවස්ථාවන් විවරව ඇති බැවිනි. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම තරඟකාරී ලෙස ඉඩ විවරව ඇත්තේ අධ්‍යාපනය ඔස්සේය. එසේම ව්‍යාපාර තුලින්, විදේශ ගතවීමෙන්, වැනි අවස්ථා තුලින් පමණක් නොව වංචා, දූෂණ, හොර-මැරකම්, තුලින් පවා තම පන්තිය වෙනස් කොට ගතහැකි අවස්තාවන් විවරව ඇත) තුල සහ දෘෂ්ටිවාදය විචාරය කිරීම මත ස්ථානගතවන බැවිනි. ඒ අනුව පළමු පියවර තැබීමට අවශ්‍යව ඇත. නමුත් වඳවීමේ තර්ජනයට ලක්ව නෂ්ටාවශේෂ බවට පත්ව ඉතුරුව ඇති වාමන්ශිකයින් බොහෝ දෙනෙකුට ද අවශ්‍යව ඇත්තේ මේ මොහොතේදී, සිතීමට වඩා යම් ප්‍රයෝගිකවාදී (pragmatism) දේශපාලනයක් කිරීමටය. නමුත් මේ මොහොතේ අප අවධාරණය කරනුයේ “කිරීමට” වඩා “සිතීමේ” ප්‍රමුඛත්වයයි. ඒ නව නිර්ධනීකරණයක් වෙනුවෙනි.

ලකාන් විසින් අර්ථකථනයේ සත්‍යය ලෙස හැඳින්විය හැකි දේ පිළිබඳව කතා කරයි. 

ඔහු මෙසේ පවසයි: 

“ඔව් හෝ නැත යන්න මගින් තීරණය වන සත්‍යයක් මගින් අර්ථකථනය පරීක්ෂාවට ලක්නොවන අතර එය ඒ නිසාම සත්‍ය මුදාහරී. එය සත්‍යය වශයෙන් අනුගමනය කරන තරමට (තාක් දුරට) පමණක් එය සත්‍යය වේ.” 

න්‍යායේ සහ ව්‍යවහාරයේ දයලෙක්තික ඒකත්වය මෙය වේ. එනම් විශ්ලේෂකයාගේ අර්ථ නිරූපණයේ ‘පරීක්‍ෂණය’ පවතින්නේ එය රෝගියා තුළ මුදා හරින සත්‍යය-බලපෑම තුළය. ඒ අනුව අප ක්‍රියා කළ යුත්තේ ලෝකය වෙනස් කිරීම ඉලක්ක කර ගන්නා ආකාරයකට නොවිය යුතුම වන්නේ ව්‍යවහාරයම සංකල්පයේ මොහොතක් වන බැවිනි. එබැවින් ලැකාන්ගේ අර්ථ නිරූපන න්‍යායේ සත්‍ය-බලපෑම ලෝකය මතට අධිස්ථාපනය නොකරන නමුත් එයට එකතු කරනු ලබනවා සේම, ව්‍යවහාරයේ සහ න්‍යායේ ඒකත්වය ලෙස හේගල්ගේ සංකල්ප න්‍යාය තුල සංකල්පය පමණක් සත්‍ය ලෙස ලෝකයට එකතු කල හැකිය.

පරාවර්තක නොවන ව්‍යවහාරයන්ට දැනටමත් පවතින දේ හැසිරවිය නොහැක. “පියවරක් පසුපසට ගොස් සිතන්න” යැයි පවසන විට, එය “සුන්දර ආත්මය” (කාරුණික, ආර්ථික හෝ බුද්ධි දාන දෙන ස්වභාවයක් ඇති, විශ්වාසවන්ත, අව්‍යාජ, සමබර සහ අවබෝධයක් ඇති අය) කැඳවීමක් නොවේ. එනම්, එය කිසිඳු වරදක් නොකරන ලද ආත්මීයත්වයක උසස් සදාචාරාත්මක තත්ත්වය පූර්වාදර්ශණය කරන ස්ථාවරයක් නොවේ (ගෝල්ෆේස් අරගලයේ විශ්ව විද්‍යාලයේ සිටි ශුද්ධ වූ, යහපත්, ලෝකය පිළිබඳව දයානුකම්පා සහගත, ලෝකයට වැඩදායක, බුද්ධි දානපතීන්). කිසිවක් නොකිරීමට ඇති පෙළඹවීම යම් දේශපාලන වර්ධනයක්, දේශපාලන සිදුවීමක්, මහජන නැගිටීමක් හෝ මැතිවරණ සම්බන්ධයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක් ගත යුතු බවක් අදහස් නොකරයි. එය යම් (සාමාන්‍යයෙන් ආරක්ෂිත) දුර සිට ඒවා විවේචනය කිරීම හෝ සැමරීම පවා ප්‍රතික්ෂේප නොකරයි. මෙය ඉහළ “සදාචාරාත්මක” බිමක සිට සෑම විටම වැරදි ක්‍රියාවලට බිය වන තත්ත්වයකට පත් වෙමින්, ක්‍රියා කිරීමෙන් ඉවත්ව  සිතීම තුල සිටින ලෙස කරන ඉල්ලීමක් නොවේ. “සුන්දර ආත්මය” (“beautiful soul”) අමතක කිරීමට නැඹුරු වන දෙය නම්, ආත්මය එය විසින්ම පුබුදුවන ආකාරය සහ විශේෂිත ස්වරූපයක් ගන්නා ආකාරය කෙසේද යන්න පිළිබඳව සදාචාරාත්මක තීක්ෂ්ණ බුද්ධියට ප්‍රකාශයක් නොමැති බවයි.

දේශපාලන වර්ග දෙකක් වෙන්කර හඳුනා ගැනීමෙන් මෙය සාරාංශගත කළ හැකිය: විමුක්ති දේශපාලනය දේශපාලනය සිතීම සඳහා අත්හැරිය යුතු අතර, මේ ආකාරයෙන්, දේශපාලනයට සැබවින්ම ඉටු කළ හැකි දේ පිළිබඳව වඩාත් පරිමේය වීමට සහ ඒ තුලින් පළමු පියවර තැබීමට අපට හැකි වනු ඇත. මෙයින් අදහස් කරන්නේ අප එය නොකළ යුතු බව නොවන නමුත් එයින් අදහස් කරන්නේ, අද ප්‍රායෝගිකවාදය (pragmatism) සහජයෙන්ම දූෂිත හා අපිරිසිදු දේශපාලන වැඩකටයුතුවලට අනුකූල වන බැවින්, එහිදී කිසිදු මායාවක් නොතිබිය යුතු බවයි.

  

නිර්මාල්ට අනුව “මනුෂ්‍යයා තමන් මත බාහිර අධිකාරීත්වයක් මගින් පටවා ඇති කොන්දේසි වලට කොන්දේසි විරහිතව විරෝධය පෑම සඳහා ඇති නැඹුරුව” දේශපාලනිකව ක්‍රියාත්මක කල හැක්කේ තම සාමූහික ජීවිතය සමූහයට වඩාත් යහපත් වන්නා වූ සහ ඓතිහාසික හා සත්භාවවේදීමය වශයෙන් තමා අභිමුවේ ඇති කොන්දේසි මත සංවිධානය කරගැනීමට මනුෂ්‍යයා තුළ ඇති අභිලාෂය තුලය. ඔහුට අනුව ඒ  මනුෂ්‍ය ජීවිතය අත්‍යන්තයෙන්ම සාමූහික වූවක් බැවිනි. එනම් නිර්මාල් විසින් ආමන්ත්‍රණය කරමින් සිටිනුයේ කාරුණික, බුද්ධි දාන දෙන ස්වභාවයක් ඇති, විශ්වාසවන්ත, අව්‍යාජ, සමබර සහ අවබෝධයක් ඇති, ශුද්ධ වූ, යහපත්, ලෝකය පිළිබඳව දයානුකම්පා සහගත, ලෝකයට වැඩදායක, ලස්සන දිව්‍යාත්මයන් හටය (නිර්මානි ලියනගේ ගැන නිර්මාල්ගේ අදහස් බලන්න). එනම් හෝටන් තැන්නේ ගෝනුන් ගැන මිනිස් විශේෂඥයින් විසින් වගකීම භාරගෙන රැක බලා ගත යුතු සේම මිනිස් සමාජය වඩා යහපත් දෙසට මෙහෙයවීමේ වගකීම ඇත්තේ එම සමාජය තුලින් සුවිශේෂිව නැගී සිටිනා දක්ෂ විශිෂ්ටයින්ට පමණි. නිර්මාල් යෝජනා කරනා සාමුහිකත්වය ගොඩනැගෙන්නේ එලෙසය. නමුත් ප්‍රශ්නය ඊටත් වඩා සංකීර්ණය. එනම්, “සුන්දර උදාර දිව්‍යාත්මය” අමතක කිරීමට නැඹුරු වන දෙය නම්, “දිව්‍යාත්මය” (“soul”) එය විසින්ම පුබුදුවන ආකාරය සහ විශේෂිත ස්වරූපයක් ගන්නා ආකාරය කෙසේද යන්න පිළිබඳව සදාචාරාත්මක තීක්ෂ්ණ බුද්ධියට ප්‍රකාශයක් නොමැති බවයි. එනම්, ඕනෑම සත්‍යයක් මගින් අර්ථකථනය පරීක්ෂාවට ලක්නොවන අතර එය ඒ නිසාම සත්‍ය මුදාහරී. එසේම එය සත්‍යය වශයෙන් අනුගමනය කරන තරමට (තාක් දුරට) පමණක් එය සත්‍යය වේ. න්‍යායේ සහ ව්‍යවහාරයේ දයලෙක්තික ඒකත්වය මෙය වීම තුල ඒ අනුව අප ක්‍රියා කළ යුත්තේ ලෝකය වෙනස් කිරීම ඉලක්ක කර ගන්නා ආකාරයකට නොවිය යුතුම වන්නේ ව්‍යවහාරයම සංකල්පයේ මොහොතක් වන බැවිනි. එනම්, ලෝකය මතට අධිස්ථාපනය කිරීම සඳහා සංකල්පයේ නිවැරදි බවට තහවුරුවක් නොමැත. එය අවසාන වශයෙන් තහවුරු කල යුතුව ඇත්තේ මහා අනෙකා විසිනි (ලැකාන්ගේ අර්ථ නිරූපන න්‍යාය විසින් පවසන්නේ සත්‍යය-බලපෑම ලෝකය මතට අධිස්ථාපනය නොවිය යුතු බවයි). ලෝකය මෙතරම් අර්බුධයට ගොස් ඇත්තේ විශිෂ්ටයින්ගේ පුද්ගලික පිස්සූන් ලෝකය මත අධිස්ථාපනය කිරීමට හැකි තත්වයක් (ප්‍රජාතන්ත්‍රවාදය) පැවතීම සහ ඒ තුල එසේ හැකි වීම නිසාය. එබැවින් විමුක්ති දේශපාලනයේ ස්ථාවරය තමන් (සිවිල් විශිෂ්ටයින්) නිවැරදියයි සිතා තමන්ගේ සත්‍යය (“සත්‍යය වශයෙන් අනුගමනය කරන තාක් දුරට පමණක් එය සත්‍යය වේ.”) ලෝකය මතට අධිස්ථාපනය කෙරුමට යාම නොවේ (සුපිරිසිදු ලෙසම සෝවියට් සංගමය අවුරුදු හැත්තෑ ගණනක් උත්සාහ කලේ ඒ සඳහාය). තවත් ‘සුසමාදර්ශී මාරුවක්’ අපට අවශ්‍ය නොවේ.

 

ඒ අනුව අපට අවශ්‍ය වන්නේ “මනුෂ්‍යයා තමන් මත බාහිර අධිකාරීත්වයක් මගින් පටවා ඇති කොන්දේසි වලට කොන්දේසි විරහිතව විරෝධය පෑම සඳහා ඇති නැඹුරුව” කෙරෙහි “සත්‍යයේ බලපෑම” අධිස්ථාපනය වීමෙන් වලකා ගැනීම සහ ඊට සපුරා එරෙහි වීමයි.

  

උපුටාගැනීම - spartacus.lk

ලිපියේ පෙර කොටස්වල සබැඳියාවන්:

https://slleader.lk/social/8074-01

https://slleader.lk/social/8076-02

https://slleader.lk/social/8078-03

https://slleader.lk/social/8085-04

https://slleader.lk/social/8089-05

https://slleader.lk/social/8102-06

https://slleader.lk/social/8113-07

නවතම ලිපි